Skip to content

පටුනට යන්න

වැරදි පෙලඹීම් පාලනය කරන්නේ කොහොමද?

වැරදි පෙලඹීම් පාලනය කරන්නේ කොහොමද?

9වෙනි පරිච්ඡේදය

වැරදි පෙලඹීම් පාලනය කරන්නේ කොහොමද?

කෙරන් සාදයකට ගියා. ටික වෙලාවකින් පිරිමි ළමයි දෙන්නෙක් බෑග් ටිකකුත් අරගෙන එතැනට ආවා. ඒ බෑග්වල තියෙන්නේ මොනවාද කියා කෙරන් දන්නවා. මොකද ඒ සාදයේ මත්පැන් “ඕන තරම් තියෙනවා” කියලා ඒ පිරිමි ළමයි දෙන්නා කතා වෙනවා කෙරන්ට ඇහිලා තිබුණා.

එකපාරටම කෙරන්ට හුරු පුරුදු කටහඬක් ඇහුණා. “මොකද නිකං පැත්තකට වෙලා?” කෙරන් හැරී බලද්දී ඇගේ මිතුරිය ජෙසිකා, බියර් බෝතල් දෙකක් අතේ තියාගෙන ඇය ළඟ සිටගෙන සිටියා. ජෙසිකා එක බෝතලයක් කෙරන්ගේ මූණට ළං කර මෙහෙම කිව්වා. “දැන් කියන්න එපා, ‘මේවා බොන්න පොඩි වැඩියි’ කියලා!”

කෙරන්ට එපා කියන්නයි ඕනේ වුණේ. නමුත් මිතුරියගෙන් එල්ල වුණේ ප්‍රබල බලපෑමක්. කෙරන් කැමති නැහැ ඇගේ මිතුරිය ඇය “පැත්තකට වෙලා” ඉන්න කෙනෙක් කියලා හිතනවාට. ඇත්තෙන්ම ජෙසිකා හොඳ ළමයෙක්. කෙරන්ට මෙහෙම හිතෙනවා. ‘බියර් එකක් බොනවා කියන්නේ කුඩු ගහනවා වගේවත් කොල්ලෙක් එක්ක එකට ඉන්නවා වගේවත් නරක දෙයක් නෙමෙයිනෙ!’

යෞවන කාලයේදී නොයෙක් වැරදි පෙලඹීම් ඇති වෙනවා. විශේෂයෙන්ම විරුද්ධ ලිංගයේ අයගෙන්. දාහත් හැවිරිදි රේමන් මෙවැනි දෙයක් කියනවා. “අපේ ඉස්කෝලේ ඉන්න ගැහැනු ළමයින්ට කිසිම හැදිච්චකමක් නැහැ. එයාලා අපේ ඇඟට අත තියලා බලනවා අපේ ප්‍රතිචාරය කොයි වගේද කියලා. අපි එපා කිව්වට සත පහකටවත් ගණන් ගන්නේ නැහැ!” දාහත් හැවිරිදි ඩියැනාගේ අද්දැකීමත් ඒ හා සමානයි. “පිරිමි ළමයෙක් ඇවිල්ලා මගේ කරට අත දැම්මා. මම එයාගේ අතට හයියෙන් ගහලා මෙහෙම කිව්වා. ‘ඔයා මොනවාද මේ කරන්නේ? මම ඔයාව අඳුරන්නෙවත් නැහැ!’”

ඔබටත් එවැනි පීඩනයන් ඇති විය හැකියි. ඒවා මඟහැරීමට ඔබ කොතරම් උත්සාහ දැරුවත් දිගින් දිගටම ඒවාට මුහුණ දීමට ඔබට සිදු විය හැකියි. පහත සඳහන් දේවල් කිරීමට ඔබට පෙලඹීමක් ඇති වී තිබෙනවාද?

