Skip to content

පටුනට යන්න

ඇයි මගේ හිතට මේ තරම් දුකක් දැනෙන්නේ?

ඇයි මගේ හිතට මේ තරම් දුකක් දැනෙන්නේ?

13වෙනි පරිච්ඡේදය

ඇයි මගේ හිතට මේ තරම් දුකක් දැනෙන්නේ?

“මගේ යාළුවෝ දුකෙන් ඉන්න කොට මං තමයි එයාලාව සනසන්නේ. ඒත් මගේ හිතේ තියෙන දුක එයාලා දන්නේ නැහැ. මම හුඟක් දවස්වලට මගේ කාමරේට වෙලා අඬනවා.”—කෙලි.

“මං දුකෙන් ඉන්න කොට කාත් එක්කවත් කතා කරන්න කැමති නැහැ. මට ගමනක් යන්න කවුරු හරි එන්න කිව්වාම මං කොහොම හරි ඒක මඟහරිනවා. හැබැයි මං දුකෙන් ඉන්නේ කියලා ගෙදර අයවත් දන්නේ නැහැ.”—රික්.

ඔබටත් ඒ විදිහට හැඟිලා තියෙනවාද? එහෙමනම් කලබල වෙන්න එපා. එය සාමාන්‍යයෙන් හැමෝටම වගේ ඇති වන හැඟීමක්. ඈත අතීතයේදී දෙවිට නමස්කාර කළ අයට පවා එවැනි හැඟීම් ඇති වුණා.—1 සාමුවෙල් 1:6-8; ගීතාවලිය 35:14.

සමහරවිට දුකක් දැනෙන්නේ යම් හේතුවකටයි. ඒත් සමහර අයට හේතුවක් නැතුවත් දුකක් දැනෙනවා. ඒ ගැන 19 හැවිරිදි ඇනා පැවසූ දේ බලන්න. “දුකක් දැනෙන්න ලොකු හේතුවක් තියෙන්නම ඕනේ නැහැ. සමහර දවස්වලට කිසිම හේතුවක් නැතුවත් හිතට ලොකු වේදනාවක් දැනෙනවා. ඇයි කියලා මට තේරෙන්නේ නැහැ.”

සිතට දුකක් දැනෙන්න හේතුවක් තිබුණත් නැතත් ඒ දුක නැති කරන්න ඔබට යමක් කළ හැකියි. පහත සඳහන් දේ අත්හදා බලන්න.

1. දුක කියන්න. සිත් තැවුලෙන් සිටි යෝබ් මෙසේ පැවසුවා. “හදවතේ දැවෙන දුක මම නොසඟවා ප්‍රකාශ කරන්නෙමි.”—යෝබ් 10:1.

කෙලි: “මගේ හිතේ දුක කාට හරි කිව්වාම මට ලොකු සහනයක් දැනෙනවා. ඒක හරියට මම වළක වැටිලා ඉන්න කොට කඹයක් දාලා මාව ගොඩට ගත්තා වගෙයි!”

යෝජනාවක්: ඔබට දුකක් දැනෙන කොට ඒ ගැන කතා කරන්න පුළුවන් විශ්වාසවන්ත මිතුරෙකුගේ නමක් ලියන්න.

․․․․․

2. දුක ලියන්න. එදිනෙදා වැඩකටයුතු කරගැනීමට පවා නොහැකිව සිත් තැවුලෙන් සිටින විට ඔබේ සිතට දැනෙන දුක්බර හැඟීම් පොතක ලියන්න. බයිබල් ලේඛකයෙකු වූ දාවිත්ද දුකෙන් සිටි අවස්ථාවලදී ඔහුට හැඟුණු දේ ගීතිකා ලෙස රචනා කළා. (ගීතාවලිය 6:6) ඔබේ සිතට දැනෙන දේ ලිවීමෙන් “ප්‍රඥාවද ඔබේ සිතීමේ හැකියාවද රැකගන්න” හැකි වෙයි.—හිතෝපදේශ 3:21.

හෙදර්: “හිතේ දුක නිසා කිසිම දෙයක් කරගන්න බැරි තරමට මනස අවුල් වෙලා තියෙන කොට ඒ හැඟීම් ලියද්දී මනස නැවත නිරවුල් කරගන්න මට පුළුවන් වෙනවා. මම එහෙම කරන කොට දුකත් ටිකෙන් ටික අඩු වෙනවා.”

යෝජනාවක්: ඔබේ දුක තුනී කරගැනීමට යම් උපකාරයක්  93වන පිටුවේ ඇති කොටුවෙන් ලබාගත හැකියි.

3. යාච්ඤා කරන්න. අපේ දුක දෙවිට පැවසීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.”—ෆිලිප්පි 4:6, 7.

