Skip to content

පටුනට යන්න

ඔබ විශ්වාස කරන දේ වැදගත්ද?

ඔබ විශ්වාස කරන දේ වැදගත්ද?

ජීවිතයට අරමුණක් තිබෙනවා කියා ඔබ සිතනවාද? පරිණාමවාදියෙකු වන විලියම් බී. ප්‍රෝවයින් පවසන්නේ මෙසේයි. “අපි පරිණාමය ගැන ඉගෙනගෙන තිබෙන දේවල් නිසා අපේ ජීවිතයේ හරය ගැන ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා.” ඔහුගේ නිගමනය වුණේ “අපේ ජීවිතයටත් මේ විශ්වයටත් කිසිම අරමුණක් නැහැ” යන්නයි.32

ඔහු පවසන දෙයෙහි ඇති බැරෑරුම්කම ගැන ටිකක් සිතා බලන්න. ජීවිතයට සැබෑ අරමුණක් නැත්නම් ඔබට තිබෙන්නේ යහපත් දේවල් කර ඊළඟ පරම්පරාවට ඔබේ ගතිලක්ෂණ උරුම කර දී මිය යෑම පමණයි. ඔබේ පැවැත්ම එතනින් ඉවරයි. එය එසේනම් ජීවිතයේ අරමුණ ගැන තර්කානුකූලව කල්පනා කර බැලිය හැකි ඔබේ මොළය අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් විය යුතුයි.

පරිණාමය විශ්වාස කරන බොහෝ අය කියා සිටින්නේ දෙවි කෙනෙක් නැහැ, දෙවි කෙනෙක් සිටියත් ඔහු අපේ ජීවිතයේ කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ කියායි. එය සැබෑවක් නම් අපේ අනාගතය රඳා පවතින්නේ දේශපාලන හා ආගමික නායකයන්ගේ මෙන්ම බුද්ධිමතුන්ගේ තීරණ මතයි. එහෙත් එදා සිට අද දක්වා මිනිස් සමාජය වනසා දැමූ ආරවුල්, ගැටලු, දූෂණ වැනි දේවලට වගකිව යුත්තේ ඔවුන් බව ඉතිහාසය දෙස බලද්දී අපට පැහැදිලි වෙනවා. පරිණාමය සත්‍යයක් නම් අපට කරන්න තිබෙන්නේ ‘අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු කියා සිතීම’ පමණයි.—1 කොරින්ති 15:32.

නමුත් බයිබලයේ පවසන්නේ ‘ජීවිතයේ උල්පත දෙවි’ කියායි. (ගීතාවලිය 36:9) එහි ඉතාම ගැඹුරු අදහසක් ගැබ් වී තිබෙනවා.

බයිබලයේ පවසන දේ සත්‍යයක් නම්, ජීවිතයට අරමුණක් තිබෙනවා! අපේ නිර්මාතෘගේ කැමැත්තට එකඟව ජීවත් වන සියලුදෙනා වෙනුවෙන් ඔහුට ප්‍රේමණීය අරමුණක් තිබෙනවා. (දේශනාකාරයා 12:13) එය නම් ආරවුල්, ගැටලු, දූෂණ හා මරණය පවා නැති පාරාදීස පොළොවක සදාකාල ජීවිතයක් මිනිසාට ලබා දීමයි!—ගීතාවලිය 37:10, 11; යෙසායා 25:6-8.

දෙවි ගැන ඉගෙනගෙන ඔහුට කීකරු වුණොත් වෙන කිසිම දෙයකින් නොලැබෙන අර්ථවත් ජීවිතයක් කෙනෙකුට ලබාගත හැකි බව ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විශ්වාස කරනවා. (යොහන් 17:3) එය පදනම් විරහිත විශ්වාසයක් නෙවෙයි. එසේනම්, සලකා බැලූ සියලුම සාක්ෂිවලින් පැහැදිලි වන්නේ මොකක්ද? ජීවය නිර්මාණය කළ බවයි!