Skip to content

පටුනට යන්න

පරිණාමය සත්‍යයක්ද? අසත්‍යයක්ද?

පරිණාමය සත්‍යයක්ද? අසත්‍යයක්ද?

“සූර්යයාගේ තාපය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ හා සමානව පරිණාමය සත්‍යයක් බවත් අමුතුවෙන් කිව යුතු නැහැ” කියා තරයේ කියා සිටින්නේ ප්‍රසිද්ධ පරිණාමවාදී විද්‍යාඥයෙක් වන රිචඩ් ඩෝකින්ස්.16 සූර්යයා රස්නෙ බව පරීක්ෂණ හා නිරීක්ෂණයෙන් ඔප්පු කර තිබෙනවා. නමුත් පරිණාමය සත්‍යයක් බව පරීක්ෂණ හා නිරීක්ෂණවලින් පැහැදිලිව ඔප්පු කර තිබෙනවාද?

එම ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර අපි යමක් පැහැදිලි කරගත යුතුයි. කාලයත් සමඟ පරම්පරාවෙන් පරම්පරාවට ජීවීන්ගේ “සුළු සුළු වෙනස් වීම්” (microevolution) සිදු විය හැකි බව බොහෝ විද්‍යාඥයන් නිරීක්ෂණය කර තිබෙනවා. උදාහරණයකට, බල්ලන් බෝ කරන අයට හැකියාව තිබෙනවා වර්ග දෙකක බල්ලන්ගෙන් කකුල් කොට, ලෝම දිග බලු පැටවුන්ව බෝ කරන්න. a

කෙසේවෙතත්, විද්‍යාඥයන් උගන්වන්නේ වසර බිලියන ගානක් පුරා ජීවීන් තුළ “සුළු සුළු වෙනස් වීම්” රාශියක් එකතු වී, මාළුන්ගෙන් උභය ජීවීන්ද වානරයන්ගෙන් මිනිසුන්ද බිහි වීමට තරම් “විශාල වෙනස් වීම්” (macroevolution) සිදු වුණා කියායි.

චාල්ස් ඩාවින් සහ ඔහු ලියූ ජීවයේ සම්භවය යන පොත

කාලයත් සමඟ ජීවීන් තුළ සිදු වන “සුළු සුළු වෙනස් වීම්” (microevolution) නිරීක්ෂණය කිරීමෙන් පෙනෙන්නේ නිරීක්ෂණය නොකළ ‘විශාල වෙනස් වීම්ද’ (macroevolution) සිදු විය හැකි බවයි කියා චාල්ස් ඩාවින් ඉගැන්නුවා.17 සිතාගත නොහැකි කාලයක් පුරා ඒක සෛලීය ජීවීන් ඉතාම සියුම් ලෙස වෙනස් වී අවසානයේදී බොහෝ ජීවී විශේෂ ඇති වුණා කියා ඔහු පැවසුවා.18

ඔහු කියූ දේ සත්‍යයක් බව සිතන බොහෝදෙනා ‘යම් විශේෂයක b කුඩා වෙනස්කම් සිදු වෙන්න පුළුවන් නම්, විශාල කාලයක් පුරා පරිණාමය වී ලොකු වෙනස්කම් සිදු වෙන්න බැරි ඇයි’ කියා අසනවා. නමුත් පරිණාමවාදය පදනම් වී තිබෙන්නේ ඊළඟට දැක්වෙන අසත්‍යයන් තුන මතයි. ඒවා සලකා බලන්න.

