Skip to content

පටුනට යන්න

11වෙනි පරිච්ඡේදය

“විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි”

“විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි”

“ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න.”—හිතෝපදේශ 5:18.

1, 2. අප සලකා බලන්නේ කුමක් ගැනද? ඒ ඇයි?

ඔබ විවාහ වූ කෙනෙක්ද? එසේනම් ඔබ විවාහ ජීවිතය ගත කරන්නේ ප්‍රීතියෙන් කියා ඔබට කියන්න පුළුවන්ද? නැත්නම් ඔබ දෙදෙනා අතරේ බැරෑරුම් ප්‍රශ්න ගැටලු තිබෙනවාද? ඔබ දෙදෙනා සිටින්නේ දුරස් වෙලාද? විවාහ ජීවිතය දැන් ඔබට බරක් වෙලාද? ඔබ සිටින්නේ එවැනි තත්වයක නම් ඔබ දෙදෙනා අතරේ මුලින් තිබූ ප්‍රේමණීය බැඳීම අඩු වීම ගැන ඔබ දුකින් සිටින බවට කිසිම සැකයක් නැහැ. සැබෑ ක්‍රිස්තියානීන් අතරේ සිටින විවාහකයන් වන අප සියලුදෙනාගේම ආශාව වන්නේ අප ප්‍රේම කරන යෙහෝවා දෙවිට අපේ විවාහ ජීවිතය තුළින් ගෞරවයක් ගෙන දීමයි. නමුත් ඔබේ විවාහ ජීවිතය තුළින් එසේ කීරීමට නොහැකි වීම ගැන ඔබ කනස්සල්ලෙන් සිටිනවා ඇති. කෙසේවෙතත් ඔබේ බලාපොරොත්තු අත්හරින්න එපා.

2 මන්ද විවාහය තුළ බැරෑරුම් ප්‍රශ්න ගැටලු කලින් අද්දැක්කත් දැන් ප්‍රීතියෙන් යුග දිවිය ගත කරන බොහෝදෙනෙක් අප අතරේ සිටිනවා. එසේ කිරීමට ඔවුන්ට හැකි වුණේ ඔවුන් මුහුණ දුන් ප්‍රශ්න ගැටලු විසඳාගෙන විවාහ බැඳීම ශක්තිමත් කරගැනීමට ඔවුන් මඟක් සොයාගත් නිසයි. ඔබටත් එලෙස ප්‍රීතිය අද්දැකිය හැකියි. දැන් අපි ඒ ගැන සලකා බලමු.

දෙවිට ළං වීමෙන් විවාහ බැඳීම ශක්තිමත් කරගන්න

3, 4. යුවළක් දෙවිට ළං වීමට උත්සාහ කිරීමෙන් දෙදෙනා අතර තිබෙන බැඳීම ශක්තිමත් වන බව පැවසිය හැක්කේ ඇයි? පැහැදිලි කරන්න.

3 ඔබ දෙදෙනාම යෙහෝවා දෙවිට තව තවත් ළං වීමට උත්සාහ කිරීමෙන් දෙදෙනා අතර තිබෙන බැඳීමද තව තවත් ශක්තිමත් කරගත හැකියි. ඒ කාරණය පැහැදිලි කරගැනීමට මේ උදාහරණය සලකා බලන්න. දෙදෙනෙක් එකම කන්ද නැඟීමට උත්සාහ කරනවා. නමුත් එක් කෙනෙක් ඒ කන්ද නඟින්නේ නැඟෙනහිර පැත්තෙන්. අනික් කෙනා ඒ කන්ද නඟින්නේ බස්නාහිර පැත්තෙන්. කන්ද පාමුලදී ඔවුන් දෙදෙනා සිටින්නේ එකිනෙකාට බොහෝ දුරස්වයි. නමුත් ඔවුන් කන්ද මුදුනට ළං වෙත්ම ඔවුන් අතරේ තිබූ දුරස් බව ටිකෙන් ටික අඩු වෙනවා.

4 යෙහෝවා දෙවිට සේවය කරමින් ඔහුට ළං වීමට ඔබ හා ඔබේ සහකරු හෝ සහකාරිය දරන උත්සාහය කන්ද නැඟීමට දරන උත්සාහයට සමානයි. දෙදෙනා අතරේ තිබෙන ප්‍රශ්න ගැටලු නිසා ඔබ දෙදෙනාත් කන්ද නැඟීමට උත්සාහ කරන්නේ එකිනෙකට විරුද්ධ දිශාවලින් විය හැකියි. මුලින් ඔබ දෙදෙනා එකිනෙකාගෙන් දුරස්ව සිටියත් අත් නෑර දිගටම ඒ කන්ද නැඟීමට උත්සාහ කරන විට ටිකෙන් ටික ඔබ දෙදෙනා තව තවත් ළං වෙනවා. ඉන් අදහස් වන්නේ යෙහෝවා දෙවිට ළං වීමට ඔබ තව තවත් උත්සාහ දරන විට දුරස් වී සිටින ඔබ දෙදෙනාගේ බැඳීම තව තවත් ශක්තිමත් වන බවයි. එසේනම් ඔබේ සහකරුට හෝ සහකාරියට ළං වීමට තිබෙන හොඳම ක්‍රමය වන්නේ යෙහෝවා දෙවිට ළං වීමයි. නමුත් ප්‍රශ්නය වන්නේ එය කළ හැක්කේ කෙසේද යන්නයි.

