Skip to content

පටුනට යන්න

17වෙනි පරිච්ඡේදය

“ඔබේ විශ්වාසය ගොඩනඟා ගන්න”

“ඔබේ විශ්වාසය ගොඩනඟා ගන්න”

“ශුද්ධ වූ සත්‍ය ඉගැන්වීම් නමැති අත්තිවාරම මත ඔබේ විශ්වාසය ගොඩනඟා ගන්න. . . . එසේ කරමින් දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න.”—යූද් 20, 21.

1, 2. අප සෑම කෙනෙක්ම ගොඩනඟමින් සිටින්නේ කුමක්ද? එම වැඩය මහත් උද්‍යෝගයෙන් කිරීම ඉතා වැදගත් වන්නේ ඇයි?

සැබෑ ක්‍රිස්තියානීන් වන අප සෑම කෙනෙකුම යම් දෙයක් ගොඩනඟමින් සිටිනවා. එය කෙටි කලකින් ගොඩනැඟිය හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා අපට මහත් වෙහෙසක් දැරීමට සිදු වෙනවා. නමුත් එයින් ලැබෙන ප්‍රතිඵල ගැන අපට සතුටු විය හැකියි. කොතරම් අභියෝග පැමිණියත් එම ගොඩනැඟීමේ වැඩය මහත් උද්‍යෝගයෙන් කිරීම අපේ අදිටනයි. මන්ද අපේ මුළු ජීවිතයම රඳා පවතින්නේ අප එම වැඩය කරන ආකාරය මතයි. අප ගොඩනඟමින් සිටින ඒ දෙය කුමක්ද? අප ගොඩනඟමින් සිටින ඒ දෙය නම් දෙවි කෙරෙහි අපට තිබෙන විශ්වාසයයි.

2 ‘දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන’ අය ලෙස අප අපේ විශ්වාසය එලෙස ගොඩනැඟිය යුත්තේ, “ශුද්ධ වූ සත්‍ය ඉගැන්වීම් නමැති අත්තිවාරම මත” බව යූද් පැවසුවා. (යූද් 20, 21) එම අත්තිවාරම මත අපේ විශ්වාසය ශක්තිමත්ව ගොඩනැඟිය හැක්කේ කෙසේද? එය කළ හැකි ආකාර තුනක් ගැන දැන් අපි සලකා බලමු.

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති කෙරෙහි අපට තිබෙන විශ්වාසය දිගටම ගොඩනඟා ගනිමු

3-5. (අ) සාතන් සතුටු වන්නේ අපට දෙවිගේ නීති හා ප්‍රමිති ගැන කෙසේ හැඟෙනවා දකින්නද? (ආ) දෙවිගේ නීති හා ප්‍රමිති ගැන අපට හැඟිය යුත්තේ කෙසේද? එය අපට බලපෑ යුත්තේ කෙසේද? පැහැදිලි කරන්න.

3 එය කළ හැකි එක් ආකාරයක් වන්නේ දෙවිගේ ප්‍රමිති කෙරෙහි අපට තිබෙන විශ්වාසය ගොඩනඟා ගැනීමයි. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති බොහොමයක් ගැන අප මේ පොත තුළින් සලකා බැලුවා. එම ප්‍රමිති ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? දෙවිගේ ආඥා හා ප්‍රමිති නිසා අපට යම් හොඳ දේවල් අහිමි වෙනවා කියා ඔබට සිතෙනවාද? නැත්නම් එම ආඥා හා ප්‍රමිති ඉතා දැඩි, අසාධාරණ ඒවා කියා ඔබට හැඟෙනවාද? සාතන් සතුටු වන්නේ අප එසේ සිතනවා දකින්නයි. මන්ද එය අපව දෙවිගෙන් ඈත් කිරීමට ඔහු යොදාගන්නා එක් උපක්‍රමයක්. ඒදන් උයනේදී ඔහු ඒවව නොමඟ යැව්වෙත් එවැනි හැඟීම් ඇය තුළ ඇති කිරීමෙනුයි. (උත්පත්ති 3:1-6) ඔහුගේ එම උපක්‍රමයට හසු නොවී සිටීමට නම් දෙවිගේ ප්‍රමිති කෙරෙහි අපට හැඟෙන ආකාරය ගැන අප සැලකිලිමත් විය යුතුයි.