1වන අසත්‍යය. අලුත් විශේෂයන් බිහි වීමට හේතු වන්නේ විකෘතියි. ජීවය දිගු කාලයක් පුරා විශාල වෙනස් වීම්වලට (macroevolution) ලක් වෙනවා යන ඉගැන්වීම පදනම් වෙන්නේ විකෘති මතයි. විකෘති කියා හඳුන්වන්නේ ශාක හා සත්ව සෛලයක ප්‍රවේණික තොරතුරුවල අහඹු ලෙස සිදු වන වෙනස් වීම්වලටයි. එමගින් අලුත් ශාක හා සත්ව විශේෂයන් පමණක් නොව අලුත් කුලද ඇති විය හැකියි.19

ශාක පිළිබඳ පරීක්ෂණවලින් හෙළි වුණේ එක් ශාකයකින් ලබාගත හැකි අලුත් විකෘති සීමිත බවයි

සත්‍යය. ශාකයක් හා ජීවියෙක් මොන වගේ වෙනවාද කියා තීරණය වන්නේ එම ශාකයේ හෝ ජීවියාගේ ජානවල අඩංගු තොරතුරු අනුවයි. මෙම ජාන පිහිටා තිබෙන්නේ සෑම සෛලයකම ඇති න්‍යෂ්ටිය තුළයි. c විකෘතිවලින් ඇති වන ශාක හා ජීවීන් වෙනස්කම්වලට ලක් වන බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. නමුත් විකෘති නිසා අලුත් විශේෂ ඇති වෙනවාද? පසුගිය අවුරුදු 100ක පමණ කාලය පුරා ජාන පිළිබඳව කළ පරීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ කුමක්ද?

විද්‍යාඥයන් 1930 ගණන්වල අග භාගයේදී අලුත් අදහසක් සතුටින් පිළිගත්තා. ඔවුන් ඒ වන විටත් සිතාගෙන සිටියේ ස්වාභාවික වරණයෙන් (පරිසරයට හොඳින්ම සකස් විය හැකි ජීවියා බොහෝවිට නොනැසී ඊළඟ පරම්පරාව බිහි කිරීමේ ක්‍රියාවලිය) ඉතුරු වූ ශාකවල විකෘති මගින් අලුත් ශාක විශේෂයන් බිහි විය හැකි බවයි. එම ක්‍රියාවලියට මිනිසා මැදිහත් වුණොත් ඊට වඩා සාර්ථක විශේෂයන් බිහි කළ හැකියි කියා ඔවුන් සිතුවා. ඒ ගැන ශාක පිළිබඳ පර්යේෂණ සිදු කළ ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් ආයතනයේ අවුරුදු 30ක පමණ කාලයක් ශාකවල විකෘති අධ්‍යයනය කරන වොල්ෆ්-එකාට් ලෝනිග් මෙසේ පැවසුවා. d “ජීව විද්‍යාඥයන් අතර වගේම විශේෂයෙන්ම ප්‍රවේණි විද්‍යාඥයන් හා ශාක බෝකරන්නන් අතරත් පුදුමාකාර සතුටක් ඇති වුණා. ඔවුන් හිතුවේ පාරම්පරික ක්‍රමයට සතුන් හා ශාක බෝ කිරීම වෙනස් කරන්න දැන් කාලය ඇවිත් කියලයි.”20 ඒ වගේම හිතකර විකෘති හඳුනාගෙන අලුත් සහ වඩාත් හොඳ, ශාක හා සතුන් බෝ කරන්න පුළුවන් කියලත් ඔවුන් හිතුවා.