බයිබලයෙන් දැනුම ලබාගෙන එය ජීවිතයට අදාළ කරගැනීම විවාහ බැඳීම ශක්තිමත් කරගැනීමට මඟක්

5. (අ) දෙවිට ළං විය හැකි එක් ආකාරයක් සඳහන් කරන්න. (ආ) දෙවි විවාහය සලකන්නේ කෙසේද?

5 එසේ කළ හැකි එක් ආකාරයක් වන්නේ විවාහය සම්බන්ධයෙන් දෙවිගේ වචනය වන බයිබලයේ දී තිබෙන මඟ පෙන්වීම් ඔබ දෙදෙනාම අදාළ කරගැනීමට උත්සාහ දැරීමයි. (ගීතාවලිය 25:4; යෙසායා 48:17, 18) පාවුල් පැවසූ එක් දෙයක් සලකා බලන්න. ඔහු පැවසුවේ, “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි” කියායි. (හෙබ්‍රෙව් 13:4) ඉන් අදහස් කළේ කුමක්ද? යම් දෙයක් ගෞරවයෙන් සලකනවා යන්නෙන් අදහස් කරන්නේ ඒ දෙය ඉතා වටිනා දෙයක් ලෙස සලකන බවයි. යෙහෝවා දෙවිත් විවාහය සලකන්නේ ඒ ආකාරයටමයි. දෙදෙනෙකු අතර තිබෙන විවාහ බැඳීම ඔහුට ඉතා අනර්ඝයි.

ඔබව පොලඹවන්නේ යෙහෝවා දෙවි කෙරෙහි තිබෙන ප්‍රේමයයි

6. විවාහ සම්බන්ධයෙන් පාවුල් පැවසූ දෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? එය සිහියේ තබාගැනීම වැදගත් වන්නේ ඇයි?

6 යෙහෝවා දෙවිගේ සේවකයන් වන ඔබ දෙදෙනාම විවාහය අනර්ඝ හා පරිශුද්ධ දෙයක් බව දැනටමත් දන්නවා. මන්ද විවාහ සැලැස්ම ඇති කළේ යෙහෝවා දෙවියි. (මතෙව් 19:4-6 කියවන්න.) නමුත් ඔබ දෙදෙනා අතරේ ප්‍රශ්න ගැටලු තිබෙනවා නම් ඔබේ සහකරුට හෝ සහකාරියට ප්‍රේමයෙන් හා ගෞරවයෙන් සලකන්න ඒ කාරණය දැන සිටීම පමණක් ප්‍රමාණවත් නොවෙයි. එසේනම් විවාහය අනර්ඝ දෙයක් ලෙස සැලකීමට පෙලඹීමක් ඇති කරන්නේ කුමක්ද? පාවුල් පැවසූ දේ නැවත සලකා බලන්න. විවාහය ගෞරවනීය දෙයක් කියා ඔහු නිකම්ම පැවසුවේ නැහැ. ඒ වෙනුවට ඔහු ආඥාවක ස්වරූපයෙන්, ‘විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයක්’ බව පැවසුවා. * ඉන් පැහැදිලි වන්නේ විවාහය ගෞරවනීය දෙයක් ලෙස සැලකීම විවාහකයන්ට දෙවි දී තිබෙන ආඥාවක් බවයි. ඒ කාරණය සිහියේ තබාගැනීම එකිනෙකාට ගෞරවයෙන් හා ප්‍රේමයෙන් සැලකීමට පෙලඹීමක් ඇති කරනවා.

7. (අ) බයිබලයේ සඳහන් සමහරක් ආඥා මොනවාද? අප ඒවා පිළිපදින්නේ ඇයි? (ආ) ආඥා පිළිපැදීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

