Skip to content

පටුනට යන්න

12වෙනි පරිච්ඡේදය

‘දිරිගන්වනසුලු දේවල්’ ගැන කතා කරමු

‘දිරිගන්වනසුලු දේවල්’ ගැන කතා කරමු

“ඔබේ මුවින් කිසි අසභ්‍ය වචනයක් පිට වීමට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට . . . යම් දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න.”—එෆීස 4:29.

1-3. (අ) දෙවි අපට ලබා දී තිබෙන එක් වටිනා තෑග්ගක් නම් කරන්න. එය වැරදි අයුරින් භාවිත කළ හැක්කේ කෙසේද? (ආ) දෙවිගේ ප්‍රේමය දිගටම ලබාගැනීමට නම් කතා කිරීමේ හැකියාව අප භාවිත කළ යුත්තේ කෙසේද?

ඔබ ආදරේ කරන කෙනෙකුට ඉතා වටිනා තෑග්ගක් ඔබ දුන්නා කියා සිතන්න. උදාහරණයකට මෝටර් සයිකලයක්. නමුත් ඔහු එය අන් අයට අනතුරක් වන අයුරින් පදවනවා. ඒ ගැන ඔබට දැනගන්න ලැබුණු විට ඔබට කෙසේ හැඟෙයිද? ඔබට මහත් දුකක් දැනෙන බවට කිසිම සැකයක් නැහැ.

2 “සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම” ලබා දෙන යෙහෝවා දෙවිත් මිනිස් වර්ගයාට කතා කිරීමේ හැකියාව නමැති වටිනා තෑග්ග ලබා දී තිබෙනවා. (යාකොබ් 1:17) අප සතු එම හැකියාව නිසා අපේ සිතුවිලි පමණක් නොව අපේ හැඟීම් දැනීම් පවා අන් අය සමඟ බෙදාගැනීමට අපට හැකියි. ඒ අතින් බලද්දී දෙවි අපට දී තිබෙන්නේ සත්ව ලෝකයේ වෙන කිසිම සතෙකුට දී නැති හැකියාවක්. කෙසේවෙතත් දෙවි දී තිබෙන ඒ හැකියාව වැරදි විදිහටත් භාවිත කළ හැකියි. නමුත් ඉහත උදාහරණය ගැන නැවත සිතන්න. ඔබ මෝටර් සයිකලය දුන් තැනැත්තා එය අන් අයට අනතුරක් වන අයුරින් පදවන විට ඔබට ඒ ගැන මහත් දුකක් දැනුණා. ඒ හා සමානව දෙවි අපට දී තිබෙන කතා කිරීමේ හැකියාව අන් අයගේ සිත් රිදවන අයුරින් අප භාවිත කරන විට ඒ ගැන යෙහෝවා දෙවිටත් මහත් දුකක් ඇති වෙනවා.

3 නමුත් අප කැමති වන්නේ දෙවිගේ ප්‍රේමය දිගටම ලබාගැනීමටයි. ඒ නිසා ඔහු දුන් ඒ හැකියාව අප භාවිත කළ යුත්තේ ඔහු කැමති ආකාරයටයි. ඒ සම්බන්ධයෙන් පැහැදිලි මඟ පෙන්වීම් දෙවි අපට ලබා දී තිබෙනවා. උදාහරණයකට ඔහුගේ වචනය වන බයිබලයේ සඳහන් මේ දේ සලකා බලන්න. “ඔබේ මුවින් කිසි අසභ්‍ය වචනයක් පිට වීමට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට සුදුසු අවස්ථාවලදී සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන යම් දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න.” (එෆීස 4:29) ඒ නිසා අපි මේ පරිච්ඡේදයෙන් මේ කාරණා ගැන සලකා බලමු. අප පවසන දේවල් ගැන අප විමසිලිමත් විය යුත්තේ ඇයි? අප වැළකී සිටිය යුත්තේ මොන වගේ කතාබහවලින්ද? දිරිගන්වනසුලු අයුරින් කතා කිරීමට අපට හැක්කේ කෙසේද?

විමසිලිමත් වීමට හේතු

4, 5. වචන සතු බලය ගැන හිතෝපදේශ පොතෙහි සපයන විස්තර මොනවාද?

4 හිතෝපදේශ 15:4හි පවසන්නේ, “සන්සුන්ව දිව හසුරුවන තැනැත්තා දිවි රැක දෙයි. එහෙත් හානිකර ලෙස දිව හසුරුවන තැනැත්තා සිත් බිඳ දමයි” කියායි. * අප කතා කරන දේවල් ගැන විමසිලිමත් විය යුතු එක් වැදගත් හේතුවක් ඉන් පැහැදිලි වෙනවා. එනම් අප පවසන දේවලට කෙනෙකුව ගොඩනැංවීමට හෝ කෙනෙකුව බිඳ දැමීමට හැකියාව තිබෙන බවයි. (හිතෝපදේශ 18:21) මැලවී තිබෙන පැළයකට වතුර ටිකක් දැමූ විට එය නැවත ප්‍රාණවත් වෙනවා හා සමානව සන්සුන්ව හා කාරුණිකව කතා කිරීමෙන් අන් අයට සහනයක් හා ප්‍රබෝධයක් ගෙන දීමට අපට හැකියි. ඊට වෙනස්ව තරහෙන්, අකාරුණිකව පවසන වදන්වලින් කෙනෙකුව මානසිකව බිඳ දැමිය හැකියි.

