Skip to content

පටුනට යන්න

16වෙනි පරිච්ඡේදය

යක්ෂයාටත් ඔහුගේ කපටි ක්‍රියාවලටත් විරුද්ධව සිටිමු

යක්ෂයාටත් ඔහුගේ කපටි ක්‍රියාවලටත් විරුද්ධව සිටිමු

“යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි.”—යාකොබ් 4:7.

1, 2. බව්තීස්ම වන විට ඒ ගැන ප්‍රීති වන්නේ කවුරුන්ද?

අප වාර්ෂිකව සහභාගි වන සමුළු හා එක්රැස්වීම්වල ඉතා විශේෂ අවස්ථාවක් වන්නේ බව්තීස්මයයි. ඔබ අවුරුදු ගණනාවක් පුරා යෙහෝවා දෙවිට සේවය කර ඇති කෙනෙක් නම් බව්තීස්ම කතා කොතෙකුත් අසා ඇති. ඒ සෑම අවස්ථාවකදීම බව්තීස්මය සඳහා තමන් සූදානම් බව බව්තීස්ම අපේක්ෂිතයන් ප්‍රකාශ කරන විට ඔබට දැනුණු සතුට මොන තරම්ද! රැස්ව සිටින සියලුදෙනාත් අත්පොළොසන් හඬින් තම සතුට පළ කරන විට සමහරවිට ඔබේ දෑස් කඳුළුවලින් පිරී යන්නත් ඇති. තවත් පිරිසක් යෙහෝවා දෙවිගේ පැත්ත ගත් ඒ මොහොත මොන තරම් සුවිශේෂී අවස්ථාවක්ද!

2 බව්තීස්ම වන අවස්ථා දැකගැනීමට අපට හැකි වන්නේ අවුරුද්දේ අවස්ථා කිහිපයකදී පමණයි. නමුත් ස්වර්ගයේ සිටින දේවදූතයන්ට සතියක් සතියක් පාසා ඒ අවස්ථාව උදා වෙනවා. ලොව පුරා සිටින දහස් ගණනක් සෙනඟ එලෙස යෙහෝවා දෙවිගේ සංවිධානය වෙතට එකතු වන ආකාරය දකින විට, “ස්වර්ගයේ සිටින දේවදූතයන් කොතරම් ප්‍රීති වෙනවා” ඇද්ද! (ලූක් 15:7, 10) ඇත්තෙන්ම දෙවි ලබා දෙන ඒ වර්ධනය අපටත් ඔවුන්ටත් මොන තරම් ප්‍රීතියට හේතුවක්ද!—හග්ගයි 2:7.

“ගොරවන සිංහයෙකු මෙන්” ඔබ මොබ ඇවිදින යක්ෂයා!

3. සාතන්, “ගොරවන සිංහයෙකු මෙන්” ඔබ මොබ ඇවිදින්නේ ඇයි? ඔහු මාන බලමින් සිටින්නේ කුමක් කිරීමටද?

3 බව්තීස්ම වන අවස්ථා මහත් කෝපයකින් නිරීක්ෂණය කරන පිරිසක්ද සිටිනවා. ඒ, සාතන් හා ඔහුගේ භූත සේනාවයි. සතියක් සතියක් පාසා මෙම දුෂ්ට ලෝකයට දහස් ගණනක් දෙනා පිටුපාන ආකාරය දකින විට ඔවුන්ට එය දරාගත නොහැකියි. මන්ද ඒ සෑම අවස්ථාවකදීම මිනිසුන් ගැන සාතන් නැඟූ චෝදනාව අමූලික බොරුවක් බව ඔප්පු වෙනවා. (යෝබ් 2:4, 5 කියවන්න.) සාතන් චෝදනා කළේ කිසි මිනිසෙකු සැබෑ ප්‍රේමයකින් පෙලඹී දෙවිට සේවය කරන්නේ නැති බවයි. එමෙන්ම බොහෝ පීඩාවලට මුහුණ දීමට සිදු වුණොත් කිසිම කෙනෙකු දෙවිට විශ්වාසවන්තව සිටින්නේ නැහැ කියාත් ඔහු පැවසුවා. එසේනම් යෙහෝවා දෙවිට කැප වී සේවය කිරීමට කෙනෙකු තීරණය කරන සෑම අවස්ථාවකදීම ඔප්පු වන්නේ සාතන් මහ බොරුකාරයෙකු බව නොවේද! ඇත්තෙන්ම සෑම සතියකම, මාසයකම හා අවුරුද්දකම සාතන්ට කම්මුල් පහරවල් දහස් ගණනක් ලැබෙනවා කියා පැවසිය හැකියි. ඒ නිසා ඔහු, “ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ” ඇවිදින එක පුදුමයක්ද! (1 පේතෘස් 5:8) යෙහෝවා දෙවි සමඟ අප භුක්ති විඳින අනගි මිත්‍රත්වය කෙසේ හෝ පලුදු කිරීම නැත්නම් සම්පූර්ණයෙන්ම නැති කර දැමීම ඔහුගේ උත්සාහයයි.—ගීතාවලිය 7:1, 2; 2 තිමෝති 3:12.

කෙනෙකු යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වන විට සාතන් බොරුකාරයෙකු බව ඔප්පු වෙනවා

4, 5. (අ) යෙහෝවා දෙවි සාතන්ගේ බලපෑම සීමා කර තිබෙන්නේ කෙසේද? (ආ) අපට ස්ථිර විය හැක්කේ කුමක් ගැනද?