4 මෙම උදාහරණය ගැන ටිකක් සිතන්න. ඔබ ලස්සන උයනක ඇවිදිමින් සිටියදී එහි එක් කොටසක් විශාල යකඩ වැටකින් වෙන් කර තිබෙනවා. බැලූ බැල්මට එම කොටස තුළ ඉතා අලංකාරවත් දේවල් දකින්න තිබෙනවා. නමුත් ඒ දෙස හොඳින් බලන විට රෞද්‍ර සිංහයෙකු එම කොටසෙහි ගැවසෙනවා ඔබේ නෙත ගැටෙනවා. විශාල යකඩ වැටකින් එම කොටස වෙන් කර තිබෙන්නේ ඔබේම ආරක්ෂාව සඳහායි කියා එවිට ඔබට පැහැදිලි වෙනවා. ඒ හා සමානව දෙවි යම් ආඥා හා ප්‍රමිති ලබා දීමට හේතුව ක්‍රිස්තියානීන් වන අප සෑම කෙනෙකුම හොඳින් වටහාගත යුතුයි. බයිබලයේ අපට අනතුරු අඟවා තිබෙන්නේ, “සිහිකල්පනාව ඇතුව සිටින්න. සෝදිසියෙන් සිටින්න. ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි” කියායි.—1 පේතෘස් 5:8.

5 නොයෙකුත් “කපටි ක්‍රියා” යොදාගනිමින් අපව ගොදුරු කරගැනීමට මාන බලන සාතන්ට අප හසු වෙනවා දකින්න දෙවි කැමති නැහැ. (එෆීස 6:11, පාදසටහන) දෙවි අපට ආඥා හා ප්‍රමිති ලබා දී තිබෙන්නේ ඒ නිසයි. අප එම ආඥා හා ප්‍රමිති ගැන ගැඹුරින් කල්පනා කරන විට දෙවි ඒවා අපට දී තිබෙන්නේ ඔහු අප ගැන සැලකිලිමත් නිසාත් ඔහු අපට ප්‍රේම කරන නිසාත් බව පැහැදිලි විය යුතුයි. දෙවිගේ ආඥා හා ප්‍රමිති ගැන අපට එවැනි හොඳ හැඟීමක් තිබෙනවා නම් ඒවා පිළිපැදීමෙන් අපට ලැබෙන්නේ ආරක්ෂාවක් හා සතුටක් බව අප විශ්වාස කරනවා. “කිසි අඩුවක් නැති නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය ගැන හොඳින් සෝදිසි කර බලා දිගටම ඒ අනුව ජීවත් වන තැනැත්තා, . . . දෙවිගේ වදන් පිළිපදින්නෙක් වෙයි. ඒවා පිළිපැදීමෙන් ඔහු මහත් සන්තෝෂයක්ද අද්දකියි” කියා යාකොබ්ද පැවසුවා.—යාකොබ් 1:25.

6. දෙවිගේ ප්‍රමිති කෙරෙහි අපේ විශ්වාසය ගොඩනඟා ගත හැකි හොඳම ක්‍රමය කුමක්ද? උදාහරණයක් සඳහන් කරන්න.

6 දෙවිගේ ප්‍රමිති කෙරෙහි අපේ විශ්වාසය ගොඩනඟා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ ඒවා පිළිපැදීමයි. මන්ද දෙවිගේ ප්‍රමිති කොතරම් ප්‍රඥාවන්තද කියා අපට හොඳින්ම පැහැදිලි වන්නේ එවිටයි. ඊට උදාහරණ කිහිපයක් සලකා බලන්න. “ක්‍රිස්තුස්ගේ නීතිය” යටතේ සිටින අපට ‘යේසුස් අණ කළ සෑම දෙයක්ම’ අන් අයට උගන්වන්න කියා ආඥා කර තිබෙනවා. (ගලාති 6:2; මතෙව් 28:19, 20) අපට දී තිබෙන තවත් ආඥාවක් වන්නේ නමස්කාරය සඳහාත් එකිනෙකාව දිරිගැන්වීම සඳහාත් නිතිපතා එකට රැස් වන්න කියායි. (හෙබ්‍රෙව් 10:24, 25) එමෙන්ම නිතිපතා, නොකඩවා, මුළු හදවතින්ම යාච්ඤා කිරීමත් දෙවි අපට දී තිබෙන ආඥාවන්ට ඇතුළත් වෙනවා. (මතෙව් 6:5-8; 1 තෙසලෝනික 5:17) අප ඒ ආඥා පිළිපදින විට ඒවා දී තිබෙන්නේ අපේම යහපත ගැන සිතා කියා පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම වෙනත් කිසිම ක්‍රමයකින් අද්දැකිය නොහැකි මහත් සතුටක් ඒවා පිළිපැදීමෙන් අපට අද්දැකිය හැකියි. දෙවිගේ ආඥා පිළිපැදීමෙන් ඔබ පෞද්ගලිකව ප්‍රයෝජන ලබා තිබෙනවාද? ඔබ ලැබූ ප්‍රයෝජන ගැන සිතන විට දෙවිගේ ආඥා කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය තව තවත් වැඩි වන්නේ නැද්ද!

7, 8. තමන්ට දෙවිගේ ආඥා හැමදාටම පිළිපැදීමට නොහැකි වෙයි කියා හැඟෙන අයට දෙවි ලබා දෙන්නේ කුමන සහතිකයද?

