Skip to content

පටුනට යන්න

මෙයාව මට ගැළපෙනවාද?

මෙයාව මට ගැළපෙනවාද?

3වෙනි පරිච්ඡේදය

මෙයාව මට ගැළපෙනවාද?

ඔයාගේ අදහස් දෙන්න

ඔයා බඳින්න කැමති මොන වගේ කෙනෙක්වද? එයාට තියෙන්න ඕනේමයි කියලා හිතෙන දේවල් හතරකට ලකුණ දාන්න.

□ හොඳ පෙනුමක් □ දෙවිට ළැදි

□ මිත්‍රශීලී □ විශ්වාසවන්ත

□ ප්‍රසිද්ධ □ ගුණ යහපත්

□ විහිළුවලට කැමති □ අරමුණක් තියෙන

මීට අවුරුදු කිහිපයකට කලින් ඔයා කෙනෙක්ට කැමැත්තෙන් හිටියාද? ඔයාගේ හිත එයාට වැඩියෙන්ම ඇදිලා ගියේ උඩ තියෙන දේවල් අටෙන් කොයි එකටද? ඒකට × ලකුණ දාන්න.

උඩ තියෙන දේවල් අටෙන් එකක්වත් නරකයි කියලා කියන්න බැහැ. හැබැයි ගොඩක් වෙලාවට යෞවන කාලේදී අපේ හිත කෙනෙක්ට ඇදිලා යන්නේ පිටින් පේන්න තියෙන දේවල්වලටයි. ඒ කියන්නේ වම් පැත්තේ තියෙන දේවල්වලටයි.

ඒත් ඔයා වැඩිහිටි වයසට එද්දී ඊට වඩා වැදගත් දේවල් ගැනත් සැලකිලිමත් වෙනවා. ඔයාගේ හිත ඇදිලා ගිය කෙනාට වම් පැත්තේ තියෙන දේවල් විතරක් නෙමෙයි දකුණු පැත්තේ තියෙන දේවලුත් තියෙනවාද කියලා කල්පනා කරලා බලනවා. ඒ කියන්නේ ඔයා කෙනෙක්ව පිටින් බලලා එයා ඔයාට ගැළපෙනවා කියලා තීරණය කරන්නේ නැහැ. එයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා ඔයා හොඳට හිතලා බලනවා. සමහරවිට හරි ලස්සනයි කියලා හිතාගෙන හිටිය ගැහැනු ළමයා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි කියලා එතකොට ඔයාට තේරෙයි. නැත්නම් හැමෝම අතරේ ප්‍රසිද්ධ පිරිමි ළමයා ගුණ යහපත් කෙනෙක් නෙමෙයි කියලා ඔයාට තේරෙයි.

ඉස්සෙල්ලා ඔයාව තේරුම්ගන්න

ඔයාට ගැළපෙන්නේ මොන වගේ කෙනෙක්වද කියලා හරියට තීරණය කරන්න නම් මුලින්ම ඔයා ඔයා ගැන දැනගන්න ඕනේ. ඒක කරන එක එච්චර ලෙහෙසි දෙයක් නෙමෙයි. ඒත් ඊළඟ පිටුවේ තියෙන ප්‍රශ්න ඔයාට ඒක කරන්න උදව්වක් වෙයි.

මගේ හොඳ ගතිගුණ මොනවාද? ․․․․․

මගේ දුර්වලකම් මොනවාද? ․․․․․

බඳින්න ඕනේ කියලා මට හිතෙන්නේ ඇයි? ․․․․․

දෙවි එක්ක මට තියෙන්නේ මොන වගේ බැඳීමක්ද? ․․․․․

ඔයා ඔයාව හොඳින් තේරුම්ගත්තොත් තමයි ඔයාගේ දුර්වලකම් හදාගන්න, ඔයාගේ හොඳ ගතිගුණ තවත් වැඩි කරන්න උදව් වෙන කෙනෙක්ව ඔයාට තෝරගන්න පුළුවන් වෙන්නේ. *

ඕනම කෙනෙක් ගැළපෙනවා කියලා හිතන්න එපා

ඔයාගේ හිත ගිය කෙනා “මං ඔයාට කැමතියි” කියලා කිව්වොත් ඔයාට කොච්චර ලොකු සතුටක් දැනෙයිද? ඊටපස්සේ දෙන්නාට දෙන්නා අඳුනගන්න ඔය දෙන්නා වෙනදාට වඩා ටිකක් කිට්ටුවෙන් ආශ්‍රය කරයි. හැබැයි සම්බන්ධය පටන්ගන්න කොටම ‘මෙයාව තමයි මං බඳින්නේ’ කියලා තීරණය කරන්න එපා.

