Skip to content

පටුනට යන්න

12වෙනි පරිච්ඡේදය

‘යෙහෝවා දෙවිගේ අවසරය ඇතුව නිර්භීතව කතා කරයි’

‘යෙහෝවා දෙවිගේ අවසරය ඇතුව නිර්භීතව කතා කරයි’

පාවුල් හා බානබස් නිහතමානීව, නිර්භීතව අත් නෑර දේශනා කරයි

ක්‍රියා 14:1-28

1, 2. ලිස්ත්‍රාවේ සිටියදී පාවුල්ට හා බානබස්ට මුහුණ දීමට සිදු වන්නේ මොන වගේ දේවලටද?

ලිස්ත්‍රාව නම් නුවරට පැමිණි අමුත්තන් දෙදෙනෙක් උපන් දා සිට කොරව සිටි මිනිසෙකුව සුව කරනවා. සුවය ලැබූ එම මිනිසා දැන් මහත් ප්‍රීතියෙන් ඒ මේ අත දුව පැන යනවා. සිදු වූ ඒ දෙය අදහාගත නොහැකිව ලිස්ත්‍රාවේ වැසියන් නුවරට පැමිණි අමුත්තන් වන පාවුල් හා බානබස් වෙතට දිව එනවා. ඔවුන් සිතන්නේ නගරයට පැමිණි මේ අමුත්තන් දෙදෙනා, දෙවිවරුන් කියායි. සියුස්ගේ දේවස්ථානයේ පූජකයා ඔවුන් දෙදෙනාට පැළඳවීමට මල් මාලාද පූජා ලෙස ඔප්පු කිරීමට ගොනුන්ද රැගෙන ඔවුන් වෙතට පැමිණෙනවා. ඔවුන් වටා එක් රොක් වෙමින් සිටින මිනිසුන්ගේ කාලගෝට්ටිය අතරින් ගොනුන් කෑගසන හඬද දැන් ඇසෙනවා. මිනිසුන් ඔවුන් වෙනුවෙන් කරන දේට පාවුල් හා බානබස් දැඩි විරෝධය පළ කරමින් මහත් හඬින් කෑගසනවා. ඔවුන් දෙදෙනා තම වස්ත්‍ර ඉරාගෙන සමූහයා මැදට දුව ගොස් තමන්ට නමස්කාර නොකරන ලෙස ඉල්ලා සිටිනවා. නුවරේ සිටි වැසියන් මොන තරම් කැලඹිලාද කියනවා නම් පාවුල්ට හා බානබස්ට ඔවුන්ව පාලනය කිරීමට නොහැකි තරම්.

2 එම සිදුවීමෙන් වැඩි කල් නොගොස් පිසිදියේ අන්තියෝකියෙන් හා ඉකෝනියෙන් යුදෙව්වන් පිරිසක් ලිස්ත්‍රාවට පැමිණෙනවා. ඔවුන් පැමිණියේ පාවුල්ට හා බානබස්ට විරුද්ධව කටයුතු කිරීමටයි. පාවුල් හා බානබස් ගැන ලිස්ත්‍රාවේ වැසියන් තුළ තිබූ හොඳ හැඟීම නැති කර දැමීමේ අරමුණින් එම පිරිස ඔවුන් දෙදෙනා ගැන අපහාසාත්මක දේවල් පවසනවා. ඔවුන්ගේ උපක්‍රමය සාර්ථකයි. වරක් මහත් භක්තියෙන් හා ගෞරවයෙන් ඔවුන් දෙදෙනාට සැලකූ සමූහය, දැන් පාවුල්ව වට කරගෙන මහත් කෝපයෙන් ඔහුට ගල් ගසනවා. ඔවුන් කොතරම් දරුණු ලෙස ඔහුට පහර දෙනවාද කියනවා නම් පාවුල් සිහි නැතුව ඇද වැටෙනවා. පාවුල් මරණයට පත් වුණා කියා සිතා සැනසුණු ඔවුන්, ඔහුව නගරයෙන් පිටතට ඇද දමනවා.

3. අප මෙම පරිච්ඡේදයේ සලකා බලන්නේ කුමන කාරණා ගැනද?

3 එවැනි දෙයක් සිදු වීමට මඟ පෑදූ දේවල් මොනවාද? අද දින ශුභාරංචිය ප්‍රකාශ කරන අපට පාවුල් හා බානබස් සම්බන්ධ එම සිදුවීම්වලින් හා ඉතා ඉක්මනින් වෙනස් වූ ලිස්ත්‍රාවේ වැසියන්ගෙන් ඉගෙනගත හැක්කේ මොනවාද? “දේශනා කිරීමට යෙහෝවා දෙවිගෙන් තමන්ට අවසර ලැබී ඇති බව සිහියේ තබාගනිමින්” තම සේවය විශ්වාසවන්තව, නිර්භීතව ඉටු කළ පාවුල්ගේ හා බානබස්ගේ ආදර්ශය අද දින සිටින ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට අනුකරණය කළ හැක්කේ කෙසේද? එම ප්‍රශ්නවලට පිළිතුරු දැන් අපි සලකා බලමු.—ක්‍රියා 14:3.