5 ඒ බව තවදුරටත් කාවද්දමින් තවත් හිතෝපදේශයක මෙසේ පවසා තිබෙනවා. “නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.” (හිතෝපදේශ 12:18) එහි පවසන ආකාරයට සිතන්නේ බලන්නේ නැතුව පවසන වදන්වලින් අන් අයට මහත් වේදනාවක් ගෙන දිය හැකි අතර බැඳීම් පවා කඩා බිඳ දැමිය හැකියි. කෙනෙකු පැවසූ දෙයක් නිසා කඩුවෙන් අනින්නාක් මෙන් මහත් වේදනාවක් ඔබේ හදවතටත් දැනී තිබෙනවාද? ඊට වෙනස්ව එම හිතෝපදේශයේම, “ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි” කියා පවසා තිබෙනවා. ඒ අනුව හොඳින් සිතා බලා දෙවිගෙන් ලැබෙන ප්‍රඥාවට එකඟව පවසන දේවලින් වේදනාවට පත්ව සිටින කෙනෙකුගේ සිතට සහනයක් ගෙන දිය හැකි අතර කැඩී බිඳී ගිය බැඳීම් නැවත ශක්තිමත් කළ හැකියි. කෙනෙකුගේ කාරුණික වදනකින් ඔබේ සිතට සහනයක්, සැනසුමක් දැනුණු අවස්ථාවක් ඔබට මතකද? (හිතෝපදේශ 16:24 කියවන්න.) අන් අය පවසන දේවල් ඔබේ හදවතට බලපෑම් කළ ලෙස ඔබ පවසන දේවල් අන් අයටත් බලපාන බව තේරුම්ගෙන සිටීම, පැවසීමට යන දේ ගැන දෙවරක් සිතීමට මහත් උපකාරයක්.

කාරුණිකව කතා කිරීම අන් අයට සහනයක්

6. දිව පාලනය කිරීම අභියෝගයක් වන්නේ ඇයි?

6 ඒ කෙසේවෙතත් අපේ දිව පාලනයකින් යුතුව හැසිරවීම සෑමවිටම ලෙහෙසි දෙයක් නොවෙයි. මන්ද අප පව්කාර ස්වභාවය උරුම කරගෙන සිටින අය නිසා අඥාන ලෙස කතා කිරීමට අප තුළ සහජ නැඹුරුවාවක් තිබෙනවා. අප පවසන දේවල් ගැන විමසිලිමත් විය යුතු දෙවෙනි හේතුව එයයි. අපේ මුවින් පිට වන්නේ අපේ සිතේ තිබෙන දේවලුයි. (ලූක් 6:45) බයිබලයේ අපේ සිත ගැන පවසන්නේ, ‘එය නපුරටම යොමු වී තිබෙන’ බවයි. (උත්පත්ති 8:21) ඒ නිසා අපේ දිව සියයට සියයක්ම පාලනය කිරීම ඇත්තෙන්ම අභියෝගයක්. (යාකොබ් 3:2-4 කියවන්න.) නමුත් ඉන් අදහස් කරන්නේ අපේ දිව අපට කොහොමටවත් පාලනය කිරීමට නොහැකි බවද? සාමාන්‍යයෙන් ගඟක් ගලන දිශාවට පිහිනීම ලෙහෙසි කාර්යයක්. නමුත් ගඟ ගලන දිශාවට නොව ඊට විරුද්ධ දිශාවට පිහිනීම ඉතා අපහසුයි. කෙසේවෙතත් ඒ සඳහා දැඩි වෙහෙසක් දැරුවොත් එය කිරීමට නොහැකි දෙයකුත් නොවෙයි. ඒ හා සමානව අප තුළ තිබෙන නැඹුරුවාව නිසා දිව පාලනය කිරීම අභියෝගයක් වුණත් දැඩි වෑයමක් දරනවා නම් එය ජය ගත හැකියි.

7, 8. අප පවසන දේවල් ගැන දෙවිට ගණන් දිය යුතුයි යන කාරණය අප කොතරම් බැරෑරුම් දෙයක් ලෙස සැලකිය යුතුද?

