Skip to content

පටුනට යන්න

මගේ ආගම ගැන ඉස්කෝලේදී කතා කරන්න භය ඇයි?

මගේ ආගම ගැන ඉස්කෝලේදී කතා කරන්න භය ඇයි?

17වෙනි පරිච්ඡේදය

මගේ ආගම ගැන ඉස්කෝලේදී කතා කරන්න භය ඇයි?

“ඉස්කෝලේදී මගේ ආගම ගැන කතා කරන්න මට ඕනෑ තරම් අවස්ථා ලැබෙනවා. ඒත් මම හරි භයයි.”—කේලෙබ්.

“අපේ ගුරුවරිය පරිණාමය ගැන අපේ අදහස් ඇහැව්වා. මම විශ්වාස කරන දේ කියන්න මේක හොඳ අවස්ථාවක් කියලා හිතුණත් මම කතා කරන්න භය වුණා. පස්සේ මම ඒ ගැන දුක් වුණා.”—ජැස්මින්.

ඔබත් යෙහෝවා දෙවිට නමස්කාර කරන යෞවනයෙක් නම් ඒ හා සමාන අද්දැකීම් ඔබටත් ඇති. බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට ඔබ තුළ ඇල්මක් තිබෙන නිසා ඒ ගැන අනික් අයට කියන්න ඔබ ආස ඇති. ඒත් ඔබට භයක් දැනෙන්න පුළුවන්. ඒ භය නැති කරගන්නේ කොහොමද? ඒ සඳහා මෙම යෝජනා ඔබට ප්‍රයෝජනවත් වේවි.

1. ඔබට භයක් දැනෙන්නේ ඇයි කියා තේරුම්ගන්න. ඔබ විශ්වාස කරන දේ ගැන කතා කරන්න ඕනේ කියා සිතෙන කොට, මුහුණ දෙන්න සිදු වන භයානකම දේ තමයි ඔබට මතක් වෙන්නේ. ඔබට දැනෙන භය කාට හරි කීමෙන් හෝ කොළයක ලිවීමෙන් ඔබේ භය අඩු වී යා හැකියි.

පහත සඳහන් වාක්‍යය සම්පූර්ණ කරන්න:

● මගේ ආගම ගැන මම ඉස්කෝලේදී කතා කළොත්: ․․․․․

ඔබ හා සමානව සාක්ෂිකාර යෞවනයන්ගෙන් හුඟදෙනෙකුට භයක් දැනෙනවා. අවුරුදු 14ක් වයසැති ක්‍රිස්ටොෆර් කියන දේ බලන්න. “ළමයි මට විහිළු කරයි, මාව අමුතු කෙනෙක් විදිහට සලකයි කියලා මට භයයි.” මුලින් සඳහන් කළ කේලෙබ්ද ඒ හා සමාන දෙයක් කියනවා. “මට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් අහයි කියලා මට හරි භයයි.”

2. අභියෝගය භාරගන්න. ඔබ භය වෙන්නේ සාධාරණ හේතුවක් නිසා වෙන්න පුළුවන්. ඈෂ්ලි නමැති යෞවනිය මෙහෙම කියනවා. “සමහර ළමයි මගේ ආගම ගැන දැනගන්න කැමතියි වගේ පෙන්නුවා. පස්සේ මම කිව්ව දේවල් එයාලා විහිළුවට ගත්තා.” ඒ හා සමාන අද්දැකීමක් 17 හැවිරිදි නිකෝල්ටත් තිබෙනවා. “පිරිමි ළමයෙක් බයිබල් පදයක් මගේ බයිබලයේ තියෙන විදිහත් එයාගේ බයිබලයේ තියෙන විදිහත් පෙන්නලා කිව්වා, මගේ බයිබලය වෙනස් කියලා. ඒ වෙලාවේ මට කියාගන්න දෙයක් තිබුණේ නැහැ. මම හොඳටම භය වුණා.” *

ඔබටත් එවැනි බියක් දැනෙන්න පුළුවන්. නමුත් එවැනි තත්වයන් මඟහරිනවා වෙනුවට යේසුස්ගේ අනුගාමිකයෙකු ලෙස ඔබ ඊට මුහුණ දිය යුතුයි කියා සිතන්න. (2 තිමෝති 3:12) “යේසුස් කිව්වේ ඔහුගේ අනුගාමිකයන්ට පීඩාවලට මුහුණ දෙන්න වෙනවා කියලා. ඉතින් හැම කෙනෙක්ම අපේ විශ්වාසයන්ට ගරු කරයි කියලා හිතන්න බැහැ.” එසේ පැවසුවේ 13 හැවිරිදි මැතිව්.—යොහන් 15:20.