4 අපට විරුද්ධව මෙතරම් භයානක සතුරෙකු සිටීම ගැන අප බිය විය යුතුද? නැහැ. මන්ද යෙහෝවා දෙවි එම ‘ගොරවන සිංහයා’ අපව ගිල දැමීමට දරන උත්සාහයට සීමා දෙකක් පනවා තිබෙනවා. ඒ සීමා දෙක මොනවාද? පළමු සීමාව තේරුම්ගැනීමට මේ කාරණය සලකා බලන්න. සැබෑ ක්‍රිස්තියානීන් “මහත් සමූහයක්” ළඟදීම පැමිණෙන “මහත් පීඩාවෙන්” අනිවාර්යයෙන්ම බේරෙන බව යෙහෝවා දෙවි පොරොන්දු වී තිබෙනවා. (එළිදරව් 7:9, 14) දෙවි දී තිබෙන පොරොන්දුවක් කවදාවත් ඉටු නොවී තිබී නැහැ. ඒ නිසා සමූහයක් ලෙස දෙවිගේ සෙනඟව සම්පූර්ණයෙන්ම ගොදුරු කරගැනීමට සාතන්ට කිසිසේත් හැකි වන්නේ නැහැ. එය දෙවි සාතන්ට පනවා ඇති පළමු සීමාවයි. සාතන්ද තමන්ට ඒ සීමාව තිබෙන බව හොඳින් දන්නවා.

5 දෙවි පනවා තිබෙන දෙවෙනි සීමාව තේරුම්ගැනීමට අතීතයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙකු වූ අෂරියා නම් මිනිසා ආසා රජුට පැවසූ මේ දේ සැලකිල්ලට ගන්න. “ඔබ යෙහෝවා දෙවිට ළංව සිටින තාක් කල් ඔහුත් ඔබට ළංව සිටිනවා.” (2 ලේකම් 15:2; 1 කොරින්ති 10:13 කියවන්න.) ඉන් පැහැදිලි වන්නේ දෙවිට ළංව සිටින කෙනෙකුව ගොදුරු කරගැනීමට සාතන්ට කවදාවත් නොහැකි බවයි. එය සත්‍යයක් බවට ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා. (හෙබ්‍රෙව් 11:4-40) ක්‍රිස්තියානියෙකු දෙවිට ළංව සිටියොත් ඔහුට යක්ෂයාට විරුද්ධව සිටීමට පමණක් නොව ඔහුව පරාජය කිරීමට පවා හැකි වෙනවා. බයිබලයේ ස්ථිර ලෙස පවසන්නේ, “යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි” කියායි.—යාකොබ් 4:7.

‘භූත සේනාවන්ට විරුද්ධව අපට තිබෙන පොරබැදීම’

6. සාතන් අපව ගොදුරු කරගැනීමට උත්සාහ කරන්නේ කෙසේද?

6 සාතන්ට කිසිදාක සම්පූර්ණ ජයග්‍රහණයක් අත් කරගැනීමට නොහැකි වුණත් අප සෝදිසියෙන් නොසිටියොත් අප එක් එක් පුද්ගලයාව ගොදුරු කරගැනීමට ඔහුට පුළුවන්. යෙහෝවා දෙවි සමඟ අපේ බැඳීම දුර්වල කළොත් අපව ගොදුරු කරගැනීමට තමාට හැකි බව සාතන්ද හොඳින් දන්නවා. ඔහුගේ ඒ දුෂ්ට අරමුණ ඉටු කරගැනීමට ඔහු අපට විරුද්ධව එල්ල කරන ප්‍රහාර දිනෙන් දින ප්‍රබල කරන අතර අපට පෞද්ගලිකවද ප්‍රහාර එල්ල කරනවා. එමෙන්ම කපටි ක්‍රම යොදාගෙනද ඔහු උත්සාහ කරන්නේ ඔහුගේ ඒ අරමුණ ඉටු කරගැනීමටයි.

7. සාතන් දෙවිගේ සෙනඟට විරුද්ධව එල්ල කරන ප්‍රහාර ප්‍රබල කරන්නේ ඇයි?

7 දිනෙන් දින ප්‍රබල වන ප්‍රහාර. “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙන බව” යොහන් පැවසුවා. (1 යොහන් 5:19) ඔහු පැවසූ ඒ දේ අප සුළුවට නොගත යුතුයි. මන්ද දැනටමත් සාතන් මුළු මිනිස් සමාජයම ගොදුරු කරගෙන ඇති බව ඉන් පැහැදිලි වෙනවා. ඒ නිසා ඔහු මුළු වැර යොදා දැන් ප්‍රහාර එල්ල කරන්නේ මෙතෙක් තම ග්‍රහණයට හසු වී නැති පිරිසක් වන දෙවිගේ සෙනඟට විරුද්ධවයි. (මීකා 4:1; යොහන් 15:19; එළිදරව් 12:12, 17) තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාලයක් බව දන්නා ඔහු, මහත් කෝපයකින් අපට විරුද්ධව ප්‍රබල ප්‍රහාර එල්ල කරනවා. අද අපට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ ඔහුගේ අවසන් මහා ප්‍රහාරයටයි.

8. අපට භූතයන්ට විරුද්ධව ‘පොරබැදීමක්’ තිබෙනවා කියා කීමෙන් අදහස් වන්නේ කුමක්ද?