‘විශාල පිරිසක් යේසුස්ගේ අනුගාමිකයන් වෙයි’ (ක්‍රියා 14:1-7)

4, 5. පාවුල් හා බානබස් ඉකෝනියට ගියේ ඇයි? එහිදී ඔවුන් කළේ කුමක්ද?

4 දවස් කිහිපයකට පෙර යුදෙව් විරුද්ධවාදීන්ගේ උසිගැන්වීම මත පාවුල්ව හා බානබස්ව රෝම නුවරක් වූ පිසිදියේ අන්තියෝකියෙන් පිටතට ඇද දැමූ බව ඔබට මතක ඇති. තමන්ට සිදු වූ දේ නිසා අධෛර්යයට පත් වෙනවා වෙනුවට “තම පාදවලින් දූවිලි ගසා දමා” ඔවුන් දෙදෙනා තමන්ව ප්‍රතික්ෂේප කළ එම නුවරින් පිටත්ව ගියා. (ක්‍රියා 13:50-52; මතෙ. 10:14) ඔවුන් එතැනින් පිටත්ව ගියේ කෝපයෙන් නොව සමාදානයෙනුයි. මන්ද ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් නොදක්වන අයට දෙවිට ගණන් දීමට සිදු වන බව ඔවුන් හොඳින් දැන සිටියා. (ක්‍රියා 18:5, 6; 20:26) ඒ නිසා එම මිෂනාරිවරුන් දෙදෙනා ප්‍රීතියෙන් ඔවුන්ගේ සංචාරය දිගටම කරගෙන ගියා. ඔවුන් ඊළඟට ගමන් කළේ කිලෝමීටර් 150ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි ටෝරස් හා සල්ටන් යන කඳුවැටි අතර තිබූ සාරවත් ප්‍රදේශයකටයි.

5 ඔවුන් මුලින්ම ළඟා වුණේ ඉකෝනිය නම් නුවරටයි. ඉකෝනිය, රෝම පළාතක් වූ ගලාතියේ පිහිටි එක් ප්‍රධාන නුවරක්. * එහි ග්‍රීක සංස්කෘතිය ප්‍රබලව දක්නට තිබුණා. බලපුළුවන්කාර යුදෙව්වන් විශාල ප්‍රමාණයක්ද යුදෙව් ආගමට හැරුණු වෙනත් ජාතීන් විශාල ප්‍රමාණයක්ද එම නගරයේ ජීවත් වුණා. සුපුරුදු පරිදි පාවුල් හා බානබස් එහි සිනගෝගයට ඇතුල් වී දේශනා කිරීමට පටන්ගත්තා. (ක්‍රියා 13:5, 14) ‘ඔවුන් කොතරම් හොඳින් ඉගැන්නුවාද කිවහොත් යුදෙව්වන් සහ ග්‍රීකවරුන් විශාල පිරිසක් යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වුණා.’—ක්‍රියා 14:1.

6. පාවුල්ට හා බානබස්ට හොඳින් උගන්වන්න හැකි වුණේ කෙසේද? අපට ඔවුන්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

6 පාවුල්ට හා බානබස්ට එතරම් හොඳින් උගන්වන්න හැකි වුණේ කෙසේද? පාවුල්ට ශුද්ධ ලියවිල්ල ගැන මනා දැනුමක් හා අවබෝධයක් තිබුණා. අතීතයේ සිදුවීම්, අනාවැකි හා මෝසෙස්ට දෙන ලද නීතියේ සඳහන් තොරතුරු ඉතා දක්ෂ ලෙස භාවිත කරමින් පොරොන්දු වූ ගැලවුම්කරු යේසුස් බව ඔහු ඔප්පු කර පෙන්වූවා. (ක්‍රියා 13:15-31; 26:22, 23) බානබස්ගේ විශේෂ ලක්ෂණය වුණේ අන් අය කෙරෙහි ඔහු දැක්වූ සැලකිල්ලයි. (ක්‍රියා 4:36, 37; 9:27; 11:23, 24) ඔවුන් දෙදෙනා තමන්ගේ දක්ෂතාවන් මත රඳා සිටිනවා වෙනුවට යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව කටයුතු කළා. දේවසේවයේදී අපට ඔවුන්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද? දේවවචනය ගැන අපත් මනා දැනුමක් හා අවබෝධයක් ලබාගත යුතුයි. අප දේශනා කරන අයගේ හදවතට කාවදින බයිබල් පද තෝරාගැනීමත් වැදගත්. එමෙන්ම සේවයේදී අපට හමු වන අයට විවිධ පැතිවලින් උපකාර කිරීමට නිතරම සැදී පැහැදී සිටීම අවශ්‍යයි. අප උගන්වන දේවල් අපේ නුවණ හා අද්දැකීම් මත පදනම් කරගන්නවා වෙනුවට දෙවිගේ වචනය මත පදනම් කරගත යුතුයි.

