Skip to content

පටුනට යන්න

මගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්නේ කොහොමද?

මගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්නේ කොහොමද?

12වෙනි පරිච්ඡේදය

මගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්නේ කොහොමද?

ඔව් නැහැ

කැඩපතින් දිස් වන ඔබේ මුහුණට ඔබ කැමතිද? □ □

ඔබ දක්ෂයි කියා ඔබට හැඟෙනවාද? □ □

මිතුරන්ගෙන් එන පීඩනය ඔබට ජය ගත හැකිද? □ □

අඩුපාඩු පෙන්වා දෙනවාට ඔබ කැමතිද? □ □

ඔබ ගැන අසාධාරණ දේවල් කියද්දී දරාගත හැකිද? □ □

අන් අය ඔබට ආදරෙයි කියා ඔබට දැනෙනවාද? □ □

ඔබේ සෞඛ්‍යය ගැන ඔබ සැලකිලිමත්ද? □ □

අන් අය දියුණු වන විට ඔබ සතුටු වෙනවාද? □ □

ඔබ සාර්ථකයි කියා ඔබට සිතෙනවාද? □ □

ඉහත ප්‍රශ්නවලින් වැඩි හරියකටම ඔබේ පිළිතුර ‘නැහැ’ නම් ඉන් පෙනෙන්නේ ඔබේ ආත්ම විශ්වාසය යම් දුරකට අඩු වී ඇති බවයි. ඒ නිසා ඔබේ පෙනුම, ඔබ තුළ තිබෙන දක්ෂතා වැනි දේවල් ඔබට තේරුම්ගන්න බැහැ. මෙම පරිච්ඡේදය කියවීමෙන් ඔබේ වටිනාකම තේරුම්ගැනීමට ඔබට උපකාරයක් ලැබෙයි.

බොහෝ යෞවනයන් තමන්ගේ පෙනුම සහ හැකියාවන් ගැන සෑහීමට පත් වෙන්නේ නැහැ. ඔවුන් නිතරම තම මිතුරන් සමඟ තමන්ව සන්සන්දනය කරනවා. ඔබත් එවැනි කෙනෙක්ද?

“මගේ අතින් සිදු වෙන අඩුපාඩු නිසා මම හරියට කලකිරෙනවා. මං තරම් මාව විවේචනය කරන කෙනෙක් තවත් නැහැ!”—ලෙටිෂියා.

“ඔබ කොයි තරම් ලස්සන වුණත් කඩවසම් වුණත් අනික් අය ඔබට වඩා ලස්සනයි කියලා ඔබට හිතෙයි.”හේලි.

“මගේ යාළුවෝ මාව කොන් කරයි කියලා මට භයයි. ඒ නිසා මම කරන කියන දේවල් ගැන ඕනෑවට වඩා සැලකිලිමත් වෙනවා.”රේචල්.

ඔබටත් එසේ සිතෙනවා නම් එවැනි සිතුවිලි පරාජය කරන්න ඔබට පුළුවන්. ඒ සඳහා උපකාරවත් වන යෝජනා තුනක් අපි දැන් සලකා බලමු.

අන් අයට උපකාර කරන්න

බයිබලයේ සඳහන් උපදෙස. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.

ඉන් අදහස් කරන දේ. ඔබ අන් අයට උදව් කිරීමෙන් ඔබ ඔබටම උදව් කරගන්නවා. ඒ කොහොමද? බයිබලයේ සඳහන් මේ දෙයින් එය පැහැදිලි වෙනවා. “ත්‍යාගශීලී තැනැත්තා තෘප්තියට පත් වෙයි. අන්‍යයන්ව නොමසුරුව පෝෂණය කරන තැනැත්තාවද නොඅඩුව පෝෂණය කරනු ලැබේ.” (හිතෝපදේශ 11:25) ඔබ අන් අයට උදව් කරන විට ඔබට ප්‍රීතියක් දැනෙයි. එයින් ඔබේ ආත්ම විශ්වාසයද වැඩි වෙයි. *

“සභාවේ යම් උපකාර අවශ්‍ය අය වෙනුවෙන් මට කරන්න පුළුවන් මොනවාද කියලා මම කල්පනා කරනවා. එවැනි අයට ප්‍රේමය පෙන්වද්දී ඔවුන් එක්ක කාලය ගත කරද්දී මට තෘප්තියක් දැනෙනවා.”බ්‍රියැනා.

“දේවසේවයේ යෑම ඇත්තටම ප්‍රයෝජනවත්. මොකද අපි, අපි ගැන හිතන එක නතර කරලා අනික් අය ගැන හිතන්න පටන්ගන්නවා.”ජේවන්.

