Skip to content

පටුනට යන්න

විනීත ඇඳුම් තෝරගන්නේ කොහොමද?

විනීත ඇඳුම් තෝරගන්නේ කොහොමද?

11වෙනි පරිච්ඡේදය

විනීත ඇඳුම් තෝරගන්නේ කොහොමද?

හෙදර් ගමනක් යන්න ලෑස්තියි. ඇගේ ඇඳුම දුටු දෙමාපියන් පුදුම වෙනවා.

“මොකක්ද ඔය ඇඳගෙන යන්නේ?”

“ඇයි? මේ ඇඳුමේ තියෙන වරද මොකක්ද” කියා හෙදර් කේන්තියෙන් අසනවා. “මම යාළුවන් එක්ක ගමනක් යන්න හදන්නේ.”

එවිට මව මෙහෙම කියනවා. “ඕක නම් ඇඳගෙන යන්න එපා!”

“ඒත් අම්මේ . . . හැමෝම මේ විදිහට අඳිනවා” කියා ඇය කියයි.

එවිට පියා සැරෙන් මෙහෙම කියනවා. “ඒ වුණාට අපි කැමති නැහැ ඔයා ඔහොම අඳිනවට. රටේ ලෝකේ මිනිස්සු මොනවා හිතයිද? කරුණාකරලා ඔය ඇඳුම මාරු කරන්න. නැත්නම් ගෙදර ඉන්න!”

එවැනි වාදවිවාද අලුත් දෙයක් නොවෙයි. ඔබේ දෙමාපියනුත් තරුණ කාලයේදී තම දෙමාපියන් සමඟ එවැනි වාදවිවාද ඇති කරගන්න ඇති. ඒ කාලයේදී ඔවුන්, දැන් ඔබ සිතන විදිහටම සිතන්න ඇති. නමුත් දැන් ඔවුන් සිතන විදිහ වෙනස් වෙලා. මොකද ඔවුන් දැන් දෙමාපියන්. ඒ නිසා ඔබ අඳින පළඳින ආකාරය ගැන විවිධ මතගැටුම් ඇති විය හැකියි.

ඔබ කියයි: ඒක ඇන්දම හරි පහසුයි.

ඔවුන් කියයි: ඒක කිසිම පිළිවෙළක් නැති ඇඳුමක්.

ඔබ කියයි: මම ඒකට හරි ආසයි!

ඔවුන් කියයි: අනික් අය ඔයා ගැන වැරදි විදිහට හිතයි!

ඔබ කියයි: මම මේක ගත්තේ හරිම අඩුවට.

ඔවුන් කියයි: ඒක තමයි ඇඳුමෙනුත් භාගයක් අඩු!

එවැනි වාදවිවාද වළක්වාගන්න බැරිද? ඇත්තෙන්ම පුළුවන්. විසිතුන් හැවිරිදි මේගන් මෙවැනි දෙයක් කියනවා. “වාද කරන්නේ නැතුව එකඟතාවකට එන්න පුළුවන්.” ඉන් අදහස් කරන්නේ ඔබ අවුරුදු 40ක කෙනෙක් වගේ අඳින්න ඕනේ කියන එක නොවෙයි. ඔබ සහ දෙමාපියන් අතර ඇති වන මතගැටුම් සාකච්ඡා කර දෙපාර්ශ්වයම සතුටු වන ආකාරයේ තීරණ ගැනීමට පුළුවන් බවයි. එසේ කිරීමෙන් ඇති ප්‍රයෝජන මොනවාද?

1. ඔබේ මිතුරන් අතර පවා ඔබ ලස්සනට අඳින පළඳින කෙනෙක් ලෙස කැපී පෙනෙයි.

2. දෙමාපියන් ඔබේ ඇඳුම් ගැන විවේචනය නොකරයි.

3. ඇඳුම් ගැන ඔබ වඩාත් සැලකිලිමත් වන විට දෙමාපියන් ඔබට වැඩි නිදහසක් දීමට පෙලඹෙයි.

ඔබට මෙසේ කළ හැකියි. ඔබේ හිත ගිය ඇඳුමක් සාප්පුවක හෝ වෙනත් ස්ථානයක ඔබ දුටුවා කියා සිතන්න. එය මිල දී ගැනීමට පෙර මේ කාරණා ගැන සිතන්න.

බයිබල් ප්‍රතිපත්ති

බයිබලයේ ඇඳුම් පැළඳුම් ගැන වැඩි උපදෙසක් දී නැහැ. එම උපදෙස් කියවීමට ඔබට ගත වෙන්නේ විනාඩියක් හෝ දෙකක් වුණත් එහි වටිනාකම මිල කළ නොහැකියි. උදාහරණයකට මේ කාරණා ගැන සිතන්න.