මේ උදාහරණය ගැන ටිකක් හිතන්න. ඔයා සපත්තු දෙකක් ගන්න කඩේට ගියාම සපත්තු ජෝඩුවකට ඔයාගේ හිත යනවා. හැබැයි ඔයා ඒ දෙක දාලා බලද්දී ඒක ඔයාට හිරයි. දැන් ඔයා මොකද කරන්නේ? හිර වුණාට ඒක ලස්සන නිසා ඔයා ඒක ගන්නවාද? නැත්නම් ඒක තියලා ඔයාට හරි යන වෙන දෙකක් බලනවාද? හිර වෙච්ච සපත්තු දෙකක් දාගෙන අමාරුවෙන් ඇවිදිනවාට වඩා කරන්න පුළුවන් හොඳම දේ ඔයාට හරි යන වෙන සපත්තු දෙකක් බලන එක නෙමෙයිද?

බඳින්න කෙනෙක්ව තෝරගන්න කොටත් ඔයා ඒක මතක තියාගන්න ඕනේ. ඔයාගේ හිත යන ඕනම කෙනෙක් ඔයාට ගැළපෙනවා කියලා හිතන්න එපා. ඔයා බඳින්න ඕනේ ඔයාට හරි යන කෙනාවයි. ඒ කියන්නේ ඔයාගේ ගතිපැවතුම්වලට, ඔයා අනාගතයේ කරන්න බලාපොරොත්තු වෙන දේවල්වලට ගැළපෙන කෙනාවයි. (උත්පත්ති 2:18; මතෙව් 19:4-6) එහෙමනම් ඔයා දැන් යාළු වෙලා ඉන්න කෙනා ඔයාට ගැළපෙනවාද කියලා දැනගන්නේ කොහොමද?

පිටින් බලලා තීරණය කරන්න එපා

ඔයා යාළු වෙලා ඉන්න කෙනා ඔයාට ගැළපෙනවාද කියලා හරියටම දැනගන්න නම් ඔයාගේ හිත එයාට ඇදිලා ගිය දේවල්වලට විතරක් අවධානය දෙන්න එපා. හැඟීම්වලට වහල් වෙන්නේ නැතුව එයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න. ඒක දවසින් දෙකින් කරන්න පුළුවන් ලෙහෙසි වැඩක් නෙමෙයි. මේ ගැන ටිකක් හිතන්න. ඔයාට කාර් එකක් ගන්න අදහසක් තියෙනවා නම් ඔයා ගන්න හදන කාර් එක ගැන හොඳට හොයලා බලන්නේ නැද්ද? ඒකේ පෙනුම දිහා විතරක් බලලා ඔයා ඒක ගන්නේ නැහැ. ඒකේ එන්ජිම ගැනත් ඔයා අනිවාර්යයෙන්ම හොයලා බලනවා.

බඳින කෙනාව තෝරගන්න එක කාර් එකක් ගන්නවාට වඩා බරපතළ දෙයක්. ඒත් ගොඩක්දෙනෙක් ඒ තීරණය ගන්නේ වැඩිය හිතන්නේ බලන්නේ නැතුවයි. ඒගොල්ලෝ වැඩි අවධානයක් දෙන්නේ දෙන්නා අතරේ තියෙන සමානකම්වලටයි. දෙන්නම කැමති එක වගේ සිංදුවලට නම් විනෝද වෙන්න දෙන්නම කරන්න කැමති එක වගේ දේවල් නම් ‘අපි දෙන්නා හොඳට ගැළපෙනවා’ කියලා ඒගොල්ලෝ හිතනවා. ඒත් ඔයා හොඳට හිතලා බලලා තීරණ ගන්න කෙනෙක් නම් ඒ වගේ සමානකම් දිහා විතරක් බලලා කෙනෙක්ව බඳින්න තීරණය කරන්නේ නැහැ. එයාගේ ‘හදවත ඒ කියන්නේ එයාගේ ඇතුළාන්තය’ මොන වගේද කියලා තේරුම්ගන්න උත්සාහ කරනවා.—1 පේතෘස් 3:4; එෆීස 3:16.

එයා මොන වගේ කෙනෙක්ද කියලා ඔයාට දැනගන්න පුළුවන් එක විදිහක් තමයි ඔය දෙන්නා එකඟ වෙන්නේ නැති වෙලාවලදී එයා ක්‍රියා කරන්නේ කොහොමද කියලා බලන එක. ඒ වගේ වෙලාවලදී එයාට ඉක්මනින් කේන්ති යනවාද? එයා නරක වචන කියලා බණිනවාද? කොහොමහරි එයාට ඕන දේම කරගන්න හදනවාද? (ගලාති 5:19, 20; කොලොස්සි 3:8) බයිබල් ප්‍රතිපත්තියක් කැඩෙන්නේ නැත්නම් එයාගේම මතයේ ඉන්නේ නැතුව අනිත් කෙනාගේ මතයට ඉඩ දෙනවාද?—යාකොබ් 3:17.