එස්ත: “මට දුකක් දැනුණේ ඇයි කියලා මට තේරුම්ගන්න බැරි වුණා. මට හැම දේම එපා වෙලයි තිබුණේ. ඒ වගේ වෙලාවට මට සතුටින් ඉන්න උදව් කරන්න කියලා මං යෙහෝවා දෙවිට යාච්ඤා කෙරුවා. අන්තිමේදී මට ඒකෙන් ගොඩ එන්න පුළුවන් වුණා. යාච්ඤාවෙන් ලැබෙන උපකාරය කවදාවත් සැහැල්ලුවට ගන්න එපා.”

යෝජනාවක්: බයිබලයක් තිබෙනවා නම් ගීතාවලිය 139:23වන සහ 24වන පද කියවන්න. ඉන්පසු ඒ විදිහටම ඔබේ සිතේ තිබෙන සෑම දෙයක්ම යෙහෝවා දෙවිට කියන්න. ඔබේ සිතට මේ තරම් දුකක් දැනෙන්නේ ඇයි කියා තේරුම්ගැනීමට දෙවිගෙන් උපකාර ඉල්ලන්න.

ඉහත සඳහන් යෝජනාවලට අමතරව බයිබලය කියවීමෙන්ද සහනයක් ලබාගන්න පුළුවන්. බයිබලයේ තිබෙන දිරිගන්වනසුලු අදහස්වලින් ඔබේ දුක තුනී වෙයි. (ගීතාවලිය 1:1-3) කියවීම සඳහා දිරිගන්වනසුලු බයිබල් කොටස් මේ පොතේ සහ 2වන පොතේ තිබෙන “ඔබට ආදර්ශයක්” නමැති අංගයෙන් සොයාගත හැකියි. දෙවිගේ සේවකයෙක් වූ පාවුල් තමා අතින් සිදු වූ අඩුපාඩු නිසා කලකිරීමට පත් වුණා. ඔහු එයින් මිදුණු ආකාරය 2වන පොතේ 227වන පිටුවෙන් ඔබට දැනගත හැකියි.

දිගින් දිගටම දුක තිබෙන විට

“සමහර දවස්වලට මට උදේට ඇඳෙන් බහින්නවත් හිතෙන්නේ නැහැ. මගේ ජීවිතයට අරමුණක් නැති නිසා තවත් දවසක් ලැබුණයි කියලා මට කිසි සතුටක් නැහැ” කියා රයන් පවසනවා. රයන්ට තිබෙන්නේ සාමාන්‍ය දුකට වඩා වැඩි යමක්. ඔහු මානසික අවපීඩනයෙන් පෙළෙනවා. එය රෝගී තත්වයක්. වාර්තාවලින් පෙන්වන්නේ යෞවනයන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් වැඩිහිටිභාවයට පත් වීමට පෙර යම් ආකාරයක මානසික පීඩනයකට මුහුණ දෙන බවයි.

ඔබට තිබෙන්නෙත් මානසික අවපීඩනයද කියා දැනගන්නේ කොහොමද? ඔබට මේ රෝග ලක්ෂණ තිබෙනවාද? ඔබේ මානසික තත්වය හා හැසිරීම හිටිහැටියේම වෙනස් වීම, නිතරම තනි වී සිටින්න කැමැත්තක් දැක්වීම, කිසිම දෙයක් කිරීමට ආශාවක් නොදැක්වීම, ආහාර ගැනීමේ හා නිදාගැනීමේ රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වීම, තමන් කොහෙත්ම වටින්නේ නැති කෙනෙක් යන හැඟීම් සහ කිසිම හේතුවක් නැතුව තමන්ට දොස් පවරාගැනීම.

ඔබට එවැනි ලක්ෂණ එකක් හෝ දෙකක් තිබූ පමණින් කලබල වෙන්න එපා. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට එවැනි ලක්ෂණ විටින් විට මතු වෙන්න පුළුවන්. නමුත් එවැනි ලක්ෂණ සති ගණනාවක් පුරා පවතිනවා නම් වෛද්‍යවරයෙකු හමු වීම සඳහා ඔබේ දෙමාපියන් සමඟ කතා කරන්න. එවිට එවැනි දුක්බර හැඟීම් ඔබට ඇති වෙන්නේ යම් රෝගී තත්වයක් නිසාද කියා සොයාගැනීමට වෛද්‍යවරයාට හැකි වෙයි. *

ඔබට මානසික අවපීඩනය තිබෙනවා කියා හඳුනාගත්තා නම් ඒ ගැන ලැජ්ජා වෙන්න එපා. යම් ආකාරයක මානසික රෝගී තත්වයන් තිබෙන බොහෝදෙනෙක් ඊට ප්‍රතිකාර ගැනීමෙන් සුවයක් ලබා තිබෙනවා. ඔබට දැනෙන දුකට හේතුවක් තිබුණත් නැතත් බයිබලයේ පවසන මේ දෙයින් ඔබට සහනයක් ලැබෙන බව ස්ථිරයි. “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”—ගීතාවලිය 34:18.