7 ඒ කාරණය තවත් තහවුරු කරගැනීමට මේ ගැන සිතන්න. බයිබලයේ තව බොහෝ ආඥා දී තිබෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී එම ආඥා පිළිපැදීම එතරම් පහසු දෙයක් නොවෙයි. උදාහරණයකට මිනිසුන් ශුභාරංචිය කෙරෙහි හොඳ ප්‍රතිචාරයක් නොදක්වන විට මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වීමට උපකාර කරන්න කියා දී තිබෙන ආඥාව පිළිපැදීම අපහසු විය හැකියි. එමෙන්ම දවස පුරාම වෙහෙස මහන්සි වී වැඩ කළ පසු රැස්වීම්වලට සහභාගි වීම වෙහෙසකර නිසා දෙවිට නමස්කාර කිරීමට එකට රැස් වෙන්න කියා දී තිබෙන ආඥාවට කිකරු වීමත් එතරම් ලෙහෙසි දෙයක් නොවිය හැකියි. (මතෙව් 28:19; හෙබ්‍රෙව් 10:24, 25) ඒ වුණත් අපි ඒ ආඥා පිළිපදින්න උපරිම උත්සාහයක් දරනවා. අපිව නවත්වන්න කාටවත් බැහැ. සාතන්ටවත් බැහැ. මන්ද යෙහෝවා දෙවි කෙරෙහි අපට තිබෙන සැබෑ ප්‍රේමය ඔහුගේ ආඥා පිළිපදින්න අපව පොලඹවනවා. (1 යොහන් 5:3) එලෙස දෙවිගේ ආඥා පිළිපදිමින් දේශනා සේවයේ හවුල් වන විට හා රැස්වීම්වලට සහභාගි වන විට සැනසීම හා සැබෑ සතුට අපි අද්දකිනවා. මන්ද එසේ කිරීමෙන් අප දෙවිගේ සිත සතුටු කරන බව අපි දන්නවා. අප අද්දකින සතුට හා සැනසීම දෙවිට තව තවත් වැඩියෙන් සේවය කිරීමට අපව දිරිමත් කරනවා.—නෙහෙමියා 8:10.

8, 9. (අ) ‘විවාහය ගෞරවයෙන් සැලකිය යුතුයි’ යන ආඥාව පිළිපැදීමට අප තුළ පෙලඹීමක් ඇති කළ හැක්කේ කුමක්ද? (ආ) අප සලකා බලන කාරණා දෙක මොනවාද?

8 කොතරම් අභියෝග තිබුණත් දේශනා කරන්න හා රැස්වීම්වලට සහභාගි වන්න යන ආඥා පිළිපැදීමට යෙහෝවා දෙවි කෙරෙහි අපට තිබෙන ප්‍රේමය අපව පොලඹවනවා හා සමානව, ‘විවාහය ගෞරවයෙන් සැලකිය යුතුයි’ යන ආඥාව පිළිපැදීමට දෙවි කෙරෙහි අපට තිබෙන ප්‍රේමය අපව පෙලඹවිය හැකියි. (හෙබ්‍රෙව් 13:4) ඇත්තෙන්ම දෙවි කෙරෙහි අපට සැබෑ ප්‍රේමයක් තිබෙනවා නම් අපහසු අවස්ථාවලදී පවා ඒ ආඥාව පිළිපදින්න අප තුළ පෙලඹීමක් ඇති විය හැකියි. (ගීතාවලිය 18:29; දේශනාකාරයා 5:4) එමෙන්ම දේශනා සේවයේ හවුල් වීමට හා රැස්වීම්වලට සහභාගි වීමට අප දරන උත්සාහයට දෙවි ආශීර්වාද කරනවා හා සමානව විවාහය ගෞරවනීය දෙයක් ලෙස සැලකීමට අප දරන උත්සාහය දෙවි දකින අතර ඊටත් දෙවි ආශීර්වාද කරනවා.—1 තෙසලෝනික 1:3; හෙබ්‍රෙව් 6:10.

9 එසේනම් විවාහය ගෞරවනීය දෙයක් ලෙස අප සලකන බව අපට පෙන්විය හැක්කේ කෙසේද? ඒ සඳහා විවාහ බැඳීමට හානියක් විය හැකි දේවල් කිරීමෙන් අප වැළකී සිටිය යුතු අතර විවාහ බැඳීම ශක්තිමත් කිරීම සඳහා යම් පියවරද ගත යුතුයි.

බැඳීම දෙකඩ කරන දේවල්

10, 11. (අ) විවාහ බැඳීමට හානිකරව බලපාන්නේ කුමක්ද? (ආ) සහකරුගෙන් හෝ සහකාරියගෙන් ඇසිය යුතු ප්‍රශ්නය කුමක්ද?

10 “විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය දෙන්න කියලා මම මහත් ඕනෑකමින් හැමදාම දෙවිට යාච්ඤා කරනවා” කියා කලකට ඉහතදී එක් ක්‍රිස්තියානි භාර්යාවක් පැවසුවා. එසේ කිරීමට හේතුව ඇයම පැවසුවේ මෙලෙසයි. “‘ඔයා මට වදයක්!’ ‘ඔයා මහා කාලකණ්නියක්!’ කියමින් මගේ පුරුෂයා මට වචනවලින් පහර දෙනවා. ඒ දේවලින් මගේ ශරීරය තුවාල වෙලා නැති බව ඇත්තයි. හැබැයි මගේ හදවත නම් හොඳටම තුවාල වෙලයි තියෙන්නේ. ඒ දේවල් මට ලොකු වේදනාවක් ගෙන දෙනවා.” මොන තරම් කනගාටුදායක තත්වයක්ද!

