Skip to content

පටුනට යන්න

මේ ලෙඩෙත් එක්ක ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද?

මේ ලෙඩෙත් එක්ක ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද?

8වෙනි පරිච්ඡේදය

මේ ලෙඩෙත් එක්ක ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද?

“යෞවන කාලේ කරන්න බැරි දෙයක් නැහැ. ඒත් එකපාරටම බරපතළ ලෙඩක් හැදුණාම තමයි ජීවිතය කණපිට පෙරළෙන්නේ. එහෙම වුණාම දවසින් වයසට ගියා කියලයි හිතෙන්නේ.”—ජේසන්.

ජේසන්ට බඩවැලේ බරපතළ ලෙඩක් (Crohn’s disease) තියෙනවා කියලා දැනගන්න කොට එයාට වයස අවුරුදු 18යි. ඒ ලෙඩේට ඇඟ ගොඩක් දුර්වල වෙනවා. ලොකු වේදනාවකුත් දැනෙනවා. ඔයාත් බරපතළ අසනීපයක් නැත්නම් උපතින්ම ආබාධයක් තියෙන කෙනෙක්ද? එහෙමනම් සාමාන්‍ය වැඩක් පළක් කරන්නත් ඔයාට ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා ඇති.

තනියම ඔයාට කරන්න පුළුවන් දේවල් සීමා වෙද්දී ඔයාට හිතෙයි ඔයාව හරියට හිර කරලා වගේ කියලා. ඔයාට ලොකු තනිකමක් දැනෙයි. ඔයාට මෙහෙමත් හිතෙයි. ‘මට මේ වගේ ලෙඩක් හැදුණේ මං කරපු වරදක් නිසාද?’ නැත්නම් ‘මේ වගේ ලෙඩක් මට දුන්නේ දෙවි ගැන මට කොච්චර විශ්වාසයක් තියෙනවාද කියලා බලන්නද?’ ඒත් බයිබලයේ පැහැදිලිවම කියන්නේ, ‘යෙහෝවා දෙවි කිසි දිනක දුෂ්ට විදිහට හැසිරෙන්නේවත් අසාධාරණයක් කරන්නේවත් නැති බව ස්ථිරයි’ කියලයි. (යෝබ් 34:12) එහෙමනම් ඔයා කරපු වරදක් නිසා හරි ඔයාගේ විශ්වාසය සෝදිසි කරලා බලන්න හරි දෙවි ඔයාව ලෙඩ කරයිද? කොහොමටවත් නැහැ! අපෙන් ඕනෑම කෙනෙක් අසනීප වෙන්න පුළුවන්. ඒ වගේම, ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවලට මුහුණ දෙන්න අපිට සිදු විය හැකියි’ කියලා බයිබලයේ කියනවා.—දේශනාකාරයා 9:11.

ඒත් අපිට හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. දෙවි පොරොන්දු වෙලා තියෙන විදිහට පාරාදීස පොළොවේදී ‘කිසිම කෙනෙක්, “මා ලෙඩින්” කියලා කියන්නේ නැහැ.’ (යෙසායා 33:24) මිය ගිහින් ඉන්න අයවත් දෙවි ඒ කාලේදී නැවත නැඟිටුවනවා. (යොහන් 5:28, 29) ඒක කොච්චර ලස්සන බලාපොරොත්තුවක්ද! ඒත් ඒ කාලය එනකම් ඔයාට ඔයාගේ අසනීපයත් එක්ක ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් කොහොමද?