7. (අ) ශුභාරංචිය දේශනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වන්නේ කුමක්ද? (ආ) දෙවිට කීකරුව සිටීමට ඔබ දරන උත්සාහය නිසා ඔබේ පවුල තුළත් බෙදීම් ඇති වී තිබෙනවා නම් ඔබ මතක තබාගත යුත්තේ මොනවාද?

7 කෙසේවෙතත් ඉකෝනියේ සිටි සෑම කෙනෙකුම පාවුල් හා බානබස් උගන්වන දේවල් ගැන සතුටට පත් වුණේ නැහැ. “ඔවුන් පැවසූ දේවල් විශ්වාස නොකළ යුදෙව්වරු, වෙනත් ජාතීන්ට අයත් අයව උසිගන්වා ඔවුන්ගේ මනස් තුළට වැරදි අදහස් දමා ඔවුන් ගැන වැරදි වැටහීමක් ඇති කළෝය” කියා වාර්තාවේ සඳහන් වෙනවා. ඒ නිසා ශුභාරංචිය ගැන පැහැදිලි සාක්ෂියක් දැරීමට තව කාලයක් එහි නතර වී සිටිය යුතුයි කියා තේරුම්ගත් පාවුල් හා බානබස්, ‘එහි නැවතී සිටිමින් නිර්භීතව’ දේවරාජ්‍යය ගැන ප්‍රකාශ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ‘නුවරේ වැසියන් අතර භේදයක් ඇති වුණා. සමහරුන් යුදෙව්වන්ගේ පැත්ත ගත් අතර තවත් සමහරුන් සිටියේ යේසුස්ගේ නියෝජිතයන්ට පක්ෂවයි.’ (ක්‍රියා 14:2-4) අද දින අප ශුභාරංචිය දේශනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වන්නෙත් ඒ හා සමාන දෙයක්. සමහරදෙනෙකුට එක්සත් වීමට ශුභාරංචිය දායක වෙනවා. තවත් සමහරදෙනෙකුට භේද වීමට එය හේතු වෙනවා. (මතෙ. 10:34-36) දෙවිට කීකරුව සිටීමට ඔබ දරන උත්සාහය නිසා ඔබේ පවුල තුළත් බෙදීම් ඇති වී තිබෙනවා නම් බොහෝදුරට එසේ වී තිබෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන පැතිරී තිබෙන බොරු මත නිසා විය හැකි බව මතක තබාගන්න. නමුත් දිගටම දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමට උත්සාහ දරන්න. යම් දවසක ඔවුන්ට තිබෙන වැරදි මත නිවැරදි කිරීමට එය දායක විය හැකි බවත් අමතක නොකරන්න.—1 පේතෘ. 2:12; 3:1, 2.

8. පාවුල් හා බානබස් ඉකෝනියෙන් පිටත්ව ගියේ ඇයි? අපට ඔවුන්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

8 යම් කාලයක් ගත වූ පසු ඉකෝනියේ සිටි විරුද්ධවාදීන් පාවුල්ට හා බානබස්ට ගල් ගසා ඔවුන්ව මරා දැමීමට කුමන්ත්‍රණය කළා. ඒ ගැන ඔවුන් දෙදෙනාට ආරංචි වූ විට එතැනින් පිටත්ව වෙනත් ප්‍රදේශවලට ගොස් දේශනා කිරීමට ඔවුන් තීරණය කළා. (ක්‍රියා 14:5-7) ශුභාරංචිය ප්‍රකාශ කරන අය හැටියට අපත් කටයුතු කරන්නේ ඒ හා සමානවයි. විරුද්ධවාදීන් අප ගැන වැරදි දේවල් පවසන විට අප නිර්භීතව ඔවුන්ව නිවැරදි කරනවා. (ෆිලි. 1:7; 1 පේතෘ. 3:13-15) නමුත් ජීවිතවලට අනතුරක් සිදු විය හැකි අවස්ථාවක් මතු වන විට අපේ ජීවිතයත් අපේ සහෝදරයන්ගේ ජීවිතත් අනවශ්‍ය අවදානමක හෙළීමෙන් අපි වැළකී සිටිනවා. එවැනි අවස්ථාවකදී කළ හැකි ඥානවන්තම දෙය නම් එතැනින් ඉවත්ව යෑමයි.—හිතෝ. 22:3.