මේ දේවල් ගැනත් කල්පනා කරලා බලන්න. එයා අනිත් අයව එයාට ඕනේ විදිහට නටවනවාද? ඔයා අනිත් අයත් එක්ක කතා කරනවාට එයා එච්චර කැමති නැද්ද? එයා හැම වෙලාවෙම ඔයාගේ අවධානය බලාපොරොත්තු වෙනවාද? ඔයා කරන කියන හැම දෙයක් ගැනම එයාට දැනගන්න ඕනේද? නිකෝල් කියන යෞවනිය ඒ ගැන මෙහෙම කියනවා. “යන එන තැන් ගැන කියන්නේ නැති වුණාම අප්සෙට් ගිහින් රණ්ඩු වෙන අයව මං ඕන තරම් දන්නවා. ඒක නම් එච්චර හොඳ ලකුණක් නෙමෙයි.”—1 කොරින්ති 13:4.

අනිත් අයට එයා ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද කියලා දැනගන්න එකත් හරිම වැදගත්. එයාව හොඳට දන්න, සභාවේ ඉන්න අද්දැකීම් තියෙන අයගෙන් එයා මොන වගේ කෙනෙක්ද කියලා අහන්න. එයාට “හොඳ නමක්” තියෙනවාද කියලා එතකොට ඔයාට දැනගන්න පුළුවන් වෙනවා.—ක්‍රියා 16:1, 2.

යාළු වෙලා ඉන්න කෙනා ගැන ඔයා දැනගන්න ඕනේ පැති තුනක් උඩ ඡේද තුනේ සලකලා බැලුවා. ඒ තොරතුරු ගැන හිතලා බැලුවාට පස්සේ ඔයා එයා ගැන තේරුම්ගත්ත දේවල් පහළ ලියන්න.

ගතිගුණ කොයි වගේද? ․․․․․

එයා මොන විදිහේ කෙනෙක්ද? ․․․․․

චරිතේ කොහොමද? ․․․․․

ඔයාට හොඳ තීරණයක් ගන්න 39වෙනි පිටුවෙයි “ එයා මට හොඳ සැමියෙක් වෙයිද?” 40වෙනි පිටුවෙයි “ එයා මට හොඳ බිරිඳක් වෙයිද?” තියෙන කොටු දෙකත් බලන්න. ඔයා යාළු වෙලා ඉන්න කෙනා ඔයාට හොඳ සහකරුවෙක් නැත්නම් සහකාරියක් වෙයිද කියලා දැනගන්න ඒක උදව් වෙයි.

ඒ හැම දෙයක්ම සලකලා බැලුවට පස්සේ ඔයාට හිතෙනවා නම් ඔයා යාළු වෙලා ඉන්න කෙනා ඔයාට ගැළපෙන්නේ නැහැ කියලා ඔයා මොකද කරන්නේ?

සම්බන්ධය නතර කරනවාද?

සමහර වෙලාවට වෙන් වෙන්න තීරණය කරන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ජිල්ගේ අද්දැකීමෙනුත් ඒක පැහැදිලි වෙනවා. “මගේ බෝයිෆ්‍රෙන්ඩ් මං යන එන තැන් ගැන, මං කරන දේවල් ගැන, මං ආශ්‍රය කරන අය ගැන හොයලා බලද්දී මුලින් මට දැනුණේ ලොකු සතුටක්. මට හිතුණේ එයා මං ගැන සැලකිලිමත් කියලයි. හැබැයි කාලයක් යන කොට මං වෙන කාවවත් ආශ්‍රය කරනවාට එයා කැමති වුණේ නැහැ. අඩුම තරමේ මගේ ගෙදර අයවවත් ආශ්‍රය කරනවාට එයා කැමති නැහැ. විශේෂයෙන් මං මගේ තාත්තාත් එක්ක කාලය ගත කළොත් එයාට කේන්ති යනවා. අපේ සම්බන්ධය නතර කළාට පස්සේ මට දැනුණේ පුදුමාකාර නිදහසක්. මගේ ඔළුවේ තිබුණු ලොකු බරක් අයින් වුණා වගේ මට දැනුණා.”