3. ලැබෙන ප්‍රයෝජන ගැන සිතන්න. යම් අසීරු තත්වයකට මුහුණ දෙන්න සිදු වුණත් ඉන් යහපත් ප්‍රතිඵල අද්දැකිය හැකියි. විසිඑක් හැවිරිදි ඇම්බ නමැති යෞවනිය හිතුවේ ඒ විදිහටයි. “බයිබලයේ ඉගැන්වීම්වලට ගරු කරන්නේ නැති කෙනෙකුට අපි විශ්වාස කරන දේ පැහැදිලි කරලා දෙන එක ලේසි නැහැ. ඒත් අපේ ආගම ගැන කතා කරන කොට අපිට කොයි තරම් ශක්තිමත් විශ්වාසයක් තියෙනවාද කියලා අපිටම තේරෙනවා.”—රෝම 12:2.

ඉහත සඳහන් යෝජනා අතරින් පළමුවන යෝජනාවට ඔබ ලියූ අදහස නැවත බලන්න. එම තත්වයේදී ඇති විය හැකි යහපත් ප්‍රතිඵල ගැන සිතා ඒවායින් දෙකක් පහත සඳහන් කරන්න.

1 ․․․․․

2 ․․․․․

ඉඟියක්: ඔබේ ආගම ගැන පැවසීමෙන් මිතුරන්ගෙන් එල්ල විය හැකි පීඩනය ඔබට අඩු කරගන්න පුළුවන් කොහොමද? එය ඔබේ ආත්ම විශ්වාසයට බලපාන්නේ කොහොමද? යෙහෝවා දෙවිට ඔබ තුළ තිබෙන ප්‍රේමයට එය බලපාන්නේ කොහොමද? ඔබ ගැන යෙහෝවා දෙවිට කොහොම හැඟෙයිද?—හිතෝපදේශ 23:15.

4. සූදානම් වෙන්න. බයිබලයේ සඳහන් වෙන්නේ “ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලයි” කියායි. (හිතෝපදේශ 15:28) මොනවාද කියන්නේ කියා හිතහිතා ඉන්නවා වෙනුවට අන් අය ඔබෙන් අසයි කියා සිතිය හැකි ප්‍රශ්න ගැන කල්පනා කර ඒවාට පිළිතුරු සූදානම් වෙන්න. ඒ සඳහා 127වන පිටුවේ ඇති “ පිළිතුරු දිය හැකි අයුරු” නමැති කොටුව බලන්න.

5. කතා කරන්න. ඔබේ ආගම ගැන කතා කිරීමට සූදානම් වූ පසු සංවාදයක් පටන්ගන්නේ කොහොමද? මෙය කළ හැකි ක්‍රම දෙකක් මෙම උදාහරණයෙන් ඔබට තේරුම්ගන්න පුළුවන්. සමහර අය පිහිනීම සඳහා වතුරට බහින්නේ ක්‍රමක්‍රමයෙන්. තවත් අය කෙළින්ම වතුරට පනිනවා. ඒ වගේ ඔබටත් පුළුවන් මුලින්ම ආගම ගැන කතා නොකර සාමාන්‍ය දේවල් ගැන කතා කර ටිකෙන් ටික ඔබ විශ්වාස කරන දේ පැහැදිලි කරන්න. එසේ කිරීම ඔබට අපහසු නම් කෙළින්ම ඔබේ ආගමික විශ්වාසයන් ගැන කියන්න. (ලූක් 12:11, 12) “මගේ ආගම ගැන කතා කරන්න ඕනේ කියලා හිතහිත ඉන්න කොට මට භයක් දැනුණත් කතා කරන්න පටන්ගත්තට පස්සේ ඒක එච්චර අමාරු නැහැ” කියා 17 හැවිරිදි ඇන්ඩෲ කියනවා. *

6. බුද්ධිමත්ව කටයුතු කරන්න. ‘සිහිකල්පනාව ඇති සියලුදෙනා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරයි’ කියා සලමොන් රජ ලිව්වා. (හිතෝපදේශ 13:16) ඔබ සාමාන්‍යයෙන් උස් තැනක සිට නොගැඹුරු ජලයට පනින්නේ නැහැ. ඒ හා සමානව කිසි තේරුමක් නැති විවාදවලට පැටලී ප්‍රශ්න ඇති කරගන්න එපා. කතා කරන්න කාලයක් හා කතා නොකර සිටින්න කාලයක් තිබෙන බව මතක තබාගන්න. (දේශනාකාරයා 3:1, 7) යේසුස් පවා ඔහුගෙන් ඇසූ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දුන්නේ නැහැ.—මතෙව් 26:62, 63.

