Skip to content

පටුනට යන්න

දෙමාපියෙනි

දෙමාපියෙනි

දෙමාපියෙනි

ළමා විය පහු කරලා වැඩිහිටි වියට යන ගමන හරියට එක පැත්තක ඉඳලා අනිත් පැත්තට ලණුවක් දිගේ ඇවිදගෙන යනවා වගේ දෙයක්. පොඩ්ඩ එහේ මෙහේ වුණොත් වැටෙන්න පුළුවන්. ඒ නිසා හැම පියවරක්ම තියන්න ඕනේ හරිම සැලකිල්ලෙන්. ඒ ගමනේදී දරුවට උදව් කරන්න පුළුවන් හොඳම අය ඔයාලයි.

හැබැයි ඒක කරන එක කියන තරම් ලේසි දෙයක් නෙමෙයි. මොකද යොවුන් වියට එද්දී දරුවා හැසිරෙන විදිහේ ලොකු වෙනසක් ඔයා දකියි. දුවලා පැනලා දඟ කරපු පුතා දැන් වැඩියෙන් කැමති එයාගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කියලා ඔයාට තේරෙයි. නැත්නම් යන යන හැම තැනම ඔයාත් එක්ක එල්ලිලා ආපු දුව දැන් ඔයාත් එක්ක ගමන්බිමන් යන්න එච්චර කැමති නැහැ කියලා ඔයාට දැනෙයි.

දරුවගේ ඒ වෙනස්කම් දැකලා කලබල වෙන්න එපා. මොකද යොවුන් වියේ ඉන්න ඔයාගේ දුවට, පුතාට උදව් කරන්න පාවිච්චි කරන්න පුළුවන් වටිනා දෙයක් තියෙනවා. ඒ තමයි බයිබලය. ඒකේ තියෙන වටිනා මඟ පෙන්වීම් අදාළ කරගත්තොත් එයාගේ ගමන සාර්ථකව යන්න එයාට පුළුවන් වෙනවා.

යොවුන් සිතේ ගැටලු ඊට විසඳුම් කියන මේ පොත ලියලා තියෙන්නේ බයිබලයේ තියෙන මඟ පෙන්වීම් යෞවන කෙනෙක්ට අදාළ කරගන්න පුළුවන් පැති පෙන්නලා දෙන්නයි. පටුන දිහා බැලුවොත් මේ පොතේ සාකච්ඡා කරන්නේ මොන වගේ විෂයන් ගැනද කියලා ඔයාට දැනගන්න පුළුවන්. මේ පොතේ අරමුණ යෞවන කෙනෙක්ට නිකං තොරතුරු ඉදිරිපත් කරන එක නෙමෙයි. මේ පොත යෞවනයෙක්ට උදව් කරන පැති දෙකක් බලන්න.

(1) හිතන්න පොලඹවනවා. මේ පොතේ හුඟක් තැන්වල ප්‍රශ්න අහලා තියෙනවා. ඒ වගේම සමහර දේවල් ගැන දරුවට හැඟෙන්නේ කොහොමද කියලා ලියන්න කියලා තියෙනවා. උදාහරණයකට 132-133 පිටුවල තියෙන “මිත්‍රයන්ගෙන් පීඩනයක් එන විට” කියන කොටුව බලන්න. යාළුවන්ගෙන් එන්න පුළුවන් බලපෑම් මොනවාද කියලා කලින්ම හිතලා බලන්නත් ඒවාට මුහුණ දෙන්න කරන්න ඕනේ මොනවාද කියලා හිතන්නත් ඒ කොටුව ඔයාගේ දරුවට උදව්වක්. ඒ විතරක් නෙමෙයි, කොටස් නමයකට බෙදලා තියෙන මේ පොතේ ඒ හැම කොටසකම, “මගේ සටහන” කියලා වෙනම පිටුවක් තියෙනවා. කොටසක් කියෙව්වට පස්සේ ඒකෙන් එයා ඉගෙනගත්තේ මොනවාද, ඒ ගැන එයාට හැඟෙන්නේ කොහොමද කියලා එතැන ලියන්න පුළුවන්.

(2) හිතේ තියෙන දේවල් ගැන කතා කරන්න පොලඹවනවා. උදාහරණයකට 63-64 පිටුවල තියෙන, “මං කොහොමද මේ ගැන දෙමාපියන්ගෙන් අහන්නේ?” කියන කොටසේ ලිංගික කාරණා ගැන දරුවෙක්ට තියෙන ප්‍රශ්න දෙමාපියන්ගෙන් අහන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. ඒ වගේම හැම පරිච්ඡේදෙකම “ඔයා හිතන්නේ මොකද්ද?” කියලා කොටුවක් තියෙනවා. ඒ කොටුව තියෙන්නේ පරිච්ඡේදෙන් ඉගෙනගත්ත දේවල් මතකද කියලා බලන්න විතරක් නෙමෙයි. දරුවන් එක්ක සාකච්ඡාවක් කරන්න වුණත් දෙමාපියන්ට ඒ ප්‍රශ්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හැම පරිච්ඡේදෙකම, “ඔයාට වැඩක්!” කියලා තියෙන කොටුවේ, “මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ” කියලා ප්‍රශ්නයක් අන්තිමට අහනවා. ඒ ප්‍රශ්නේ දරුවට උදව් කරනවා එයාලට තියෙන අභියෝග ගැන දෙමාපියන් එක්ක කතා කරලා උපදෙස් ඉල්ලන්න.

දරුවට මේ පොතෙන් උපරිම ප්‍රයෝජන ගන්න දෙමාපියන් හැටියට ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දෙයකුත් තියෙනවා. ඒ තමයි දරුවට එයාගේ අදහස්, එයාට හැඟෙන විදිහ භය නැතුව ලියන්න සහය දෙන එක. දරුවා මේ පොතේ ලියන දේවල් එයාට හොරෙන් කියවන්න එපා. එයා ලියලා තියෙන දේවල් ගැන එයාට කතා කරන්න ඕනේ කියලා හිතුණම එයා කතා කරයි.

මේ පොතක් ඔයා ළඟත් තියාගන්න. ඒක හොඳට කියවන්න. ඒක කියවන කොට ඔයාගේ යෞවන කාලේ ඔයාට තිබුණු අභියෝග, ප්‍රශ්න ගැන හිතන්න. ඒවා පුළුවන් වෙලාවලදී ඔයාගේ දුව, පුතා එක්ක කතා කරන්න. එතකොට එයාත් පෙලඹෙයි භයක් නැතුව එයාගේ ප්‍රශ්න ඔයාට කියන්න. දරුවා කතා කරද්දී හොඳට ඇහුම්කන් දෙන්න. හැබැයි සමහර වෙලාවට ඔයාට හිතෙයි ඔයා දරුවට දෙන උපදෙස් හරියට බීරි අලින්ට වීණා වයනවා වගේ කියලා. එහෙම හිතලා දරුවට උදව් කරන්න ඔයා ගන්න උත්සාහය අත්හරින්න එපා. මොකද දරුවන් මොනවා කිව්වත් මොනවා කළත් එයාලා වැඩියෙන්ම විශ්වාස කරන්නේ දෙමාපියන්ගෙන් ලැබෙන උපදෙස්.

බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න උදව් වෙන මේ පොත ඔයාටත් ඔයාගේ දරුවටත් අපි දෙන්නේ හරිම සතුටින්. පවුලේ හැම කෙනෙක්ටම මේ පොත ප්‍රයෝජනවත් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා!

ප්‍රකාශකයෝ