Skip to content

පටුනට යන්න

අම්මටයි තාත්තටයි මගේ ප්‍රශ්න කියන්නේ කොහොමද?

අම්මටයි තාත්තටයි මගේ ප්‍රශ්න කියන්නේ කොහොමද?

1වෙනි පරිච්ඡේදය

අම්මටයි තාත්තටයි මගේ ප්‍රශ්න කියන්නේ කොහොමද?

“මගේ හිතේ තිබ්බ ප්‍රශ්නය අම්මටයි තාත්තටයි කියන්න මම ලොකු උත්සාහයක් ගත්තා. ඒත් මට ඒක පැහැදිලිව කියන්න බැරි වුණා. එයාලා මං කියන දේ අහන්න උනන්දු වුණේ නැහැ.”—රෝසා.

පුංචි කාලේදී නම් ප්‍රශ්නයක් වුණාම ඔබ මුලින්ම ගියේ ඔබේ දෙමාපියන් ළඟට. ඔබ දැනගත් හැම දෙයක්ම ඔවුන්ට කිව්වා. සමහර දේවල් එතරම් වැදගත් වුණේ නැතත් ඒ දේවල් කියන්න ඔබ මැළි වුණේ නැහැ. ඔවුන් ඔබට යම් උපදෙසක් දුන්නාම ඔබ එය පිළිගත්තා.

ඒත් දැන් ඔබ ලොකුයි. දෙමාපියන්ට ඔබව තේරුම්ගන්න බැහැයි කියා ඔබට සිතෙනවා ඇති. ඒඩී නමැති යෞවනිය මෙහෙම කියනවා. “එක දවසක් රෑ කෑම කන වෙලාවේදී මගේ හිතේ තිබ්බ දුක මම අඬඅඬා අම්මටයි තාත්තටයි කිව්වා. එයාලා මම කිව්ව දේ අහගෙන හිටියත් මගේ දුක එයාලට තේරුම්ගන්න බැරි වුණා. බැරිම තැන මම කාමරේට ගිහිල්ලා හොඳටම ඇඬුවා.”

හැම දෙයක්ම අම්මටයි තාත්තටයි කියන්න අවශ්‍ය නැහැ කියා ඔබට හිතෙනවා ඇති. ක්‍රිස්ටෝෆර් හිතුවේ ඒ විදිහටයි. “මම හුඟක් දේවල් අම්මටයි තාත්තටයි කියනවා. ඒත් සමහර දේවල් එයාලට නොකිව්වට කමක් නැහැ කියලයි මට හිතෙන්නේ.”

දෙමාපියන්ට සමහර දේවල් නොකියා ඉන්න එක වැරදිද? නැහැ. නමුත් ඔබ වංචාවක් කිරීමේ අරමුණින් යමක් නොකියා ඉන්නවා නම් එය වැරදියි. (හිතෝපදේශ 3:32) දෙමාපියන් ඔබව තේරුම්ගන්නේ නැති අවස්ථා වගේම ඔබ ඔවුන්ට හැම දෙයක්ම නොකියන අවස්ථාද තිබෙන්න පුළුවන්. නමුත් දෙමාපියන්ට ඔබේ ප්‍රශ්න ගැටලු ගැන කීමෙන් සිදු වෙන්නේ ඔබට යහපතක්. ඒ වගේම දෙමාපියනුත් ඒ දේ ඔබෙන් බලාපොරොත්තු වෙනවා.

කතා නොකර ඉන්න එපා

දෙමාපියන් සමඟ කතාබහ කිරීම හරියට කාර් එකක් පදවනවා හා සමානයි. ඔබ කාර් එක පදවාගෙන යන විට, පාර වසා ඇත කියා සංඥා පුවරුවක් දුටුවොත් ඔබ වෙනත් පාරකින් යයි. ඔබ ගමන අතරමඟ නවතා දමන්නේ නැහැ. ඒ හා සමානව ඔබ දෙමාපියන් සමඟ කතා කිරීමට උත්සාහ දරන විට ඇති වන බාධා ඔබට ජය ගත හැකියි. එය කළ හැකි ආකාර දෙකක් සලකා බලමු.

පළමු බාධකය ඔබට කතා කරන්න අවශ්‍ය වුණත් ඔබට සවන් දෙන්න දෙමාපියන්ට වුවමනාවක් නැහැ. ලෙයා නමැති යෞවනිය මෙහෙම කියනවා. “මගේ තාත්තත් එක්ක ප්‍රශ්නයක් ගැන කතා කරන එක හරි අමාරුයි. සමහර වෙලාවට මම ටික වෙලාවක් කතා කළාට පස්සේ තාත්තා මගෙන් මෙහෙම අහනවා. ‘ඔයා මටද කතා කළේ?’”

