Skip to content

පටුනට යන්න

අම්මා හරි තාත්තා හරි වෙන විවාහයක් කරගත්තොත්?

අම්මා හරි තාත්තා හරි වෙන විවාහයක් කරගත්තොත්?

5වෙනි පරිච්ඡේදය

අම්මා හරි තාත්තා හරි වෙන විවාහයක් කරගත්තොත්?

ඔබේ මව හෝ පියා නැවත විවාහ වන දා ඔහුට හෝ ඇයට ලොකු සතුටක් දැනෙන්න පුළුවන්. ඒත් ඔබට සතුටට වඩා දුකක් දැනෙන්න පුළුවන්. ඒ ඔබේම මව සහ පියා නැවත එක් වෙයි කියා ඔබට තිබූ බලාපොරොත්තුව සුන් වූ නිසයි. අනික් අතට ඔබේ මව හෝ පියා මිය ගිය විගස ජීවතුන් අතර සිටින මව හෝ පියා නැවත විවාහ වුණා නම් එය ඔබට දරාගත නොහැකි දුකක් විය හැකියි.

මව හෝ පියා වෙනත් විවාහයක් කරගත් විට ඔබට හැඟුණේ කොහොමද? ඔබට හැඟුණු දේ ඉදිරියෙන් ✔ ලකුණ දමන්න.

මට හැඟුණේ . . .

□ සතුටක්

□ අනාරක්ෂිත බවක්

□ විශ්වාසය බිඳ දැමූ බවක්

□ අලුත් මව හෝ පියා ගැන ඊර්ෂ්‍යාවක්

□ අලුත් මවට හෝ පියාට ළැදි නිසා මගේම මවට හෝ පියාට ද්‍රෝහි වූ බවක්

අන්තිම කාරණයට හේතුව, ඔබෙන් වෙන් වූ මවට හෝ පියාට තිබූ විශ්වාසය ඔබ කැඩුවා කියා හැඟෙන නිසා විය හැකියි. හේතුව කුමක් වුණත් ඔබට දැනෙන වේදනාව නිසා අකාරුණික දේවල් කරන්න ඔබ පෙලඹිය හැකියි.

උදාහරණයකට ඔබට දැනෙන වේදනාව නිසා දෙවෙනි මවට හෝ පියාට හිරිහැර කිරීමට එසේ නැතහොත් ඔවුන්ගේ විවාහය දෙකඩ කිරීමට ඔබ තැත් කළ හැකියි. ඒත් බයිබලයේ කියා තිබෙන දේ සලකා බලන්න. “තමාගේ ගෙයි වැසියන් පිටට ශාපයක් ගෙනෙන තැනැත්තා කිසි දෙයක් අත් කරගැනීමට සමත් වන්නේ නැත.” (හිතෝපදේශ 11:29) ඔබ එවැනි තත්වයකට පත් විය යුතු නැහැ. ඔබට තිබෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා පහත සඳහන් යෝජනා සලකා බලන්න.

පළමුවන අභියෝගය: දෙවෙනි මවට හෝ පියාට යටත් වීම

දෙවෙනි මවට හෝ පියාට යටත් වීම පහසු නැහැ. ඔහු හෝ ඇය ඔබට යමක් කරන්න කිව්වොත් ‘ඔයා මගේ අම්මා/තාත්තා නෙමෙයිනේ’ කියා එකපාරටම කියන්න ඔබ පෙලඹිය හැකියි. එසේ කිරීමෙන් ඔබට යම් සහනයක් දැනෙන්න පුළුවන්. ඒත් දැනුම් තේරුම් ඇති කෙනෙක් ඒ විදිහට කටයුතු කරන්නේ නැහැ.

ඔබ දෙවෙනි මවට හෝ පියාට ගරු කරනවා නම් ඉන් පෙන්වන්නේ බයිබලයේ සඳහන් මෙම උපදෙස ඔබ පිළිපදින බවයි. “වැඩිහිටියෙකු මෙන් තේරුම්ගැනීමේ හැකියාව ඇතුව කටයුතු කරන්න.” (1 කොරින්ති 14:20) ඔබේම මව හෝ පියා අතින් ඉටු විය යුතු වගකීම් දැන් ඉටු කරන්නේ දෙවෙනි මව හෝ පියායි. ඒ නිසා ඔවුන්ට ගෞරව කළ යුතුයි කියා ඔබට සිතෙන්නේ නැද්ද?—හිතෝපදේශ 1:8; එෆීස 6:1-4.