● ස්ත්‍රීන්ට කියා තිබෙන්නේ ‘විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන් යුතු’ ඇඳුම් ඇඳින්න කියායි. *1 තිමෝති 2:9, 10.

“විනීතව” අඳින්න කියද්දී ඉන් අදහස් කරන්නේ කිසිම මොස්තරයක් නැති ලස්සනක් නැති ඇඳුම් අඳින්න කියන එකද? කොහෙත්ම නැහැ. ඔබට නින්දාවක් ඇති නොවන ලෙසත් අන් අයව අපහසුතාවට පත් නොවන ලෙසත් ඇඳ පැළඳ සිටිය යුතු බවයි ඉන් අදහස් කරන්නේ. (2 කොරින්ති 6:3) විනීතයි කියා සැලකිය හැකි ඇඳුම් පැළඳුම් ඕනෑ තරම් තිබෙනවා. “ටිකක් මහන්සි වුණොත් අපිට ගැළපෙන විලාසිතාවේ ඇඳුම් තෝරගන්න පුළුවන්” කියා 23 හැවිරිදි ඩැනියෙල් පවසනවා.

● අපි වැඩි අවධානයක් දිය යුත්තේ අපගේ පෙනුමට වඩා ‘අපේ ඇතුළාන්තය අලංකාරවත් කරගැනීමට’ කියා බයිබලයේ සඳහන් වෙනවා.—1 පේතෘස් 3:4.

විනීතකමින් අඩු ඇඳුමක් ඇඳ සිටින විට අන් අයගේ අවධානය ඔබ වෙත යොමු වන බව නොරහසක්. නමුත් ඔබව දැන හඳුනන වැඩිහිටියන් සහ ඔබේ මිතුරන් පවා අගය කරන්නේ ඔබේ යහපත් ගතිපැවතුම් මිස ඔබේ ඇඳුම් පැළඳුම් නොවෙයි. ඔබේ මිතුරන් අතර සිටින සමහර අය පවා අවිනීත ඇඳුම්වලට අකමැත්තක් දක්වනවා ඇති. අවිනීත ලෙස ඇඳ සිටින අය ගැන 16 හැවිරිදි බ්‍රිට්නි කියන්නේ මෙහෙම දෙයක්. “සමහර කාන්තාවන්ගේ ඇඳුම් හරිම පිළිකුල්. ඒ විදිහට එයාලා අඳින්නේ පිරිමින්ව ආකර්ෂණය කරගන්න කියලයි හිතෙන්නේ.” කේ නමැති යෞවනිය කලින් තම මිතුරියක්ව සිටි කෙනෙකු ගැන මෙවැනි දෙයක් කියනවා. “එයාගේ හැම ඇඳුමකින්ම පෙණුනේ එයාට පිරිමි ළමයිගේ අවධානය ඕනේ කියලා. ඉතින් කැපිලා පේන ඕනෑම විච්චූර්ණ ඇඳුමක් එයා ඇන්දා.”

දෙමාපියන්ගේ අදහස්

ඔබ නිවසේදී පිළිවෙළට ඇඳගෙන, පාසැලට ගොස් ඇඳගැනීමට අවිනීත ඇඳුමක් හොරෙන් බෑගයට දමාගෙන යනවා නම් එය සුදුසු දෙයක් නොවෙයි. ඔබට දෙමාපියන්ගේ විශ්වාසය දිනාගැනීමට හැකි වෙන්නේ හැම කාරණයකදීම ඔවුන්ට අවංක වුණොත් විතරයි. ඇත්තෙන්ම ඔබ යම් ඇඳුමක් මිල දී ගන්නවාද නැද්ද කියා තීරණය කිරීමේදී ඔවුන්ගේ අදහස්ද විමසීම සුදුසුයි. (හිතෝපදේශ 15:22)—“ඇඳුම් පැළඳුම් තේරීමේදී . . .” යන 82වන සහ 83වන පිටුවල ඇති කොටස බලන්න.

දෙමාපියන්ට අවශ්‍ය ඔබේ ඇඳුම් පැළඳුම්වලට නීති දමන්න විතරයි කියා ඔබ සිතුවොත් ඔබ මිල දී ගන්නා ඇඳුම් ගැන ඔවුන්ගෙන් අදහස් විමසන්න ඔබ මැළි වෙයි. නමුත් එසේ සිතීම වැරදියි. ඔවුන් ඔබට වඩා වෙනස් විදිහකට දේවල් දෙස බලන නිසා එය ඔබට ප්‍රයෝජනවත්. ඒ ගැන 17 හැවිරිදි නැටලින් මෙවැනි දෙයක් කියනවා. “මගේ ඇඳුම් නිසා අනික් අය මං ගැන වැරදි විදිහට කතා කරනවා අහන්න මම කැමති නැහැ. ඒ නිසා දෙමාපියන් මගේ ඇඳුම් ගැන දෙන උපදෙස් මම ගොඩක් අගය කරනවා.”