සාරාගේ අද්දැකීමත් ඒ වගෙයි. එයා යාළු වෙලා හිටපු කෙනා අනිත් අයව එච්චර ගණන් ගන්නේ නැති, කතාවෙන් හිත් රිද්දන, කිසිම දෙයකට හොඳයි කියලා කියන්නේ නැති කෙනෙක් කියලා කල් යද්දී සාරාට තේරුණා. එක සිද්ධියක් ගැන සාරා මෙහෙම කිව්වා. “අපි ගමනක් යන්න දාගෙන හිටපු දවසක එයා මාව එක්කගෙන යන්න ආවේ පැය තුනක් පරක්කු වෙලයි. ගෙදරට එන්න අම්මා දොර ඇරිය වෙලාවේ එයා අම්මාව පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැහැ. හදිස්සියෙන් වගේ ගේ ඇතුළට ඇවිල්ලා, ‘ඉක්මනට යමු. අපි පරක්කුයි’ කියලා එයා කිව්වා. ඇත්තටම පරක්කු වුණේ මං නෙමෙයි, එයායි. එයාට තිබුණා පරක්කු වුණ එක ගැන සොරි කියන්න, නැත්නම් එයා පරක්කු වුණේ ඇයි කියලවත් කියන්න. අඩුම තරමේ අම්මා දොර ඇරිය වෙලාවේ අම්මාත් එක්ක ටිකක් හරි කතා කරන්න එයාට තිබුණා.” ඒ වගේ එක සිද්ධියක් නිසා විතරක් දෙන්නෙක් අතරේ තියෙන සම්බන්ධය කොහොමටත් සාර්ථක වෙන එකක් නැහැ කියලා කියන්න බැහැ. (ගීතාවලිය 130:3) හැබැයි සාරාට තේරුණා එයා යාළු වෙලා හිටපු කෙනා නිතරම හැසිරුණේ ඒ විදිහට කියලා. ඒ නිසයි සාරා ඒ සම්බන්ධය නතර කරලා දැම්මේ.

ජිල් හා සාරා වගේ ඔයාටත් හිතුණොත් ඔයා යාළු වෙලා ඉන්න කෙනාව බඳින එක නුවණට හුරු දෙයක් නෙමෙයි කියලා ඒ හැඟීම ගණන් ගන්නේ නැතුව ඉන්න එපා. සම්බන්ධය නතර කරන එක අමාරු දෙයක් වුණත් එහෙම කරන එක බුද්ධිමත් තීරණයක් වෙන්න පුළුවන්. බයිබලයේ කියන්නේ, ‘බුද්ධිමත් කෙනා අවදානම දුර තියාම අඳුනගෙන එයින් ඉවත් වෙනවා’ කියලයි. (හිතෝපදේශ 22:3) උදාහරණයකට 39වෙනි හා 40වෙනි පිටුවල “සැලකිලිමත් විය යුතු පැති” කියන කොටසේ අහන එක ප්‍රශ්නයකට හරි ඔයාගේ පිළිතුර ‘ඔව්’ නම් ඔයා යාළු වෙලා ඉන්න කෙනා ඒ දුර්වලකම හදාගන්නකම් හරි සම්බන්ධය නතර කරන එක තමයි හොඳම දේ. ඇත්තයි, වෙන් වෙන එක වේදනාකාරී අද්දැකීමක්. ඒත් ටික කාලයකට වේදනාව අද්දකින එක බැඳලා ජීවිත කාලයම වේදනාවෙන් ඉන්නවාට වඩා හොඳයි. මොකද විවාහය කියන්නේ ප්‍රශ්න ගැටලු එද්දී කඩලා දාන්න පුළුවන් බැඳීමක් නෙමෙයි.

ඒ ගැන කියන්නේ කොහොමද?

ටිකක් හිතන්න, ඔයා යාළු වෙලා ඉන්න කෙනා සම්බන්ධය නතර කරන්න තීරණය කරලා තියෙනවා කියලා. එයා ඒක ඔයාට කොහොම කියනවාටද ඔයා කැමති? කට්ටියක් ඉස්සරහා ඒ ගැන ඔයාට කියනවාට ඔයා කැමතිද? එහෙමනම් ඔයාගේ තීරණය ගැන එයාට කියද්දී ඔයාත් සැලකිලිමත් වෙන්න ඕනේ නැද්ද? (මතෙව් 7:12) සම්බන්ධය නතර කරනවා කියලා ලියුමක්, SMS එකක්, ඊ-මේල් එකක් යවලා කියන එකත් එච්චර හරි නැහැ. හැබැයි කලාතුරකින් එහෙම කරන්න සිද්ධ වෙන අවස්ථාත් තියෙනවා. කොහොමවුණත් සම්බන්ධය නතර කරන්න ගත්ත තීරණය සැහැල්ලුවට ගන්න පුළුවන් එකක් නෙමෙයි නිසා ඒ ගැන කියන්නේ කොයි වෙලාවේද, කොතැනදීද කියලා හොඳට හිතලා බලන්න.