විකෘතියට ලක් වුණත් උන් තවමත් පලතුරු මැස්සොමයි

තමන්ට පරිණාමය වේගවත් කරන්න හැකි වෙයි කියා සිතාගෙන එක්සත් ජනපදයේ, ආසියාවේ හා යුරෝපයේ සිටින විද්‍යාඥයන් එකතු වී විශාල මුදලක් යට කර ඔවුන්ගේ පර්යේෂණ පැවැත්තුවා. ඔවුන් අවුරුදු 40ක් පුරා කළ පර්යේෂණවල ප්‍රතිඵලය මොකක්ද? විද්‍යාඥයෙක් වන පීටර් ෆොන් සේංබුෂ් ඊට පිළිතුරු දුන්නේ මෙසේයි. “මෙච්චර ලොකු මුදලක් වැය කරලත් විකෘතිවලින් වඩා හොඳ ශාක ඇති කරන්න දරපු උත්සාහය සාර්ථක වුණේ නැහැ.”21 ලෝනිග් ඒ ගැන මෙසේ පැවසුවා. “විද්‍යාඥයන්ට තිබුණු බලාපොරොත්තු බොඳ වෙලා ගියා. විකෘති පිළිබඳ වෙනමම අත්හදා බැලීම් කිරීම ආරම්භ කළත් 1980 ගණන්වලදී බටහිර රටවල් ඔවුන්ගේ උත්සාහය සම්පූර්ණයෙන්ම අත්හැරියා. විකෘති මගින් බිහි කළ සතුන් හා ශාක . . . දුර්වල වුණා, එහෙම නැත්නම් මිය ගියා.” e

විකෘති පිළිබඳව පසු ගිය අවුරුදු 100 පුරාම කළ පර්යේෂණවලින් සහ අවුරුදු 70ක් තිස්සේ කළ විකෘති බිහි කිරීම්වලින් අලුත් විශේෂ බිහි කිරීමට හැකි වී තිබෙනවාද? තිබෙන සාක්ෂි සලකා බැලූ පසු ලෝනිග් මෙසේ පැවසුවා. “සත්ව හෝ ශාක විශේෂයක විකෘතිවලින් අලුත් විශේෂයක් බිහි කරන්න බැහැ. මේ නිගමනය 20වන සියවසේදී කළ සියලුම පර්යේෂණවල ප්‍රතිඵලවලින් ඔප්පු වෙනවා.”

විකෘති මගින් අලුත් විශේෂ බිහි කළ හැකිද? සාක්ෂිවලින් පෙනෙන්නේ එසේ කළ නොහැකි බවයි. පර්යේෂණවලින් පසු ලෝනිග් පැමිණි නිගමනය මෙයයි. “ඕනෑම විශේෂයක යම් සීමාවක් තිබෙන බව අපිට පේනවා. ඒ සීමාව අහම්බෙන් සිදු වන විකෘති මගින් වෙනස් කරන්න බැහැ.”22

ඉහත සඳහන් කරුණුවලින් අදහස් කරන දේ ගැන ටිකක් සිතා බලන්න. එක් විශේෂයක හිතකර විකෘතිවලින් අලුත් විශේෂයක් බිහි කරන්න බුද්ධිමත් විද්‍යාඥයන්ට බැරි නම් කාගෙවත් මැදිහත් වීමක් නැතුව වඩා හොඳ අලුත් විශේෂයක් ඉබේ බිහි වෙන්න පුළුවන්ද? පර්යේෂණවලින් ඔප්පු වී තිබෙන ආකාරයට යම් විශේෂයක් වෙනස් වීම්වලට ලක් කර අලුත් විශේෂ බිහි කරන්න බැරි නම්, ජීවය බොහෝ කාලයක් පුරා විශාල වෙනස් වීම්වලට (macroevolution) ලක් වී පරිණාමය වෙන්නේ කොහොමද?

2වන අසත්‍යය. අලුත් විශේෂයන් බිහි වීමට ස්වාභාවික වරණය හේතු වුණා. ස්වාභාවික වරණය මගින් පරිසරයට අනුව හැඩගැසෙන ශාක හා ජීවීන් පමණක් ඉතුරු වී අනිකුත් ඒවා විනාශ වෙන බව ඩාවින් විශ්වාස කළා. විවිධ විශේෂයන් නොයෙක් ප්‍රදේශවලට පැතිර ගිය විට ස්වාභාවික වරණය මගින් එම විශේෂ තුළ වෙනස්කම් සිදු කර පරිසරයට උචිත ලෙස හැඩගැසෙන්න සැලැස්වූ බවත් ක්‍රමානුකූලව එක් විශේෂයකින් අලුත් විශේෂයක් ඇති වූ බවත් අද සිටින පරිණාමවාදීන් උගන්වනවා.