දෙවෙනි මව හෝ පියා යම් හික්මවීමක් ලබා දෙන්නේ ඔබට තිබෙන ආදරය හා සැලකිල්ල නිසයි. (හිතෝපදේශ 13:24) එය 18 හැවිරිදි ඉවෝන් තේරුම්ගත්තා. “අපිව හික්මවන එක වැරදි නැහැ. ඕනෑම තාත්තා කෙනෙක් ඒ දේ කරනවා. මට අවවාදයක් දුන්නාම කේන්ති යනවා නම් ඒකෙන් පෙන්නන්නේ මෙච්චර කාලයක් මට කන්න බොන්න දීලා මාව දෙවිගේ මාර්ගයේ ගෙනි යන්න එයා කරපු දේවලුත් මම අගේ කරන්නේ නැහැ කියලයි. එහෙම කරන එක කළ ගුණ සැලකීමක් නෙමෙයි.”

ඔබට දැනෙන කේන්තියට සාධාරණ හේතු ඇති. එහෙම වුණත් කොලොස්සි 3:13හි කියන විදිහට කටයුතු කිරීමෙන් වැඩිහිටියෙකු මෙන් ක්‍රියා කරන්න ඔබට පුළුවන්. එහි සඳහන් වෙන්නේ, “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න” කියායි.

දෙවෙනි මවට හෝ පියාට තිබෙන හොඳ ගතිගුණ දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලියන්න.

․․․․․

දෙවෙනි මවගේ හෝ පියාගේ හොඳ ගතිගුණ ගැන කල්පනා කිරීම ඔවුන්ට ගරු කිරීමට උපකාරවත් වෙන්නේ කොහොමද?

․․․․․

දෙවන අභියෝගය: සහයෝගයෙන් ජීවත් වීමට ඉගෙනගැනීම

අවුරුදු 24ක් වන එරන් කියන දේ බලන්න. “මගේ තාත්තා තුන් වතාවක් විවාහ වුණා. පළමුවෙනි විවාහයේ දරුවා හැටියට ඒ අලුත් පවුල්වලට හැඩගැහෙන්න මට ලේසි වුණේ නැහැ. මුලදී මට දැනුණේ ඒ අය අමුත්තෝ වගේ. ඒත් එයාලට ආදරයෙන් සලකන්න කියලා මට බල කෙරුවා. මට ඒක මහ බරක් වගේ දැනුණේ.”

ඔබටත් යම් අභියෝග ඇති. උදාහරණයකට ඔබ, ඔබේ පවුලේ වැඩිමල් දරුවා හෝ එකම දරුවා නම් අලුත් විවාහය නිසා ඒ තැන ඔබට අහිමි විය හැකියි. ඔබ පිරිමි දරුවෙක් නම් කාලයක් පුරා පවුලේ වගකීම් ඔබ අතින් ඉටු වෙන්න ඇති. නමුත් දැන් ඒ වගකීම් දරන්නේ ඔබේ දෙවෙනි පියායි. එසේ නැතහොත් ඔබේ අද්දැකීම ඉවෝන්ගේ ඇද්දැකීමට සමාන විය හැකියි. “මගේ තාත්තා කවදාවත් අම්මට ආදරයෙන් සැලකුවේ නැහැ. අම්මයි මායි තමයි වැඩි කාලයක් එකට ගත කළේ. ඒත් අම්මා ආයෙත් බැන්දට පස්සේ ඒ තාත්තා අම්මාව හොඳට බලාගත්තා. හුඟක් වෙලාවට ඒ දෙන්නා එකට කාලය ගත කෙරුවා. මට හිතුණේ ඒ තාත්තා අම්මාව මගෙන් උදුරගත්තා කියලා. ඒත් කාලයක් යන කොට මම ඒ තත්වයට හැඩගැහුණා.”