සැලකිලිමත් වෙන්න: උදව්වක් ලබාගැනීමේ අරමුණින් තව කෙනෙකුට උදව් කරන්න එපා! (මතෙව් 6:2-4) එසේ කළොත් ඔබේ වැරදි චේතනාව අනික් අයට තේරෙන අතර ඔබට කිසි තෘප්තියක් නොලැබෙයි.—1 තෙසලෝනික 2:5, 6.

ඔබට කළ හැකි දේ. ඔබ උපකාර කළ පුද්ගලයෙකු ගැන සිතන්න. ඒ කවුද? ඔබ කළේ කුමක්ද?

․․․․․

ඒ ගැන ඔබට හැඟුණේ කොහොමද?

․․․․․

උපකාර කළ හැකි වෙනත් කෙනෙකු ගැන සිතන්න. එය කළ හැකි ආකාරය ලියන්න.

․․․․․

හොඳ මිතුරන් ඇති කරගන්න

බයිබලයේ සඳහන් උපදෙස. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.

ඉන් අදහස් කරන දේ. කරදරවලින් මිරිකී සිටින විට මිතුරෙකුගෙන් ලැබෙන සහනය මිල කළ නොහැකියි. (1 සාමුවෙල් 18:1; 19:2) ඔබ ගැන සැලකිලිමත් කෙනෙකු සිටිනවා යන හැඟීමම ඔබට ගෙන දෙන්නේ මහත් සහනයක්. (1 කොරින්ති 16:17, 18) එමනිසා ඔබේ යහපත ගැන සිතන අයව ඇසුරු කරන්න.

“සැබෑ මිතුරන් ඔබව දිරිමත් කර ඔබට නැඟිටින්න අත දෙයි.”ඩානෙල්.

“ඔබ ගැන අවංකව සැලකිලිමත් වන කෙනෙකු ඉන්නවා කියා දැන සිටීම හරිම වැදගත්. එයින් ඔබ වටිනා කෙනෙක් කියන හැඟීම ඔබ තුළ ඇති වෙනවා.”හෙදර්.

සැලකිලිමත් වෙන්න: ඔබේ මිතුරන්ගේ හොඳ හිත දිනාගැනීමට ඔබේ යහපත් ගතිගුණ ඔබ වෙනස් කරගන්නවා නම් ඒ මිතුරන් ඔබට සුදුසු අය නොවෙයි. (හිතෝපදේශ 13:20; 18:24; 1 කොරින්ති 15:33) අනික් අයගේ හිත දිනාගැනීමට නුසුදුසු ක්‍රියාවල නිරත වීමෙන් සිදු වෙන්නේ ඔබේ ආත්ම විශ්වාසය නැති වී ඔබට ඔබ ගැනම ලැජ්ජාවක් ඇති වීමයි.—රෝම 6:21.

ඔබට කළ හැකි දේ. ඔබේ ආත්ම විශ්වාසය වැඩි කරන මිතුරෙකුගේ නමක් ලියන්න.

․․․․․

එම මිතුරා සමඟ වැඩි කාලයක් ගත කිරීමට සැලසුම් කරන්න ඔබට පුළුවන්ද?—ඔහු හෝ ඇය ඔබේම වයසේ කෙනෙකු වීම අවශ්‍ය නැහැ.

උත්සාහය අත්හරින්න එපා

බයිබලයේ සඳහන් උපදෙස. “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති.”—රෝම 3:23.

ඉන් අදහස් කරන දේ. ඕනෑම කෙනෙකු තුළ වැරදි කිරීමට නැඹුරුවාවක් තිබෙනවා. ඒ නිසා වැරදි දෙයක් කීමට හෝ කිරීමට ඔබ පෙලඹෙන්න පුළුවන්. (රෝම 7:21-23; යාකොබ් 3:2) විටින් විට ඔබ අතින් වැරදි සිදු වුණත් ඒවා නිවැරදි කරන්න ඔබට පුළුවන්. “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—හිතෝපදේශ 24:16.

“සමහර වෙලාවට අපේ ආත්ම විශ්වාසය අඩු වෙන්නේ අපි අනික් අයගේ හැකියාවන් එක්ක අපේ හැකියාවන් සන්සන්දනය කරන නිසයි.”කෙවින්.

“අපි හැමෝටම හොඳ ගුණාංගත් නරක ගුණාංගත් තියෙනවා. ඒ නිසා හොඳ ගුණාංග ගැන සතුටු වෙලා, නරක ගුණාංග ඉවත් කරගන්න උත්සාහ කරන්න ඕනේ.”ලොරන්.