7 අප පවසන දේවල් ගැන විමසිලිමත් විය යුතු තුන්වෙනි හේතුව වන්නේ ඒ සම්බන්ධයෙන් අප දෙවිට ගණන් දිය යුතු නිසයි. අපේ මුවින් පිට වන වචන අන් අයට පමණක් නොව යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වයටත් බලපානවා. යාකොබ් 1:26හි පවසන්නේ, “තම නමස්කාරයට සම්බන්ධ සෑම කටයුත්තක්ම තමන් නිසි ලෙස ඉටු කරනවා කියා යමෙක් සිතාගෙන සිටියත් ඔහු තමාගේ දිව පාලනය කරගන්නේ නැත්නම් ඔහු ඇත්තටම කරන්නේ තමාගේම සිත රවටාගැනීමක්ය. ඒ මිනිසාගේ නමස්කාරය නිෂ්ඵලය” කියායි. * කලින් පරිච්ඡේදයේ අප ඉගෙනගත් ආකාරයට අපේ කතාබහ අප කරන නමස්කාරය දෙවි පිළිගන්නවාද නැද්ද යන කාරණයට බලපානවා. ඒ අනුව අප අපේ දිව පාලනය කරගන්නේ නැත්නම් එනම්, අන් අයගේ සිත් රිදවන අයුරින් හෝ අන් අයට හානිකර අයුරින් අප වචන හසුරුවනවා නම් අප දෙවිට කොතරම් උද්‍යෝගයෙන් සේවය කළත් ඉන් පලක් නැහැ. අපේ කතාබහ ගැන විමසිලිමත් වීමට එය ප්‍රබල හේතුවක් නොවේද!—යාකොබ් 3:8-10.

8 ඉහත සලකා බැලූ හේතු තුනෙන්ම පැහැදිලි වන්නේ අප අපේ දිව පාලනය කිරීමට දැඩි වෑයමක් දැරීම අත්‍යවශ්‍ය බවයි. සැබෑ ක්‍රිස්තියානීන් වන අප, වැළකී සිටිය යුත්තේ මොන වගේ කතාබහවලින්ද කියා දැන් අපි සලකා බලමු.

හානිකර කතා

9, 10. (අ) අද සමාජයේ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන්නේ මොන වගේ කතාබහද? (ආ) අසභ්‍ය කථා අප පිළිකුල් කළ යුත්තේ ඇයි? (පාදසටහනද බලන්න.)

9 අසභ්‍ය කථා. අද සමාජයේ බොහෝදෙනෙක් ඔවුන්ගේ එදිනෙදා කතාබහේදී අසභ්‍ය වචන භාවිත කරන අතර අසභ්‍ය දේවල් ගැනද කතාබහ කරනවා. එමෙන්ම අද එය සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. බොහෝදෙනෙකු තමන් පවසන දේ ප්‍රබලව කාවැද්දීම සඳහා හෝ කෝපය පිට කිරීම සඳහා අසභ්‍ය වචන භාවිත කරනවා. තවත් සමහර අය භාවිත කළ යුතු නිවැරදි වචන ගැන අවබෝධයක් නැති නිසා අසභ්‍ය වචන භාවිත කිරීමට පෙලඹෙනවා. එමෙන්ම විකට චරිත රඟපාන අය මිනිසුන්ව හිනැස්සීමට යොදාගන්නෙත් අසභ්‍ය කතායි. කෙසේවෙතත් අසභ්‍ය වචන භාවිතය හෝ අසභ්‍ය කතාබහ සැහැල්ලුවට ගත යුතු දෙයක් නම් නොවෙයි. අවුරුදු 2,000කට පමණ පෙර පාවුල් දෙවිගේ මඟ පෙන්වීමෙන් කොලොස්සි සභාවට මෙවැනි අවවාදයක් දුන්නා. “ඔබේ මුවින් කිසි අසභ්‍ය කථාවක් පිට නොවිය යුතුයි.” (කොලොස්සි 3:8) “අසභ්‍ය විහිළු” සැබෑ ක්‍රිස්තියානීන් අතරේ ‘සඳහන් කිරීමවත් සුදුසු නැති’ බව පාවුල් එෆීස සභාවටත් පැවසුවා.—එෆීස 5:3, 4.

10 ඇත්තෙන්ම අසභ්‍ය කථා යෙහෝවා දෙවිට පිළිකුල්. එමෙන්ම යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමයක් තිබෙන අයත් එවැනි දේවලට පිළිකුල් කරනවා. අපටත් දෙවි කෙරෙහි සැබෑ ප්‍රේමයක් තිබෙනවා නම් එවැනි දේවලින් සම්පූර්ණයෙන්ම ඈත්ව සිටීමට අපි පෙලඹෙනවා. පාවුල් සඳහන් කළ ආකාරයට, කෙනෙකු “පව්කාර ආශාවන්වලට” වහල් වී කරන ක්‍රියා අතරට “අපවිත්‍රකම” ඇතුළත් වෙනවා. (ගලාති 5:19-21) ‘අපවිත්‍රකමට’ පහත් කතාබහ එනම්, අසභ්‍ය කථා ඇතුළත් වෙනවා. ඒ කාරණාවලින් පැහැදිලි වන්නේ ක්‍රිස්තියානීන් වන අප, එවැනි කතාබහ සැහැල්ලුවට නොගත යුතු බවයි. සභාවේ සිටින කෙනෙකුට අසභ්‍ය කථා සම්බන්ධයෙන් උපදෙස් දී තිබුණත් ඔහු කිසි පසුතැවිල්ලක් නොපෙන්වමින් පුරුද්දක් ලෙස දිගින් දිගටම අසභ්‍ය වචන භාවිත කරනවා නම් හෝ පහත්, නොහොබිනා ක්‍රියාවලට දිරි දෙන අයුරින් කතාබහ කරනවා නම් ඔහුව සභා සාමාජිකත්වයෙන් පවා ඉවත් කළ හැකියි. *

11, 12. (අ) සාමාන්‍යයෙන් අප පුරුදු වී සිටින්නේ කුමක් කිරීමටද? නමුත් එය හානිකර දෙයක් බවට පත් විය හැක්කේ කෙසේද? (ආ) චරිත ඝාතනය කිරීමෙන් අප වැළකී සිටිය යුත්තේ ඇයි?