‘ජීවමාන දෙවි වෙතට හැරෙන්න’ (ක්‍රියා 14:8-19)

9, 10. ලිස්ත්‍රාව පිහිටියේ කොහේද? එහි වැසියන් ගැන අප දන්නේ මොනවාද?

9 ඉකෝනියෙන් පිටත් වූ පාවුල් හා බානබස්, නිරිත දෙසින් කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි රෝම ජනපදයක් වූ ලිස්ත්‍රාවට පැමිණියා. ලිස්ත්‍රාව හා පිසිදියේ අන්තියෝකිය අතර කිට්ටු සම්බන්ධකම් තිබුණා. නමුත් පිසිදියේ පිහිටි අන්තියෝකියේ මෙන් ලිස්ත්‍රාවේ යුදෙව්වන් විශාල ප්‍රමාණයක් සිටියේ නැහැ. එහි සිටි වැසියන් ග්‍රීක බස කතා කළත් ඔවුන්ගේ මව් භාෂාව වුණේ ලිකෝනිය භාෂාවයි. පෙනෙන විදිහට එම නගරයේ සිනගෝගයක් තිබුණේ නැහැ. පාවුල් හා බානබස් ප්‍රසිද්ධ ස්ථානවල සිට ශුභාරංචිය දේශනා කළේ ඒ නිසයි. පේතෘස් යෙරුසලමේදී උපන් දා සිට කොරව සිටි පුද්ගලයෙකුව සුව කළ විට ඒ ආශ්චර්යය දැක විශාල පිරිසක් යේසුස්ගේ අනුගාමිකයන් වූ බව ඔබට මතක ඇති. (ක්‍රියා 3:1-10) නමුත් පාවුල් මේ නුවරේදී උපන් දා සිට කොරව සිටි පුද්ගලයෙකුව සුව කළ විට සිදු වුණේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්.—ක්‍රියා 14:8-10.

10 මේ පරිච්ඡේදයේ මුල විස්තර කළ ලෙස කොරව සිටි පුද්ගලයාව පාවුල් සුව කළ අවස්ථාවේදී ඔහු ප්‍රීතියෙන් දුව පැන ගියා. නමුත් එම ආශ්චර්යය දැක ලිස්ත්‍රාවේ වැසියන් වැරදි නිගමනයකට එළඹුණා. ඔවුන් බානබස්ව දෙවිවරුන්ගේ ප්‍රධාන දෙවියා ලෙස සැලකූ සියුස් කියා හැඳින්වූ අතර පාවුල්ව සියුස් දෙවිගේ පුත්‍රයා වන හර්මීස් ලෙස හැඳින්වූවා. මිනිසුන් විශ්වාස කළේ හර්මීස්, දෙවිවරුන් වෙනුවෙන් කතා කළ දෙවියා බවයි. (“ මිථ්‍යා වන්දනා ප්‍රබලව පැවති ලිස්ත්‍රාව” නමැති කොටුව බලන්න.) කෙසේවෙතත් පාවුල් හා බානබස් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හා ආශ්චර්යවත් දේවල් කිරීමට තමන්ට බලය ලැබුණේ මිථ්‍යා දෙවිවරුන්ගෙන් නොව සැබෑ දෙවි වන යෙහෝවාගෙන් බව සෙනඟට ඒත්තුගැන්වීමට උත්සාහ කළා.—ක්‍රියා 14:11-14.

‘මේ වගේ නිෂ්ඵල දේවලින් ඉවත් වී ජීවමාන දෙවි වෙතට හැරෙන්න. අහසත් පොළොවත් මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත් සෑදුවේ ඔහුයි.’—ක්‍රියා 14:15

11-13. (අ) ලිස්ත්‍රාවේ වැසියන්ට පාවුල් හා බානබස් පැවසුවේ මොනවාද? (ආ) ඔවුන් පැවසූ දෙයින් අපට ඉගෙනගත හැකි පළමු කාරණය කුමක්ද?