ඔබ මේ කාරණයද තේරුම්ගත යුතුයි. ඔබ ජීවත් වෙන්නේ දෙමාපියන් යටතේ. ඒ නිසා ඔබ ඔවුන්ට කීකරු විය යුතුයි. (කොලොස්සි 3:20) ඔබට දෙමාපියන්ගේ අදහස් ගැනත් දෙමාපියන්ට ඔබේ අදහස් ගැනත් හොඳ අවබෝධයක් තිබෙනවා නම් මතගැටුම් අවම වෙයි.

විලාසිතා තේරීමේදී: කැඩපතකින් බලන විට යම් ඇඳුමක් විනීතයි කියා පෙනෙන්න පුළුවන්. නමුත් ඔබ ඉඳගෙන ඉන්න විට හෝ යමක් ගැනීමට ඉදිරියට නැමෙන විට එහි විනීතකම අඩු විය හැකියි. ඒ නිසා ඔබේ දෙමාපියන්ගෙන් හෝ ඔබ ගැන සැලකිලිමත් වන කෙනෙකුගෙන් ඒ ගැන විමසන්න.

ඊළඟ පරිච්ඡේදය

ඔබ ඔබටම අකමැති නම් කුමක් කළ හැකිද?

[පාදසටහන]

^ 23 ඡේ. එය පුරුෂයන්ටත් අදාළයි.

බයිබල් උපදෙස

‘ඔබේ බාහිර අලංකාරයට වටිනා ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටීමට මුල් තැන නොදෙන්න. ඒ වෙනුවට ඔබේ හදවත එනම්, ඔබේ ඇතුළාන්තය අලංකාරවත් කරගන්න.’—1 පේතෘස් 3:3, 4.

යෝජනාවක්

ලිංගික හැඟීම් අවුස්සන ආකාරයේ ඇඳුම් ඇඳීමෙන් වළකින්න. එවැනි ඇඳුම්වලින් ඔබ කාමාශාවෙන් දැවෙන, ඔබ ගැන පමණක් සිතන කෙනෙක් බව පෙන්වයි.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබව මුල් වතාවට දකින කෙනෙකුට ඔබ කොයි වගේ කෙනෙක්ද කියා යම් ඉඟියක් ලබා දෙන්නේ ඔබ ඇඳ සිටින දෙයයි.

ගත හැකි පියවර

මම ඇඳුමක් මිල දී ගැනීමට පෙර ඒ ගැන අසා දැනගන්න කැමති පවුල් සාමාජිකයා, මිතුරා හෝ මිතුරිය වෙන්නේ ․․․․․

ඊළඟ වතාවේදී මම ඇඳුමක් මිල දී ගැනීමේදී සැලකිලිමත් වෙන්නේ ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● ඇඳුම් ගැන දෙමාපියන් හා දරුවන් අතර වාදවිවාද ඇති වෙන්නේ ඇයි?

● ඇඳුම් ගැන දෙමාපියන්ගේ අදහස් විමසීමෙන් ඔබට ලැබෙන්නේ කිනම් ප්‍රයෝජනද?

[81වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘අවිනීත විදිහට ඇඳන් ඉන්න ගැහැනු ළමයි දකිද්දී එයාලා ගැන මගේ හිතේ තියෙන ගෞරවය අඩු වෙනවා. හරිම විනීත, චාම් විදිහට ඇඳලා ඉන්න අයව දැක්කාම මට ඒ අය ගැන ගෞරවයක් ඇති වෙනවා. මමත් කැමති අනික් අය මං ගැන ඒ විදිහට හිතනවාට.’’ —නැටලින්

[82, 83යන පිටුවල කොටුව/පින්තූර]

ඔබේ සටහන්

ඇඳුම් පැළඳුම් තේරීමේදී . . .

මඟ පෙන්වීම්: මෙම පිටු දෙක පිටපත් කරගන්න. මෙහි දකුණු තීරුව පිරවීමට ඔබේ දෙමාපියන්ට දෙන්න. වම් පැත්තේ ඇති තීරුව ඔබ පුරවන්න. පසුව ඔබේ පිළිතුරු පත්‍ර මාරු කරගෙන ඒවා සාකච්ඡා කරන්න. ඔබව පුදුමයට පත් කරන දේවල් එහි තිබෙනවාද? ඔබ එකිනෙකා ගැන නොදැන සිටි දේවල් ගැන ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද?

ඔබ සඳහා: ඔබ මිල දී ගැනීමට කැමති හෝ දැනටමත් මිල දී ගෙන ඇති ඇඳුමක් ගැන සිතන්න.