11 හානිකර ඕපාදූප හා චරිත ඝාතනය. අන් අය ගැන හා ඔවුන්ගේ ජීවිතයේ යම් සිදුවීම් ගැන කතාබහ කිරීමට සාමාන්‍යයෙන් අප පුරුදු වී සිටිනවා. එය හානිකර දෙයක්ද? අපි එකිනෙකා සමඟ බෙදාගන්නේ අන් අයගේ යහපත් තොරතුරු නම් එය හානිකර දෙයක් කියා පැවසිය නොහැකියි. උදාහරණයකට ළඟදී බව්තීස්ම වුණේ කවුද, සභාවේ යම් උපකාරයක් අවශ්‍ය කාටද වැනි තොරතුරු බෙදාගැනීම ප්‍රයෝජනවත්. පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන්ද සෙසු සහෝදර සහෝදරියන් ගැන සැලකිලිමත් වූ අතර ප්‍රයෝජනවත් කියා සිතූ තොරතුරු එකිනෙකා අතරේ බෙදාගත්තා. (එෆීස 6:21, 22; කොලොස්සි 4:8, 9) නමුත් අන් අය ගැන වැරදි තොරතුරු හෝ ඔවුන්ගේ පෞද්ගලික කාරණා ගැන එකිනෙකා සමඟ කතා කරනවා නම් එය හානිකර ඕපාදූප කියා පැවසිය හැකියි. මෙහිදී වඩා භයානක දෙය වන්නේ කෙනෙකු ගැන අමූලික බොරු කියමින් ඔහුගේ චරිතය ඝාතනය කිරීමයි. පරිසිවරුන්ද යේසුස්ගේ චරිතය ඝාතනය කිරීමේ අරමුණින් ඔහු ගැන අමූලික බොරු පැවසුවා. (මතෙව් 9:32-34; 12:22-24) හානිකර ඕපාදූප චරිත ඝාතනයට මඟ පෑදිය හැකි අතර විවාද හා ආරවුල් දක්වා දුර දිග යා හැකියි.—හිතෝපදේශ 26:20.

12 තෑග්ගක් ලෙස දෙවි දී තිබෙන කතා කිරීමේ හැකියාව අන් අයව අගෞරවයට පත් කිරීමට හෝ එකිනෙකා අතරේ භේද ඇති කිරීමට යොදාගන්නවා නම් එය යෙහෝවා දෙවි කිසිවිටකත් සැහැල්ලුවට ගන්නේ නැහැ. “සහෝදරයන් අතර භේද පතුරුවන” අයට දෙවි ද්වේෂ කරනවා. (හිතෝපදේශ 6:16-19) අනුන්ට අපහාස කරමින් චරිත ඝාතනය කරන කෙනෙකුව විස්තර කිරීමට භාවිත කර තිබෙන ග්‍රීක වචනය (ඩයාබොලොස් එනම් “යක්ෂයා”) සාතන් සඳහාත් භාවිත කර තිබෙනවා. (එළිදරව් 12:9, 10) දෙවිට අපහාස කරන ඔහුව එසේ හැඳින්වීම මොන තරම් උචිතද! ඒ අනුව අප අන් අයට අපහාස කරමින් චරිත ඝාතනය කරනවා නම් අපිත් යක්ෂයන් බවට පත් වෙනවා. එසේනම් එවැනි කතාබහෙන් වැළකී සිටීම මොන තරම් වැදගත්ද! එමෙන්ම එවැනි කතාබහෙන්, “විවාද, භේද” වැනි පව්කාර ක්‍රියා ඇති විය හැකි නිසා සභාව තුළ එවැනි අයට කිසිම ඉඩක් නැහැ. (ගලාති 5:19-21) ඒ නිසා යම් කෙනෙකු ගැන ඔබ දැනගත් තොරතුරක් තවත් කෙනෙකුට පැවසීමට කලින් ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘එය සත්‍ය තොරතුරක්ද? ඒ ගැන තවත් කෙනෙකුට පවසන එක ප්‍රේමණීය දෙයක්ද? ඒ ගැන අන් අයට පැවසිය යුතුද? එසේ කිරීම ඥානවන්තද?’—1 තෙසලෝනික 4:11 කියවන්න.

13, 14. (අ) නින්දාසහගත ලෙස කතා කිරීම අන් අයට බලපාන්නේ කෙසේද? (ආ) අන් අයව නින්දාවට පත් කරන කෙනෙක් මහත් අවදානමක සිටිනවා කියා පැවසිය හැක්කේ ඇයි?