7 සමහරදෙනෙක් තමන්ට දෙවිගේ ආඥා හැමදාටම පිළිපැදීමට නොහැකි වෙයි කියා සිතමින් ඒ ගැන කනස්සලු වෙනවා. ඔබටත් යම් දවසක එසේ හැඟුණොත් දෙවි අපට ලබා දී තිබෙන මෙම පොරොන්දුව මතකයට නඟාගන්න. “මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය. අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය.”—යෙසායා 48:17, 18.

8 දෙවි එහි ස්ථිරවම පවසා තිබෙන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමෙන් අපට යහපතක් සිදු වන බවයි. අපට අත් කරගත හැකි ආශීර්වාද දෙකක් ගැන එහි සඳහන් වෙනවා. එකක් නම් අප අද්දකින සමාදානයයි. ගංගාවක් නොනවත්වා ගලා යන්නා සේ අප අද්දකින සමාදානයටද නිමක් නැහැ. ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට හැකි වීම අනික් ආශීර්වාදයයි. එහි පවසන්නේ ‘අපේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන් වන්නේය’ කියායි. මුහුදේ රැළි එකිනෙක වෙරළට ගසාගෙන ආවත් රැළි ගැසීම කවදාවත් නතර වන්නේ නැහැ. එය සැමදාටම එසේ සිදු වෙනවා. ඒ හා සමානව අපත් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රකිනවා නම් අපට සැමදා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට හැකි වෙනවා. ඔබ දෙවිට විශ්වාසවන්තව සිටීමට උත්සාහ දරන තාක් කල් ඔහු ඔබව ශක්තිමත් කරනවා. දෙවි කිසිදාක ඔබට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. (ගීතාවලිය 55:22 කියවන්න.) දෙවි දී තිබෙන එවැනි පොරොන්දු මතක් කරගැනීමෙන් දෙවි කෙරෙහිත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති කෙරෙහිත් අපට තිබෙන විශ්වාසය තව තවත් ගොඩනැංවෙන්නේ නැද්ද!

“අවබෝධයෙන් ක්‍රියා කරන අය වීමට දැඩි උත්සාහයක් දරමු”

9, 10. (අ) අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙකු වීමට ක්‍රිස්තියානියෙකු උත්සාහ කළ යුත්තේ ඇයි? (ආ) අවබෝධයෙන් ක්‍රියා කිරීම සතුටට හේතු වන්නේ කෙසේද?

9 අපේ විශ්වාසය ශක්තිමත්ව ගොඩනැඟිය හැකි දෙවෙනි ආකාරය ගැන හෙබ්‍රෙව් 6:1හි සඳහන් වෙනවා. එහි පවසන්නේ, ‘අවබෝධයෙන් ක්‍රියා කරන අය වීමට දැඩි උත්සාහයක් දරන්න’ කියායි. ක්‍රිස්තියානීන් වන අප සෑම කෙනෙකුගේම අදිටන විය යුත්තේ අවබෝධයෙන් ක්‍රියා කරන අය වීමටයි. පරිපූර්ණව කටයුතු කිරීමට අපෙන් කාටවත් දැනට නොහැකි වුණත් අවබෝධයෙන් ක්‍රියා කරන අය වීමට අපෙන් ඕනෑම කෙනෙකුට හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස යෙහෝවා දෙවිට ප්‍රීතියෙන් සේවය කිරීමට අපට හැකි වෙනවා. ඒ කෙසේද?

10 අවබෝධයෙන් ක්‍රියා කරන ක්‍රිස්තියානියෙක් හැමවිටම දෙවි සිතන ආකාරයට කාරණා දෙස බලා ඒ අනුව කටයුතු කරනවා. (යොහන් 4:23) පාවුල් පැවසුවේ, “තමාගේම ආශාවන්ට අනුව ක්‍රියා කරන අයගේ මනස් යොමු වී තිබෙන්නේ වැරදි දේවලටය. නමුත් දෙවිගේ බලයේ උපකාරයෙන් ක්‍රියා කරන අය තම මනස් යොමු කරන්නේ දෙවි ප්‍රිය කරන දේවලටය” කියායි. (රෝම 8:5) තමාගේම ආශාවන්ට අනුව ක්‍රියා කරන කෙනෙක් නිතරම සිතන්නේ තමන් ගැන පමණයි. ඔහු දුර දිග නොබලා කටයුතු කරන අතර දකින දකින දේ කෙසේ හෝ ලබාගැනීම ඔහුගේ ආශාවයි. ඒ නිසා ඔහු අද්දකින සතුට තාවකාලිකයි. ඊට වෙනස්ව අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙක් නිතරම රඳා සිටින්නේ “ප්‍රීතිමත් දෙවි” මතයි. (1 තිමෝති 1:11) එවැනි කෙනෙක් නිතරම උත්සාහ කරන්නේ දෙවි සතුටු වන ආකාරයෙන් ක්‍රියා කිරීමටයි. පීඩාකාරී අවස්ථාවකදී වුණත් ඔහු සිටින්නේ සතුටිනුයි. මන්ද එවැනි අවස්ථාවකදී දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කිරීමට හැකි වන අතර තමන් විශ්වාසවන්තව සිටීම ගැන දෙවි සතුටු වන බවත් ඔහු හොඳින් දන්නවා.—හිතෝපදේශ 27:11; යාකොබ් 1:2, 3 කියවන්න.

