Skip to content

පටුනට යන්න

උපග්‍රන්ථය

සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකු සමඟ කටයුතු කළ යුතු අයුරු

සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකු සමඟ කටයුතු කළ යුතු අයුරු

බරපතළ වරදක් කළත් ඒ ගැන පසුතැවිලි නොවන නිසා පවුලේ කෙනෙකුව, නෑදෑයෙකුව හෝ මිතුරෙකුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන විට එය අපට දරාගැනීමට අපහසු අද්දැකීමක් විය හැකියි. ඒ කාරණය සම්බන්ධයෙන් බයිබලයේ දී ඇති මඟ පෙන්වීම්වලට අප කොතෙක් දුරට කීකරු වෙනවාද යන්නෙන් දෙවි කෙරෙහි අපට තිබෙන ප්‍රේමය කොතරම්ද කියා පැහැදිලි වෙනවා. එමෙන්ම දෙවි පිහිටුවා තිබෙන ඒ සැලැස්මට අප කොතරම් විශ්වාසවන්තව සිටිනවාද කියාත් පැහැදිලි වෙනවා. * අපි දැන් ඒ සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්න කිහිපයක් සලකා බලමු.

සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකු සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද? බයිබලයේ පවසන්නේ මෙසේයි. “යම් සහෝදරයෙක් වේශ්‍යාකම් කරන්නෙකු ලෙසද කෑදරකමින් ක්‍රියා කරන කෙනෙකු ලෙසද රූප වන්දනාවේ නිරත වන කෙනෙකු ලෙසද අනුන්ට නින්දා කරන්නෙකු ලෙසද බේබද්දෙකු ලෙසද අනුන්ගෙන් අයුතු ලෙස දේවල් ලබාගන්නෙකු ලෙසද කටයුතු කරනවා නම් ඔබ තවදුරටත් ඔහු සමඟ ආශ්‍රය නොකළ යුතුයි. එවැනි මිනිසෙකු සමඟ ඔබ එකට ඉඳ ආහාර වේලක්වත් නොගත යුතුයි.” (1 කොරින්ති 5:11) “ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට ඔබ්බෙන්” යන කෙනෙකුට සැලකිය යුතු අන්දම ගැනද එහි මෙසේ සඳහන් වෙනවා. “ඔහුව ඔබේ නිවෙස්වලට පිළි නොගන්න. ඔහු සමඟ කිසිවක් කතා නොකරන්න. මන්ද ඔහු සමඟ කතා කරන පුද්ගලයා ඔහුගේ දුෂ්ට ක්‍රියාවලට හවුල්කාරයෙක් වනු ඇත.” (2 යොහන් 9-11) ඒ තොරතුරුවලින් පැහැදිලි වන්නේ සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකු සමඟ අප කිසිම ආශ්‍රයක් නොපැවැත්විය යුතු බවයි. එක් මුරටැඹ සඟරාවක මෙවැනි අදහසක් පළ වී තිබෙනවා. ‘අප සාමාන්‍යයෙන් කෙනෙකුව හමු වන විට, “කොහොමද” කියා පවසමින් ඔහුගේ සැප දුක් විමසනවා. පවසන එවැනි සුළු දෙයක් සාකච්ඡාවකට පවා මඟ පෑදිය හැකි අතර සමහරවිට එය මිත්‍රත්වයක් දක්වා දුර දිග යා හැකියි. එසේනම් සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකුව හමු වන විට එක වචනයක්වත් ඔහු සමඟ කතා නොකර සිටීම මොන තරම් වැදගත්ද!’—1981 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ 14වෙනි පිටුව.

කිසිම ආශ්‍රයක් නොකළ යුතුමද? ඔව්. ඊට හේතු කිහිපයක්ම තිබෙනවා. එකක් නම් දෙවිට හා බයිබලයේ සපයා ඇති මඟ පෙන්වීම්වලට විශ්වාසවන්තව සිටීම අපේ කැමැත්තයි. පහසු අවස්ථාවලදී පමණක් නොව ඉතා අසීරු අවස්ථාවලදී පවා ඔහුට කීකරු වීමෙන් අපේ විශ්වාසවන්තකම අපට පෙන්විය හැකියි. ඕනෑම අවස්ථාවක දෙවිට කීකරු වීමට අප පෙලඹෙන්නේ යෙහෝවා දෙවිට අප ප්‍රේම කරන නිසයි. එමෙන්ම ඔහු සාධාරණ, ප්‍රේමණීය දෙවි කෙනෙකු බවත් ඔහුගේ ආඥාවලට කීකරු වීමෙන් සිදු වන්නේ යහපතක් බවත් අපි තේරුම්ගෙන සිටිනවා. (යෙසායා 48:17; 1 යොහන් 5:3) පසුතැවිලි නොවන කෙනෙකුව සභාවෙන් ඉවත් කරන විට ඔහුගේ නපුරු බලපෑමට සභාව තවදුරටත් හසු වන්නේ නැහැ. එය ඇත්තෙන්ම සභාවේ ආරක්ෂාවට මෙන්ම සභාවේ හොඳ නම රැකගැනීමට දායක වෙනවා. එවැනි කෙනෙකු සමඟ කිසිම ආශ්‍රයක් නොකිරීමට දෙවෙනි හේතුව එයයි. (1 කොරින්ති 5:6, 7) අප බයිබල් ප්‍රතිපත්තිවලට විශ්වාසවන්තව ඇලී සිටීම සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ පුද්ගලයාට ප්‍රයෝජනයක් විය හැකි නිසාත් ඔහු සමඟ ආශ්‍රය කිරීමෙන් අපි වැළකී සිටිනවා. ඔහුට උපකාර කරන්න වැඩිමහල්ලන් දැරූ උත්සාහය මෙතෙක් අසාර්ථක වුණත් විනිශ්චය කමිටුව ගත් තීරණයට අප දිගටම පක්ෂව සිටීම ඔහුට ප්‍රබලව බලපෑ හැකියි. තමන්ට ඉතා හිතවත්ව සිටි කෙනෙකු තවදුරටත් තමන් සමඟ ඇසුරු නොකරන බව ඔහු දකින විට ‘තමාගේ අඥානකම තේරුම්ගෙන’ එනම් තමා කළ වරදේ බරපතළකම පිළිගෙන යෙහෝවා දෙවි වෙතට නැවතත් ළං වීමට අවශ්‍ය පියවර ගැනීමට ඔහු තුළ පෙලඹීමක් ඇති විය හැකියි.—ලූක් 15:17.

සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන පුද්ගලයා පවුලේ සාමාජිකයෙකු හෝ නෑදෑයෙකු නම් . . . පවුලේ සාමාජිකයන් අතරේ ඉතා කිට්ටු බැඳීමක් තිබෙන නිසා අප යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටිනවාද යන කාරණය මෙවැනි අවස්ථාවක සෝදිසියකට ලක් විය හැකියි. එසේනම් අප එවැනි කෙනෙකු සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද? මුහුණ දීමට සිදු වන සෑම අවස්ථාවක් ගැනම මෙහිදී සාකච්ඡා කළ නොහැකි වුණත් අපි පොදු අවස්ථා දෙකක් ගැන සලකා බලමු.

සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ පුද්ගලයා තම පවුලත් සමඟ එකම නිවසේ ජීවත් වෙනවා විය හැකියි. ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කර තිබුණත් ඔහු තවමත් පවුලේ සාමාජිකයෙකු නිසා ඔහු සමඟ එදිනෙදා කටයුතුවල නිරත වීමට සිදු විය හැකියි. නමුත් පවුලේ සාමාජිකයන් ඔහුව තවදුරටත් තමන්ගේ ක්‍රිස්තියානි සහෝදරයෙකු ලෙස නොසැලකිය යුතුයි. ඒ නිසා ඔවුන් ඔහු සමඟ නමස්කාර කටයුතුවල තවදුරටත් සහභාගි වන්නේ නැහැ. උදාහරණයකට පවුලේ සාමාජිකයන් පවුලේ නමස්කාරය කරන විට ඔහුව ඊට සහභාගි කර නොගත යුතුයි. නමුත් සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ පුද්ගලයා බාල වයසේ පසු වන දරුවෙක් නම් ඔහුට මඟ පෙන්වීම් හා හික්මවීම් ලබා දීමට දෙමාපියන් තවමත් බැඳී සිටිනවා. ඒ නිසා දෙමාපියන්ට ඒ දරුවා සමඟ බයිබල් පාඩමක් පැවැත්විය හැකියි. *හිතෝපදේශ 6:20-22; 29:17.

තවත් අවස්ථාවක් සලකා බලන්න. සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ පුද්ගලයා තම පවුල සමඟ එකම නිවසේ ජීවත් නොවනවා විය හැකියි. කලාතුරකින් පැනනැඟිය හැකි අත්‍යවශ්‍ය වූ පවුලේ කාරණයකදී ඔහුව සුළු වේලාවකට හමු වීමට සිදු විය හැකියි. එවැනි අවස්ථාවකදී ඔහු සමඟ ගත කරන වේලාව හැකි තරම් අවම කරගැනීමට පියවර ගන්න. තම නිවසේ ජීවත් නොවන, සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ පවුලේ සාමාජිකයෙකු හෝ නෑදෑයෙකු සමඟ කාලය ගත කිරීමට හේතු මවමින් අවස්ථාවන් සොයන්න එපා. මන්ද අපේ ආශාව වන්නේ දෙවිට හා ඔහුගේ සංවිධානයට විශ්වාසවන්තව සිටීමයි. ඒ නිසා කෙනෙකුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට දෙවි පිහිටුවා තිබෙන සැලැස්මට අපේ පක්ෂපාතකම පෙන්වමු. ඇත්තෙන්ම අප එසේ කටයුතු කරන්නේ වරද කළ තැනැත්තාගේ යහපත ගැන සිතායි. මන්ද තමන්ට ලබා දුන් හික්මවීම්වලට හොඳ ප්‍රතිචාරයක් දැක්වීමට එය ඔහුට උපකාරයක් විය හැකියි. *හෙබ්‍රෙව් 12:11.

^ 1 ඡේ. මෙම විෂයට අදාළ බයිබල් ප්‍රතිපත්ති සභා සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණය කරන කෙනෙකු සම්බන්ධයෙනුත් අදාළයි.

^ 2 ඡේ. බාල වයසේ පසු වන එවැනි දරුවෙකු සමඟ කටයුතු කළ යුතු ආකාරය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 2001 ඔක්තෝබර් 1 මුරටැඹ කලාපයේ 16-17 දක්වා පිටුවල හා 1989 මැයි 1 මුරටැඹ කලාපයේ 29-30 දක්වා පිටුවල සඳහන් තොරතුරු බලන්න.

^ 3 ඡේ. සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ පවුලේ සාමාජිකයෙකු හෝ නෑදෑයෙකු සමඟ කටයුතු කළ යුතු ආකාරය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 1981 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ 16-20 දක්වා පිටුවල සඳහන් තොරතුරු බලන්න.