13 නින්දාසහගත කතා. කලින් සඳහන් කළ ලෙස වචන හසුරුවන ආකාරය නිසා සිතට වේදනාවක් ගෙන දිය හැකියි. අප තුළ තිබෙන පව්කාර ස්වභාවය නිසා අප හැම කෙනෙක්ම ඇතැම් අවස්ථාවලදී සිතන්නේ බලන්නේ නැතුව කතා කර ඇති. ඒ ගැන අප පසුතැවිලත් ඇති. කෙසේවෙතත් ක්‍රිස්තියානි පවුලක් තුළ හෝ සභාව තුළ නොතිබිය යුතු කතා විලාසයක් ගැන පාවුල් මෙසේ සඳහන් කළා. “දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා . . . ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න.” (එෆීස 4:31) වෙනත් බයිබල් අනුවාදවල “නින්දාසහගත කතා” යන යෙදුම “නපුරු වචන,” “හානිකර කතා” හා “පහත් කතා” ලෙස පරිවර්තනය කර තිබෙනවා. එමෙන්ම නින්දාසහගත වචනවලින් කෙනෙකුව ආමන්ත්‍රණය කිරීම හා ඉතා කුරිරු අන්දමින් නිරතුරුවම කෙනෙකුව විවේචනය කිරීම ඊට ඇතුළත් වෙනවා. එවැනි කතාවලින් කෙනෙකුගේ ආත්මගරුත්වය නැති කරන අතර තමා කිසි වැඩකට නැති පුද්ගලයෙක් යන හැඟීම ඔහු තුළ ඇති කරනවා. විශේෂයෙන්ම දරුවන්ගේ සිත් එවැනි වදන් නිසා බිඳ වැටිය හැකියි. මන්ද ඔවුන්ට තිබෙන්නේ ඉතා සියුමැලි හදවත්. එමෙන්ම වැඩිහිටියන් පවසන දේවල් ගැන ඔවුන්ට මහත් විශ්වාසයක් තිබෙනවා.—කොලොස්සි 3:21.

14 නිතරම නිග්‍රහත්මක දේවල් පවසමින් අන් අයව නින්දාවට පත් කරන කෙනෙකුව බයිබලයේ දැඩි ලෙස හෙළාදකිනවා. එලෙස කතා කිරීමට පුරුදු වී සිටින කෙනෙක් කරන්නේ තමාවම අවදානම් සහිත තත්වයකට ඇද දැමීමයි. එවැනි කෙනෙකුට ඒ සම්බන්ධයෙන් උපදෙස් දී තිබුණත් ඔහු ඒවා අදාළ කරගන්නේ නැත්නම් ඔහුව සභා සාමාජිකත්වයෙන් පවා ඉවත් කළ හැකියි. ඔහු තම පුරුද්ද වෙනස් නොකර දිගින් දිගටම කටයුතු කළොත් සදහටම දෙවිගේ ආශීර්වාද ඔහුට අහිමි විය හැකියි. (1 කොරින්ති 5:11-13; 6:9, 10) එසේනම් දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට නම් නොහොබිනා, බොරු හා අකාරුණිකව දේවල් පැවසීමේ පුරුද්ද අප සම්පූර්ණයෙන්ම අත්හැර දැමීම මොන තරම් වැදගත්ද!

‘දිරිගන්වනසුලු දේවල්’ ගැන කතා කරමු

15. ‘දිරිගන්වනසුලු අයුරින්’ කතා කිරීමට නම් අප මතක තබාගත යුතු ප්‍රතිපත්ති මොනවාද?

15 යෙහෝවා දෙවි ලබා දුන් කතා කිරීමේ හැකියාව ඔහු සතුටු වන ආකාරයෙන් අපට භාවිත කළ හැක්කේ කෙසේද? කලින් සඳහන් කළ ලෙස බයිබලයේ අපට උනන්දු කර තිබෙන්නේ, “යම් දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න” කියායි. (එෆීස 4:29) එහි උනන්දු කර තිබෙන ආකාරයට අන් අයව ගොඩනංවන හා ශක්තිමත් කරන අයුරින් අප කතා කරන විට යෙහෝවා දෙවි ඒ ගැන බොහෝ සෙයින් සතුටු වෙනවා. නමුත් එසේ කිරීමට අපට සහජ නැඹුරුවාවක් නැති බව මතක තබාගත යුතුයි. ඒ නිසා අප පවසන දේවල් ගැන කල්පනාකාරී වීම කොතරම් වැදගත්ද! අපේ කතාබහ දිරිගන්වනසුලු වීමට නම් මෙවැනි නීති අනුගමනය කළ යුතුයි කියාවත් භාවිත කළ යුතු වචන සම්බන්ධයෙන් ලැයිස්තුවක්වත් බයිබලයේ සඳහන් වී නැහැ. නමුත් ‘දිරිගන්වනසුලු අයුරින්’ කතා කිරීමට නම් මේ ප්‍රතිපත්ති තුන මතක තබාගත යුතුයි. පළමු එක නම් අපේ කතාබහ හානිකර නොවිය යුතුයි. දෙවෙනි එක නම් අපි කතා කරන දේවලට බොරු තොරතුරු ඇතුළත් නොවිය යුතුයි. අවසාන එක නම් අපි අකාරුණිකව කතා නොකළ යුතුයි. අපේ එදිනෙදා ජීවිතයේදී එම ප්‍රතිපත්ති තුන අදාළ කරගත හැකි පැති කිහිපයක් දැන් අපි සලකා බලමු.—“ මා කතා කරන්නේ දිරිගන්වනසුලු අයුරින්ද?” යන කොටුව බලන්න.

