Skip to content

පටුනට යන්න

14වෙනි පරිච්ඡේදය

සෑමවිටම අවංකව කටයුතු කරමු

සෑමවිටම අවංකව කටයුතු කරමු

‘අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි.’—හෙබ්‍රෙව් 13:18.

1, 2. අවංකව කටයුතු කිරීමට අප දරන උත්සාහය ගැන යෙහෝවා දෙවි සතුටු වන්නේ ඇයි?

මවක් තම පුතා සමඟ සාප්පුවකින් පිට වී එනවා. තම සාක්කුවට අත දමන පුතා එකපාරටම නතර වී මව දෙස බලනවා. තමා මිල දී ගැනීමට කැමැත්තෙන් සිටි කුඩා සෙල්ලම් බඩුවක් සාක්කුවේ දමාගත්තත් ඒ සඳහා මවගෙන් අවසර ගැනීමටවත් බඩුවල මිල ගෙවන අවස්ථාවේදී එය ඉදිරිපත් කිරීමටවත් තමාට අමතක වූ බව දරුවාට මතක් වෙනවා. තමා වැරදි දෙයක් කළ බව තේරුම්ගන්නා දරුවා දුකෙන් ඒ ගැන මවට පවසනවා. මව දරුවාව සනසා නැවත ඔහු සමඟ සාප්පුවට යනවා. තමා අතින් සිදු වූ දේට දරුවා සමාව ඉල්ලා සෙල්ලම් බඩුව නැවත භාර දෙනවා. තම පුතා කළ දේ ගැන මවට දැනෙන්නේ මොන තරම් සතුටක්ද!

2 අවංකව කටයුතු කිරීමේ වැදගත්කම දරුවෙකු දිනෙන් දින ඉගෙනගන්නා විට ඒ ගැන දෙමාපියන් සතුටු වෙනවා. ඒ හා සමානව සත්‍ය ඉගැන්වීම් ගැන අප ලබන අවබෝධය දිනෙන් දින පුළුල් වන විට අවංකව කටයුතු කිරීමට අප දරන වෙහෙස “සත්‍යතාවේ දෙවි” වන ස්වර්ගයේ සිටින අපේ පියාණන් දකින අතර ඔහු ඒ ගැන බොහෝ සෙයින් සතුටු වෙනවා. (ගීතාවලිය 31:5) ඔහුව සතුටට පත් කරමින් දිගටම ඔහුගේ ප්‍රේමය ලබාගැනීම අපේ ආශාවයි. ‘අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති’ වන්නේ ඒ නිසයි. (හෙබ්‍රෙව් 13:18) කෙසේවෙතත් අද සමාජයේ අවංකව කටයුතු කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි. ඒ නිසා අපේ ජීවිතයේ වැදගත් පැති හතරකදී අවංකව කටයුතු කළ හැකි අන්දම ගැන සලකා බලමු. එමෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස අපට භුක්ති විඳිය හැකි ආශීර්වාද කිහිපයක් ගැනද සලකා බලමු.

තමා සමඟ අවංක වීම

3-5. (අ) අපවම රවටාගැනීමේ අනතුර ගැන බයිබලය අපට පවසන්නේ මොනවාද? (ආ) අප සමඟ අවංක වීමට අපට උපකාර කරන්නේ මොනවාද?

3 මුලින්ම අප අප සමඟම අවංක වීමට ඉගෙනගත යුතුයි. අප ඇත්තටම මොන වගේ අයද කියා තේරුම්ගත හැක්කේ එසේ කළොත් පමණයි. නමුත් පව්කාර ස්වභාවය උරුම කරගෙන සිටින අපෙන් ඕනෑම කෙනෙකුට අපේ සැබෑ තත්වය ගැන අපවම රවටාගත හැකියි. ලවෝදිසියේ සභාවේ සිටි ක්‍රිස්තියානීන්ද ඒ උගුලට හසු වුණා. ඔවුන්ට බොහෝ ධන සම්පත් තිබූ නිසා ඔවුන් සිතුවේ ඔවුන් දෙවි ඉදිරියෙත් යහපත් තත්වයක සිටිනවා කියායි. නමුත් යේසුස් පැවසුවේ ඔවුන් දෙවි ඉදිරියේ ඇත්තටම සිටින්නේ, “දිලිඳු, අන්ධ හා කිසි වස්ත්‍රයක් නැති තත්වයක” කියායි. (එළිදරව් 3:17) ඉන් පැහැදිලි වන්නේ ඔවුන් දෙවිට කරමින් සිටි සේවය සම්බන්ධයෙන් ඔවුන් තමන්වම රවටාගනිමින් සිටි බවයි. එය මොන තරම් අනතුරුදායක දෙයක්ද!

