Skip to content

පටුනට යන්න

මැරුණා නම් හොඳයි කියලා හිතෙන්නේ ඇයි?

මැරුණා නම් හොඳයි කියලා හිතෙන්නේ ඇයි?

14වෙනි පරිච්ඡේදය

මැරුණා නම් හොඳයි කියලා හිතෙන්නේ ඇයි?

‘මම තවත් ජීවත් වෙලා වැඩක් නැහැ. මම මැරුණා නම් මීට වඩා හොඳයි.’ එසේ පැවසුවේ කවුද? දෙවිව විශ්වාස නොකළ කෙනෙක්ද? දෙවි ගැන තිබූ විශ්වාසය අත්හැරිය කෙනෙක්ද? නැත්නම් දෙවි විසින් අත්හරිනු ලැබූ කෙනෙක්ද? නැහැ. ඒ වෙන කවුරුත් නොවෙයි. දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ යෝනා. ඔහු එසේ පැවසුවේ ඔහුට දැනුණු කලකිරීම නිසයි.—යෝනා 4:3.

යෝනා තම ජීවිතය නැති කරගන්න තැත් කළා කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඔහු වේදනාවෙන් කියූ දෙයින් පැහැදිලි වෙන්නේ දෙවිගේ සේවකයන් පවා යම් අවස්ථාවල සිත්තැවුලට පත් වන බවයි.—ගීතාවලිය 34:19.

සමහර අය කොතරම් කලකිරීමෙන් සිටිනවාද කියනවා නම් ජීවත් වෙලා පලක් නැහැ කියා ඔවුන් සිතනවා. දහසය හැවිරිදි ලෝරාටත් හැඟුණේ ඒ විදිහටයි. “කාලයක් තිස්සේ මම නිතර නිතර මානසිකව පීඩා වින්දා. සමහර වෙලාවට මගේ ජීවිතය නැති කර ගන්නත් මට හිතිලා තියෙනවා.” දිවි නසාගැනීමට සිතන කෙනෙක් ගැන ඔබ දන්නවාද? ඔබට එසේ හිතිලා තියෙනවාද? එවැනි සිතුවිලි පලවාහැරීමට ඔබට කුමක් කළ හැකිද? මුලින්ම අපි බලමු එවැනි සිතුවිල්ලක් ඇති වෙන්නේ ඇයි කියලා.

කලකිරීමට හේතුව

කෙනෙක් දිවි නසාගන්න හිතන්නේ ඇයි? ඒ සඳහා විවිධ හේතූන් බලපානවා. ඉන් එක් හේතුවක් නම් “ඉතා අසීරු, අනතුරු සහිත” කාලයක ජීවත් වන නිසා බොහෝ යෞවනයන්ට පීඩනය දරාගන්න අමාරු වීමයි. (2 තිමෝති 3:1) මිනිසාට උරුම වී තිබෙන පාපය නිසා ඔබ ගැනත් ඔබ අවට සිටින අය ගැනත් වැරදි විදිහට හිතන්න ඔබ පෙලඹිය හැකියි. (රෝම 7:22-24) සමහරවිට අනික් අයගෙන් අඩු සැලකිලි ලැබෙන නිසාත් හිරිහැරයන්ට ලක් වන නිසාත් දිවි නසාගැනීමේ සිතුවිල්ල ඇති විය හැකියි. ඒ වගේම අසනීප තත්වයන්ද බලපාන්න පුළුවන්. එක් රටක සිය දිවි නසාගත් අයගෙන් සියයට 90ක්ම මානසික රෝගීන් වීම ඊට එක් උදාහරණයක්. *

තරුණ, වැඩිහිටි සියලුදෙනාම පීඩනයට මුහුණ දෙනවා. ඒ නිසයි “මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින් සිටින බව” බයිබලයේ සඳහන් වෙන්නේ. (රෝම 8:22) බොහෝ යෞවනයන් දිවි නසාගැනීමට හේතු වන ප්‍රධාන කාරණා කිහිපයක් පහත සඳහන් වෙයි.