11 ඒ අද්දැකීමෙන් අපට පැහැදිලි වන්නේ අපේ සහකරුට හෝ සහකාරියට පවසන වචන හා ඔහුට හෝ ඇයට කතා කරන විලාසය විවාහ බැඳීමට හානිකරව බලපාන බවයි. මන්ද හදවතේ එලෙස ඇති කරන තුවාල පහසුවෙන් සුව කළ නොහැකියි. ඇත්තටම ක්‍රිස්තියානියෙක් තම සහකරුගේ හෝ සහකාරියගේ හදවත පසාරු කරන අයුරින් කතා කරනවා නම් ඔහු හෝ ඇය විවාහය ගෞරවනීය දෙයක් ලෙස සලකන බව කොහෙත්ම පැවසිය නොහැකියි. ඔබ ඔබේ සහකරුට හෝ සහකාරියට කතා කරන ආකාරය ගැන පැවසිය හැක්කේ කුමක්ද? ඒ බව දැනගැනීමට, ‘මම කියන දේවලින් ඔයාගේ හිත රිදෙනවාද’ කියා ඔබේ සහකරුගෙන් හෝ සහකාරියගෙන් යටහත්පහත්ව අසන්න. ඔබ පවසන දේවල් නිසා නිතරම තමාට වේදනාවක් දැනෙනවා කියා ඔබේ සහකරු හෝ සහකාරිය පැවසුවොත් අනිවාර්යයෙන්ම ඔබ කතා කරන විලාසය වෙනස් කළ යුතුයි.—ගලාති 5:15; එෆීස 4:31 කියවන්න.

12. කෙනෙකුගේ නමස්කාරය දෙවි ඉදිරියේ නිෂ්ඵල දෙයක් විය හැක්කේ කෙසේද?

12 මෙහිදී ඔබ ඉතා වැදගත් කරුණක් මතක තබාගත යුතුයි. එනම් ඔබ ඔබේ සහකරුට හෝ සහකාරියට කතා කරන ආකාරය යෙහෝවා දෙවි සමඟ ඔබට තිබෙන මිත්‍රත්වයට කෙළින්ම බලපානවා. යාකොබ් 1:26හි පවසන මේ දෙයත් සලකා බලන්න. “තම නමස්කාරයට සම්බන්ධ සෑම කටයුත්තක්ම තමන් නිසි ලෙස ඉටු කරනවා කියා යමෙක් සිතාගෙන සිටියත් ඔහු තමාගේ දිව පාලනය කරගන්නේ නැත්නම් ඔහු ඇත්තටම කරන්නේ තමාගේම සිත රවටාගැනීමක්ය. ඒ මිනිසාගේ නමස්කාරය නිෂ්ඵලය.” ඉන් පැහැදිලි වන්නේ ඔබ කරන නමස්කාරය දෙවි පිළිගන්නවාද නැද්ද යන කාරණයට ඔබ කතා කරන ආකාරයත් බලපාන බවයි. දෙවිට උද්‍යෝගයෙන් සේවය කරනවා නම් නිවසේ කුමන වාතාවරණයක් තිබුණත් ප්‍රශ්නයක් නැහැයි කියා සමහරවිට කෙනෙක් සිතනවා විය හැකියි. නමුත් ඒ මතය බයිබලයේ කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඒ නිසා එසේ සිතමින් ඔබ ඔබවම රවටාගන්න එපා. ඇත්තෙන්ම මෙය බැරෑරුම් කාරණයක්. (1 පේතෘස් 3:7 කියවන්න.) ඔබට හොඳ හැකියාවක් තිබෙන්න පුළුවන්. ඔබ යෙහෝවා දෙවිට මහත් උද්‍යෝගයෙන් සේවය කරනවාත් වෙන්න පුළුවන්. නමුත් ඔබ හිතාමතාම ඔබේ සහකරුවාට හෝ සහකාරියට වචනවලින් පහර දෙනවා නම් ඔබ විවාහ සැලැස්මට අගෞරව කරන නිසා ඔබේ නමස්කාරය දෙවි පිළිගන්නේ නැහැ. දෙවි ඉදිරියේ එය නිෂ්ඵල දෙයක්.

13. සහකරුට හෝ සහකාරියට වේදනාවක් ගෙන දිය හැකි දේවල් මොනවාද?

