Skip to content

පටුනට යන්න

බඳින්න කලින් ලිංගික ඇසුර වැරදිද?

බඳින්න කලින් ලිංගික ඇසුර වැරදිද?

5වෙනි පරිච්ඡේදය

බඳින්න කලින් ලිංගික ඇසුර වැරදිද?

“ලිංගික ඇසුර මොන වගේද කියලා බලන්න මටත් හිතෙනවා.”—කෙලී.

“තාම ලිංගික සම්බන්ධකම් පවත්වලා නැත්තේ මං විතරයි.”—ජෝර්ඩන්.

අද ගොඩක් යෞවනයන්ට ලිංගික සම්බන්ධකම් පවත්වන එක සාමාන්‍ය දෙයක්. බඳිනකං ඒ වගේ දේවල් කරන්නේ නැතුව ඉන්න හිතාගෙන ඉන්න යෞවනයන්ව ඒ වගේ අය සලකන්නේ නෝන්ජල්, හරි අමුතු අය හැටියටයි. එහෙමනම් යෞවන වයසේදීම ගොඩක් අය ලිංගික සම්බන්ධකම් පවත්වන එක පුදුමයක්ද!

ආසාවටයි පීඩනයටයි මැදි වෙලා

ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නම් ‘වේශ්‍යාකමින් වැළකී සිටින්න’ කියන ආඥාව ගැන දන්නවා. (1 තෙසලෝනික 4:3) ඒත් ලිංගික ආසාවන් පාලනය කරගන්න එක ලෙහෙසි නැහැ කියලා ඔයාට තේරෙනවා ඇති. පෝල් මෙහෙම කියනවා. “සමහර වෙලාවට ලිංගික දේවල් මගේ මනසට ඉබේම එනවා. ඒවා කොහෙන් ආපු සිතුවිලිද කියලා මං දන්නේ නැහැ.” ගොඩක් වෙලාවට යෞවනයන්ට ඒ වගේ හැඟීම් ඇති වෙන එක සාමාන්‍යයි.

කොහොමවුණත් බඳිනකං ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ කියලා ඔයා තීරණය කරලා තියෙන නිසා ඔයාගේ වයසේ අනිත් අය ඔයාව කොන් කරනවා ඇති. එක එක නම් කියලා විහිළු කරනවා ඇති. ඒවා ඉවසන එක එච්චර ලෙහෙසි දෙයක් නෙමෙයි නේද? “සාමාන්‍යයෙන් යෞවනයන් ලිංගික දේවල් ගැන කතා කරන්නේ රස කරකර. එයාලාට ඒවා ගානක් නැහැ. එයාලා වගේ ලිංගික දේවල් කරන්නේ නැති අයව එයාලා මනින්නේ හරිම අමුතු ජාතියේ අය හැටියටයි.” එහෙම කියන්නේ හෙලන්.

ඒත් බඳින්න කලින් ඒ වගේ දේවල් කරන එකෙන් වෙන හානිය ගැන නම් යෞවනයන් කතා කරන්නේ නැහැ. මරියා කියන යෞවනිය එයාගේ පෙම්වතාත් එක්ක සම්බන්ධකම් පැවැත්තුවාට පස්සේ එයාට හැඟුණු විදිහ ගැන මෙහෙම කියනවා. “මට මං ගැනම ලැජ්ජ හිතුණා. මට මාවම එපා වුණා. මට එයාවත් එපා වුණා.” ගොඩක් අයගේ අද්දැකීම ඒකයි. ඒගොල්ලෝ හිතින් ගොඩක් විඳවනවා. භයානක ප්‍රතිඵලවලටත් මුහුණ දෙනවා.

හැබැයි එක යෞවනියක් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. “බඳිනකං ලිංගිකව එක් වෙන එක වැරදි නම් යෞවන වයසේදීම ඒ වගේ ආසාවන් ඇති වෙන විදිහට දෙවි අපිව නිර්මාණය කළේ ඇයි?” ඒක හොඳ ප්‍රශ්නයක්. හැබැයි මේ ගැන හිතන්න.