ප්‍රශ්නය: ලෙයාට තම ප්‍රශ්නය ගැන කතා කිරීමට ඇත්තෙන්ම අවශ්‍ය නම් ඇයට කුමක් කළ හැකිද? ඇයට ගත හැකි විකල්ප අතරින් තුනක් පහත සඳහන් වෙනවා.

විකල්පය 1

තාත්තට කෑගසා කතා කිරීම. “මං කියන දේ අහන්න. මේක හරි වැදගත් දෙයක්” කියා ලෙයා කෑගසයි.

විකල්පය 2

තාත්තා සමඟ කතා නොකර සිටීම. ලෙයා තම ගැටලුව ගැන කතා කිරීමට ගත් උත්සාහය අත්හරියි.

විකල්පය 3

ගැටලුව ගැන කතා කිරීමට සුදුසු අවස්ථාවක් එන තුරු බලා සිටීම. ලෙයා ඇගේ තාත්තා සමඟ වෙනත් වෙලාවක කතා කරනවා. එහෙමත් නැත්නම් ලියුමක් ලියනවා.

ලෙයා තෝරාගත යුත්තේ කිනම් විකල්පය කියාද ඔබ සිතන්නේ? ․․․․․

දැන් අපි ඒ විකල්ප තුනත් ඉන් අත් වන ප්‍රතිඵල ගැනත් සලකා බලමු.

ලෙයාගේ පියා ඉන්නේ වෙනත් කල්පනාවකයි. ඒ නිසා ඇගේ හිතේ වේදනාව ඔහුට තේරුම්ගන්න අමාරුයි. ලෙයා පළමුවෙනි විකල්පය තෝරාගත්තා නම් ඇය කෑගසන්නේ ඇයි කියා ඇගේ පියාට වැටහෙන්නේ නැහැ. එසේ කෑගැසීමෙන් ඇය පවසන දෙයට ඔහු සවන් දෙයි කියා සිතන්න අමාරුයි. ඒ වගේම ඇය පියාට ගරු කරන බවක් ඉන් පෙන්වන්නෙත් නැහැ. (එෆීස 6:2) එසේනම් එය හොඳ විකල්පයක් නොවෙයි.

දෙවෙනි විකල්පය පහසු වුණත් එය ඥානවන්ත දෙයක් නොවෙයි. “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි” කියා හිතෝපදේශ 15:22හි සඳහන් වෙනවා. ඇගේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍ය නම් ඇය පියා සමඟ ඒ ගැන කතා කළ යුතුයි. ඒ වගේම පියාගෙන් උපකාර ලැබීමට නම් ඇගේ ප්‍රශ්නය ගැන ඔහු දැනගත යුතුයි. කතා නොකර සිටීමෙන් ඒ කිසිවක් ඉටු වෙන්නේ නැහැ.

පියා සමඟ කතා කිරීමට ඇති වූ බාධාව ජය ගැනීමට ලෙයා තුන්වෙනි විකල්පය තෝරාගත්තා නම් ඇය වෙනත් සුදුසු අවස්ථාවක කතා කිරීමට උත්සාහ කරනවා. ලියුමක් ලියා තම ප්‍රශ්නය පියාට කියන්න ඇය තීරණය කළොත් එය ලියා අවසන් වූ විගස ඇයට යම් සහනයක් දැනේවි. ඇය මුහුණ දෙන ගැටලුව ගැන පියාට කියන්න සිතූ සෑම දෙයක්ම පැහැදිලිව ලිවීමට ඇයට හැකි වෙයි. එවිට පියා එම ලියුම කියවන විට ඇය කියන්න උත්සාහ කරන කාරණය තේරුම්ගන්න ඔහුට පහසු වෙයි. එසේනම් තුන්වෙනි විකල්පය තෝරාගැනීම ඇයටත් ඇගේ පියාටත් ප්‍රයෝජනදායකයි කියා පැවසිය හැකියි.

ලෙයාට ගත හැකි වෙනත් විකල්ප මොනවාද? ඔබට එක් විකල්පයක් සඳහන් කළ හැකිද? එයින් අත් වන ප්‍රතිඵලද ලියන්න.