16, 17. (අ) අන් අයව ප්‍රශංසා කළ යුත්තේ ඇයි? (ආ) සභාව තුළ හා පවුල තුළ අන් අයව ප්‍රශංසාවට පත් කළ හැකි අවස්ථා මොනවාද?

16 අවංකව ප්‍රශංසා කිරීම. කෙනෙකුව අගය කිරීමේ හා ප්‍රශංසා කිරීමේ වැදගත්කම යෙහෝවා දෙවි හා යේසුස් හොඳින් දන්නවා. (මතෙව් 3:17; 25:19-23; යොහන් 1:47) ඔවුන්ව ආදර්ශයට ගන්නා අපත් අන් අයව අවංකව ප්‍රශංසා කළ යුතුයි. හිතෝපදේශ 15:23හි මෙවැනි දෙයක් පවසන්නේ ඒ නිසයි. “සුදුසු අවස්ථාවේදී පවසන හොඳ වචන කොතරම් වටින්නේද!” මේ ගැන ටිකක් සිතා බලන්න. ඔබව යම් කෙනෙක් ප්‍රශංසාවට පත් කරන විට ඔබට ඒ ගැන හැඟෙන්නේ කෙසේද? ඔබ ඉන් මහත් සතුටක් හා දිරිගැන්වීමක් ලබන්නේ නැද්ද? ඇත්තටම කෙනෙකු අපව අවංකව ප්‍රශංසා කිරීමෙන් පැහැදිලි වන්නේ ඒ පුද්ගලයා අප ගැන සැලකිලිමත් බවයි. ඔහුට අපව වටින බවයි. එමෙන්ම අප යම් දෙයක් කිරීමට දැරූ උත්සාහය සාර්ථක බවත් ඉන් පැහැදිලි වෙනවා. එවැනි හැඟීම් අපේ ආත්මවිශ්වාසය තවත් ශක්තිමත් කරන අතර ඉදිරියේදී ඊටත් වඩා හොඳින් දේවල් කිරීමට අප තුළ මහත් පෙලඹීමක් ඇති කරනවා. ප්‍රශංසාවක් ලැබීමෙන් ඔබ එතරම් දිරිගැන්වීමක් ලබනවා නම් අනික් අයවත් ප්‍රශංසාවට ලක් කිරීමට උපරිම උත්සාහයක් දැරීම මොන තරම් වැදගත්ද!—මතෙව් 7:12 කියවන්න.

17 එසේ කිරීමට අන් අය තුළ තිබෙන හොඳ ගුණාංග හා ඔවුන් කරන යහපත් ක්‍රියා දැකීමට පුරුදු වන්න. උදාහරණයකට කෙනෙකු රැස්වීමකදී හොඳින් ගොඩනැංවූ කතාවක් ඉදිරිපත් කළා කියා සිතන්න. නැත්නම් යෞවනයෙකු දෙවිට වැඩි සේවයක් කිරීමට මහත් උත්සාහයක් දරනවා කියා සිතන්න. එසේත් නැත්නම් කොතරම් අපහසුතා තිබුණත් දිගටම රැස්වීම්වලට පැමිණීමට වයසක කෙනෙකු උත්සාහ කරනවා කියා සිතන්න. එවැනි අයව අප අවංකව අගය කරමින් ප්‍රශංසාවට ලක් කරනවා නම් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට එය ඔවුන්ට මහත් දිරිගැන්වීමක් වන බව නිසැකයි. පවුල තුළත් පුරුෂයා හා භාර්යාව එකිනෙකාව අවංකව අගය කිරීම හා ප්‍රශංසා කිරීම අත්‍යවශ්‍යයි. (හිතෝපදේශ 31:10, 28) විශේෂයෙන්ම දරුවන්ව ප්‍රශංසාවට ලක් කරන විට එය ඔවුන්ගේ මානසික වර්ධනයට බොහෝ සෙයින් උපකාරවත් වෙනවා. සාමාන්‍යයෙන් පැළයකට හිරු එළිය හා වතුර ලැබෙන විට එය හොඳින් වර්ධනය වෙනවා හා සමානව දරුවන්ගේ වර්ධනයට ඔවුන් කරන දේවල් අගය කිරීම හා ඔවුන්ට ප්‍රශංසා කිරීම දායක වෙනවා. ඒ නිසා දෙමාපියෙනි, ඔබේ දරුවන් තුළ තිබෙන හොඳ ගුණාංග හා ඔවුන් දරන උත්සාහයන් අගය කරමින් ඔවුන්ට ප්‍රශංසා කරන්න. ඔබ එසේ කරන විට ඔවුන්ට තමන් ගැන හොඳ හැඟීමක් ඇති වන අතර අභියෝග මැද පවා හරි දේ කිරීමට ඔවුන් තුළ මහත් පෙලඹීමක් ඇති වෙනවා.

18, 19. සෙසු ක්‍රිස්තියානීන්ව සැනසීමට හා ශක්තිමත් කිරීමට අප උපරිම උත්සාහයක් දැරිය යුත්තේ ඇයි? එය කළ හැක්කේ කෙසේද?