11 ඒ අවස්ථාවේදී කලබලකාරී වාතාවරණයක් පැවතුණත් පාවුල් හා බානබස් උත්සාහ කළේ සෙනඟගේ හදවතට කාවදින අයුරින් කතා කිරීමටයි. ඔවුන් කතා කළ ආකාරය ලූක් වාර්තා කර තිබෙන්නේ මෙලෙසයි. “මිත්‍රයෙනි, ඔබ මේ දේවල් කරන්නේ ඇයි? අපත් ඔබ හා සමාන දුර්වලකම් ඇති මිනිස්සු. අප ඔබට ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ, ඔබ මේ වගේ නිෂ්ඵල දේවලින් ඉවත් වී ජීවමාන දෙවි වෙතට හැරීම සඳහායි. අහසත් පොළොවත් මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත් සෑදුවේ ඔහුයි. අතීතයේ නම් දෙවි සෑම ජාතියකටම තමන්ට කැමති දේ කරන්න ඉඩ දුන්නා. ඒ වුණත් ඒ කාලයේදීත් ඔහු බොහෝ යහපත් දේවල් කරමින් තමා සිටින බවට සාක්ෂි ලබා දුන්නා. ඔහු එසේ කළේ ඔබට වැසි ලබා දීමෙන්, සරු අස්වනු ලබා දීමෙන්, කෑමට අවශ්‍ය තරම් ආහාර ලබා දීමෙන් සහ ඔබේ සිතට සතුට ගෙන දෙන දේවල් ලබා දීමෙනුයි.” (ක්‍රියා 14:15-17) මිථ්‍යා විශ්වාසයන් තිබෙන අයගේ හදවතට කාවදින අයුරින් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට නම් අප මතක තබාගත යුතු වැදගත් කාරණා කිහිපයක් එම කොටසින් අපට ඉගෙනගත හැකියි. එම කාරණා දැන් අපි සලකා බලමු.

12 මිථ්‍යා විශ්වාසයන් තිබූ ලිස්ත්‍රාවේ වැසියන්ට වඩා තමන් උසස් කියා පාවුල් හා බානබස් නොසිතූ බව ඔවුන් පැවසූ ඒ දේවලින් පැහැදිලි වෙනවා. තමන් සෑම දෙයක්ම හරියට කරන, කිසි වරදක් සිදු නොකරන, අංග සම්පූර්ණ පුද්ගලයන් කියා බොරුවට අන් අයට පෙන්වීමට ඔවුන් උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ප්‍රසිද්ධියේ කියා සිටියේ ඔවුනුත් දුර්වලකම් ඇති සාමාන්‍ය මිනිසුන් බවයි. ඕනෑ නම් එතැන සිටි මිනිසුන්ට වඩා තමන් උසස් කියා සිතන්න පාවුල්ට හා බානබස්ට හේතු තිබුණා. ඔවුන් දෙදෙනාටම දෙවිගේ බලය ලැබී තිබුණා. ඔවුන් අසත්‍ය ඉගැන්වීම්වලින් නිදහස් වී සිටියා. ඒ විතරක් නොවෙයි ක්‍රිස්තුස් සමඟ දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වීමේ බලාපොරොත්තුව ඔවුන් දෙදෙනාටම තිබුණා. නමුත් ලිස්ත්‍රාවේ වැසියන් ශුභාරංචිය පිළිගෙන ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වුණොත් ඔවුන්ටත් ඒ සෑම වරප්‍රසාදයක්ම භුක්ති විඳිය හැකි බව පාවුල් හා බානබස් දැන සිටියා.

13 අප දේශනා කරන මිනිසුන් ගැන අපට තිබෙන්නේ මොන වගේ ආකල්පයක්ද? අප ඔවුන්ට වඩා කිසිම ආකාරයකින් උසස් නැහැ කියන හැඟීම අපට තිබෙනවාද? බයිබලයේ තිබෙන සත්‍යතාවන් අන් අයට උගන්වන විට පාවුල් හා බානබස් මෙන් අනවශ්‍ය ගෞරවයක් හා ප්‍රශංසාවක් අපට ලබාගැනීමෙන් අප වැළකී සිටිනවාද? දක්ෂ ලෙස ඉගැන්වීමේ හැකියාව තිබූ සහෝදර චාල්ස් ටේස් රසල් ඒ සම්බන්ධයෙන් තැබුවේ කදිම ආදර්ශයක්. දහනවවෙනි සියවසේ අගභාගයේදී හා 20වෙනි සියවසේ මුල් කාලයේදී දේශනා සේවයේ පෙරමුණ ගෙන කටයුතු කළ ඔහු, මෙවැනි දෙයක් පැවසුවා. “අපිටවත් අප ලියන දේවලටවත් අනවශ්‍ය ප්‍රශංසාවක් අප බලාපොරොත්තු වන්නේ නැහැ. අතිඋත්තම, අතිපූජ්‍ය, රබ්බි යන පදවි නාමවලින් අපව ඇමතීමට අවශ්‍ය නැහැ.” සහෝදර රසල්ට තිබූ එම ආකල්පය පාවුල්ට හා බානබස්ට තිබූ ආකල්පයට සමානයි. දේශනා සේවයේ හවුල් වන විට අපේ අරමුණ විය යුත්තේද අපට ගෞරවය ලබාගැනීම නොව ‘ජීවමාන දෙවි වෙතට හැරීමට’ මිනිසුන්ට උපකාර කිරීමයි.

