Skip to content

පටුනට යන්න

මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද?

මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද?

7වෙනි පරිච්ඡේදය

මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද?

“මට අවුරුදු 19යි. ඒත් මම තාම ඉන්නේ අම්මලා එක්ක. මං වැඩිහිටියෙක් වෙලත් තාම ගෙදර ඉන්න නිසා මිනිස්සු මං ගැන වැරදියට හිතනවා ඇති.”—කේටී.

“මට අවුරුදු 20ක් වෙලත් මට ඕනේ විදිහට දේවල් කරන්න බැහැ. මට හිතෙන්නේ ගෙදරින් ගියා නං හොඳයි කියලා.”—ෆියෝනා.

තව ටිකක් නිදහස ලැබුණා නම් හොඳයි කියා ඔබට සිතෙනවා ඇති. බොහෝදෙනෙක්ට එහෙම හැඟෙනවා. ඒ නිසා ඔවුන් දෙමාපියන්ගෙන් ඈත් වී තනියෙන් ජීවත් වෙනවා. අපි තුන්වෙනි පරිච්ඡේදයෙන් දැනගත් ලෙස දෙවිගේ අරමුණ වුණෙත් යෞවනයන් වැඩිහිටියන් වුණාට පස්සේ තම දෙමාපියන්ගෙන් ඈත් වී තමන්ටම කියලා පවුල් ජීවිතයක් ආරම්භ කිරීමයි. (උත්පත්ති 2:23, 24; මාක් 10:7, 8) ඒත් ඔබ කොහොමද දැනගන්නේ දෙමාපියන්ගෙන් ඈත් වෙලා තනියම ජීවත් වෙන්න ඔබ සූදානම්ද කියලා? ඔබ කල්පනා කළ යුතු වැදගත් ප්‍රශ්න තුනක් සලකා බලමු. ඉන් පළමුවෙනි ප්‍රශ්නය මෙයයි.

මගේ චේතනාව කුමක්ද?

පහත සඳහන් කාරණා ඔබට වැදගත් වන අනුපිළිවෙළට අංක යොදන්න.

․․․․․ නිවසේ ඇති ප්‍රශ්නවලින් ගැලවීමට

․․․․․ වැඩි නිදහසක් ලබාගැනීමට

․․․․․ මිත්‍රයන්ගේ හොඳ හිත දිනාගැනීමට

․․․․․ මිත්‍රයෙකුගේ තනියට

․․․․․ ස්වේච්ඡා සේවයේ නියැලීමට

․․․․․ අද්දැකීම් ලබාගැනීමට

․․․․․ දෙමාපියන්ට බරක් නොවීමට

․․․․․ වෙනත් හේතු ․․․․․

ඉහත සඳහන් කිසිවක් වැරදි නැහැ. ඒත් වැදගත් වෙන්නේ ඔබේ චේතනාවයි. උදාහරණයකට ඔබ නිවසින් යන්න හිතුවේ ඔබට වැඩි නිදහසක් ඕනේ නිසා නම් සිතූ ලෙසම ඔබට ඒ නිදහස ලැබෙයිද? මෙම අද්දැකීම් සලකා බලන්න.

ඩැනියෙල් නමැති යෞවනිය අවුරුදු 20දී ටික කාලයකට නිවසින් පිට වී තනියම ජීවත් වුණා. ඇය මෙසේ පවසනවා. “කොහේ හිටියත් අපේ නිදහස යම් දුරකට සීමා වෙනවා. අපි තනියම ජීවත් වෙන කොට වැඩ නිසා එහෙමත් නැත්නම් අතේ සල්ලි නැති නිසා අපිට කැමති විදිහට දේවල් කරන්න බැහැ.” මාස හයකට පිටරටකට ගිය කාමන් කියන දේ බලන්න. “ලැබුණු අද්දැකීම නං හොඳයි. ඒත් මට කිසිම නිදහසක් ලැබුණේ නැහැ. ගේ අස්පස් කරන්න, වත්ත සුද්ද කරන්න, රෙදි හෝදන්න, කැඩිච්ච බිදිච්ච දේවල් හදන්න වගේ වැඩවල ඉවරයක් නැහැ!”