ඊළඟ පරිච්ඡේදය

සිතේ දුක වැඩි නිසා සිය දිවි හානි කරගත්තා නම් හොඳයි කියා සිතෙනවාද?

[පාදසටහන]

^ 22 ඡේ. දිගු කාලයක් තිස්සේ දුකෙන් පෙළෙන සමහර යෞවනයන් දිවි නසාගැනීමට පවා පෙලඹෙනවා. ඔබටත් එවැනි හැඟීම් තිබෙනවා නම් වහාම විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමඟ කතා කරන්න.—මේ පොතේ 14වන පරිච්ඡේදයද බලන්න.

බයිබල් උපදෙස

“යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”—ගීතාවලිය 34:18.

යෝජනාවක්

ඔබ දුකෙන් සිටින විට ඒ ගැන ඔබට හැඟෙන ආකාරයත් එම හැඟීම් ඇති වීමට හේතුවත් ලියන්න. මාසෙකට පසුව ඔබ ලියූ දේ නැවත කියවන්න. දැන් එම හැඟීම් වෙනස් වෙලා නම් එසේ වීමට උපකාරවත් වූ දේ සඳහන් කරන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබ පිරිමි ළමයෙක් නිසා අඬන්න ලැජ්ජා වෙන්න එපා. දාවිත් රජ මෙවැනි දෙයක් පැවසුවා. “රාත්‍රිය පුරා මා හෙළන කඳුළෙන් මාගේ යහන පෙඟී ඇත.”—ගීතාවලිය 6:6.

ගත හැකි පියවර

දුක්බර හැඟීම්වලින් ගොඩ ඒමට පහත සඳහන් දේවල් මට කළ හැකියි ․․․․․

පහත සඳහන් මිතුරන්ව ඇසුරු කිරීමෙන් මගේ දුක අඩු වී යයි ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● කඳුළු සැලීමෙන් සහනයක් දැනෙයිද?

● අන් අයව ඇසුරු කිරීමෙන් දුක අඩු වෙන්නේ කොහොමද?

[96වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘දුකෙන් ඉන්න කොට තනි වෙලා ඉන්න හොඳ නැහැ කියලා මම දන්නවා. පැත්තකට ගිහිල්ලා ටිකක් ඇඬුවාම මගේ හිතට සහනයක් දැනෙනවා. හැබැයි මගේ දුක අමතක කරලා සතුටින් ඉන්න නම් මම අනික් අයත් එක්ක ඉන්න ඕනේ කියලා මම දන්නවා.’’—ක්‍රිස්ටීන්

[93යන පිටුවේ වගුව/පින්තූර]

 ඔබේ සටහන්

දුක අඩු කරගැනීමට

වගුව පුරවන්න

සිද්ධිය

ගුරුවරිය මාව පහත් කර කතා කරන විට

නුසුදුසු තීරණය

මම පන්තියේ වැඩවලට දැක්වූ උනන්දුව අත්හරිනවා

සුදුසු තීරණය

ඉඟියක්: මෙම පොතේ 20වන පරිච්ඡේදය බලන්න

සිද්ධිය

යාළුවෙක් මාව කොන් කරන විට

නුසුදුසු තීරණය

ඒ යාළුවා ගැන බොරු කතා පතුරුවනවා

සුදුසු තීරණය

ඉඟියක්: දෙවන පොතේ 10වන පරිච්ඡේදය බලන්න

සිද්ධිය

මගේ දෙමාපියන් දික්කසාද වෙන්න යනවා

නුසුදුසු තීරණය

මව හෝ පියා ගැන හිතේ වෛරයක් තබාගැනීම

සුදුසු තීරණය

ඉඟියක්: මෙම පොතේ 4වන පරිච්ඡේදය බලන්න

මෙම පොතේ

සිද්ධිය

․․․․․

නුසුදුසු තීරණය

․․․․․

සුදුසු තීරණය

․․․․․

සිද්ධිය

․․․․․

නුසුදුසු තීරණය

․․․․․

සුදුසු තීරණය

․․․․․

[95වන පිටුවේ පින්තූරය]

අන් අයගේ උපකාරය හා ඔබේ වෑයම ඇතුව දුක නමැති වළෙන් ගොඩ ඒමට ඔබට හැකියි