Skip to content

පටුනට යන්න

ඇයි මට කවුරුත් කැමති නැත්තේ?

ඇයි මට කවුරුත් කැමති නැත්තේ?

9වෙනි පරිච්ඡේදය

ඇයි මට කවුරුත් කැමති නැත්තේ?

ඔයා හොඳට අඳුනන, ඔයාගේම වයසේ කට්ටියක් විනෝද ගමනක් ගිහින් කියලා හිතන්න. ඒත් එයාලා ඒ ගැන කිසිම දෙයක් ඔයාට කිව්වේ නැහැ. එහෙම වුණු පළමු අවස්ථාව මේක නෙමෙයි. කට්ටිය එකතු වෙලා ඒ වගේ විනෝද වෙද්දී ඔයාට අඬගහන්නේ නැති එක ගැන ඔයාට කොහොම හැඟෙයිද? සමහරවිට ඔයාට හිතෙයි, ‘ඒගොල්ලෝ මට කැමති නැති නිසාද එහෙම කරන්නේ’ කියලා.

ඒ වගේ දෙයක් ඔයා ඇත්තටම අද්දැකලා තියෙනවාද? එහෙමනම් ඔයාට දැනෙනවා ඇති ඔයාගේ වයසේ අනිත් අය ඔයාත් එක්ක එච්චර නැහැ කියලා. එහෙම දැනුණා කියලා හැමදාටම පැත්තකට වෙලා ඉන්නේ නැතුව ඔයාට පුළුවන් ඒගොල්ලන්ට කිට්ටු වෙන්න සමහර දේවල් කරන්න.

එහෙම කරන්න නම් අනිත් අයට කිට්ටු වෙන්න ඔයාට තියෙන බාධක මොනවාද කියලා මුලින්ම දැනගන්න ඕනේ.

පළමු බාධකය: ඔයා ගැනම වැරදියට හිතන එක. සමහර යෞවනයන්ට ඒගොල්ලෝ ගැන තියෙන්නේ වැරදි හැඟීමක්. ඒගොල්ලෝ හිතන්නේ කවුරුත් ඒගොල්ලන්ට කැමති නැහැ, ඒගොල්ලන්ගෙන් කිසි වැඩක් නැහැ, අනිත් අයත් එක්ක කතා කරන්න ඒගොල්ලන්ට වැදගත් දේවල් නැහැ කියලයි. ඔයාටත් එහෙම හිතෙනවාද? එහෙමනම් ඒකෙන් වෙන්නේ ඔයා අනිත් අයගෙන් තවත් ඈත් වෙන එක.

බාධකය ජය ගන්න: ඔයාගේ හොඳ පැති දකින්න. (2 කොරින්ති 11:6) ඔයාගේ හොඳ ගතිගුණ, ඔයාට තියෙන හැකියාවන් මොනවාද කියලා හිතලා බලන්න. ඒවා පහළින් ලියන්න.

․․․․․

ඔයාගේ පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒවා මොනවාද කියලා තේරුම් අරන් ඉන්න එක හොඳ දෙයක්. (1 කොරින්ති 10:12) හැබැයි ඔයාගේ හොඳ පැති අමතක කරන්න එපා. ඒවා මොනවාද කියලා හරියටම තේරුම් අරන් ඉන්න එකෙන් ඔයාට ඔයා ගැන තියෙන වැරදි හැඟීම් නැති කරගන්න පුළුවන්.

දෙවෙනි බාධකය: ලැජ්ජාව. අවුරුදු 19ක් වයස එලිසබෙත් මෙහෙම කියනවා. “තවත් කෙනෙක් ළඟට ගිහිල්ලා කතා කරන්න මට හරිම ලැජ්ජයි. ඒත් සමහරක් අයට නම් ඕන කෙනෙක් එක්ක ලෙහෙසියෙන්ම කතා කරන්න පුළුවන්. ඇත්තටම ඒගොල්ලන්ව අගය කරන්න වටිනවා.” එලිසබෙත් වගේ ඔයාත් හරිම ලැජ්ජා කෙනෙක් නම් ඒ බාධකය ජය ගන්න හරි අමාරුයි කියලා හිතෙයි.

බාධකය ජය ගන්න: අනිත් අයව අඳුනගන්න ආසාවක් ඇති කරගන්න. මුලින්ම එක් කෙනෙක්ව හොඳට අඳුනගන්න බලන්න. ඒක කරන්න පුළුවන් විදිහක් ගැන එක යෞවනයෙක් මෙහෙම කියනවා. “කෙනෙක් ළඟට ගිහින් එයාගේ සැප සනීප කොහොමද, එයාගේ වැඩ කොහොමද වගේ ප්‍රශ්න අහන එකෙන් ඒ කෙනාව හොඳට අඳුනගන්න පුළුවන් වෙනවා.”

මේක කරලා බලන්න. ඔයාගේම වයසේ අයව විතරක් නෙමෙයි වයසෙන් වැඩි අයවත් අඳුනගන්න උත්සාහ කරන්න. බයිබලයේ සඳහන් වෙලා තියෙන කිට්ටු මිත්‍රත්වයන් තිබුණු සමහරක් අය අතරෙත් ලොකු වයස් පරතරයක් තිබුණා. උදාහරණයකට රූත්, නායොමි අතරෙත් දාවිත්, යොනාතාන් අතරෙත් තිමෝති, පාවුල් අතරෙත් ලොකු වයස් පරතරයක් තිබුණා. (රූත් 1:16, 17; 1 සාමුවෙල් 18:1; 1 කොරින්ති 4:17) තව කෙනෙක් එක්ක කතා කරද්දී ඔයා විතරක් කතා කරන්න ඕනේ කියලා හිතන්න එපා. හොඳට ඇහුම්කන් දෙන එකත් වැදගත්. ඒක තේරුම් අරන් ඉන්න එක ලැජ්ජාව කියන බාධකය ජය ගන්න ඔයාට උදව් වෙයි.

ඔයා අඳුනගන්න කැමති වැඩිහිටියන් දෙන්නෙක්ගේ නම් ලියන්න.

․․․․․

ඒ දෙන්නාගෙන් එක් කෙනෙක් ළඟට ගිහින් කතා කරන්න ඉක්මනින්ම පියවර ගන්න. ඔයා ඒ විදිහට අනිත් අයව අඳුනගන්න කොට අනිත් අය ඔයාගෙන් ඈත් වෙලා කියන හැඟීම ඔයාට නැති වෙයි.—1 පේතෘස් 2:17.

තුන්වෙනි බාධකය: නුරුස්සන ගති. සමහරක් අය හිතන්නේ ඒගොල්ලෝ හැම දෙයක්ම දන්නවා කියලා. ඒ වගේ අය නිතරම කතා කරන්නේ අනිත් අයව පහත් කරලා. තවත් අය වාද කරලා ඒගොල්ලන්ගේ මතය හරියි කියලා ඔප්පු කරන්න හදනවා. ‘පමණට වඩා ධර්මිෂ්ඨ වෙන්න’ හදන එහෙම අය හිතන්නේ ඒගොල්ලන්ගේ මතය අනිත් අය පිළිගන්න ඕනේ කියලයි. (දේශනාකාරයා 7:16) කවුරු හරි ඒගොල්ලන් කියන දේට එකඟ වුණේ නැත්නම් එයාව එච්චර ගණන් ගන්නේ නැහැ. අපි කවුරුත් ඒ වගේ අයව කිට්ටුවෙන් ආශ්‍රය කරන්න කැමති නැහැ. සමහරවිට අනිත් අය ඔයාගෙන් ඈත් වෙලා ඉන්නේ ඔයාට ඒ වගේ ගති තියෙන නිසා වෙන්න බැරිද? බයිබලයේ කියන්නේ, ‘මෝඩයා පාලනයක් නැතුව බොහෝ වචන පිට කරයි’ කියලයි. ඒ වගේම ‘කතාබහ වැඩි වුණාම වරදකට හසු වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි’ කියලා බයිබලයේ කියනවා.—දේශනාකාරයා 10:14; හිතෝපදේශ 10:19.

බාධකය ජය ගන්න: අනිත් අය ගැන හිතන්න. (1 පේතෘස් 3:8) ඔයා කාත් එක්ක හරි කතා කරද්දී සමහරවිට එයා කියන හැම දේකටම ඔයාට එකඟ වෙන්න බැරි වෙයි. එහෙම වුණාම එයාව එකපාරටම නතර කරන්නේ නැතුව එයා කියන දේට ඇහුම්කන් දෙන්න. එයා කියන දේවල පිළිගන්න පුළුවන් එක දෙයක් හරි තියෙනවා නම් ඒ ගැන කතා කරන්න. හැබැයි එයා කියන දේට ඔයා එකඟ නැහැයි කියලා කියන්න ඕනේ කියලා හිතුණොත් එයාගේ හිත රිදෙන්නේ නැති විදිහට ඒක කියන්න.

ඔයා කැමති අනිත් අය ඔයාට කොහොම කතා කරනවාටද? ඒ විදිහටම ඔයාත් අනිත් අයට කතා කරන්න. බයිබලයේ දිරිගන්වලා තියෙන්නේ, “මැසිවිලි නැඟීමෙන් හා වාදවිවාදවලින් වැළකී සිටින්න” කියලයි. (ෆිලිප්පි 2:14) ඔයා අනිත් අයත් එක්ක වාද කරන්න ගියොත් නිතරම ඒගොල්ලන්ට විහිළු, අපහාස කරන්න ගියොත් ඒකෙන් වෙන්නේ ඒගොල්ලෝ නිකම්ම ඔයාගෙන් ඈත් වෙන එක. හැබැයි ඔයා ‘නිතරම කාරුණිකව කතා කරන්න පුරුදු වෙලා’ හිටියොත් අනිත් අයගේ හිත දිනාගන්න ඔයාට පුළුවන් වෙයි.—කොලොස්සි 4:6.

හිත දිනාගන්න ඕන දෙයක් කළාට කමක් නැද්ද?

