Skip to content

පටුනට යන්න

උපග්‍රන්ථය

රුධිරයේ අනුකොටස් හා ප්‍රතිකාර ක්‍රම

රුධිරයේ අනුකොටස් හා ප්‍රතිකාර ක්‍රම

රුධිරයේ අනුකොටස්. රුධිරය ප්‍රධාන කොටස් හතරකට බෙදිය හැකියි. එනම් රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා හා ප්ලාස්මාවයි. එම ප්‍රධාන කොටස්වලින් ලබාගන්නා අනුකොටස් රැසක් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අද භාවිත කරනු ලබනවා. උදාහරණයකට රතු රුධිරාණුවල හීමොග්ලොබින් නමැති ප්‍රෝටීනය අඩංගුයි. දැඩි රක්තහීනතාව හෝ ප්‍රබල ලේ ගැලීමක් ඇති රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මිනිසුන්ගෙන් හෝ සතුන්ගෙන් ලබාගත් හීමොග්ලොබින් භාවිත කරනවා.

ප්ලාස්මාවේ සියයට 90ක්ම අඩංගු වන්නේ ජලයයි. ඊට අමතරව විවිධාකාර හෝමෝන, ලවණ වර්ග, එන්සයිම හා සීනි, ඛනිජ වර්ග ආදිය ඇතුළත් පෝෂ්‍ය පදාර්ථ ප්ලාස්මාවෙන් ලබාගත හැකියි. එමෙන්ම ලේ කැටි ගැසීමට උපකාරවත් වන ද්‍රව්‍ය, විවිධ රෝගවලට විරුද්ධව සටන් කිරීමට උපකාරවත් වන ප්‍රතිදේහ හා ඇල්බියුමින් වැනි ප්‍රෝටීනද ප්ලාස්මාවේ තිබෙනවා. උදාහරණයකට කෙනෙකුට යම් රෝගයක් වැලඳුණු විට ඒ රෝගය මර්දනය කිරීමට ඒ රෝගයට ඔරොත්තු දෙන කෙනෙකුගේ රුධිර ප්ලාස්මාවෙන් ගත් ගැමා ග්ලොබියුලින් නමැති ප්‍රෝටීනය ශරීරගත කිරීමට වෛද්‍යවරයෙකු නිර්දේශ කළ හැකියි. සුදු රුධිරාණුවලින්ද යම් වයිරස් ආසාදන හා පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා උපකාරවත් වන ප්‍රෝටීන (interferon, interleukin) ලබාගත හැකියි.

ක්‍රිස්තියානීන්ට එවැනි අනුකොටස් යොදාගෙන ලබා දෙන ප්‍රතිකාර පිළිගත හැකිද? බයිබලයේ ඒ සෑම දෙයක් ගැන විස්තර සපයන්නේ නැති නිසා සෑම ක්‍රිස්තියානියෙකුම දෙවි ඉදිරියේ තම හෘදය සාක්ෂියට එකඟව තීරණයක් ගත යුතුයි. ඇතැම් අය ‘රුධිරය බිමට වත් කළ යුතුයි’ යන ප්‍රතිපත්තිය ගැන කල්පනා කර සියලුම අනුකොටස් ප්‍රතික්ෂේප කළ හැකියි. (ද්විතීය කතාව 12:22-24) තවත් සමහරුන් රුධිරය හෝ එහි ප්‍රධාන කොටස් ප්‍රතික්ෂේප කළත් රුධිරයේ අනුකොටස් යොදාගෙන ලබා දෙන ප්‍රතිකාර පිළිගැනීමට කැමති විය හැකියි. ඔවුන් සිතන්නේ රුධිරයේ ප්‍රධාන කොටස් තවත් අනුකොටස්වලට වෙන් කළ පසු ඒවා තවදුරටත් සත්වයෙකුගේ ජීවය නියෝජනය කරනවා කියා සැලකිය නොහැකි බවයි.

රුධිරයේ අනුකොටස් ප්‍රතිකාර ලෙස ලබාගන්නවාද නැද්ද කියා තීරණය කිරීමට සිදු වන විට මෙම ප්‍රශ්න ගැන සලකා බලන්න. ‘සියලුම අනුකොටස් මා ප්‍රතික්ෂේප කළොත් යම් රෝග මර්දනය කිරීමට උපකාරවත් විය හැකි සමහරක් ඖෂධ හෝ ලේ ගැලීම නතර කිරීම සඳහා ලේ කැටි ගැසීමට උපකාරවත් වන ඖෂධ පවා මට ලබාගත නොහැකි බව මා තේරුම්ගෙන සිටිනවාද? මා යම් අනුකොටස් ප්‍රතික්ෂේප කරන්නෙත් සමහරක් ඒවා පිළිගන්නෙත් කුමන හේතුවක් නිසාද කියා වෛද්‍යවරයෙකුට පැහැදිලි කිරීමට මට පුළුවන්ද?’

