Skip to content

පටුනට යන්න

මගේ විශ්වාසයන් අනිත් අයට කියන්නේ කොහොමද?

මගේ විශ්වාසයන් අනිත් අයට කියන්නේ කොහොමද?

36වෙනි පරිච්ඡේදය

මගේ විශ්වාසයන් අනිත් අයට කියන්නේ කොහොමද?

ඉස්කෝලේ ළමයිට ඔයාගේ විශ්වාසයන් ගැන කියන්න ඔයා අදිමදි කරන්නේ ඇයි?

□ බයිබලය ගැන එච්චර දන්නේ නැති නිසා

□ ළමයි විහිළු කරයි කියලා හිතන නිසා

□ කොහොම පටන්ගන්නද කියලා දන්නේ නැති නිසා

ඔයාගේ විශ්වාසයන් ගැන කොහොම කියන එකද ඔයාට ලේසි?

□ එක සැරේකට එක් කෙනෙක් එක්ක

□ මුළු පන්තියටම එකපාර

□ ප්‍රොජෙක්ට් එකකින්

බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න කැමති වෙයි කියලා හිතන්න පුළුවන් ළමයෙක්ගේ නම ලියන්න. ․․․․․

හුඟක් වෙලාවට ඉස්කෝලේ ළමයි හරිම ආසාවෙන් ක්‍රීඩා, ඇඳුම්, ගැහැනු ළමයි/පිරිමි ළමයි ගැන කතා කරනවා. ඒ දේවල් ගැන කතා කරද්දී එයාලට වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ. හැබැයි බයිබලය ගැන, දෙවියන් ගැන කතා කරන්න එයාලා එච්චර ආස නැහැ.

ඒකට හේතුව එයාලා දෙවියන්ව විශ්වාස කරන්නේ නැති එක නෙමෙයි. එයාලා හිතන්නේ ඒ වගේ විෂයක් ගැන කතා කරන එක ‘කිසි ගතියක් නැහැ’ කියලයි.

විශ්වාසයන් ගැන කතා කරන්න අමාරු නම්

දෙවියන් ගැන ඉස්කෝලේ ළමයි එක්ක කතා කරන්න අමාරු වුණාට බයිබලයෙන් ඔයා ඉගෙනගෙන තියෙන දේවල් එයාලා එක්ක කොහොමටවත් කතා කරන්න බැහැ කියලා හිතන්න එපා. මොකද හුඟක් යෞවනයන්, ‘මේ ලෝකෙට මොකක් වෙයිද, මෙච්චර ප්‍රශ්න ගැටලු තියෙන්නේ ඇයි’ කියලා කල්පනා කරනවා. ඒවාට උත්තර දැනගන්න එයාලා කැමතියි. වැඩිහිටියෙක් එක්ක ඒ වගේ ප්‍රශ්න ගැන කතා කරනවට වඩා එයාලගෙම වයසේ කෙනෙක් එක්ක ඒ ගැන කතා කරන්න තියෙන ඉඩකඩ වැඩියි.

හැබැයි බයිබලයෙන් ඔයා ඉගෙනගෙන තියෙන දේවල් එයාලට කියලා දෙන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි කියලා ඔයාට හිතෙයි. මුලින් ඒක ටිකක් අමාරුයි වගේ දැනුණට කාලයත් එක්ක ඔයාට ඒක හොඳට කරන්න පුළුවන් වෙනවා. ඒක හරියට සංගීත භාණ්ඩයක් ගහන්න ඉගෙනගන්නවා වගේ වැඩක්. මුලින් අමාරු වුණාට නිතර නිතර ප්‍රැක්ටිස් කළාම ඒක හොඳට ගහන්න පුළුවන්. පන්තියේ ළමයෙක් එක්ක බයිබලයේ තියෙන දේවල් ගැන කතා කරන්න පටන්ගන්න පුළුවන් කොහොමද කියලා දැන් බලමු.

ලේසියෙන්ම කතා කරන්න පුළුවන් දේකින් සාකච්ඡාවක් පටන්ගන්න. උදාහරණයකට රටේ ලෝකේ වෙච්ච දෙයක් ගැන ළමයි කතාබහ කරද්දී ඒ ගැන බයිබලයේ තියෙන අදහස ඔයාට කියන්න පුළුවන්. එකපාර ළමයි කීපදෙනෙක්ට කතා කරන්න ඔයාට අමාරුයි නම් ඉස්සෙල්ලා එක ළමයෙක්ට කතා කරන්න. සමහරක් යෞවනයන් කරන තවත් දෙයක් තමයි බයිබලයේ තියෙන තොරතුරු විස්තර කරන සඟරාවක් හරි පොතක් හරි එයාලගේ ඩෙස්ක් එක උඩ පේන්න තියන එක. කවුරු හරි ළමයෙක් ඒක දැකලා ඒ ගැන මොනවා හරි ඇහුවම ලේසියෙන්ම සාකච්ඡාවක් පටන්ගන්න පුළුවන්.

