Skip to content

පටුනට යන්න

ඉස්කෝලේදී දැනෙන පීඩනයට මම මුහුණ දෙන්නේ කොහොමද?

ඉස්කෝලේදී දැනෙන පීඩනයට මම මුහුණ දෙන්නේ කොහොමද?

18වෙනි පරිච්ඡේදය

ඉස්කෝලේදී දැනෙන පීඩනයට මම මුහුණ දෙන්නේ කොහොමද?

“ඉස්කෝලේදී කොයි තරම් පීඩනයක් දැනුණාද කියනවා නම් මට සමහර දවස්වලට කෑගහලා අඬන්න හිතුණා.”—ෂැරන්.

“ඉස්කෝලේදී දැනෙන පීඩනය ලොකු පන්තිවලට යන කොට අඩු වෙන්නේ නැහැ. ඒත් පීඩනයට හේතු වන දේවල් වෙනස් වෙනවා.”—ජේම්ස්.

ඔබ පාසැලේදී මුහුණ දෙන පීඩනය ගැන දෙමාපියන්ට වැටහීමක් නැහැයි කියා ඔබට සිතෙනවාද? ඔබට බැංකු ණයක් ගෙවන්නවත් පවුල් වගකීම්වත් රැකියාවේ පීඩනයක්වත් නැහැයි කියා ඔබේ දෙමාපියන් කියන්න පුළුවන්. නමුත් ඔබට හිතෙනවා ඇති ඔබේ දෙමාපියන් මුහුණ දෙන තරමටම හෝ ඊටත් වඩා වැඩියෙන් ඔබ පාසැලේදී පීඩනයට මුහුණ දෙනවා කියා.

පාසැලට යන එන අතරමඟ සිදු වන දේවල් නිසාත් ඔබට පිඩනයක් දැනෙන්න පුළුවන්. ඇමරිකාවේ ජීවත් වන ටාරාට එය දැනුණා. “බස් එකේ ළමයි රණ්ඩු වෙද්දී රියදුරා බස් එක නවත්තලා හැමෝටම බහින්න කිව්වා. ඒකෙන් අපිට පැය භාගයක් විතර පරක්කු වුණා.”

ඔබ පාසැලට ගිය පසුවත් පීඩනයක් අද්දකිනවා ඇති.

ගුරුවරුන් නිසා ඇති වන පීඩනය.

“හොඳම ප්‍රතිඵල ගනියි කියලා ගුරුවරුන් මගෙන් බලාපොරොත්තු වෙනවා. එයාලව සතුටු කරන එක මට ලොකු පීඩනයක්.”—සැන්ඩ්‍රා.

“දක්ෂතා තියෙන ළමයින්ට ඒ පැතිවලින් ඉහළට යන්න කියලා නිතරම ගුරුවරු බල කරනවා.”—ඒප්‍රිල්.

“ඔබට හොඳ ඉලක්ක තියෙන්න පුළුවන්. ඒත් ගුරුවරුන් ඊට වඩා දේවල් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ඔබ ඒ දේවල් අත් කරගත්තේ නැත්නම් ඔවුන් ඔබව කොන් කරනවා.” *—නයෝමි.

ගුරුවරුන් නිසා ඔබට ඇති වන පීඩනය මොන වගේද?

․․․․․

මිතුරන් නිසා ඇති වන පීඩනය.

“ලොකු පන්තිවල ඉන්න ළමයින්ට නිදහසත් වැඩියි, එයාලගේ මුරණ්ඩුකමත් වැඩියි. අපි එයාලගේ නරක වැඩවලට එකතු වුණේ නැත්නම් අපිව ගණන් ගන්නේ නැහැ.”—කෙවින්.

“මත්පැන් පානය කරන්න, ගැහැනු ළමයි එක්ක නරක විදිහට හැසිරෙන්න යාළුවන්ගෙන් හැම දවසකම ලොකු පීඩනයක් එල්ල වෙනවා. ඒවා මඟහරින එක ලේසි නැහැ.”—ඒරන්.

“මට දැන් අවුරුදු 12යි. ‘ඔයාට තාම කොල්ලෙක් නැත්තේ ඇයි’ කියලා ඉස්කෝලේ හැම කෙනෙක්ම වගේ මගෙන් අහනවා. ඒක තමයි මට තියෙන ලොකුම පීඩනය.”—ඇලෙක්සැන්ඩ්‍රියා.

“පිරිමි ළමයෙක් එක්ක යාළු වෙන්න බැහැ කිව්වම මම සමලිංගිකයෙක් කියලා හංවඩු ගැහැව්වා. එතකොට මට අවුරුදු දහයයි!”—ක්‍රිස්ටා.

මිතුරන් නිසා ඔබට ඇති වන පීඩනය මොන වගේද?

․․․․․

පීඩනයක් ඇති වීමට හේතු වන තවත් කාරණා කිහිපයක් පහත සඳහන් වෙනවා. ඔබට වඩාත්ම බලපාන කාරණා ඉදිරියේ ✔ ලකුණ දමන්න. වෙනත් දෙයක් තිබේ නම් ලියන්න.