සැලකිලිමත් වෙන්න: අප උපතින්ම පාපය උරුම කරගෙන තිබුණත් එය වැරදි දේවල් කිරීමට හේතුවක් කරගැනීම සුදුසු නැහැ! (ගලාති 5:13) හිතාමතාම වැරදි කිරීමෙන්, ඔබට තිබෙන වටිනාම මිත්‍රත්වය එනම් යෙහෝවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය නැති වී යයි.—හෙබ්‍රෙව් 10:26, 27.

ඔබට කළ හැකි දේ. ඔබ දියුණු කරගැනීමට කැමති ගුණාංගයක් ලියන්න.

․․․․․

එය ඉදිරියෙන් අද දිනය සටහන් කරන්න. එම ගුණාංගය දියුණු කරගත හැකි ආකාරය සොයා බලන්න. මාසයකට පසු ඔබේ දියුණුව මැන බලන්න.

ඔබේ සැබෑ වටිනාකම

‘අපට වඩා හොඳින් දෙවි අපගේ සිත් ගැන දන්නවා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 3:20) ඉන් අදහස් කරන්නේ ඔබ ඔබව වටිනා කෙනෙක් ලෙස නොසිතුවත් දෙවි ඔබව වටිනා පුද්ගලයෙකු ලෙස සලකන බවයි. නමුත් ඔබ අතින් වරදක් සිදු වූ පසු දෙවි ඔබව වටිනා පුද්ගලයෙකු ලෙස සලකයිද කියා ඔබ සිතනවා ඇති. මේ උදාහරණය සලකා බලන්න. ඔබේ අතේ රුපියල් දාහේ නෝට්ටුවක් තියෙනවා. හැබැයි ඒක ටිකක් ඉරිලා. ඒක ඉරිලා තියෙන නිසා ඔබ එය විසි කරනවාද? නැහැ. ඊට හේතුව එය ඉරී තිබුණත් එහි වටිනාකම අඩු වෙන්නේ නැති නිසයි.

ඒ හා සමානව ඔබ අතින් වැරදි සිදු වුණත් දෙවි ඉදිරියේ ඔබේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඔහුව සතුටු කිරීමට ඔබ දරන වෑයම ඔහු දකින අතර එය ඉතා අගය කොට සලකනවා. බයිබලයේ සඳහන් මේ දෙයින් එය තවත් තහවුරු වෙනවා. “ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.”—හෙබ්‍රෙව් 6:10.

ඊළඟ පරිච්ඡේදය

සමහර දවස්වලට ඔබට දරාගත නොහැකි තරම් සිත් වේදනාවක් දැනෙනවාද? එයින් මිදීමට කුමක් කළ හැකිද?

[පාදසටහන]

^ 21 ඡේ. ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නම් ශුභාරංචිය ගැන අන් අයට පැවසීමෙන් ලැබෙන ප්‍රීතිය ගැන සිතන්න.—යෙසායා 52:7.

බයිබල් උපදෙස

“සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන. මෙහිදී අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්‍ය වන්නේ නැත.”—ගලාති 6:4.

යෝජනාවක්

‘මම මොන දේ කළත් වරදිනවා,’ ‘කවදාවත් මට දෙයක් හරියට කරගන්න බැහැ’ වැනි දේවල් සිතන්න එපා. එසේ සිතීමෙන් ඔබ මානසිකව වැටෙනවා. ඔබ කළ යුත්තේ ඔබේ අඩුපාඩු තේරුම්ගෙන ඔබ සතු හැකියාවන්ට අවධානය දීමයි.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබ, ඔබ ගැන සිතන ආකාරය, අනික් අය ඔබ ගැන සිතන ආකාරයටත් සලකන ආකාරයටත් බලපානවා.

ගත හැකි පියවර

මිතුරන් මාව කොන් කරන විට මම ․․․․․

මගේ වැරදි විතරක් මම දකින විට ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● විශේෂයෙන් යෞවනයන්ට ආත්ම විශ්වාසය අඩු ඇයි?

● තමන් ගැන යම් දුරකට ආත්ම විශ්වාසයක් ඇතුව සිටීම වැදගත් ඇයි?

[88වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘හොඳ පෙනුමක් තියෙන කෙනෙකුට එයා එච්චර ලස්සන නැහැ කියා හිතෙන්න පුළුවන්. ඒත් එච්චර පෙනුමක් නැති කෙනෙකුට එයා ලස්සනයි කියා ඕනෑවට වඩා හිතන්න පුළුවන්. මේ හැම දේටම මුල ඒ අය හිතන විදිහයි.’’—ඇලිසා

[90වන පිටුවේ පින්තූරය]

මුදල් නෝට්ටුවක් ටිකක් ඉරී තිබුණා කියා එහි වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඔබ අතින් සිදු වෙන අඩුපාඩු නිසා ඔබ වටිනාකමක් නැති කෙනෙක් කියා දෙවි සලකන්නෙත් නැහැ