Skip to content

පටුනට යන්න

ඉස්කෝලේ යන එක මං නතර කරන්නද?

ඉස්කෝලේ යන එක මං නතර කරන්නද?

19වෙනි පරිච්ඡේදය

ඉස්කෝලේ යන එක මං නතර කරන්නද?

ඔබ කැමති කීවෙනි වසර දක්වා ඉගෙනගන්නද? ․․․․․

දෙමාපියන් කියන්නේ ඔබ කීවෙනි වසර දක්වා ඉගෙනගත යුතුයි කියාද? ․․․․․

ඉහත ප්‍රශ්නවලට ඔබ දුන් පිළිතුරු එක සමානද? ඒවා සමාන වුණත් පාසැල් ගමන දැන්ම නතර කළා නම් හොඳයි කියා සමහර දවස්වලට ඔබට සිතෙනවා ඇති. පහත සඳහන් ආකාරයට ඔබටත් හැඟෙනවාද?

“මට ලොකු කලකිරීමක් දැනුණු දවස් තිබුණා. ඇඳෙන් බහින්නවත් හිතුණේ නැහැ. ‘මොකටද මම ඉස්කෝලේ යන්නේ, ඉගෙනගන්න දේවලින් මට වැඩක් තියෙයිද’ කියලා ඒ වෙලාවේ හිතුණා.”—රේචල්.

“හුඟක් දවස්වලට මට ඉස්කෝලේ යන්න හිතුණේ නැහැ. ‘රස්සාවක් කෙරුවා නම් මීට වඩා හොඳයි’ කියලා හිතුණා. එතකොට අතටවත් කීයක් හරි හම්බ වෙනවානේ.”—ජෝන්.

“මම ගියේ ලොකු ඉස්කෝලෙකට. මට යාළුවෝ හිටියේ නැහැ. මම පන්තියේ වැඩ හොඳට කළා. ඒත් මාව කවුරුත් ගණන් ගත්තේ නැහැ. මං හිටියේ තනි වෙලා. පන්තියේ කොන් කරලා හිටිය ළමයිවත් මාත් එක්ක කතා කෙරුවේ නැහැ. මට හිතුණෙම ඉස්කෝලේ යන එක නතර කරන්න.”—රයන්.

“හැමදාම ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ ටික කරන්න පැය හතරක් විතර ගියා. පැවරුම්, විභාග, ව්‍යාපෘති, ඉවරයක් නැහැ. හැමදාම ඔය තරම් වැඩ කරන්න පුළුවන්ද?”—සින්ඩි.

“දවසක් ඉස්කෝලේ බෝම්බයක් තියෙනවා කිව්වා. තවත් දවසක් ළමයෙක් දිවි නසාගත්තා. තවත් ළමයි තුන්දෙනෙක් දිවි නසාගන්න උත්සාහ කෙරුවා. මැර කල්ලිත් හිටියා. ‘මීට වඩා හොඳයි ගෙදර හිටියා නම්’ කියලා මට හිතුණා.”—රෝස්.

ඔබත් ඒ හා සමාන දේවලට මුහුණ දී තිබෙනවාද? ඉස්කෝලේ යන එක නතර කරන්න ඕනේ කියා ඔබටත් සිතුණා නම් ඊට හේතුව ලියන්න.

․․․․․

පාසැල් ගමන නැවැත්වීමට ඔබ තීරණය කළේ ඊට නිසි කාලය පැමිණි නිසාද නැත්නම් ඔබට පාසැල එපා වූ නිසාද?

නිසි කාලයද?

මූලික අධ්‍යාපනය අවසන් කිරීම සහ එය අතරමඟ නැවැත්වීම අතර ඇති වෙනස ලියන්න.

․․․․․

සමහර රටවල මූලික අධ්‍යාපනය ලෙස සලකන්නේ වසර පහක් හෝ අටක් පුරා පාසැල් අධ්‍යාපනය ලැබීමයි. තවත් රටවල එය වසර දහයක් හෝ දොළහක් දක්වා ලබාගත යුතුයි. ඒ නිසා පාසැල් ගමන අවසන් කළ යුත්තේ මෙපමණ අවුරුදු ගණනක අධ්‍යාපනයක් ලැබුවායින් පසුව හෝ මෙම වයසේදී කියා නීතියක් නැහැ.