□ පාසැලේ විභාග

□ පාසැලෙන් දෙන ගෙදර වැඩ

□ දෙමාපියන්ගේ බලාපොරොත්තු

□ ඔබේ බලාපොරොත්තු

□ ලිංගික හෝ වෙනත් හිරිහැර

□ වෙනත් ․․․․․

පීඩනය අඩු කරගැනීමට පියවර හතරක්

පාසැල් කාලයේදී පීඩනයට මුහුණ දෙන්න ඔබට සිදු වෙනවාමයි. නමුත් සමහර අවස්ථාවලදී දැනෙන පීඩනය වැඩි නම් එය දරාගන්න අමාරුයි. ප්‍රඥාවන්ත රජෙක් වූ සලමොන් පැවසූ දේ සලකා බලන්න. “දුක් කරදරවලින් මිරිකී සිටින ප්‍රඥාවන්තයෙකු පවා මෝඩයෙකු සේ හැසිරීමට ඉඩ තිබේ.” (දේශනාකාරයා 7:7) එය වළක්වාගැනීමට ඇති හොඳම ක්‍රමය නම් පීඩනයට සාර්ථකව මුහුණ දීමට ඉගෙනගැනීමයි.

පීඩනයට මුහුණ දීම හරියට බර උසුලනවා වගෙයි. බරක් උසුලන තැනැත්තා ඒ බර ඉසිලීමට කලින් තමන්ට ඉසිලිය හැකි බර ප්‍රමාණය හා එය කළ හැකි නිවැරදි ඉරියව් ගැන සැලකිලිමත් විය යුතුයි. ඔහුගේ ශරීරයට කිසිම හානියක් නොවී ඔහුගේ මාංස පේශී ශක්තිමත් වෙන්නේ එවිටයි. එසේ නොකළොත් ඔහුගේ මාංස පේශිවලට හානියක් වෙන්න හෝ අස්ථියක් බිඳී යන්න පුළුවන්.

ඔබත් එලෙස කටයුතු කළොත් පීඩනයට සාර්ථකව මුහුණ දීමට හැකියි. ඒ සඳහා ගත යුතු පියවර කිහිපයක් දැන් අපි බලමු.

1. පීඩනයට හේතුව හඳුනාගන්න. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 22:3) යම් පීඩනයක් ඇති වීමට හේතුව හඳුනාගත්තොත් තමයි එය මඟහරවා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ කලින් ✔ ලකුණ දැමූ කාරණා ගැන නැවත සිතන්න. ඉන් ඔබට වඩාත්ම බලපෑමක් එල්ල කරන්නේ කුමන කාරණයද?

2. තොරතුරු සොයා බලන්න. පාසැලෙන් දෙන අධික ගෙදර වැඩ නිසා ඔබ පීඩනයකින් සිටිනවා කියා සිතන්න. දෙවන පොතේ 13වන පරිච්ඡේදයේ තිබෙන යෝජනා බලන්න. එසේත් නැත්නම් යම් අනාචාර ක්‍රියාවකට ඔබේ පාසැලේ ළමයෙකුගෙන් පෙලඹීමක් එල්ල වුණොත් 2වන පොතේ 2වන, 5වන සහ 15වන පරිච්ඡේද ඔබට ප්‍රයෝජනවත් වෙයි.

3. කල් දමන්න එපා. ගැටලු ගණන් නොගෙන සිටීමෙන් ඒවා ඉබේටම නැති වෙන්නේ නැහැ. ඒවා දරුණු වී ඔබේ පීඩනය වැඩි වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා පීඩනයට මුහුණ දෙන ආකාරය ගැන ඔබ යම් තීරණයක් ගත්තා නම් කල් නොදමා එය අත්හදා බලන්න. උදාහරණයකට ඔබ බයිබලයේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමට වෑයමක් දරමින් සිටිනවා නම් ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියා අන් අයට ඉක්මනින්ම කියන්න. එසේ කළොත් ඔබට දැනෙන පීඩනය අඩු විය හැකියි. විසි හැවිරිදි මාෂා ඒ ගැන මෙහෙම කියනවා. “මම සාක්ෂිකාරයෙක් කියලා හැම අවුරුද්දක මුලදීම ළමයින්ට කිව්වේ නැත්නම් පස්සේ ඒක කරන එක මට අමාරු වුණා. ඒ නිසා මම කලින්ම මං විශ්වාස කරන දේවලුත් මට තියෙන්නේ මොන වගේ ප්‍රතිපත්තිද කියලත් ළමයින්ට පැහැදිලි කරලා දුන්නා. එහෙම කරපු නිසා දෙවිට විශ්වාසවන්තව ඉන්න මට ලේසි වුණා.”