11, 12. (අ) වටහාගැනීමේ හැකියාව සම්බන්ධයෙන් පාවුල් පැවසුවේ කුමක්ද? ‘පුහුණු කිරීම’ ලෙස ඔහු පැවසූ විට ඉන් අදහස් කළේ කුමක්ද? (ආ) ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකුගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

11 කෙනෙකුට දවසින් දෙකින් අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙකු විය නොහැකියි. ඒ සඳහා යම් කාලයක් ගත වන අතර හොඳ පුහුණුවක්ද අවශ්‍යයි. පාවුල් ඒ කාරණය පැහැදිලි කළේ මෙසේයි. “ගන ආහාර ලබා දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයටය. ඔවුහු තම වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.” (හෙබ්‍රෙව් 5:14) එහිදී ‘පුහුණු කිරීම’ ලෙස ඔහු භාවිත කළ ග්‍රීක වචනය යොමු දැක්වූයේ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු කරන පුහුණුවීම්වලටයි. එවැනි කෙනෙකුට මොන තරම් පුහුණුවීම් කිරීමට සිදු වෙනවාද යන කාරණය තේරුම්ගැනීමට දැන් අපි උත්සාහ කරමු.

මෙම හැකියාව ලැබුණේ ඉබේද?

12 අලුත උපන් දරුවන්ට ඔවුන්ගේ අත් පා නිසි ලෙස හැසිරවීමට අවබෝධයක් නැහැ. ඒ මේ අත ඔවුන්ගේ අත් පා වනන විට සමහර අවස්ථාවලදී ඔවුන් ඔවුන්ටම ගසාගන්නවා. ඒ ගැන පුදුමයට පත් වන ඔවුන් අඬන අවස්ථාත් තිබෙනවා. නමුත් තම අත් පා නිසි ලෙස හැසිරවීමට ඔවුන් ක්‍රමානුකූලව පුරුදු පුහුණු වෙනවා. මුලින්ම ඔවුන් දණ ගා යෑමට පටන්ගන්නවා. ඉන්පසු ඔවුන් ඇවිදින්න ඉගෙනගන්නවා. පසුව ඔවුන්ට දුවන්නත් හැකි වෙනවා. * අත් පා නිසි ලෙස හැසිරවීමට එවැනි පුහුණුවක් අවශ්‍ය නම් තම ශරීරය මනා ලෙස පාලනය කරමින් ඕනෑම ඉරියව්වකදී එය ඉතා සමබරව තබාගැනීමේ හැකියාව ඇති දක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු ගැන පැවසිය හැක්කේ කුමක්ද? එම දක්ෂතාව ඔහුට ඉබේ ලැබුණු දෙයක් නොවෙයි. ඒ සඳහා දිගු කාලයක් පුරා බොහෝ පුහුණුවීම් කටයුතුවල නිරත වීමට ඔහුට සිදු වෙනවා. ඒ හා සමානව අවබෝධයෙන් ක්‍රියා කිරීමට නම් අපි අපේ වටහාගැනීමේ හැකියාව කාලයක් පුරා හොඳින් පුහුණු කිරීමට අවශ්‍යයි. එසේ අපේ වටහාගැනීමේ හැකියාව පුහුණු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොන තරම්ද! ශරීරය පුහුණු කිරීමෙන් කිසිදා එවැනි ප්‍රයෝජන ලබාගත නොහැකියි.—1 තිමෝති 4:8.

13. වටහාගැනීමේ හැකියාව පුහුණු කළ හැක්කේ කෙසේද?