14-16. පාවුල්, බානබස් හා ලිස්ත්‍රාවේ වැසියන් සම්බන්ධ සිද්ධියෙන් අපට ඉගෙනගත හැකි දෙවෙනි හා තුන්වෙනි කාරණා මොනවාද?

14 පාවුල් හා බානබස් ලිස්ත්‍රාවේ වැසියන්ට කතා කළ ආකාරයෙන් අපට තවත් දෙයක් පැහැදිලි වෙනවා. එනම් දේශනා කළ අයගේ පසුබිමට අනුව ඔවුන් දෙදෙනා සකස් වූ බවයි. ඉකෝනියේ සිටි යුදෙව්වන්ට හා යුදෙව් ආගමට හැරුණු වෙනත් ජාතීන්ට ශුද්ධ ලියවිල්ල ගැන දැනුමක් තිබුණා. ඔවුන්ට වඩා වෙනස්ව ලිස්ත්‍රාවේ වැසියන්ට ශුද්ධ ලියවිල්ල ගැන දැනුමක්වත් දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ කටයුතු කළ ආකාරය ගැන එතරම් අවබෝධයක්වත් තිබුණේ නැහැ. නමුත් ලිස්ත්‍රාව කෘෂිකාර්මික නගරයක් වූ නිසා නිර්මාතෘ කෙනෙකු සිටින බවට ඕනෑ තරම් සාක්ෂි ඔවුන් එදිනෙදා ජීවිතයේ අද්දැක තිබුණා. උදාහරණයකට වගා කටයුතුවලට සුදුසු දේශගුණික තත්වයන් ඔවුන් අද්දැක්කා. ඔවුන්ට තිබූ සාරවත් බිම් නිසා ඔවුන් හොඳ අස්වැන්නකුත් නෙළාගත්තා. ඒ නිසා පාවුල් හා බානබස් ඒ සාක්ෂි යොදාගෙන ඔවුන්ගේ හදවතට කාවදින අයුරින් පණිවිඩය ප්‍රකාශ කිරීමට උත්සාහ කළා.—රෝම 1:19, 20.

15 පාවුල් හා බානබස් මෙන් අපත් දේශනා කරන අයගේ පසුබිමට අනුව සකස් වී අපේ පණිවිඩය ඉදිරිපත් කිරීමට උත්සාහ කරනවාද? මේ උදාහරණය ගැන ටිකක් සිතා බලන්න. ගොවියෙක් එකම වර්ගයේ බීජ විවිධාකාර වගා බිම්වල පැළ කරනවා. ඔහු පැළ කරන්නේ එකම වර්ගයේ බීජයක් වුණත් ඔහු ඒවා පැළ කරන ස්ථානය අනුව පැළ කිරීම සඳහා පස සකස් කරන ආකාරය වෙනස්. බීජ පැළ කරන සමහර ස්ථානවල පස බුරුල්, සාරවත් පසක් නම් වැඩි වෙහෙසක් දරමින් පස සකස් කිරීමට ඔහුට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් සමහර ස්ථානවල පස තද නම් බීජය පැළ කිරීමට කලින් පස හොඳින් කොටා බුරුල් කිරීමට අවශ්‍ය වෙනවා. ශුභාරංචිය දේශනා කරන අප හැමෝම ඒ ගොවියා හා සමානයි. මිනිසුන්ට අප ඉදිරිපත් කරන්නේ දේවරාජ්‍යයේ පණිවිඩයයි. ඒ නිසා ඒ ගොවියා මෙන් අපත් පැළ කිරීමට උත්සාහ කරන්නේ එකම වර්ගයේ බීජයක් කියා පැවසිය හැකියි. නමුත් අප ශුභාරංචිය ප්‍රකාශ කරන මිනිසුන් විවිධ ආගමික පසුබිම්වලට අයත් අයයි. ඔවුන් හැදී වැඩී තිබෙන ආකාරයත් එකිනෙකාට වෙනස්. ඒ නිසා පාවුල් හා බානබස් මෙන් මුලින්ම මිනිසුන්ගේ පසුබිම තේරුම්ගෙන ඒ අනුව අපේ පණිවිඩය ඉදිරිපත් කිරීම ඥානවන්තයි.—ලූක් 8:11, 15.