8 අපට පෞද්ගලිකව එල්ල කරන ප්‍රහාර. පාවුල් ක්‍රිස්තියානීන්ට අනතුරු අඟවමින් පැවසුවේ, “අපට පොරබැදීමට සිදු වී තිබෙන්නේ . . . ස්වර්ගීය ස්ථානවල සිටින භූත සේනාවන්ට විරුද්ධවය” කියායි. (එෆීස 6:12) අපේ සටන ‘පොරබැදීමක්’ ලෙස පාවුල් හැඳින්වූයේ ඇයි? ඊට හේතුව වන්නේ අපේ සටන මුහුණට මුහුණ ලා කරන සටනක් වීමයි. පාවුල් ඉන් පැහැදිලි කිරීමට උත්සාහ කළේ භූතයන් අප එක් එක් කෙනාට විරුද්ධව සටනක් කරන බවයි. භූත විශ්වාසයන් ඉතා ප්‍රචලිත රටක අප ජීවත් වුණත් නැතත් යෙහෝවා දෙවිට කැප වූ දා සිට අප භූතයන් සමඟ පොරබැදීමට පටන්ගත් බව කිසිදාක අමතක නොකළ යුතුයි. ඇත්තෙන්ම එය ප්‍රබල පොරබැදීමක්. එෆීස නුවරේ ක්‍රිස්තියානීන්ට ‘නොසැලී ස්ථිරව සිටින්න’ කියා පාවුල් තුන් වතාවක්ම උනන්දු කළේ ඒ නිසයි.—එෆීස 6:11, 13, 14.

9. (අ) සාතන් හා භූතයන් විවිධාකාර “කපටි ක්‍රියා” යොදාගන්නේ ඇයි? (ආ) අප සිතන ආකාරය දූෂ්‍ය කිරීමට සාතන් උත්සාහ කරන්නේ ඇයි හා ඊට විරුද්ධව සිටිය හැක්කේ කෙසේද? (“ සාතන්ගේ කපටි උපක්‍රමවලට හසු නොවන්න” යන කොටුව බලන්න.) (ඇ) අප දැන් සලකා බලන්නේ සාතන්ගේ කුමන කපටි ක්‍රමය ගැනද?

9 කපටි ක්‍රම. සාතන්ගේ “කපටි ක්‍රියාවලට” විරුද්ධව ක්‍රිස්තියානීන් නොසැලී ස්ථිරව සිටිය යුතු බව පාවුල් පැවසුවා. (එෆීස 6:11, පාදසටහන) එහිදී පාවුල් පැවසුවේ, ‘කපටි ක්‍රියාවකට’ නොව “ක්‍රියාවලට” විරුද්ධව අප කටයුතු කළ යුතු බවයි. ඉන් පැහැදිලි වන්නේ සාතන් හා භූත සේනාව දෙවි සමඟ අපට තිබෙන බැඳීම දුර්වල කිරීමට එක කපටි ක්‍රමයක් නොව විවිධාකාර ක්‍රම යොදාගන්නා බවයි. ඔවුන් එසේ කරන්නේ හොඳ හේතු ඇතුවයි. මන්ද කෙනෙක් එක් කපටි ක්‍රමයකට හසු නොවී ස්ථිරව සිටියත් වෙනත් අවස්ථාවක ඔවුන් යොදන වෙන කපටි ක්‍රමයකට හසු විය හැකියි. ඒ නිසා යක්ෂයා හා භූත සේනාව අපේ දුර්වලම තැන කුමක්ද කියා දැනගැනීමට අප සියලුදෙනාවම හොඳින් නිරීක්ෂණය කරනවා. අපේ දුර්වල තැන හඳුනාගත් විට එය ප්‍රයෝජනයට ගෙන ඔවුන් උත්සාහ කරන්නේ අපේ ස්ථාවරය කෙසේ හෝ බිඳ දැමීමටයි. එසේ කිරීම සඳහා ඔවුන් කපටි ක්‍රමයක් හෝ ක්‍රම කිහිපයක් යොදාගන්නවා. නමුත් සාතන් යොදාගන්නා කපටි ක්‍රම බොහොමයක් ගැන බයිබලයේ විස්තර සපයා තිබෙන නිසා ඒවා පහසුවෙන්ම හඳුනාගැනීමට අපට පුළුවන්. (2 කොරින්ති 2:11) මෙම පොතේ කලින් පරිච්ඡේදවල ඔහුගේ කපටි ක්‍රම කිහිපයක් ගැන තොරතුරු සාකච්ඡා කළා. උදාහරණයකට ධන සම්පත් පසුපස හඹා යෑම, හානිකර ආශ්‍රිතයන් හා අනාචාරය වැනි උගුල් සඳහන් කළ හැකියි. දැන් අපි සාතන්ගේ තවත් කපටි ක්‍රමයක් ගැන සලකා බලමු. ඒ භූතවාදී දේවලුයි.