4 අපට අපවම රවටාගත හැකි තවත් ආකාරයක් ගැන යේසුස්ගේ ගෝලයෙකු වූ යාකොබ් මෙසේ පැවසුවා. “තම නමස්කාරයට සම්බන්ධ සෑම කටයුත්තක්ම තමන් නිසි ලෙස ඉටු කරනවා කියා යමෙක් සිතාගෙන සිටියත් ඔහු තමාගේ දිව පාලනය කරගන්නේ නැත්නම් ඔහු ඇත්තටම කරන්නේ තමාගේම සිත රවටාගැනීමක්ය. ඒ මිනිසාගේ නමස්කාරය නිෂ්ඵලය.” (යාකොබ් 1:26) අප කතාබහ කරන ආකාරය දෙවි එතරම් බැරෑරුම්ව සලකන්නේ නැහැයි කියා සමහරවිට අපට සිතෙන්න පුළුවන්. නමුත් අප අපේ දිව පාලනය කරගන්නේ නැත්නම් අපේ නමස්කාරය දෙවි කිසි ලෙසකින්වත් පිළිගන්නේ නැහැ. එලෙස අපවම රවටාගැනීමේ උගුලට හසු නොවී සිටීමට අප කළ යුත්තේ මොනවාද?

5 එම පරිච්ඡේදයේම යාකොබ් බයිබලය කැඩපතකට සමාන කර තිබෙනවා. ඔහු අපට උනන්දු කරන්නේ කිසි අඩුවක් නැති එම පරිපූර්ණ කැඩපත හොඳින් සෝදිසි කර බලන්න කියායි. අප එසේ කරන විට අප ඇත්තටම මොන වගේ පුද්ගලයන්ද යන කාරණය සම්බන්ධයෙන් අපට හොඳ අවබෝධයක් ලැබෙනවා. (යාකොබ් 1:23-25 කියවන්න.) එවිට අවශ්‍ය වෙනස්කම් කිරීමට අපට හැකියි. (විලාප ගී 3:40; හග්ගයි 1:5) එමෙන්ම අපව සෝදිසි කර බලා අප තුළ යම් බරපතළ දුර්වලකම් ඇත්නම් ඒවා තේරුම්ගෙන අවශ්‍ය පියවර ගැනීමට අපට උපකාර කරන්න කියා යෙහෝවා දෙවිට කන්නලව් කරන්න අපට පුළුවන්. (ගීතාවලිය 139:23, 24) අපවම රවටාගැනීමේ උගුලට අපෙන් ඕනෑම කෙනෙකු නොදැනුවත්වම වුණත් හසු විය හැකියි. අප ඒ දුර්වලකමට විරුද්ධව පියවර ගන්නේ නැත්නම් අපේ පියාණන් අපව සලකන්නේ වංක අය ලෙසයි. බයිබලයේ පවසන්නේ, “වංක තැනැත්තා යෙහෝවා දෙවිට පිළිකුලක්ය. නමුත් අවංක අයට ඔහු ළංව සිටින්නේය” කියායි. (හිතෝපදේශ 3:32) එසේනම් යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව අප ඇත්තටම මොන වගේ පුද්ගලයන්ද කියා අපට හඳුනාගන්න පුළුවන්. අපට කවදාවත් වරදින්නේ නැති බව ඉන් අදහස් කරන්නේ නැහැ. නමුත් අපේ අවංක ආශාව හා දැඩි වෑයම වන්නේ අවංක අය වීමටයි. “අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති” බව පාවුල් පැවසුවේ ඒ නිසයි.

පවුලේ අය සමඟ අවංක වීම

අවංක කෙනෙකු මෙවැනි ක්‍රියාවල නිරත වෙයිද?

6. විවාහකයන් එකිනෙකා සමඟ අවංකව කටයුතු කළ යුත්තේ ඇයි? ඔවුන් වැළකී සිටිය යුත්තේ මොන වගේ අනතුරුවලින්ද?