සතුට නැති කරගන්න එපා. බයිබලයේ කියන්නේ, ‘ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයක්’ කියලයි. (හිතෝපදේශ 17:22) සමහර අයට හිතෙන්නේ බරපතළ අසනීපයක්, ආබාධයක් තියෙද්දී හිනා වෙලා සතුටින් ඉන්න එක එච්චර හොඳ නැහැ කියලයි. හැබැයි යාළුවොත් එක්ක විහිළුතහළු කරලා කතාබහ කරලා සතුටින් ඉන්න කොට ඒක මනසට හොඳයි. අසනීපය දරාගෙන ජීවිතයට මුහුණ දෙන්නත් ඒක ඔයාට ශක්තියක් වෙයි. ඒ නිසා සතුටින් ඉන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද කියලා ටිකක් හිතන්න. සතුට කියන්නේ දෙවිගේ බලය ලැබුණාම ඇතිවෙන ගුණාංගයක්. (ගලාති 5:22) ඒ බලය ඔයාට ලැබුණාම ඔයාගේ අසනීපය, ආබාධය දරාගෙන යම් දුරකට සතුටින් ඉන්න ඔයාට පුළුවන් වෙයි.—ගීතාවලිය 41:3.

සීමාව තේරුම්ගන්න. ‘නිහතමානී අය ප්‍රඥාවන්තයි’ කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 11:2) ඔයාත් නිහතමානීව ඔයාගේ සීමාව තේරුම්ගත්තොත් බැරි දේවල් කරන්න හදන්නෙවත් ලෙඩේ ගැන හිතහිතා කරන්න පුළුවන් දේවලින් වැළකිලා ඉන්නෙවත් නැහැ. උදාහරණයකට ඔයාට තියෙන ලෙඩේ හැටියට සමහර ව්‍යායාම කරන්න පුළුවන් නම් ඒවා කරන එක හොඳයි. ඒ නිසා තමයි හුඟක් රෝහල්වල භෞත චිකිත්සක (physical therapy) ප්‍රතිකාර තියෙන්නේ. හුඟක් වෙලාවට ඒ වගේ ව්‍යායාම කරන එක ගතටත් සිතටත් සුවයක්.

අනිත් අයව තේරුම්ගන්න. ඔයාගේ අසනීපය ගැන එච්චර තේරුම්ගන්නේ නැතුව කෙනෙක් ඔයාට මොනවා හරි කිව්වොත් ඔයාට කරන්න පුළුවන් මොනවාද? බයිබලයේ කියන්නේ, ‘මිනිසුන් කියන හැම දෙයක්ම සිතට ගන්න එපා’ කියලයි. (දේශනාකාරයා 7:21) ඒ නිසා සමහර අය කියන ඒවා එච්චර ගණන් ගන්න එපා. ඔයාගේ අසනීපය, ආබාධය ගැන අනිත් අය කුතුහලයකින් ඉන්නවා කියලා ඔයාට තේරෙනවා නම් ඔයාම ඒගොල්ලෝ එක්ක කතා කරලා ඒ ගැන විස්තර කියන්න.

සැලෙන්න එපා. යේසුස්ටත් දරුණු දුක් වේදනාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒත් එයාට දැනුණු වේදනාව ගැන එයා හිතහිතා හිටියේ නැහැ. එයා හිතුවේ ඉස්සරහට ලැබෙන ආශීර්වාද ගැනයි. එයා ශක්තිය ඉල්ලලා දෙවිට යාච්ඤා කළා. (හෙබ්‍රෙව් 12:2) ඒ විතරක් නෙමෙයි, එයා අද්දැක්ක දුක් පීඩාවලින් ගොඩක් දේවල් ඉගෙනගත්තා. (හෙබ්‍රෙව් 4:15, 16; 5:7-9) එයාට ලැබුණු උදව් උපකාර එයා සතුටින් පිළිගත්තා. (ලූක් 22:43) අමාරුම අවස්ථාවලදීත් යේසුස් හිතුවේ අනිත් අයගේ යහපත ගැනයි. (ලූක් 23:39-43; යොහන් 19:26, 27) ඔයාත් යේසුස් වගේ ක්‍රියා කළොත් සැලෙන්නේ නැතුව අසනීපයත් එක්ක ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් වෙයි.

