Skip to content

පටුනට යන්න

බයිබලයේ සඳහන් දේ ඔබට ප්‍රයෝජනවත්ද?

බයිබලයේ සඳහන් දේ ඔබට ප්‍රයෝජනවත්ද?

මෙතෙක් වැඩියෙන්ම බෙදාහැර තිබෙන පොත වන බයිබලය ගැන ඔබ අසා තිබෙනවාද? බොහෝදෙනෙක් බයිබලය ගැන අසා තිබුණත් එහි සඳහන් දේවල් ගැන එතරම් අවබෝධයක් ඔවුන්ට නැහැ. ඒ කෙසේවෙතත් බයිබලයේ සඳහන් පණිවිඩය ඕනෑම පසුබිමකට අයත් කෙනෙකුට සහනයක් හා බලාපොරොත්තුවක් ලබා දෙනවා. ඒ වගේම එදිනෙදා ජීවිතයට අවශ්‍ය මඟ පෙන්වීම්ද එහි ඇතුළත්. ඔබ ආගම දහමට ළැදි කෙනෙක් වුණත් නැතත් බයිබලයේ සඳහන් දේ ගැන දැනගැනීමට සමහරවිට ඔබ කැමති ඇති. මේ සඟරාව සකස් කර තිබෙන්නේ බයිබලය ගැන යම් අදහසක් ඔබට ලබා දීමටයි.

අපි මුලින්ම ශුද්ධ බයිබලය සකස් වී තිබෙන ආකාරය ගැන බලමු. එය කුඩා පොත් 66කින් සමන්විතයි. උත්පත්ති නමැති පොතෙන් එය ආරම්භ වී එළිදරව් නමැති පොතෙන් එය අවසන් වෙයි.

දැන් මතු වන ප්‍රශ්නය නම් බයිබලයේ කර්තෘ කවුද යන්නයි. බයිබලයේ පොත් ලියනු ලැබුවේ විවිධ පුරුෂයන් 40දෙනෙකු විසිනුයි. ඔවුන්ට එය ලිවීමට අවුරුදු 1,600ක පමණ කාලයක් ගත වුණා. නමුත් ඔවුන්ගෙන් කිසිවෙක් බයිබලයේ කර්තෘ තමන් බව කියා සිටියේ නැහැ. ඔවුන්ගෙන් කෙනෙක් බයිබලයේ කර්තෘ ගැන පැවසුවේ මෙසේයි. “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.” (2 තිමෝති 3:16) තවත් ලේඛකයෙක්, “යෙහෝවා දෙවිගේ බලය කතා කිරීමට මා පෙලඹුවේය. ඔහුගේ වචන මාගේ දිවෙහි තිබුණේය” කියා පැවසුවා. (2 සාමුවෙල් 23:2) බයිබලය ලියූ ඒ සෑම ලේඛකයෙක්ම බයිබලයේ කර්තෘ මේ මුළු විශ්වයේම පාලකයා වන යෙහෝවා දෙවි බව පැහැදිලිවම සඳහන් කළා. එමෙන්ම දෙවි සෑම පුද්ගලයෙක් සමඟම මිත්‍රත්වයක් ඇති කරගැනීමට කැමැත්තෙන් සිටින බවද ඔවුන් පෙන්වා දුන්නා.

අප සලකා බැලිය යුතු තවත් වැදගත් දෙයක් වන්නේ මුළු බයිබලය පුරාම දිව යන තේමාව කුමක්ද යන්නයි. එය නම් මිනිසුන්ව පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා යෙහෝවා දෙවි යන කාරණයයි. ඔහු එය තහවුරු කරන්නේ ස්වර්ගයේ පිහිටුවා තිබෙන ඔහුගේම පාලනය තුළිනුයි. ඒ තේමාව උත්පත්ති පොතේ සිට එළිදරව් පොත දක්වා ඇති සෑම පොතකම දිස් වන ආකාරය මේ සඟරාව කියවන විට ඔබට පැහැදිලිව වටහාගත හැකි වෙයි.

ඒ කාරණා මතකයේ තබාගෙන දැන් අපි බයිබලයේ සඳහන් පණිවිඩය ගැන සලකා බලමු.

^ 9 ඡේ. මෙහි ක්‍රි.පූ. භාවිත කරන්නේ ක්‍රිස්තු පූර්ව යුගය විස්තර කිරීමටයි. එමෙන්ම ක්‍රි.ව. භාවිත කරන්නේ ක්‍රිස්තු වර්ෂ විස්තර කිරීමටයි.