16 පාවුල්, බානබස් හා ලිස්ත්‍රාවේ වැසියන් සම්බන්ධ සිද්ධියෙන් අපට තවත් කාරණයක් පැහැදිලි වෙනවා. එනම් බීජය පැළ කිරීමට කොතරම් උත්සාහ දැරුවත් සමහර අවස්ථාවලදී කුරුල්ලන් ඇවිත් බීජය කා දැමිය හැකි බවයි. නැත්නම් ඒ බීජය ගල් බිම්වල වැටිය හැකියි. (මතෙ. 13:18-21) එවැනි දෙයක් සිදු වුණත් අධෛර්යයට පත් වෙන්න එපා. මන්ද සෑම කෙනෙකුටම තමන් ශුභාරංචියට දක්වන ප්‍රතිචාරය ගැන දෙවිට ගණන් දීමට සිදු වෙනවා. රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් මෙසේ පැවසුවේ ඒ නිසයි. “අප කරන කියන දේවල් ගැන අප සියලුදෙනාවම [ශුභාරංචියට සවන් දෙන අය ඇතුළුව] දෙවි විසින් විනිශ්චය කරනු ලැබේ.”—රෝම 14:12.

‘ඔවුන් වැඩිමහල්ලන්ව දෙවිගේ රැකවරණය යටතට භාර කළා’ (ක්‍රියා 14:20-28)

17. දර්බයෙන් පිටත් වූ පාවුල් හා බානබස් නැවත ගියේ කුමන ස්ථානවලටද? ඒ ඇයි?

17 මුල් ඡේදවල විස්තර කළ ලෙස යුදෙව් විරුද්ධවාදීන්ගේ බලපෑම මත ලිස්ත්‍රාවේ වැසියන් පාවුල්ට ගල් ගසා ඔහුව නගරයෙන් පිටතට ඇද දමා ගිය පසු ගෝලයෝ ඇවිත් ඔහු වටා එකතු වුණා. එවිට සිහි නැතුව සිටි ඔහුට නැවත සිහිය ආවා. එදින රාත්‍රිය ඔහු ගත කළේ එම නුවරෙයි. පසු දින පාවුල් හා බානබස් කිලෝමීටර් 100ක් දුරින් පිහිටි දර්බය බලා පිටත්ව ගියා. එම ගමන සඳහා පාවුල් පිටත්ව යන විට දරුණු ලෙස ගල්වලින් පහර කා දවසක්වත් ගත වී තිබුණේ නැහැ. ඒ නිසා මේ දුෂ්කර ගමන ඔහු යන්න ඇත්තේ මොන තරම් වේදනාවකින් හා අපහසුතා මැදද කියා ඔබට සිතාගත හැකිද? ඇත්තෙන්ම ඔහු හා බානබස් තමන්ට පැවරුණු කාර්යය ඉටු කිරීම සඳහා සියලු දේ විඳදරාගත්තා. දර්බයට ගිය ඔවුන්, ශුභාරංචිය දේශනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ‘සෑහෙන පිරිසක් යේසුස්ගේ ගෝලයන් බවට පත් වුණා.’ ඉන්පසු ඔවුන් තමන් සේවය කරමින් සිටි සිරියාවේ අන්තියෝකිය වෙතට දර්බයේ සිට ළඟ පාරකින් යනවා වෙනුවට, ‘ලිස්ත්‍රාවටද ඉකෝනියටද [පිසිදියේ] අන්තියෝකියටද නැවත ගියා.’ ඔවුන් එම නුවරවලට නැවත ගියේ ඇයි? වාර්තාවේ පවසන්නේ එම නුවරවල සිටි ‘ගෝලයන්ට තම විශ්වාසය දුර්වල කරගන්නේ නැතුව එය ශක්තිමත්ව තබාගැනීමට දිරිගැන්වීම’ සඳහා ඔවුන් එම නුවරවලට ගිය බවයි. (ක්‍රියා 14:20-22) ඉන් පැහැදිලි වන්නේ ඔවුන් දෙදෙනා තමන්ගේ සැප පහසුව ගැන සිතනවාට වඩා සභාවේ අවශ්‍යතාවන් ගැන සිතූ බවයි. ඇත්තෙන්ම ඔවුන් දෙදෙනා තැබුවේ මොන තරම් කදිම ආදර්ශයක්ද! අද දින සංචාරක සේවකයන් හා මිෂනාරිවරුන් කටයුතු කරන්නෙත් ඒ හා සමානවයි.

18. වැඩිමහල්ලෙකු ලෙස කෙනෙකුව පත් කරන්නේ කෙසේද?