දෙවි ‘ඔයා ගැන සැලකිලිමත්’

ඔයා හිතන්න එපා ඔයාගේ ලෙඩේ නිසා දෙවිට ඔයාව වටින්නේ නැහැ කියලා. දෙවිව සතුටු කරන්න උත්සාහ කරන අයව දෙවිට හැමදාටම වටිනවා. (ලූක් 12:7) බයිබලයේ කියන්නේ ‘ඔයා ගැන දෙවි සැලකිලිමත්’ කියලයි. ඒකෙන් තේරෙන්නේ යෙහෝවා දෙවිට ඔයාව කොච්චර වටිනවාද කියලයි. ඔයාට මොන අසනීපය, මොන ආබාධය තිබුණත් ඔයා කරන සේවය දෙවි ගොඩක් අගය කරනවා කියලා මතක තියාගන්න.—1 පේතෘස් 5:7.

ඒ නිසා යෙහෝවා දෙවි වෙනුවෙන් ඔයා කරන්න ඕනේ දේවල්, කරන්න කැමති දේවල් කරන්නේ නැතුව ඉන්න ඔයාගේ අසනීපය හේතුවක් කරගන්න එපා. හැම වෙලාවේම දෙවිගෙන් ශක්තිය ඉල්ලන්න. දෙවිට ඔයාගේ හැඟීම් තේරුම්ගන්න පුළුවන් කියලා අමතක කරන්න එපා. අසනීපය නිසා එන අභියෝගවලට මුහුණ දෙන්න දෙවි “සාමාන්‍යය ඉක්මවූ බලය” ඔයාට දෙයි. (2 කොරින්ති 4:7) කාලයක් යන කොට ඔයාගේ අසනීපය දරාගන්න ඔයාට පුළුවන් වෙයි. තිමති කියන යෞවනයාටත් ඒක කරන්න පුළුවන් වුණා. නිතරම ඇඟට තෙහෙට්ටුවක් දැනෙන බරපතළ අසනීපය (chronic fatigue syndrome) එයාට තියෙනවා කියලා දැනගත්තේ වයස අවුරුදු 17දීයි. එයා මෙහෙම කියනවා. “පළමුවෙනි කොරින්ති 10:13 කියෙව්වාම මට තේරුණා අපිට දරාගන්න බැරි දේකට මුහුණ දෙන්න දෙවි කවදාවත් ඉඩ දෙන්නේ නැහැ කියලා. මාව නිර්මාණය කරපු දෙවිට විශ්වාසයි නම් මේ අසනීපය දරාගන්න මට පුළුවන් කියලා මං කොහොමද හිතන්නේ ඒක මට බැහැ කියලා.”

ඔයා දන්න කෙනෙක් අසනීපයෙන් නම්

ඔයා දන්න කෙනෙක් බරපතළ අසනීපයකින්, ආබාධයකින් ඉන්නවා නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද? හොඳම දේ තමයි එයාට “දයානුකම්පාවෙන්” සලකන එක. (1 පේතෘස් 3:8) එයාගේ හැඟීම් තේරුම්ගන්න උත්සාහ කරන්න. ඒ වගේ අසනීපයක් ඔයාට තිබුණොත් ඒක ඔයාට කොච්චර අභියෝගයක් වෙයිද කියලා හිතලා බලන්න. අවුරුදු 27ක් වයස නීනාට ඉපදෙන කොටම සුෂුම්නාවේ බරපතළ අසනීපයක් (spina bifida) තිබුණා. එයාගේ අසනීපය නිසා අනිත් අය එයාට සලකන විදිහ ගැන එයා මෙහෙම කියනවා. “මගේ ඇඟ හරි පොඩි නිසාත් මං රෝද පුටුවක ඉන්න නිසාත් සමහර අය මාත් එක්ක කතා කරන්නේ බබෙක් එක්ක කතා කරනවා වගෙයි. එතකොට මට හරියට දුක හිතෙනවා. ඒත් සමහරක් අය මං ළඟ ඉඳගෙන මගේ මුහුණ දිහා බලලා මාත් එක්ක හොඳට කතා කරනවා. ඒකට මං හරි ආසයි.”