අන් අයගේ කීම් අසා තනියම ජීවත් වීමට ඉක්මන් වෙන්න එපා. (හිතෝපදේශ 29:20) ඔබ හොඳ හේතුවක් නිසා එසේ කිරීමට තීරණය කළත් තනියම ජීවත් වෙන්න ඔබට පුළුවන්ද කියා මුලින්ම සිතා බලන්න. සලකා බැලිය යුතු දෙවෙනි ප්‍රශ්නය එයයි.

මම සූදානම්ද?

ඔබ තනියම ජීවත් වෙනවා කියන්නේ හරියට වනාන්තරයක තනියම චාරිකාවක් යනවා හා සමානයි. ඔබට කූඩාරමක් තනාගන්න, ලිපක් මොලවාගන්න, කෑමක් උයාගන්න එහෙමත් නැත්නම් මාර්ග සිතියමක් කියවගන්නවත් බැරි නම් ඔබ එවැනි ගමනක් යයිද? කොහෙත්ම නැහැ. නමුත් හුඟක් යෞවනයෝ ගෙදරින් පිට වෙන්නේ තනියම ජීවත් වෙන්න කිසිම හැකියාවක් නැතුවයි.

පුරාණයේ සිටි ප්‍රඥාවන්ත රජෙක් මෙවැනි දෙයක් පැවසුවා. “සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.” (හිතෝපදේශ 14:15) ඔබට තනියම ජීවත් වෙන්න පුළුවන්ද කියා තීරණය කිරීමට පෙර පහත සඳහන් කාරණා හතර ගැන සිතා බලන්න. ඔබට කළ හැකි දේවල් ඉදිරියේ ලකුණත් ඔබ දියුණු කරගත යුතු දේවල් ඉදිරියේ X ලකුණත් දමන්න.

මුදල් අරපිරිමැස්ම: දහනව හැවිරිදි සෙරීනා මෙහෙම කියනවා. “මගේ සල්ලිවලින් මම කවදාවත් කිසිම දේකට ගෙවලා නැහැ. මම ගෙදරින් පිට වෙලා තනියම ඉන්න ගියොත් මගේ අතේ තියෙන මුදල් ඇති වෙයිද කියලා මට භයයි.” එසේනම් මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඔබ ඉගෙනගන්නේ කොහොමද?

“ප්‍රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දී තව තවත් ඉගෙනගනියි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 1:5) එසේනම් එක් කෙනෙකුට සතියකට ගෙවල් කුලී, කෑම බීම, ගමන්බිමන් වැනි දේවල් සඳහා කොයි තරම් මුදලක් වැය වෙනවාද කියා ඔබේ දෙමාපියන්ගෙන් අසා දැනගන්න. ඉන්පසු ඔබේ මුදල්වලින් එම වියදම් පියවිය හැකිද කියා බැලීමට දෙමාපියන්ගේ උදව් ලබාගන්න. *

ගෙදරදොරේ වැඩ: දාහත් හැවිරිදි බ්‍රයන්ට තියෙන ලොකුම භය, ගෙදරින් ගිය දවසක තනියම තම රෙදි ටික හෝදගන්න වෙයි කියලයි. ඔබට ගෙදරදොරේ වැඩ හැම එකක්ම තනියම කරගන්න පුළුවන්ද කියලා දැනගැනීමට 20 හැවිරිදි එරන්ගේ මෙම යෝජනාව අත්හදා බලන්න. “ඔබ තනියම ජීවත් වෙනවා කියලා හිතලා සතියක් පුරා හැම දෙයක්ම තනියම කරන්න. ඔබම කඩේට ගිහිල්ලා ඔබේම සල්ලිවලින් බඩු අරගෙන ඔබම කෑම වේලක් හදාගන්න. ඔබේ රෙදි ඔබම සෝදා අයන් කරගන්න. ඔබම නිවස පිරිසිදු කරගන්න. යන්න ඕනේ තැන්වලට තනියම යන්න.” එම යෝජනාව අත්හදා බැලීමෙන් ඔබට ප්‍රයෝජන දෙකක් ලැබෙනවා. (1) ගෙදරදොරේ වැඩ ගැන හොඳ පුහුණුවක් ලැබීම. (2) ඔබේ දෙමාපියන් කරන දේවල් ගැන ඔබේ අගය වැඩි වීම.

සහයෝගයෙන් කටයුතු කිරීම: ඔබ, දෙමාපියන් හා සහෝදර සහෝදරියන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන කෙනෙක්ද? ඔබට හිතෙන්න පුළුවන් මිත්‍රයෙක් එක්ක ඉන්න එක පහසුයි කියලා. ඒත් 18 හැවිරිදි ඊව් කියන දේ බලන්න. “මගේ යාළුවෝ දෙන්නෙක් හවුලේ පොඩි ගෙයක් කුලියට ගත්තා. එයාලා හොඳ යාළුවෝ. ඒත් එක ගෙදරක පදිංචි වුණාට පස්සේ යාළුකමත් නැතුව ගියා. මොකද එක් කෙනෙක් හරිම පිළිවෙළයි. අනික් කෙනා අපිළිවෙළයි. එක් කෙනෙක් ආගමට ළැදියි. අනික් කෙනා එච්චර ළැදි නැහැ. ඒ දෙන්නා හිතුව විදිහට දේවල් වුණේ නැහැ!”

එවැනි දෙයක් ඔබට සිදු නොවීමට යමක් කරන්න පුළුවන්. ඒ ගැන 18 හැවිරිදි එරින් මෙහෙම කියනවා. “අනික් අයත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන විදිහත් ගැටලු විසඳගන්න විදිහත් ගෙදර ඉන්න කාලේදී තමයි ඉගෙනගන්න පුළුවන්. දෙමාපියන් එක්ක ඇති වෙන ගැටුම් නිසා ගෙදරින් යන අයට ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියලා අවබෝධයක් නැහැ. ඒ අය ප්‍රශ්නයෙන් පැනලා යනවා මිසක් ඒක විසඳගන්න උත්සාහ කරන්නේ නැහැ.”

නමස්කාර කටයුතු: දෙමාපියන් සමඟ නමස්කාර කටයුතුවල යෙදෙන්න තමන් අකමැති නිසා සමහර යෞවනයන් ගෙදරින් යනවා. තවත් අය ගෙදරින් ගියාට පස්සේ තමන්ගේ නමස්කාර කටයුතු පිළිවෙළට කරන්න අදහස් කළත් ඒක කරන්නේ ටික කාලයකටයි. ඊටපස්සේ ඔවුන් නරක පුරුදුවලට ඇදී යනවා. එසේනම් දෙවි කෙරෙහි තිබෙන ‘විශ්වාසය විනාශ වීමට’ ඉඩ නොදී රැකගන්න ඔබට මොනවාද කරන්න පුළුවන්? *1 තිමෝති 1:19.

යෙහෝවා දෙවි කැමති අපි විශ්වාස කරන දේ ගැන අපට හොඳ වැටහීමක් තිබෙනවාටයි. (රෝම 12:1, 2) ඒ නිසා නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීමටත් නමස්කාර කටයුතුවල යෙදීමටත් වෑයම් කරන්න. ඔබ කළ යුතු දේවල් ඔබේ දිනදර්ශනයේ ලකුණු කරන්න. ඒ දේවල් දෙමාපියන්ගේ සිහිගැන්වීමක් නැතුව මාසයක් පුරා කරන්න පුළුවන්ද කියා බලන්න.

ඔබ සලකා බැලිය යුතු තුන්වෙනි ප්‍රශ්නය මෙයයි.

මගේ අරමුණ මොකක්ද?

ඔබ ගෙදරින් යන්නේ ප්‍රශ්නවලින් ගැලවෙන්නද? නැත්නම් දෙමාපියන්ට යටත් වෙන්න අකමැති නිසාද? ඔබ ගෙදරින් යන්නේ ඒ හේතු නිසා නම් ඔබ හැමතිස්සේම හිතන්නේ ගෙදරින් යන එක ගැන මිසක්, මම කොහෙටද යන්නේ කියන කාරණය නොවෙයි. ඒක හරියට ඔබේ වාහනයේ පිටුපස බලන කණ්ණාඩිය දිහා බලාගෙන ඔබ රිය පදවනවා වගෙයි. ඒ නිසා ගෙදරින් යන එක ගැන හිතහිතා ඉන්නවා වෙනුවට ඔබ ගෙදරින් යන්නේ මොන හේතුවකටද කියා බැරෑරුම්ව සිතා බලන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින සමහර තරුණ තරුණියන් වැදගත් හේතුවක් නිසා නිවසින් පිට ජීවත් වීමට තීරණය කරනවා. ඒ, තමන්ගේම රටේ හෝ වෙනත් රටක දේවරාජ්‍යය ගැන දේශනා කරන්න. තවත් අය නමස්කාර මධ්‍යස්ථාන ගොඩනැඟීමට හෝ ශාඛා කාර්යාලයක සේවය කිරීමට වෙනත් ප්‍රදේශවලට ගොස් තිබෙනවා. ඒ වගේම සමහර අය විවාහ වෙන්න කලින් ටිකක් තනියම ජීවත් වෙන එක හොඳයි කියලා හිතනවා. *

ඔබේ අරමුණ කුමක් වුණත් තීරණයක් ගැනීමට පෙර දෙවතාවක් හිතන්න. “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි. එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 21:5) ඔබේ දෙමාපියන්ගේ උපදෙස්වලට ඇහුම්කන් දෙන්න. (හිතෝපදේශ 23:22) ඔබ සිතන දේ දෙවිට කියන්න. ඒ අතරතුර අප සාකච්ඡා කළ බයිබල් ප්‍රතිපත්ති ගැනත් කල්පනා කර බලන්න.

ඇත්තටම ඔබට තනියම ජීවත් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයට වඩා වැදගත් වෙන්නේ ඔබට ගෙදරදොරේ වැඩකටයුතු තනියම කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නයයි. දෙවෙනියට සඳහන් ප්‍රශ්නයට ඔව් කියා පිළිතුරු දෙන්න ඔබට පුළුවන් නම්, ඉන් අදහස් කරන්නේ තනියම ජීවත් වෙන්න ඔබ සූදානම් බවයි.

[පාදසටහන්වල]

^ 23 ඡේ. වැඩි විස්තර සඳහා 2වන පොතේ 19වන පරිච්ඡේදය බලන්න.

^ 27 ඡේ. වැඩි විස්තර සඳහා 2වන පොතේ 34වන සහ 35වන පරිච්ඡේද බලන්න.

^ 32 ඡේ. සමහර සංස්කෘතිවල තරුණයෙක් හෝ විශේෂයෙන්ම තරුණියක් විවාහ වන තුරු දෙමාපියන් යටතේ සිටිය යුතුයි කියා බලාපොරොත්තු වෙනවා. නමුත් බයිබලයේ ඒ ගැන නිශ්චිත යමක් සඳහන් වී නැහැ.

බයිබල් උපදෙස

‘මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වෙයි.’—මතෙව් 19:5.

යෝජනාවක්

යම් කාලයකට ඔබේ කෑම බීම, ඉඳුම්හිටුම් සහ වෙනත් දේවල් සඳහා යන වියදම ඔබේ දෙමාපියන්ට දෙන්න. ඔබ නිවසේ ඉන්න විට ඒ වියදම දරන්න ඔබට නොහැකි නම් හෝ එම වියදම දීමට අකමැති නම් ඔබ තනියම ජීවත් වීමට සූදානම් කියා කියන්න බැහැ.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබ නිවසින් පිට වීමට තීරණය කළ හේතුව ඔබේ සතුටට හෝ අසතුටට දායක වෙයි.

ගත හැකි පියවර

මම නිවසින් යන්නේ මේ අරමුණ නිසයි ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● ඔබට ප්‍රශ්න ගැටලු තිබුණත් යම් කාලයකට නිවසේ සිටීම ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

● නිවසේ සිටින විට ඔබේ සහ ඔබේ පවුලේ අයගේ ප්‍රයෝජනය සඳහා ඔබට කුමක් කළ හැකිද?

[52වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘නිවසින් පිට වී නිදහසේ ජීවත් වීමට කැමති වීම සාමාන්‍ය දෙයක්. ඒත් ඔබ එය කරන්නේ නීතිරීතිවලින් බේරෙන්න නං එයින්ම පැහැදිලි වෙනවා ඔබ තාම ඒකට සූදානම් නැහැ කියලා.’’—එරන්

[50, 51වන පිටුවේ පින්තූරය]

තනියම ජීවත් වෙන එක හරියට වනාන්තරයක චාරිකාවක් යනවා වගේ. ගමන යන්න කලින් යම් දේවල් පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි