Skip to content

පටුනට යන්න

10වන පාඩම

ප්‍රඥාවන්ත රජෙක්

ප්‍රඥාවන්ත රජෙක්

යෙහෝවා දෙවි සලමොන් රජුට ප්‍රඥාව ලබා දෙයි. සලමොන් රජුගේ පාලන කාලය තුළ ඊශ්‍රායෙල් සෙනඟ සාමය හා සෞභාග්‍යය අද්දකියි

රජෙකු සහ ඔහුගේ යටත් වැසියන් සියලුදෙනාම දෙවිගේ පාලනය පිළිගෙන ඔහුගේ නීතිවලට කීකරු වුණොත් මොන වගේ තත්වයක් උදා වෙයිද? ඊට පිළිතුර සලමොන් රජුගේ අවුරුදු 40ක පාලනයෙන් දැනගත හැකියි.

දාවිත් මිය යෑමට කලින් ඔහුගේ පුත් සලමොන්ව රජු ලෙස පත් කළා. දිනක් යෙහෝවා දෙවි සිහිනයකින් සලමොන්ට පෙනී ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් තමන්ගෙන් ඉල්ලන ලෙස පැවසුවා. එවිට සලමොන් දෙවිගෙන් ඉල්ලා සිටියේ සෙනඟව සාධාරණව හා ඥානවන්තව පාලනය කිරීමට අවශ්‍ය ප්‍රඥාවත් අවබෝධයත් තමාට ලබා දෙන්න කියායි. දෙවි ඔහුගේ ඉල්ලීම ගැන සතුටු වී ඒ දේවල් ඔහුට ලබා දුන්නා. එමෙන්ම ඔහු දිගටම දෙවිට කීකරුව සිටියොත් ධන සම්පත්ද ගෞරවයද ඔහුට ලබා දෙන බවටත් ඔහුට දිගු කල් ජීවත් වීමට හැකි වන බවටත් දෙවි පොරොන්දු වුණා.

සලමොන් රජ නඩු විභාග කරන ආකාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලුවා. එක් අවස්ථාවක ස්ත්‍රීන් දෙදෙනෙක් එක දරුවෙකුට අයිතිවාසිකම් කියමින් රජු ඉදිරියට පැමිණියා. එවිට රජ ඒ දරුවාව දෙකට කපා ඒ ස්ත්‍රීන් දෙදෙනාටම දෙන ලෙස නියෝග කළා. ඔවුන්ගෙන් එක් කෙනෙක් ඊට එකඟ වුණත් අනික් ස්ත්‍රිය කියා සිටියේ තමාට දරුවාව නොලැබුණත් ඔහුට කිසි හානියක් නොකරන ලෙසයි. දරුවාගේ සැබෑ මව දරුවා ගැන අනුකම්පාවෙන් පෙලඹුණු ඒ ස්ත්‍රිය බව තේරුම්ගත් සලමොන් රජ, දරුවාව ඇයට භාර දුන්නා. ඔහු දුන් ඒ තීන්දුව ඊශ්‍රායෙල් දේශය පුරාම පැතිර ගිය අතර සලමොන් රජුට දෙවිගෙන් ප්‍රඥාව ලැබී තිබෙන බව සෙනඟ වටහාගත්තා.

සලමොන් රජු කළ දේවල් අතරින් ඉතා ශ්‍රේෂ්ඨ දෙයක් වුණේ මුළු ඊශ්‍රායෙල් සෙනඟටම යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා ගෘහයක් යෙරුසලමේ ගොඩනැඟීමයි. ඒ ගෘහය නමස්කාරය වෙනුවෙන් වෙන් කළ අවස්ථාවේදී සලමොන් දෙවිට යාච්ඤා කරමින් මෙසේ පැවසුවා. “ඔබට වාසය කිරීමට මුළු මහත් විශ්වයම ප්‍රමාණවත් නැත. එසේනම් මා ගොඩනැඟූ මේ ගෘහය ඔබට ප්‍රමාණවත් වේද?”—1 රාජාවලිය 8:27.

දසත පැතිරුණු සලමොන් රජුගේ කීර්තිය අරාබියේ පිහිටි ෂෙබා නම් රාජධානිය දක්වාද පැතිර ගියා. ෂෙබාහි රැජින සලමොන්ගේ තේජස සහ ඔහුගේ ධන සම්පත් දැකගැනීමටත් ඔහුගේ ප්‍රඥාව සෝදිසි කර බැලීමටත් යෙරුසලමට පැමිණියා. සලමොන්ගේ ප්‍රඥාව සහ ඊශ්‍රායෙල්වරුන් අද්දකිමින් සිටි සමෘද්ධිමත් තත්වය දැක පුදුමයට පත් වූ ෂෙබාහි රැජින, සලමොන් වැනි ප්‍රඥාවන්ත රජෙකුව පත් කිරීම ගැන යෙහෝවා දෙවිට ප්‍රශංසා කළා. දෙවිගේ ආශීර්වාදය සලමොන්ට ලැබුණු නිසා ඔහුගේ පාලන සමයේදී සෙනඟ සාමයෙන් පිරුණු සමෘද්ධිමත් කාලයක් අද්දුටුවා. ඊශ්‍රායෙල් ඉතිහාසයට අනුව එවැනි කාලයක් ඊට පෙරවත් පසුවවත් තිබුණේ නැහැ.

නමුත් කනගාටුදායක ලෙස යම් කාලයක් ගත වූ විට දෙවිගෙන් ලැබුණු මඟ පෙන්වීම්වලට එකඟව කටයුතු කිරීමට සලමොන් අසමත් වුණා. ඔහු දෙවිගේ නීතිය කඩ කරමින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළ ස්ත්‍රීන් ඇතුළු ස්ත්‍රීන් සිය ගණනක් විවාහ කරගත්තා. ඔවුන් ටිකෙන් ටික සලමොන්ගේ සිත ඔවුන් නමස්කාර කරමින් සිටි දෙවිවරුන් වෙතට හරවාගත්තා. ඔහු දෙවිට කළ නමස්කාරයෙන් ක්‍රමක්‍රමයෙන් ඈත් වී රූපවලට පවා නමස්කාර කිරීමට පෙලඹුණා. ඒ නිසා ඔහුගේ රාජ්‍යයෙන් කොටසක් උදුරාගන්නා බව යෙහෝවා දෙවි ඔහුට පැවසුවා. දෙවි සලමොන්ගේ පියා වූ දාවිත්ට දුන් පොරොන්දුව නිසා මුළු රාජ්‍යයම ඔහුගෙන් උදුරාගත්තේ නැහැ. සලමොන් දෙවිව අත්හැරියත් දාවිත්ට දුන් පොරොන්දුවට දෙවි විශ්වාසවන්තව සිටියා.

1 රාජාවලිය 1-11; 2 ලේකම් 1-9; ද්විතීය කතාව 17:17.