අසනීපයක්, ආබාධයක් තියෙන අයව ළඟින් ආශ්‍රය කරද්දී ඔයාට තේරෙයි එයාලයි ඔයායි අතරේ ලොකු වෙනසක් නැහැ කියලා. ඒගොල්ලෝ එක්ක කතාබහ කරලා ඔයාට පුළුවන් ඒගොල්ලන්ව දිරිගන්වන්න. ඔයා එහෙම කරද්දී එයා විතරක් නෙමෙයි, ඔයාත් ලොකු දිරිගැන්වීමක් ලබයි.—රෝම 1:11, 12.

තවත් දැනගන්න 1වෙනි පොතේ 13වෙනි පරිච්ඡේදය බලන්න

බයිබල් උපදෙස

“ඒ කාලයේදී . . . කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:23, 24.

යෝජනාවක්

ඔයාගේ ලෙඩේ ගැන දැනුවත් වෙන්න. එතකොට ලෙඩේ ගැන ඔයාට දැනෙන භය අඩු කරගන්න පුළුවන් වෙයි. ලෙඩේ ගැන ඔයාට මොනවා හරි දැනගන්න ඕනේ නම් ඔයාගේ දොස්තරගෙන් අහන්න.

මේක දැනගෙන හිටියාද?

ඔයා ලෙඩින් හරි ආබාධිතව හරි ඉන්නේ දෙවිගේ දඬුවමක් නිසා නෙමෙයි. මිනිසුන් හැටියට අපි ඒ දේවල් අද්දකින්නේ අපි පව්කාර ස්වභාවය උරුම කරගෙන තියෙන නිසයි.—රෝම 5:12.

ඔයාට වැඩක්!

මගේ ලෙඩේ එක්ක ජීවිතයට හොඳින් මුහුණ දෙන්න මං මෙහෙම කරනවා ․․․․․

දැනට මං බලාපොරොත්තු වෙන්නේ මේ දේ කරන්නයි ․․․․․

මගේ ලෙඩේ ගැන එච්චර තේරුම්ගන්නේ නැතුව කෙනෙක් මොනවා හරි කිව්වොත් මං මෙහෙම කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● ලෙඩින් හරි ආබාධිතව හරි ඉන්න කෙනෙකුට උදව් කරන්න මේ පරිච්ඡේදයේ තියෙන තොරතුරු ඔයාට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

● ඔයාට බරපතළ ලෙඩක් තියෙනවා නම් ඒකට හොඳින් මුහුණ දෙන්න ඔයාට මොන වගේ දේවල් ගැන හිතන්න පුළුවන්ද?

● ලෙඩක්, ආබාධයක් තියෙන්නේ දෙවිගේ දඬුවමක් නිසා නෙමෙයි කියලා ඔයා දන්නේ කොහොමද?

[75වන පිටුවේ කොටුව⁄පින්තූරය]

‘‘මට හැමදාටම රෝද පුටුවක ඉන්න වෙනවා කියලා දැනගත්ත වෙලාවේ මං අම්මාව බඳාගෙන ඇඬුවා. එතකොට මට අවුරුදු අටයි.