ඉවෝන් වගේ ඔබටත් තත්වයට අනුව හැඩගැහෙන්න පුළුවන්ද? “ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ෆිලිප්පි 4:5) “සාධාරණ” ලෙස පරිවර්තනය කර තිබෙන වචනයේ මුල් අදහසට, ‘තම අයිතිවාසිකම් බලෙන් ලබාගැනීමට උත්සාහ නොකර අන් අයට ඉඩ දීම’ යන අදහස ඇතුළත් වෙනවා. ඔබට එලෙස කටයුතු කරන්න පුළුවන් කොහොමද? ඒ සඳහා, (1) කලින් ගත කළ ජීවිතය ගැන හිතහිතා ඉන්න එපා. (දේශනාකාරයා 7:10) (2) අලුත් මව හෝ පියා සමඟත් අලුත පවුලට එක් වූ සහෝදර සහෝදරියන් සමඟත් දේවල් බෙදා හදා ගැනීමට පුරුදු වෙන්න. (1 තිමෝති 6:18) (3) ඔවුන්ටත් තමන්ගේම අයට මෙන් සලකන්න.

ඉහත කී කාරණාවලින් ඔබ දියුණු විය යුත්තේ කුමන කාරණයද? ․․․․․

තුන්වන අභියෝගය: වෙනස්කම් සිදු වන විට දරාගැනීම

“මටයි අක්කටයි වඩා මගේ දෙවෙනි තාත්තා එයාගේ ළමයින්ට ආදරෙයි. එයාලා කන්න කැමති කෑම, බලන්න කැමති ෆිල්ම්ස්, තාත්තා ගෙනත් දෙනවා. එයාලව සතුටු කරන්න ඕනෙම දෙයක් කරනවා.” එහෙම කියන්නේ ටාරා. එක පවුලක් තුළ ඒ වගේ දේවල් සිදු වන විට දරාගන්න අමාරුයි. ඒත් එසේ සිදු වෙන්නේ ඇයි කියා තේරුම්ගැනීමෙන් ඒ දුක දරාගැනීමට ඔබට හැකි වෙයි. ඔහු හෝ ඇය එසේ කරන්නේ ඒ දරුවන් තමන්ගේම දරුවන් නිසා නොවෙන්න පුළුවන්. නමුත් ඔහු හෝ ඇය ඒ දරුවන් සමඟ පවුලක් හැටියට කාලයක් එකට ජීවත් වූ නිසා විය හැකියි. ඔබට වුණත් ඔබේ දෙවෙනි මවට හෝ පියාට වඩා ඔබේම මවට හෝ පියාට සමීප බවක් දැනෙනවා නේද?

එක් එක් අයගේ පෞද්ගලිකත්වයන් හා අවශ්‍යතාවන් වෙනස්. ඒ නිසා ඔබේ දෙවෙනි මව හෝ පියා ඔවුන්ගේ දරුවන්ට සලකන ආකාරයටම ඔබට සැලකිය යුතුයි කියා සිතනවාට වඩා, ඔබේ ඕනෑ එපාකම් ඔහු හෝ ඇය ඉටු කර දෙනවාද කියා සිතා බලන්න. එම දේවල් ඔබට සපයනවා නම් ඔහු හෝ ඇය ඔබට සාධාරණව සලකනවා කියා පැවසිය හැකියි.

ඔබේ දෙවෙනි මව හෝ පියා ඉටු කර දෙන්නේ ඔබේ කුමන අවශ්‍යතාවන්ද?

․․․․․

නොසලකා හරිනවා කියා සිතෙන්නේ ඔබේ කුමන අවශ්‍යතාවන්ද?

․․․․․

ඔබේ සමහර අවශ්‍යතාවන් ඉටු කර දෙන්නේ නැහැයි කියා ඔබට හැඟෙනවා නම් ඒ ගැන ඔබේ දෙවෙනි මව හෝ පියා සමඟ ගෞරවනීය ලෙස කතා කරන්න.

ඉවසීමෙන් සැනසීම!

අලුත් මවට හෝ පියාට ඔබ සමඟ පැහී කටයුතු කිරීමටත් විශ්වාසය ගොඩනඟා ගැනීමටත් කාලය ගත වෙනවා. එවිටයි එකිනෙකාගේ වෙනස් පුරුදු සහ ගතිපැවතුම් අවබෝධ කරගෙන යම් රටාවකට ජීවිතය හැඩගැහෙන්නේ. ඒ නිසා හදිසි වෙන්න එපා! ඔබ හිතන තරම් ඉක්මනින් ඔබට ආදරය ලැබෙයි කියාවත් පවුලක් හැටියට දේවල් පිළිවෙළට සිදු වෙයි කියාවත් බලාපොරොත්තු වෙන්න එපා.