13 අපේ වටහාගැනීමේ හැකියාව පුහුණු කරගැනීමට අපට උපකාරවත් වන බොහෝ තොරතුරු අප මෙම පොතෙන් ඉගෙනගත්තා. ඒ අනුව එදිනෙදා ජීවිතයේ විවිධ තීරණ ගැනීමට සිදු වන විට දෙවිගේ ආඥා හා ප්‍රමිති හොඳින් අධ්‍යයනය කර ඒවා අදාළ වන පැති තේරුම්ගැනීමට දෙවිගේ උපකාර ඉල්ලා යාච්ඤා කරන්න. උදාහරණයකට ඔබට යම් තීරණයක් ගැනීමට සිදු වන අවස්ථාවකදී ඔබෙන්ම මේ ප්‍රශ්න අසාගන්න. ‘මේ කාරණය සම්බන්ධව දෙවි දී තිබෙන ආඥා හෝ ප්‍රමිති මොනවාද? ඒවා මට අදාළ කරගත හැක්කේ කෙසේද? දෙවි සතුටු වන්නේ මම මොන වගේ තීරණයක් ගන්නවා දකින්නද?’ (හිතෝපදේශ 3:5, 6; යාකොබ් 1:5 කියවන්න.) යම් තීරණයක් ගැනීමට කලින් ඔබ එලෙස කල්පනා කර බැලීමෙන් ඔබේ වටහාගැනීමේ හැකියාව තව තවත් දියුණු වෙනවා. එමගින් හරි වැරැද්ද අතර වෙනස පැහැදිලිව හඳුනාගැනීමට ඔබට හැකියි. එවැනි පුහුණුවක් අවබෝධයෙන් ක්‍රියා කිරීමට අපට මහඟු උපකාරයක්!

14. දිගටම අවබෝධයෙන් ක්‍රියා කිරීමට නම් කුමක් සඳහා අප ආශාවක් වර්ධනය කරගත යුතුද? අප පරෙස්සම් විය යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද?

14 අවබෝධයෙන් ක්‍රියා කරන අය වීමට අපෙන් ඕනෑම කෙනෙකුට හැකි වුණත් එය යම් අවස්ථාවකදී අවසන් වන ක්‍රියාවලියක් නොවන බව අප මතක තබාගත යුතුයි. උදාහරණයකට ශරීරයක් වර්ධනය වීම සඳහා අප ආහාර ගන්නවා. නමුත් ශරීරය වර්ධනය වූ පසු අප ආහාර ගැනීම නතර කර දමන්නේ නැහැ. මන්ද එහි පැවැත්ම සඳහා දිගටම ආහාර ගත යුතු බව අප දන්නවා. ඒ හා සමානව දිගටම අවබෝධයෙන් ක්‍රියා කිරීමට නම් අපට පෝෂණයක් අවශ්‍යයි. “ගන ආහාර ලබා දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයටය” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. අප දිගටම අවබෝධයෙන් ක්‍රියා කරන විට දෙවි කෙරෙහි අපට තිබෙන විශ්වාසය තව තවත් වැඩි වෙනවා. ඒ අනුව දෙවි කෙරෙහි අපට තිබෙන විශ්වාසය ශක්තිමත්ව ගොඩනඟා ගැනීමට නම් අප ගන ආහාර එනම් බයිබලයේ තිබෙන ගැඹුරු කාරණා තේරුම්ගැනීමට උත්සාහ දැරිය යුතුයි. එහි ප්‍රතිඵලයක් ලෙස අප අවබෝධ කරගත් දේවල් එදිනෙදා ජීවිතයේදී අදාළ කරගැනීමට අපට හැකි වෙනවා. ප්‍රඥාවන්ත කෙනෙකු ලෙස බයිබලයේ හඳුන්වන්නේ එවැනි කෙනෙකුවයි. කෙනෙකුට ජීවිතයේ අත් කරගත හැකි ‘වැදගත්ම දෙය’ එයයි. (හිතෝපදේශ 4:5-7; 1 පේතෘස් 2:2) ඒ නිසා දෙවි එළිදරව් කරන වටිනා සත්‍යයන් දිගටම සොයා බලා ඒවා තේරුම්ගැනීමට ආශාවක් වර්ධනය කරගන්න. මෙහිදී අප පරෙස්සම් විය යුතු පැත්තක්ද තිබෙනවා. බයිබල් සත්‍යයන් ගැන අප බොහෝ දැනුමක් ලබාගන්නා විට අප අන් අයට වඩා උසස් කියා සිතීමට පෙලඹෙන්න පුළුවන්. ඒ නිසා එවැනි උඩඟු ස්වභාවයක් හෝ වෙනත් නරක ගතිලක්ෂණයක් අප තුළ වර්ධනය වෙමින් තිබෙනවාද කියා අප නිතරම අපව සෝදිසි කර බැලිය යුතුයි. පාවුල්ද පැවසුවේ, “ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම්වලට ඔබ ඇලී සිටිනවාද කියා නොකඩවා සෝදිසි කර බලන්න. ඔබ කුමනාකාරයේ පුද්ගලයන්ද කියා නිරතුරුවම පරීක්ෂා කර බලන්න” කියායි.—2 කොරින්ති 13:5.

15. දෙවි කෙරෙහි ඇති අපේ විශ්වාසය තව තවත් ගොඩනැංවීමට ප්‍රේමය අත්‍යවශ්‍ය දෙයක් වන්නේ ඇයි?