භූතවාදී දේවල්වලට හවුල් වීම දෙවිට කරන ද්‍රෝහිකමක්

10. (අ) භූතවාදී දේවල්වල යෙදෙන විට සිදු වන්නේ කුමක්ද? (ආ) දෙවි භූතවාදී දේවල් සලකන්නේ කෙසේද? භූතවාදී දේවල් ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

10 පුද්ගලයෙකු භූතවාදී දේවල්වල යෙදෙන විට ඔහු කෙළින්ම සම්බන්ධ වන්නේ භූතයන් සමඟයි. භූතවාදී දේවල් සමහරක් නම් පේන කීම, මායා බන්ධන ක්‍රියා, කොඩිවින, හදිහූනියම්, මළවුන්ගෙන් තොරතුරු විචාරීම යනාදියයි. යෙහෝවා දෙවි එවැනි දේවලට ‘පිළිකුල්’ කරන බව අපි හොඳින්ම දන්නවා. (ද්විතීය කතාව 18:10-12; එළිදරව් 21:8) අපත් “දුෂ්ට දේවල් පිළිකුල්” කළ යුතු නිසා භූතයන්ව සම්බන්ධ කරගන්නා කිසිම දෙයකට අප කිසි ලෙසකින්වත් හවුල් වන්නේ නැහැ. (රෝම 12:9) අප එසේ කළොත් එය අපේ ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවිට විරුද්ධව කරන මොන තරම් ද්‍රෝහි ක්‍රියාවක්ද!

11. අපව භූතවාදී දේවල්වලට සම්බන්ධ කරගැනීමට සාතන් දරන උත්සාහය සාර්ථක වුණොත් එය ඔහු ලබන ජයග්‍රහණයක් කියා පැවසිය හැක්කේ ඇයි? පැහැදිලි කරන්න.

11 භූතවාදී දේවල්වලට අපෙන් සමහරදෙනෙකුව කෙසේ හෝ සම්බන්ධ කරගැනීමට සාතන් මහත් උත්සාහයක් දරන්නේ ඒ නිසයි. ක්‍රිස්තියානීන් භූතවාදී දේවල්වලට සම්බන්ධ වන සෑම අවස්ථාවකදීම සාතන් ලබන්නේ විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ කාරණය තේරුම්ගැනීමට මෙම උදාහරණය සලකා බලන්න. තම හමුදාව අත්හැර සතුරු සේනාවට බැඳෙන්න සෙබළෙකුව පොලඹවාගැනීමට සතුරු සේනාවේ නායකයාට හැකි වුණොත් ඔහුට මොන තරම් සතුටක් දැනේවිද! සෙබළා කලින් අයත්ව සිටි හමුදාවේ හමුදාපතිට නිග්‍රහ කිරීමේ අරමුණින් සතුරු සේනාවේ නායකයා එම සෙබළාව යොදාගෙන විවිධ දේවල් සංවිධානය කිරීමටත් ඉඩ තිබෙනවා. ඒ හා සමානව ක්‍රිස්තියානියෙකු භූතවාදී දේවල්වලට සම්බන්ධ වන විට ඔහු කරන්නෙත් දැන දැනම යෙහෝවා දෙවිව අත්හැර සාතන්ගේ අණසක යටතට යෑමයි. එවැනි කෙනෙකුව යොදාගෙන දෙවිට නිග්‍රහ කිරීමට සාතන්ට හැකියි. එය සාතන්ට ගෙන දෙන්නේ මහත් සතුටක්. දෙවිගේ එක් සේවකයෙකුව හෝ තම පැත්තට ගැනීමට හැකි වීම සාතන් ලබන ජයග්‍රහණයක් නොවේද! එවැනි ජයග්‍රහණයක් සාතන්ට අත් කර දීමට අපෙන් කවුරුවත් කැමති නැහැ. මන්ද අපි දෙවිට ද්‍රෝහි වන අය නොවෙයි.

සැක මතු කිරීමෙන්

12. භූතවාදී දේවල් ගැන අපට තිබෙන පිළිකුල අඩු කිරීමට සාතන් කරන්නේ කුමක්ද?

12 භූතවාදී දේවල් ගැන අප තුළ පිළිකුලක් තිබෙන තාක් කල් අපව ගොදුරු කරගැනීමට තමා දරන උත්සාහය සාර්ථක නොවන බව සාතන් හොඳින් දන්නවා. අප තුළ භූතවාදී දේවල් ගැන පිළිකුලක් තිබෙන්නේ යහපත හා නපුර ගැන යෙහෝවා දෙවි දරන ආකල්පය අපත් දරන නිසයි. ඒ නිසා අපේ සිත්වල යම් සැකයන් මතු කර අපේ ආකල්පවල වෙනසක් ඇති කිරීමට සාතන් උත්සාහ දරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස යහපත හා නපුර සම්බන්ධයෙන් අප සිතූ දේ වෙනස් විය හැකියි. එනම් ‘යහපත නපුර කියාද නපුර යහපත කියාද’ සිතීමට අප පෙලඹෙන්න පුළුවන්. (යෙසායා 5:20) අප තුළ එලෙස ඇති වන සැක ඔහු තම වාසියට හරවාගන්නවා.

13. සැකයන් මතු කිරීමට සාතන් උත්සාහ කර තිබෙන බවට උදාහරණ දෙන්න.

