Skip to content

පටුනට යන්න

ඇයි අපි හැමතිස්සේම වාද කරන්නේ?

ඇයි අපි හැමතිස්සේම වාද කරන්නේ?

2වෙනි පරිච්ඡේදය

ඇයි අපි හැමතිස්සේම වාද කරන්නේ?

රේචල් සහ ඇගේ මව අතර ඇති වූ වාදයේදී මවගේ කේන්තිය වැඩි කිරීමට රේචල් ආකාර තුනකින් දායක වෙනවා. ඒවා හඳුනාගෙන මෙහි ලියන්න. විසිවන පිටුවේ ඇති “ පිළිතුරු” නමැති කොටුව සමඟ ඔබේ පිළිතුරු සසඳන්න.

․․․․․

රේචල්ගේ වයස අවුරුදු 17යි. ඇයට නිවසේ පැවරුණු වැඩ කොටස ඉවර කරලා ටිකක් විවේක ගන්න තම සුපුරුදු පුටුවේ වාඩි වී රූපවාහිනිය නරඹන්න පටන්ගත්තා.

ඒ වෙලාවෙම අම්මා දොර ළඟට ඇවිත් කේන්තියෙන් මෙහෙම කියනවා. “මම ඔයාට කී පාරක් කියලා තියෙනවද TV බලබල කාලේ නාස්ති කරන්නේ නැතුව නංගිගේ ඉස්කෝලේ වැඩවලට උදව් කරන්න කියලා! ඔයා කවදාවත් මම කියන දේ අහන්නේ නැහැ.”

“ඔන්න ඉතින් ආයෙත් පටන්ගත්තා” කියා රේචල් මිමුණුවා.

ඇගේ මව ඉණේ අත් දෙක තබා කේන්තියෙන් මෙසේ කියයි. “මොනවද කිව්වේ?”

“නැහැ මුකුත් නැහැ” කියා රේචල් ඔරවමින් පවසයි.

අම්මට හොඳටම කේන්ති ගිහිල්ලා. “ඔය විදිහට ආයෙත් කතා කළොත් . . .”

“එතකොට ඔයා කතා කරපු විදිහ හොඳද” කියා රේචල් එකට එක කියයි.

විවේක ගැනීම එතැනින් ඉවරයි! අම්මයි දුවයි විවාදයක පැටලිලා.

ඉහත සිද්ධිය ඔබටත් හුරු පුරුදු දෙයක්ද? ඔබත් ඔබේ දෙමාපියන් සමඟ නිතර වාද කරනවාද? ඊට හේතුව කුමක් කියාද ඔබ සිතන්නේ? ඔබ හා ඔබේ දෙමාපියන් අතර මතගැටුම් වැඩියෙන්ම ඇති වෙන්නේ පහත සඳහන් කිනම් කාරණා නිසාද කියා ඊට ඉදිරියෙන් ඇති කොටුව ඇතුළේ ✔ ලකුණ දමන්න. ඔබට තිබෙන්නේ වෙනත් හේතුවක් නම් “වෙනත්” යන වචනය ඉදිරියේ එය ලියන්න.

□ ආකල්ප

□ ගෙදරදොරේ වැඩ

□ ඇඳුම් පැළඳුම්

□ නිවසට ආ යුතු වෙලාව

□ විනෝදය

□ මිත්‍රයන්

□ ගැහැනු ළමයින් හා පිරිමි ළමයින්

□ වෙනත් ․․․․․

කාරණය කුමක් වුණත් දෙමාපියන් සමඟ වාද කිරීමෙන් ඔබේ සිත වගේම ඔවුන්ගේ සිතත් වේදනාවට හා කලකිරීමට පත් වෙනවා. සමහරවිට ඔබ දෙමාපියන් සමඟ වාද කරන්නේ නැහැ. නමුත් කේන්තිය හිතේ තද කරගෙන ඔවුන් කියන දේවල් ඔබ කරනවා. ඔබ එසේ කරන්නේ බයිබලයේ “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” කියා සඳහන් වෙන නිසා විය හැකියි. (එෆීස 6:2, 3) දෙවි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ එයද? නැහැ. දෙවි කියන්නේ “හොඳින් සිතීමේ හැකියාවද” ‘බුද්ධියද’ වර්ධනය කරගන්න කියායි. (හිතෝපදේශ 1:1-4; රෝම 12:1) ඔබ බුද්ධිමත්ව සිතන විට යම් කාරණා පිළිබඳව ඔබට තිබෙන අවබෝධය වැඩි වෙයි. එවිට ඔබ ඔබේම අදහස් හා මත දරන්න පටන්ගනියි. ඉන් සමහරක් දෙමාපියන් දරන අදහස්වලට වඩා වෙනස් වීමටද පුළුවන්. ඒත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නා පවුල් තුළ, දරුවන් හා දෙමාපියන් අතර වෙනස් අදහස් තිබුණත් ඔවුන් සන්සුන්ව කාරණා කතාබහ කර ගැටුම් අවම කරගන්නවා.—කොලොස්සි 3:13.

