Skip to content

පටුනට යන්න

1වන පාඩම

දෙවි මිනිසාට කදිම ආරම්භයක් ලබා දෙයි

දෙවි මිනිසාට කදිම ආරම්භයක් ලබා දෙයි

දෙවි මුළු විශ්වයම නිර්මාණය කර මේ පොළොව ජීවත් වීමට සුදුසු ස්ථානයක් බවට පත් කරයි. ඉන්පසු කිසිම අඩුවක් නැති පුරුෂයෙක් හා ස්ත්‍රියක් නිර්මාණය කර ඉතා අලංකාර උයනක ඔවුන්ව පදිංචි කරයි. කීකරුකම දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙයි

බයිබලය ආරම්භ වන්නේ, “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය” යන ඉතා සරල නමුත් ගැඹුරු අර්ථයක් ඇති වදන් පෙළකිනුයි. (උත්පත්ති 1:1) එයින් පැහැදිලි වන්නේ අප ජීවත් වන පෘථිවිය ඇතුළු මේ මුළු විශ්වයේම නිර්මාතෘ දෙවි බවයි. එම සරල වදන් පෙළින් බයිබලය පුරාම අවධානයට ලක් වන ප්‍රධානතම තැනැත්තා වන සියලු බලැති දෙවි යෙහෝවාව හඳුන්වා දෙනු ලබයි. ඊළඟ පදවල සඳහන් වන්නේ පොළොව හා අප අවට තිබෙන සෑම දෙයක්ම දෙවි නිර්මාණය කළ ආකාරය ගැනයි. ඒ සඳහා ගත වූ දිගු කාල පරිච්ඡේද බයිබලයේ හඳුන්වා තිබෙන්නේ දවස් ලෙසයි.

දෙවි පොළොවෙහි කළ නිර්මාණ අතරින් උසස්ම නිර්මාණය වන්නේ මිනිසායි. මන්ද දෙවි මිනිසාව නිර්මාණය කළේ ප්‍රේමය, ප්‍රඥාව වැනි ඔහුගේ ගතිලක්ෂණ විදහා පෙන්වීමේ හැකියාව ඇතුවයි. දෙවි භූමියේ දූවිල්ලෙන් මිනිසාව සාදා ඔහුට ආදම් යන නම තැබුවා. පසුව මිනිසුන්ට ජීවත් වීම සඳහා විශේෂයෙන්ම සූදානම් කරනු ලැබූ ඒදන් නම් උයනෙහි ඔහුව පදිංචි කළා.

කාලයක් ගත වූ පසු ආදම්ගේ ජීවිතයට සහකාරියක් ලබා දීමට දෙවි තීරණය කළා. ඒ නිසා දෙවි ආදම්ගෙන් ඉළ ඇටයක් ගෙන ස්ත්‍රියක්ව සාදා ඔහුගේ භාර්යාව ලෙස ඇයව ඔහුට භාර දුන්නා. ඔහු ඇයට ඒව යන නම තැබුවා. ඇයව දුටු මුල්ම අවස්ථාවේදී තමාට ඇති වූ හැඟීම ආදම් මෙලෙස රචනා කළා. “මේ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය.” ඔවුන් අතර තිබිය යුතු බැඳීම ගැන දෙවි මෙසේ පැවසුවා. “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙ කු මෙන් වන්නෝය.”—උත්පත්ති 2:22-24; 3:20.

දෙවි ආදම් සහ ඒවට ආඥා දෙකක් දුන්නා. මුලින්ම පොළොවේ වගා කටයුතු කර එය හොඳින් රැකබලා ගන්න කියාත් දරුවන් බිහි කර ඔවුන්ගෙන් මුළු පොළොවම පුරවන්න කියාත් දෙවි ඔවුන්ට ආඥා කළා. දෙවෙනි ආඥාව වූයේ ඒ උයනේ තිබූ සියලු ගස් අතරින්, ‘හොඳ හා නරක හඳුනාගැනීම යන නමින් හැඳින්වූ ගසෙන්’ පමණක් පල නොකන්න කියා කළ ආඥාවයි. (උත්පත්ති 2:17) ඔවුන් ඒ ආඥාවලට අකීකරු වුණොත් ඊට ලැබෙන දඬුවම මරණය බවද දෙවි පැවසුවා. ඒ ආඥා ලබා දීමෙන් ඔවුන්ගේ පාලකයා හැටියට ඔවුන් දෙවිව පිළිගන්නවාද නැද්ද කියා පෙන්වීමට දෙවි ඔවුන්ට අවස්ථාව දුන්නා. ඒවාට කීකරු වීමෙන් දෙවි කෙරෙහි ඔවුන්ට තිබෙන ප්‍රේමය හා ඔහු කර තිබෙන සෑම දෙයකටම අගය පෙන්වීමට ඔවුන්ට හැකියාව තිබුණා. දෙවිගේ ප්‍රේමණීය පාලනය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට කිසිම හේතුවක් තිබුණේ නැහැ. මන්ද මිනිසාව නිර්මාණය කර තිබුණේ කිසිම දෝෂයක් නැතුවයි. ඒ බව දෙවි පැවසූ මේ වදන්වලින් පැහැදිලියි. “දෙවි තමා සෑදූ සියල්ල දෙස බැලුවේය. ඒ සියල්ල ඉතා හොඳින් සාදා තිබුණු බව ඔහු දුටුවේය.”—උත්පත්ති 1:31.

උත්පත්ති 1 හා 2 යන පරිච්ඡේද.