Skip to content

පටුනට යන්න

මට දුක දරාගන්න බැරි ඇයි?

මට දුක දරාගන්න බැරි ඇයි?

16වෙනි පරිච්ඡේදය

මට දුක දරාගන්න බැරි ඇයි?

මෙම පරිච්ඡේදයේ විශේෂයෙන් මව හෝ පියාගේ මරණය ගැන සාකච්ඡා කළත් එහි සඳහන් යෝජනා පවුලේ වෙනත් කෙනෙකු හෝ සමීප මිතුරෙකුගේ මරණයේදීද අදාළ වෙයි.

“මගේ අම්මා මැරුණාට පස්සේ මට දැනුණේ ලොකු අසරණකමක්. අපේ පවුලේ හැමෝම එකමුතුව හිටියේ අම්මා නිසයි.”—කැරන්.

මව හෝ පියා අහිමි වීම ඔබගේ ජීවිතයේ දුක්බරම සිදුවීම විය හැකියි. ඒ දුක්බර ආරංචිය ඔබ දැනගත් මොහොතේ ඔබ කවදාවත් අද්දැකලා නැති හැඟීම් සමඟ පොරබදින්න ඇති. තම පියා හෘදයාබාධයකින් මිය යන විට බ්‍රයන්ගේ වයස අවුරුදු 13යි. “තාත්තා මැරුණා කියලා ආරංචිය ලැබුණු දා රෑ පවුලේ හැමෝම එක් එක් කෙනාව බදාගෙන හොඳටම ඇඬුවා” කියා ඔහු පැවසුවා. නැටලිගේ පියා මිය ගියේ පිළිකාවකින්. එවිට ඇගේ වයස අවුරුදු දහයයි. ඒ දුක්බර දවස ගැන ඇය මෙහෙම කියනවා. “මට කිසිම දෙයක් හිතාගන්න බැරුව ගියා. මාව ගල්ගැහුණා.”

පුද්ගලයාගෙන් පුද්ගලයාට වියෝදුක දැනෙන විදිහ වෙනස්. ‘එක් එක් කෙනාගේ සිතට දැනෙන වේදනාව’ වෙනස් බව බයිබලයෙත් සඳහන් වෙනවා. (2 ලේකම් 6:29) ඔබේ මව හෝ පියා අහිමි වූ මොහොතේ ඔබට දැනුණු වේදනාව ගැන සිතන්න. (1) ඒ ගැන ආරංචි වූ විට ඔබට හැඟුණේ කොහොමද? (2) දැන් ඔබට හැඟෙන්නේ කොහොමද? පිළිතුරු පහත සඳහන් කරන්න. *

1 ․․․․․

2 ․․․․․

ඔබට මුලින් ඇති වූ දුක්බර හැඟීම් දැන් අඩු වෙලා කියා ඔබේ පිළිතුරුවලින් පෙනෙනවා ඇති. එය සාමාන්‍ය දෙයක්. ඉන් අදහස් කරන්නේ නැහැ ඔබේ මව හෝ පියාව ඔබට අමතක වෙලා කියා. එත් තවමත් ඔබේ දුක අඩු වී නැති බවක් හෝ ඊටත් වඩා වැඩි වී ඇති බවක් සමහරවිට ඔබට දැනෙනවා ඇති. එසේත් නැත්නම් මුහුදේ රළ මෙන් ඔබේ දුක අඩු වැඩි වීමට හෝ විශාල රළ පහරක් වෙරළට ගසන්නාක් මෙන් නොසිතූ අවස්ථාවලදී දුක එකවිට වැඩි වීමටත් පුළුවන්. එලෙස දැනීමද සාමාන්‍ය දෙයක්. මෙවැනි හැඟීම් මව හෝ පියා අහිමි වී වසර ගණනාවකට පසුවත් ඇති විය හැකියි. ඔබේ තත්වය කුමක් වුණත් ඔබට දැනෙන දුක දරාගන්නේ කොහොමද කියා අපි සලකා බලමු.

කඳුළු සඟවන්න එපා! කඳුළු සැලීමෙන් දුක තුනී වෙයි. නමුත් ඇලීසියා සිතුවේ වෙනස් විදිහටයි. ඔබත් සමහරවිට එසේ සිතනවා ඇති. ඇලීසියාගේ මව මිය යන විට ඇයට අවුරුදු 19යි. ඇය මෙහෙම කියනවා. “මම ඕනෑවට වඩා දුක් වුණොත් මට දෙවි ගැන විශ්වාසයක් නැහැයි කියලා අනික් අය හිතයි කියලා මට හිතුණා.” නමුත් දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තිබූ පරිපූර්ණ පුද්ගලයෙක් වූ යේසුස් ක්‍රිස්තුස් පවා තම මිත්‍ර ලාසරුස්ගේ මරණය නිසා ශෝකයෙන් සිටි අයව දැක ඇඬුවා. ඔහුගේ “දෑස් කඳුළින් පිරී” ගියා කියා බයිබලයේ වාර්තා වෙනවා. (යොහන් 11:35) ඒ නිසා කඳුළු සලා හඬන්න භය වෙන්න එපා. ඔබට දෙවි කෙරෙහි විශ්වාසයක් නැහැ කියා ඉන් අදහස් කරන්නේ නැහැ. “අන්තිමේදී මම ගොඩක් ඇඬුවා. හැම දවසකම වගේ ඇඬුවා” කියා ඇලීසියා පවසනවා. *