වාද නොකර ඔබේ අදහස් ප්‍රකාශ කරන්නේ කොහොමද? සමහරවිට ඔබ මෙහෙම හිතනවා ඇති. “අම්මලනේ නිතරම මගේ වැරදි හොයන්නේ? එයාලට තමයි ප්‍රශ්නයක් තියෙන්නේ.” ටිකක් මේ ගැන හිතන්න. ඔබට දෙමාපියන් හෝ වෙනත් අය හිතන විදිහ වෙනස් කරන්න බැහැ. ඒත් ඔබට පුළුවන් ඔබ හිතන විදිහ වෙනස් කරන්න. වාද ඇති නොවන විදිහට ඔබ කටයුතු කළොත් ඔබේ දෙමාපියනුත් සන්සුන්ව ඔබ කියන දේට ඇහුම්කන් දෙයි.

දෙමාපියන් සමඟ වාද නොකර කතාබහ කිරීමට පහත සඳහන් යෝජනා උපකාරවත් වන විදිහ අපි සලකා බලමු. ඒවා අදාළ කරගත් විට ලැබෙන ප්‍රයෝජන ගැන ඔබත් ඔබේ දෙමාපියනුත් පුදුමයට පත් වෙයි.

කතා කිරීමට පෙර සිතන්න. ඔබේ වරදක් දෙමාපියන් පෙන්වා දෙන විට කටට එන දේ කියන්න ඉක්මන් වෙන්න එපා. උදාහරණයකට ඔබේ මව මෙහෙම කියනවා කියා සිතන්න. “ඇයි පිඟන් ටික සේදුවේ නැත්තේ? ඔයාට කියන දෙයක් ඔයා කවදාවත් කරන්නේ නැහැ.” ඔබ කේන්තියෙන් කටට එන දේ කිව්වොත් කියන්නේ මෙය විය හැකියි. “අම්මට හැමතිස්සේම පේන්නේ මගේ වැරදිමයි!” ඒත් ඔබ ටිකක් හිතලා බැලුවා නම් ඔබේ මව ඒ විදිහට කියන්න පෙලඹුණේ ඇයි කියා ඔබ තේරුම්ගන්නවා. “කවදාවත්,” “කොයි වෙලෙත්” යන වචන ගැන ඕනෑවට වඩා කලබල වෙන්න එපා. ඔබේ මව එසේ කතා කළේ ඇය අද්දකින පීඩනය නිසා විය හැකියි. ඇයට පීඩනයක් දැනෙන්නේ ඇයි?

ඔබේ මව නිවසේ දහසකුත් වැඩ නිසා හෙම්බත් වී හෝ කලකිරී සිටිනවා විය හැකියි. ඇයට ඔබේ සහයෝගය අවශ්‍යයි. එවැනි අවස්ථාවක ඔබ, “අම්මට හැමතිස්සේම පේන්නේ මගේ වැරදිමයි” කියලා කිව්වොත් අම්මගේ පීඩනය අඩු වෙයිද? කොහෙත්ම නැහැ. ඒ වෙනුවට ඔබට හැකියි මෙහෙම කියන්න. “අද අම්මට ගොඩක් මහන්සි පාටයි. මම පිඟන් ටික දැන්මම සෝදලා දාන්නම්.” ඔබ කියන වචන සහ ඒවා කියන විදිහ ගැන සැලකිලිමත් වෙන්න. ඇගේ තත්වය ගැන ඔබට ඇත්තෙන්ම අනුකම්පාවක් දැනෙන බව ඔබේ මවට හැඟුණොත් ඇය අද්දකින පීඩනය ගැන ඔබට කීමට පවා පෙලඹෙයි. *

ඔබේ මව හෝ පියා පවසන කුමන දෙයින්ද ඔබ කෝපයට පත් වෙන්නේ කියා ලියන්න.