6 ක්‍රිස්තියානි පවුලක සෑම සාමාජිකයෙකුම අවංකව කටයුතු කිරීමට විශේෂ වෑයමක් දැරිය යුතුයි. උදාහරණයකට ස්වාමිපුරුෂයා හා භාර්යාව එකිනෙකා සමඟ විවෘතව අදහස් හුවමාරු කරගැනීම ඉතා වැදගත්. යමෙක් තම සහකරු හෝ සහකාරිය නොවන කෙනෙකුට අනවශ්‍ය ලෙන්ගතුකමක් දක්වනවා නම් හෝ අන්තර්ජාලය හරහා ප්‍රේම සබඳතාවන් ඇති කරගෙන සිටිනවා නම් හෝ කාමුක දර්ශන නරඹනවා නම් ඔහු හෝ ඇය අවංකව කටයුතු කරනවා කියා පැවසිය නොහැකියි. විවාහයක් තුළ එවැනි අපවිත්‍ර දේවල් කිසි ලෙසකින්වත් සිදු නොවිය යුතුයි. එවැනි පුරුදු තම සහකරුට හෝ සහකාරියට ගෙන දෙන්නේ මහත් වේදනාවක්. ඇතැම් අය සිතන්නේ තම සහකරුට හෝ සහකාරියට හොරෙන් එවැනි පුරුදුවල නිරත වීම ප්‍රශ්නයක් නොවන බවයි. නමුත් දෙවිට විශ්වාසවන්තව සිටි දාවිත් රජු පැවසුවේ, “වංක මිනිස්සුන් සමඟ හිඳ නොගත්තෙමි. තමන් කවුදැයි සඟවන අය සමඟ ඇසුරු නොකළෙමි” කියායි. (ගීතාවලිය 26:4) ඒ නිසා ඔබේ සහකරුට හෝ සහකාරියට අවංක නොවීමට ඔබ තුළ පෙලඹීමක් ඇති කළ හැකි ක්‍රියාවලින් වැළකී සිටීමට වගබලා ගන්න.

7, 8. අවංක වීමේ වැදගත්කම දරුවන්ට කාවැද්දීමට භාවිත කළ හැකි බයිබල් උදාහරණ මොනවාද?

7 අවංක වීමේ වැදගත්කම තම දරුවන්ට ඉගැන්වීමේ වගකීම භාර දී තිබෙන්නේ දෙමාපියන්ටයි. ඔවුන්ට ඒ සඳහා බයිබලයේ සඳහන් අවාදර්ශ හා ආදර්ශ යොදාගත හැකියි. අවාදර්ශ අතර සොරකමක් කර එය වසං කිරීමට උත්සාහ කළ ආකාන්, යම් වාසි ප්‍රයෝජන ලබාගැනීමට බොරු පැවසූ ගෙහාසී හා යූදස් යන අය සඳහන් කළ හැකියි. යූදස් සොරකමට පුරුදුව සිටියා පමණක් නොව වංක ලෙස යේසුස්ව පාවා දුන්නා.—යොෂුවා 6:17-19; 7:11-25; 2 රාජාවලිය 5:14-16, 20-27; මතෙව් 26:14, 15; යොහන් 12:6.

8 ආදර්ශවත් අය අතරින් යාකොබ් එක් කෙනෙක්. ඊජිප්තුවෙන් පැමිණි තම පුතුන්ගේ මලුවලට මුදල් දමා ඇත්තේ වැරදීමකින් කියා සිතූ ඔහු, ඒ මුදල් නැවත භාර දෙන ලෙස ඔවුන්ට උනන්දු කළා. තවත් ආදර්ශවත් දෙදෙනෙකු වන්නේ යෙප්තා හා ඔහුගේ දියණියයි. යෙප්තාගේ දියණියට මහත් පරිත්‍යාගයක් කිරීමට සිදු වුණත් තම පියා දෙවිට දුන් පොරොන්දුවට එකඟව ඇය ක්‍රියා කළා. තවත් කැපීපෙනෙන ආදර්ශයක් වන්නේ යේසුස්. ඔහු මැර පිරිසක් ඉදිරියේ තමා කවුද කියා පැවසීමට භය වුණේ නැහැ. ඔහු එසේ කළේ ඔහු ගැන කලින් පවසා තිබූ දේවල් ඉටු කිරීමට හා තම මිතුරන්ව ආරක්ෂා කිරීමටයි. (උත්පත්ති 43:12; විනිශ්චයකරුවෝ 11:30-40; යොහන් 18:3-11) එවැනි උදාහරණ යොදාගෙන තම දරුවන්ට අවංකව කටයුතු කිරීමේ වැදගත්කම මෙන්ම එසේ කළ හැකි ආකාර ගැන තම දරුවන්ට කියා දීමට දෙමාපියන්ට හැකියි. ඇත්තෙන්ම බයිබලයෙන් ඉගෙනගත හැකි පාඩම් මොන තරම්ද!

9. ආදර්ශවත් වීමට නම් දෙමාපියන් වැළකී සිටිය යුත්තේ මොන වගේ දේවලින්ද? ඔවුන්ගේ ආදර්ශය වැදගත් වන්නේ ඇයි?