සත්‍යය. විකෘතිවලින් අලුත් සත්ව හෝ ශාක වර්ග බිහි කළ නොහැකි බව පර්යේෂණ මගින් ඉතාම පැහැදිලිව පෙන්වා තිබෙනවා. ඒ බව මීට පෙර අපි සාකච්ඡා කළා. එසේනම් ස්වාභාවික වරණයෙන් තෝරාගන්නා හිතකර විකෘතිවලින් අලුත් විශේෂ බිහි කළ හැකියි කියා විද්‍යාඥයන් කිව්වත් ඊට තිබෙන සාක්ෂි මොනවාද? එක්සත් ජනපදයේ විද්‍යා කටයුතු පිළිබඳ ජාතික ඇකඩමිය මගින් 1999දී මුද්‍රණය කළ අත්පොතක මෙවැනි අදහසක් පළ කරනවා. “මේ ආකාරයෙන් අලුත් විශේෂයන් බිහි වීමට කදිම සාක්ෂියක් වන්නේ ගලාපගස් දූපත්වල සිටින පිංචි නමැති කුඩා කුරුලු විශේෂ 13යි.”23

පීටර් සහ රෝස්මරී ග්‍රාන්ට් 1970 ගණන්වලදී පර්යේෂණ කණ්ඩායමක් සමඟ මේ පිංචියන් ගැන අධ්‍යයනය කරන්න පටන්ගත්තා. දූපත්වලට නියඟයක් ඇවිත් වසරක් ගත වූවාට පසු බේරුණේ කුඩා හොටක් තිබූ පිංචියන් නොව ටිකක් ලොකු හොටක් තිබූ පිංචියන් බව ඔවුන් සොයාගත්තා. මේ පිංචියන් විශේෂ 13 හඳුනාගන්නේ උන්ගේ හොටේ ප්‍රමාණය හා හැඩය අනුව නිසා එම සොයාගැනීමේ විශේෂත්වයක් තිබෙනවා කියා ඔවුන් සිතුවා. අත්පොතේ තවදුරටත් සඳහන් වුණේ “ග්‍රාන්ට් යුවළ ගණන් බලා තිබෙන විදිහට සෑම අවුරුදු දහයකට වරක් මේ දූපත්වලට නියඟයක් ආවොත් අවුරුදු 200කට පමණ පසු අලුත් පිංචි විශේෂයක් බිහි වෙයි” කියායි.24

කෙසේවෙතත් අත්පොතේ සඳහන් නොවූ ඉතා වැදගත් කරුණු කිහිපයක්ද තිබෙනවා. නියඟය අවසන් වූ විගස කුඩා හොටක් ඇති පිංචියන්ගේ සංඛ්‍යාව නැවත ශීඝ්‍රයෙන් ඉහළ ගියා. දූපතේ දේශගුණය වෙනස් වන හැමවිටම මුල් වසරේදී ලොකු හොටක් ඇති පිංචියන්ගේ ගණන වැඩි වන බවත් පසුව කුඩා හොටක් ඇති පිංචියන්ගේ ගණන වැඩි වන බවත් පර්යේෂකයන් දැක්කා. පර්යේෂකයන් දුටු තවත් දෙයක් නම් සමහර අවස්ථාවලදී පිංචි “විශේෂයන්” දෙකක් එකට එකතු වී බෝ වූ පැටවුන්ට උන්ගේ දෙමාපියන්ට වඩා පරිසරයට හොඳින් හැඩගැසීමේ හැකියාව තිබීමයි. ඒ අනුව පර්යේෂකයන්ගේ නිගමනය වුණේ මේ විදිහට “විශේෂයන්” දෙකක් එකතු වී බෝ වීමේ ක්‍රියාවලිය දිගටම සිදු වුණොත් අවසානයේදී මුල් විශේෂයන් දෙක නැති වී අලුත් විශේෂයක් ඇති වෙයි කියායි.25