පවුලේ කෙනෙකුගේ හෝ මිතුරෙකුගේ මරණය

පවුල තුළ ප්‍රශ්න

විභාග අසමත් වීම

පෙම් සබඳතා බිඳී යෑම

හිරිහැරයට ලක් වීම (ශාරීරිකව හෝ ලිංගිකව)

යම් දිනක ඉහත සඳහන් කාරණාවලින් එකකට හෝ යෞවනයන්ට මුහුණ දීමට සිදු විය හැකියි. සමහර යෞවන යෞවනියන් එවැනි පීඩනයන්ට සාර්ථකව මුහුණ දෙනවා. ඒත් සමහර අය කලකිරීමට පත් වෙලා මානසිකව වැටෙනවා. විශේෂඥයන් පවසන්නේ බොහෝ යෞවනයන් කලකිරීමට පත් වෙන්නේ තමන්ට කාගෙවත් පිහිටක් නැහැයි කියා සිතන නිසාත් ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් ඔවුන්ට නැති නිසාත් කියායි. ඇත්තෙන්ම ඔවුන්ට ජීවිතය නැති කරගන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ වේදනාව නැති කරගන්න විතරයි.

විසඳුමක් නැද්ද?

තමන්ට දැනෙන වේදනාව නිසා දිවි නසාගන්න සිතන කෙනෙක් ගැන ඔබ දන්නවාද? ඔබට කරන්න පුළුවන් මොනවාද?

ඔහුට හෝ ඇයට කාගෙන් හරි උපකාරයක් ලබාගන්න කියා උනන්දු කරන්න. ඔවුන් කුමක් සිතුවත් ඔබට පුළුවන්, කාරණා දෙස සාධාරණව බලන විශ්වාසවන්ත කෙනෙකුට ඒ ගැන කියන්න. එසේ කිරීමෙන් ඔබේ මිත්‍රකමට හානියක් වෙයි කියා භය වෙන්න එපා. සමහරවිට එයින් ඔබේ මිතුරාගේ ජීවිතය බේරාගන්න ඔබට හැකි වෙයි!

ඔබේ ජීවිතය නැති කරගන්න ඔබට සිතුණොත් කුමක් කළ හැකිද? ඔබ ගැන සැලකිලිමත් වන, ඔබට ඇහුම්කන් දෙන, ඔබ කියන දේ සැහැල්ලුවට නොගන්නා කෙනෙකුට ඔබට හැඟෙන ආකාරය කියන්න. ඒ සඳහා ඔබේ මව හෝ පියා, නෑදෑයෙකු, මිතුරෙකු, ගුරුවරයෙකු වැනි කෙනෙකුව තෝරාගන්න. * ඒ ගැන කතා කිරීමෙන් ඔබට සිදු වෙන්නේ යහපතක්.

තවත් කෙනෙකු සමඟ ගැටලුව ගැන කතා කළ පමණින් එය ඉවත් වෙයි කියා සිතන්න එපා. එයින් ඔබට වෙනත් කෝනයකින් ගැටලුව දෙස බලා ඊට ඇති විසඳුමක් ගැන කල්පනා කිරීමට යම් උපකාරයක් ලැබෙයි.

තත්වයන් වෙනස් වෙයි

යම් හේතුවක් නිසා ඔබ දැඩි පීඩනයට ලක් වී සිටිනවා නම් කාලයත් සමඟම දේවල් වෙනස් වෙන බව මතක තබාගන්න. “වැලපෙමින් සිටි මට නටන්න සැලැස්වුවේ ඔබය” කියා බොහෝ පීඩාවන්ට මුහුණ දුන් දාවිත් රජුට කියන්න හැකි වුණේ ඒ නිසයි.—ගීතාවලිය 30:11.

හැමදාම ප්‍රීතියෙන් ඉන්න පුළුවන් වෙයි කියා දාවිත් සිතුවේ නැහැ. කම්කටොලු කලින් කලට ඇති වී නැති වී යන බව ඔහු ලද අද්දැකීම්වලින් ඔහු තේරුම්ගත්තා. ඔබටත් එසේ හැඟී තිබෙනවාද? සමහර ප්‍රශ්න දරාගන්න අමාරුයි කියා ඔබට හැඟෙන්න පුළුවන්. නමුත් ඉවසීමෙන් කටයුතු කළොත් තත්වයන් හොඳ අතට හැරෙන්න ඉඩ තිබෙනවා. ඔබ නොසිතූ ලෙස ඒවා නැති වී යෑමට හෝ ඒවාට සාර්ථකව මුහුණ දීමට ක්‍රමයක් සොයාගන්න ඔබට පුළුවන් වෙයි. හැමදාටම ප්‍රශ්න ගැටලු එක විදිහට තියෙන්නේ නැහැයි කියන කාරණය අමතක කරන්න එපා.—2 කොරින්ති 4:17.

යාච්ඤාවේ වැදගත්කම

දෙවි තරම් ඔබව තේරුම්ගන්නා කෙනෙක් තවත් නැහැ. ඒ නිසා ඔබේ සිතුවිලි දෙවිට කියන්න. දාවිත් මෙන් ඔබටත් මෙසේ යාච්ඤා කළ හැකියි. “අනේ දෙවියනි, මාව විමසා බලා මාගේ හදවතේ තිබෙන දේ දැනගන්න. මාව සෝදිසි කර බලා මාගේ සිතට වධ දෙන දේ දැනගන්න. මාව නොමඟට යවන දෙයක් මා තුළ තිබේද කියා සොයා බලා මට සදහටම මඟ පෙන්වන්න.”—ගීතාවලිය 139:23, 24.

යාච්ඤාව විශේෂයි. මන්ද එය “ඔබේ හදවතේ ඇති සියල්ල” තමාට පවසනවාට කැමති දෙවි සමඟ කරන සැබෑ කතාබහක්. (ගීතාවලිය 62:8) දෙවි ගැන බයිබලයේ සඳහන් වන දේ සලකා බලන්න.

ඔබ කලකිරීමට පත් වුණේ ඇයි කියා ඔහු හොඳින් දන්නවා.—ගීතාවලිය 103:14.

ඔබ, ඔබ ගැන දන්නවාට වඩා දෙවි ඔබ ගැන දන්නවා.—1 යොහන් 3:20.

දෙවි “ඔබ ගැන සැලකිලිමත්” වෙනවා.—1 පේතෘස් 5:7.

මේ පොළොව පාරාදීසයක් වන කාලයේදී දෙවි ඔබේ “ඇස්වලින් සියලු කඳුළු පිස” දමනවා.—එළිදරව් 21:4.

හේතුව අසනීපයක්ද?

කලින් සඳහන් කළ විදිහට බොහෝවිට දිවි නසාගැනීමට හේතුව අසනීප තත්වයක් විය හැකියි. ඔබේ ගැටලුවත් එය නම් ප්‍රතිකාර ලබාගන්න ලැජ්ජා වෙන්න එපා. රෝගියෙකුට වෛද්‍යවරයෙක් අවශ්‍යයි කියා යේසුස් පවා පැවසුවා. (මතෙව් 9:12) එවන් රෝග බොහොමයකට ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ප්‍රතිකාර ගත් පසු ඔබට සහනයක් ලැබෙයි. *

බයිබලයේ සඳහන් මෙම පොරොන්දුව ඔබට සැබෑ සහනයක් වේවි. මේ පොළොව පාරාදීසයක් වන විට ‘කිසිවෙකුවත්, “මා ලෙඩින්” යයි පවසන්නේ නැහැ.’ (යෙසායා 33:24) ඒ කාලයේදී, ‘කලින් සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැහැ’ කියා දෙවි පවසා තිබෙනවා. (යෙසායා 65:17) එසේනම් අනාගතයේදී කිසිවෙකුවත් මානසික පීඩනයෙන් දුක් විඳින්නේ නැහැයි කියා දෙවි දී තිබෙන පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබන්න. ඒ කාලය එන තුරු ඔබ අද්දකින පීඩාකාරී තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට ඔබට කළ හැකි දේ කරන්න.—එළිදරව් 21:1-4.

තවත් දැනගැනීමට 2වන පොතේ 9වන පරිච්ඡේදය බලන්න

ඊළඟ පරිච්ඡේදය

ඔබේ දෙමාපියන්ට ඔබේ හැම දෙයක්ම දැනගැනීමට අවශ්‍යයි. ඒත් ඔබ ආසයි සමහර දේවල් නොකියා ඉන්න. ඒ ගැටුම විසඳිය හැකිද?