ඔයාට ඇති වෙන්නේ ලිංගික ආසාවන් විතරද, වෙන ආසාවන් ඇති වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම ඇති වෙනවා. මොකද දෙවි මිනිසුන්ව නිර්මාණය කරලා තියෙන්නේ හැඟීම් දැනීම් තියෙන අය විදිහටයි. ඒ නිසා ඔයාටත් එක එක ආසාවන් ඇති.

ඒ හැම ආසාවක්ම ඇති වුණු ගමන්ම ඔයා ඉටු කරගන්නවාද? නැහැ. මොකද ඔයාට ඒ ආසාවන් පාලනය කරගන්න පුළුවන්. ඒ හැකියාවත් දෙවි ඔයාට දීලා තියෙනවා.

ඒ කාරණා දෙකෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද? සමහරක් ආසාවන් ඇති වෙන එක වළක්වන්න බැහැ. හැබැයි ඒ ආසාවන් පාලනය කරගන්න ඔයාට පුළුවන්. ආසාවක් ඇති වෙන හැම වෙලාවකම ඒක ඉටු කරගන්න එක හරියට තරහ යන හැම වෙලාවකම කාට හරි ගහනවා වගේ මෝඩ වැඩක්.

ලිංගික ආසාවන් ඇති වෙන විදිහට දෙවි අපිව නිර්මාණය කරලා තිබුණාට දෙවි අපිට කියන්නේ දෙන්නෙක් ඒ ආසාව ඉටු කරගන්න ඕනේ බැන්දට පස්සේ කියලයි. ඒ වෙනකං ඔයාට පුළුවන් වෙන්න ඕන ඔයාව පාලනය කරගන්න. බයිබලයේ කියන්නෙත් ‘හැම කෙනෙක්ම තමාගේ ශරීරය ශුද්ධව හා ගෞරවනීය විදිහට පාලනය කරගන්න දැන සිටිය යුතුයි’ කියලයි. (1 තෙසලෝනික 4:4) බයිබලයේ පෙන්වන විදිහට හැම දේකටම නියමිත කාලයක් තියෙනවා. ආසාවන් පාලනය කරගන්න ඕනේ කාලයක් වගේම ඒවා ඉටු කරගන්න පුළුවන් කාලයකුත් තියෙනවා.—දේශනාකාරයා 3:1-8.

බඳිනකං ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැතුව ඉන්න ඔයා අරන් තියෙන තීරණය ගැන අනිත් අය ඇහුවොත් ඔයා මොනවාද කියන්නේ? එයාලා එහෙම අහන්නේ ඔයාව විහිළුවට ගන්න නම් මෙහෙම කියන්න පුළුවන්. “මං අරන් තියෙන තීරණය ගැන මට කිසි දුකක් නැහැ.” නැත්නම් මෙහෙම කියන්න. “ඒක මගේ තීරණයක්. ඒ ගැන අනිත් අයත් එක්ක කතා කරන්න මං කැමති නැහැ.” * (හිතෝපදේශ 26:4; කොලොස්සි 4:6) ඒත් සමහර අය ඒ ගැන ඔයාගෙන් අහන්නේ ඔයා ඒ වගේ තීරණයක් ගත්තේ ඇයි කියලා දැනගන්න නම් බයිබල් ප්‍රතිපත්ති පෙන්නලා හේතුව පැහැදිලි කරන්න.

ඔයා අරන් තියෙන තීරණය ගැන සමච්චලේට වගේ ප්‍රශ්න කළොත් ඔයාට තව මොන විදිහට උත්තර දෙන්න පුළුවන්ද?