ඔබේම රුධිරය භාවිත කරමින් කරන ප්‍රතිකාර ක්‍රම. එම ක්‍රමවලට හීමෝඩයිලූෂන් (hemodilution) සහ සෙල් සැල්වෙජ් (cell salvage) යන ක්‍රම ඇතුළත්. හීමෝඩයිලූෂන් යනු රුධිර පරිමාව වඩාත් දියාරු කිරීමට අනුගමනය කරන ක්‍රමයක්. ඒ සඳහා රෝගියාගේ රුධිරය ශරීරයෙන් පිටතට ගෙන ඒ වෙනුවට රුධිරය අඩංගු නැති ද්‍රාවණයක් ශරීරගත කර, පිටතට ගත් රුධිරයද ඒ සමඟම නැවතත් ශරීරගත කරනු ලබනවා. සෙල් සැල්වෙජ් යනු ශල්‍යකර්මයක් අතරතුරේදී අපතේ යා හැකි රුධිරය හැකි තරම් බේරාගැනීමට යොදාගන්නා ක්‍රමයක්. ඒ සඳහා කැපුමක් හෝ තුවාලක් නිසා ශරීර අභ්‍යන්තරයේ තැන්පත් වී ඇති රුධිරය බට මාර්ගයෙන් එකතු කර එය පිරිසිදු කර නැවත ශරීරගත කරනු ලබනවා. එම ක්‍රම සිදු කරන ආකාරය කෙනෙකු තෝරාගන්නා වෛද්‍යවරයා අනුව වෙනස් විය හැකි නිසා ක්‍රිස්තියානියෙක් තම වෛද්‍යවරයාගෙන් ඉතා පැහැදිලිව තොරතුරු විමසිය යුතුයි.

එවැනි ප්‍රතිකාර ගැන තීරණයක් ගන්නා විට ඔබෙන් මෙසේ අසාගන්න. ‘මගේ ලේවලින් යම් කොටසක් ශරීරයෙන් ඉවතට ගන්නා විට යම් කෙටි කලකට හෝ ඒ ක්‍රියාවලිය ඇණහිටියොත් ඒ ලේ මට අයිති රුධිරය ලෙස තවදුරටත් සැලකීමට මගේ හෘදය සාක්ෂිය මට ඉඩ දෙයිද? එසේ නැතහොත් ශරීරයෙන් ඉවතට ගිය රුධිරය ලෙස එය ‘බිමට වත් කළ යුතු’ බව මට හැඟෙයිද? (ද්විතීය කතාව 12:23, 24) මට ප්‍රතිකාර කරන අවස්ථාවකදී මගේම ලේ මගේ ශරීරයෙන් ඉවතට ගෙන, එයට යම් ද්‍රව්‍ය එකතු කර හෝ ඉවත් කර නැවතත් මගේ ශරීරයට ඇතුල් කළොත් මගේ හෘදය සාක්ෂියට එය කෙසේ බලපායිද? මගේම රුධිරය භාවිත කරමින් කරන සෑම ප්‍රතිකාර ක්‍රමයක්ම මා ප්‍රතික්ෂේප කළොත් මට රුධිර පරීක්ෂණයක් කළ නොහැකි බවත්, රුධිරය යන්ත්‍රයක් මගින් පිරිසිදු කිරීමට (හීමෝඩයලිසිස්) හෝ බයිපාස් සැත්කමක් කරන විට කෘත්‍රිම හෘද/ශ්වසන යන්ත්‍රයක් හෝ භාවිත කිරීමට මට නොහැකි බව මම තේරුම්ගෙන සිටිනවාද?’

ශල්‍යකර්මයක් සිදු කරන විට තම රුධිරය සම්බන්ධයෙන් කුමන පියවර අනුගමනය කළ යුතුද කියා තීරණය කිරීමට සෑම ක්‍රිස්තියානියෙකුටම පෞද්ගලික වගකීමක් තිබෙනවා. වෛද්‍ය පරීක්ෂණ, ඔබේ රුධිරයෙන් කුඩා ප්‍රමාණයක් ගෙන එයට යම් ද්‍රව්‍ය එකතු කර නැවත ශරීරගත කිරීම වැනි වෛද්‍ය ක්‍රමවලට එකඟ වෙනවාද නැද්ද යන්න ගැනත් එම ප්‍රතිපත්තියම අදාළයි.