Skip to content

පටුනට යන්න

සහෝදර සහෝදරියන් එක්ක සමඟියෙන් ඉන්නේ කොහොමද?

සහෝදර සහෝදරියන් එක්ක සමඟියෙන් ඉන්නේ කොහොමද?

6වෙනි පරිච්ඡේදය

සහෝදර සහෝදරියන් එක්ක සමඟියෙන් ඉන්නේ කොහොමද?

ඔබේ සහෝදර සහෝදරියන් සමඟ ඔබට තිබෙන්නේ කොයි ආකාරයේ බැඳීමක්ද? ․․․․․

සමහර සහෝදර සහෝදරියන් අතර තිබෙන්නේ ඉතාමත් කිට්ටු බැඳීමක්. දහනව හැවිරිදි ෆිලීෂියාත් ඇගේ නංගිත් අතර තිබෙන්නේ එවැනි බැඳීමක්. ඇය මෙහෙම කියනවා. “මගේ නංගි අයිරීනා තමයි මගේ හොඳම යාළුවා.” දාහත් හැවිරිදි කාලි ඇගේ 20 හැවිරිදි අයියා, එරික් ගැන මෙහෙම කියනවා. “මායි අයියයි කවදාවත් රණ්ඩු කරලා නෑ. අපි දෙන්නා හරියට අඹ යාළුවෝ වගේ!”

ඒ වුණාට හුඟදෙනෙක් මුහුණ දෙන්නේ ලොරන් සහ මාලා මුහුණ දෙන තත්වයටයි. “අපි පොඩි දේටත් රණ්ඩු වෙනවා” කියා ලොරන් පවසනවා. ඒ වගේම 12 හැවිරිදි ඇලිස් ඇගේ 14 හැවිරිදි අයියා වන ඩෙනිස් ගැන මෙහෙම කියනවා. “අයියා කරන වැඩවලට මට තද වෙනවා. එයා කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව මගේ කාමරේට ඇවිල්ලා මගේ දේවල් අරං යනවා. එයාගේ වැඩ නිකං දෙකේ පංතියේ ළමයෙක්ගෙ වැඩ වගේ!”

ඔබටත් ඒ වගේ සහෝදරයෙක් හෝ සහෝදරියක් ඉන්නවාද? සාමාන්‍යයෙන් පවුලක් තුළ දේවල් නිසි පිළිවෙළට සිදු වෙන්න සැලැස්වීමේ වගකීම තිබෙන්නේ දෙමාපියන්ටයි. ඒ වුණත් කා එක්කත් සමඟියෙන් හා සහයෝගයෙන් ජීවත් වීමේ කලාව ඔබ ඉගෙනගත යුතුයි. එය ඉගෙනගන්න පුළුවන් හොඳම තැන ඔබේ නිවසයි.

ඔබේ සහෝදර සහෝදරියන් සමඟ ඇති වන ගැටුම් ගැන සිතා බලන්න. ඔබ වැඩියෙන්ම රණ්ඩු වෙන්නේ කුමකටද? පහත සඳහන් ලැයිස්තුවේ එම හේතුව තිබේ නම් එය ඉදිරියෙන් ✔ ලකුණ දමන්න.

මට අයිති දේවල්: මගේ දේවල් අහන්නේ නැතුව ගන්නවා.

එකඟ නොවීම්: නිතරම හිතන්නේ එයා ගැන විතරයි. මාව පාලනය කරන්න හදනවා.

මගේ නිදහස: අවසර නැතුව කාමරයට එනවා. අහන්නේ නැතුව මගේ ඊ-මේල් හා SMS පණිවිඩ කියවනවා.

වෙනත් හේතු ․․․․․

ඔබේ සහෝදරයා හෝ සහෝදරිය නිතරම ඔබව කේන්ති ගස්සනවා නම් පාලනය කරන්න හදනවා නම් ඔබේ නිදහසට බාධා කරනවා නම් ඔබට අමනාපයක් ඇති වීම සාධාරණයි. ඒත් බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “නාසය තදින් මිරිකන විට ලේ ගලයි. කෝපය පිට කිරීමෙන් ආරවුල් ඇති වෙයි.” (හිතෝපදේශ 30:33) ඔබ අමනාපය සිතේ තබාගෙන ඉන්නවා නම් කෝපයෙන් කටයුතු කිරීමට පෙලඹිය හැකියි. එයින් ප්‍රශ්නය තවත් දරුණු වෙනවා මිස විසඳෙන්නේ නැහැ. (හිතෝපදේශ 26:21) අමනාපයක් ආරවුලක් දක්වා දුර දිග යෑම වළක්වාගන්නේ කොහොමද? මුලින්ම කළ යුත්තේ ගැටලුවට හේතුව හඳුනාගැනීමයි.