18 පාවුල් හා බානබස් වචනයෙන් හා තම ආදර්ශයෙන් එම සභාවල සිටි අයව දිරිගැන්වූ අතර ‘සභාවල සිටි අයට උපකාර කිරීම සඳහා වැඩිමහල්ලන්ව පත් කළා.’ ඔවුන් දෙදෙනා මේ සංචාරය සඳහා පිටත්ව ආවේ “දෙවිගේ මඟ පෙන්වීමෙන්” බව ඔබට මතක ඇති. ඒ නිසා සංචාරය අතරතුරේදී ඔවුන් විවිධ දේවල් සිදු කළේ දෙවිගේ අනුමැතිය ඇතුව කියා පැවසිය හැකියි. නමුත් මේ අවස්ථාවේදී තමන්ට සිදු කිරීමට තිබෙන කාර්යයේ බැරෑරුම්කම තේරුම්ගත් පාවුල් හා බානබස්, ‘වැඩිමහල්ලන්ව දෙවිගේ රැකවරණය යටතට භාර කළේ’ නිරාහාරව සිට යාච්ඤා කිරීමෙන් පසුවයි. (ක්‍රියා 13:1-4; 14:23) වැඩිමහල්ලන්ව පත් කිරීමේදී අද දින අනුගමනය කරන්නෙත් ඒ හා සමාන සැලැස්මක්. කෙනෙකුව වැඩිමහල්ලෙකු ලෙස පත් කිරීම සඳහා නිර්දේශ කිරීමට කලින් සභාවේ වැඩිමහල්ලන්ගේ මණ්ඩලය එම පුද්ගලයාට බයිබලයේ සඳහන් කර ඇති සුදුසුකම් තිබෙනවාද නැද්ද කියා සෝදිසි කර බලනවා. ඔවුන් එසේ කරන විට දෙවිගේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කරනවා. (1 තිමෝ. 3:1-10, 12, 13; තීත. 1:5-9) කෙනෙකු ක්‍රිස්තියානියෙකු වී වසර ගණනාවක් ගත වී තිබූ පමණින් වැඩිමහල්ලෙකු ලෙස සේවය කිරීමට ඔහු සුදුසුයි කියා පැවසිය නොහැකියි. කෙනෙකු තුළ කොතරම් දුරට දෙවිගේ බලය ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියා පැහැදිලි වන්නේ ඔහුගේ හැසිරීම, කතාබහ හා අන් අය අතරේ ඔහු දිනා සිටින නම මගිනුයි. ඒ අනුව දෙවිගේ රැළ රැකබලා ගැනීමට කෙනෙකු සුදුසුද යන්න තීරණය වන්නේ වැඩිමහල්ලන් සඳහා බයිබලයේ දී තිබෙන සුදුසුකම්වලට එකඟව එම තැනැත්තා කටයුතු කරනවාද නැද්ද යන්න මතයි.—ගලා. 5:22, 23.

19. වැඩිමහල්ලන් තම වගකීම් සම්බන්ධයෙන් දැන සිටින්නේ කුමක්ද? ඔවුන් පාවුල්ව හා බානබස්ව ආදර්ශයට ගන්නේ කෙසේද?

19 සභාව රැකබලා ගන්නා ආකාරය සම්බන්ධයෙන් තමන් යෙහෝවා දෙවිට ගණන් දිය යුතු බව වැඩිමහල්ලන් දන්නවා. (හෙබ්‍රෙ. 13:17; 1 පේතෘ. 5:1-3) පාවුල් හා බානබස් මෙන් දේශනා සේවයේදී ඔවුන් පෙරමුණ ගෙන කටයුතු කරනවා. සෙසු සහෝදර සහෝදරියන්ව දිරිගන්වන අයුරින් ඔවුන් කතා කරනවා. තම සැප පහසුව ගැන සිතනවා වෙනුවට සභාවේ අවශ්‍යතාවන් ඉටු කිරීමටත් ඔවුන් මුල් තැන දෙනවා.—ෆිලි. 2:3, 4.

20. අපේ සහෝදරයන් විශ්වාසවන්තව කරන සේවය ගැන සඳහන් වාර්තාවන් කියවීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

20 පාවුල් හා බානබස් ඔවුන්ගේ සංචාරය අවසන් කර නැවත සිරියාවේ අන්තියෝකියට ගොස් එහි සිටි අයට, “දෙවි ඔවුන් මාර්ගයෙන් සිදු කළ බොහෝ දේවල් ගැනත් දෙවි වෙනත් ජාතීන්ට අයත් අයට පවා සත්‍ය ඉගැන්වීම් පිළිගැනීමට මඟ විවෘත කර ඇති බවත්” පැවසුවා. (ක්‍රියා 14:27) එම වාර්තාව අසා සභාවේ සිටි අය මොන තරම් දිරිගැන්වීමක් ලබන්න ඇද්ද! අපේ සහෝදරයන් විශ්වාසවන්තව කරන සේවය හා යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කරන ආකාරය ගැන සඳහන් වාර්තාවන් කියවන විට අපත් මහත් දිරිගැන්වීමක් ලබන අතර ‘යෙහෝවා දෙවිගේ අවසරය ඇතුව නිර්භීතව’ ශුභාරංචිය දේශනා කිරීමට අප පෙලඹෙනවා.