9 එසේ දරුවන්ට උගන්වන විට දෙමාපියන් එක් වැදගත් කාරණයක් මතක තබාගත යුතුයි. පාවුල් එය පැහැදිලි කළේ මෙසේයි. “වෙන අයට උගන්වන ඔබ, ඔබ උගන්වන දේ පිළිපදිනවාද? ‘සොරකම් නොකරන්න’ කියා අනුන්ට දේශනා කරන ඔබ, සොරකම් කරනවාද?” (රෝම 2:21) ඉන් පැහැදිලි වන්නේ දෙමාපියන් දරුවන්ට උගන්වන දේ ඔවුන්ගේ ක්‍රියාවලින් දරුවන් දකින්න අවශ්‍ය බවයි. නමුත් සමහර දෙමාපියන් දරුවන්ට අවංකව කටයුතු කිරීමට උනන්දු කළත් ඔවුන් වංකව ක්‍රියා කරමින් දරුවන්ව මුළා කරනවා. ඔවුන් සුළු සුළු දේවල් කඩසාප්පුවලින් සොරකම් කර ‘හැමෝම එහෙම කරනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ’ කියා දරුවන්ට පවසනවා. එමෙන්ම බොරුවක් පවසා, ‘ඒක පොඩි බොරුවක් විතරයි’ කියා පවසනවා. ඒ දේවල් දකින හා අසන දරුවන් හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමට නොහැකි තත්වයකට පත් වෙනවා. ඇත්තෙන්ම සුළු දෙයක් වුණත් අනවසරයෙන් ගැනීම සොරකමක්. එමෙන්ම පොඩි බොරු හා ලොකු බොරු අතර වෙනසක් නැහැ. බොරුව බොරුවමයි. * (ලූක් 16:10 කියවන්න.) යම් කෙනෙකු බොරු මවාපෑමක් කරනවා නම් දරුවන්ට එය විගස තේරෙනවා. එය ඔවුන්ගේ මානසික වර්ධනයට බරපතළ හානියක් කළ හැකියි. (එෆීස 6:4) නමුත් තම දෙමාපියන්ගේ ආදර්ශයෙන් අවංකව කටයුතු කිරීමේ වැදගත්කම ඉගෙනගන්නා දරුවන්, වංක සමාජයක ජීවත් වුණත් යෙහෝවා දෙවිට ගෞරවයක් ගෙන දෙන අයුරින් කටයුතු කරන වැඩිහිටියන් බවට පත් විය හැකියි.—හිතෝපදේශ 22:6.

සභාව තුළ අවංක වීම

10. සෙසු සහෝදර සහෝදරියන් සමඟ කතාබහ කරන විට අප මතක තබාගත යුතු දේවල් මොනවාද?

10 ක්‍රිස්තියානි සභාවේ සෙසු සහෝදර සහෝදරියන් සමඟ ඇසුරු කරන විටත් අප අවංක විය යුතුයි. දොළොස්වෙනි පරිච්ඡේදයෙන් අප ඉගෙනගත් ලෙස අපේ සහෝදර සහෝදරියන් සමඟ අප කතා කරන ආකාරය ගැන හා කතා කරන දේවල් ගැන කල්පනාකාරී වීම ඉතා වැදගත්. එදිනෙදා සිදු වන දේවල් ගැන කරන කතාබහක් පහසුවෙන්ම හානිකර ඕපාදූප පැතිර වීමක් හෝ කෙනෙකුගේ චරිතය ඝාතනය කිරීමක් දක්වා දුර දිග යා හැකියි. සුලමුල නොදන්නා යම් තොරතුරක් අප තවත් කෙනෙකුට පවසනවා නම් බොරුවක් පැතිර වීමට අප අනුබල දෙනවා විය හැකියි. ඒ නිසා වඩාත් ඥානවන්ත දේ වන්නේ අප පවසන දේවල් ගැන කල්පනාකාරී වීමයි. (හිතෝපදේශ 10:19) එසේනම් යම් සත්‍ය තොරතුරක් අන් අයට පැවසීම ප්‍රශ්නයක් නැද්ද? එසේ පැවසිය නොහැකියි. මන්ද අප පවසන තොරතුර සත්‍ය තොරතුරක් වුණත් එය සමහරවිට අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගැසීමක් විය හැකියි. එසේ නැතහොත් එවැනි දෙයක් පැතිර වීම ප්‍රේමණීය ක්‍රියාවක් නොවිය හැකියි. (1 තෙසලෝනික 4:11) සමහර අය අන් අයගේ සිත රිදෙන අයුරින් කතා කළත් තමන් කෙළින් කතා කරන කෙනෙකු නිසයි එසේ කරන්නේ කියා පවසනවා. නමුත් අප පවසන දේවල් හැමවිටම කාරුණික විය යුතු බව අපි අමතක නොකරමු.—කොලොස්සි 4:6 කියවන්න.