ඔයාගේ තීරණය ගැන එයාට කියද්දී බයිබලයේ තියෙන වටිනා උපදෙසක් අදාළ කරගන්න ඔයාට පුළුවන්. බයිබලයේ අපිට දිරිගන්වලා තියෙන්නේ අනිත් අයත් එක්ක ‘සත්‍යය කතා කරන්න’ කියලයි. (එෆීස 4:25) සම්බන්ධය නතර කරන්න ඔයා තීරණය කළේ ඇයි කියලා එයාට පැහැදිලිව කියන්න. හැබැයි එහෙම කරද්දී එයාගේ දුර්වලකම්, වැරදි ලැයිස්තුවක් කියන්න ඕනේ නැහැ. එයාගේ හිත රිදෙන්නේ නැති විදිහට දේවල් පැහැදිලි කරන්න.

ඔයාගේ තීරණය ගැන ඔයා යාළු වෙලා ඉන්න කෙනාට කිව්වාට පස්සේ සමහරවිට එයා දුක හිතෙන විදිහට කතා කරලා ඔයා ගත්ත තීරණය වෙනස් කරන්න හදන්න පුළුවන්. හැබැයි සම්බන්ධය නතර කරන්න ඔයා තීරණය කළේ හොඳට හිතලා බලලා නිසා ඔයාගේ තීරණයට ඇලිලා ඉන්න. “සම්බන්ධය නතර කළාට පස්සේ මං යාළු වෙලා හිටපු කෙනා හැම තිස්සේම ගොඩක් දුකෙන් ඉන්නවා වගේ පෙන්නුවා. මං හිතන්නේ එයා එහෙම කළේ මගේ අනුකම්පාව ගන්නයි. එයාව දැක්කාම මටත් දුක හිතුණා තමයි. ඒත් මං මගේ තීරණය වෙනස් කළේ නැහැ.” එහෙම කියන්නේ ලෝරා කියන තරුණියයි. ඔයාත් ලෝරා වගේ තීරණයක් ගත්තා නම් ඒ තීරණයේම ඉන්න. වැනෙන්න එපා.—යාකොබ් 5:12.

නතර කළාට පස්සේ

සම්බන්ධය නතර කළාට පස්සේ දුකක් දැනෙන එක සාමාන්‍යයි. සමහරවිට ඔයාටත් අතීතයේ ජීවත් වුණු දාවිත් රජුට හැඟුණු විදිහට හැඟෙන්න පුළුවන්. එයා මෙහෙම කිව්වා. ‘මගේ වේදනාව මට දරාගන්න බැරි නිසා මං බිම වැතිර සිටියා. දවස මුළුල්ලේ මං දුකින් ඇවිද්දා.’ (ගීතාවලිය 38:6) ඔයා දුකෙන් ඉන්න නිසා ආයෙත් සම්බන්ධය පටන්ගන්න කියලා සමහරවිට ඔයාගේ යාළුවෝ ඔයාට කියයි. ඒගොල්ලෝ එහෙම කියන්නේ හොඳ හිතින් වෙන්න ඇති. හැබැයි එයාලා කියන නිසා ඔයා ගත්ත තීරණය වෙනස් කළොත් බැන්දට පස්සේ එන ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වෙන්නේ ඔයාටයි, ඒ යාළුවන්ට නෙමෙයි. ඒ නිසා ඔයාට දුකක් දැනුණත් ඔයාගේ තීරණය වෙනස් කරන්න ඉක්මන් වෙන්න එපා.

කාලයත් එක්කම ඔයාගේ දුකත් තුනී වෙලා යයි. හැබැයි එතකම් මේ දේවල් කරන්න.

විශ්වාසවන්ත කෙනෙක්ට ඔයාගේ හිතේ තියෙන දුක කියන්න. * (හිතෝපදේශ 15:22) යාච්ඤා කරලා යෙහෝවා දෙවිට ඒ ගැන කියන්න. (ගීතාවලිය 55:22) දෙවිට වැඩියෙන් සේවය කරන්න. (1 කොරින්ති 15:58) හැම තිස්සේම තනි වෙන්නේ නැතුව ඔයාව දිරිගන්වන අය එක්ක ආශ්‍රය කරන්න. (හිතෝපදේශ 18:1) අධෛර්යය කරන දේවල් ගැන හිතන්නේ නැතුව හොඳ දේවල් ගැන හිතන්න උත්සාහ කරන්න.—ෆිලිප්පි 4:8.