මේ තොරතුරු කියෙව්වාට පස්සේ ඔයාට තේරෙන්න ඇති අනිත් අයට කිට්ටු වෙන්න නම් ඔයාගේ පැත්තෙනුත් සමහරක් දේවල් කරන්න ඕනේ කියලා. හැබැයි කොච්චර උත්සාහ කළත් හැමෝම ඔයාට කැමති වෙයි කියලා හිතන්න එපා. හරි දේ කරන්න උත්සාහ කරන අයට අකමැති අයත් ඉන්නවා කියලා යේසුස් කිව්වා. (යොහන් 15:19) ඒ නිසා බයිබල් ප්‍රතිපත්ති බාල කරලා ඒ වගේ අයගේ හිත දිනාගන්න හදන එක වැඩක් නැහැ.

බයිබල් ප්‍රතිපත්ති බාල කරන්නේ නැතුව අනිත් අයගේ හිත දිනාගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් කරන්න. අතීතයේ හිටපු සාමුවෙල් කියන කෙනාත් කවදාවත් දෙවිගේ ප්‍රතිපත්ති බාල කළේ නැහැ. ඒ නිසා එයාට යෙහෝවා දෙවිගේ විතරක් නෙමෙයි, මිනිසුන්ගේ ප්‍රසාදයත් දිනාගන්න පුළුවන් වුණා. (1 සාමුවෙල් 2:26) ඔයාටත් ඒක කරන්න පුළුවන්.

තවත් දැනගන්න 1වෙනි පොතේ 8වෙනි පරිච්ඡේදය බලන්න

යොවුන් සිතේ ගැටලු—හොඳ මිතුරන් හොයාගන්නේ කොහොමද? කියන DVD තැටිය නැරඹුවොත් ඔයාට තවත් වටිනා තොරතුරු හුඟක් දැනගන්න පුළුවන් වෙයි. ඒ DVD එක භාෂා 40කින් තියෙනවා

ඊළඟ පරිච්ඡේදය

ඔයාගේ හොඳම යාළුවා එකපාරටම වෙනස් වෙලා කියලා ඔයාට දැනුණොත් මොකද කරන්නේ?

බයිබල් උපදෙස

“අන්‍යයන්ව නොමසුරුව පෝෂණය කරන තැනැත්තාවද නොඅඩුව පෝෂණය කරනු ලැබේ.”—හිතෝපදේශ 11:25.

යෝජනාවක්

කවුරු හරි කෙනෙක් ඔයාගෙන් ‘කොහොමද’ කියලා ඇහුවොත් නිකම්ම ‘හොඳයි’ කියලා උත්තර දෙන්නේ නැතුව විස්තර ටිකක් කතා කරන්න. ඊටපස්සේ එයාගේ සැප සනීප කොහොමද කියලත් අහන්න.

මේක දැනගෙන හිටියාද?

මෝසෙස්, යෙරෙමියා, තිමෝති කියන අය ගැන බයිබලයේ තියෙන තොරතුරුවලින් පේන්නේ එයාලත් ටිකක් ලැජ්ජා අය කියලයි.—නික්මයාම 3:11, 13; 4:1, 10; යෙරෙමියා 1:6-8; 1 තිමෝති 4:12; 2 තිමෝති 1:6-8.

ඔයාට වැඩක්!

අනිත් අයට කිට්ටු වෙන්න මට තියෙන ලොකුම බාධකය මේකයි ․․․․․

ඒක ජය ගන්න මං මෙහෙම කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● ‘අනිත් අය මට කැමති නැහැ’ කියන හැඟීම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් ඇයි?

● ඔයා ගැන වැරදියට හිතන එක නතර කරලා ඔයාගේ හොඳ පැති දකින්න ඔයාට පුළුවන් කොහොමද?

● ‘අනිත් අය මට කැමති නැහැ’ කියන හැඟීම ඔයාගේ නංගිට හරි මල්ලිට හරි තියෙනවා නම් ඒ හැඟීමෙන් ගොඩ එන්න ඔයා උදව් කරන්නේ කොහොමද?

[88වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘සභාවේ හිටපු සහෝදරියක් මාත් එක්ක හරි මිත්‍රශීලී විදිහට කතාබහ කළා. ඒත් මං එයාව එච්චර ගණන් ගත්තේ නැහැ. හැබැයි එයාත් එක්ක හිතවත්කමක් ඇති කරගත්තට පස්සේ තමයි මට තේරුණේ එයා කොච්චර හොඳ කෙනෙක්ද කියලා. එයා මට වඩා අවුරුදු 25ක් වැඩිමල් වුණත් අද වෙන කොට එයා මගේ හොඳම යාළුවන්ගෙන් කෙනෙක්.’’—මරී

[87වන පිටුවේ පින්තූරය]

අනිත් අය ඔයාගෙන් ඈත් වෙලා කියලා හැඟෙනවා නම් ඒගොල්ලන්ට කිට්ටු වෙන්න ඔයාට සමහර දේවල් කරන්න පුළුවන්