සිතට වධ දෙන දේ කියන්න. කැරන්ගේ මව මිය යන විට කැරන්ට අවුරුදු 13යි. “මගේ තාත්තා රැකියාවේ වැඩකට දුර බැහැරක යන්න කලින් මටයි අක්කාටයි අම්මව බලාගන්න කියලයි ගියේ. හැමදාම වගේ මම නිදාගන්න කලින් අම්මට හාදුවක් දෙනවා. එක දවසක් මට ඒක කරන්න බැරි වුණා. පහුවදා මම අම්මගේ කාමරේට යන කොට අම්මා මැරිලා! අම්මා මැරුණ දවසේ අපි නැඟිට්ටෙත් පරක්කු වෙලයි. තාත්තා යන කොට අම්මා හොඳට හිටිය නිසා මට වෙච්ච දේ දරාගන්න බැරි වුණා. මගේ හිත මට දොස් කියනවා.”

මිය ගිය මව හෝ පියා වෙනුවෙන් යම් දේවල් කිරීමට අතපසු වූ නිසා කැරන්ට මෙන් ඔබේ සිතත් ඔබට දොස් කියනවා ඇති. සමහරවිට ඔබ, ‘අම්මව වෛද්‍යවරයෙක් ළඟට ගෙනියන්න කියලා මම තාත්තට කිව්වා නම්,’ ‘මම අම්මව එදා රෑ බැලුවා නම්’ වැනි දේවල් සිතනවා ඇති. ඔබට එලෙස හැඟෙනවා නම් මෙය මතක තබාගන්න. ඔබ වෙනස් විදිහට ක්‍රියා කළා නම් හොඳයි කියා සිතීම සාමාන්‍ය දෙයක්. යම් සිද්ධියක් වෙන්න කලින් ඒ ගැන ඔබ දැන සිටියා නම් ඔබ කටයුතු කරන්නේ වෙනස් විදිහට බව ඇත්තයි. ඒත් සිදු වන දේ ඔබ දැන සිටියේ නැහැ. ඒ නිසා ඔබේ මවගේ හෝ පියාගේ මරණයට වග කිව යුත්තේ ඔබ නොවෙයි! *

ඔබේ සිතට දැනෙන දේ කියන්න. හිතෝපදේශ 12:25හි මෙසේ සඳහන් වෙනවා. “දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි.” ඔබේ සිතුවිලි සිර කරගැනීමෙන් සිදු වෙන්නේ ඔබේ දුක දරාගන්න බැරි වීමයි. නමුත් ඔබේ සිතේ තිබෙන දේ විශ්වාසවන්ත කෙනෙකුට පැවසීමෙන් ඔහුගේ ‘දිරිගන්වනසුලු වචනවලින්’ ඔබට සහනයක් ලැබිය හැකියි.

යාච්ඤා කරන්න. “ඔබේ හදවතේ ඇති සියල්ල” යෙහෝවා දෙවිට පැවසීමෙන් ඔබට මහත් සහනයක් දැනෙයි. (ගීතාවලිය 62:8) යාච්ඤාව සැහැල්ලුවට ගන්න එපා. ඔබ කතා කරන්නේ ‘සියලු සැනසිල්ලේ දෙවිටයි. සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුයි.’ (2 කොරින්ති 1:3, 4) දෙවි අපට සැනසීම ලබා දෙන එක් ක්‍රමයක් වෙන්නේ ඔහුගේ වචනය වන බයිබලය තුළිනුයි. (රෝම 15:4) ඔබට සැනසීමක් ලබා දෙන බයිබල් පද කිහිපයක් ලියා ඔබට පෙනෙන තැනක තබාගන්න. *

දුක තුනී වෙන්න කාලයක් යනවා. බයිබලයේ සඳහන් මේ දෙයින් ඔබට යම් සහනයක් දැනෙයි. එනම් දෙවි පොරොන්දු වී තිබෙන පාරාදීස පොළොවේ, “මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” (එළිදරව් 21:3, 4) එම පොරොන්දුව ගැන සිතීමෙන් ඔබටත් ඔබගේ මව හෝ පියා අහිමි වීමේ දුක දරාගැනීමට හැකියාවක් ලැබෙයි.