13 මිනිසුන් තුළ යම් සැකයන් ඇති කර එය තම වාසියට හරවාගන්න සාතන් පටන්ගත්තේ අද ඊයේ නොවෙයි. ඒදන් උයනේදී ඒව තුළ සැකයක් මතු කරමින් ඔහු මෙසේ ප්‍රශ්න කළා. “උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද?” වෙනත් අවස්ථාවක සාතන් සියලුම දේවදූතයන් සමඟ දෙවි ඉදිරියේ පෙනී සිටි විට යෝබ්ගේ විශ්වාසවන්තකම ගැන සැක මතු කරමින්, “ඔහු ඔබට ගරුබිය දක්වන්නේ නිකමටද” කියා ඇසුවා. එමෙන්ම යේසුස් පොළොව මත සේවය ආරම්භ කළ අවස්ථාවේදී ඔහු යේසුස්ට අභියෝග කරමින් මෙසේ පැවසුවා. “ඔබ දෙවිගේ පුත්‍රයෙකු නම් මේ ගල් රොටි කරන්න.” එහිදී ඔහු යේසුස් දෙවිගේ එකම පුත්‍රයාය යන කාරණය සම්බන්ධයෙන් සැක මතු කළා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි” කියා යෙහෝවා දෙවිම යේසුස් ගැන පවසා තිබුණේ ඊට සති හයකට පමණ පෙරයි. දෙවිගේ ඒ වදන් සැහැල්ලුවට ලක් කිරීමට පවා සාතන් නිර්භීත වුණා.—උත්පත්ති 3:1; යෝබ් 1:9; මතෙව් 3:17; 4:3.

14. (අ) භූතවාදී දේවල් සිතන තරම් පිළිකුල්සහගත නැහැයි කියා සිතීමට සාතන් සලස්වන්නේ කෙසේද? (ආ) අප සලකා බලන පැති දෙක මොනවාද?

14 භූතවාදී දේවල් සිතන තරම් පිළිකුල්සහගත නැහැයි කියා සිතීමට සාතන් අදත් සැක මතු කරනවා. කනගාටුවට හේතුවක් නම් ඔහුගේ එම උගුලට ඇතැම් ක්‍රිස්තියානීන් පවා හසු වී තිබීමයි. ඒ නිසා සමහරක් භූතවාදී දේවල් ඇත්තටම පිළිකුල්සහගතද කියා ප්‍රශ්න කිරීමට ඔවුන් පටන්ගෙන තිබෙනවා. (2 කොරින්ති 11:3) ඔවුන් සිතන ආකාරය නිවැරදි කරගැනීමට අපට උපකාර කළ හැක්කේ කෙසේද? සාතන්ගේ එම උගුලට හසු නොවී සිටීමට අපට කළ හැක්කේ කුමක්ද? ඒ සඳහා මුලින්ම අප, සාතන් ඉතා කපටි ලෙස භූතවාදී දේවල් සම්බන්ධ කර තිබෙන පැති දෙකක් හඳුනාගත යුතුයි. ඒවා නම් අප විනෝදයට අසන, නරඹන, කියවන දේවල් හා ලෙඩ රෝගවලට ලබාගන්නා යම් ප්‍රතිකාර ක්‍රමයි. ඒවා මාර්ගයෙන් සාතන් භූතවාදී දේවල් සිතන තරම් පිළිකුල්සහගත නැහැයි කියා සිතීමට සලස්වන ආකාරය දැන් සලකා බලමු.

අපේ ආශාවන් හා අවශ්‍යතා තම වාසියට හරවාගනියි

15. (අ) බොහෝදෙනෙකු භූතවාදී දේවල් ගැන දරන්නේ මොන වගේ මතයක්ද? (ආ) ඒ මතය ඇතැම් ක්‍රිස්තියානීන්ට බලපා තිබෙන්නේ කෙසේද?

15 විනෝදය සඳහා විවිධ දේවල් ඇසීමට, නැරඹීමට හා කියවීමට අප කවුරුත් කැමතියි. නමුත් දැන් චිත්‍රපටි, පොත් පත්, රූපවාහිනී වැඩසටහන්, පරිගණක ක්‍රීඩා යනාදියට භූතවාදී දේවල් වැඩි වැඩියෙන් සම්බන්ධ කර තිබෙනවා. ඒවා ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන් භූතවාදී දේවල නියැලීම හානිදායක නැති බවත් ඉන් මහත් විනෝදයක් ලබාගත හැකි බවත් ඒවායේ නියැලෙන කෙනෙකුට කැපීපෙනෙන්න පුළුවන් බවත් කියාපානවා. එහි ප්‍රතිඵලයක් ලෙස මන්තර ගුරුකම්, අද්භූත දේවල් හා වෙනත් භූතවාදී දේවල් ගැන වඩ වඩා ලිහිල් ආකල්පයක් දැරීමට බොහෝදෙනෙක් පෙලඹී තිබෙනවා. අද්භූත දේවල් වටා ගොඩනඟා තිබෙන යම් චිත්‍රපටි හා පොත් පත් අද කොතරම් ජනප්‍රිය වී තිබෙනවාද කියනවා නම් රසික රසිකාවියන් ඒ නමින් කුඩා සංවිධාන පවා පිහිටුවා තිබෙනවා. ඒ දේවලින් පැහැදිලි වන්නේ භූතවාදී දේවල් ඇත්තටම හානිදායක නැහැයි කියන මතය ප්‍රචලිත කිරීමට භූතයන් සමත් වී තිබෙන බවයි. එය සැබෑ ක්‍රිස්තියානීන්ටත් බලපා තිබෙනවාද? ඔව්, සමහරක් අයට එය බලපා තිබෙනවා. උදාහරණයකට එක් සහෝදරයෙක් අද්භූත දේවල් හුවා දක්වන චිත්‍රපටියක් නැරඹූ පසු මෙසේ පැවසුවා. “මම ඒ චිත්‍රපටිය බැලුවා තමයි. ඒත් මම භූතවාදී දේවල් කළේ නැහැනේ.” එසේ සිතීම අනතුරුදායක වන්නේ ඇයි?