ඔබ පිළිතුරු දෙනවා නම් කෙටියෙන් නැණවත්ව උත්තර දෙන්න. උදාහරණයකට ඔබේ පන්තියේ ළමයෙක් ඔබව අපහසුතාවට පත් කිරීමට ‘ඔයා සිගරට් බොන්නේ නැත්තේ ඇයි’ කියා ඇසුවොත් ඔබට මෙහෙම කියන්න පුළුවන්. ‘මම ලෙඩ වෙන්න ආස නැහැ.’ ඔහුගේ ප්‍රතිචාරයට අනුව ඔබ විශ්වාස කරන දේ කියනවාද නැද්ද කියා ඔබට තීරණය කළ හැකියි.

ඉහත සඳහන් යෝජනා හය ඔබේ ආගම ගැන විමසන අයට ‘පිළිතුරු දීමට සූදානමින්’ ඉන්න ඔබට උපකාරවත් වෙයි. (1 පේතෘස් 3:15) ඔබ සූදානම් වූ පමණින් ඔබට දැනෙන චකිතය සම්පූර්ණයෙන්ම නැති වෙයි කියා සිතන්න එපා. දහඅට හැවිරිදි එලෙනා කියන දේ සලකා බලන්න. “මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා ඔබට භයක් දැනුණත් ඔබේ ආගම ගැන අන් අයට කියද්දී ඔබට සතුටක් දැනෙයි. හොඳ ප්‍රතිචාරයක් ලැබුණොත් ඔබට ඊටත් වඩා ලොකු සතුටක් දැනෙයි.”

ඊළඟ පරිච්ඡේදය

පාසැල් ජීවිතය නිසා ඔබ හෙම්බත් වෙලාද? ඊට මුහුණ දෙන ආකාරය ගැන කියවා බලන්න.

[පාදසටහන්වල]

^ 10 ඡේ. හැම බයිබල් පරිවර්තනයකම එක හා සමාන වචන භාවිත කර නැහැ. නමුත් සමහර බයිබල් පරිවර්තන බයිබලය ලියූ මුල් භාෂාවේ අදහස වඩාත් නිවැරදිව පරිවර්තනය කර තිබෙනවා.

^ 18 ඡේ. කලින් පිටුවේ ඇති “ සංවාදයක් ඇරඹීමට” යන කොටුව බලන්න.

බයිබල් උපදෙස

“ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන විමසන සියලුදෙනාට පිළිතුරු දීමට ඔබ නිතරම සූදානම් වී සිටිය යුතුයි. එවැනි අවස්ථාවකදී මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින් පිළිතුරු දීමට වගබලා ගන්න.”—1 පේතෘස් 3:15.

යෝජනාවක්

ඔබේ මිතුරන් විශ්වාස කළ යුතු දේ හා නොකළ යුතු දේ කුමක්ද කියා ඔවුන්ට කියනවාට වඩා, ඔබ විශ්වාස කරන දේ හා ඔබ ඒ දේ විශ්වාස කරන්නේ ඇයි කියා නිසැකකමකින් යුතුව කියන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබ බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන නිසා ඔබේ පන්තියේ සමහර ළමයි ඔබව අගය කරනවා ඇති. ඒත් ඒ ගැන ඔබෙන් අසන්න ලැජ්ජාවක් දක්වනවා ඇති.

ගත හැකි පියවර

මගේ ආගම ගැන කතා කරන්න පුළුවන් මිතුරෙක් [එක නමක් හෝ ලියන්න] ․․․․․

ඔහු හෝ ඇය උනන්දුවක් දක්වයි කියා ඔබට හිතෙන විෂයක් ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● පන්තියේ ළමයි ඔබේ විශ්වාසයන්ට විහිළු කරන්නේ මොන හේතුවක් නිසා විය හැකිද?

● ඔබේ විශ්වාසයන් ගැන කතා කරන විට නිසැකකමකින් යුතුව කතා කිරීම වැදගත් වෙන්නේ ඇයි?

[126වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘පුංචි කාලයේදී ළමයි මාව කොන් කරනවාට අකමැති නිසා මගේ ආගම ගැන මම කතා කළේ නැහැ. ඒත් සාක්ෂිකාරයෙක් වුණ නිසා මට යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා පස්සේ මම තේරුම්ගත්තා. මගේ ආගම ගැන මම ඇත්තටම ආඩම්බර වෙනවා.’’—ජේසන්

[124වන පිටුවේ කොටුව]

 සංවාදයක් ඇරඹීමට

“ඉස්කෝලේ නිවාඩු කාලේ ඔයා මොනවාද කරන්නේ?” [ඉන්පසු ඔබ නිවාඩු කාලයේ කිරීමට බලාපොරොත්තු වන දේවල් එනම් සමුළුවලට යෑම, දේශනා සේවයේ යෑම වැනි දේවල් කියන්න.]

