Skip to content

පටුනට යන්න

දුප්පත්කමත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද?

දුප්පත්කමත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද?

20වෙනි පරිච්ඡේදය

දුප්පත්කමත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද?

ග්‍රෙගරි ජීවත් වෙන්නේ නැඟෙනහිර යුරෝපයේ. ධනවත් රටවල්වල ඉන්න යෞවනයන් වගේ ඇඳුම්, අලුත් අලුත් ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න එයාට වත්කමක් නැහැ. ඒ ගැන එයා ඉන්නේ දුකෙන්. ඒ නිසා එයා හදන්නේ ඔස්ට්‍රියාවට යන්නයි. ග්‍රෙගරි දුප්පත් කෙනෙක් කියලා ඔයා හිතනවාද?

□ ඔව් □ නැහැ

ලෝයිසෝ ජීවත් වෙන්නේ අප්‍රිකාවේ. එයායි එයාගේ පවුලේ අයයි ජීවත් වෙන්නේ දුෂ්කර ගම්මානයක පුංචි පැල්පතක. ඒ ගමට ජල විදුලි පහසුකම් මුකුත් නැහැ. ඒත් එයාගේ ගමට ටිකක් කිට්ටුවෙන් තියෙන ටවුමේ ඉන්න යෞවනයන්ට ඒ පහසුකම් තියෙන නිසා ලෝයිසෝට ඒ ගැන කේන්තියි. ලෝසිසෝ දුප්පත් කෙනෙක් කියලා ඔයා හිතනවාද?

□ ඔව් □ නැහැ

ග්‍රෙගරි හිතුවේ එයා දුප්පත් කියලයි. හැබැයි ලෝයිසෝ එක්ක බලද්දී ග්‍රෙගරිට තිබුණේ සුව පහසු ජීවිතයක් කියලා කියන්න පුළුවන්. ඒකෙන් තේරෙන්නේ රටින් රටට දුප්පත්කම මනින විදිහ වෙනස් වෙනවා කියලයි. සමහරවිට ඔයාට හිතෙන්න පුළුවන් ඔයා හරිම දුප්පත් කියලා. හැබැයි ඔයාට වඩා දුප්පත් අය ඉන්න පුළුවන්. ඒත් ඉස්කෝලේ යන්න හරිහමන් ඇඳුමක්වත් ඕන කරන මූලික දේවල්වත් ඔයාට නැත්නම් ඔයාගේ තත්වය හිතන තරම් නරක නැහැ කියලා හිතලා හිත හදාගන්න ඔයාට අමාරු ඇති.

දුප්පත් පවුල්වලින් එන යෞවනයන් හුඟදෙනෙක්ට හිතෙන්නේ එයාලට මුකුත් හරියට කරන්න බැහැ, එයාලගෙන් කිසි වැඩක් නැහැ කියලයි. ඒ වගේ අය එයාලට තියෙන ප්‍රශ්න ගැටලු අමතක කරන්න කුඩු ගහන්න, බොන්න පුරුදු වෙනවා. හැබැයි ඒකෙන් වෙන්නේ තවත් ප්‍රශ්න වැඩි වෙන එක විතරයි. මොකද බයිබලයේ කියලා තියෙනවා මත්පැන්, ‘අවසානයේදී සර්පයෙකු මෙන් දෂ්ට කරයි. පොළඟෙකු මෙන් විෂ පිට කරයි’ කියලා. (හිතෝපදේශ 23:32) දකුණු අප්‍රිකාවේ දුප්පත් පවුලකින් එන මරියා කියන යෞවනියත් මෙහෙම කියනවා. “ප්‍රශ්නවලින් පැනලා යන්න හදන එකෙන් වෙන්නේ ප්‍රශ්න තවත් වැඩි වෙන එකයි.”

සමහරවිට ඔයා දුප්පත්කම නිසා එන ප්‍රශ්න ගැටලුවලින් පැනලා යන්න හදන්නේ නැතුව ඇති. ඒත් එක දිගට ප්‍රශ්න ගැටලු තියෙද්දී ඔයාට හිතෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ හරියට මාංචු දාලා හිර කරලා වගේ කියලා. හැබැයි බයිබලයේ දීලා තියෙන උපදෙස් හා මඟ පෙන්වීම් ඒ මාංචුවලින් ඔයාව නිදහස් කරන යතුරක් වගේ. ඒවා අදාළ කරගන්නවා නම් මානසිකව ඇද වැටෙන්නේ නැතුව ජීවිතේ දිහා හොඳ විදිහට බලන්න ඔයාට පුළුවන්. බයිබලයේ තියෙන ඒ වගේ උපදෙස් අදාළ කරගන්න පුළුවන් පැති කීපයක් දැන් අපි බලමු.

ඔයාට තියෙන දේවල් ගැන හිතන්න

ඔයාට කරන්න පුළුවන් එක දෙයක් තමයි නැති දේවල් ගැන හිතහිත දුක් වෙන්නේ නැතුව තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙන එක. ඔයාට ගොඩක් දේවල් නැති වුණාට ඔයාට ඔයාගේ පවුලේ අය ඉන්නවා ඇති. එයාලා ඔයාට ආදරේ ඇති. ඒ දේවල් සල්ලිවලට වඩා වටිනවා. බයිබලයේ කියන්නේ, “වෛරයෙන් යුතුව ගව මස් කනවාට වඩා ප්‍රේමය ඇතුව එළවළු ටිකක් කෑම හොඳය” කියලයි. (හිතෝපදේශ 15:17) ඒ වගේම ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නම් සතුටු වෙන්න තවත් හේතුවක් තියෙනවා. යෙහෝවා දෙවිට නමස්කාර කරන ලොව පුරා ඉන්න හැමෝම ඔයාගෙම සහෝදර සහෝදරියන් වගේ නිසා ඕන වෙලාවක ඔයාගේ උදව්වට එයාලා ඉන්නවා. ඒ ගැන හිතලත් ඔයාට සතුටු වෙන්න පුළුවන්.—1 පේතෘස් 2:17.

ඔයා ජීවත් වෙන්නේ පොඩි පැල්පතක වෙන්න පුළුවන්. සමහරවිට ඔයා අඳින්නේ ඉරුණු, දිය වෙච්ච පරණ ඇඳුම් වෙන්න ඇති. කන්නේ එක හොද්දක් එක්ක වෙන්න ඇති. හැබැයි ටිකක් හිතන්න, යෙහෝවා දෙවි පිළිගන්නේ ලොකු ගෙවල්වල ඉන්න, හොඳ හොඳ ඇඳුම් අඳින අයව විතරද? නිරෝගීව ජීවත් වෙන්න එක එක විදිහේ කෑම ජාතී කන්නම ඕනෙද? යේසුස්ගේ අනුගාමිකයෙක් වුණු පාවුල් පොහොසත් කෙනෙක් විදිහටත් දුප්පත් කෙනෙක් විදිහටත් ජීවත් වුණා. (ෆිලිප්පි 4:12) එයා කිව්වේ, ‘කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් ඒ දේවලින් සෑහීමට පත් වෙන්න’ කියලයි. (1 තිමෝති 6:8) ඒකෙන් පැහැදිලි වෙනවා ඔයාට තියෙන දේවල් සීමිත වුණත් ඒ ගැන ඔයා හිතන විදිහ නිවැරදි කරගත්තොත් සතුට නැති කරගන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා.

දකුණු අප්‍රිකාවේ ජීවත් වෙන එල්ඩ්‍රඩ් මෙහෙම කියනවා. “අපිට එච්චර සල්ලි තිබුණේ නැති නිසා ඕන ඕන හැම දෙයක්ම ගන්න බැහැ කියලා අපි තේරුම්ගත්තා. පවුලේ වියදම පිරිමහන එක ලේසි දෙයක් වුණේ නැහැ.” එල්ඩ්‍රඩ් ඉස්කෝලේට ඇන්ද කලිසම ඉරුණම අම්මා කීප සැරයක්ම ඒක මහලා දුන්නා. “තැන් තැන්වල පැච් දාපු කලිසමක් ඇඳන් ඉන්නවා කියලා ළමයි මට විහිළු කළා තමයි, ඒත් අපේ ඇඳුම් කවදාවත් කිලුටුවට තිබ්බෙවත් අඳින්න බැරි තරමට සවුත්තු වෙලා තිබ්බෙවත් නැහැ” කියලා එයා කියනවා.

ඔයා ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න

ජේම්ස්ට වයස අවුරුදු 11යි. එයා එයාගේ අම්මයි නංගියි එක්ක දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් කියන නගරෙට කිට්ටුවෙන් තියෙන මුඩුක්කුවක තමයි ජීවත් වෙන්නේ. එයාලට කිසිම දෙයක් තිබුණේ නැති තරම්. හැබැයි ඒ පැත්තේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාර මධ්‍යස්ථානයක් හදන්න පටන්ගත්තම ජේම්ස් හැම සති අන්තයකම වගේ ගිහින් ඒ වැඩවලට උදව් කළා. ඔහේ ගෙදරට වෙලා කාලේ නාස්ති කරන්නේ නැතුව එයාට තියෙන වටිනාම දේවල් ඒ කියන්නේ එයාගේ කාලය, ශක්තිය ඒ වගේ වැදගත් වැඩකට පාවිච්චි කරපු නිසා ජේම්ස්ට එයා ගැන හොඳ හැඟීමක් ඇති වුණා. “දවස පුරාම ඒ වැඩවලට හවුල් වුණාම මට දැනෙන සතුට කියන්න වචන නැහැ” කියලා ජේම්ස් කියනවා.