16. භූතවාදී ක්‍රියා හුවා දක්වන දේවල් විනෝදය සඳහා තෝරාගැනීම අනතුරුදායක වන්නේ ඇයි?

16 භූතවාදී දේවල නියැලීම හා ඒවා නැරඹීම අතර වෙනසක් තිබුණත් ඒවා නැරඹීමෙන් කෙනෙකුට කිසි අනතුරක් සිදු වන්නේ නැහැ කියා පැවසිය නොහැකියි. එසේ පැවසීමට හේතුව අපි සලකා බලමු. සාතන්ටවත් ඔහුගේ භූතයන්ටවත් අපේ සිතේ තිබෙන දේවල් කෙළින්ම දැනගන්න පුළුවන් කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. * ඒ නිසා අප සිතන දේවල් දැනගැනීමට නම් අප කරන කියන දේවල් හොඳින් නිරීක්ෂණය කිරීමට ඔවුන්ට සිදු වෙනවා. අප තුළ තිබෙන දුර්වලකම් හඳුනාගැනීමට ඔවුන්ට හැකි වන්නේ එවිටයි. විවිධාකාර අද්භූත දේවල්, භූතයන්ගේ බලවත් ක්‍රියා හා ඔවුන්ගේ බලපෑම් ඇතුළත් චිත්‍රපටි හෝ පොත් පත්වලට තමන් රුචියක් දක්වන බව ක්‍රිස්තියානියෙකු කරන කියන දේවලින් පෙන්නුම් කරන විට ඔහු ඇත්තටම කරන්නේ ඔහුගේ සිතේ තිබෙන දේ ගැන යම් ඉඟියක් භූතයන්ට ලබා දීමයි. එසේ කිරීමෙන් තමන් තුළ තිබෙන දුර්වලකම කුමක්ද කියා ඔහු භූතයන්ට එළිදරව් කරනවා. එවිට ඒ දුර්වලකම තම වාසියට හරවාගැනීමට උත්සාහ කරන භූතයන්, ඔහු සමඟ කරන පොරබැදීම තව තවත් ප්‍රබල කරනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ කෙසේ හෝ ඔහුව ‘බිම හෙළීමයි.’ විනෝදය සඳහා පමණක් එවැනි දේවල් නැරඹීමට පටන්ගත් සමහරදෙනෙක්, පසු කාලයක ඒ දේවලට ඇති වූ රුචිය නිසා භූතවාදී දේවල් කිරීමට පවා යොමු වී තිබෙනවා. (ගලාති 6:7 කියවන්න.) එසේනම් අප නරඹන, කියවන හා අසන දේවල් ගැන අප කොතරම් පරෙස්සම් විය යුතුද!

අසනීප වී සිටින අවස්ථාවලදී යෙහෝවා දෙවිගෙන් පිහිට පතන්න

17. සාතන් අසනීප වී සිටින අයව හසු කරගන්න උත්සාහ කරන්නේ කවර කපටි ක්‍රියාවක් යොදාගෙනද?

17 විනෝද වීම සඳහා අපට තිබෙන ආශාව පමණක් නොව ලෙඩ රෝගවලට ප්‍රතිකාර ලබාගැනීමට තිබෙන අවශ්‍යතාවත් සාතන් තම වාසියට හරවාගැනීමට උත්සාහ කරනවා. ඔහු එය කරන්නේ කෙසේද? බරපතළ අසනීප තත්වයකට මුහුණ දෙන කෙනෙකු සුවයක් ලැබීමට කොතරම් උත්සාහයක් දැරුවත් ඉන් පලක් නොලබන අවස්ථා තිබෙන්න පුළුවන්. ඒ නිසා ඔහු දැඩි මානසික පීඩනයකින් සිටිනවා විය හැකියි. (මාක් 5:25, 26) එම පුද්ගලයාව ගොදුරු කරගැනීමට එය සාතන්ට හා භූතයන්ට කදිම අවස්ථාවක් විය හැකියි. ඒ නිසා “මන්තර ගුරුකම්” වැනි දෙවි අකමැති දෙයක් කර තමන්ට කෙසේ හෝ සුවයක් ලබාගැනීමට අසනීපව සිටින තැනැත්තාට ඔවුන් යම් බලපෑම් කළ හැකියි. (යෙසායා 1:13) එවැනි ප්‍රතිකාර ක්‍රමවල පිහිට පතන කෙනෙකු වැටෙන්නේ භයානක අනතුරකයි. මන්ද එසේ කිරීමෙන් දෙවි සමඟ ඔහුට තිබෙන මිත්‍රත්වය පලුදු විය හැකියි.

18. ක්‍රිස්තියානීන් ප්‍රතික්ෂේප කරන්නේ කවර ප්‍රතිකාරද? ඒ ඇයි?