․․․․․

දැන් ඔවුන් සිටින තත්වය ඔබ තේරුම්ගත් බව අඟවන පිළිතුරක් ලියන්න.

․․․․․

ගෞරවනීය ලෙස කතා කරන්න. ඇගේ මව සමඟ කතා කරන විදිහ ගැන හුඟක් සැලකිලිමත් විය යුතුයි කියා මිෂෙල් අද්දැකීමෙන්ම දන්නා දෙයක්. “මොකක් හරි ප්‍රශ්නයක් ගැන අම්මත් එක්ක කතා කළොත් මම ඒක කියන විදිහ නිසා අම්මට කේන්ති යනවා.” ඔබේ අද්දැකීමත් ඊට සමාන නම් සන්සුන්ව කතා කිරීමට ඉගෙනගන්න. එරවිලි ගැස්සිලි මගින් ඔබ තුළ තිබෙන කෝපය පිට කිරීමෙන් වළකින්න. (හිතෝපදේශ 30:17) ඔබේ කෝපය පාලනය කිරීමට බැහැයි කියා ඔබට සිතුණොත් නිහඬව කෙටි යාච්ඤාවක් කරන්න. (නෙහෙමියා 2:4) ඔබ එසේ දෙවිගෙන් උපකාරය ඉල්ලන්නේ ඔබේ කෝපය පාලනය කිරීමට මිස දෙමාපියන්ගේ කෝපය නිවා දැමීමට නොවෙයි.—යාකොබ් 1:26.

ඔබ වැළකී සිටිය යුතුයි කියා සිතන, නමුත් සාමාන්‍යයෙන් ඔබ කියන හෝ කරන දේවල් ලියන්න.

කියන දේවල්:

․․․․․

කරන දේවල්:

․․․․․

හොඳින් සවන් දෙන්න. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “කතාබහ වැඩි වූ විට වරදකට හසු වීමේ ඉඩකඩද වැඩිය.” (හිතෝපදේශ 10:19) ඒ නිසා ඔබේ දෙමාපියන්ට කතා කරන්න අවස්ථාවක් ලබා දී ඔවුන් කියන දේට හොඳ අවධානයක් දෙන්න. ඔවුන් කතා කරන විට ඊට බාධා වන ලෙස ඔබේ අදහස් ඉදිරිපත් කරන්න එපා. ඔවුන් කතා කර අවසන් වන තුරු ඉන්න. ඉන්පසු ඔබට අහන්න තියෙන ප්‍රශ්නයක් හෝ කීමට ඇති අදහසක් සන්සුන්ව කියන්න. ඔබ මුරණ්ඩු ලෙස ඔබේ මතය ඉදිරිපත් කිරීමට වෑයම් කිරීමෙන් සිදු වෙන්නේ තත්වය තවත් දරුණු වීමයි. ඔබට කීමට බොහෝ දේ තිබිය හැකියි. නමුත් සමහර අවස්ථාවලදී “නිහඬව සිටීම” සුදුසුම දෙයයි.—දේශනාකාරයා 3:7.

සමාව ඉල්ලන්න. ඔබ නිසා ගැටලුවක් ඇති වුණා නම් “මට සමාවෙන්න” කියා පැවසීම හොඳ දෙයක්. (රෝම 14:19) දෙමාපියන් සමඟ කෙළින්ම ඒ ගැන කතා කිරීමට ඔබට අපහසු නම් ඔබට දැනෙන දේ සඳහන් කරමින් ලිපියක් ලියන්න. එම ගැටලුව විසඳාගැනීමට ඔබ කළ යුතු දේ කිරීමට උපරිම උත්සාහයක් දරන්න. එය හරියට ‘සැතපුමක් යන්න අණ කරන විට දෙකක් යන්න’ කියා බයිබලයේ සඳහන් උපදෙසට සමානයි. (මතෙව් 5:41) උදාහරණයකට විවාදයකට හේතුව ඔබට පැවරූ වැඩක් අතපසු වීම නම් මින් ඉදිරියට එය අතපසු නොකිරීමෙන් ඔබේ දෙමාපියන්ව සතුටු කිරීමට ඔබට හැකියි. ඔබට පැවරී ඇති වැඩවලට ඔබ කැමති නැතුව ඇති. ඒත් එය නොකර ඔබේ දෙමාපියන්ගෙන් බැණුම් අහනවාට වඩා ඒ වැඩ ටික කරන එක හොඳයි කියා ඔබට සිතෙන්නේ නැද්ද? (මතෙව් 21:28-31) එසේ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන සිතන්න.