15 ගොඩනැඟිල්ලක් ඉදි කළ පසු එය දිගටම හොඳ තත්වයකින් තබාගැනීමට නම් නඩත්තු කටයුතු හා අලුත්වැඩියා කටයුතු කිරීමට සිදු වෙනවා. සමහරවිට තවත් අලුත් කොටස් එම ගොඩනැඟිල්ලට එකතු කිරීමට පවා සිදු විය හැකියි. අපත් ක්‍රමානුකූලව අවබෝධයෙන් ක්‍රියා කරන විට දෙවි කෙරෙහි අපේ විශ්වාසය තව තවත් ගොඩනැඟෙනවා. නමුත් එය දිගටම පවත්වාගැනීමට නම් අප තව වැදගත් දෙයක් වර්ධනය කරගත යුතුයි. එනම් ප්‍රේමයයි. යෙහෝවා දෙවි කෙරෙහිත් අපේ සෙසු සහෝදර සහෝදරියන් කෙරෙහිත් අපට තිබෙන ප්‍රේමය අප තව තවත් වැඩි වර්ධනය කරගත යුතුයි. ඇත්තෙන්ම අපට ප්‍රේමය නැත්නම් අපට තිබෙන දැනුමෙන් හා අප කරන සේවයෙන් කිසි පලක් නැහැ. එය යකඩයකින් නැඟෙන අමිහිරි හඬකට සමානයි. (1 කොරින්ති 13:1-3) ඒ අනුව අවබෝධයෙන් ක්‍රියා කරමින් දෙවි කෙරෙහි ඇති විශ්වාසය තව තවත් ශක්තිමත් කරගැනීමට අප තුළ ප්‍රේමය තිබීම අත්‍යවශ්‍යයි.

දෙවි ලබා දී තිබෙන බලාපොරොත්තුව කෙරෙහි මනස යොමු කර තබාගන්න

16. සාතන් මිනිසුන්ව පොලඹවන්නේ කොයි ආකාරයෙන් සිතන්නද? එවැනි සිතුවිලිවලින් අපේ මනස ආරක්ෂා කරගැනීමට දෙවි දී තිබෙන්නේ කුමක්ද?

16 අපේ විශ්වාසය ශක්තිමත්ව ගොඩනැඟිය හැකි තුන්වෙනි ආකාරය වන්නේ අපේ සිතුවිලි ආරක්ෂා කරගැනීමයි. එය කිරීම පහසු දෙයක් නොවෙයි. මන්ද මේ ලෝකයේ පාලකයා වන සාතන් නිතරම උත්සාහ කරන්නේ මිනිසුන්ව මානසිකව වට්ටවා ඔවුන්ව අධෛර්යයට පත් කිරීමටයි. නිතරම දේවල් ගැන අශුභවාදීව සිතීමටත් අන් අයව විශ්වාස කිරීමට නොහැකි බව සිතීමටත් ඔහු මිනිසුන්ව පොලඹවනවා. සාතන් ඒ දේවල් කිරීමට අතිදක්ෂයෙක්. (එෆීස 2:2) සාතන් ඇති කරන එවැනි සිතුවිලි අපටත් බලපෑවොත් එය අපට අනතුරුදායකයි. එය ලීවලින් සාදා තිබෙන නිවසකට වේයන් ගැසූ විට සිදු වන විනාශයට සමානයි. නමුත් සාතන්ගේ එවැනි සිතුවිලිවලින් අපේ මනස ආරක්ෂා කරගැනීමට යෙහෝවා දෙවි අපට වැදගත් දෙයක් දී තිබෙනවා. එනම් අනාගතය ගැන අපට තිබෙන බලාපොරොත්තුවයි.

17. බලාපොරොත්තුව අපට ආරක්ෂාවක් වන ආකාරය බයිබලයේ විස්තර කර තිබෙන්නේ කෙසේද?

17 සාතන්ට හා මේ දුෂ්ට ලෝකයේ බලපෑමට විරුද්ධව සටන් කිරීමට නම් ක්‍රිස්තියානීන් වන අප පැළඳ සිටිය යුතු යුද්ධායුධ කට්ටලයක් ගැන බයිබලයේ විස්තර කර තිබෙනවා. එහි වැදගත් අංගයක් වන්නේ හිස්වැස්මයි. යුධ පිටියක සිටින සෙබළෙකුට හිස්වැස්මක් නොමැතිව ආරක්ෂාවක් ලැබෙයි කියා කොහෙත්ම සිතිය නොහැකියි. ඒ හා සමානව, “ගැලවීම පිළිබඳ බලාපොරොත්තුව” නමැති හිස්වැස්ම අප පැළඳගෙන සිටිනවා නම් අපේ සිතුවිලි ආරක්ෂා කරගැනීමට අපට හැකි වෙනවා.—1 තෙසලෝනික 5:8.