ඊට අමතරව තවත් රටවල දරුවන්ට දෙමාපියන්ගේ සහයෝගය ඇතුව පාසැල් නොගොස් නිවසේ සිටම අධ්‍යාපනය ලැබීමට රජයෙන් අවසර දී තිබෙනවා.

කෙසේවෙතත් මූලික අධ්‍යාපනය ලබන්න පෙර ඔබේ පාසැල් ගමන හෝ නිවසේදී අධ්‍යාපනය ලැබීම නතර කිරීමට ඔබ සිතනවා නම් පහත සඳහන් කරුණු සලකා බලන්න.

රටේ නීතිය කුමක්ද? කලින් සඳහන් කළ ලෙස අධ්‍යාපනය පිළිබඳ නීති රටින් රටට වෙනස්. ඔබ ඉන්න රටේ නීතියට ඔබ යටත් විය යුතුයි. බයිබලයේ මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “සියලුදෙනාම උසස් බලධාරීන්ට යටත් විය යුතුයි.” (රෝම 13:1) ඒ නිසා ඔබ රටේ නීතියට අනුව මූලික අධ්‍යාපනය ලැබිය යුතුයි.

අධ්‍යාපනයෙන් මම බලාපොරොත්තු වන දේ අත් කරගෙන තියෙනවාද? ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද? ඒවා අත් කරගැනීමට ඔබ කොතරම් දුරකට ඉගෙනගත යුතුද? ඊට පැහැදිලි පිළිතුරක් දීමට ඔබට හැකියාව තිබිය යුතුයි. එසේ නොවෙයි නම් ඔබ හරියට යන්නේ කොහේද කියා තීරණය නොකර දුම්රියකට නඟින මඟියෙක් වගෙයි. ඒ නිසා ඔබේ දෙමාපියන් සමඟ එකතු වී 139වන පිටුවේ ඇති “ අධ්‍යාපනයෙන් මම බලාපොරොත්තු වන දේ” නමැති කොටුවේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. එසේ කිරීමෙන් ඔබේ අනාගත ඉලක්ක මොනවාද කියා තේරුම්ගැනීමට ඔබට හැකි වන අතර ඔබ කොතරම් දුරට පාසැල් අධ්‍යාපනය ලබන්න අවශ්‍යද කියා ඔබටත් ඔබේ දෙමාපියන්ටත් තීරණය කළ හැකියි.—හිතෝපදේශ 21:5.

ඔබ කොපමණ කාලයක් පාසැල් යන්න අවශ්‍යද කියා ගුරුවරුන් හා වෙනත් අය විවිධ උපදෙස් දෙයි. නමුත් තීරණය ගැනීමේ අයිතිය තිබෙන්නේ ඔබේ දෙමාපියන්ටයි. (හිතෝපදේශ 1:8; කොලොස්සි 3:20) කෙසේවෙතත් ඔබත් ඔබේ දෙමාපියනුත් තීරණය කරගත් කාලයට පෙර ඔබ පාසැල් ගමන නතර කිරීමට අදහස් කරනවා නම් එය සුදුසු තීරණයක් නොවෙයි.

ඉස්කෝලේ යන එක මම නතර කරන්නේ ඇයි? අපි ආස දේ ඉටු කරගැනීම සඳහා අපේ වාසියට කරුණු ඉදිරිපත් කරන්න අපි දක්ෂයි. (යාකොබ් 1:22) එසේ කිරීමෙන් ඔබ රවටාගන්නේ ඔබවමයි.—යෙරෙමියා 17:9.

මූලික අධ්‍යාපනය නොලබා පාසැල් ගමන නතර කිරීම සාධාරණයි කියා ඔබ සිතන හේතු ලියන්න.

․․․․․

පාසැල් ගමන නතර කිරීම සාධාරණයි කියා ඔබේ වාසියට ඔබ ඉදිරිපත් කරන හේතු ලියන්න.