13 වැඩිදුර හිතන්නේ බලන්නේ නැතුව කරන සමහරක් දේවලිනුත් ඔබේ සහකරුට හෝ සහකාරියට වේදනාවක් ගෙන දිය හැකියි. ඒ නිසා එවැනි දේවල් හඳුනාගෙන ඒවායින් වැළකී සිටීමට උත්සාහ කරන්න. ඒ සම්බන්ධයෙන් උදාහරණ දෙකක් සලකා බලමු. තනිව දරුවන් ඇතිදැඩි කරන මවක් උපදෙස් ලබාගැනීම සඳහා ඇගේ සභාවේ සිටින සහෝදරයෙකුට නිතරම දුරකථනයෙන් කතා කරනවා. දෙවෙනි උදාහරණය නම් අවිවාහක සහෝදරයෙක් එක් විවාහක සහෝදරියක් සමඟ සෑම සතියකම සේවයේ හවුල් වෙමින් වැඩි කාලයක් ඇය සමඟ ගත කරනවා. එම උදාහරණවල සඳහන් විවාහක අය ඒ දේවල්වල හවුල් වන්නේ වැරදි චේතනාවෙන් නොවිය හැකියි. නමුත් ඔවුන් ක්‍රියා කරන ආකාරය ඔවුන්ගේ සහකරුට හෝ සහකාරියට කෙසේ බලපානවා ඇද්ද කියා සිතා බලන්න. ඒ හා සමාන තත්වයකට මුහුණ දුන් සහෝදරියක් මෙසේ පැවසුවා. ‘මගේ ස්වාමිපුරුෂයා සභාවේ වෙනත් සහෝදරියක් වෙනුවෙන් සෑහෙන කාලයක් හා අවධානයක් ලබා දෙනවා දකිද්දී මට දැනෙන්නේ පුදුමාකාර වේදනාවක්. මගේ පුරුෂයාට මාව වටින්නේ නැහැයි කියලා මට හිතෙනවා.’

14. (අ) විවාහය සම්බන්ධයෙන් උත්පත්ති 2:24හි සඳහන් මූලික මඟ පෙන්වීම කුමක්ද? (ආ) අප අපෙන්ම අසාගත යුත්තේ කුමක්ද?

14 එවැනි වේදනාවක් දැනීම සාධාරණයි. මන්ද ඔවුන්ගේ සහකරුවා හෝ සහකාරිය විවාහය ගැන දෙවි දී තිබෙන මේ මූලික මඟ පෙන්වීම නොසලකාහරිනවා. “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය.” (උත්පත්ති 2:24) ඉන් අදහස් කරන්නේ කෙනෙක් විවාහ වූ පසු තම දෙමාපියන්ව අමතක කළ යුතු බව නොවෙයි. ඒ වෙනුවට දෙවි පිහිටුවා ඇති සැලැස්මට අනුව විවාහ වූ දෙදෙනෙකුගේ ප්‍රධානතම වගකීම වන්නේ තම සහකරු හෝ සහකාරියගේ අවශ්‍යතා ඉටු කිරීමයි. අපි අපේ සෙසු සහෝදර සහෝදරියන්ට ප්‍රේම කරන නිසා ඔවුන් වෙනුවෙන් කාලය දිය යුතු බව ඇත්තයි. නමුත් විවාහක කෙනෙකු තමාගේ ප්‍රධානතම වගකීම අමතක නොකළ යුතුයි. ඒ නිසා විවාහකයෙකු සෙසු ක්‍රිස්තියානියෙකු සමඟ අනවශ්‍ය කාලයක් ගත කරනවා නම්, විශේෂයෙන්ම ඇසුරු කරන පුද්ගලයා විරුද්ධ ලිංගයේ කෙනෙකු නම් තම සහකරුට හෝ සහකාරියට එම විවාහකයා ගෙන දෙන්නේ මහත් වේදනාවක්. එය ඇත්තෙන්ම ඔවුන්ගේ විවාහ බැඳීමට හානිකරව බලපානවා. ඔබේ විවාහ ජීවිතය තුළත් ප්‍රීතිය නැති වී තිබෙන්නේ එවැනි හේතුවක් නිසා විය හැකිද? ඒ නිසා ඔබ ඔබෙන්ම මෙසේ අසාගැනීම මොන තරම් වැදගත්ද! ‘මගේ සහකරුට හෝ සහකාරියට මම දිය යුතු කාලය, අවධානය හා ආදරය මම ඇත්තටම ලබා දෙනවාද?’

15. මතෙව් 5:28ට අනුව විවාහකයෙක් තම සහකරු හෝ සහකාරිය නොවන විරුද්ධ ලිංගයේ කෙනෙකුට අනවශ්‍ය අවධානයක් දීමෙන් වැළකී සිටිය යුත්තේ ඇයි?

15 විවාහක ක්‍රිස්තියානියෙක් තම සහකරු හෝ සහකාරිය නොවන විරුද්ධ ලිංගයේ කෙනෙකුට අනවශ්‍ය අවධානයක් දෙනවා නම් ඔහු හෝ ඇය අත වනන්නේ මහත් අනතුරකටයි. කනගාටුදායක ලෙස සමහරක් විවාහකයන් තම සහකරු හෝ සහකාරිය නොවන එවැනි කෙනෙකු කෙරෙහි ආදර හැඟීම් ඇති කරගෙන තිබෙනවා. (මතෙව් 5:28) එහි ප්‍රතිඵලයක් ලෙස විවාහයට වඩාත් අගෞරවයක් ගෙනෙන බරපතළ වරදක් කිරීමට පවා ඔවුන් පෙලඹෙනවා. පාවුල් ඒ ගැන පවසන දේ දැන් අපි සලකා බලමු.

“විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි”

16. පාවුල් විවාහකයන්ට දුන් අනතුරු ඇඟවීම කුමක්ද?

16 “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි” කියා පැවසීමෙන් පසු පාවුල් මේ අනතුරු ඇඟවීම ලබා දුන්නා. “විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි. මන්ද වේශ්‍යාකමෙහි සහ අනාචාරයෙහි යෙදෙන සියලුදෙනාටම දෙවිගේ විනිශ්චය ලැබේ.” (හෙබ්‍රෙව් 13:4) “විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි” කියා පැවසූ විට පාවුල් ඉන් අදහස් කළේ ලිංගික සම්බන්ධකම් විවාහ වී සිටින දෙදෙනාට පමණක් සීමා විය යුතු බවයි. ඒ අනුව, “ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න” කියා දෙවි පවසන දෙයට එකඟව සැබෑ ක්‍රිස්තියානීන් ජීවත් වෙනවා.—හිතෝපදේශ 5:18.

17. (අ) අනාචාරය සම්බන්ධයෙන් බහුතරයක් මිනිසුන් දරන මතය ක්‍රිස්තියානීන් දැරීම සුදුසු නැත්තේ ඇයි? (ආ) යෝබ්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

17 තම සහකරුවා හෝ සහකාරිය හැර වෙනත් කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන කෙනෙකු පෙන්වන්නේ දෙවිගේ නීති ගැන තමන්ට කිසි තැකීමක් නැති බවයි. විවාහකයෙකු අනාචාරයේ යෙදීම අද සමාජයේ සලකන්නේ සාමාන්‍ය දෙයක් ලෙසයි. බහුතරයක් මිනිසුන් එය සාමාන්‍ය දෙයක් ලෙස සැලකූ පමණින් ක්‍රිස්තියානීන් ඒ මතය දැරීම සුදුසු නැහැ. මන්ද, “වේශ්‍යාකමෙහි සහ අනාචාරයෙහි යෙදෙන සියලුදෙනාටම” මුහුණ දීමට සිදු වන්නේ මිනිසුන්ගේ නොව, ‘දෙවිගේ විනිශ්චයටයි.’ (හෙබ්‍රෙව් 10:31; 12:29) ඒ අනුව සැබෑ ක්‍රිස්තියානීන් මේ සම්බන්ධයෙන් දෙවි දී තිබෙන නීතිවලට ඇලී සිටීමට උත්සාහ කරන්නේ හොඳ හේතු ඇතුවයි. (රෝම 12:9 කියවන්න.) අනාචාරයට මඟ පෑදිය හැකි දේවලින් පවා වැළකී සිටීමට යෝබ් ගත් පියවරෙන් අද දින ක්‍රිස්තියානීන්ට වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. බයිබලයේ පවසන්නේ ඔහු, ‘තම දෑස් සමඟ ගිවිසුමක් ඇති කරගත්’ බවයි. (යෝබ් 31:1) සැබෑ ක්‍රිස්තියානීන්ද යෝබ් මෙන් තම සහකරුවා හෝ සහකාරිය නොවන වෙනත් කෙනෙකු දෙස ආශාවෙන් නොබැලීමට වගබලා ගන්නවා.—උපග්‍රන්ථයේ “දික්කසාදය හා එකිනෙකාගෙන් වෙන් වීම” කියන ලිපිය බලන්න.

18. (අ) අනාචාරයේ යෙදීම දෙවි සලකන්නේ කෙසේද? (ආ) රූප නමස්කාරය හා අනාචාරයේ යෙදීම අතර ඇති සමානකම් මොනවාද?

18 විවාහකයෙකු අනාචාරයේ යෙදීම ගැන දෙවිට හැඟෙන ආකාරය සම්බන්ධයෙන් දෙවි මෝසෙස්ට දුන් නීතියෙන් අපට තවදුරටත් තේරුම්ගත හැකියි. ඒ නීතියට අනුව රූප නමස්කාරයේ යෙදීම හා අනාචාරයේ යෙදීම එක හා සමාන වැරදි ලෙස ගණන් ගනු ලැබුවා. (ලෙවී කතාව 20:2, 10) ඊශ්‍රායෙලිතයෙකු රූපයකට නමස්කාර කිරීම දෙවිට කරන ද්‍රෝහිකමක් වුණා. මන්ද එසේ කිරීමෙන් දෙවි සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම ඔහු කඩ කළා. ඒ හා සමානව විවාහකයෙකු අනාචාරයේ යෙදීම තම සහකරුට හෝ සහකාරියට කරන ද්‍රෝහිකමක් වුණා. මන්ද එම තැනැත්තා එකිනෙකා අතර ඇති කරගත් ගිවිසුම කඩ කරනවා. (නික්මයාම 19:5, 6; ද්විතීය කතාව 5:9; මලාකි 2:14 කියවන්න.) ඒ නිසයි රූප නමස්කාර කරන කෙනෙකුට හා අනාචාරයේ යෙදෙන කෙනෙකුට එකම දඬුවම එනම්, මරණ දඬුවම නියම කර තිබුණේ. ඉන් පැහැදිලි වන්නේ විශ්වාසවන්ත දෙවි වූ යෙහෝවා ද්‍රෝහිකම් කරන එවැනි අයව බරපතළ වැරදිකරුවන් ලෙස ගණන් ගනු ලබන බවයි.—ගීතාවලිය 33:4.

19. අනාචාරයෙන් වැළකී සිටීමට අප ගෙන ඇති අධිෂ්ඨානය තවත් ශක්තිමත් විය හැක්කේ කුමකින්ද? එසේ පැවසීමට හේතුව කුමක්ද?

19 ක්‍රිස්තියානීන් අද මෝසෙස්ට දුන් නීතිය යටතේ නොසිටියත් අනාචාරයේ යෙදීම දෙවි කොතරම් බරපතළ දෙයක් ලෙස සලකනවාද යන්න ගැන එම නීතියෙන් අපට තේරුම්ගත හැකියි. ඒ කාරණය සිහියේ තබාගැනීමෙන් අනාචාරයෙන් වැළකී සිටීමට අප ගෙන තිබෙන අධිෂ්ඨානය තවත් ශක්තිමත් විය හැකියි. මේ ගැන ටිකක් සිතන්න. ආගමික ස්ථානයකට ගොස් එහි තිබෙන රූපයක් ඉදිරියේ අපි වැඳ වැටෙනවාද? කොහෙත්ම නැහැ. එසේ කළොත් අපට විශාල මුදල් ප්‍රමාණයක් දෙනවා කියා පැවසුවත් අප එසේ කරයිද? කොහොමටවත් නැහැ. මන්ද රූපයක් ඉදිරියේ වැඳ වැටීම අපට ඉතා පිළිකුල් දෙයක්. එමෙන්ම එසේ කිරීම අපේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ද්‍රෝහිකමක් බවත් අප දන්නවා. ඒ හා සමානව අනාචාරයේ යෙදීමත් අප සැලකිය යුත්තේ පිළිකුල් දෙයක් ලෙසයි. එසේ කිරීම අපේ සහකරුට හෝ සහකාරියට පමණක් නොව යෙහෝවා දෙවිටද කරන ද්‍රෝහිකමක් බව අප දන්නවා. එමනිසා අනාචාරයේ යෙදීමට කොතරම් ප්‍රබල පෙලඹීමක් තිබුණත් ඉන් වැළකී සිටීමට අප පියවර ගත යුතුයි. (ගීතාවලිය 51:1, 4; කොලොස්සි 3:5) මන්ද සාතන්ව සතුටු කිරීමටවත් යෙහෝවා දෙවි ඇති කළ විවාහ සැලැස්මට අගෞරව කිරීමෙන් දෙවිගේ නාමයට කැළැලක් ඇති කිරීමටවත් අප තුළ කැමැත්තක් නැහැ.

බැඳීම ශක්තිමත් කරන දේවල්

20. සමහර විවාහයන්ට සිදු විය හැක්කේ කුමක්ද? පැහැදිලි කරන්න.

20 ඒ අනුව විවාහ බැඳීමට හානියක් විය හැකි එවැනි දේවලින් වැළකී සිටින අතරතුර විවාහ බැඳීම ශක්තිමත් කිරීමට යම් පියවර ගැනීමද ඉතා වැදගත්. උදාහරණයකට විවාහය නිවසකට සමානයි කියා සිතන්න. විවාහක යුවළක් එකිනෙකාට පවසන කාරුණික වදන්, එකිනෙකා වෙනුවෙන් කරන කාරුණික ක්‍රියා හා එකිනෙකාට ගෞරවයෙන් සැලකීම නිවසක් අලංකාරවත් කිරීමට භාවිත කරන විවිධ දේවල් වගෙයි. එසේනම් විවාහ බැඳීම ශක්තිමත්ව තිබෙන විවාහයක් වර්ණවත්ව, ප්‍රියමනාප අයුරින් සකසා තිබෙන නිවහනක් කියා පැවසිය හැකියි. නමුත් දෙදෙනා අතරේ ආදරය අඩු වී යන විට එය ලස්සනට සකසා නැති අඳුරු නිවසක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් නිවසක් අපට බොහෝ සෙයින් වටින නිසා එය ගරාවැටෙන්න අප ඉඩ දෙන්නේ නැහැ. කෙසේ හෝ එහි අලුත්වැඩියා කටයුතු කර ඒ නිවස අප යථා තත්වයට පත් කරනවා. ඒ හා සමානව අපේ විවාහයත් දෙවි ඉදිරියේ ගෞරවනීය මෙන්ම වටිනා දෙයක් බව අපි දන්නවා. ඒ නිසා බිඳ වැටෙමින් තිබෙන විවාහ බැඳීම නැවත ශක්තිමත් කිරීමට උත්සාහ දැරිය යුතුයි. එය කළ හැක්කේ කෙසේද? හිතෝපදේශ 24:3, 4හි පවසන්නේ, “ප්‍රඥාවෙන් නිවසක් ගොඩනැඟෙයි. වටහාගැනීමේ හැකියාවෙන් එය ස්ථිරව පිහිටුවනු ලැබේ. දැනගැන්ම නිසා එහි කාමර ඉතා අනර්ඝ මෙන්ම ප්‍රසන්න වූ සෑම දෙයකින්ම පිරී තිබේ” කියායි.