11, 12. (අ) බරපතළ වරදක් කරන කෙනෙක් තව තවත් තමන්ව අනතුරේ දමාගන්නේ කෙසේද? (ආ) සාතන් ප්‍රචලිත කර තිබෙන බොරු මත මොනවාද? ඒවාට විරුද්ධව සිටිය හැක්කේ කෙසේද? (ඇ)  සංවිධානය සමඟ අප අවංකව කටයුතු කරන බව පෙන්විය හැක්කේ කෙසේද?

11 විශේෂයෙන්ම සභාව රැකබලා ගැනීමට පත් කර තිබෙන වැඩිමහල්ලන් සමඟ කටයුතු කරන විට අප අවංක වීම ඉතා වැදගත්. සමහර අය තමන් කරන බරපතළ වැරදි සැඟවීමට උත්සාහ කරනවා. එමෙන්ම ඒ ගැන වැඩිමහල්ලන් ඔවුන්ගෙන් විමසන විට ඔවුන් බොරු පවසමින් සත්‍යය වසං කරනවා. තමන් දෙවිට විශ්වාසවන්තව සිටිනවා කියා සභාවේ අයට පෙන්වූවත් ඔවුන් ඇත්තටම බරපතළ වැරදි කරමින් සිටිනවා. එවැනි අය ගත කරන්නේ දෙබිඩි ජීවිතයි. ඔවුන්ගේ මුළු ජීවිතයම පිරී තිබෙන්නේ බොරුවෙනුයි. (ගීතාවලිය 12:2) තවත් සමහරක් අය වැඩිමහල්ලන් ඔවුන්ගෙන් යම් තොරතුරු විමසන විට යම් දුරකට තොරතුරු එළිදරව් කළත් තමන්ට අවාසියක් වන තොරතුරු වසං කරනවා. (ක්‍රියා 5:1-11) එලෙස කටයුතු කරන අයත් ගත කරන්නේ අවංක ජීවිත නොවෙයි. ඔවුන් එසේ වංකව කටයුතු කරන්නේ සාතන් ප්‍රචලිත කර තිබෙන බොරු මතයන්ට ඔවුන් හසු වී සිටින නිසයි.—“ සාතන් ප්‍රචලිත කර තිබෙන බොරු මත” යන කොටුව බලන්න.

12 යම් තොරතුරු ලිඛිතව ඉදිරිපත් කරන අවස්ථාවලදීද අවංක වීමෙන් යෙහෝවා දෙවිගේ සංවිධානය සමඟ අප අවංකව කටයුතු කරන බව පෙන්විය හැකියි. උදාහරණයකට අප කරන සේවය මාස්පතා වාර්තා කරන විට අසත්‍ය තොරතුරු ඇතුළත් නොකිරීමට අප වගබලා ගන්නේ ඒ නිසයි. එමෙන්ම වැඩි සේවයක් කිරීම සඳහා අයදුම්පත් පුරවන විට අපට සෞඛ්‍ය ගැටලුවක් තිබෙනවා නම් හෝ අප සම්බන්ධයෙන් හෙළි කළ යුතු වෙනත් තොරතුරු තිබෙනවා නම් අප ඒවා වසං නොකර සඳහන් කළ යුතුයි.—හිතෝපදේශ 6:16-19 කියවන්න.

13. අපේ සෙසු සහෝදර සහෝදරියන් සමඟ විවිධාකාර ගනුදෙනු කරන විට අවංකව කටයුතු කළ හැක්කේ කෙසේද?