18 සැනසිල්ල හා ශක්තිය සැපයීම. ‘පීඩාවට පත් වූ අසරණ අය’ ගැන යෙහෝවා දෙවි බොහෝ සෙයින් සැලකිලිමත් වෙනවා. (යෙසායා 57:15) “දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න” කියාත් “කලකිරී සිටින අයව සනසවන්න” කියාත් බයිබලයේ අපට උනන්දු කර තිබෙන්නේ ඒ නිසයි. (1 තෙසලෝනික 5:11, 14) ඉමහත් දුකක් නිසා හෝ පීඩා නිසා සිත් බර වී තිබෙන අයව සැනසීමට අප දරන වෑයම යෙහෝවා දෙවි දකින අතර ඔහු ඒ ගැන බොහෝ සෙයින් සතුටු වෙනවා.

දිරිගන්වනසුලු අයුරින් අප කතා කරන විට දෙවි ඒ ගැන සතුටු වෙනවා

19 කලකිරී සිටින සෙසු ක්‍රිස්තියානියෙකුව දිරිගැන්වීම සඳහා ඔබට පැවසිය හැක්කේ මොනවාද? ඔහු හෝ ඇය මුහුණ දෙමින් සිටින ප්‍රශ්නය ඔබ විසඳිය යුතුයි කියා සිතීම අවශ්‍ය නැහැ. බොහෝදුරට කාරුණික වචන කිහිපයක් පැවසීම ප්‍රමාණවත්. ඔහු හෝ ඇය ගැන ඔබ සැලකිලිමත් බව පවසන්න. එමෙන්ම එම තැනැත්තා සමඟ යාච්ඤා කිරීමට ඔබ කැමති බවත් පවසන්න. එසේ යාච්ඤා කරන විට යෙහෝවා දෙවි හා අන් අය ඔහුට හෝ ඇයට කොතරම් ආදරේද කියා තේරුම්ගැනීමට උපකාර කරන ලෙස දෙවිට කන්නලව් කරන්න. (යාකොබ් 5:14, 15) එමෙන්ම ඔහු හෝ ඇය සභාවේ වටිනා සාමාජිකයෙකු බව එම තැනැත්තාට මතක් කරන්න. (1 කොරින්ති 12:12-26) යෙහෝවා දෙවි එම තැනැත්තා ගැන ඇත්තටම සැලකිලිමත් බව තහවුරු කිරීමට උපකාරවත් වන බයිබල් පදයක් හෝ දෙකක් කියවන්න. (ගීතාවලිය 34:18; මතෙව් 10:29-31) කලකිරුණු කෙනෙකු සමඟ ‘දිරිගන්වනසුලු වදන්’ බෙදාගැනීමට ප්‍රමාණවත් කාලයක් වැය කිරීමෙන් හා අවංක චේතනාවෙන් ඔහු සමඟ කතා කිරීමෙන් දෙවි හා අන් අය තවමත් ඔහුට ආදරෙයි කියා තේරුම්ගැනීමට ඔහුට හැකි වෙයි.—හිතෝපදේශ 12:25 කියවන්න.

20, 21. ප්‍රයෝජනවත් උපදෙස් ලබා දීමට නම් අප සැලකිලිමත් විය යුතු පැති මොනවාද?

20 ප්‍රයෝජනවත් උපදෙස් දීම. අප සෑම කෙනෙකුටම පව්කාර ස්වභාවය උරුම වී තිබෙන නිසා කලින් කලට අප සියලුදෙනාටම උපදෙස් අවශ්‍යයි. බයිබලයෙත් අපට උනන්දු කර තිබෙන්නේ, “උපදෙස්වලට සවන් දී හික්මවීම පිළිගන්න. එවිට ඔබ අනාගතයේදී ප්‍රඥාවන්ත කෙනෙකු වන්නෙහිය” කියායි. (හිතෝපදේශ 19:20) උපදෙස් ලබා දෙන්නේ වැඩිමහල්ලන් පමණක් නොවෙයි. තම දරුවන්ට උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දීම දෙමාපියන් සතු වගකීමක්. (එෆීස 6:4) අද්දැකීම් වැඩි ස්ත්‍රීන්ට සමහර අවස්ථාවලදී අද්දැකීම් අඩු ස්ත්‍රීන්ට උපදෙස් ලබා දීමට සිදු වෙනවා. (තීතස් 2:3-5) අප කෙනෙකුට උපදෙස් දීමට පෙලඹෙන්නේ ඔහු කෙරෙහි අපට තිබෙන ප්‍රේමය නිසයි. ඒ නිසා උපදෙස ලබන පුද්ගලයා කලකිරීමට පත් නොවන අයුරින් උපදෙස ලබා දිය යුතුයි. එලෙස උපදෙස් දීමට නම් අප මේ පැති තුන ගැන සැලකිලිමත් වීම වැදගත්. පළමු එක නම් උපදෙස් දීමට පෙලඹෙන චේතනාව කුමක්ද යන්නයි. දෙවෙනි එක නම් උපදෙස් ලබා දෙන්නේ කුමක් පදනම් කරගෙනද යන්නයි. තුන්වෙනි එක නම් එය ලබා දිය යුත්තේ කොයි ආකාරයෙන්ද යන්නයි.