․․․․․

ඔබේ පවුලට උපකාර කිරීම සඳහා රැකියාවක් කිරීම හෝ දෙවි ගැන අන් අයට කියා දීම සාධාරණ හේතු ලෙස ඔබ සඳහන් කරන්න ඇති. අනික් අතට විභාගවලට පෙනී සිටීම හෝ පාසැලෙන් දෙන ගෙදර වැඩ කිරීමට අකමැති වීම ඔබේ වාසියට හේතු ලෙස ඔබ සඳහන් කරන්න ඇති. වැදගත් දේ වෙන්නේ ඔබ පාසැල් ගමන නතර කිරීමට ඉදිරිපත් කරන හේතු සාධාරණද නැත්නම් ඔබේ වාසියට දුන් හේතුද කියා අවංකව කල්පනා කර බැලීමයි.

ඔබ සඳහන් කළ හේතු දෙස නැවත බලන්න. පාසැල් ගමන නතර කිරීමට ඔබ දී තිබෙන හේතු මොනවාද? ඔබ ලියූ හේතුවල වැදගත්කම අනුව ඒවා 1 සිට 5 දක්වා අංක කරන්න. ඔබ පාසැල් ගමන අවසන් කිරීමට තීරණය කළේ ප්‍රශ්නවලින් මිදෙන්න නම් එය හොඳ තීරණයක් නොවෙයි.

මතු විය හැකි ගැටලු

ඔබ දුම්රියක ගමන් කරන විට යම් අපහසුතාවන්ට මුහුණ දෙනවා කියා සිතන්න. එම අපහසුතාවන් නිසා ඔබ දුම්රියෙන් පැන්නොත් ඔබට සිදු වෙන්නේ කුමක්ද? ඔබට බරපතළ ලෙස තුවාල වෙයි. ඒ වගේම යා යුතු තැනට යන්නත් බැරි වෙයි. ඒ හා සමානව ඔබේ පාසැල් ගමන අතරමඟ නතර කළොත් ඔබේ ඉලක්ක අත් කරගැනීමට බැරි වන අතර ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න ඔබට සිදු වෙයි.

දැන් මුහුණ දීමට සිදු වන ගැටලු: රැකියාවක් සොයාගැනීම ඔබට පහසු වෙන්නේ නැහැ. යම් රැකියාවක් ලැබුණත් හොඳ අධ්‍යාපනයක් නැති නිසා ඔබට ලැබෙන්නේ අඩු වැටුපක්. ඒ නිසා ඔබේ මූලික අවශ්‍යතා පිරිමසාගැනීමට වැඩි කාලයක් වැඩ කරන්න වෙයි. අන්තිමේදී ඔබට මුහුණ දීමට සිදු වෙන්නේ පාසැලේදී මුහුණ දුන්නාට වඩා කටුක තත්වයන්වලටයි.

අනාගතයේදී මුහුණ දීමට සිදු වන ගැටලු: සෞඛ්‍ය ගැටලු, සිරදඬුවම්, දිරි දීමනාවලින් යැපීමට සිදු වීම වැනි දේවල් බොහෝවිට අද්දකින්නේ නිසි පාසැල් අධ්‍යාපනයක් නොලැබූ අය බව පර්යේෂණවලින් ඔප්පු වී තිබෙනවා.

ඔබ පාසැල් අධ්‍යාපනය සම්පූර්ණ කළ පමණින් එවැනි ගැටලු අද්දකින්නේ නැහැ කියා නිශ්චිතවම කියන්න බැහැ. නමුත් නිසි අධ්‍යාපනයක් නොලබා එවැනි අවදානම් තත්වයකට වැටෙන්නේ ඇයි?

පාසැල් යෑමේ ප්‍රයෝජන

විභාගයකින් අසමත් වුණා නම් හෝ පාසැලේදී යම් ගැටලුවකට මුහුණ දුන්නා නම් පාසැල් ගමන නතර කිරීමට ඔබට සිතෙන්න පුළුවන්. දැන් ඔබ මුහුණ දෙන තත්වය අනාගතයේදී මුහුණ දීමට සිදු වන ගැටලුවලට වඩා බරපතළයි කියා ඔබට හැඟෙන්න පුළුවන්. නමුත් හදිසි තීරණ ගන්න එපා. කලින් සඳහන් කළ යෞවන යෞවනියන්, පාසැල් ගමන නතර නොකර දිගටම පාසැල් ගිය නිසා ලැබූ ප්‍රයෝජන ගැන පැවසූ දේවල් සලකා බලන්න.