․․․․․

දෙවිගෙන් ලැබුණු තෑග්ගක්

බඳින්න කලින් ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් ඒ ගැන යෙහෝවා දෙවිට කොහොම හැඟෙයිද? ඒක තේරුම්ගන්න මේ උදාහරණය ගැන හිතන්න. ඔයා යාළුවෙක්ට දෙන්න තෑග්ගක් අරගෙන ඒක ලස්සනට ඔතලා තියෙනවා. තෑග්ග මොකද්ද කියලා බලන්න තියෙන ආසාව නිසා එයා හොරෙන් ඒක කඩලා බලනවා. එතකොට ඔයාට කොහොම හැඟෙයිද? ලිංගික සම්බන්ධකම් පවත්වලා සතුටක් ලබන එකත් දෙවි දීලා තියෙන තෑග්ගක්. හැබැයි දෙවි කැමති බැන්දට පස්සේ ඔයා ඒ තෑග්ගෙන් සතුටක් ලබනවාටයි. ඒ නිසා බඳින්න කලින් සම්බන්ධකම් පැවැත්තුවොත් දෙවිට ගොඩක් දුක හිතෙයි.—උත්පත්ති 1:28.

එහෙමනම් ලිංගික හැඟීම් ඇති වුණාම ඔයාට කරන්න පුළුවන් මොනවාද? ඒවා පාලනය කරගන්න ඉගෙනගන්න. ඔයාට ඒක කරන්න පුළුවන්. දෙවිගෙන් උපකාර ඉල්ලුවොත් ඔයාට තවත් හොඳින් ඔයාව පාලනය කරගන්න පුළුවන්. (ගලාති 5:22, 23) දෙවි ‘නිර්දෝෂ අයට හැම යහපත් දෙයක්ම දෙනවා’ කියලා අමතක කරන්න එපා. (ගීතාවලිය 84:11) ගෝඩන් කියන තරුණයා මෙහෙම කිව්වා. “බඳින්න කලින් ලිංගික ඇසුරක් පවත්වන එක වැරදි නැහැ කියලා මට හිතෙන වෙලාවලදී මං කල්පනා කරනවා ඒ වගේ දෙයක් කළොත් දෙවිත් එක්ක තියෙන මිත්‍රත්වයට වෙන හානිය ගැන. දෙවි එක්ක තියෙන බැඳීම නැති කරගෙන මොන සතුටක් ලැබුවත් වැඩක් නැහැ.”

බඳින්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැති එක අනිත් අයට අමුතු වුණාට ඒක අමුතු දෙයක් නෙමෙයි. එහෙම කරන එක තමයි අමුතු. ඒක හරිම පහත්, නොහොබිනා, අනතුරුදායක දෙයක්. ඒ නිසා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන හරි දේ කරන්න ඔයා අරන් තියෙන තීරණය ඔයා අහන, දකින දේවල්වලට රැවටිලා වෙනස් කරන්න එපා. ඒ තීරණයේ දිගටම හිටියොත් අනවශ්‍ය ලෙඩ රෝග, මානසික වේදනා මඟහරින්න ඔයාට පුළුවන්. ඊටත් වඩා වැදගත්ම දේ තමයි යෙහෝවා දෙවි එක්ක ඔයාට තියෙන මිත්‍රත්වය දිගටම තියාගන්න පුළුවන් වෙන එක.

තවත් දැනගන්න 1වෙනි පොතේ 24වෙනි පරිච්ඡේදය බලන්න

[පාදසටහන]

^ 15 ඡේ. හෙරොද් යේසුස්ගෙන් ප්‍රශ්න කරපු වෙලාවේ යේසුස් මුකුත්ම කිව්වේ නැහැ. (ලූක් 23:8, 9) ඒ වගේ සමච්චලේට එක එක දේවල් අහන කොට නිහඬව ඉන්න එක තමයි හොඳම දේ.

බයිබල් උපදෙස

‘කෙනෙක් තම කන්‍යාභාවය රැකගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා නම් ඔහුට යහපතක් සිදු වේ.’—1 කොරින්ති 7:37, පාදසටහන.