● විශේෂ ප්‍රවෘත්තියක් ගැන සඳහන් කර පසුව මෙසේ අසන්න: “ඔයාට ඒ ගැන ආරංචි වුණාද? ඔයා මොනවාද ඒ ගැන හිතන්නේ?”

“ඔයා හිතනවාද ලෝක ආර්ථිකය හොඳ අතට හැරෙයි කියලා? [වෙනත් විෂයක් ගැන අසන්න. ඉන්පසු] ඔයා එහෙම හිතන්නේ ඇයි?”

“ඔයාගේ ආගම මොකක්ද?”

“තව අවුරුදු පහකින් විතර ඔයා මොනවා කරන්නද බලාපොරොත්තු වෙන්නේ?” [ඉන්පසු, ඔබ දෙවිට සේවය කිරීම වෙනුවෙන් තබා තිබෙන ඉලක්ක පැහැදිලි කරන්න.]

[127වන පිටුවේ වගුව]

 (මුද්‍රිත පිටපත බලන්න)

ඔබේ සටහන්

පිළිතුරු දිය හැකි අයුරු

යෝජනාවක්: මෙහි ඇති තොරතුරු දෙමාපියන් හා සභාවේ සිටින යෞවනයන් සමඟ සාකච්ඡා කරන්න. පසුව වගුව සම්පූර්ණ කරන්න. පන්තියේ ළමයි අසයි කියා සිතන වෙනත් ප්‍රශ්න ගැනත් ඒවාට දිය හැකි පිළිතුරු ගැනත් සිතන්න.

ජාතිවාදය

ප්‍රශ්නය

ඔයා කොඩියට ආචාර කරන්නේ නැත්තේ ඇයි? ඔයාගේ රටට ඔයා ආදරේ නැද්ද?

පිළිතුර

මගේ රටට මම කැමතියි. ඒත් මම කොඩියට වඳින්නේ නැහැ.

ඊළඟ ප්‍රශ්නය

ඒ කියන්නේ ඔයා රට වෙනුවෙන් යුද්ධ කරන්නේ නැද්ද?

පිළිතුර

නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිලියන ගණනක් ලෝකේ හැමතැනකම ඉන්නවා. එයාලා වෙනත් රටවලට විරුද්ධව සටන් කරන්නේ නැහැ.

රුධිරය

ප්‍රශ්නය

ඔයා ලේ ගන්නේ නැත්තේ ඇයි?

පිළිතුර

ලේ ගත්තොත් ඒඩ්ස්, හෙපටයිටිස් වගේ රෝග හැදෙන්න පුළුවන්. මම ලේ ගන්නේ නැත්තේ දෙවි ලෙයින් වළකින්න කියලා අණ කරලා තියෙන නිසයි. ඒත් අපි වෙනත් ප්‍රතිකාර ගන්නවා.

ඊළඟ ප්‍රශ්නය

මැරෙන්න යන මොහොතක ලේ ගත්තොත් දෙවි ඔයාට සමාව දෙන්නේ නැද්ද?

පිළිතුර

․․․․․

තීරණ

ප්‍රශ්නය

ඔයාගේ ආගමේ අහවලා මේ වගේ දෙයක් කළා. ඇයි ඔයාට බැරි ඒ දේ කරන්න?

පිළිතුර

අපිට දෙවිගේ ප්‍රතිපත්ති උගන්වලා තියෙනවා. ඒත් අපිට ඒ දේවල් කරන්න කියලා බල කරන්නේ නැහැ. අපි තීරණ ගන්නේ තනි තනිවමයි.

ඊළඟ ප්‍රශ්නය

ඒ කියන්නේ ඔයාලට එක ප්‍රතිපත්තියක් නැද්ද?

පිළිතුර

․․․․․

පරිණාමය

ප්‍රශ්නය

ඔයා පරිණාමය පිළිගන්නේ නැත්තේ ඇයි?

පිළිතුර

විද්‍යාඥයන් අතරත් ඒ ගැන මතභේද තියෙනවා. එහෙමනම් මම කොහොමද ඒක පිළිගන්නේ!

ඊළඟ ප්‍රශ්නය

․․․․․

පිළිතුර

․․․․․

[125වන පිටුවේ පින්තූරය]

ඔබේ ආගම ගැන අන් අය සමඟ කතා කිරීම පිහිනීමට සමාන කළ හැකියි. සංවාදයක් ක්‍රමානුකූලව හෝ කෙළින්ම ආරම්භ කළ හැකියි!