18, 19. යේසුස් තැබූ කදිම ආදර්ශය කුමක්ද? අපට ඔහුව අනුගමනය කළ හැක්කේ කෙසේද?

18 යේසුස් ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබුවා. ඔහු පොළොව මත ගත කළ අවසන් දවස ගැන ටිකක් සිතන්න. ඔහුගේ කිට්ටු මිත්‍රයෙක් මුදල්වලට තිබූ ආශාව නිසා ඔහුව පාවා දුන්නා. තවත් මිතුරෙක් ඔහුව හඳුනන්නේවත් නැහැ කියා ප්‍රසිද්ධියේ පැවසුවා. අනික් අය ඔහුව අත්හැර පලා ගියා. ඔහුට දරුණු ලෙස වධ හිංසා කර ඔහුව මරා දමන්න කියා ඔහුගේම රටේ වැසියන් කෑගසමින් ප්‍රකාශ කළා. අපෙන් කාටවත් එතරම් පීඩා රැසකට මුහුණ දීමට සිදු වෙයි කියා සිතිය නොහැකියි. එතරම් පීඩා රැසකට සාර්ථකව මුහුණ දීමට යේසුස්ට හැකි වුණේ කෙසේද? හෙබ්‍රෙව් 12:2හි සඳහන් දෙයින් ඊට පිළිතුරක් අපට සොයාගත හැකියි. “ඔහු තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව නිසා ලැජ්ජාව නොතකා වධකණුවක මරණය පවා වින්දේය. එතැන් පටන් ඔහු දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තේ අසුන්ගෙන ඇත.” යේසුස් තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව කවදාවත් බොඳ කරගත්තේ නැහැ. පීඩා රැසකට සාර්ථකව මුහුණ දීමට ඔහුට හැකි වුණේ ඒ නිසයි.

19 යේසුස්ට තිබූ ප්‍රීතිමත් අපේක්ෂාව කුමක්ද? පීඩා හමුවේ දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් දෙවිගේ ශුද්ධ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීමට තමන්ට යම් අයුරින් දායක විය හැකි බව යේසුස් දැන සිටියා. සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කිරීම සඳහා තමාට ප්‍රබලතම සාක්ෂිය දිය හැකි බවත් ඔහු හොඳින් තේරුම්ගෙන සිටියා. යේසුස්ට තිබූ ප්‍රීතිමත්ම අපේක්ෂාව එයයි! ඇත්තෙන්ම ඊටත් වඩා ප්‍රීතිමත් අපේක්ෂාවක් කෙනෙකුට තිබිය හැකිද! ඔහු දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට දැරූ උත්සාහය දෙවි කිසි දිනක අමතක නොකරන බව ඔහු දැන සිටියා. ඒ නිසා නැවතත් තම පියාණන් සමඟ ප්‍රීතියෙන් එකට කාලය ගත කිරීමට අවස්ථාව ලැබෙන බව දැන සිටීමෙන්ද ඔහු මොන තරම් සතුටක් ලබන්න ඇද්ද! පොළොව මත ඉතා අසීරු අවස්ථාවන්ට මුහුණු දුන් විට යේසුස් තමාට තිබූ ප්‍රීතිමත් අපේක්ෂාව නිතරම මනසේ තබාගත් බව නිසැකයි. අපත් කළ යුත්තේ එයම නොවේද! අපටත් ප්‍රීතිමත් අපේක්ෂාවක් තිබෙනවා. දෙවිගේ ශ්‍රේෂ්ඨ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීමට යම් ආකාරයකින් හෝ දායක වීමේ උතුම් වරප්‍රසාදය දෙවි අපට දී තිබෙනවා. අපේ පාලකයා ලෙස යෙහෝවා දෙවිව පිළිගැනීමෙන් හා කුමන තත්වයන්ට මුහුණ දීමට සිදු වුණත් දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගත හැකි අයුරින් කටයුතු කිරීමෙන් සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කිරීමට අපටත් හැකියි.