21 ප්‍රයෝජනවත් උපදෙසක් දීමට නම් එය දෙන තැනැත්තාගේ චේතනාව යහපත් විය යුතුයි. මේ ගැන ටිකක් සිතන්න. ඔබට පහසු වන්නේ කොයි වගේ කෙනෙකු ලබා දෙන උපදෙසක් පිළිගැනීමද? උපදෙස දෙන පුද්ගලයා එසේ කරන්නේ ඔබ ගැන අවංක සැලකිල්ලක් දක්වන නිසා කියා ඔබට වැටහෙනවා නම් එවැනි උපදෙසක් පිළිගැනීම ඔබට පහසු නැද්ද? නමුත් ඔහු ඔබ ගැන කලකිරීමට පත්ව හෝ යම් යටි අදහසක් ඇතුව ඔබට උපදෙස් දෙනවා කියා ඔබට හැඟුණොත් එම උපදෙස ඔබ පිළිගනීද? එසේනම් ඔබ අන් අයට උපදෙස් දෙන විටත් එම කාරණා මතක තබාගැනීම හොඳ දෙයක් නොවේද! එමෙන්ම ප්‍රයෝජනවත් උපදෙස් ලබා දීමට නම් ඒවා බයිබලය මත පදනම් විය යුතුයි. (2 තිමෝති 3:16) යම් උපදෙසක් කෙළින්ම බයිබලයෙන් උපුටා ගත්තත් නැතත් අප ඉදිරිපත් කරන සෑම අදහසක්ම බයිබලයේ තිබෙන අදහස්වලට එකඟ වීම ඉතා වැදගත්. ඒ නිසා විශේෂයෙන්ම වැඩිමහල්ලන් අන් අයට උපදෙස් ලබා දෙන විට ඔවුන්ගේ පෞද්ගලික අදහස් ඉදිරිපත් නොකිරීමට වගබලා ගත යුතුයි. එමෙන්ම තම පෞද්ගලික අදහසකට බයිබලයත් එකඟ බව පෙන්වීමට යම් බයිබල් පද වැරදි විදිහට අදාළ කිරීමත් සුදුසු නැහැ. උපදෙස් ලබා දෙන ආකාරය ගැනත් අප සැලකිලිමත් විය යුතුයි. කෑමක් ලුණෙන් රසවත් වන්නාක් මෙන් අප උපදෙස් ලබාදෙන්නේ කාරුණිකව නම් එය ලබන තැනැත්තාට ඒවා පිළිගැනීමට පහසුයි. මන්ද යම් උපදෙසක් අප කාරුණිකව දෙන විට එයින් ඔහුගේ ආත්මගරුත්වයට හානියක් සිදු වන්නේ නැහැ.—කොලොස්සි 4:6.

22. දෙවිගෙන් ලැබී තිබෙන තෑග්ග කෙසේ භාවිත කිරීමට අප උත්සාහ කළ යුතුද?

22 ඇත්තෙන්ම කතා කිරීමේ හැකියාව යෙහෝවා දෙවිගෙන් අපට ලැබී තිබෙන වටිනා තෑග්ගක්. දෙවි කෙරෙහි අපට තිබෙන ප්‍රේමය එම තෑග්ග අන් අයට හානිකර අයුරින් භාවිත නොකිරීමට අපව පොලඹවනවා. අප පවසන දේවලින් අන් අයව ගොඩනැංවීමට හෝ බිඳ දැමීමට හැකි බව අපි මතකයේ තබාගමු. ඒ නිසා තෑග්ග දුන් තැනැත්තා කැමති අයුරින් එනම්, අන් අයව ‘දිරිගන්වනසුලු අයුරින්’ කතා කිරීමට අපට හැකි සෑම උත්සාහයක්ම දරමු. ඇත්තෙන්ම අප එලෙස කටයුතු කරනවා නම් අන් අයව ගොඩනැංවීමට අපට හැකි වන අතර දෙවිගේ ප්‍රේමය දිගටම ලැබීමටත් අපට හැකි වෙනවා.

^ 4 ඡේ. හිතෝපදේශ 15:4හි “හානිකර” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයට, “වංක හා පහත්” යන අදහස්ද ගැබ්ව තිබෙනවා.

^ 7 ඡේ. “නිෂ්ඵල” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක වචනයට, “කිසි පලක් නැති” යන අදහසත් ගැබ්ව තිබෙනවා.—1 කොරින්ති 15:17.

^ 10 ඡේ. “අපවිත්‍රකම” ලෙස බයිබලයේ භාවිත කර තිබෙන වචනයට ඉතා පුළුල් අර්ථයක් තිබෙනවා. ඊට විනිශ්චය කමිටුවක් විසින් හැසිරවීමට අවශ්‍ය නැති ක්‍රියාද ඇතුළත්. නමුත් කෙනෙක් කිසි පසුතැවිල්ලක් නොපෙන්වමින් බරපතළ ලෙස අපවිත්‍ර ක්‍රියා දිගින් දිගටම කරනවා නම් ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ හැකියි.—2 කොරින්ති 12:21; එෆීස 4:19; 2006 ජූලි 15 මුරටැඹ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” නමැති ලිපිය බලන්න.