18 “මන්තර ගුරුකම්” කිරීමට පෙලඹුණු ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. “ඔබ අත් දෙක ඔසවා මට කන්නලව් කළත් මම අහක බලාගන්නෙමි. ඔබ මොන තරම් යාච්ඤා කළත් මම සවන් නොදෙන්නෙමි.” (යෙසායා 1:15) අපේ යාච්ඤා සම්බන්ධයෙන් යෙහෝවා දෙවිට එලෙස හැඟෙනවා දකින්න අප කවුරුත් කැමති නැහැ. විශේෂයෙන්ම අප අසනීප වී සිටින අවස්ථාවක යෙහෝවා දෙවි අපට සවන් දෙන්නේ නැත්නම්, ඔහුගේ උපකාරය අපට ලැබෙන්නේ නැත්නම් එම අවස්ථාවට මුහුණ දීමට අපට නොහැකියි. (ගීතාවලිය 41:3) ඒ නිසා යම් ප්‍රතිකාර ක්‍රමයකට භූතවාදී දේවල් සම්බන්ධයි කියා යම් සැකයක් තිබෙනවා නම් එවැනි ප්‍රතිකාර ක්‍රම අප එකහෙළාම ප්‍රතික්ෂේප කළ යුතුයි. * (මතෙව් 6:13) එසේ කිරීමෙන් යෙහෝවා දෙවිගේ උපකාර දිගටම ලබාගන්න අපට හැකි වෙනවා.— මා කරන්නේ භූතයන්ට අත වැනීමක්ද?” යන කොටුව බලන්න.

භූතයන් සම්බන්ධ කතන්දර පතුරුවන්න එපා

19. (අ) යක්ෂයාට තිබෙන බලය ගැන බොහෝදෙනෙක් සිතන්නේ කුමක්ද? (ආ) ක්‍රිස්තියානීන් වැළකී සිටිය යුත්තේ කුමකින්ද?

19 බටහිර රටවල මිනිසුන් බොහෝදෙනෙකු සාතන්ගේ බලපෑම සැහැල්ලුවට ගත්තත් ලෝකයේ වෙනත් ප්‍රදේශවල බොහෝදෙනෙක් දරන්නේ ඊට හාත්පසින්ම වෙනස් මතයක්. ඔවුන් සිතන්නේ යක්ෂයාට අතිමහත් බලයක් තිබෙනවා කියායි. ඒ නිසා ඇතැම් අය මුළු දවසම ගෙවන්නේ භූතයන්ට භයෙනුයි. ඇත්තයි, සාතන්ට යම් බලයක් තිබෙනවා. නමුත් මිනිසුන් සිතන තරම් ඔහු බලවත් නැහැ. මිනිසුන් බොහෝදෙනෙකු එලෙස සිතීමට පෙලඹී තිබෙන්නේ භූතයන් ගැන පතුරුවා තිබෙන නොයෙකුත් කතා නිසයි. ඒ කතා රස කරකර පවසන අතර ඒවාට සවන් දීමට බොහෝදෙනෙක් මහත් කැමැත්තක්ද දක්වනවා. අප සම්බන්ධයෙන් පැවසිය හැක්කේ කුමක්ද? අපත් එවැනි කතා පතුරුවන්න හවුල් වෙනවාද? සැබෑ දෙවිගේ සේවකයන් එවැනි දේවලට කිසිම ආකාරයකින් හවුල් නොවිය යුතුයි. අප එසේ නොකරන්නේ හේතු දෙකක් නිසයි.

20. කෙනෙකු නොදැනුවත්වම සාතන්ගේ බොරු ප්‍රචාරය කරන කෙනෙකු විය හැක්කේ කෙසේද?

20 අප භූතයන්ගේ වීර වික්‍රමයන් පිළිබඳ කතා පතුරුවනවා නම් අප ඇත්තටම කරන්නේ සාතන්ට සහයෝගය දැක්වීමක්. එවැනි කතා පැතිර වීමෙන් අප වැළකී සිටීමට මුල්ම හේතුව එයයි. සාතන්ට බලවත් ක්‍රියා කළ හැකි බව බයිබලයේ සඳහන් වන බව ඇත්තයි. නමුත් ඔහු “මුළා කරවනසුලු ආශ්චර්යයන්ද අමුතුම ආකාරයේ ලකුණුද” සිදු කරන බවත් එහි අපට අනතුරු අඟවා තිබෙනවා. (2 තෙසලෝනික 2:9, 10) සාතන් අන් අයව නොමඟ යවන්න අතිදක්ෂයෙකු වන නිසා භූතවාදී දේවලට කැමැත්තක් දක්වන අයගේ සිතුවිලිවලට බලපෑම් කර බොරු දේවල් ඇත්තයි කියා විශ්වාස කිරීමට ඔවුන්ව පොලඹවන්න ඔහුට හැකියි. තමන්ට යම් අද්භූත දේවල් ඇසුණා හෝ තමන් යම් දේවල් දුටුවා කියා ඔවුන් විශ්වාස කරන්නේ ඒ නිසයි. සැබෑ සිදුවීම් ලෙස ඔවුන් විශ්වාස කරන ඒ දේවල්, පසුව ඔවුන් අන් අය අතරේ පතුරුවනවා. කාලයක් ගෙවී යන විට කටින් කටට පැතිරෙන එම කතාවලට තව ලුණු ඇඹුල් එකතු වී ඒවා වඩාත් ත්‍රාසජනක ස්වරූපයක් ගන්නවා. ප්‍රතිඵලයක් ලෙස භූතයන් ගැන මිනිසුන් තුළ ඇති බිය තවත් වැඩි වෙනවා. ක්‍රිස්තියානියෙක් එවැනි කතා පතුරුවනවා නම් ඔහු “බොරුවේ පියා” වන යක්ෂයාට සහයෝගය දක්වනවා කියා පවසන්නේ ඒ නිසයි. සාතන්ගේ බොරු ප්‍රචාරය කරන කෙනෙකු ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්.—යොහන් 8:44; 2 තිමෝති 2:16.