දේශගුණික වෙනස් වීම්වලට අනුව සකස් වෙන්න ජීව විශේෂයන්ට හැකි බව පිංචියන්ගෙන් පෙනී යනවා

එසේනම් ස්වාභාවික වරණය මගින් අලුත් විශේෂයන් බිහි වෙනවද? අවුරුදු කිහිපයකට පෙර ජීව විද්‍යාඥයෙක් වන ජෝර්ජ් ක්‍රිස්ටෝෆ විලියම්ස් ස්වාභාවික වරණය මගින් එවැනි දෙයක් වෙයිද කියන ප්‍රශ්නය මතු කළා.26 පරිණාමවාදියෙක් වන ජෙෆ්රි ෂ්වෝට්ස් 1999දී ලියුවේ, යම් විශේෂයකට තම වර්ගයාගේ පැවැත්ම සඳහා ජීවන සටනක් කරන්න ස්වාභාවික වරණය දායක වුණත් එමගින් අලුත් විශේෂයක් බිහි කරන්නේ නැහැ කියායි.27

ඩාවින් උදාහරණයක් ලෙස පෙන්වූ පිංචියන් අදටත් වෙනස් වී නැහැ. උන්ගෙන් “අලුත් විශේෂයක්” බිහි වෙලත් නැහැ. විශේෂයන් දෙකක් එකතු වී වර්ගයා බෝ කිරීමෙන් ඇති වන්නේ අලුත් විශේෂයක්ද නැද්ද කියා හඳුනාගැනීමට පරිණාමවාදීන්ට තිබූ හේතු මේ පැටවුන් ළඟ ඇත්තෙත් නැහැ. ඊට අමතරව ප්‍රසිද්ධ විද්‍යා ආයතන පවා විටින් විට තමන්ගේ මතයන්ට එකඟ වන තොරතුරු පමණක් ඉදිරිපත් කරන බවත් හෙළි වී තිබෙනවා.

3වන අසත්‍යය. ජීවීන් බොහෝ කාලයක් පුරා විශාල වෙනස් වීම්වලට ලක් වී තිබෙන බව ෆොසිලවලින් දක්නට ලැබෙනවා. පරිණාමය සත්‍යයක් කියා ඔප්පු කරන්න ඕන තරම් ෆොසිල තිබෙන බවට හැඟීමක් කලින් සඳහන් කළ අත්පොතේ පාඨකයාට ලබා දී තිබෙනවා. “මාළුන්ගෙන් උභයජීවීන්, උභයජීවීන්ගෙන් උරගයන්, උරගයන්ගෙන් ක්ෂීරපායින් යන මේ හැම විශේෂයක්ම පරිණාමය වූ ආකාරය දක්වන අතරමැදියන් ෆොසිලවලින් පැහැදිලිවම දැකගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වානරයා මානවයා දක්වා පරිණාමය වීමේ එක් එක් අවදි දැක්වීමට ඕන තරම් ෆොසිල තිබෙනවා” කියා එහි සඳහන් වෙනවා.28

සත්‍යය. එම අත්පොතේ ෆොසිල ගැන එතරම් විශ්වාසයෙන් පැවසූ දෙය සත්‍යයක්ද? ෆොසිලවලින් පෙන්වන්නේ ජීවීන් ක්‍රමානුකූලව වෙනස්කම්වලට ලක් වෙලා නැති බවත් දිගු කාලයක් පුරා “බොහෝ විශේෂයන් තුළ වෙනස්කම් සිදු වී තිබෙන්නේ ඉතාම සුළු වශයෙන් පමණක්” බවත් පරිණාමය තදින් විශ්වාස කරන්නෙක් වන නයිල්ස් එල්ඩ්‍රෙජ් පවසනවා. f29