20. ලෝකයේ බලපෑමට හසු නොවී දිගටම අපේ සිතුවිලි ආරක්ෂා කරගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

20 යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට ආශීර්වාද කරනවා. ඔහු ඔවුන්ගේ සිතේ තිබෙන ආශාවන් ඉටු කරන බවට පොරොන්දු වී තිබෙනවා. (ගීතාවලිය 37:4) ඇත්තෙන්ම එසේ කිරීමට ඔහු බලා සිටින්නේ මහත් ආශාවකින්. (යෙසායා 30:18; මලාකි 3:10 කියවන්න.) ඒ නිසා දෙවිගේ පොරොන්දුවල ඉටු වීම දෙස මහත් ඕනෑකමින් බලා සිටින්න. අපට තිබෙන බලාපොරොත්තුව බොඳ කර දැමීමට සාතන් දරන උත්සාහයන්ට කිසි දිනක හසු නොවන්න. ලෝකයේ බලපෑමට ඔබේ හදවත ටිකෙන් ටික හසු වෙනවා කියා ඔබට හැඟෙනවා නම්, ‘කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි දෙවි ලබා දෙන සමාදානය’ ඉල්ලා මහත් ඕනෑකමින් දෙවිට කන්නලව් කරන්න. එවිට දෙවි ලබා දෙන ඒ සමාදානය ඔබේ හදවත හා මනස ආරක්ෂා කරයි.—ෆිලිප්පි 4:6, 7.

21, 22. (අ) ‘මහත් සමූහය’ ඉදිරියේ තිබෙන්නේ මොන තරම් ප්‍රීතිමත් බලාපොරොත්තුවක්ද? (ආ) ඔබ මහත් ආශාවෙන් බලා සිටින්නේ කුමන පොරොන්දුවේ ඉටු වීම දකින්නද? ඔබේ අදිටන කුමක්ද?

21 දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් ඉදිරියේ තිබෙන්නේ මොන තරම් ප්‍රීතිමත් බලාපොරොත්තුවක්ද! ඔබ ‘මහත් පීඩාවෙන් බේරීමට’ නියමිත ‘මහත් සමූහයට’ අයත් කෙනෙකු නම් ඉතාමත් ළඟදී ඔබ භුක්ති විඳීමට යන්නේ මොන තරම් ප්‍රීතිමත් ජීවිතයක්ද! (එළිදරව් 7:9, 14) අපට බලපෑම් කිරීමට සාතන් හා ඔහුගේ භූත සේනාව නැති නිසා මහත් සහනයක් එදාට අප අද්දකීවි. අපෙන් කවුරුවත් සාතන්ගේ දුෂ්ට බලපෑම නැති කාලයක ජීවත් වී නැති නිසා එදාට අප අද්දකින්න යන සහනය ඇත්තටම මොන තරම්ද කියා දැන් සිතාගන්නවත් බැහැ. යේසුස්ගේ හා 1,44,000දෙනාගේ මඟ පෙන්වීම යටතේ මේ පොළොව පාරාදීසයක් බවට පත් කිරීමට අපට හැකි වෙයි. එම කාර්යය අපට මොන තරම් ප්‍රීතියක් ගෙන දෙයිද! සියලු ලෙඩ රෝග හා ආබාධ තුරන් වී යන ආකාරය එදාට අප දකීවි. මරණ නින්දේ සැතපී සිටින, අප ආදරේ කළ අය නැවත අප හමුවට පැමිණෙයි. ඇත්තටම දෙවි අරමුණු කළ සැබෑ ජීවිතය එයයි. තවත් ප්‍රීතිමත් අපේක්ෂාවක් අපට තිබෙනවා. එනම් අප පරිපූර්ණ අය බවට පත් වූ පසු “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක්” භුක්ති විඳීමට අපට හැකි වීමයි.—රෝම 8:21.

22 කියා නිම කළ නොහැකි ඒ නිදහස අප සෑම කෙනෙකුම අත් කරගන්නවා දැකීම යෙහෝවා දෙවිගේ ආශාවයි. අප එම නිදහස අත් කරගන්නවාද නැද්ද යන්න රඳා පවතින්නේ අපේ කීකරුකම මතයි. එසේනම් අප සෑම දිනකම යෙහෝවා දෙවිට කීකරුව ජීවත් වීමට දැඩි වෙහෙසක් දැරීම මොන තරම් වැදගත්ද! ශුද්ධ වූ සත්‍ය ඉගැන්වීම් නමැති අත්තිවාරම මත ඔබේ විශ්වාසය දිගටම ගොඩනඟා ගන්න. එවිට යෙහෝවා දෙවිගේ ප්‍රේමය ඔබට සදහටම ලබාගැනීමට හැකි වන බව නොඅනුමානයි!

^ 12 ඡේ. විද්‍යාඥයන් පවසන්නේ අපේ අත් පා නිසි ලෙස හැසිරවීමට අපට හැකි වන්නේ අප තුළ ක්‍රමානුකූලව වර්ධනය වන යම් විශේෂ හැකියාවක් නිසා බවයි. කෙනෙකුට දෑස් වසාගෙන වුණත් අත්පුඩි ගැසීමට හැකිකම තිබෙන්නේ එම විශේෂ හැකියාව නිසයි. යම් ආබාධයක් නිසා එම විශේෂ හැකියාව අහිමි වූ එක් වැඩිහිටියෙකුට ඉඳගැනීමට, සිටගැනීමට හෝ ඇවිදීමට නොහැකි වුණා.