Skip to content

පටුනට යන්න

ඇයි මට මෙතරම් සීමා තහංචි?

ඇයි මට මෙතරම් සීමා තහංචි?

3වෙනි පරිච්ඡේදය

ඇයි මට මෙතරම් සීමා තහංචි?

“අම්මලා මට තනියම ගමන්බිමන් යන්න ටිකක් ඉඩ දෙනවා නම් මම ආසයි.”—18 හැවිරිදි සේරා.

“මගේ යාළුවන් එක්ක කොහේ හරි යන්න හදන කොට අම්මලා ඒකට ඉඩ දෙන්නේ නැහැ. මම හැමතිස්සේම අහන්නේ ඇයි මාව විශ්වාස නැත්තේ කියලා. එයාලා කියනවා ‘අපිට ඔයා ගැන විශ්වාසයි. ඒත් ඔයාගේ යාළුවන්ව නම් විශ්වාස නැහැ කියලා.’”—18 හැවිරිදි ක්‍රිස්ටීන්.

ඔබටත් ලැබී තිබෙන නිදහස මදියි කියා සිතෙනවාද? එය වැඩි කරගන්න නම් ඔබත් යමක් කළ යුතුයි. එනම් දෙමාපියන්ගේ විශ්වාසය ඔබ දිනාගත යුතුයි. විශ්වාසය හරියට මුදල් වගෙයි. එය උපයාගන්න අමාරුයි. නමුත් නැති වී යන්නේ ක්ෂණයකින්. ඒ වගේම යමෙකුට කොතරම් මුදල් ලැබුණත් ඔහු කවදාවත් සෑහීමට පත් වෙන්නේ නැහැ. නිදහසත් ඒ හා සමානයි. දහසය හැවිරිදි ඉල්යානා මෙහෙම කියනවා. “මට ගමනක් යන්න ඕනේ වුණාම මගේ අම්මයි තාත්තයි, කොහේද යන්නේ, කා එක්කද යන්නේ, මොකටද යන්නේ, කීයටද එන්නේ වගේ ප්‍රශ්න වැලක් අහනවා. මම දන්නවා එයාලට එහෙම අහන්න අයිතියක් තියෙනවා කියලා. ඒත් ඒ වගේ ප්‍රශ්න අහන කොට මට හරියට කේන්ති යනවා.”

දෙමාපියන්ගේ විශ්වාසය දිනාගැනීමට ඔබට මොනවාද කරන්න පුළුවන්? ඊට පිළිතුරු දීමට පෙර, විශ්වාසය නමැති විෂය දෙමාපියන් හා දරුවන් අතර මෙතරම් මතභේදයට හේතු වී තිබෙන්නේ ඇයි කියා සලකා බලමු.

යොවුන් වියෙන් වැඩිහිටි වියට

‘මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වන’ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 2:24) ස්ත්‍රියකටත් එය අදාළයි. ඔබ පිරිමි ළමයෙක් වුණත් ගැහැනු ළමයෙක් වුණත් යොවුන් විය ඔබේ ජීවිතයේ වැදගත් අවදියක්. මන්ද ඔබ වැඩිහිටියෙක් ලෙස ඔබේ පියාගෙන්ද මවගෙන්ද වෙන් වී ඔබේම කියා පවුල් ජීවිතයක් ආරම්භ කිරීමට පුහුණුව ලබන්නේ ඒ අවදියේදීයි. *

යොවුන් වියේ සිටින ඔබ එකවිගස වැඩිහිටියෙකු වෙන්නේ නැහැ. වැඩිහිටි වියට පා තැබීම හරියට පඩි පෙළක් නඟිනවා හා සමානයි. ඔබ එම පඩි පෙළේ කොතෙක් ඉහළට නැඟ තිබෙනවාද කියා ඔබත් ඔබේ දෙමාපියන් අතරත් එකිනෙකට වෙනස් මත තිබෙන්න පුළුවන්. ඒ ගැන මරියා පවසන්නේ මෙයයි. “මට දැන් අවුරුදු 20යි. ඒත් තාම අම්මලා හිතන්නේ මම පොඩි ළමයෙක් කියලා. මට මගේ යාළුවන්ව තෝරගන්න බැහැ කියලයි එයාලා හිතන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් වුණාම ඒකෙන් ගැලවිලා එන විදිහ මම දන්නේ නැහැ කියලා අම්මලා හිතනවා. ඒත්, දැනටමත් මම ඒ වගේ දේවල්වලින් ගැලවිලා තියෙන විදිහ මම එයාලට කියලා තියෙනවා. ඒ වුණාට අම්මලාට මාව විශ්වාස නැහැ.”