යෝජනාවක්

ඔයාගේ ආගමේ ඉන්න අය වුණත් ලිංගික කාරණා සැහැල්ලුවට ගන්නවා නම් ඒ අයව ආශ්‍රය කරන්න එපා.

මේක දැනගෙන හිටියාද?

ලිංගික සම්බන්ධකම් පවත්වන එක සැහැල්ලුවට ගන්න යෞවනයෙක් බැන්දට පස්සේ වෙනස් වෙයි කියලා හිතන්න බැහැ. හැබැයි බඳින්න කලින් ඉඳලා දෙවිගේ ප්‍රතිපත්ති රකින යෞවනයෙක් බැන්දට පස්සේ සහකරුට විශ්වාසවන්තව ඉන්න තියෙන ඉඩකඩ වැඩියි.

ඔයාට වැඩක්!

බඳිනකං ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැතුව ඉන්න නම් මං මේ දේවල්වලින් වළකින්න ඕනේ ․․․․․

මං ආශ්‍රය කරන අය නිසා මං අරන් තියෙන තීරණයට ඇලිලා ඉන්න අමාරු නම් මං මෙහෙම කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● බඳිනකං ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ කියලා තීරණය කරලා තියෙන අයට සමහර අය විහිළු කරන්නේ ඇයි?

● ඒ වගේ තීරණයකට ඇලිලා ඉන්න එක අමාරු ඇයි?

● ඒ වගේ තීරණයකට ඇලිලා ඉන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

● ඒ වගේ තීරණයක් ගන්න එකේ තියෙන වැදගත්කම ඔයාගේ නංගිට, මල්ලිට කියලා දෙන්නේ කොහොමද?

[51වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘‘වේශ්‍යාකම් කරන කෙනෙකුටවත් අපවිත්‍ර ක්‍රියා කරන කෙනෙකුටවත් දෙවිගේ රාජ්‍යයේ කිසි උරුමයක් නැහැ’ කියලා මං නිතරම මතක තියාගන්න එකෙන් මට පුළුවන් වෙලා තියෙනවා ලිංගික ආසාවන් පාලනය කරගන්න.’’ (එෆීස 5:5)—ලිඩියා

[49වන පිටුවේ කොටුව]

ඔබේ සටහන්

නොදකින පැත්ත දකින්න

බඳින්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන එකෙන් වෙන හානිය යෞවනයන්, ජනමාධ්‍යය හරිම කපටි විදිහට වසං කරනවා. පහළ තියෙන සිද්ධීන් තුනේදී නොදකින පැත්ත දකින්න උත්සාහ කරන්න.

● ගැහැනු ළමයි කීපදෙනෙක් එක්ක සම්බන්ධකම් පවත්වපු පිරිමි ළමයෙක්, ඉස්කොලේදී හරිම උජාරුවෙන් ඒ ගැන කියනවා. එයා කියන විදිහට කවුරුත් ඒකෙන් අමාරුවේ වැටෙන්නේ නැහැ. ඒත් එයාලා මොන වගේ දේවල්වලට මුහුණ දෙයිද? ․․․․․

● යෞවන වයසේ ඉන්න පෙම්වතුන් දෙන්නෙක් ආදරය පෙන්නන්න ලිංගිකව එක් වන දර්ශනයකින් ෆිල්ම් එකක් ඉවර වෙනවා. ඇත්ත ජීවිතයේදී ඒ වගේ දෙයක් වුණොත් ඊටපස්සේ මොනවා වෙයිද? ․․․․․

● කඩවසම් පිරිමි ළමයෙක් ඔයාත් එක්ක එකට ඉන්න ආසයි කියලා කියනවා. හැමෝටම හොරෙන් ඒක කරමු කියලත් කියනවා. ඔයාත් කැමති වෙනවා. ඒත් ඊටපස්සේ මොනවා වෙයිද? ․․․․․

[54වන පිටුවේ පින්තූරය]

බඳින්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන එක හරියට තෑග්ග ලැබෙන්න කලින් ඒක හොරෙන් කඩලා බලනවා වගේ