මට තියෙන්නේ මාංශ පේශී දුර්වල වෙන ලෙඩක්. මට තනියම නාගන්න, ඇඳුම් අඳින්න, කන්න බැහැ. මට මගේ අත් දෙක පොඩ්ඩක්වත් උස්සන්න බැහැ. ඒත් මට සතුටු වෙන්න ගොඩක් දේවල් තියෙනවා. ශුභාරංචිය අනිත් අයත් එක්ක බෙදාගන්න මං නිතරම දේවසේවයේ යනවා. මං සභාවේ සහායක සේවකයෙක් විදිහටත් සේවය කරනවා. මට ගොඩක් අමාරුකම් තියෙනවා කියලා සමහර වෙලාවට මට දැනෙන්නේ නැති තරම්. දෙවිගේ සේවකයන්ට කරන්න වැඩ ගොඩක් තියෙන නිසා දවස් යනවා තේරෙන්නේ නැහැ. ඒ වගේම නිතරම බලාපොරොත්තුවෙන් ඉන්න මොනවා හරි හොඳ දෙයක් තියෙනවා. මගේ ලොකුම බලාපොරොත්තුව තමයි පාරාදීස පොළොව. එදාට මට පුළුවන් ‘මුවෙක් වගේ දුවන්න.’’ (යෙසායා 35:6)

—ඩස්ටන්, 22.

[75වන පිටුවේ කොටුව⁄පින්තූරය]

‘‘මට වයස අවුරුදු හතරෙදී දොස්තර කිව්වා, ‘මුළු ජීවිත කාලේටම ඔයාට ඉන්සියුලින් ගහන්න වෙනවා’ කියලා.

දියවැඩියාව තියෙන කෙනෙක්ට ලේවල සීනි ප්‍රමාණය පාලනය කරන එක හරිම අමාරුයි. ගොඩක් වෙලාවට මට කන්න ඕනේ වුණාම කන්න බැහැ. කන්න බැරි වෙලාවට කන්න වෙනවා. මේ වෙන කොට මට ඉන්ජෙක්ෂන් 25,000ක් විතර ගහලා තියෙනවා. ඒ නිසා මගේ අත් දෙකෙයි කකුල් දෙකෙයි හම හරි තදයි. මං ලෙඩින් හිටියත් මට පුළුවන් විදිහට දේවල් කරන්න මගේ දෙමාපියන් මට ගොඩක් උදව් කළා. මගේ ලෙඩේ නිසා එයාලා කලකිරුණේ නැහැ. එයාලා නිතරම හිටියේ සතුටින්. දෙවි ගැන ආදරයක්, අගයක් ඇති කරගන්න එයාලා මට උදව් කළා. යෙහෝවා දෙවිත් මං ගැන ගොඩක් සැලකිලිමත් කියලා මං දන්නවා. ඒ නිසා මට පුළුවන් කියලා දැනුණාම මං පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න පටන්ගත්තා.’’

—ටෝමෝකෝ, 21.

[76වන පිටුවේ කොටුව⁄පින්තූරය]

‘‘මං වගේ අය දිහා අනිත් අය බලන්නේ හරිම අමුතු විදිහට.

මං කුරු කෙනෙක්. මගේ කුරුබව හරිම දුර්ලභ විදිහේ එකක්. ගොඩක් අය මාව දැක්කාම හිතන්නේ මං ගොරෝසු කටහඬක් තියෙන පොඩි ළමයෙක් කියලයි. හැබැයි මං මගේ පෙනුම ගැන හිතලා දුක් වෙන්නේ නැහැ. මං ඉන්නේ සතුටින්. මං බයිබලය අධ්‍යයනය කරනවා. ශක්තිය ඉල්ලලා යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා. මගේ පවුලේ අයත් නිතරම මාව ශක්තිමත් කරනවා. මං ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නේ දෙවි මේ හැම අසනීපයක්ම, ආබාධයක්ම නැති කරලා දාන කාලේ එනකම්. එතකම් මං මේ විදිහට සතුටින් ජීවිතයට මුහුණ දෙනවා.’’

—ජේම්ස්, 18.

[76වන පිටුවේ කොටුව⁄පින්තූරය]

‘‘වතුර වීදුරුවක් අතට ගන්න කොටත් කැක්කුමක් දැනෙද්දී මට හිතුණා මට ලොකු අසනීපයක් තියෙනවා ඇති කියලා.