□ දුම්බීමට

□ කාමුක දර්ශන බැලීමට

□ මත්පැන් පානය කිරීමට

□ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට

□ මත්ද්‍රව්‍ය ගැනීමට

□ වෙනත් ․․․․․

ඔබ ඉහත සඳහන් කරුණක් ඉදිරියේ ✔ ලකුණ දැමුවා නම් ඉන් අදහස් කරන්නේ නැහැ ඔබට කවදාවත් දෙවිව සතුටු කරන්න බැහැයි කියා. ඔබට පුළුවන් ආශාවන් පාලනය කරගෙන වැරදි දේවල් කිරීමට ඇති වන පෙලඹීම් පරාජය කරන්න. ඒ සඳහා මුලින්ම වැරදි පෙලඹීම් ඇති වීමට හේතුව තේරුම්ගැනීම වැදගත්. එවැනි හේතු තුනක් දැන් අපි සලකා බලමු.

1. වැරදි දේ කිරීමට අප තුළ ඇති නැඹුරුවාව. අප සියලුදෙනා තුළ වැරදි කිරීමට පෙලඹීමක් තිබෙනවා. විශ්වාසවන්ත දේවසේවකයෙක් වූ පාවුල් පවා එය පිළිගත්තා. “මා හරි දේ කිරීමට කැමැත්තෙන් සිටියත් මා තුළින් ඉස්මතු වන්නේ වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාවයි.” (රෝම 7:21) ඉන් පැහැදිලි වෙන්නේ අවංකව ජීවත් වන කෙනෙකුට පවා යම් අවස්ථාවක “තම ඉඳුරන් පිනවීමේ ආශාවත් තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවත්” සමඟ පොරබැදීමට සිදු වන බවයි. (1 යොහන් 2:16) නමුත් වැරදි දේ කිරීමට ඇති වන ආශාව පාලනය නොකළොත් ඔබ ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. බයිබලයේ මෙවැනි අනතුරු ඇඟවීමක් දී තිබෙනවා. “ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි.”—යාකොබ් 1:15.

2. අන් අයගෙන් එන බලපෑම්. අපි කොහේ හිටියත් වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඇති වෙන්න පුළුවන්. “ඉස්කෝලේදීත් රැකියාවේදීත් මිනිස්සු හැම වෙලේම ලිංගික කාරණා ගැන කතා කරනවා. TV එකෙත් චිත්‍රපටිවලත් ලිංගික සම්බන්ධකම් සුන්දර අද්දැකීමක් විදිහටයි පෙන්නන්නේ. ඒකෙන් වෙන අහිතකර දේවල් ගැන පෙන්නන්නේ කලාතුරකින්” කියා ටෲඩි නමැති යෞවනිය පැවසුවා. මිතුරන්ගෙන් සහ ජනමාධ්‍යයෙන් කොතරම් බලපෑමක් එල්ල වෙනවාද කියා ටෲඩි තේරුම්ගත්තා. “මට අවුරුදු 16දී පෙම්වතෙක් හිටියා. එක දවසක් අම්මා මට කිව්වා, ‘ඔහොම ගියොත් අන්තිමේදී ළමයෙක් හම්බ වෙලා තමයි නතර වෙන්නේ’ කියලා. අම්මා මං ගැන ඒ විදිහට හිතපු එක ගැන මට පුදුම තරහක් ඇති වුණා! ඒ කියලා මාස දෙකක් යන්නත් කලින් මට දරුවෙක් ලැබෙන්න හිටියා.”

3. “යොවුන් වියට ආවේණික වූ ආශාවන්.” (2 තිමෝති 2:22) අනික් අයගේ පිළිගැනීම ලබන්න, තමන්ටත් යමක් කරන්න පුළුවන් කියා පෙන්වන්න වගේ දේවලට යෞවනයන් තුළ ලොකු ආශාවක් තිබෙනවා. ඇත්තෙන්ම එවැනි දේවල් වැරදි නැහැ. නමුත් ඒ ආශාවන් පාලනය කළේ නැත්නම් වරදක් කිරීමට ඇති වන පෙලඹීම පරාජය කරන්න අමාරු වෙනවා. උදාහරණයකට ‘ඔබටත් යමක් කරන්න පුළුවන්’ කියා පෙන්වීමට තිබෙන ආශාව නිසා ඔබ කුඩා කල සිට ඉගෙනගත් හොඳ ගතිපැවතුම්වලට විරුද්ධ දෙයක් කිරීමට ඔබ පෙලඹිය හැකියි. අවුරුදු 17දී ස්ටීව්ට එවැනි දෙයක් සිදු වුණා. “මම අම්මලා එපා කියපු හැම දෙයක්ම කරලා එයාලගේ හිත රිද්දෙව්වා. මම එහෙම හැසිරුණේ බව්තීස්ම වෙලා වැඩි දවසක් යන්න කලිනුයි.”

වැරදි පෙලඹීම් ජය ගන්නේ කොහොමද?

ඉහත සඳහන් කාරණා තුන නිසා කෙනෙකු තුළ වැරදි කිරීමට විශාල පෙලඹීමක් ඇති විය හැකියි. ඒ වුණත් ඔබට පුළුවන් වැරදි පෙලඹීම් පාලනය කරගන්න. ඒ කොහොමද?

● ඔබට වැඩිපුරම පෙලඹීමක් ඇති වෙන්නේ කොයි වැරදි ක්‍රියාව කිරීමටද කියා මුලින්ම හඳුනාගන්න. (ඔබ දැනටමත් 65වන පිටුවේ එය සඳහන් කළා විය හැකියි.)

● එවැනි පෙලඹීම් වැඩිපුරම ඇති වෙන්නේ කුමන අවස්ථාවේදීද? පහත සඳහන් කරුණක් ඉදිරියේ ✔ ලකුණ දමන්න.

□ පාසැලේදී

□ තනියම සිටිද්දී

□ රැකියා ස්ථානයේදී

□ වෙනත් ․․․․․

වරදට පෙලඹෙන්නේ කොයි අවස්ථාවේදීද කියා දැන සිටීම, සම්පූර්ණයෙන්ම ඉන් වැළකී සිටීමට උපකාරවත් විය හැකියි. උදාහරණයකට මේ පරිච්ඡේදය ආරම්භයේදී සඳහන් කළ සිද්ධිය ගැන මොහොතකට සිතන්න. ඒ සාදයේ නුසුදුසු දේවල් සිදු වෙයි කියා කෙරන්ට දැනගන්න ලැබුණේ කොහොමද?

․․․․․

වැරදි දෙයක් සිදු වීම වළක්වාගැනීමට නම් ඇය කුමක් කළ යුතු වුණාද?

․․․․․

● ඔබ අතින් සිදු විය හැකි වරදත් එය සිදු විය හැකි අවස්ථාවත් දැන් ඔබ හඳුනාගෙන තිබෙනවා. එය වළක්වාගැනීමට පියවර ගැනීමයි ඔබ ඊළඟට කළ යුත්තේ. ඒ සඳහා ඔබ මුලින්ම එවැනි පෙලඹීම් ඇති විය හැකි අවස්ථා අවම කරගැනීමට හෝ සම්පූර්ණයෙන්ම වළක්වාගැනීමට පියවර ගත යුතුයි. ඔබට කළ හැකි දේවල් ලියන්න.

․․․․․

(උදාහරණ: පාසැල ඇරී ගෙදර යන විට යාළුවන් පාරේදී ඔබව හමු වී දුම්පානය කරන්න කියා ඔබට බල කරනවා නම් ඔබට පුළුවන් වෙනත් පාරකින් යන්න. ඔබට අන්තර්ජාලයෙන් කාමුක දර්ශන ඇතුළත් පණිවිඩ ලැබෙනවා නම් එය වළක්වාගැනීමට යම් ආරක්ෂිත පියවර ගන්න. ඒ වගේම ඔබ අන්තර්ජාලයේ යම් තොරතුරු ගවේෂණය කරද්දී ඒ සඳහා පරිගණකයට ඇතුළත් කරන යෙදුම් ගැන සැලකිලිමත් වෙන්න. ඒ යෙදුම කාමුක දේවල් විස්තර කිරීමටත් යොදාගන්නා යෙදුමක් නම් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න.)

වරදට පෙලඹවීම් ඇති වන සෑම අවස්ථාවක්ම ඔබට වළක්වාගන්න බැරි බව ඇත්තයි. ඔබ නොසිතන මොහොතක වැරදි දෙයක් කරන්න ලොකු පෙලඹීමක් ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඔබට කුමක් කළ හැකිද?

සූදානම් වෙන්න

‘සාතන් යේසුස්ව වරදකට හසු කරගන්න උත්සාහ කළ’ අවස්ථාවේදී යේසුස් ඊට කිසිම ඉඩක් නොදී විගස තම විරුද්ධත්වය ප්‍රකාශ කළා. (මාක් 1:13) ඔහුට එසේ කිරීමට හැකි වුණේ තම පියාට සෑමවිටම කීකරු වීමට ඔහු මුළු හදවතින්ම අදිටන් කරගෙන සිටි නිසයි. (යොහන් 8:28, 29) “මම ස්වර්ගයෙන් ආවේ මගේ කැමැත්ත ඉටු කිරීමට නොව මාව එවූ තැනැත්තාගේ කැමැත්ත ඉටු කිරීමටයි” කියා ඔහු පැවසුවේ ඔහුගේ මුළු හදවතින්මයි.—යොහන් 6:38.

ඔබට නිතර ඇති වන වැරදි පෙලඹීමක් ඔබ ප්‍රතික්ෂේප කළ යුතු වීමට හේතු දෙකක් හා එයින් වැළකී සිටීමට ඔබට ගත හැකි පියවර දෙකක් ඊළඟ පිටුවේ සඳහන් කරන්න.

ප්‍රතික්ෂේප කිරීමට හේතුව:

1 ․․․․․

2 ․․․․․

වැළකීමට කළ හැකි දේ:

1 ․․․․․

2 ․․․․․

වරදක් කිරීමට ඇති වන පෙලඹීමට ඔබ ඉඩ දුන්නොත් ඔබ ඔබේ ආශාවන්ට වහලෙක් වෙයි. (තීතස් 3:3) ඒ නිසා ඒවා පාලනය කිරීමට වෑයම් කරන්න. (කොලොස්සි 3:5) දිගටම ස්ථිරව සිටීමට දෙවිගෙන් උපකාරය ඉල්ලා යාච්ඤා කරන්න.—මතෙව් 6:13. *

තවත් දැනගැනීමට 2වන පොතේ 15වන පරිච්ඡේදය බලන්න

ඊළඟ පරිච්ඡේදය

ළඟදි ඉඳන් ඔබට කම්මැළිකමක් දැනෙනවාද? හොඳ සෞඛ්‍යයක් ඇතුව ප්‍රබෝධවත් ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියා දැනගන්න!

[පාදසටහන]

^ 43 ඡේ. මේ පොතේ 33වන සහ 34වන පරිච්ඡේදවල ඇති තොරතුරුත් බලන්න.

බයිබල් උපදෙස

“දෙවි විශ්වාසවන්තය. එහෙයින් එවැනි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට ඔහු ඉඩ දෙන්නේ නැත. මන්ද වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙයි. එමනිසා ඊට හොඳින් මුහුණ දීමට ඔබට හැකි වේ.”—1 කොරින්ති 10:13.

