Skip to content

පටුනට යන්න

මගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න ඕනේද?

මගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න ඕනේද?

10වෙනි පරිච්ඡේදය

මගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න ඕනේද?

ඔබ අත් කරගන්න කැමති දේ ඉදිරියෙන් ✔ ලකුණ දමන්න.

□ මානසික පීඩනය අඩු කරගන්න

□ කෝපය පාලනය කරගන්න

□ ආත්ම විශ්වාසය ගොඩනඟා ගන්න

□ වැඩවලට අවධානයක් දෙන්න

□ ක්‍රියාශීලී වෙන්න

□ සම පැහැපත් කරගන්න

□ බර අඩු කරගන්න

ඔබේ ජීවිතයේ යම් දේවල් තීරණය කරන්න ඔබට බැහැ. ඔබේ දෙමාපියන් හා සහෝදර සහෝදරියන් විය යුත්තේ කවුද, ඔබ ජීවත් වීමට ආස රට වැනි දේවල් ඔබට තීරණය කරන්න බැහැ. නමුත් ඔබේ සෞඛ්‍යය ගැන ඔබට යම් තීරණ ගන්න පුළුවන්. නිරෝගිකමට ජානවල බලපෑමක් තිබෙන බව ඇත්තයි. ඒත් ඔබ ජීවිතය ගත කරන අයුරු යහපත් සෞඛ්‍යයකට විශාල වශයෙන් දායක වෙයි. *

‘මගේ සෞඛ්‍යය ගැන දැන්ම හිතන්න ඕනේ නැහැ. වයසට ගියාම තමයි ඕවා ගැන හිතන්න ඕනේ’ කියා ඔබට සිතෙයි. නමුත් 71වන පිටුවේ ඇති දේවලින් එකක් හෝ අත් කරගන්න පුළුවන් වෙන්නේ ඔබට නිරෝගී සෞඛ්‍යයක් තිබෙනවා නම් පමණයි.

දාහත් හැවිරිදි ඇම්බර්ට මෙහෙම හිතුණා. “තෙල්, සීනි සහ පිටි අඩු කෑම කනවා කියන එක මට නම් හිතාගන්නවත් බැහැ!” ඔබටත් එසේ හැඟෙනවා නම් ඒ ගැන කලබල වෙන්න එපා. ඔබ පැණි රස කෑමවලින් සම්පූර්ණයෙන්ම වැළකී ඉන්නවත් හැම සතියකම දහඩිය දාගෙන පැය ගණන් ව්‍යායාම් කරන්නවත් අවශ්‍ය නැහැ. හොඳ පෙනුමක්, ඔබ ගැන හොඳ හැඟීමක් සහ ක්‍රියාශීලී වීමට අවශ්‍ය වෙන්නේ ඔබ ජීවත්වන ආකාරයේ සරල වෙනස්කම් කිහිපයක් කිරීම පමණයි. සමහර යෞවනයන් කර තිබෙන දේවල් සලකා බලන්න.

කන දේ හොඳයි නම් පෙනුමත් හොඳයි!

සමබර ලෙස කටයුතු කරන්න කියා බයිබලයේ අපට උපදෙස් දෙනවා. හිතෝපදේශ 23:20හි සඳහන් වෙන්නේ ‘කෑදර වෙන්න එපා’ කියායි. නමුත් සමහර අවස්ථාවලදී ඒ උපදෙස පිළිපැදීම පහසු නැහැ.

“මගේ වයසේ ඉන්න හුඟදෙනෙක්ට වගේ මටත් හැමතිස්සේම බඩගිනි වෙනවා. අම්මලා නම් කියන්නේ මට කොච්චර කන්න දුන්නත් මදි කියලා.”—15 හැවිරිදි ඇන්ඩෲ.

“සමහර කෑම වර්ග කෑවාම මට දැන් කිසිම බලපෑමක් වෙන්නේ නැති නිසා ඒවා මට හොඳ නෑ කියලා හිතෙන්නේ නැහැ.”—19 හැවිරිදි ඩැනියෙල්.

ආහාර ගැනීමේදී ඔබට ඔබව පාලනය කරගැනීම අමාරුද? එසේනම් ඔබේම වයසේ සිටන සමහර අය කර තිබෙන දේ බලන්න.

ඇති කියලා දැනුණු ගමන්ම නවත්වන්න. “ඉස්සර නං මම කැලරි ප්‍රමාණය ගණන් කරකර තමයි කෑවේ. දැන් මට ඇතියි කියලා දැනුණාම මං නවත්වනවා.”—19 හැවිරිදි ජූලියා.

ගුණයෙන් අඩු ආහාරවලින් වළකින්න. “සිසිල් බීම බොන එක නතර කරලා මාසයකට පස්සේ මගේ බර කිලෝ පහකින් අඩු වුණා.”—21 හැවිරිදි පීටර්.

ආහාර ගැනීමේ පුරුදු ගැන සැලකිලිමත් වෙන්න. “මම එක පාරකට වඩා කෑම බෙදාගන්නේ නැහැ.”—19 හැවිරිදි එරින්.

