Skip to content

පටුනට යන්න

මටම කියලා පොඩි නිදහසක්වත් නැද්ද?

මටම කියලා පොඩි නිදහසක්වත් නැද්ද?

15වෙනි පරිච්ඡේදය

මටම කියලා පොඩි නිදහසක්වත් නැද්ද?

පහත සඳහන් සිද්ධීන්වලින් ඔබ වැඩිපුර කරන්න කැමති දේ ඉදිරියෙන් ✔ ලකුණ දමන්න.

1. ඔබ කාමරයේ දොර වසාගෙන සිටින විට ඔබේ සහෝදරයා හෝ සහෝදරිය දොරට තට්ටු නොකර කාමරයට ඇතුල් වෙයි.

□ ‘කමක් නැහැ. මමත් එයාලගේ කාමරයට යන්නේ ඒ විදිහටනේ.’

□ ‘ඒක නරක පුරුද්දක්! මම ඒ වෙලාවේ ඇඳුම් මාරු කරකර හිටියා නම්!’

2. ඔබ ගෙදරට ආපු ගමන්ම අම්මලා, “ඔයා කොහේද ගියේ, මොනවාද කෙරුවේ, කාත් එක්කද ගියේ” කියලා ප්‍රශ්න වැලක් අහනවා.

□ ‘කමක් නැහැ. මම සාමාන්‍යයෙන් හැම දෙයක්ම එයාලට කියනවා.’

□ ‘මට නම් එපා වෙනවා! අම්මලාට හැමතිස්සේම මාව සැකයි!’

කුඩා කාලයේදී නම් ඔබටම කියා නිදහසක් ඕනේ වුණේ නැහැ. ඔබේ සහෝදර සහෝදරියන් කාමරයට එන එක එතරම් ප්‍රශ්නයක් නොවෙන්නත් ඇති. දෙමාපියන් ඔබෙන් ප්‍රශ්නයක් ඇසූ විට ඒ ගැන ඔබ දන්නා සියල්ල නොසඟවා ඔවුන්ට කියන්නත් ඇති. ඒ කාලයේදී ඔබ ගැන සෑම තොරතුරක්ම අන් අයට දැනගන්න පුළුවන් වුණා. නමුත් දැන් ඔබටම කියා නිදහසක් අවශ්‍යයි කියා හෝ ඔබ කරන සෑම දෙයක්ම අනික් අය දැනගත යුතු නැහැයි කියා හෝ ඔබට සිතෙනවා ඇති. අවුරුදු 14ක් වන කෝරි මෙහෙම කියනවා. “මගේ සමහර දේවල් නොකියා ඉන්න මං කැමතියි.” එසේනම් නිදහසක් ලබාගැනීම අභියෝගයක් විය හැකි පැති දෙකක් සලකා බලමු.

තනිව සිටීමට අවශ්‍ය වන විට

ඔබට තනියෙන් ඉන්න අවශ්‍ය යම් හොඳ හේතු නිසා විය හැකියි. සමහරවිට ඔබට ‘ටිකක් විවේක ගන්න’ ඕනේ ඇති. (මාක් 6:31) එසේත් නැත්නම් යේසුස් තම ගෝලයන්ට පැවසූ ලෙස ‘කාමරයට ගොස් දොර වසාගෙන දෙවිට යාච්ඤා කරන්න’ ඔබට අවශ්‍ය ඇති. (මතෙව් 6:6; මාක් 1:35) නමුත්, ඔබේ කාමරයට ගොස් ඔබ දොර වසාගන්නේ යාච්ඤා කරන්න කියා ඔබේ දෙමාපියන් දන්නේ නැතුව ඇති. ඒ වගේම ඔබට ටිකක් තනිව ඉන්න අවශ්‍ය කොයි වෙලාවෙද කියා ඔබේ සහෝදර සහෝදරියන් නොදන්නවා ඇති.

ඔබට කළ හැකි දේ. ඔබේ නිදහස වෙනුවෙන් නිවසේ සාමය නැති කරගැනීමට අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් පහත සඳහන් යෝජනා අත්හදා බලන්න.