හේතුව හඳුනාගන්න

සහෝදර සහෝදරියන් අතර ඇති වන ගැටලු කුරුලෑවකට සමාන කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කුරුලෑවක් හටගන්නේ සමට යටින් සිදු වන ආසාදන තත්වයක් නිසයි. ඒ හා සමානව සහෝදර සහෝදරියන් අතර ගැටලුවක් මතු වන විටද එයට මුල් වන හේතුවක් තිබෙනවා.

කුරුලෑවකට ප්‍රතිකාරයක් ලෙස ඔබට එය මිරිකා දැමිය හැකියි. එයින් වේදනාව අඩු වෙයි. නමුත් සමේ කැළැලක් ඇති වීමට හෝ ආසාදනය දරුණු වීමට පුළුවන්. හොඳම දේ වෙන්නේ ආසාදනයට ප්‍රතිකාර කර නැවත කුරුලෑ ඇති වීම වළක්වාගැනීමයි. සහෝදර සහෝදරියන් සමඟ ගැටලුවක් ඇති වූ විටත් ගැටලුවට හේතුව සොයා බලන්න. ප්‍රඥාවන්ත සලමොන් රජු දී තිබෙන උපදෙසත් ඔබට අදාළ කරගත හැකියි. “වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි.”—හිතෝපදේශ 19:11.

උදාහරණයකට කලින් සඳහන් කළ ඇලිස්, ඇගේ අයියා ඩෙනිස් ගැන කියූ දේ බලන්න. “එයා කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව මගේ කාමරේට ඇවිල්ලා මගේ දේවල් අරං යනවා.” එය තමයි ගැටලුව. නමුත් ගැටලුවට හේතුව මොකක්ද? එකිනෙකාට ගරු නොකිරීමයි. ඊට පිළියමක් ලෙස කාමරයට එන්න එපා කියා හෝ ඇගේ දේවල් පාවිච්චි කරන්න එපා කියා අයියාට කියන්න ඇලිස්ට පුළුවන්. නමුත් එය නියම විසඳුම නොවෙයි. එසේ කීමෙන් තත්වය දරුණු වීමට ඉඩ තිබෙනවා. ඒ වෙනුවට තමන්ගේ නිදහසට ගරු කරන්න කියාත් තමාගේ දේවල් අවසර නැතුව ගන්න එපා කියාත් කාරුණිකව අයියාට පහදා දීමෙන් ඇලිස්ට ගැටලුව විසඳගන්න පුළුවන්. එයින් ඔවුන් අතර තිබෙන බැඳීම තවත් ශක්තිමත් වෙයි.

ගැටලුව විසඳගන්න හෝ වළක්වාගන්න

ගැටලුවේ මුල හඳුනාගත්තාට මදියි. එම ගැටලුව විසඳාගැනීමටත් එවන් දෙයක් නැවත ඇති නොවීමටත් වගබලා ගත යුතුයි. ඒ සඳහා ගත හැකි පියවර හයක් පහත සඳහන් වෙනවා.

1. එකඟතාවකට පැමිණෙන්න. ඔබේ සහෝදරයා හෝ සහෝදරිය සමඟ ගැටුම් ඇති වුණේ කුමක් නිසා කියාද ඔබ කලින් සඳහන් කළේ? ඊට හේතුව තේරුම්ගෙන එම ගැටුම් නැවත මතු නොවීමට ඔබ දෙදෙනාටම එකඟ විය හැකි සරල නීති කිහිපයක් සකස් කරගන්න පුළුවන්ද කියා බලන්න. උදාහරණයකට ඔබේ දේවල් පාවිච්චි කරන නිසා ගැටුමක් ඇති වුණා නම්, මෙම නීතිය ප්‍රයෝජනවත් විය හැකියි. “කාගේ හරි දෙයක් ගන්න කලින් අහන්න.” ඒ වගේම, “යම් දෙයක් ගන්න එපා කියා කියනවා නම් ඊට ගරු කරන්න.” එලෙස නීති දමන විට යේසුස් දුන් ආඥාව මතක තබාගැනීම වැදගත්. “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.” (මතෙව් 7:12) ඔබටත් ඔබේ සහෝදර සහෝදරියන්ටත් අදාළ කරගත හැකි නීති එලෙස සකස් කරගන්න ඔබට පුළුවන්. පසුව ඒ නීති ගැන දෙමාපියන් සමඟ කතා කර ඔවුන්ගේ අවසරයද ලබාගන්න.—එෆීස 6:1.