[පාදසටහන්වල]

^ 6 ඡේ. එම ප්‍රශ්නවලට පිළිතුරු දීම දැන් ඔබට අපහසු නම් පසු වෙලාවක පිළිතුරු ලියන්න.

^ 10 ඡේ. ඔබේ දුක පෙන්වීමට අඬන්නම අවශ්‍ය නැහැ. එක් එක් කෙනා දුක ප්‍රකාශ කරන විදිහ වෙනස්. ඔබේ ඇස්වලට කඳුළු පිරෙනවා නම් එය “අඬන්න කාලයක්” බව තේරුම්ගන්න.—දේශනාකාරයා 3:4.

^ 12 ඡේ. එවැනි සිතුවිලි දිගටම ඔබට ඇති වෙනවා නම් ඒ ගැන ජීවත්ව සිටින ඔබේ මව හෝ පියා, නැත්නම් වෙනත් වැඩිහිටියෙකු සමඟ කතා කරන්න. කාලයක් යද්දී ඔබට පැහැදිලිව හිතන්න හැකි වෙයි.

^ 14 ඡේ. මෙම බයිබල් පද කියවීමෙන් සමහර අය සැනසීමක් ලබා තිබෙනවා: ගීතාවලිය 34:18; 102:17; 147:3; යෙසායා 25:8; යොහන් 5:28, 29.

බයිබල් උපදෙස

“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:4.

යෝජනාවක්

මිය ගිය ඔබේ මව හෝ පියා ගැන ඔබේ සිතට නැඟෙන සිතුවිලි පොතක ලියන්න. එය ඔබේ දුක නිවාගැනීමට මහත් සේ උපකාරවත් වෙයි.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඇඬීම දුර්වලකමක් නොවෙයි. ආබ්‍රහම්, යෝසෙප් හා දාවිත් වැනි ශක්තිමත් අයත් වියෝදුක දැනී කඳුළු සැලුවා.—උත්පත්ති 23:2; 50:1; 2 සාමුවෙල් 1:11, 12; 18:33.

ගත හැකි පියවර

මට දුක දරාගන්න බැරි වෙන කොට මම ․․․․․

මේ විෂය ගැන ජීවත්ව සිටින මවගෙන් හෝ පියාගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● මිය ගිය පියා හෝ මව ගැන තිබෙන සොඳුරු මතකයන් මනසට නඟාගැනීම ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

● ඔබේ සිතුවිලි ලිවීම දුක දරාගැනීමට උපකාරවත් වෙන්නේ කොහොමද?

[112වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මම මගේ දුක හිතේ තද කරගෙන හිටියා. මං ඒ ගැන කතා කළා නම් මට සහනයක් දැනිලා ඇති.’’—ඩේවිඩ්

[113යන පිටුවේ කොටුව/පින්තූරය]

ෂාන්ටාල්:

‘‘මගේ තාත්තා අවුරුදු පහක් විතර ලෙඩ වෙලා හිටියා. අන්තිමේදී එයා ජීවිතේ නැති කරගත්තා. තාත්තා මැරෙන කොට මට අවුරුදු 16යි. තාත්තගේ අවසන් කටයුතු කරන්නේ කොහොමද කියලා අම්මා, මටයි අයියටයි කිව්වා. ඒ ගැන යම් තීරණ අම්මා ගත්තේ අපෙනුත් අහලයි. සාමාන්‍යයෙන් ළමයි කැමති නැහැ එයාලගෙන් දේවල් හංගනවාට. ඒ නිසා අම්මා කරපු දේ අපිට ලොකු සහනයක් වුණා. කාලයක් ගත වෙද්දී මට පුළුවන් වුණා තාත්තගේ මරණය ගැන කතා කරන්න. මට අඬන්න ඕනේ කියලා හිතුණාම මම කොහේට හරි ගිහිල්ලා, නැත්නම් යාළුවෙක් ළඟට ගිහිල්ලා හරි අඬනවා. මම නං කියන්නේ, දුක කාට හරි කියන්න කියලයි. ගෙදර කෙනෙක්ට හරි යාළුවෙක්ට හරි ඒක කියන්න. දුක අඩු කරගන්න ඔබට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක කරන්න.’’