[පාදසටහන්වල]

^ 7 ඡේ. මානසික රෝගවලින් පෙළෙන සියලුදෙනාම දිවි නසාගන්න පෙලඹෙන්නේ නැහැ.

^ 18 ඡේ. සභාවේ වැඩිමහල්ලන්ගෙන්ද උපකාරයක් ලබාගත හැකියි.—යාකොබ් 5:14, 15.

^ 31 ඡේ. වැඩි විස්තර සඳහා මේ පොතේ 13වන පරිච්ඡේදය බලන්න.

බයිබල් උපදෙස

‘ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එවිට දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.’—ෆිලිප්පි 4:6, 7.

යෝජනාවක්

මානසිකව වැටී සිටින විට ඔබේ සිතටත් ගතටත් සුවයක් ලැබීමට ඇවිදීම හොඳ ව්‍යායාමයක්.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

දිවි නසාගැනීමෙන් වේදනාවට පත් වෙන්නේ එම පුද්ගලයා පමණක් නොවෙයි. ඔහුට හෝ ඇයට ආදරය කරන අයත් වේදනා විඳිනවා.

ගත හැකි පියවර

කවුරුත් මට ආදරේ නැහැ කියා හෝ මාව වටින්නේ නැහැ කියා සිතුණොත් මම ඒ ගැන කියන්නේ (ඔබ කැමති කෙනෙකුගේ නමක් ලියන්න) ․․․․․

මම දුකින් ඉන්න කොට මට ලැබුණු මේ ආශීර්වාදය ගැන කල්පනා කරනවා ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● ගැටලුව කොතරම් විශාල වුණත් එය හැමදාම තියෙන්නේ නැහැ කියා සිතීම ඔබට උපකාරයක් වෙන්නේ කොහොමද?

● දිවි නසාගැනීමෙන් පුද්ගලයෙක් අනික් අයට කිනම් ගැටලු ඇති කරයිද?

[104වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘ඉස්සර මම ගොඩක් මානසිකව වැටෙනවා. මට හිතුණේම මැරෙන්න. ඒත් දැන් එහෙම නැහැ. යාච්ඤාව නිසාත් බෙහෙත් ගත්තු නිසාත් දැන් මට සහනයක් දැනෙනවා.’’—හයිඩි

[100වන පිටුවේ කොටුව]

ඔබට පීඩනය දරාගන්න බැරි නම්

දෙවිට විශ්වාසවන්තව සේවය කළ පුරුෂයන්ටත් ස්ත්‍රීන්ටත් සමහර අවස්ථාවලදී ජීවිතයේ කම්කටොලු නිසා ඇති වූ පීඩනය දරාගන්න බැරි වුණා. මේ උදාහරණ සලකා බලන්න.

රෙබෙකා: “මේ විදිහට දුක් විඳින්න වෙනවා නම් ජීවත් වෙලා වැඩක් තියෙනවාද?”—උත්පත්ති 25:22.

මෝසෙස්: මාව මරා දමන එක ඊට වඩා හොඳයි. අනේ, මේ දුකෙන් මාව ගලවාගන්න.’—ගණන් කතාව 11:15.

එලියා: අනේ යෙහෝවා දෙවියනි, මාව මරා දමන්න. මමත් මගේ මුතුන්මිත්තන් වගේ අසම්පූර්ණයි.’—1 රාජාවලිය 19:4.

යෝබ්: ‘අනේ, මාව මිනී වළෙහි සඟවා තබා, කාලයක් නියම කර නැවත මාව සිහි කරන්නෙහි නම් කොතරම් හොඳද!’—යෝබ් 14:13.

ඉහත සඳහන් පුද්ගලයන් මුහුණ දුන් තත්වයන් ඔවුන් නොසිතූ ලෙස හොඳ අතට හැරුණා. ඔබේ තත්වයත් එලෙස වෙනස් විය හැකියි.

[102වන පිටුවේ පින්තූරය]

කලකිරීමත් හරියට අඳුරු වලාකුළු වගේ. ටික කලකින් ඒවා පහ වී යයි