․․․․․

දෙවන බාධකය දෙමාපියන් ඔබ සමඟ කතා කිරීමට කැමති වුණත් ඔබ ඊට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. සේරා කියන දේ බලන්න. “ඉස්කෝලේ ඉඳලා හොඳටම හෙම්බත් වෙලා ගෙදර ආපු ගමන්ම අම්මලා ප්‍රශ්න වැලක් අහන කොට මට තද වෙනවා. මම ගෙදර එන්නේ ඉස්කෝලේ වෙච්ච දේවල් අමතක කරලා ටිකක් නිවිහැනහිල්ලේ ඉන්න. ඒත් අම්මලා මම ගෙදරට අඩිය තිබ්බ ගමන්ම ‘අද කොහොමද පන්තියේ වැඩ? ප්‍රශ්නයක් එහෙම වුණාද’ කියලා අහනවා.” ඔවුන් එවැනි ප්‍රශ්න අහන්නේ ඇය ගැන සැලකිලිමත් වන නිසයි. ඒත් සේරාට හැඟෙන්නේ මෙහෙමයි. “මම හොඳටම හෙම්බත් වෙලා ඉන්න කොට ඉස්කෝලේ වෙච්ච දේවල් ගැන කතා කරන්න මම කොහෙත්ම කැමති නැහැ.”

ප්‍රශ්නය: එවැනි තත්වයකදී සේරාට කරන්න පුළුවන් මොනවාද? සේරාටත් ගත හැකි විකල්ප තුනක් පහත සඳහන් වෙනවා.

විකල්පය 1

කතා කිරීමට අකමැති වීම. සේරා මෙහෙම කියනවා: “අනේ ප්ලීස්! මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මම ඒ ගැන දැන් කතා කරන්න කැමති නැහැ!”

විකල්පය 2

අකමැත්තෙන් කතා කිරීම. ඇය පීඩනයකින් සිටියත් දෙමාපියන් අහන ප්‍රශ්නවලට අකමැත්තෙන් පිළිතුරු දෙයි.

විකල්පය 3

“පාසැලේ” තොරතුරු පසුව කතා කරමු කියා පවසා වෙනත් කාරණයක් ගැන කතා කිරීම. සේරා පීඩනයකින් සිටින නිසා වෙනත් වෙලාවක පාසැලේදී සිදු වූ දේවල් කතා කිරීමට කැමැත්තක් දක්වනවා. ඉන්පසුව ඇය දෙමාපියන්ගේ හිත නොරිදවා මෙසේ අසනවා. “අම්මලා අද යනවා කිව්ව ගමන ගියාද?”

ඔබ සිතන්නේ සේරා තෝරාගත යුත්තේ ඉහත සඳහන් විකල්ප අතරින් කුමන විකල්පයද? ․․․․․

දැන් අපි ඒ විකල්ප තුනත් ඉන් අත් වන ප්‍රතිඵල ගැනත් බලමු.

සේරා කතා කරන්න අකමැති ඇය යම් පීඩනයකින් සිටින නිසයි. ඇය පළමුවෙනි විකල්පය තෝරාගත්තා නම් ඒ පීඩනය අඩු වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි දෙමාපියන්ට සැරෙන් කතා කිරීම නිසා ඇගේ සිතත් ඇයට වධ දෙයි.—හිතෝපදේශ 29:11.

ඒ වගේම සේරාගේ දෙමාපියන් ඇය අකමැත්තෙන් කතා කිරීම ගැනවත් ඉන්පසු අමනාපයෙන් සිටීම ගැනවත් සතුටු වෙන්නේ නැහැ. සේරා ඔවුන්ගෙන් යමක් සැඟවීමට උත්සාහ කරනවා කියා ඔවුන්ට සිතෙන්නත් පුළුවන්. ඒ නිසා ඔවුන් ඇගේ සිතේ තිබෙන දේ දැනගැනීමට තව තවත් ප්‍රශ්න කරාවි. එයින් ඇගේ පීඩනය වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. එසේනම් එම විකල්පයෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ.

දෙවෙනි විකල්පය පළමුවෙනි විකල්පයට වඩා හොඳයි කියා පෙනෙන්න පුළුවන්. නමුත් මෙහිදී සේරා තම දෙමාපියන් සමඟ කතා කළත් එය අවංක අදහස් හුවමාරුවක් නොවෙයි.