13 අවංක වීම සම්බන්ධයෙන් අප සැලකිලිමත් විය යුතු තවත් අවස්ථාවක් වන්නේ අපේ සහෝදර සහෝදරියන් සමඟ විවිධාකාර ගනුදෙනු කරන විටයි. නමුත් එම ගනුදෙනු අප දෙවිට කරන නමස්කාරය සමඟ කිසිම ආකාරයකින් සම්බන්ධ කර නොගත යුතුයි. විශේෂයෙන්ම නමස්කාරය සඳහා රැස් වන ස්ථානවලදී හෝ දේශනා සේවයේ යන විට ගනුදෙනු නොකිරීමට වගබලා ගන්න. සමහරවිට අප යටතේ සෙසු සහෝදර සහෝදරියන් සේවය කරනවා විය හැකියි. ඔවුන්ට පොරොන්දු වූ වැටුප නියම වේලාවට ලබා දීමෙන් හා රජයේ නීතියට අනුව සේවකයන්ට ලබා දිය යුතු වෙනත් පහසුකම් හා දීමනා ලබා දීමෙන් අපේ අවංකකම අපට පෙන්විය හැකියි. (1 තිමෝති 5:18; යාකොබ් 5:1-4) එසේත් නැතහොත් සෙසු සහෝදරයෙකු හෝ සහෝදරියක යටතේ අප සේවය කරනවා විය හැකියි. එවැනි අවස්ථාවක අපට ගෙවන වැටුපට සරිලන සේවයක් ඉටු කිරීමෙන් අප අවංක අය බව පෙන්විය හැකියි. (2 තෙසලෝනික 3:10) එමෙන්ම ඔහුගෙන් හෝ ඇයගෙන් අප විශේෂ සැලකිලි බලාපොරොත්තු නොවිය යුතුයි. අන් සේවකයන්ට ලබා නොදෙන පහසුකම් හෝ දීමනා අප අපේක්ෂා නොකරන්නේ ඒ නිසයි.—එෆීස 6:5-8.

14. සහෝදර සහෝදරියන් අතර ගනුදෙනු හෝ ව්‍යාපාරික කටයුතු සිදු වන විට මතක තබාගත යුත්තේ කුමක්ද? ඒ ඇයි?

14 සහෝදරයෙකු සමඟ මුදල් ආයෝජනයක් කරන අවස්ථාවකදී හෝ යම් ණයක් ලබා දෙන නැත්නම් ලබාගන්නා අවස්ථාවකදී අප මතක තබාගත යුතු වැදගත් ප්‍රතිපත්තියක් බයිබලයේ සඳහන් වී තිබෙනවා. එනම් සෑම දෙයක්ම ලිඛිතව සඳහන් කිරීමයි. ඒ සම්බන්ධයෙන් යෙරෙමියා හොඳ ආදර්ශයක් තැබුවා. ඔහු ඉඩමක් මිල දී ගත් අවස්ථාවේදී ඔප්පුවක් සාදා එයට සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ අත්සන් ලබාගත් අතර එහි පිටපතක්ද ගෙන ආරක්ෂිත ස්ථානයක තැබුවා. (යෙරෙමියා 32:9-12; උත්පත්ති 23:16-20ද බලන්න.) ඉන් පැහැදිලි වන්නේ අපේ සහෝදර සහෝදරියන් සමඟ යම් ගනුදෙනුවක් හෝ ව්‍යාපාරික කටයුත්තක් කරන විට ඊට අදාළ සෑම තොරතුරක්ම ලිඛිතව සඳහන් කළ යුතු බවයි. එමෙන්ම එම ලියවිල්ලට සාක්ෂිකරුවන්ගේ අත්සන් ලබාගත යුතුයි. ඒ දේවල් කිරීමෙන් අදහස් කරන්නේ අප අපේ සහෝදර සහෝදරියන්ව අවිශ්වාස කරන බව නොවෙයි. නමුත් එසේ කිරීමෙන් යම් වරදවා වටහාගැනීම්, මතභේද හෝ වෙනත් ප්‍රශ්න රැසක් අපට මඟහරවා ගත හැකියි. යම් ව්‍යාපාරික කටයුත්තක් කරන විට ලැබිය හැකි ලාභ ප්‍රයෝජනවලට වඩා සභාවේ සාමය හා සමඟිය රැකගැනීම ඉතා වටිනා බව අපි මතක තබාගනිමු. *1 කොරින්ති 6:1-8.

එදිනෙදා කටයුතුවලදී අවංක වීම

15. වංචනික ව්‍යාපාරික කටයුතු ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කෙසේද? ක්‍රිස්තියානීන් වන අප එවැනි ක්‍රියා සැලකිය යුත්තේ කෙසේද?