“මං හිතන විදිහ වෙනස් කරගත්ත නිසා ඉස්කෝලේ යන එකෙන් සතුටක් හා ප්‍රයෝජනයක් මට ලැබුණා. ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්නත් විඳදරාගන්නත් මම ඉගෙනගත්තා. ඒ විතරක් නෙමෙයි කලා විෂයන්වලිනුත් මම හුඟක් දියුණු වුණා. ඒ නිසා මට හොඳ රස්සාවක් කරන්න පුළුවන් වෙයි.”—රේචල්.

“ටිකක් මහන්සි වුණොත් මගේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් වෙයි කියලා මට දැන් තේරෙනවා. මම මුද්‍රණ අංශයේ රස්සාවක් කරන්න කැමති නිසා ඉස්කෝලේදීම ඒ අංශයට අදාළ විෂයන් ඉගෙනගන්නවා.”—ජෝන්.

“මම දිගටම ඉස්කෝලේ ගිය නිසා මම ලිවීමේ සහ කියවීමේ හැකියාව දියුණු කරගත්තා. ඒ වගේම අනික් අය මාව විවේචනය කරද්දී ඒක මගේ අඩුපාඩු හදාගන්න අවස්ථාවක් හැටියටත් පැහැදිලිව හා තර්කානුකූලව කතා කරන්නත් මම ඉගෙනගත්තා. ඒ දේවල් මගේ දේවසේවයටත් ලොකු උපකාරයක්.”—රයන්.

“ඉස්කෝලේදීත්, සමාජයේදීත් ඒ වගේම මගේම අඩුපාඩු නිසාත් ඇති වන ගැටලු විසඳගන්න මම ඉගෙනගත්තේ දිගටම ඉස්කෝලේ ගිය නිසයි. ඒ නිසා ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න මට පුළුවන් වෙලා තියෙනවා.”—සින්ඩි.

“රස්සාවක් කරන කොට අද්දකින අභියෝගවලට මට මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මම දිගටම ඉස්කෝලේ ගිය නිසයි. ඒ වගේම මගේ ආගමික විශ්වාසයන් ගැන ඉස්කෝලේදී පැහැදිලි කරන්නත් සිද්ධ වුණ නිසා දෙවි ගැන මට තිබ්බ විශ්වාසයත් ශක්තිමත් වුණා.”—රෝස්.

පුරාණයේ සිටි සලමොන් රජ මෙවැනි දෙයක් ලිව්වා. “පටන්ගැන්මට වඩා අවසානය හොඳය. උඩඟු ලෙස හැසිරෙන කෙනෙකුට වඩා ඉවසිලිවන්ත කෙනෙකු හොඳය.” (දේශනාකාරයා 7:8) ඒ නිසා පාසැල් ගමන නතර කිරීමට ඉක්මන් නොවී ඉවසීමෙන් කටයුතු කරන්න. ප්‍රශ්නවලට විසඳුම් සොයන්න පුරුදු වෙන්න. ඒ සියල්ලෙන් ඔබට ලැබෙන අවසාන ප්‍රතිඵල හුඟක් ප්‍රයෝජනවත් වෙයි.

ඊළඟ පරිච්ඡේදය

ඔබ ඉස්කෝලේ යන්න ආස නැත්තේ, ගුරුවරයාට අකමැති නිසාද?

බයිබල් උපදෙස

“දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි.”—හිතෝපදේශ 21:5.

යෝජනාවක්

පාසැල් යෑම අභියෝගයක් කියා ඔබට සිතෙනවා නම් අධ්‍යාපනය ඉක්මනින් අවසන් කිරීමට විකල්ප ක්‍රම තිබෙනවාද කියා සොයා බලන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

නිතර නිතර පාසැලට නෑවිත් ඉන්න ළමයි අන්තිමේදී පාසැල් ගමන අතරමඟ නතර කරනවා.