තෝමස්ගේ මව නැවත විවාහ වූ විට ඔහුට ලොකු පීඩනයක් දැනුණා. ඊට හේතුව ඔහුගේ මවට ළමයි හතරදෙනෙක්ද ඇය විවාහ වූ පුද්ගලයාට ළමයි තුන්දෙනෙක්ද සිටීමයි. තෝමස් මෙහෙම කියනවා. “අපි හරියට රණ්ඩු කෙරුවා, ගෙදර කිසිම පිළිවෙළක් තිබුණෙත් නැහැ. මම මානසිකව ගොඩක් පීඩා වින්දා.” නමුත් ඔවුන්ට ප්‍රශ්න විසඳාගන්න පුළුවන් වුණා. “අපේ ප්‍රශ්න විසඳුණේ බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගත් නිසයි” කියා තෝමස් පවසනවා.

ඊළඟ පරිච්ඡේදය

ඔබේම සහෝදර සහෝදරියන් සමඟ ජීවත් වීම අමාරු නම් ඔබ මොනවාද කරන්නේ?

බයිබල් උපදෙස

“පටන්ගැන්මට වඩා අවසානය හොඳය. උඩඟු ලෙස හැසිරෙන කෙනෙකුට වඩා ඉවසිලිවන්ත කෙනෙකු හොඳය.”—දේශනාකාරයා 7:8.

යෝජනාවක්

දෙවෙනි මවගේ හෝ පියාගේ දරුවන් සමඟ එක නිවසේ ජීවත් වන විට ඔවුන් ගැන ආලවන්ත හැඟීම් ඇති විය හැකියි. ඒ නිසා එවැනි හැඟීම් ඇති කරන දේවල් සිතීමෙන් වළකින්න. ඔවුන්ටත් එවැනි හැඟීම් ඇති නොවීමට, ඔබ අඳින පළඳින හා හැසිරෙන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබේ දෙවෙනි මවගේ හෝ පියාගේ දරුවන්ටත් අලුත් තත්වයට හැඩගැහෙන්න අමාරු ඇති.

ගත හැකි පියවර

දෙවෙනි මව හෝ පියා පවුල වෙනුවෙන් කර තිබෙන යහපත් දේවල් ගැන සිතා බැලීමෙන් ඔහුට හෝ ඇයට වැඩි ගෞරවයක් පෙන්වන්න මම උත්සාහ කරනවා (ඔවුන් කළ යහපත් දේවල් දෙකක් ලියන්න) ․․․․․

දෙවෙනි මවගේ හෝ පියාගේ දරුවෙක් මට හිරිහැර කළොත් පහත සඳහන් දේ කිරීමෙන් රෝම 12:21 අදාළ කරන්න පුළුවන් ․․․․․

මේ විෂය ගැන මගේම දෙමාපියන්ගෙන් හෝ දෙවෙනි මවගෙන් හෝ පියාගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● ඔබේ පවුලට එකතු වීම ගැන ඔබේ දෙවෙනි මවට, පියාට හෝ ඔවුන්ගේ දරුවන්ට කොයි ආකාරයේ බියක් දැනෙනවා ඇද්ද?

● කාලයත් සමඟ පවුලේ බැඳීම් ශක්තිමත් වෙයි කියා සිතීම වැදගත් වෙන්නේ ඇයි?

[38වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘අම්මාගේ දෙවෙනි විවාහයත් දික්කසාදයෙන් කෙළවර වුණා. ඒ වුණාට මම තවමත් ඒ දරුවන් එක්ක හරි එකතුයි. එයාලා තමයි මගේ ජීවිතයට ලැබුණු ලොකුම ආශීර්වාදය.’’—ටාරා

[39වන පිටුවේ පින්තූරය]

පවුල් දෙකක් එකට එකතු වෙනවා කියන්නේ හරියට වතුරයි සිමෙන්තියි කලවම් කරනවා වගෙයි. ඒකට කාලයත් වෑයමත් ඕනේ. ඒත් අවසාන ප්‍රතිඵලය, ශක්තිමත් කල් පවතින දෙයක්