4. උපකාරය ඉල්ලන්න. හුඟක් බර ඉසිලිය හැකි කෙනෙක්ට වුණත් යම් සීමාවන් තිබෙනවා. එය ඔබටත් අදාළයි. නමුත් පීඩනය නමැති බර ඔබ තනිවම ඉසිලිය යුතු නැහැ. (ගලාති 6:2) ඔබ මුහුණ දෙන පීඩනය ගැන දෙමාපියන් හෝ යෙහෝවා දෙවිට නමස්කාර කරන දැනුම් තේරුම් ඇති කෙනෙකු සමඟ කතා කරන්න. මෙම පරිච්ඡේදයේ ඔබ කලින් සඳහන් කළ කාරණා ඔවුන්ට පෙන්වන්න. ඔවුන්ගේ අදහස් හා යෝජනා අසා දැනගන්න.

පීඩනයෙන් සිදු වන යහපත

යම් දුරකට පීඩනයක් තිබීම හොඳ දෙයක් බව පැවසුවොත් සමහරවිට ඔබට එය විශ්වාස කරන්නත් අමාරු වෙයි. යම් දේවල් ගැන ඔබ පීඩනයකින් සිටිනවා නම් ඉන් පෙන්වන්නේ ඔබ, ඔබට තිබෙන වගකීම් ඉටු කිරීමට උනන්දු වන, ප්‍රතිපත්ති රැකීමට වෙහෙසක් දරන කෙනෙක් බවයි. කිසිම පීඩනයක් දැනෙන්නේ නැති පුද්ගලයෙක් ගැන බයිබලයේ මෙවැනි විස්තරයක් සඳහන් වෙනවා. “තව කොපමණ වේලාවක් ඔබ නිදාගෙන සිටිනවාද? ඔබ නින්දෙන් අවදි වන්නේ කොයි වේලාවේද? එසේනම් තව ටිකක් නිදාගන්න. තව ටිකක් හාන්සි වී සිටින්න. අත් දෙක බැඳගෙන හොඳට නිදාගන්න. එවිට දුප්පත්කම මංකොල්ල කන්නෙකු මෙන්ද අගහිඟකම් අවි ගත් මිනිසෙකු මෙන්ද හදිස්සියෙන් ඔබ පිටට පැමිණෙනු ඇත.”—හිතෝපදේශ 6:9-11.

දහසය හැවිරිදි හයිඩි මෙවැනි දෙයක් කියනවා. “ඉස්කෝලේ කියන්නේ අන්තිම නරක තැනක් වගේ ඔබට පෙනෙන්න පුළුවන්. ඒත් ඔබ රැකියාවකට ගියත් ඒ වගේ තත්වයකට මුහුණ දෙන්න වෙනවා.” ඇත්තයි, පීඩනයට මුහුණ දීම පහසු නැහැ. නමුත් ඔබ නිසි පිළියම් යෙදුවොත් පීඩනයෙන් හෙම්බත් නොවී ඊට හොඳින් මුහුණ දීමට ඔබට හැකි වෙයි. ඒ වගේම ඔබට සමබර ලෙස කටයුතු කරන්නත් හැකි වෙයි.

ඊළඟ පරිච්ඡේදය

ඔබේ ප්‍රශ්නවලට විසඳුම පාසැල් ගමන නතර කිරීමද?

[පාදසටහන]

^ 11 ඡේ. වැඩි විස්තර සඳහා මේ පොතේ 20වන පරිච්ඡේදය බලන්න.

බයිබල් උපදෙස

“[දෙවි] ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.”—1 පේතෘස් 5:7.

යෝජනාවක්

ඔබට පීඩනයක් ඇති කරන ප්‍රශ්න, විසඳාගත හැකි සහ නොහැකි ප්‍රශ්න ලෙස කාණ්ඩ දෙකකට වෙන් කරන්න. මුලින් විසඳාගත හැකි ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන්න. ඒවා විසඳාගන්න පුළුවන් වූ දාට විසඳාගත නොහැකි ප්‍රශ්න ගැන සිතන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

හැමදාම පැය අටක්වත් නිදාගැනීමෙන් පීඩනයෙන් යටපත් නොවී සමබරව කටයුතු කළ හැකි අතර ඔබේ මතක ශක්තියද දියුණු වෙයි.

ගත හැකි පියවර

පීඩනය අඩු කරගන්න මම හැකි සෑම රාත්‍රියකම මේ වෙලාවට නිදාගන්නවා ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● හැම දෙයක්ම අකුරටම කරන්න උත්සාහ කිරීමෙන් පීඩනය වැඩි වන බව පවසන්නේ ඇයි?

● පීඩනයක් දැනෙන අවස්ථාවලදී ඔබට ඒ ගැන කතා කරන්න පුළුවන් කා සමඟද?

[132වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘හැමදාම තාත්තා මාව ඉස්කෝලෙට ඇරලවන්න කලින් මාත් එක්ක යාච්ඤාවක් කරනවා. ඒකෙන් මට පීඩනයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණා.’’—ලිස්

[131වන පිටුවේ පින්තූරය]

නියම ක්‍රමයට බර උසුලනවා නම් ඔබේ මාංස පේශි ශක්තිමත් වෙයි. පීඩනයට සාර්ථකව මුහුණ දෙන හැටි දැනගැනීමෙන් ඔබ ශක්තිමත් පුද්ගලයෙක් වෙයි