ගත හැකි පියවර

යම් විෂයක් මට අමාරු නම් මම ඉස්කෝලේ යෑම නතර නොකර මේ දේ කරනවා ․․․․․

මහන්සිය වැඩි නිසා ඉස්කෝලේ යෑම නතර කරන්න මට හිතුණොත් මහන්සිය අඩු කරගන්න මම ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● ඔබ ලිවීම, කියවීම සහ ගණිතය ඉගෙනගත යුත්තේ ඇයි?

● පොඩි පොඩි ඉලක්ක තබාගැනීම ඔබගේ පාසැල් අධ්‍යාපනය හොඳින් කරගෙන යෑමට උපකාරවත් වෙන්නේ කොහොමද?

● ඔබ පාසැල් අධ්‍යාපනය අවසන් කළ පසු කරන්න බලාපොරොත්තු වන රැකියාව ගැන දැන්ම සිතා බැලීම වැදගත් ඇයි?

[140වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘ඔබේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න බැරි වෙයි. ඒත් දිගටම ඉස්කෝලේ යන එකෙන් ඔබේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා. එය රස්සාවක් කරන කොටත් වෙනත් අවස්ථාවලදීත් වටිනවා.’’—රැමෝනා

[139වන පිටුවේ කොටුව]

 ඔබේ සටහන්

අධ්‍යාපනයෙන් මම බලාපොරොත්තු වන දේ

අධ්‍යාපනයෙන් ඉටු වන මූලික කාරණයක් වෙන්නේ අනාගතයේදී සුදුසු රැකියාවකට ඔබව සූදානම් කිරීමයි. ඔබ කවදා හෝ විවාහ වුණොත් පවුලක් නඩත්තු කිරීමට ඔබේ ආදායම ප්‍රමාණවත් විය යුතුයි. (2 තෙසලෝනික 3:10, 12) ඒ නිසා අනාගතයේදී කරන්නේ මොන වගේ රැකියාවක්ද කියා ඔබ කල්පනා කර තිබෙනවාද? ඒ සඳහා ඔබට මොන වගේ සුදුසුකම් අවශ්‍ය වෙයිද? අධ්‍යාපනයත් රැකියාවත් සම්බන්ධයෙන් හොඳ තීරණයක් ගැනීමට පහත දැක්වෙන ප්‍රශ්න ඔබට උපකාරවත් වෙයි. ඒවාට පිළිතුරු ලියන්න.

මගේ හැකියාවන් මොනවාද? (අනික් අය එක්ක ඔබට සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන්ද? ඔබ වැඩියෙන්ම දක්ෂ දෑතේ වැඩවලටද නැත්නම් මනස වෙහෙසා කරන වැඩවලටද?) ․․․․․

මගේ හැකියාවන්ට අනුව කළ හැකි රැකියාවන් මොනවාද? ․․․․․

මගේ ප්‍රදේශයේ තිබෙන රැකියා ප්‍රස්තාවන් මොනවාද? ․․․․․

රැකියාවක් කිරීමට උපකාරවත් වන විෂයන් මම තෝරාගෙන තිබෙනවාද? ․․․․․

මම කිරීමට බලාපොරොත්තු වන රැකියාවට සුදුසු පාඨමාලා තිබෙනවාද? ․․․․․

සමහර අය මූලික අධ්‍යාපනය ලැබූ පසුවත් ජීවිතයේ අනිකුත් වගකීම් පැහැර හරිමින් තමන්ගේ මුළු කාලයම විවිධ පාඨමාලා හදාරන්න යොදවනවා. ඔවුන් හරියට දුම්රියේ යන, ගමනාන්තයක් නැති මඟියෙක් වගෙයි. නමුත් ඔබ සමබර විය යුතුයි. ඔබ තෝරාගන්නා විෂයන් ඔබේ අනාගතයට ප්‍රයෝජනවත් විය යුතුයි. *

[පාදසටහන]

^ 69 ඡේ. වැඩි විස්තර සඳහා 2වන පොතේ 38වන පරිච්ඡේදය බලන්න.

[138, 139වන පිටුවේ පින්තූරය]

පාසැල් ගමන අතරමඟ නතර කිරීම හරියට ගමනාන්තයට පෙර දුම්රියෙන් පනිනවා වගෙයි