විශ්වාසය කියන විෂය දෙමාපියන් හා යෞවනයන් අතර දැඩි මතභේදයට තුඩු දී ඇති බව මරියා පැවසූ දෙයින් පැහැදිලි වෙනවා. ඔබේ පවුල තුළත් එවැනි තත්වයක් තිබෙනවාද? එය විසඳාගැනීමට කුමක් කළ හැකිද? ඔබේ අඥාන ක්‍රියාවක් නිසා දෙමාපියන්ට ඔබ ගැන තිබූ විශ්වාසය බිඳී තිබෙනවා නම් නැවත එය දිනාගැනීමට ඔබට කුමක් කළ හැකිද?

ඔබ විශ්වාසවන්ත කෙනෙක් බව පෙන්වන්න

පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට යේසුස්ගේ නියෝජිතයෙක් වූ පාවුල් මෙවැනි දෙයක් ලිව්වා. “ඔබ කුමනාකාරයේ පුද්ගලයන්ද කියා නිරතුරුවම පරීක්ෂා කර බලන්න.” (2 කොරින්ති 13:5) ඔහු ඒ දේ ලිව්වේ යෞවනයන්ට විතරක් නොවෙයි. නමුත් එයින් යෞවනයන්ටත් යමක් ඉගෙනගත හැකියි. ඔබට කොතරම් නිදහසක් ලැබෙනවාද යන්න තීරණය වෙන්නේ ඔබ කොතරම් විශ්වාසවන්තව කටයුතු කරනවාද යන කාරණය මතයි. නමුත් විශ්වාසවන්තව කටයුතු කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔබ අතින් කවදාවත් වරදක් වෙන්නේ නැහැයි කියා නොවෙයි. මන්ද අපි සියලුදෙනා අතින් වැරදි සිදු වෙනවා. (දේශනාකාරයා 7:20) ඔබේ දෙමාපියන් ඔබව විශ්වාස කිරීමට මැළි වෙනවා නම් ඒ ඔබ හැසිරෙන ආකාරය නිසාද කියා සිතා බලන්න.

පාවුල් සඳහන් කළ මේ දේ සැලකිල්ලට ගන්න. ‘අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති විය යුතුයි.’ (හෙබ්‍රෙව් 13:18) මේ ගැන ටිකක් හිතන්න. ඔබ යන එන තැන් ගැන සහ ඔබ කරන දේවල් ගැන ඔබේ දෙමාපියන් ඇසූ විට ඔබ ඔවුන්ට පිළිතුරු දුන්නේ අවංකවද? තමන්ගේ හැසිරීම සම්බන්ධයෙන් යම් වෙනස්කම් කළ යුතුයි කියා තේරුම්ගත් ඇතැම් යෞවනියන් පවසන දේ පහත සඳහන් වෙයි. ඔවුන් පැවසූ දේ කියවූ පසු අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න.

ලෝරි: “මගේ හිත ගිය පිරිමි ළමයෙක් එක්ක මම හොරෙන් ඊ-මේල් හුවමාරු කරගත්තා. ඒක මගේ අම්මලාට අහු වුණා. එයාලා මට ඒක නවත්වන්න කිව්වා. මම පොරොන්දු වුණා නවත්වනවා කියලා. ඒත් අවුරුද්දක්ම ඒ විදිහට හොරෙන් හොරෙන් ඊ-මේල් යැව්වා. අන්තිමේදී මං ගැන තිබ්බ විශ්වාසය නැති වුණා.”

ඔබ හිතන විදිහට ලෝරිගේ දෙමාපියන් ඇයව විශ්වාස නොකළේ ඇයි? ․․․․․

ඔබ ලෝරිගේ මව හෝ පියා නම් ඔබ කරන්නේ කුමක්ද? ඒ ඇයි? ․․․․․

ලෝරිගේ දෙමාපියන් ඇයට මුලින් අවවාද කළාට පස්සේ ඇය ක්‍රියා කළ යුතුව තිබුණේ කෙසේද? ․․․․․

බෙවලි: “මම පිරිමි ළමයි ආශ්‍රය කරද්දී මගේ සීමාව තේරුම්ගන්නේ නැහැ කියලා අම්මලා හිතුවා. දැන් මම දන්නවා අම්මලා එහෙම හිතුවේ ඇයි කියලා. මම, මට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් පිරිමි ළමයි දෙතුන්දෙනෙක් එක්ක ටිකක් වැඩියෙන් ආශ්‍රය කළා. මම ෆෝන් එකේ පැය ගණන් එයාලත් එක්ක කතා කළා. සාදවලට ගියාම ඒ පිරිමි ළමයි එක්කමයි හිටියේ. අම්මලා මගේ ෆෝන් එක අරගෙන මාසයක් යන කල් දුන්නේ නැහැ. ඒ ළමයි යන එන තැන්වලට මට යන්න දුන්නෙත් නැහැ.”