15 ක්‍රිස්තියානියෙකු අවංකව කටයුතු කළ යුත්තේ සභාවේ සිටින සහෝදර සහෝදරියන් සමඟ පමණක් නොවෙයි. පාවුල් පැවසුවේ, “අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති” බවයි. (හෙබ්‍රෙව් 13:18) ඒ නිසා අප ජීවත් වන සමාජයේ මිනිසුන් සමඟ ගනුදෙනු කරන විට හෝ ව්‍යාපාරික කටයුතු කරන විට අපේ දෙවි අපෙන් අවංකකම බලාපොරොත්තු වෙනවා. හිතෝපදේශ පොතේ හොර තරාදි ගැන කිහිප වතාවක්ම සඳහන් වී තිබෙනවා. (හිතෝපදේශ 11:1; 20:10, 23) අතීතයේ භාණ්ඩ මිල දී ගත් විට ඒවා කිරා බැලීමට හා ගත් භාණ්ඩ වෙනුවෙන් ලබා දුන් මුදල් කිරා බැලීමට තරාදි හා මිනුම් පඩි භාවිත කළා. ඇතැම් ව්‍යාපාරිකයන් මිනුම් පඩි දෙවර්ගයක්ම භාවිත කළා. ඔවුන් එසේ කළේ ඔවුන්ගෙන් භාණ්ඩ මිල දී ගත් අයට වංචා කර අයුතු ලාභ ලබාගැනීමටයි. * එවැනි ක්‍රියා යෙහෝවා දෙවිට පිළිකුලක්. ඒ නිසා ඔහුගේ ප්‍රේමය දිගටම ලබාගැනීමට කැමැත්තෙන් සිටින අප, වංචනික ව්‍යාපාරික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි.

16, 17. අද සමාජය පුරා සිදු වන වංක දේවල් මොනවාද? සැබෑ ක්‍රිස්තියානීන්ගේ අධිෂ්ඨානය කුමක්ද?

16 ඇත්තෙන්ම වංකකම මිනිස් සමාජයේ හාත්පස පැතිර තිබෙනවා. එයට හේතුව සාතන් මේ ලෝකයේ පාලකයා වීමයි. ඒ නිසා වංකව කටයුතු කිරීමට විරුද්ධව දිනපතාම අපට මහත් සටනක් කිරීමට සිදු විය හැකියි. අද සාමාන්‍යයෙන් රැකියාවකට අයදුම් කරන විට තම සුදුසුකම් හා තමන් ලබා ඇති පළපුරුද්ද ගැන ලබා දෙන්නේ වැරදි තොරතුරුයි. වෙනත් රටකට යෑම සඳහා අවශ්‍ය වීසා බලපත්‍රය ලබාගැනීමට අයදුම් කරන විටත් අයබදු ගෙවීමට හෝ රක්ෂණයක් ලබාගැනීමට විවිධ ලියකියවිලි සකස් කරන විටත් තම වාසිය ගැන සිතා බොහෝ අය නිවැරදි තොරතුරු ලබා දෙන්නේ නැහැ. පාසැල් විභාගවලදීත් බොහෝ සිසු සිසුවියන් වංචා කරනවා. රචනා හෝ වෙනත් වාර්තා පිළියෙල කරන විට අන්තර්ජාලය වැනි වෙනත් මාධ්‍යයන්ගෙන් තොරතුරු ලබාගෙන ඒවා තමන් ලියූ දෙයක් ලෙස ඉදිරිපත් කරනවා. එමෙන්ම යම් සේවයක් ඉටු කරගැනීම සඳහා වංචනික නිලධාරීන්ට අල්ලස් ලබා දීම අද සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. ඇත්තෙන්ම “තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින . . . යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන” මිනිසුන්ගෙන් පිරී තිබෙන මෙම ලෝකයේ එවැනි වංක දේවල් සිදු වීම ගැන අප පුදුම විය යුතු නැහැ.—2 තිමෝති 3:1-5.

17 සැබෑ ක්‍රිස්තියානීන් ලෙස අපේ අධිෂ්ඨානය වන්නේ එවැනි වංක දේවලට කිසි ලෙසකින්වත් හවුල් නොවීමයි. නමුත් බොහෝ වංචනික දේවල් කරමින් සාර්ථක වන මිනිසුන්ව දකින විට එම අධිෂ්ඨානයට එකඟව ක්‍රියා කිරීම සමහරවිට පහසු වන්නේ නැහැ. (ගීතාවලිය 73:1-8) “සෑම දෙයකදීම” අවංකව කටයුතු කිරීම ඇතැම් අවස්ථාවලදී අපට අවාසිදායක විය හැකියි. එසේ පාඩු විඳිමින් අවංකව කටයුතු කිරීමෙන් පලක් තිබෙනවාද? ඒ ගැන දැන් අපි සලකා බලමු.

ලැබෙන ආශීර්වාද

18. අවංක කෙනෙකු ලෙස හොඳ නමක් දිනාගැනීම ඉතා වටිනා දෙයක් වන්නේ ඇයි?