මට තියෙන ලෙඩේ නිසා (fibromyalgia) ඇඟට හැම වෙලේම ලොකු වේදනාවක් දැනෙනවා. මාත් ආසයි මගේ යාළුවෝ වගේ දුවලා පැනලා ඉන්න. ඒත් ඉස්සර වගේ නෙමෙයි දැන් මට ගොඩක් දේවල් කරන්න හරි අමාරුයි. සමහර වෙලාවට මට නිදාගන්නත් බැහැ. හැබැයි යෙහෝවා දෙවිගේ උපකාරය තියෙන නිසා මට සමහර දේවල් කරන්න පුළුවන්. එක මාසයක උපකාරික පුරෝගාමියෙකු විදිහට වැඩිපුර දේවසේවය කරන්නත් මට පුළුවන් වුණා. ඒක ටිකක් අමාරු වුණත් මං කොහොමහරි ඒක කළා. මට කරන්න පුළුවන් දේවල්වලට සීමාවක් තියෙනවා කියලා මං නිතරම මතක තියාගන්න ඕනේ. මං ඒ සීමාව පැනලා දේවල් කරනවා නම් මගේ අම්මා ඒක මට මතක් කරනවා.’’

—ඩැනිට්‍රියා, 16.

[77වන පිටුවේ කොටුව⁄පින්තූරය]

‘‘මට ඉස්කෝලේ වැඩවලට නිතරම හොඳ ලකුණු තිබුණා. හැබැයි මං දැන් පොඩි වාක්‍යයක් කියවන්නෙත් හරිම අමාරුවෙන්. ඒ නිසා මං සමහර වෙලාවට කලකිරෙනවා.

මට තියෙන ලෙඩේ නිසා (Chronic fatigue syndrome) නිතරම ලොකු තෙහෙට්ටුවක් දැනෙනවා. පොඩි වැඩක්වත් කරගන්න අමාරුයි. සමහර දවස්වලට මට ඇඳෙන් බැහැගන්නවත් බැහැ. ඒත් මේ ලෙඩේට මගේ ජීවිතේ පාලනය කරන්න මං ඉඩ දෙන්නේ නැහැ. කොච්චර අමාරු වුණත් මං හැමදාම බයිබලය කියවනවා. සමහර දවස්වලට මට කියවන්න පුළුවන් පද කීපයක් විතරයි. එහෙමත් බැරි නම් ගෙදර කාට හරි මට ඇහෙන්න බයිබලය කියවන්න කියනවා. පවුලේ අයගෙන් මට ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බැහැ. සමුළුවේදී මට උදව් කරන්න ඕනේ නිසා තාත්තා ඒ සමුළුවේ ලැබුණු එක පැවරුමක් භාරගත්තෙත් නැහැ. තාත්තා මට කිව්වේ එයාට තියෙන ලොකුම වගකීම එයාගේ පවුල බලාගන්න එක කියලයි.’’

—එලීසියා, 20.

[77වන පිටුවේ කොටුව⁄පින්තූරය]

‘‘එකපාරටම මං ගැහෙන්න අරන් කෑගහනවා. ළඟපාත තියෙන හැම දෙයක්ම මං වීසි කරනවා.

මට මීමැස්මොරේ හැදුණේ අවුරුදු පහේදීයි. සමහර මාසවල මට ඒක හත් වතාවක් හැදිලා තියෙනවා. මං හැමදාම බෙහෙත් බොන නිසා සමහර වෙලාවට මගේ ඇඟට පණ නැහැ. හැබැයි මං නිතරම උත්සාහ කරන්නේ මගේ ලෙඩේ ගැන හිතහිතා ඉන්නේ නැතුව අනිත් අය ගැන හිතන්නයි. මං ඉස්කෝලෙන් අවුට් වුණ ගමන් වැඩිපුර දේවසේවයේ යන්න පටන්ගත්තා. පූර්ණකාලීනව දෙවිට සේවය කරන මගේම වයසේ සහෝදරයෝ දෙන්නෙක් මගේ සභාවේ ඉන්නවා. ඒ දෙන්නා ඒකට මට ගොඩක් උදව් කරනවා. මේ ලෙඩේ නිසා මට හැම දවසක්ම අභියෝගයක්. මගේ ඇඟට අමාරුයි වගේ දැනුණාම මං විවේක ගන්නවා. එතකොට ඊළඟ දවසට මුහුණ දෙන්න මං ලෑස්තියි.’’