ඔබ බෙවලිගේ දෙමාපියන් නම් ඔබ කරන්නේ කුමක්ද? ඒ ඇයි? ․․․․․

බෙවලිගේ දෙමාපියන් ඇයට දැමූ සීමා තහංචි අසාධාරණයි කියා ඔබ සිතනවාද? එසේනම් ඊට හේතුව කුමක්ද? ․․․․․

තම දෙමාපියන්ගේ විශ්වාසය දිනාගැනීමට බෙවලිට කරන්න තිබුණේ කුමක්ද? ․․․․․

බිඳී ගිය විශ්වාසය දිනාගැනීම

ලෝරි සහ බෙවලි මෙන් ඔබ කළ යම් දේවල් නිසා ඔබේ දෙමාපියන්ගේ විශ්වාසය බිඳී ගොස් තිබෙනවා නම් කුමක් කළ හැකිද? ඔබට පුළුවන් නැවත ඔවුන්ගේ විශ්වාසය දිනාගන්න. ඒ සඳහා කළ හැක්කේ කුමක්ද?

ඔබ වගකීමෙන් යුතුව හැසිරෙන කෙනෙක් බව පෙන්වන්න. එවිට දෙමාපියන්ට ඔබ කෙරෙහි තිබෙන විශ්වාසය ටිකෙන් ටික වැඩි වන අතර ඔවුන් ඔබට දමා තිබෙන සීමා තහංචි අඩු කරන්නත් ඉඩ තිබෙනවා. ඇනට් නමැති යෞවනිය එම කාරණය හොඳින් අවබෝධ කරගත්තා. “පුංචි කාලේ නම් අනික් අය අපිව විශ්වාස කිරීම අපිට එච්චර වැදගත් නැහැ. ඒත් දැන් මට තේරෙනවා ඒකේ ඇති වැදගත්කම. මම හැමතිස්සේම දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න විදිහට තමයි දේවල් කරන්නේ.” ඉන් ඔබට යමක් ඉගෙනගත හැකිද? දෙමාපියන් ඔබව විශ්වාස කරන්නේ නැහැයි කියා නිතර දොස් කියනවා වෙනුවට දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන් ආකාරයෙන් හැසිරීමට වෑයම් කරන්න. එවිට ඔබට දමා තිබෙන සීමා තහංචි අඩු වෙන අතර ඔබට වැඩි නිදහසක් ලැබෙයි.

පහත සඳහන් කාරණාවලදී ඔබ විශ්වාසවන්තව කටයුතු කරනවාද? ඔබ දියුණු විය යුතු පැති තිබෙනවා නම් ඊට ඉදිරියෙන් ඇති කොටුව තුළ ✔ ලකුණ දමන්න.

□ පොරොන්දු කඩ නොකිරීම

□ නිවසට පැමිණිය යුතු වෙලාව

□ වෙලාවට වැඩ කිරීම

□ මුදල් පරෙස්සමෙන් පාවිච්චි කිරීම

□ වෙලාවට නැඟිටීම

□ නිවසේ පවරා ඇති වැඩ කිරීම

□ ඇත්ත කතා කිරීම

□ කාමරය පිරිසිදුව තබාගැනීම

□ දුරකථනය හෝ පරිගණකය පාවිච්චි කිරීම

□ වරද පිළිගැනීම සහ සමාව ඉල්ලීම

□ වෙනත් ․․․․․

ඔබ ලකුණු කළ කාරණා සම්බන්ධයෙන් විශ්වාසවන්තව කටයුතු කරන බව ඔප්පු කරන්න. බයිබලයේ සඳහන් මෙම උපදෙස් පිළිපදින්න. ‘ඔබේ පරණ පෞද්ගලිකත්වය අහක දමන්න.’ (එෆීස 4:22) “එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියා” කියන්න. (යාකොබ් 5:12) ‘එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කරන්න.’ (එෆීස 4:25) “සියලු කාරණාවලදී ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.” (කොලොස්සි 3:20) කාලයත් සමඟ ඔබ දියුණු වන අන්දම ඔබේ දෙමාපියන් ඇතුළු සියලුදෙනාටම දැකගන්න පුළුවන් වෙයි.1 තිමෝති 4:15.