තුන්වෙනි විකල්පයෙන් සේරාට යම් සහනයක් ලැබෙයි. මන්ද “ඉස්කෝලේ” සිදු වූ දේවල් ගැන නෙමෙයි ඔවුන් කතා කරන්නේ. ඇය දෙමාපියන් සමඟ කතා කිරීමට කැමැත්තක් දක්වන නිසා ඒ ගැන ඔවුන් සතුටු වෙයි. එම විකල්පය සාර්ථකයි. ඊට හේතුව සේරාත් ඇගේ දෙමාපියනුත් කටයුතු කරන්නේ ෆිලිප්පි 2:4හි සඳහන් විදිහටයි. “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”

පැහැදිලිව කතා කරන්න

සමහරවිට ඔබ පවසන දේ ඔබේ දෙමාපියන් තේරුම්ගන්නේ වෙනස් විදිහකටයි. උදාහරණයකට ඔබේ දෙමාපියන් ඔබෙන් අහනවා, “ඇයි ඔයා මූණ එල්ලගෙන ඉන්නේ” කියලා. එතකොට ඔබ කියනවා “මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ” කියලා. නමුත් ඔබ කියපු දේ ඔවුන් තේරුම්ගන්නේ මේ විදිහටයි. “මගේ ප්‍රශ්නේ ඔයාලට කියනවට වඩා හොඳයි මගේ යාළුවන්ට කියන එක.” දැන් ඔබ පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට පෙර මේ ගැන සිතන්න. ඔබ ලොකු ගැටලුවකට මුහුණ දෙනවා. ඒ අවස්ථාවේදී ඔබේ දෙමාපියන් ඔබට උපකාර කිරීමට ඉදිරිපත් වෙනවා.

එවිට ඔබ මෙහෙම කිව්වොත්: “අම්මලා කරදර වෙන්න එපා. මට පුළුවන් තනියම ඒක විසඳගන්න.”

ඔබ පවසන දේ දෙමාපියන් කෙසේ තේරුම්ගනීවිද? ․․․․․

පිළිතුරු දිය හැකි වඩා හොඳ ක්‍රමයක් ඔබට තිබෙනවාද? ․․․․․

මේ දේ මතක තබාගන්න. කතා කරන්න කලින් ටිකක් හිතන්න. ඒ වගේම තැන්පත් ස්වරයකින් ගෞරවනීය විදිහට කතා කරන්න. (කොලොස්සි 4:6) ඔබේ දෙමාපියන් ඔබේ මිතුරෝ මිස හතුරෝ නොවෙයි. ඔබ අද්දකින ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමට නම් ඔවුන්ගේ උපකාරයත් ඔබට අවශ්‍ය බව කිසිවිටක අමතක කරන්න එපා.

ඊළඟ පරිච්ඡේදය

දෙමාපියන් සමඟ කතා කරන හැමවිටම ඔබ ඔවුන් සමඟ වාද කරනවා නම් කුමක් කළ හැකිද?

බයිබල් උපදෙස

“මාගේ සිතෙහි ධර්මිෂ්ඨකමට අනුව මම කතා කරන්නෙමි. මා දන්නා දේ මම අවංකව ප්‍රකාශ කරන්නෙමි.”—යෝබ් 33:3.

යෝජනාවක්

ඔබේ ප්‍රශ්න ගැන දෙමාපියන් සමඟ කතා කිරීමට කාලය වෙන් කරගන්න අපහසු නම් ඔවුන් සමඟ ඇවිදින විට, වාහනයෙන් ගමන් කරන විට හෝ සාප්පු යන විට ඒ ගැන කතා කරන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

දෙමාපියන් සමඟ යම් බැරෑරුම් කාරණා කතා කිරීමට ඔබට අපහසුවක් දැනෙනවා වගේම ඔවුන්ටද ඔබ සමඟ කතා කිරීමට අපහසුවක් දැනිය හැකියි.

ගත හැකි පියවර

දෙමාපියන් සමඟ කතා කිරීමට අකමැති නම් ඊළඟ වතාවේදී මම කරන්නේ ․․․․․

මම කතා කරන්න අකමැති දෙයක් ගැන මගේ දෙමාපියන් අහන කොට මම ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● යම් කාරණයක් ගැන කතා කිරීමට සුදුසු වෙලාවක් තෝරාගැනීම නැණවත් දෙයක් වෙන්නේ ඇයි?—හිතෝපදේශ 25:11.

● ඔබේ ගැටලු ගැන දෙමාපියන් සමඟ කතා කිරීමට දරන උත්සාහය වටින්නේ ඇයි?—යෝබ් 12:12.

[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙමාපියන් සමඟ ඔබේ ප්‍රශ්න ගැන කතා කිරීම ලේසි දෙයක් නෙමෙයි. ඒත් අමාරුවෙන් හරි එයාලා එක්ක කතා කළොත් ඔබේ හිතේ බර නිදහස් වුණා වගේ ඔබට දැනෙයි.’’—දෙවානී

[8වන පිටුවේ පින්තූරය]

මාර්ග බාධකයක් ගමනේ අවසානය නොවන්නා සේ දෙමාපියන් සමඟ කතා කිරීමට බාධාවක් ඇති වුණත් උත්සාහය අත්හරින්න එපා!