කාලයක් ගියාට පස්සේ සමහරවිට ඔයාගේ හිත තවත් කෙනෙක්ට ඇදිලා යයි. ඔයාට ගැළපෙන කෙනා එයා වෙන්න පුළුවන්.

තවත් දැනගන්න 1වෙනි පොතේ 31වෙනි පරිච්ඡේදය බලන්න

ඊළඟ පරිච්ඡේදය

ඔයා යාළු වුණාට පස්සේ එයාට ඔයාගේ ආදරේ පෙන්නද්දී ඔයාට තියෙන්න ඕනේ සීමාව මොකද්ද?

[පාදසටහන්වල]

^ 18 ඡේ. පළවෙනි පරිච්ඡේදයේ “දැන්ම බඳින්න පුළුවන්ද?” කියන උපමාතෘකාවට පස්සේ තියෙන ඡේදවල අහලා තියෙන ප්‍රශ්න ගැන කල්පනා කරලා බලන එකෙනුත් ඔයාට ඔයාව තේරුම්ගන්න පුළුවන් වෙයි.

^ 46 ඡේ. ඔයාට උදව් කරන්න ඔයාගේ දෙමාපියන්ට සභාවේ ඉන්න වැඩිමහල්ලන්ට පුළුවන්. සමහරවිට එයාලත් යෞවන කාලයේදී ඒ වගේ දේවල්වලට මුහුණ දීලා ඇති.

බයිබල් උපදෙස

“දරුවෙකුගේ ක්‍රියාවලින් ඔහු නිර්මල, ප්‍රතිපත්තිගරුක කෙනෙකුදැයි පෙනී යන්නේය.”—හිතෝපදේශ 20:11.

යෝජනාවක්

දෙන්නාට දෙන්නා අඳුනගන්න නම් . . .

● එකට බයිබලය අධ්‍යයනය කරන්න.

● රැස්වීම්වලට, දේවසේවයට සහභාගි වෙන විදිහ සැලකිල්ලට ගන්න.

● නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරද්දී, අලුත්වැඩියා කරද්දී ඒවාට හවුල් වෙන්න.

මේක දැනගෙන හිටියාද?

ආගම් දෙකක ඉන්න දෙන්නෙක්ගේ විවාහය දික්කසාදයකින් කෙළවර වෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා සමීක්ෂණවලින් පෙන්වනවා.

ඔයාට වැඩක්!

යෙහෝවා දෙවිට නමස්කාර කරන්නේ නැති කෙනෙකුට මගේ හිත ගියොත් මං මෙහෙම කරනවා ․․․․․

මං යාළු වෙලා ඉන්න කෙනාගේ චරිතේ මොන වගේද කියලා දැනගන්න මං මේ දේවල් කරන්න ඕනේ ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● හොඳ සැමියෙක් නැත්නම් බිරිඳක් වෙන්න පුළුවන් කියලා ඔයා හිතන්නේ ඔයාගේ මොන ගතිගුණ නිසාද?

● ඔයා බඳින කෙනාට තියෙන්න ඕනේමයි කියලා හිතන ගතිගුණ මොනවාද?

● ඔයාගේ ආගමික විශ්වාසයන්ට වෙනස් කෙනෙක්ව ඔයා බැන්දොත් මොන වගේ ප්‍රශ්න ඇති වෙයිද?

● ඔයා යාළු වෙලා ඉන්න කෙනා මොන වගේ කෙනෙක්ද එයාගේ චරිතේ මොන වගේද කියලා දැනගන්න පුළුවන් කොහොමද?

[37වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔයා යාළු වෙලා ඉන්න කෙනා එයාගේ පවුලේ අයට සලකන විදිහට තමයි කවදා හරි දවසක ඔයාටත් සලකන්නේ.’’—ටෝනි

[34වන පිටුවේ කොටුව]

දෙවිට සේවය කරන්නේ නැති අය එක්ක බැඳීම් එපා

“දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න” කියලා බයිබලයේ දීලා තියෙන මඟ පෙන්වීම වටිනා එකක් කියලා ඔයාත් හිතනවා ඇති. (2 කොරින්ති 6:14) ඒත් දෙවිට නමස්කාර කරන්නේ නැති කෙනෙක්ට ඔයාගේ හිත ඇදිලා යන්න පුළුවන්. ඒ ගැන මාක් මෙහෙම කියනවා. “මට ඉස්කොලේදී නිතරම වගේ හම්බ වුණ ගැහැනු ළමයෙක් හිටියා. මාව දැක්කාම එයාම මං ළඟට ඇවිල්ලා කතා කරනවා. අපි දෙන්නා අතරේ කිට්ටු යාළුකමක් ඇති වෙන්න එච්චර කාලයක් ගියේ නැහැ.”