යෝජනාවක්

වැරදි දෙයක් කිරීමට යමෙකු ඔබව පොලඹවන විට ඔබට කළ හැකි දේවල් ගැන සිතා බලන්න. ඒ සඳහා යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොතේ, 132වන සහ 133වන පිටුවල සඳහන් “මිත්‍රයන්ගෙන් පීඩනයක් එන විට” යන වගුව යොදාගන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

යේසුස් විශ්වාසවන්තව කටයුතු කරන බව දෙවි කලින්ම කියා තිබුණා. දෙවි යේසුස්ව රොබෝ යන්ත්‍රයක් වගේ නිර්මාණය කළා කියා ඉන් අදහස් කරන්නේ නැහැ. යේසුස්ට තනිව සිතා කටයුතු කිරීමට හැකියාව තිබුණා. ඔහු කීකරු වුණේ සිය කැමැත්තෙන්මයි. ඒ නිසා තමයි ඔහු පීඩා විඳිද්දී මහත් ඕනෑකමකින් යාච්ඤා කළේ.—හෙබ්‍රෙව් 5:7.

ගත හැකි පියවර

වැරදි පෙලඹීම් මඟහැරීමට මා ගත් අදිටන ශක්තිමත් කිරීමට කළ හැකි දේ ․․․․․

මම මඟහැරිය යුතු පුද්ගලයන්, ස්ථාන සහ අවස්ථාවන් ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● පරිපූර්ණ අය වරදට පෙලඹෙන්නේ නැද්ද?—උත්පත්ති 6:1-3; යොහන් 8:44.

● ඔබ වරදට නොපෙලඹී විශ්වාසවන්තව සිටින විට එය අන් අයට බලපාන්නේ කොහොමද?—හිතෝපදේශ 27:11; 1 තිමෝති 4:12.

[68වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘විශ්වයේ සිටින බලවත්ම තැනැත්තාගේ උපකාරය මට තියෙන නිසාත් ඔහුගෙන් ඕනෑම වෙලාවක මට උපකාරය ඉල්ලන්න පුළුවන් කියලා මම දන්න නිසාත් මට ලොකු සහනයක් දැනෙනවා!’’ —ක්‍රිස්ටෝෆර්

[67වන පිටුවේ කොටුව/පින්තූරය]

මෙය අත්හදා බලන්න!

මාලිමා යන්ත්‍රයක් ගෙන එහි කටුව උතුරු දෙසට හිටින සේ තියන්න. ඊළඟට කාන්දමක් ගෙන ඒ ළඟින් තියන්න. මාලිමා යන්ත්‍රයේ කටුව කාන්දම දෙසට හැරෙනවා මිස හරි දිශාව පෙන්වන්නේ නැති බව ඔබ දුටුවාද?

ඔබේ හෘදය සාක්ෂියත් ඒ මාලිමා යන්ත්‍රය වගෙයි. එය හොඳින් පුහුණු කර තිබෙනවා නම් එය ඔබට “හරි දිශාව,” එනම් ඔබට හරි තීරණ ගැනීමට උපකාර කරයි. නමුත් ඔබ නරක මිත්‍රයන්ව ඇසුරු කරනවා නම් මාලිමා යන්ත්‍රය ළඟින් තැබූ කාන්දම වගේ ඔවුන් ඔබට නරක බලපෑමක් ඇති කරයි. එමගින් හොඳ තීරණ ගැනීමට ඔබ සතු හැකියාව මොට වෙයි. ඒ නිසා හොඳ තීරණ ගැනීමට තිබෙන ඔබගේ හැකියාව මොට කරන මිත්‍රයන් හා අවස්ථාවලින් ඔබ ඈත් විය යුතුයි.—හිතෝපදේශ 13:20.

[69වන පිටුවේ පින්තූරය]

වැරදි පෙලඹීම්වලට ඉඩ දුන්නොත් ඔබ ඔබේ ආශාවන්ට වහලෙක් වෙයි