ඒ ක්‍රම දෙකෙන් ඔයා කරලා බලන්න කැමති කොයි එකද? ․․․․․

පන්තියේ ළමයෙක් එක්ක බයිබලයේ තියෙන දේවල් කතා කරන්න පුළුවන් වෙන ක්‍රම මොනවාද?

․․․․․

සමහර වෙලාවට ඉස්කෝලෙන් හම්බ වෙන මොකක් හරි ප්‍රොජෙක්ට් එකකිනුත් ඔයාගේ විශ්වාසයන් ගැන අනිත් අයට කියන්න අවස්ථාවක් එන්න පුළුවන්. විද්‍යාව පාඩමට පරිණාමවාදය ගැන සාකච්ඡා කරද්දී ඔයාගේ විශ්වාසයන් ගැන කියන්න ඒකත් හොඳ අවස්ථාවක්. ඒක කරන්න පුළුවන් කොහොමද කියලා දැන් බලමු.

පරිණාමයක් නෙමෙයි නිර්මාණයක්

ඔයාගේ විශ්වාසයන්ට පරිණාමවාදය පොඩ්ඩක්වත් ගැළපෙන්නේ නැති නිසා ඒ විෂය පන්තියේ සාකච්ඡා කරනවටවත් ඔයා කැමති නැතුව ඇති. ඔයා විශ්වාස කරන්නේ හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවි කියලයි. (එළිදරව් 4:11) ඒක විශ්වාස කරන්න ඕන තරම් හේතුත් ඔයාට තියෙනවා. හැබැයි ඔයාගේ ටීචර්ලා උගන්නන්නේ, අච්චු පොත්වල තියෙන්නේ හැම දෙයක්ම ඉබේ ඇති වුණා කියලයි.

රයන්ගේ අද්දැකීම බලන්න. එයා මෙහෙම කියනවා. “පරිණාමවාදය ගැන පන්තියේ උගන්නපු දේවල් මං බයිබලයෙන් ඉගෙනගෙන තිබුණු දේවල්වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. පරිණාමය කියන්නේ ඔප්පු කරලා තියෙන සත්‍යයක් හැටියට තමයි පන්තියේ ඉගැන්නුවේ. ඒ නිසා මගේ විශ්වාසයන් ගැන කියන්න මට භය හිතුණා.” රාකෙල් කියන යෞවනියට හැඟුණෙත් ඒ විදිහටමයි. “අපි ඊළඟට කරන්නේ පරිණාමවාදය ගැනයි කියලා සමාජ අධ්‍යයනය ටීචර් කිව්වම මට භය හිතුණා. මං පරිණාමවාදය විශ්වාස කරන්නේ නැත්තේ ඇයි කියලා පන්තියට පැහැදිලි කරලා දෙන්න වෙයි කියලා මං දැනගත්තා.”

පරිණාමවාදය ඇත්තක් කියලා ඉස්කෝලේ ඉගැන්නුවට ඒක විශ්වාස කරන්නේ නැති ගොඩක් අය ඉන්නවා කියලා අමතක කරන්න එපා. සමහර විද්‍යාඥයන්, ගුරුවරු, ඉස්කෝලේ ළමයි පරිණාමවාදය විශ්වාස කරන්නේ නැහැ.

හැබැයි ඔයා පරිණාමවාදය විශ්වාස කරන්නේ නැහැ කියලා අනිත් අයට පැහැදිලි කරලා දෙන්න නම් දෙවි හැම දෙයක්ම නිර්මාණය කරපු විදිහ ගැන බයිබලයේ තියෙන වාර්තාව ඔයා හරියට දැනගෙන ඉන්න ඕනේ. බයිබලයේ කෙළින්ම කියලා නැති දෙයක් ගැන කවුරු හරි මොකක් හරි කිව්වොත් ඒ ගැන වාද කරන්නේ නැතුව ඉන්න එතකොට ඔයාට පුළුවන්. මේ උදාහරණ බලන්න.