සියලුම මූලික සත්ව වර්ග හදිසියේ ඇති වී වෙනස් නොවී පැවතුණු බව ෆොසිලවලින් පෙනී යනවා

ලොව පුරා සිටින විද්‍යාඥයන් මේ වන විට ෆොසිල මිලියන 200ක් පමණ සහ කුඩා ෆොසිල කැබලි බිලියන ගණන් සොයාගෙන පරීක්ෂණ පවත්වා තිබෙනවා. බොහෝ පර්යේෂකයන් එකඟ වෙන්නේ සියලුම මූලික සත්ව වර්ග හදිසියේ ඇති වී වෙනස් නොවී පැවතුණු බවත් බොහෝ ජීවි විශේෂයන් හදිසියේම නැති වී ගිය බවත් ෆොසිලවලින් පෙනී යන බවයි.

අන්ධ විශ්වාසයක්!

ප්‍රසිද්ධ පරිණාමවාදීන් බොහෝදෙනෙක් පරිණාමය සත්‍යයක් කියා තරයේ කියා සිටින්නේ ඇයි? ප්‍රකට පරිණාමවාදියෙක් වන රිචඩ් ලෙවන්ටන් ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ බොහෝ විද්‍යාඥයන් ඔප්පු නොකළ දේවල් පිළිගන්නේ “දකින දේ පමණක් විශ්වාස කිරීමට මුල සිටම තීරණය කර” තිබෙන නිසා කියායි. එනම් භෞතිකවාදය පිළිගන්න නිසයි. g ඒ නිසා බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිනවා කියා සිතීම පවා බොහෝ විද්‍යාඥයන් ප්‍රතික්ෂේප කරනවා. එය සනාථ කරමින් ලෙවන්ටන් පවසන්නේ “දෙවි කෙනෙක්ව වද්දගන්නවත් අපි කැමති නැහැ” කියායි.30

ඒ හා සමාන අදහසක් සයන්ටිෆික් ඇමරිකන් සඟරාවේ සමාජ විද්‍යාඥයෙක් වන රොඩ්නි ස්ටාක් පවසා තිබුණා. “විද්‍යාව හදාරන්න කැමති නම් තමන්ගේ ආගම අත්හරින්න වෙනවා. මේ අදහස අවුරුදු 200ක් පුරාම තිබිලා තියෙනවා.” ඔහු තවදුරටත් පවසන්නේ බොහෝ පර්යේෂණ පවත්වන විශ්ව විද්‍යාලවල “ආගම දහමට ළැදි විද්‍යාඥයන් දෙවිකෙනෙක් ගැන කතා කරන්නේ නැහැ” කියායි.31

ඔබ පරිණාමය සත්‍යයක් හැටියට පිළිගන්න සූදානම් නම් ඔබට පහත සඳහන් දේවල් විශ්වාස කරන්න සිදු වෙනවා. දෙවි කෙනෙක් නැහැයි කියා සිතන විද්‍යාඥයන් ඔවුන්ගේ පෞද්ගලික මත ඔවුන්ගේ විද්‍යාත්මක ඉදිරිපත් කිරීම්වලට ඇතුල් නොකරයි කියා විශ්වාස කරන්න ඔබට සිදු වෙනවා. විකෘති මගින් අලුත් විශේෂ ඇති වෙන්න බැරි බව සියවසක් පුරා කළ අධ්‍යයනවලින් ඔප්පු වී තිබුණත් විකෘති හා ස්වාභාවික වරණය මගින් අලුත් විශේෂ ඇති වෙනවා කියා ඔබට විශ්වාස කරන්න සිදු වෙනවා. සියලුම මූලික ශාක හා සත්ව වර්ග හදිසියේ ඇති වී වෙනස් ජීව විශේෂ බවට පරිණාමය නොවුණු බව ෆොසිලවලින් පැහැදිලිව පෙනී ගියත් සියලුම ජීවීන් තනි ජීවියෙකුගෙන් පරිණාමය වුණා කියා ඔබට විශ්වාස කරන්න සිදු වෙනවා. පැහැදිලි සාක්ෂි තිබියදී ඊට පටහැනි දෙයක් විශ්වාස කිරීම සාධාරණ නැහැ. ඒ අනුව ජීවය පරිණාමය වුණා යන මතය පිළිගැනීම ඇත්තටම අන්ධ විශ්වාසයක්.