21. විවාහ බැඳීම ශක්තිමත් කරගත හැක්කේ කෙසේද? ( මට කළ හැක්කේ කුමක්ද?” යන කොටුවද බලන්න.)

21 නිවසකට සමාන අපේ විවාහයේ පිරී තිබිය යුතු ‘අනර්ඝ දේවල්’ මොනවාද? සැබෑ ප්‍රේමය, දේවගරුබිය හා විශ්වාසයයි. (හිතෝපදේශ 15:16, 17; 1 පේතෘස් 1:7) ඇත්තෙන්ම ඒවා ශක්තිමත් විවාහයකට දායක වෙනවා. හිතෝපදේශ 24:4හි පවසන ආකාරයට, ‘නිවසෙහි තිබෙන කාමර අනර්ඝ දේවලින් පිරී තිබෙන්නේ’ කුමක් නිසාද? එහි පවසන්නේ ඒ දේ, “දැනගැන්ම නිසා” සිදු වන බවයි. විවාහක යුවළක් බයිබලයේ තිබෙන දැනුම ලබාගෙන ඒවා ඔවුන්ගේ ජීවිතවලට අදාළ කරගැනීමට උත්සාහ දරන විට එකිනෙකා සිතන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරගැනීමට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දෙදෙනා අතර තිබූ ප්‍රේමය නැවත ඇති කරගැනීම සඳහා පියවර ගැනීමට හැකි වෙනවා. (රෝම 12:2; ෆිලිප්පි 1:9) යුවළක් එක්ව බයිබලයේ කොටසක් විශේෂයෙන් දිනපදය හෝ පවුල් ජීවිතයට සම්බන්ධ මුරටැඹ හෝ පිබිදෙව්! කලාපයේ ලිපියක් නිදහසේ සාකච්ඡා කරන විට එය හරියට නිවසක් අලංකාරවත් කළ හැකි දේවල් මිල දී ගැනීමට පෙර හොඳින් නිරීක්ෂණය කරනවා හා සමානයි. සලකා බැලූ එම තොරතුරු දෙවි කෙරෙහි ඇති ප්‍රේමය නිසා අදාළ කරගැනීමට යුවළක් පෙලඹෙන විට එය හරියට ගැනීමට අදහස් කළ අලංකාරවත් දේවල් මිල දී ගෙන ඒ දේවලින් කාමර ඇතුළු මුළු නිවසම අලංකාරවත් කරනවා හා සමානයි. එහි ප්‍රතිඵලයක් ලෙස දෙදෙනා අතරේ මුලින් තිබූ ප්‍රේමය නැවත ඇති කරගෙන විවාහ දිවිය ප්‍රීතියෙන් ගත කළ හැකි වෙනවා.

22. විවාහය තුළ අපට හිමි කොටස කිරීමට අප උපරිම උත්සාහයක් දරනවා නම් ඉන් අත් වන ප්‍රතිඵල මොනවාද?

22 අඳුරු වූ නිවසක් ටිකෙන් ටික අලංකාරවත් කිරීමට යම් කාලයක් හා ශ්‍රමයක් වැය වන බව ඇත්තයි. නමුත් විවාහය තුළ අපට හිමි කොටස කිරීමට අප උපරිම උත්සාහයක් දරනවා නම්, “එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ ගන්න” කියා දෙවි දී තිබෙන ආඥාවට අප කීකරු වන බව දන්නා නිසා අපට සැබෑ සතුට අද්දැකිය හැකියි. (රෝම 12:10; ගීතාවලිය 147:11) ඊටත් වඩා වැදගත් දේ වන්නේ අපේ විවාහය ගෞරවනීය දෙයක් ලෙස සැලකීමට අප දරන වෑයම නිසා යෙහෝවා දෙවිගේ ප්‍රේමය දිගටම ලබාගැනීමට අපට හැකි වීමයි.

^ 6 ඡේ. හෙබ්‍රෙව් 13:1-5 දක්වා කොටසෙහි පාවුල් කතා කරමින් සිටියේ ක්‍රිස්තියානියෙකු තම ජීවිතයේ අදාළ කරගත යුතු කාරණා කිහිපයක් සම්බන්ධයෙනුයි.