● ඔබේ කාමරයට සහෝදර සහෝදරියන් නිතර නිතර පැමිණීම වැළැක්වීමට යම් සාධාරණ නීති දමන්න. ඒ සඳහා දෙමාපියන්ගේ සහායද ලබාගත හැකියි. *

● දෙමාපියන් ඔබ ගැන සොයා බලන්නේ ඇයි කියා තේරුම්ගන්න. අවුරුදු 16ක් වන රෙබෙකා ඒ ගැන මෙහෙම කියනවා. “සමහර වෙලාවට මම මොනවාද කරන්නේ කියලා අම්මලා හොයලා බලනවා. ඒත් මමත් අම්මා කෙනෙක් නම් මගේ ළමයා ගැන මමත් හොයලා බලනවා. මොකද අද කාලයේ යෞවනයන් නොමඟ යන්න තියෙන ඉඩකඩ වැඩියි.” ඇය මෙන් ඔබටත් ඔබේ දෙමාපියන්ව තේරුම්ගන්න පුළුවන්ද?—හිතෝපදේශ 19:11.

● අවංකවම මේ ගැන සිතා බලන්න. ‘කාමරයේ දොර වසාගෙන ඉන්න වෙලාවලදී මම හොරෙන් වැරදි වැඩක් කරනවා කියලා අම්මලාට හිතෙන විදිහට මම හැසිරෙනවාද? අම්මලා මං ගැන හොයලා බලන්නේ මං හැම දෙයක්ම රහසිගතව කරන නිසාද?’ එම ප්‍රශ්නවලට ‘නැහැ’ කියා ඔබට පිළිතුරු දෙන්න පුළුවන් වුණත් ඔබේ දෙමාපියන් ඔබව තවමත් සැක කරනවා නම් ඔවුන් සමඟ විවෘතව හා සන්සුන්ව කතා කරන්න. ඔවුන් පවසන දේට හොඳින් ඇහුම්කන් දී ඔබ ගැන විශ්වාසයක් ඇති වන ආකාරයට කටයුතු කරන්න.—යාකොබ් 1:19.

මිතුරන් ඇති කරගන්නා විට

යොවුන් වියේදී මිතුරන් ඇති කරගැනීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම ඔබේ මිතුරන් කවුද ඔබ ඔවුන් සමඟ කරන්නේ මොනවාද කියා දෙමාපියන් සොයා බැලීමත් සාමාන්‍ය දෙයක්. ඒත් ඔවුන් ඕනෑවට වඩා ඔබ ගැන හොයලා බලනවා කියා ඔබට සිතෙනවාද? දාසය හැවිරිදි ඒමීට හැඟුණේ මෙහෙමයි. “ඊ-මේල් එකක් කියවන කොට අම්මලා එබිඑබි බලනවාටත් ෆෝන් එකෙන් කතා කරන කොට මං කා එක්කද කතා කෙරුවේ කියලා හැමතිස්සේම අහනවාටත් මං කැමති නැහැ.”

ඔබට කළ හැකි දේ. මිතුරන් ඇති කරගැනීමේදී ඔබේ දෙමාපියන් හා ඔබ අතර ගැටලු ඇති කරගන්නවා වෙනුවට මෙම යෝජනා අත්හදා බලන්න.

● ඔබේ මිතුරන් කවුද කියා දෙමාපියන් සොයා බලනවාට ඔබ අකමැති නම් ඔබම ඔවුන්ව දෙමාපියන්ට හඳුන්වා දෙන්න. නමුත් ඔබ එසේ නොකළොත් ඔබේ මිතුරන් කවුද කියා ඔවුන් සොයා බලයි. ඔබ ආශ්‍රය කරන අය හොඳයි කියා ඔවුන් දන්නවා නම් ඔබට එම මිතුරන්ව ඇසුරු කිරීමට ඉඩ දෙයි.

● මේ ගැන සිතා බලන්න. ඔබට තනි වෙන්න අවශ්‍ය, නිදහස ඕනේ නිසාද නැත්නම් රහසින් යමක් කරන්න ඕනේ නිසාද? අවුරුදු 22ක් වයසැති බ්‍රිට්නි මෙහෙම කියනවා. “ඔබ ජීවත් වෙන්නේ දෙමාපියන් එක්ක නම් ඒ වගේම ඔවුන් නිතරම ඔබ ගැන සෙවිල්ලෙන් ඉන්නවා නම් ඔබ මෙහෙම හිතන්න. ‘මං කරන්නේ වරදක් නෙමෙයි නම් ඇයි මං ඒක හොරෙන් කරන්නේ?’ ඒත් දෙමාපියන්ගෙන් යමක් වසං කරන්න ඔබට හිතෙනවා නම් ඒකෙන් පේන්නේ එතන මොකක් හරි හොරයක් තියෙනවා කියන එකයි.”