වැදගත් කරුණක්: කෑම වේල් අතපසු කරන්න එපා. එහෙම කළොත් වැඩිපුර කන්න පෙලඹෙයි.

ප්‍රබෝධවත් වීමට ව්‍යායාම්!

ව්‍යායාම් කිරීමෙන් “ප්‍රයෝජන” තිබෙන බව බයිබලයේද සඳහන් වෙනවා. (1 තිමෝති 4:8) නමුත් බොහෝ යෞවනයන් ව්‍යායාම්වලට කැමති නැහැ.

“ව්‍යායාම් කරන එක කොච්චර ලේසිද! හැබැයි මම ඉස්කෝලේ යන කාලේ ශාරීරික අධ්‍යාපනය යන විෂයෙන් ළමයි හුඟදෙනෙක් අසමත් වුණා.”21 හැවිරිදි රිචඩ්.

“සමහර අය හිතනවා, අව්වේ දාඩිය දාගෙන දුවනවාට වඩා කාමරේට වෙලා වීඩියෝ ගේම් එකක් ගහන එක හොඳයි කියලා.”—22 හැවිරිදි රූත්.

“ව්‍යායාම්” කියන වචනය ඇහෙන කොටත් ඔබට මහන්සියක් දැනෙනවාද? එසේනම් ඉන් ලැබෙන ප්‍රයෝජන තුනක් ගැන අපි දැන් සලකා බලමු.

පළමුවන ප්‍රයෝජනය: රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙයි. “මගේ තාත්තා නිතරම කියන දෙයක් තමයි ‘ඔයාට ව්‍යායාම් කරන්න වෙලාවක් හොයාගන්න බැරි නම් දොස්තර ළඟට යන්න වෙලාවක් හොයාගන්න වෙයි’ කියලා.”—19 හැවිරිදි රේචල්.

දෙවන ප්‍රයෝජනය: ව්‍යායාම් කිරීමෙන් ඔබව සන්සුන් කරවන රසායනික ද්‍රව්‍යයක් ඔබේ මොළයෙන් නිකුත් වෙයි. “මම පීඩනයකින් ඉන්න කොට ව්‍යායාම් කිරීමෙන් මගේ මනසටත් ඇඟටත් ලොකු සැහැල්ලුවක් දැනෙනවා.”—16 හැවිරිදි එමලි.

තුන්වන ප්‍රයෝජනය: ඔබට සතුටක් ලැබෙයි. “ඇවිදින්න, පිහිනන්න වගේම බයිසිකල් පදින්නත් මම හරි ආසයි.”—22 හැවිරිදි රූත්.

වැදගත් කරුණක්: අඩුම තරමින් විනාඩි 20ක් බැගින් සතියකට තුන් වතාවක්වත් ඔබ ප්‍රිය කරන ව්‍යායාමයක යෙදෙන්න.

ක්‍රියාශීලී දිවියකට සුවබර නින්දක්!

“වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 4:6) ඇත්තෙන්ම ප්‍රමාණවත් නින්දක් ලබාගත්තේ නැත්නම් ඔබට හොඳින් වැඩ කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

“මම හොඳට නිදාගත්තේ නැත්නම් මගේ ඇඟට හරි අමාරුයි. කිසි දෙයකට අවධානය දෙන්න බැහැ.”—19 හැවිරිදි රේචල්.

“මම නිදාගන්න පරක්කු වුණොත් පහුවදා දවල් දෙක විතර වෙන කොට මගේ ඇඟට හරි අමාරුයි. මම කතා කරකර ඉන්න කොටම නින්ද යනවා!”—19 හැවිරිදි ක්‍රිස්ටීන්.

ඔබටත් ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම ගැටලුවක්ද? එසේනම් ඔබේ වයසේ සිටින සමහර යෞවනයන් ඒ සම්බන්ධයෙන් කර තිබෙන දේ සලකා බලන්න.

රෑ වන තුරු ඇහැරගෙන ඉන්න එපා. “මම නිතරම උත්සාහ කරන්නේ වේලාසනින් නිදාගන්නයි.”—18 හැවිරිදි කැතරින්.

රෑ වන තුරු කතා කරකර ඉන්න එපා. “සමහර දවස්වලට මගේ යාළුවෝ ගොඩක් රෑ වෙලා මට කෝල් කරනවා නැත්නම් SMS එවනවා. ඒත් ළඟකදී ඉඳලා ඒවා නතර කරලා වේලාසනින් නිදාගන්න මම පුරුදු වුණා.”—21 හැවිරිදි රිචඩ්.

හැම දේම නියමිත වෙලාවකට කරන්න. “හැමදාම එකම වෙලාවට නිදාගන්නත් නැඟිටින්නත් මම උත්සාහ කරනවා.”—20 හැවිරිදි ජෙනිෆර්.

වැදගත් කරුණක්: සෑම දවසකම පැය අටක්වත් නිදාගැනීමට උත්සාහ කරන්න.