ඔයා ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න පුළුවන් තවත් විදිහක් තමයි මිනිසුන්ට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය කියන එක. (මතෙව් 24:14) ඒ සේවයෙන් සල්ලි හම්බ වෙන්නේ නැහැ. හැබැයි මිනිසුන්ට අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් දෙන්න ඒකෙන් පුළුවන් වෙන නිසා හිතට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම දෙවි ගැන කොච්චර භක්තියක් තියෙනවාද කියලත් ඒකෙන් පේනවා. අතීතයේ ස්මර්ණාවේ හිටපු ක්‍රිස්තියානීන් ගැන ටිකක් හිතන්න. එයාලා හරිම දුප්පත් අය. ඒත් එයාලට දෙවි ගැන ලොකු භක්තියක් තිබුණු නිසා දෙවි ඉදිරියේ එයාලා හිටියේ ධනවත්වයි. යේසුස් මෙහෙම කිව්වේ ඒ නිසයි. “ඔබ විඳින පීඩා හා ඔබේ දිලිඳුකම මම දනිමි. නමුත් ඔබ ධනවත්ය.” එයාලා පීඩා, ප්‍රශ්න මැද්දේ දිගටම යෙහෝවා දෙවිට හා යේසුස්ට විශ්වාසවන්තව හිටපු නිසා එයාලට අමරණීය ජීවිතයක් ලැබෙන්න නියමිතව තිබුණා.—එළිදරව් 2:9, 10.

අනාගතය ගැන හිතන්න

“ධනවතාද දුප්පතාද එක සමානය. මන්ද ඔවුන් දෙදෙනාටම ජීවිතය දුන්නේ යෙහෝවා දෙවිය” කියලා බයිබලයේ තියෙනවා. (හිතෝපදේශ 22:2) ඒකෙන් තේරෙන්නේ යෙහෝවා දෙවිගේ කිට්ටු මිතුරෙක් වෙන්න දුප්පත්කමවත් පොහොසත්කමවත් බාධාවක් නෙමෙයි කියලයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරේ ඉන්න දහස් ගාණක් යෞවනයන් ඒ දේ තේරුම් අරන් ඉන්න නිසා දුප්පත් වුණත් ජීවිතය සතුටින් ගත කරන්න එයාලට පුළුවන් වෙලා තියෙනවා. එයාලා දන්නවා සැබෑ සතුට අද්දකින්න පුළුවන් වෙන්නේ තියෙන දේවල් නිසා නෙමෙයි, දෙවිත් එක්ක තියෙන බැඳීම නිසා කියලා. දුප්පත්කම නැති ලස්සන පොළොවක හැමදාටම ජීවත් වෙන්න ලැබෙනවා කියන පොරොන්දුව දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙන අයට දෙවි දීලා තියෙනවා.—2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4.

අනාගතය ගැන බලාපොරොත්තුවෙන් ඉන්න අතරතුරේ ඔයාට තියෙන දේවල් හොඳට පාවිච්චි කරන්න. වස්තුවක් වගේ වටින දෙවිත් එක්ක තියෙන ඔයාගේ මිත්‍රත්වය රැකගන්න. (මතෙව් 6:19-21) දුප්පත්කම කියන්නේ මුහුණ දෙන්න පුළුවන් අභියෝගයක් කියලා අමතක කරන්න එපා.

බයිබල් උපදෙස

“කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.”—ලූක් 12:15.

යෝජනාවක්

සූදුවෙන්, සිගරට්වලින්, මත්පැන්වලින් සම්පූර්ණයෙන්ම වළකින්න. ඔයාගේ පවුලේ කවුරු හරි ඒවාට ඇබ්බැහි වෙලා නම් ඔයා ඒවායින් වැළකිලා ඉන්න එක එයාලට හොඳ ආදර්ශයක් වෙයි.

මේක දැනගෙන හිටියාද?

ඔයා මොන දේට මුහුණ දුන්නත් බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් තියෙන දෙයින් සෑහීමට පත් වෙලා සතුටින් ඉන්න ඔයාට පුළුවන්.—ෆිලිප්පි 4:12, 13; 1 තිමෝති 6:8; හෙබ්‍රෙව් 13:5.

ඔයාට වැඩක්!

මට තියෙන මේ දේවල් ගැන සතුටු වෙන්න පුළුවන් ․․․․․

මං ඒ දේවල් අනිත් අය වෙනුවෙන් මේ විදිහට පාවිච්චි කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● දුප්පත්කම මනින විදිහ රටින් රටට වෙනස් වෙන්නේ ඇයි?

