Skip to content

පටුනට යන්න

16වන පාඩම

පොරොන්දු වූ ගැලවුම්කරු පැමිණෙයි

පොරොන්දු වූ ගැලවුම්කරු පැමිණෙයි

යෙහෝවා දෙවි නාසරෙත් නම් නගරයෙන් පැමිණි යේසුස්ව පොරොන්දු වූ ගැලවුම්කරු ලෙසට හඳුන්වා දෙයි

පොරොන්දු වූ ගැලවුම්කරු කවුද කියා හඳුනාගැනීමට යෙහෝවා දෙවි උපකාර කළ ආකාරය සලකා බලමු. මේ වන විට හෙබ්‍රෙව් ලියවිල්ල ලියා අවුරුදු 400ක් පමණ ගත වී තිබුණා. ඊශ්‍රායෙල් දේශයේ උතුරට වෙන්න තිබූ ගලීලය නම් ප්‍රදේශයේ නාසරෙත් ලෙස හැඳින්වූ නගරයේ මරියා නම් තරුණ ස්ත්‍රියක් ජීවත් වුණා. දිනක් ඇයව හමු වීමට විශේෂ අමුත්තෙක් පැමිණියා. ඒ ගාබ්‍රියෙල් නම් දේවදූතයායි. ඇය කන්‍යාවකව සිටියත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයෙන් ඇය පුතෙකු බිහි කරන බව ඔහු ඇයට පැවසුවා. ඒ දරුවා දෙවිගේ පුත්‍රයා බවත් ස්වර්ගයේ සිටින ඔහුව මරියාගේ ගර්භාෂයේ පිළිසිඳගෙන වැඩීමට සලස්වන බවත් දේවදූතයා ඇයට දැන්වූවා. එමෙන්ම පැමිණෙනවා කියා බොහෝ කලකට පෙර සිට දෙවි පවසා තිබූ ගැලවුම්කරු ඔහු බවද ඔහු සදහටම රජකම් කරන බවද ගාබ්‍රියෙල් ඇයට හෙළි කළා.

මරියා ඒ බැරෑරුම් වගකීම ඉතා යටහත්ව භාරගත්තා. ඒ වන විට ඇය යෝසෙප් නම් වඩුවා සමඟ විවාහ ගිවිසගෙනයි සිටියේ. යෙහෝවා දෙවි මරියා ගැබ්ගත් ආකාරය දේවදූතයෙක් මාර්ගයෙන් යෝසෙප්ට පැහැදිලි කළ පසු ඔහු ඇයව විවාහ කරගත්තා. පොරොන්දු වූ ගැලවුම්කරු බෙත්ලෙහෙම නම් නගරයේ උපදින බව අනාගතවක්තෘවරයෙක් පවසා තිබුණා. (මීකා 5:2) නමුත් බෙත්ලෙහෙම පිහිටා තිබුණේ ඔවුන් ජීවත් වූ ස්ථානයේ සිට කිලෝමීටර් 140ක් පමණ දුරිනුයි. එසේනම් අනාගතවක්තෘ පැවසූ දේ ඉටු වුණේ කෙසේද?

ඒ කාලයේ සිටි රෝම පාලකයා ජන සංගණනයක් කිරීමට නියම කළා. ඒ සඳහා සෑම කෙනෙකුටම තම උපන් ගමට ගොස් ලියාපදිංචි වීමට සිදු වුණා. යෝසෙප් සහ මරියා යන දෙදෙනාම බෙත්ලෙහෙමෙන් පැමිණි අයයි. ඒ නිසා යෝසෙප් ගැබ්ගෙන සිටි මරියාවත් රැගෙන බෙත්ලෙහෙමට ගියා. (ලූක් 2:3) එහි ගවමඩුවක ඇය යේසුස්ව බිහි කළා. ඒ අතරතුර එළිමහනේ බැටළුවන් බලාගනිමින් සිටි එඬේරුන් පිරිසකට පොරොන්දු වූ ගැලවුම්කරු ඉපදුණු බව දැනුම් දීම සඳහා දෙවි දේවදූතයෙකුව යැව්වා.

පසු කාලයකදී ක්‍රිස්තුස් එනම්, පොරොන්දු වූ ගැලවුම්කරු යේසුස් බව තවත් අය ප්‍රකාශ කළා. ඒ අය අතරින් යොහන් බව්තීස්ත එක් කෙනෙක්. ඔහු යේසුස්ව දුටු අවස්ථාවේ, “බලන්න, මේ සිටින්නේ ලෝකයෙන් පාපය නැති කර දමන දෙවිගේ බැටළු පැටවායි” කියා පැවසුවා. යොහන්ගේ ගෝලයන්ද, “අපට මෙසියස්ව [එනම් ක්‍රිස්තුස්ව] හමු වුණා” කියා පවසමින් යේසුස්ව අනුගමනය කළා. (යොහන් 1:29, 36, 41) ගැලවුම්කරු පොළොව මත කිරීමට යන වැදගත් කාර්යයට කෙනෙක් මාර්ගය සූදානම් කරනවා කියා අනාගතවක්තෘ යෙසායා කලින් පවසා තිබූ දේ යොහන් බව්තීස්ත තුළින් එයාකාරයට ඉටු වුණා.—යෙසායා 40:3.

ගැලවුම්කරු යේසුස් බව පැවසීමට තිබෙන වැදගත්ම සාක්ෂිය වන්නේ යොහන් යේසුස්ව බව්තීස්ම කළ අවස්ථාවේ යෙහෝවා දෙවි පැවසූ දෙයයි. ඒ අවස්ථාවේදී දෙවි තම බලය ඔහුට ලබා දී ඔහුව ගැලවුම්කරු හැටියට පත් කරමින් මෙසේ පැවසුවා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි.” (මතෙව් 3:16, 17) කාලයක් පුරා බලා සිටි ගැලවුම්කරුගේ පැමිණීම එයාකාරයෙන් සිදු වුණා.

එය සිදු වුණේ ක්‍රි.ව. 29දීයි. එනම් අනාගතවක්තෘ දානියෙල් පැවසූ අවුරුදු 483 අවසන් වූ විටදීයි. ක්‍රිස්තුස් එනම්, පොරොන්දු වූ ගැලවුම්කරු යේසුස් කියා පැවසීමට දානියෙල් පැවසූ දෙයෙහි ඉටු වීමද හොඳ සාක්ෂියක්. ඊළඟ පාඩමේදී ගැලවුම්කරු හැටියට යේසුස් මිනිසුන්ට දැන්වූ වැදගත් පණිවිඩය කුමක්ද කියා සලකා බලමු.

මතෙව් 1-3; මාක් 1වෙනි පරිච්ඡේදය; ලූක් 2වෙනි පරිච්ඡේදය; යොහන් 1වෙනි පරිච්ඡේදය.