[113, 114යන පිටුවල කොටුව/පින්තූරය]

ලෙයා:

‘‘අම්මට අංශභාගේ හැදිලා අවුරුදු තුනකට පස්සේ මැරුණා. එතකොට මට අවුරුදු 19යි. මම ඕනෑවට වඩා දුක් වුණොත් ඒක තාත්තට ලොකු වේදනාවක්. ඒ නිසා කොහොම හරි දුක දරාගන්න ඕනේ කියලා මට හිතුණා. පුංචි කාලේ අම්මා මගේ හැම දෙයක්ම හොයලා බැලුවා. මට උණ ගත්තාම අම්මා අත තියලා බලන හැටි මට තාමත් මතකයි. අම්මා නැති අඩුව මට හුඟක් දැනෙනවා. මගේ දුක තද කරගන්න එකෙන් වෙන්නේ මම ලෙඩ වෙන එක විතරයි. ඒ නිසා මම සමහර වෙලාවලට අම්මගේ පින්තූරයක් දිහා බලලා ඇති වෙනකම් අඬනවා. යාළුවන් එක්ක දුක බෙදාගන්න එකත් මට උපකාරවත් වෙලා තියෙනවා. මැරුණු අය නැවත නැඟිටලා මේ පොළොවේ ජීවත් වෙනවා කියලා බයිබලයේ පොරොන්දු වෙලා තියෙනවා. (යොහන් 5:28, 29) මට අම්මව ආයෙත් දකින්න ලැබෙනවා කියන බලාපොරොත්තුව ගැන කල්පනා කරන කොටත් අම්මව දකින්න නම් මම මොනවාද කරන්න ඕනේ කියලා කල්පනා කරන කොටත් මගේ දුක අඩු වෙනවා.’’

[114යන පිටුවේ කොටුව/පින්තූරය]

බෙතනි:

‘‘මගේ තාත්තට ‘මම ඔයාට ආදරෙයි’ කියලා කියපු හැටි මට මතක නම් කොච්චර හොඳද! මම අනිවාර්යයෙන්ම තාත්තට එහෙම කියන්න ඇති. ඒත් මට මතක නැහැ. තාත්තා මැරෙන කොට මට අවුරුදු පහයි. මගේ තාත්තට අසනීප වෙලා රෑම ගෙනිච්චා. මම උදේ නැඟිටින කොට තාත්තා මැරිලා. තාත්තා මැරුණාට පස්සේ ඒ ගැන කතා කරන්න මට ගොඩක් අමාරු වුණා. ඒත් තාත්තා කරපු දේවල් ගැන කවුරු හරි කියන කොට මම හරි ආසාවෙන් අහගෙන හිටියා. ඒ දේවලින් මට තාත්තා කොයි වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න පුළුවන් වුණා. මම නං කියන්නේ, ඔබේ අම්මා හරි තාත්තා හරි මැරිලා නම් ඔවුන් සමඟ ගත කළ කාලය ගැන තියෙන සුන්දර මතකයන් පොතක ලියන්න කියලා. එතකොට ඔබට ඒවා අමතක වෙන්නේ නැහැ. ඒ වගේම දෙවි ගැන තියෙන ඔබේ විශ්වාසය ශක්තිමත් කරගන්න. එහෙම කළොත් පාරාදීසයේදී ඔබේ අම්මා හරි තාත්තා හරි නැවත නැඟිටින කොට ඔවුන්ව දකින්න ඔබත් එතැන ඉඳීවි!’’

[116වන පිටුවේ කොටුව]

ඔබේ සටහන්

ඔබේ සිතුවිලි ලියන්න

ඔබේ මව හෝ පියා ගැන තිබෙන සොඳුරු මතකයන් කිහිපයක් පහත සඳහන් කරන්න. ․․․․․

ඔබේ මව හෝ පියා ජීවත්ව සිටින කාලයේ ඔවුන්ට කියන්න තිබුණා කියා ඔබට සිතෙන දේවල් ලියන්න. ․․․․․

ඔබේ නංගි හෝ මල්ලි මවගේ හෝ පියාගේ මරණය ගැන තමන්ටම දොස් නඟනවා කියා හිතන්න. ඔවුන්ව සැනසීමට ඔබට කියන්න පුළුවන් දේ ලියන්න. (ඔබේ සිතටත් වද දෙන සිතුවිලි සාධාරණද කියා සිතා බැලීමට එය උපකාරවත් වෙයි) ․․․․․

මිය ගිය මව හෝ පියා ගැන දැනගන්න ආස දේවල් දෙකක් හෝ තුනක් ලියන්න. එයින් එකක් ගැන ජීවතුන් අතර සිටින මවගෙන් හෝ පියාගෙන් අසා දැනගන්න. ․․․․․

ක්‍රියා 24:15 කියවන්න. එහි සඳහන් පොරොන්දුව මවගේ හෝ පියාගේ මරණය නිසා ඇති වූ දුක දරාගන්න ඔබට උපකාරවත් වෙන්නේ කොහොමද? ․․․․․

[115වන පිටුවේ පින්තූරය]

මුහුදේ රළ වෙරළට ගසන්නේ නොසිතූ මොහොතකයි. දුක දැනෙන්නෙත් එලෙසයි