සතුටින් කල් ගෙවන පවුල් තුළ පවා මතගැටුම් ඇති වෙනවා. නමුත් ඒවා සාමකාමීව විසඳගන්නා ආකාරය ඔවුන් දන්නවා. මෙම පරිච්ඡේදය තුළ ලබා දී තිබෙන යෝජනා අත්හදා බලන්න. එසේ කිරීමෙන් ඔබේ දෙමාපියන් සමඟ කතා කිරීමට අමාරු කාරණා ගැන පවා වාදවිවාදවලින් තොරව කතා කිරීමට ඔබට හැකි වෙයි.

ඊළඟ පරිච්ඡේදය

ඔබේ දෙමාපියන් ඔබට දී තිබෙන නිදහස අඩුයි කියා ඔබට හැඟෙනවාද? ඔබට ඒ ගැන කුමක් කළ හැකිද?

[පාදසටහන]

^ 26 ඡේ. වැඩි විස්තර සඳහා 2වන පොතේ 21වන පරිච්ඡේදය බලන්න.

බයිබල් උපදෙස

“ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලයි.”—හිතෝපදේශ 15:28.

යෝජනාවක්

දෙමාපියන් ඔබ සමඟ කතා කරන විට ඔබ සංගීතයට සවන් දෙමින් සිටිනවා නම් එය නවතා දමන්න. පොතක් හෝ සඟරාවක් කියවමින් සිටිනවා නම් එය නවතා ඔවුන් දිහා බලා ඔවුන් කියන දේට සවන් දෙන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබ විවාදයක් වැළැක්වීමට හෝ විසඳාගැනීමට උත්සාහ කරනවා නම් ඔබට ඇති වන කලකිරීම අඩු කරගන්න පුළුවන්. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ප්‍රේමණීයව කටයුතු කරන තැනැත්තා බොහෝ ආශීර්වාද ලබයි.”හිතෝපදේශ 11:17.

ගත හැකි පියවර

මෙම පරිච්ඡේදයේ තිබෙන යෝජනා අතරින් මම මුලින්ම අදාළ කළ යුතු යෝජනාව වෙන්නේ ․․․․․

මම එම යෝජනාව අදාළ කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ දිනයේ සිටයි ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● ඔබේ මිතුරන්ගෙන් සමහර අය වාද කර දිනන්නම කැමති ඇයි?

● විවාදශීලී පුද්ගලයෙක් අඥාන කෙනෙක් හැටියට යෙහෝවා දෙවි සලකන්නේ ඇයි?—හිතෝපදේශ 20:3.

● විවාදයක් නිසා ඔබ සහ ඔබේ දෙමාපියන් අතර ඇති වන පීඩනය මඟහරවා ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

[18වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සමහර වෙලාවට මගේ අම්මා මාව බදාගෙන ‘මට සමාවෙන්න’ කියලා කියනවා. ඒකට මං හරි ආසයි. එතකොට ප්‍රශ්නේ විසඳිලා. මමත් මගේ මුරණ්ඩුකම පැත්තකින් තියලා ඒ වගේ කරන්න උත්සාහ කරනවා. ඒක කරන්න ලේසි නැහැ. ඒත් ‘මට සමාවෙන්න’ කියලා කියන එක තමයි ගැටලු විසඳගන්න තියෙන හොඳම බෙහෙත.’’—ලෝරන්

[20වන පිටුවේ කොටුව]

 පිළිතුරු

1. “ආයෙත් පටන්ගත්තා” කියා රේචල් මිමිනීමෙන් සිදු වුණේ ඇගේ මවගේ කේන්තිය තවත් වැඩි වීමයි.

2. මව දෙස බලා එරවීමෙන් ප්‍රශ්නය තවත් වැඩි වුණා.

3. එකට එක කීම නිසාත් (“එතකොට ඔයා කතා කරපු විදිහ හොඳද?”) තත්වය තවත් දරුණු වුණා.

[19වන පිටුවේ පින්තූරය]

දෙමාපියන් සමඟ වාද කිරීම හරියට ඔබ එක තැන දුවනවා හා සමානයි. ඔබ කොතරම් ශක්තියක් වැය කළත් ඔබට ඉදිරියට යෑමට නොහැකියි