ඔබ කොතරම් උත්සාහ දැරුවත් දෙමාපියන් ඔබට නිදහසක් ලබා දෙන්නේ නැහැ කියා ඔබට සිතෙනවා නම් ඒ ගැන දෙමාපියන් සමඟ කතා කරන්න. ඔවුන් ඔබව විශ්වාස නොකරන්නේ ඇයි කියා චෝදනා කරනවා වෙනුවට විශ්වාසය දිනාගැනීමට ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔවුන්ගෙන් අසන්න. ඔබේ ඉලක්ක පැහැදිලිව ඔවුන්ට කියන්න.

දෙමාපියන් සමඟ කතා කළ විගස ගැටලුව විසඳෙයි කියා බලාපොරොත්තු වෙන්න එපා. ඔබ කියූ ලෙස කරයිද කියා බැලීමට ඔවුන්ට කාලය අවශ්‍ය විය හැකියි. ඒ නිසා ඔබ විශ්වාසවන්ත කෙනෙක් බව පෙන්වන්න. කාලයක් යන විට දෙමාපියන් ඔබව විශ්වාස කරමින් ඔබට වැඩි නිදහසක් ලබා දීමට කැමති වෙයි. කලින් සඳහන් කළ බෙවලි එය අද්දැක්කා. “විශ්වාසය දිනාගන්න අමාරුයි. ඒත් ඒක නැති වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. අම්මලාට දැන් මං ගැන තියෙන විශ්වාසය ටිකෙන් ටික වැඩි වෙනවා. මටත් දැන් සතුටුයි” කියා ඇය පැවසුවා.

තවත් දැනගැනීමට 2වන පොතේ 22වන පරිච්ඡේදය බලන්න

ඊළඟ පරිච්ඡේදය

ඔබේ දෙමාපියන් දික්කසාද වෙලාද? ඔබේ මුළු ලෝකයම බිඳ වැටෙද්දී ඔබ එය දරාගන්නේ කොහොමද?

[පාදසටහන]

^ 8 ඡේ. වැඩි විස්තර සඳහා මේ පොතේ 7වන පරිච්ඡේදය බලන්න.

බයිබල් උපදෙස

‘නිදහස ඔබට තිබුණත් නපුරු ක්‍රියා වසං කිරීමට එය හේතුවක් කර නොගන්න.’—1 පේතෘස් 2:16.

යෝජනාවක්

ඔබේ අයියලා අක්කලාට තිබෙන නිදහස ඔබට ලැබී තිබෙන නිදහස සමඟ සසඳනවාට වඩා ඔබට කලින් තිබූ නිදහසත් දැන් තිබෙන නිදහසත් සසඳා බලන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

දරුවන්ට අසීමිත නිදහසක් ලබා දීම ප්‍රේමය පෙන්වීමක් නොව නොසැලකිලිමත්කමක්.

ගත හැකි පියවර

පහත සඳහන් කාරණා ගැන මම මීට වඩා විශ්වාසවන්තව කටයුතු කරනවා ․․․․․

දෙමාපියන්ට මා ගැන තිබූ විශ්වාසය බිඳුණොත් මම කරන්නේ ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● ඔබ විශ්වාසවන්ත කෙනෙක් බව පෙන්වීමට කොතරම් උත්සාහ දැරුවත් ඔබේ දෙමාපියන් ඔබට වැඩි නිදහසක් ලබා දෙන්න සමහරවිට අකමැති වෙන්නේ ඇයි?

● ඔබ දෙමාපියන් සමඟ අදහස් හුවමාරු කරන විදිහ ඔබට වැඩි නිදහසක් ලැබීමට හේතු වෙන්නේ කොහොමද?

[24වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘අම්මලත් එක්ක මගේ ගැටලු ගැන කතා කරද්දී මම විවෘතව කතා කරනවා. ඒ නිසා මාව විශ්වාස කරන්න ඔවුන්ට පහසුයි කියලා මට හිතෙනවා.’’—ඩයැන්නා

[23වන පිටුවේ රූප සටහන/​පින්තූරය]

යොවුන් වියේ සිටින ඔබ වැඩිහිටි වියට පා තැබීම හරියට පඩි පෙළක් නඟිනවා හා සමානයි

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

වැඩිහිටි විය

යොවුන් විය

ළමා විය