ඔබ එයට කැමති ඇයි කියා අනුපිළිවෙළට අංක යොදන්න.

․․․․․ වෙළඳ නාමය නිසා

․․․․․ විරුද්ධ ලිංගයේ අයව ආකර්ෂණය කරගැනීමට

․․․․․ මිතුරන් අතර පිළිගැනීමක් ලැබීමට

․․․․․ පහසු නිසා

․․․․․ ලාභ නිසා

․․․․․ වෙනත් ․․․․․

මේ ඇඳුම දුටු සැණින් මගේ දෙමාපියන්ගේ ප්‍රතිචාරය විය හැක්කේ

□ “ඕක නම් අඳින්න එපා!”

□ “කමක් නැහැ.”

□ “ඒක හොඳයි!”

ඔවුන් ඊට විරුද්ධ වීමට ප්‍රධාන හේතුව විය හැක්කේ

□ “ඇඟ පේන නිසා.”

□ “කිසි පිළිවෙළක් නැති නිසා.”

□ “නව රැල්ලේ විලාසිතාවක් නිසා.”

□ “ඔවුන්ව ලැජ්ජාවට පත් වන නිසා.”

□ “මිල වැඩි නිසා.”

□ වෙනත් ․․․․․

දෙමාපියන් සමඟ එකතු වී ප්‍රශ්නය විසඳාගත හැකිද?

දෙමාපියන්ගේ මඟ පෙන්වීම් මට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

․․․․․

මේ ඇඳුම විනීත විදිහට සකස් කරගන්න පුළුවන්ද?

․․․․․

දෙමාපියන් සඳහා: ඔබේ දරුවා මිල දී ගැනීමට කැමති හෝ දැනටමත් මිල දී ගෙන ඇති ඇඳුමක් ගැන සිතන්න.

ඔබ සිතන හැටියට දරුවා ඊට කැමති වීමට හේතු ඉදිරියෙන් අනුපිළිවෙළට අංක යොදන්න.

․․․․․ වෙළෙඳ නාමය නිසා

․․․․․ විරුද්ධ ලිංගයේ අයව ආකර්ෂණය කරගැනීමට

․․․․․ මිතුරන් අතර පිළිගැනීමක් ලැබීමට

․․․․․ පහසු නිසා

․․․․․ ලාභ නිසා

․․․․․ වෙනත් ․․․․․

ඒ ඇඳුම දුටු සැණින් මම කියන්නේ

□ “ඕක නම් අඳින්න එපා!”

□ “කමක් නැහැ.”

□ “ඒක හොඳයි!”

මම අකමැති වීමට හේතුව

□ “ඇඟ පේන නිසා.”

□ “කිසි පිළිවෙළක් නැති නිසා.”

□ “නව රැල්ලේ විලාසිතාවක් නිසා.”

□ “අපව ලැජ්ජාවට පත් වන නිසා.”

□ “මිල වැඩි නිසා.”

□ වෙනත් ․․․․․

දෙමාපියන් සමඟ එකතු වී ප්‍රශ්නය විසඳාගත හැකිද?

මේ ඇඳුමට අපි කැමති නැත්තේ අපේ පෞද්ගලික රුචි අරුචිකම් නිසාද?

□ ඔව් □ වෙන්න පුළුවන් □ නැහැ

මේ ඇඳුම විනීත විදිහට සකස් කරගන්න පුළුවන්ද?

․․․․․

අවසන් තීරණය ․․․․․

[84වන පිටුවේ කොටුව]

පිරිමි ළමයින්ට මෙය අදාළ නැද්ද?

මෙම පරිච්ඡේදයේ ඇති බයිබලයේ සඳහන් උපදෙස් පිරිමි ළමයින්ටත් අදාළයි. ඒ නිසා ඔබත් ඔබේ ඇඳුම් පැළඳුම් විනීතද කියා සැලකිලිමත් විය යුතුයි. ඔබ අඳින පළඳින විදිහෙන් ඔබ කොයි වගේ ගතිපැවතුම් තිබෙන කෙනෙක්ද කියා පෙනෙන්න සලස්වන්න. යම් ඇඳුමක් ගැනීමට හෝ ඇඳීමට පෙර මේ ගැන සිතන්න. ‘මේ ඇඳුම ඇන්දොත් අනික් අය මං ගැන මොනවා හිතයිද?’ ඔවුන් සිතූ දේ හරිද? අපේ ඇඳුම් පැළඳුම් මගින් අපි කවුද කියා අන් අයට කියාපාන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.

[80වන පිටුවේ පින්තූරය]

ඔබ කොයි වගේ කෙනෙක්ද කියා ඔබේ ඇඳුම්වලින් කියාපානවා. ඔබ අඳින ඇඳුම්වලින් ඔබ ගැන අන් අයට දෙන “පණිවිඩය” කුමක්ද?