ඔයා ඔයාවම හොඳින් තේරුම් අරගෙන ඉන්න කෙනෙක්ද? බයිබලයේ තියෙන ප්‍රතිපත්ති රකින එක ඔයාට ප්‍රයෝජනවත් කියලා ඔයාට විශ්වාසද? හැඟීම්වලට වහල් වෙන්නේ නැතුව තීරණ ගන්න ඔයාට පුළුවන්ද? එහෙමනම් ඔයාගේ හිත ගිය කෙනා කොච්චර ලස්සන වුණත් කොච්චර හොඳ වුණත් ඔයා එයාත් එක්ක යාළු වෙන්නේ නැහැ. මොකද ඔයා දන්නවා ඒ වගේ යාළුකමක් පටන්ගත්තොත් දෙවිත් එක්ක ඔයාට තියෙන මිත්‍රත්වය දිගටම තියාගන්න බැහැ කියලා.—යාකොබ් 4:4.

යාළු වුණාට පස්සේ ඒක නවත්වන එක ලෙහෙසි නැහැ. සින්ඩි මෙහෙම කියනවා. “මං එයාට ගොඩක් ආදරේ කළා. එයා නැතුව ජීවත් වෙනවාට වඩා මැරුණා නම් හොඳයි කියලා හිතුණා. මං එයාට කොච්චර ආදරේ කළාද කියනවා නම් හැම වෙලාවෙම මං හිතුවේ එයා ගැනයි. රැස්වීම් වෙලාවෙදීත් මං කල්පනා කළේ එයා ගැනයි. සම්බන්ධය නතර කරන එක ගැන හිතලා මං හැමදාම ඇඬුවා.” ඒත් අන්තිමේදී අම්මා දීපු උපදෙසුත් හිතට අරගෙන සම්බන්ධය නතර කරන්න එයා තීරණය කළා. “මට දැන් හිතෙනවා මං කරපු දේ හරියි කියලා. මට අවශ්‍ය හැම දෙයක්ම යෙහෝවා දෙවි දෙයි කියලා මට හොඳටම විශ්වාසයි.”

දෙවිට නමස්කාර කරන්නේ නැති කෙනෙක්ට ඔයාගේ හිත ඇදිලා ගිහිල්ලා නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද? ඒ ගැන දෙමාපියන් එක්ක කතා කරන්න. ජිම් කළෙත් ඒකමයි. එයා මෙහෙම කියනවා. “ඉස්කොලේ ඉන්න ගැහැනු ළමයෙක් ගැන මට අදහසක් තියෙනවා කියලා මං අම්මටයි තාත්තටයි කිව්වා. ඒගොල්ලෝ එක්ක ඒ ගැන කතා කරපු නිසා හැඟීම්වලට වහල් වෙන්නේ නැතුව හරි තීරණයක් ගන්න මට පුළුවන් වුණා.” සභාවේ ඉන්න වැඩිමහල්ලන් එක්කත් ඒ ගැන කතා කරන්න ඔයාට පුළුවන්. ඒගොල්ලොත් ඔයාට උදව් කරයි.—යෙසායා 32:1, 2.

 [39වන පිටුවේ පින්තූරය/කොටුව]

ඔබේ සටහන්

එයා මට හොඳ සැමියෙක් වෙයිද?

සාමාන්‍ය තොරතුරු

□ එයාට යම් බලතල තියෙනවා නම් එයා ඒක පාවිච්චි කරන්නේ කොහොමද?—මතෙව් 20:25, 26.

□ එයාගේ අනාගත සැලසුම් මොනවාද?—1 තිමෝති 4:15.

□ ඒ සැලසුම් වෙනුවෙන් එයා දැන් මොනවාද කරන්නේ?—1 කොරින්ති 9:26, 27.

□ පවුලේ අයට එයා සලකන්නේ කොහොමද?—නික්මයාම 20:12.

□ එයා ආශ්‍රය කරන්නේ මොන වගේ අයවද?—හිතෝපදේශ 13:20.

□ එයා වැඩියෙන්ම කතා කරන්න ආස මොනවා ගැනද?—ලූක් 6:45.

□ එයා මුදල් සලකන්නේ කොහොමද?—හෙබ්‍රෙව් 13:5, 6.

□ විනෝද වෙන්න එයා කරන්න කැමති මොන වගේ දේවල්ද?—ගීතාවලිය 97:10.

□ යෙහෝවා දෙවිට තියෙන ආදරය එයා පෙන්නන්නේ කොහොමද?—1 යොහන් 5:3.

අමතර දේවල්

□ එයා මහන්සි වෙලා වැඩ කරනවාද?—හිතෝපදේශ 6:9-11.

□ එයා අරපිරිමැස්මෙන් මුදල් පාවිච්චි කරනවාද?—ලූක් 14:28.

□ අනිත් අය අතරේ එයාට හොඳ නමක් තියෙනවාද?—ක්‍රියා 16:1, 2.

□ එයා අනිත් අය ගැන සැලකිලිමත්ද?—ෆිලිප්පි 2:4.

සැලකිලිමත් විය යුතු පැති

□ එයාට ඉක්මනින් කේන්ති යනවාද?—හිතෝපදේශ 22:24.

□ ලිංගික හැසිරීමකට එයා ඔයාව කැමති කරවගන්න හදනවාද?—ගලාති 5:19.

□ එයා අනිත් අයට සැරපරුෂ විදිහට කතා කරන නැත්නම් පහර දෙන කෙනෙක්ද?—එෆීස 4:31.

□ විනෝද වෙන්න එයාට බොන්නම ඕනද?—හිතෝපදේශ 20:1.

□ එයා අනිත් අයට ඊර්ෂ්‍යා කරන, එයා ගැන විතරක් හිතන කෙනෙක්ද?—1 කොරින්ති 13:4, 5.

 [40වන පිටුවේ පින්තූරය/කොටුව]

ඔබේ සටහන්

එයා මට හොඳ බිරිඳක් වෙයිද?

සාමාන්‍ය තොරතුරු

□ දෙමාපියන්ට, සභාවේ සැලැස්මට යටත් වෙන එක එයා සලකන්නේ කොහොමද?—එෆීස 5:21, 22.

□ පවුලේ අයට එයා සලකන්නේ කොහොමද?—නික්මයාම 20:12.

□ එයා ආශ්‍රය කරන්නේ මොන වගේ අයවද?—හිතෝපදේශ 13:20.

□ එයා වැඩියෙන්ම කතා කරන්න ආස මොනවා ගැනද?—ලූක් 6:45.

□ එයා මුදල් සලකන්නේ කොහොමද?—1 යොහන් 2:15-17.

□ එයාගේ අනාගත සැලසුම් මොනවාද?—1 තිමෝති 4:15.

□ ඒ සැලසුම් වෙනුවෙන් එයා දැන් මොනවාද කරන්නේ?—1 කොරින්ති 9:26, 27.

□ විනෝද වෙන්න එයා කරන්න කැමති මොන වගේ දේවල්ද?—ගීතාවලිය 97:10.

□ යෙහෝවා දෙවිට තියෙන ආදරය එයා පෙන්නන්නේ කොහොමද?—1 යොහන් 5:3.

අමතර දේවල්

□ එයා මහන්සි වෙලා වැඩ කරනවාද?—හිතෝපදේශ 31:17, 19, 21, 22, 27.

□ එයා අරපිරිමැස්මෙන් මුදල් පාවිච්චි කරනවාද?—හිතෝපදේශ 31:16, 18.

□ අනිත් අය අතරේ එයාට හොඳ නමක් තියෙනවාද?—රූත් 3:11.

□ එයා අනිත් අය ගැන සැලකිලිමත්ද?—හිතෝපදේශ 31:20.

සැලකිලිමත් විය යුතු පැති

□ එයා රණ්ඩුවලට පැටලෙන කෙනෙක්ද?—හිතෝපදේශ 21:19.

□ ලිංගික හැසිරීමකට එයා ඔයාව කැමති කරවගන්න හදනවාද?—ගලාති 5:19.

□ එයා අනිත් අයට සැරපරුෂ විදිහට කතා කරන නැත්නම් පහර දෙන කෙනෙක්ද?—එෆීස 4:31.

□ විනෝද වෙන්න එයාට බොන්නම ඕනද?—හිතෝපදේශ 20:1.

□ එයා අනිත් අයට ඊර්ෂ්‍යා කරන, එයා ගැන විතරක් හිතන කෙනෙක්ද?—1 කොරින්ති 13:4, 5.

[30වන පිටුවේ පින්තූරය]

ඕනම සයිස් එකේ සපත්තුවක් ඔයාට හරි යන්නේ නැහැ වගේ ඕනම කෙනෙක්ව ඔයාට ගැළපෙනවා කියලා හිතන්න එපා

[31වන පිටුවේ පින්තූරය]

කාර් එකක් ගද්දී එකේ පෙනුම විතරක් බලන එක ඥානවන්ත නැහැ. බඳින්න කෙනෙක්ව තෝරගද්දීත් පිටින් පේන්න තියෙන දේවල් විතරක් බලන එක ඇතිද?