● ගෙදර ප්‍රශ්න අමතක කරන්න මත්පැන්, කුඩු වගේ දේවල් ගන්න එක මෝඩ වැඩක් වෙන්නේ ඇයි?

● දුප්පත්කමත් එක්ක එන ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

[168වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘කොච්චර දුප්පත් වුණත් කල්ලියකට බැඳෙන්නවත් හොරකම් කරන්නවත් මං කැමති වුණේ නැහැ. ඒ වගේ දේවල් කරලා ප්‍රශ්න විසඳගන්න බැහැ කියලා මං දැනගෙන හිටියා. ඒවා කරපු අයගේ ඉස්කෝලේ ගමන කඩාකප්පල් වුණා. සමහරු අද බේබද්දෝ, කුඩුකාරයෝ. තවත් අය ඉන්නේ හිරේ.’’—ජෝර්ජ්

[164වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබේ සටහන්

රට ගියොත් මීට වඩා හොඳයිද?

සමහර යෞවනයන් සල්ලි ටිකක් හම්බ කරගන්න ඕන නිසා රට යනවා. තවත් අය රට යන්නේ ගෙදර වියදම් පියවන්න සල්ලි හොයන්න ඕන නිසයි. නැත්නම් ගෙදර තියෙන ප්‍රශ්න මඟහරින්න ඕන නිසයි. අලුත් භාෂාවක් ඉගෙනගන්න ඕන නිසාත් වැඩිදුර ඉගෙනගන්න ඕන නිසාත් සමහර අය රට යන්න තීරණය කරනවා. සාක්ෂිකරුවන් අතරේ ඉන්න සමහර යෞවනයන් ශුභාරංචිය ගැන අහලා නැති අයට ඒක කියලා දෙන්න තියෙන ආසාව නිසාත් වෙනත් රටවල පදිංචියට යනවා. ඒ මොන හේතුවක් නිසා හරි ඔයා වෙනත් රටක පදිංචියට යන්න තීරණය කරනවා නම් ඒක හොඳට හිතලා බලලා ගන්න ඕන තීරණයක් කියලා අමතක කරන්න එපා. රට යන්න ඔයාත් හිතාගෙන ඉන්නවා නම් පහළ තියෙන ප්‍රශ්න ගැන හොඳට හිතලා බලන්න. බයිබල් පද කියවලා ඒවා අදාළ වෙන විදිහ ගැන කල්පනා කරන්න. ඊටපස්සේ යාච්ඤා කරලා හොඳ තීරණයක් ගන්න.

□ පිටරටකට යන්න කරන්න ඕන නීතිමය දේවල් මොනවාද?—රෝම 13:1.

□ පිටරටකට යන්න කොච්චර වියදමක් යනවාද?—ලූක් 14:28.

□ රට ගියාට පස්සේ මගේ වැඩ මට තනියෙන් කරගන්න පුළුවන් වෙන්න මං දැන් ඉඳලා මොන වගේ දේවල් කරනවාද?—හිතෝපදේශ 13:4.

□ පිටරටක ජීවත් වුණු වැඩිහිටි අයගෙන් මට ලැබිලා තියෙන්නේ මොන වගේ මඟ පෙන්වීම්ද?—හිතෝපදේශ 1:5.

□ මං රට යන එක ගැන මගේ දෙමාපියන් හිතන්නේ මොකද්ද?—හිතෝපදේශ 23:22.

□ මං රට යන්න හදන්නේ ඇයි?—ගලාති 6:7, 8.

□ රට ගියාම මං ඉන්නේ වෙන අය එක්ක නම් මගේ නමස්කාර වැඩකටයුතු දිගටම කරගෙන යන්න එයාලා මට උදව් කරයිද?—හිතෝපදේශ 13:20.

□ මොන වගේ වැරදි දේවල් කරන්න ඒ රටේදී මට බලපෑම් එන්න පුළුවන්ද? මගේ සෞඛ්‍යයට බලපාන්න පුළුවන් මොන වගේ දේවල්ද? දෙවි එක්ක තියෙන මගේ මිත්‍රත්වයට හානි වෙන්න පුළුවන් මොන වගේ දේවල් නිසාද?—හිතෝපදේශ 5:3, 4; 27:12; 1 තිමෝති 6:9, 10.

□ රට යන එකෙන් මං බලාපොරොත්තු වෙන්නේ මොනවාද?—හිතෝපදේශ 14:15.

[167වන පිටුවේ පින්තූරය]

බයිබලයේ තියෙන උපදෙස් හා මඟ පෙන්වීම් නිදහස දෙන යතුරක් වගේ