21. අපේ කතාබහේදී මුල් තැන දිය යුත්තේ කුමකටද?

21 ඇත්තටම අද්භූත දේවල් දුටු, භූතයන්ගේ යම් බලපෑමක් අතීතයේ අද්දුටු සහෝදරයන් අප අතරේ සිටිනවා විය හැකියි. නමුත් එවැනි අය තමන් ලැබූ ඒ අද්දැකීම් සෙසු සහෝදරයන්ට රස කරකර පැවසීමෙන් වැළකී සිටිය යුතුයි. මන්ද අපට උනන්දු කර තිබෙන්නේ, “අපගේ විශ්වාසයට ප්‍රධාන ලෙස දායක වන එය පූර්ණ තත්වයකට ගෙනෙන තැනැත්තා වන යේසුස් දෙස මහත් ඕනෑකමින්” බලන්න කියායි. (හෙබ්‍රෙව් 12:2) එසේනම් අප අපේ අවධානය යොමු කළ යුත්තේ සාතන් වෙතට නොව යේසුස් වෙතටයි. භූතයන් සම්බන්ධ කතා පැතිර වීමෙන් අප වැළකී සිටීමට දෙවෙනි හේතුව එයයි. සාතන් හා භූතයන් ගැන බොහෝ තොරතුරු යේසුස් දැන සිටි නිසා ඕනෑ නම් පොළොව මත සිටියදී ඒ විස්තර තම ගෝලයන්ට රසවත් කතන්දර ලෙස පවසන්න ඔහුට තිබුණා. නමුත් එසේ කරනවා වෙනුවට ඔහු මුල් තැන දුන්නේ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයටයි. අපත් යේසුස් හා ඔහුගේ ගෝලයන්ව ආදර්ශයට ගනිමින් අපේ කතාබහේදී ‘දෙවිගේ බලවත් ක්‍රියාවලට’ මුල් තැන දෙමු.—ක්‍රියා 2:11; ලූක් 8:1; රෝම 1:11, 12.

22. ‘ස්වර්ගයේ සිටින දේවදූතයන්ට’ දිගටම ප්‍රීතියක් ගෙන දීමට අපට හැක්කේ කෙසේද?

22 යෙහෝවා දෙවි සමඟ අපට ඇති අනගි මිත්‍රත්වය බිඳ දැමීමට සාතන් භූතවාදී දේවල් ඇතුළුව නොයෙකුත් කපටි ක්‍රම උපයෝගි කරගන්නා බව අපට පැහැදිලියි. නමුත් අප දිගටම දුෂ්ට දේවලට පිළිකුල් කරමින් යහපත් දේවලට තදින් ඇලී සිටියොත් සෑම භූතවාදී දෙයක්ම ප්‍රතික්ෂේප කිරීමට අප ගෙන තිබෙන ස්ථාවරය බිඳ දැමීමට සාතන්ට අප කිසි ඉඩක් දෙන්නේ නැහැ. (එෆීස 4:27 කියවන්න.) යක්ෂයා සහමුලින්ම විනාශ වන තුරු අපි එලෙස “යක්ෂයාගේ [කපටි ක්‍රියාවලට] විරුද්ධව නොසැලී ස්ථිරව සිටීම සඳහා” දැඩි වෑයමක් දරනවා නම්, ‘ස්වර්ගයේ සිටින දේවදූතයන් ඒ ගැන කොතරම් ප්‍රීති වෙනවාද’ කියා අමතක නොකරන්න.—ලූක් 15:7; එෆීස 6:11; පාදසටහන.

^ 16 ඡේ. බයිබලයේ සාතන්ව විස්තර කර තිබෙන්නේ විරුද්ධකාරයා, අපහාස කරන්නා, නොමඟ යවන්නා, වරදට පොලඹවන්නා හා බොරුකාරයා ලෙසයි. අපේ සිතේ තිබෙන දේවල් කෙළින්ම දැනගැනීමට ඔහුට හැකියාවක් ඇති බව එම යෙදුම්වලින් පෙන්නුම් කරන්නේ නැහැ. ඊට වෙනස්ව අපේ දෙවි යෙහෝවාව විස්තර කර තිබෙන්නේ “සිත් සෝදිසි” කරන තැනැත්තාණන් ලෙසයි. “යමෙකුගේ ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි සෝදිසි කර බලන තැනැත්තා” ලෙස යේසුස්වත් හඳුන්වා තිබෙනවා.—හිතෝපදේශ 17:3; එළිදරව් 2:23.

^ 18 ඡේ. වැඩි විස්තර සඳහා 1994 දෙසැම්බර් 15 මුරටැඹ කලාපයේ, “ඔබට සෞඛ්‍ය පරීක්ෂණයක්?” නමැති ලිපිය හා 2001 ජනවාරි 8 පිබිදෙව්! කලාපයේ, “බයිබලයේ දෘෂ්ටිකෝණය—වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ ඔබේ තේරීම කොතරම් වැදගත්ද?” නමැති ලිපිය බලන්න.