18 අන් අය අතරේ අවංක, විශ්වාසවන්ත පුද්ගලයෙකු ලෙස හොඳ නමක් දිනාගැනීම මිල කළ නොහැකි උතුම් ආශීර්වාදයක්. (“ මා අවංකව කටයුතු කරන කෙනෙක්ද?” යන කොටුව බලන්න.) ඇත්තෙන්ම ඕනෑම කෙනෙකුට එවැනි නාමයක් දිනාගත හැකියි. එය රඳා පවතින්නේ අපට තිබෙන යම් විශේෂ දක්ෂතාවන්, අප සතු ධනය, අපේ පෙනුම, අපේ පසුබිම හෝ වෙන යම් හේතුවක් මත නොවෙයි. කෙසේවෙතත් එවැනි නාමයක් දිනාගැනීමට බොහෝදෙනෙකු අසමත් වීම කනගාටුවට කරුණක්. අද සමාජයේ අවංකව කටයුතු කරන කෙනෙකු සොයාගත නොහැකි තරම්. (මීකා 7:2) ඔබ අවංක කෙනෙකු නිසා අන් අය සමහරවිට ඔබව හෙළාදකිනවා ඇති. නමුත් ඔබේ අවංකකම අගය කරන අය සිටින බව අමතක නොකරන්න. එවැනි අයගේ විශ්වාසය හා ගෞරවය දිනාගැනීමට ඔබට හැකියි. අවංකව කටයුතු කිරීමෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුට වෙනත් පැතිවලිනුත් ප්‍රයෝජන ලැබී තිබෙනවා. රැකියා ස්ථානවල සිදු වන වංචනික දේවල් නිසා වංක සේවකයන්ව රැකියාවෙන් ඉවත් කළත් සාක්ෂිකරුවන්ට එසේ සිදු වී නැහැ. එමෙන්ම ඇතැම් සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ අවංකකම නිසා රැකියා ලැබී තිබෙනවා.

19. අවංකව කටයුතු කිරීම අපේ හෘදය සාක්ෂියට හා යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වයට බලපාන්නේ කෙසේද?

19 සමහරවිට ඔබත් එවැනි අද්දැකීම් ලබා ඇති. නමුත් ඊට වඩා වටිනා ආශීර්වාදයක් ඔබට ලබාගත හැකියි. පාවුල් පැවසුවේ, “දෙවි ඉදිරියේ අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට විශ්වාසයි” කියායි. (හෙබ්‍රෙව් 13:18) ඇත්තෙන්ම අවංකව කටයුතු කිරීමෙන් දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට ලැබීම මොන තරම් ආශීර්වාදයක්ද! අවංකකම සම්බන්ධයෙන් ඔබ දිනාගෙන ඇති හොඳ නම ඔබේ ප්‍රේමණීය පියාණන් කිසිදා අමතක කරන්නේ නැහැ. ඔහු අවංක අයට බොහෝ සෙයින් ප්‍රේම කරනවා. (ගීතාවලිය 15:1, 2; හිතෝපදේශ 22:1 කියවන්න.) අවංකව කටයුතු කිරීමෙන් ලබාගත හැකි උතුම්ම ආශීර්වාදය වන්නේ දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට හැකි වීමයි. ඊළඟ පරිච්ඡේදයේ අපි අවංකකමට සම්බන්ධ තවත් දෙයක් ගැන සලකා බලමු.

^ 9 ඡේ. ක්‍රිස්තියානි සභාවේ කෙනෙක් කිසි බියක් සැකක් නැතුව අන් අයට යම් හානියක් කිරීමේ අදහසින් බොරු කියනවා නම් විනිශ්චය කමිටුවක් මගින් ඔහු සම්බන්ධයෙන් පියවර ගැනීමට වැඩිමහල්ලන්ට සිදු විය හැකියි.

^ 14 ඡේ. ව්‍යාපාරයක් කරන විට ගැටලු මතු වන අවස්ථාවලදී ගත යුතු පියවර ගැන වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ “ගනු දෙනු කිරීම්වලදී මතු වන ගැටලු විසඳාගැනීම” කියන ලිපිය බලන්න.

^ 15 ඡේ. ඔවුන් භාණ්ඩ මිල දී ගැනීමට එක පඩි වර්ගයක්ද භාණ්ඩ විකිණීමට තව පඩි වර්ගයක්ද භාවිත කළා. පඩි වර්ග දෙකෙන්ම සිදු වුණේ ඔවුන්ට වාසියක්. එමෙන්ම ඔවුන් තරාදියේ එක් පැත්තක් දිගින් හෝ බරින් වැඩිව සෑදුවා. ඒ නිසා සෑම ගනුදෙනුවකින්ම ඔවුන් විශාල ලාභයක් උපයාගත්තා.