සෞරග්‍රහ මණ්ඩලයයි පෘථිවියයි අවුරුදු බිලියන ගාණක් පරණයි. දෙවි මේ විශ්වයයි පෘථිවියයි නිර්මාණය කළේ අනිත් දේවල් නිර්මාණය කරන්න ඉස්සෙල්ලා කියලා බයිබලයේ තියෙනවා. එහෙමනම් මේ විශ්වයයි පෘථිවියයි අවුරුදු බිලියන ගාණක් පරණ වෙන්න පුළුවන්.—උත්පත්ති 1:1.

මේ පොළොවයි ඒකේ තියෙන දේවලුයි දවස් හයකින් නිර්මාණය කරන්න බැහැ. පොළොවයි ඒකේ තියෙන දේවලුයි නිර්මාණය කරන්න ගිය දවස් හය, පැය 24 දවස් කියලා බයිබලයේ කොහෙවත් කියලා නැහැ.

කාලයත් එක්ක සතුන්ගෙයි මිනිසුන්ගෙයි වෙනස්කම් වෙලා තියෙනවා කියලා පෙන්නන්න සාක්ෂි තියෙනවා. දෙවි ජීවීන්ව නිර්මාණය කළේ “ඒ ඒ වර්ගයට අනුව” කියලයි බයිබලයේ කියන්නේ. (උත්පත්ති 1:20, 21) දෙවි නිර්මාණය කරපු එක ජීවී වර්ගයක් ඇතුළේ විවිධත්වයක් ඇති වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. හැබැයි පණ නැති දේකින් ජීවය පටන්ගත්තා කියන අදහසවත් ඒක සෛලීය ජීවියෙක් පරිණාමය වෙලා ජීවීන් ඇති වුණා කියන අදහසවත් බයිබලයේ නැහැ.

ගුරුවරයෙක් හරි පන්තියේ ළමයෙක් හරි මේ වගේ දෙයක් කිව්වොත් ඔයා උත්තර දෙන්නේ කොහොමද?

“මිනිස්සු ආවේ පරිණාමයෙන් කියලා විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා.” ․․․․․

“දෙවිව පේන්නේ නැති නිසා දෙවි ඉන්නවා කියලා විශ්වාස කරන්න මට බැහැ.” ․․․․․

හේතු ඇතුව විශ්වාස කරන්න!

හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවි කියලා ඔයා විශ්වාස කරන්නේ පොඩි කාලේ ඉඳලා ඒක ඔයාගේ දෙමාපියන් ඔයාට කියලා දීපු නිසා වෙන්න ඇති. හැබැයි ටිකෙන් ටික වයසින් වැඩි වෙද්දී ඔයා දෙයක් විශ්වාස කරන්න ඕනේ අනිත් අය කියන නිසාම නෙමෙයි. ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ බුද්ධිය පාවිච්චි කරලා ඒ දේ විශ්වාස කරන්න තියෙන හේතු හොඳට තේරුම්ගන්න. (රෝම 12:1) අවුරුදු 14ක් වයස සෑම් කළේ ඒකයි. එයා ශරීරයේ අවයව වැඩ කරන විදිහ ගැන කල්පනා කරලා බැලුවා. එතකොට එයා තේරුම්ගත්තා අනිවාර්යයෙන්ම ඒක නිර්මාණය කරන්න කෙනෙක් ඉන්න ඕනෙමයි කියලා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “අපේ ශරීරය හරිම පුදුමාකාරයි. හැම අවයවයක්ම වැඩ කරන්නේ හරිම සහයෝගයෙන්. ඒවා පරිණාමය වෙලා හැදුණා කියලා කොහොමටවත් හිතන්න බැහැ.” හෝලී කියන යෞවනිය කළෙත් ඒ දේමයි. “මං ශරීරයේ තියෙන එක එක අවයව වැඩ කරන විදිහ ගැන හොයලා බැලුවා. එතකොට තමයි මං දැනගත්තේ සමහරක් පොඩි ඉන්ද්‍රියන් කොච්චර ලොකු වැඩ කොටසක් කරනවාද කියලා. උදාහරණයකට ආමාශයට පිටිපස්සෙන් හැංගිලා තියෙන අග්න්‍යාශය කියන පොඩි ඉන්ද්‍රිය තමයි ලේවල තියෙන සීනි පාලනය කරන්නේ. ඒ වගේම අනිත් අවයවවලට හොඳට වැඩ කරන්න අග්න්‍යාශය ලොකු සහයෝගයක් දෙනවා.”

හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවි කියලා විශ්වාස කරන්න ඔයාට තියෙන හේතු තුනක් ලියන්න.

1. ․․․․․

2. ․․․․․

3. ․․․․․

මිනිස් සිරුර ගැන හිතලා බලන කොට ඒක පරිණාමය වෙලා ආපු දෙයක් කියලා කොහොමටවත් කියන්න බැහැ. හැබැයි ඒක බුද්ධිමත් කෙනෙක්ගේ නිර්මාණයක් කියලා විශ්වාස කරන්න ඕන තරම් හේතු තියෙනවා. ඒ නිසා ඔයාට තියෙන විශ්වාසය ගැන අනිත් අයට කියන්න ලැජ්ජ වෙන්න එපා.

පරිණාමවාදය විශ්වාස කරන එකද ලේසි නැත්නම් හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවි කියලා විශ්වාස කරන එකද ලේසි කියලා දැන් ඔයාට තේරෙනවා ඇති. හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවි කියලා විශ්වාස කරන්න ඔයාට තියෙන හේතු ඔයා හොඳට තේරුම්ගත්තොත් ඔයාගේ විශ්වාසය ගැන භය නැතුව අනිත් අයත් එක්ක කතා කරන්න පුළුවන්.

ඊළඟ පරිච්ඡේදය

සභාවේ ඉන්න ඔයාගේ වයසේ අනිත් අය බව්තීස්ම වෙනවා. බව්තීස්ම වෙන්න ඔයාත් ආසයිද?

බයිබල් උපදෙස

ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මා තුළ කිසි ලැජ්ජාවක් නැත. මන්ද මේ ශුභාරංචිය තුළින් විශ්වාසයක් ඇති සියලුදෙනාටම ගැලවීම ලබාගැනීමට ප්‍රස්තාව උදා වෙයි. එයින් දෙවිගේ ශ්‍රේෂ්ඨ බලය ප්‍රකාශ වේ.’—රෝම 1:16.

යෝජනාවක්

ඉස්කෝලේ ළමයිට ඔයාගේ විශ්වාසයන් ගැන කතා කරද්දී භයෙන්, ලැජ්ජාවෙන් කතා කරන්න එපා. එහෙම කතා කළොත් තමයි එයාලා ඔයාට විහිළු කරන්නේ. හැබැයි කතා කරන දේ ගැන ඔයාට ලොකු විශ්වාසයක් තියෙනවා කියලා ඔයා කතා කරන විදිහෙන් එයාලට තේරුණොත් ඔයාට ඇහුම්කන් දෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

මේක දැනගෙන හිටියාද?

පරිණාමවාදය ඔප්පු කරලා පෙන්නන්න කියලා ගුරුවරුන්ට කිව්වම එයාලටත් ඒක කරන්න බැහැ. එතකොට තමයි එයාලට තේරෙන්නේ එයාලා පරිණාමවාදය විශ්වාස කරන්නේ ඒක උගන්නලා තියෙන නිසා මිසක් සාක්ෂි හොයලා බලලා නෙමෙයි කියලා.

ඔයාට වැඩක්!

පන්තියේ ළමයෙක් එක්ක බයිබලය ගැන සාකච්ඡාවක් පටන්ගන්න මං මෙහෙම කරනවා ․․․․․

හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවි කියලා මං විශ්වාස කරන හේතුව ගැන කවුරු හරි ඇහුවොත් මං මෙහෙම කියනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● ඔයාගේ විශ්වාසයන් ගැන අනිත් අයට කියන එක වැදගත් ඇයි?

● හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවි කියන එක ඉස්කෝලේ ළමයිට ලේසියෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ක්‍රම මොනවාද?

● හැම දෙයක්ම නිර්මාණය කරපු දෙවිව ඔයා අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?—ක්‍රියා 17:26, 27.

[299වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘ඉස්කෝලේ කියන්නේ ශුභාරංචිය දේශනා කරන්න අපිටම වෙන් කරලා දීපු තැනක්.’’—ඉරයිඩා

[298වන පිටුවේ පින්තූරය]

ඔයාගේ විශ්වාසයන් ගැන අනිත් අයට කියන එක හරියට සංගීත භාණ්ඩයක් ගහන්න පුරුදු වෙනවා වගේ. මුලින් අමාරු වුණාට පුරුදු වුණාම ඒක හොඳට කරන්න පුළුවන්

[300, 301වන පිටුවේ පින්තූරය]

ඔයාගේ විශ්වාසයන් ගැන අනිත් අයට කියන්න භය වෙන්න එපා