2. ඔබත් එම නීති පිළිපදින්න. බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “වෙන අයට උගන්වන ඔබ, ඔබ උගන්වන දේ පිළිපදිනවාද? ‘සොරකම් නොකරන්න’ කියා අනුන්ට දේශනා කරන ඔබ, සොරකම් කරනවාද?” (රෝම 2:21) එහි සඳහන් උපදෙස ඔබට මෙසේ අදාළ කරගන්න පුළුවන්. ඔබේ සහෝදරයා හෝ සහෝදරිය ඔබට ගරු කරනවාට ඔබ කැමති නම් ඔබත් ඔවුන්ගේ කාමරයට යන්න පෙර, දොරට තට්ටු කිරීමට පුරුදු වෙන්න. ඒ වගේම ඔවුන්ගේ ඊ-මේල් හෝ SMS පණිවිඩ කියවීමට පෙර ඔවුන්ගෙන් අවසර ගන්න.

3. අමනාප වීමට ඉක්මන් වෙන්න එපා. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “අමනාප වීමට ඉක්මන් නොවන්න. මන්ද සිත තුළ අමනාපයක් ඇති කරගන්නේ මෝඩයන්ය.” (දේශනාකාරයා 7:9) අමනාප වීමෙන් ජීවිතය නීරස වෙයි. ඔබේ ජීවිතයෙන් සතුට ගිලිහී යයි. ඔබේ සහෝදර සහෝදරියන් ඔබේ සිත පෑරෙන සේ දේවල් කියනවා හෝ කරනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ මේ දේ සිතා බලන්න. ‘කලින් දවසක මමත් ඒ වගේ දෙයක් කරලා තියෙනවාද?’ (මතෙව් 7:1-5) ජෙනි මෙහෙම කියනවා. “මට අවුරුදු 13දී මම හිතුවේ මම කාගෙවත් හිත රිද්දන්නේ නැති, කාගෙත් හොඳ හිත දිනාගෙන ඉන්න කෙනෙක් කියලා. මට හිතෙන දේ තමයි මට වැදගත් වුණේ. වෙන අයගේ දේවල් මට වැදගත් වුණේ නැහැ. දැන් මගේ නංගි ඒ වයසේ. එයා හිතන්නෙත් මං හිතපු විදිහටමයි. ඒ නිසා මම එයා කියන දේවල්වලට කේන්ති ගන්නේ නැහැ.”

4. සමාව දෙන්න. බරපතළ ප්‍රශ්නයක් නම් ඒ ගැන කතා කර විසඳාගත යුතුයි. නමුත් සහෝදර සහෝදරියන් අතින් සිදු වන හැම වරදක්ම ඔවුන්ට පෙන්වා දිය යුතුද? යෙහෝවා දෙවි නම් බොහෝ සෙයින් අගය කරන්නේ ඔබ ‘වරද අමතක කර දමනවාටයි.’ (හිතෝපදේශ 19:11) දහනව හැවිරිදි ඇලිසන් මෙහෙම කියනවා. “මගේ නංගි රේචලුයි මමයි අතර ප්‍රශ්නයක් ඇති වුණාම අපි ඒක විසඳගන්නවා. ඉක්මනින්ම සමාව ඉල්ලනවා. ඒ වගේම ප්‍රශ්නයක් ඇති වෙන්න හේතු වුණේ මොකක්ද කියලත් අපි කතා කරනවා. සමහර අවස්ථාවලදී මම ප්‍රශ්නය ගැන කතා කරන්න ඉක්මන් වෙන්නෙ නැහැ. පහුවදා වෙන කොට ඒක අමතකත් වෙලා.”

5. දෙමාපියන්ගේ උපකාරය පතන්න. සහෝදර සහෝදරියන් සමඟ ඇති වූ ගැටලුව ඔබට තනිව විසඳාගන්න බැරි නම් දෙමාපියන්ගෙන් යම් උපකාරයක් ලබාගන්න ඔබට පුළුවන්. (රෝම 14:19) ඔවුන්ගේ උපකාරය නැතුව ගැටලුව විසඳගන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඔබ වැඩිහිටියෙකු සේ කාරණා නිරාකරණය කරගැනීමට පුරුදු වන බව එයින් පැහැදිලි වෙනවා.

6. හොඳ ගුණාංග අගය කරන්න. සහෝදර සහෝදරියන් ළඟ ඔබ ආස කරන හොඳ ගුණාංගත් ඇති. ඔවුන් එක් එක් කෙනා තුළ තිබෙන හොඳ ගුණාංගයක් සඳහන් කරන්න.

නම

․․․․․

මං ආස ගුණාංගය

․․․․․

සහෝදර සහෝදරියන්ගේ වැරදිම උලුප්පා දක්වනවාට වඩා ඔවුන් තුළ තිබෙන හොඳ ගුණාංග ගැන ඔවුන්ට ප්‍රශංසා කරන්න.—ගීතාවලිය 130:3; හිතෝපදේශ 15:23.