ඔබේ සෞඛ්‍යය රැකගැනීමට ඔබට කරන්න තිබෙන්නේ ඉතා සරල දේවල්. හොඳ සෞඛ්‍යයක් ඇතුව සිටීමෙන් ඔබට හොඳ පෙනුමක්, ඔබ ගැන හොඳ හැඟීමක් සහ ක්‍රියාශීලී දිවියක් ගත කිරීමට පුළුවන්. ඔබේ ජීවිතයේ අනිකුත් දේවල් මෙන් නොව ඔබේ සෞඛ්‍යය හා සම්බන්ධ බොහෝ දේවල් තීරණය කිරීමට ඔබට හැකියි. ඒ ගැන 19 හැවිරිදි එරින් මෙහෙම කියනවා. “ඔබේ නිරෝගී දිවියට දායක වෙන්නේ ඔබ ජීවත් වන විදිහයි.

ඊළඟ පරිච්ඡේදය

ඇඳුම් පැළඳුම් ගැන ඔබේ දෙමාපියන් සමඟ ඔබට මතගැටුම් ඇති වෙනවාද? ඔවුන් සමඟ එකඟතාවකට එන්න පුළුවන් කොහොමද කියා දැනගන්න.

[පාදසටහන]

^ 11 ඡේ. සමහර අයට තිබෙන ආබාධ හා අසනීපවලින් මිදෙන්න කළ හැකි දේ සීමිතයි. ඒත් එවැනි අයටත් මේ පරිච්ඡේදයෙන් යම් උපකාරයක් ලබාගත හැකියි.

බයිබල් උපදෙස

ව්‍යායාම් කිරීම ප්‍රයෝජනදායකයි.—1 තිමෝති 4:8.

යෝජනාවක්

තව කෙනෙකු සමඟ ව්‍යායාම් කරන්න. ඔබට සමහර දවස්වල කම්මැළිකමක් දැනුණත් අනික් පුද්ගලයා නිසා ඔබ ව්‍යායාම් කිරීමට පෙලඹෙයි.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ව්‍යායාම් කිරීම නිසා මොළය මගින් රසායනික ද්‍රව්‍යයක් (එන්ඩෝෆින්) නිකුත් කරනවා. එය වේදනාව අඩු කරන අතර ඔබ තුළ ප්‍රබෝධයක් ඇති කරයි.

ගත හැකි පියවර

කෑම ගැනීම සම්බන්ධයෙන් මට තැබිය හැකි සාධාරණ ඉලක්කයක් වෙන්නේ ․․․․․

ව්‍යායාම් කිරීම ගැන මට තැබිය හැකි සාධාරණ ඉලක්කයක් වෙන්නේ ․․․․․

ඊළඟ මාසයේදී මම සාමාන්‍යයෙන් පැය ․․․․․ නිදාගැනීමට වෑයම් කරනවා. ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම ඔබේ ආත්ම විශ්වාසයට දායක වෙන්නේ කොහොමද?

● ඔබේ සෞඛ්‍යයට වඩා ඔබ සැලකිලිමත් විය යුත්තේ කුමක් ගැනද?—1 තිමෝති 4:8.

[74වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මම ව්‍යායාම් කරන්නේ හරිම ආසාවෙන්. ඒකෙන් මට හොඳ පෙනුමක් ලැබෙන කොට මට මං ගැන තියෙන විශ්වාසය තවත් වැඩි වෙනවා.’’—එමලි

[73වන පිටුවේ කොටුව]

“මං ජීවත් වන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තා”

“මං ඉස්කෝලේ යන කාලේ හරි මහතයි. මගේ පෙනුම ගැන මං හරි දුකෙන් හිටියේ! කලින් කලට කෑම පාලනය කරලා බර අඩු කරගත්තත් ආයෙත් මුලින් හිටිය ගානටම ආවා. මං අවුරුදු 15දී හිතුවා කොහොම හරි මගේ බර අඩු කරගන්නවා කියලා. මට ඕනේ වුණේ නියම විදිහට මගේ බර අඩු කරගන්න ක්‍රමයක් දිගටම අනුගමනය කරන්න. මම පෝෂණය ගැනත් ව්‍යායාම් ගැනත් තොරතුරු තිබ්බ පොතක් කියවලා ඒකේ උපදෙස් අදාළ කරගත්තා. ඉඳලා හිටලා අධෛර්යය වුණත් උත්සාහය අත්හරින්නේ නැහැ කියලා මම අධිෂ්ඨාන කරගත්තා. මගේ ඉලක්කය මම අත් කරගත්තා! අවුරුද්දක් ඇතුළත කිලෝ 27ක් විතර මට අඩු කරගන්න පුළුවන් වුණා. දැන් අවුරුදු දෙකක් තිස්සේ මගේ බර වැඩි වෙලා නැහැ. මං කවදාවත් හිතුවේ නැහැ මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා! මම හිතන්නේ මගේ සාර්ථකත්වයට රහස නිකම්ම කෑම පාලනය කරපු එක විතරක් නෙමෙයි. මං ජීවත් වන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තා.”—18 හැවිරිදි කැතරින්.

[74වන පිටුවේ පින්තූරය]

ඔබේ ශරීරය හරියට මෝටර් රථයක් වගෙයි. හොඳින් නඩත්තු කළේ නැත්නම් හරියට ධාවනය වෙන්නේ නැහැ