a මෙසේ කරද්දී සිදු වන්නේ පැටවුන්ගේ ජාන විකෘති වීමයි. උදාහරණයකට, කුරු බල්ලන් (dachshund) ඇති වන්නේ උන්ගේ අස්ථි නිසි ලෙස වැඩෙන්නේ නැති නිසයි.

b මෙම ලිපියේ “විශේෂ” යන වචනය භාවිත කළත් එම වචනය බයිබලයේ උත්පත්ති පොතේ සඳහන් වී නැහැ. එහි භාවිත කරන්නේ ඊට වඩා පුළුල් අර්ථයක් ඇති “වර්ග” යන වචනයයි. විද්‍යාඥයන් අලුත් විශේෂයක් පරිණාමය වෙනවා කියා කිව්වත්, එය බොහෝදුරට උත්පත්ති වාර්තාවේ සඳහන් කර ඇති ‘වර්ගය’ තුළ සිදු වන වෙනස් වීමක් පමණයි.

c ශාකයක් හා ජීවියෙක් මොන වගේ වෙනවාද කියා තීරණය වීමට සෛල අභ්‍යන්තරයේ තිබෙන වෙනත් කොටස්ද දායක වන බව සොයාගෙන තිබෙනවා. ශාකයක හා ජීවියෙකුගේ වැඩීම තීරණය වන්නේ ජාන අනුවයි.

d ලෝනිග් විශ්වාස කරන්නේ ජීවය නිර්මාණය කළ බවයි. මෙහි සඳහන් වන්නේ ඔහුගේ පෞද්ගලික අදහස් පමණයි. ඒවා ඔහු වැඩ කරන ආයතනයේ අදහස් නොවිය හැකියි.

e විකෘති පිළිබඳව කළ පර්යේෂණවලින් පැහැදිලිවම පෙනී ගියේ අලුත් විකෘති බිහි වීම ක්‍රමානුකූලව අඩු වෙවී ගිය බවයි. බිහි කළ එම විකෘති පවා කලින් තිබුණු ඒවාට සමාන වුණා. වැඩිදුර පර්යේෂණ සඳහා යොදාගත හැකි වුණේ ශාක විකෘතිවලින් සියයට 1ටත් වඩා අඩුවෙන්. වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකි වුණේ එයිනුත් සියයට 1ටත් වඩා අඩු ප්‍රමාණයක්. අවසානයේදී අලුතෙන් කිසිම විශේෂයක් බිහි කරන්න හැකි වුණේ නැහැ. සතුන් පිළිබඳව කළ පර්යේෂණ ඊටත් වඩා අසාර්ථක වූ නිසා සියලු පර්යේෂණ නවතා දැමුවා.

f පරිණාමය වුණා කියා ඔප්පු කිරීමට පර්යේෂකයන් ඉදිරිපත් කරන ෆොසිල කිහිපය වුණත් විවාදයට ලක් කළ හැකියි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ජීවයේ ආරම්භය—වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු යන 22 සිට 29 දක්වා පිටු බලන්න.

g මේ මතයට අනුව ඔවුන් විශ්වාස කරන්නේ දකින දේ පමණක් සත්‍යය බවයි. එමෙන්ම ජීවීන් ඇතුළුව විශ්වයේ තිබෙන සියල්ලම ඇති වී තිබෙන්නේ කිසිම දෙවි කෙනෙකුගේ මැදිහත් වීමකින් තොරව කියායි.