ඔබට සිටින කිට්ටුම මිතුරා ඔබේ සහෝදරයා හෝ සහෝදරිය නොවෙන්න පුළුවන් කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 18:24) නමුත්, ‘අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසනවා’ නම් ඔබට ඔවුන් සමඟ තිබෙන මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගන්න පුළුවන්. (කොලොස්සි 3:13) ඔබ එලෙස කටයුතු කරන විට ඔබේ සහෝදර සහෝදරියන් ඔබට එතරම් හිරිහැරයක් නොවන අතර ඔබද ඔවුන්ට හිරිහැරයක් නොවෙයි.

ඊළඟ පරිච්ඡේදය

ඔබ දෙමාපියන්ගෙන් ඈත් වී ජීවත් වීමට සූදානම්ද කියා දැනගන්නේ කොහොමද?

බයිබල් උපදෙස

“ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි.”—ෆිලිප්පි 4:5.

යෝජනාවක්

ඔබව නිතර නිතර කෝපයට පත් කරන සහෝදරයෙක් හෝ සහෝදරියක් සිටිනවා නම් කලකිරෙන්න එපා. අනාගතයට ප්‍රයෝජනවත් වන හොඳ ගුණාංග වර්ධනය කරගැනීමට එය හොඳ අවස්ථාවක් කියා සිතන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබ නිවසින් පිට රැකියාවක් කරන විට ඔබට සමහරවිට වැඩ කරන්න සිදු වෙන්නේ තමන් ගැන විතරක් හිතන, කිසි අනුකම්පාවක් නොදක්වන පුද්ගලයන් සමඟයි. එවැනි තත්වයන්ට මුහුණ දෙන්නේ කොහොමද කියා ඉගෙනගන්න පුළුවන් හොඳම තැන ඔබේ නිවසයි.

ගත හැකි පියවර

මගේ සහෝදර සහෝදරියන් සමඟ කටයුතු කිරීමේදී අදාළ කරගත හැකි නීති කිහිපයක් වෙන්නේ ․․․․․

මම මේ විදිහට කටයුතු කළොත් අමනාපකම් අඩු වෙයි ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● ගැටලුවත් ඊට මුල් වූ හේතුවත් සොයා බැලීම වැදගත් ඇයි?

● සහෝදර සහෝදරියන් සිටීමේ ඇති ප්‍රයෝජන මොනවාද?

[46වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මගේ නංගියයි මල්ලියයි නැත්නම් ජීවිතේ මං ලබපු සුන්දර අද්දැකීම් එකක්වත් මට ලැබෙන්නේ නැහැ. සහෝදර සහෝදරියන් ඉන්න අයට මම කියන්නේ ‘කවදාවත් ඒ බැඳීම සුළුවට ගන්න එපා’ කියලා.’’—මෙරලින්

[42වන පිටුවේ කොටුව]

ඔබේ සටහන්

නියම හේතුව හඳුනාගන්න

ගැටලුවකට මුල් වුණේ මොකක්ද කියා හඳුනාගන්න ඔබ කැමතිද? එහෙමනම් අකීකරු පුත්‍රයා ගැන යේසුස් කියූ උපමාව කියවා බලන්න. (ලූක් 15:11-32) මල්ලි නැවත පැමිණි විට අයියා කටයුතු කළ විදිහ ගැන සිතා බලා, පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.

අයියාට කේන්ති ගියේ ඇයි? ․․․․․

ඔබ හිතන විදිහට ඊට මුල් වූ හේතුව මොකක්ද? ․․․․․

ගැටලුව විසඳීමට පියා කළේ කුමක්ද? ․․․․․

ඊට අයියා කුමක් කළ යුතු වුණාද? ․․․․․

ඔබේ සහෝදරයෙක් හෝ සහෝදරියක් සමඟ මෑතකදී ඇති වූ බහින් බස් වීමක් ගැන සිතන්න. ඉන්පසු පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.

බහින් බස් වීමක් ඇති වුණේ ඇයි? ․․․․․

ඊට මුල් වූ හේතුව මොකක්ද? ․․․․․

ගැටලුව විසඳාගැනීමටත් එය නැවත ඇති වීම වළක්වාගැනීමටත් ක්‍රියාත්මක කළ හැකි නීති මොනවාද? ․․․․․

[43වන පිටුවේ පින්තූරය]

සහෝදර සහෝදරියන් අතර ඇති වන ගැටලු කුරුලෑ වගෙයි. සාමාන්‍යයෙන් කුරුලෑවලට ප්‍රතිකාර කරන්නේ සමට යටින් ඇති ආසාදනයට මිස පිටතින් නොවෙයි