—කාට්සුටෝෂි, 20.

[78වන පිටුවේ කොටුව⁄පින්තූරය]

‘‘මගේ ලෙඩේ නිසා මගේ වයසේ අනිත් අය මාව එච්චර ගණන් ගන්නේ නැහැ.

අනිත් අය වගේම මාත් සෙල්ලං කරන්න ආස වුණාට මට ඒක කරන්න බැහැ. මගේ මොළේ කොටසක් (මස්තිෂ්කය) ආබාධ වෙලා නිසා මට ඇවිදින එකත් හරි අමාරුයි. ඒත් කරන්න බැරි දේවල් ගැන දුක් වෙන්නේ නැතුව කරන්න පුළුවන් දේවල් හොඳට කරන්න මං උත්සාහ කරනවා. මං හොඳට කරන එක දෙයක් තමයි පොත් පත් කියවන එක. සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන කොට මට කිසි භයක් දැනෙන්නේ නැහැ. මොකද එහේ ඉන්න අය මං දිහා අමුතු විදිහට බලන්නේ නැහැ. මං දන්නවා යෙහෝවා දෙවි මට ආදරේ කරන්නේ මගේ හදවත දිහා බලලයි, මගේ පෙනුම බලලා නෙමෙයි කියලා. ඒක මට ලොකු සැනසීමක්. මං මාව දකින්නේ ආබාධිතයෙක් හැටියට නෙමෙයි, අනිත් අයට නැති වෙනස්ම අභියෝගයක් එක්ක ජීවිතයට මුහුණ දෙන කෙනෙක් විදිහටයි.’’

—මැතිව්, 19.

[78වන පිටුවේ කොටුව⁄පින්තූරය]

‘‘මං ගොඩක් හොඳට දුවලා පැනලා සෙල්ලං කරපු කෙනෙක්. ඒත් එකපාරටම මට දැනුණේ මං වයසට ගියා වගෙයි.

මං ඉපදෙද්දීම මගේ හදවතේ සිදුරක් තිබුණා. ඒත් ඒක දැනගත්තේ මං යොවුන් වියට ආවාට පස්සේ. අවුරුදු හයකට කලින් මට ලොකු සැත්කමක් කළා. ඒත් තාමත් මට පපුවේ මහන්සියයි, දරාගන්න බැරි ඔළුවේ කැක්කුමකුයි හැදෙනවා. ඒ නිසා එකපාරටම ලොකු දේවල් කරන්න හදන්නේ නැතුව මං උත්සාහ කරන්නේ මට පුළුවන් පොඩි පොඩි දේවල් කරන්නයි. මං දැන් පූර්ණකාලීනව ශුභාරංචිය අනිත් අයට කියලා දෙනවා. හුඟක් වෙලාවට මං ඒක කරන්නේ ලියුම් ලියලා හරි ටෙලිෆෝන් එකෙන් හරි. මගේ මේ ලෙඩේ නිසා විඳදරාගැනීම, නිහතමානිකම වගේ ගුණාංගත් තවත් දියුණු කරගන්න පුළුවන් වෙලා තියෙනවා.’’

—මිකි, 25.

[74වන පිටුවේ පින්තූරය]

බරපතළ අසනීපයක් නැත්නම් ආබාධයක් නිසා ඔයාට හිතෙයි ඔයාව හිර කරලා වගේ කියලා. හැබැයි ඉක්මනින්ම දෙවි ඔයාව නිදහස් කරනවා