ඔබ සොයන නිදහස

නිදහස ලබාගැනීමට ඔබට කුමක් කළ හැකිද කියා සිතා බැලීමට පහත සඳහන් ප්‍රශ්න යොදාගන්න. ඒවා ඉදිරියේ ඔබේ අදහස් ලියන්න.

පළමුවන පියවර: ගැටලුව හඳුනාගන්න. ඔබට වැඩි නිදහසක් අවශ්‍ය කුමන පැතිවලින්ද?

․․․․․

දෙවන පියවර: ඔබේ දෙමාපියන්ගේ අදහස් සැලකිල්ලට ගන්න. ඔබ සිතන ආකාරයට ඔවුන් ඔබ ගැන සෙවිල්ලෙන් සිටින්නේ ඇයි?

․․․․․

තුන්වන පියවර: ගැටලුව විසඳීමට පියවර ගන්න. දෙමාපියන් ඔබ ගැන සෙවිල්ලෙන් ඉන්නේ ඔබ හොරෙන් වැරදි වැඩක් කරනවා කියා ඔවුන්ට හිතෙන විදිහට ඔබ හැසිරෙන නිසාද? එවැනි දෙයක් නැවත සිදු නොවීමට ඔබට කුමක් කළ හැකිද? ඔබේ දෙමාපියන් ඒ ගැටලුව කෙසේ විසඳනවාටද ඔබ කැමති?

․․․․․

හතරවන පියවර: ඒ ගැන කතා කරන්න. ඔබට වැඩි නිදහසක් ලබා දීම ගැන ඔබේ දෙමාපියන් සමඟ සාකච්ඡාවක් පටන්ගන්න ආකාරය ලියන්න.

․․․․․

ඊළඟ පරිච්ඡේදය

ඔබේ මව හෝ පියා මිය ගිහින්ද? ඔබට සහනයක් සොයාගත හැක්කේ කොහෙන්ද?

[පාදසටහන]

^ 14 ඡේ. වැඩි විස්තර සඳහා මේ පොතේ 6වන පරිච්ඡේදය බලන්න.

බයිබල් උපදෙස

‘දෙවිගේ අනුමැතිය ලබා ඇති සේවකයෙකු ලෙස පෙනී සිටීම සඳහා ඔබට හැකි උපරිමය කරන්න. එලෙසම තමන් ඉටු කරන සේවය ගැන ලැජ්ජා නොවන කෙනෙකු වන්න.’—2 තිමෝති 2:15.

යෝජනාවක්

ඔබට අවශ්‍ය නිදහස ගැන දෙමාපියන් සමඟ කතා කරද්දී චෝදනාත්මක ලෙස කතා කරන්න එපා. එසේ කිරීමෙන් ඔබ උත්සාහ කරන්නේ ඔබ කියන දේ හරියි කියා ඔප්පු කිරීමටයි. ගැටලුව සාමකාමීව විසඳීමට අවධානය දෙන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබ දෙමාපියන් සමඟ විවෘතව අදහස් හුවමාරු කරන තරමට ඔවුන්ට ඔබ ගැන ඇති විශ්වාසයත් වැඩි වෙයි.

ගත හැකි පියවර

දෙමාපියන්ගේ විශ්වාසය දිනාගැනීමට (හෝ බිඳී ගිය විශ්වාසය නැවත දිනාගැනීමට) මම ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● ඔබ ගැන සෙවිල්ලෙන් සිටීමට ඔබේ දෙමාපියන්ට අයිතියක් තිබෙන බව පැවසිය හැක්කේ ඇයි?

● ඔබේ දෙමාපියන් සමඟ හොඳින් අදහස් හුවමාරු කරගැනීම, පසු කාලයකදී වෙනත් වැඩිහිටි අය සමඟ අදහස් හුවමාරු කරගැනීමට උපකාරවත් වෙන්නේ කොහොමද?

[108වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘ඔබට කිසිම අනතුරක් වෙනවාට ඔබේ දෙමාපියන් කැමති නැහැ. නමුත් ඔවුන් ඔබේ නිදහසට බාධා කරනවා වගේ ඔබට දැනෙන්න පුළුවන්. ඒක සාධාරණ නැහැයි කියලත් හිතෙන්න පුළුවන්. හැබැයි අවංකවම කියනවා නම් මමත් අම්මා කෙනෙක් වෙලා හිටියා නම් මම කරන්නෙත් ඒ ටිකම තමයි.’’—ඇලේනා

[109වන පිටුවේ පින්තූරය]

විශ්වාසය වැටුපකට සමානයි. එය උපයාගැනීමට නම් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි