Skip to content

පටුනට යන්න

මම කොයි සංස්කෘතියටද අයිති?

මම කොයි සංස්කෘතියටද අයිති?

22වෙනි පරිච්ඡේදය

මම කොයි සංස්කෘතියටද අයිති?

ඔබේ මව හෝ පියා විදේශ රටකින් පදිංචියට පැමිණි කෙනෙක්ද?

□ ඔව් □ නැහැ

ඔබේ පාසැලේ කතා කරන භාෂාවත් එහි සංස්කෘතියත් ඔබ නිවසේදී කතා කරන භාෂාවටත් සංස්කෘතියටත් වඩා වෙනස්ද?

□ ඔව් □ නැහැ

“මගේ පවුලේ අය ඉතාලි ජාතිකයන්. ඉතාලි ජාතිකයන් තම හැඟීම් විවෘතව ප්‍රකාශ කරනවා. අපි දැන් පදිංචි වෙලා ඉන්නේ බ්‍රිතාන්‍යයේ. මෙහෙ ඉන්න අය ලේසියෙන් හැඟීම් ප්‍රකාශ කරන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ මම කොයි සංස්කෘතියට අයිතිද කියලා.”—ගියෝසු, එංගලන්තයෙන්.

“පන්තියේ සර් කිව්වා එයා කතා කරන කොට එයා දිහා බලන්න කියලා. ඒත් ගෙදරදී තාත්තා කතා කරන කොට තාත්තගේ මුහුණ දිහා බැලුවාම මම එයාට ගරු කරන්නේ නැහැ කියලා කිව්වා. මට හිතුණේ මම සංස්කෘතීන් දෙකක හිර වෙලා කියලා!”—පැට්‍රික්, ඇල්ජීරියානු දෙමාපියන්ට ප්‍රංශයේදී ඉපදුණු දරුවෙක්.

ඔබේ දෙමාපියන් විදේශ රටක පදිංචියට ගිය පසු නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙන්න ඇති. ඒ රටේ භාෂාව, සංස්කෘතිය හා ඇඳුම් පැළඳුම් ඔවුන් සිටි රටට වඩා වෙනස්. ඒ නිසා ඔවුන් නොයෙකුත් හිරිහැරයන්ට ලක් වෙන්න ඇති.

ඔබත් එවැනි තත්වයන්ට මුහුණ දී තිබෙනවාද? පහත දැක්වෙන්නේ එවැනි අභියෝගයන්ට මුහුණ දුන් යෞවනයන්ගේ අද්දැකීම්. ඔබට මුහුණ දීමට අමාරුයි කියා සිතෙන අභියෝගය ඉදිරියෙන් ✔ ලකුණ දමන්න.

සමච්චල් කිරීම. යොර්දානයෙන් උතුරු ඇමරිකාවට තම පවුල සමඟ පදිංචියට යන විට, නූර් යෞවනියක්. ඇය මෙහෙම කියනවා. “අපේ ඇඳුම් වෙනස් නිසා මිනිස්සු අපිට හිනා වුණා. අපිට එයාලගේ විහිළු තේරුණෙත් නැහැ.”

මම අයිති රට. නාඩියාගේ අද්දැකීම සලකා බලන්න. “මම ඉපදුණේ ජර්මනියේ. මගේ අම්මයි තාත්තයි ඉතාලි ජාතිකයන් නිසා මම ජර්මන් භාෂාව කතා කෙරුවේ ඉතාලි උච්චාරණයත් එක්ක. ඉස්කෝලේ ළමයි මට ‘මෝඩ විදේශිකයා’ කියලා විහිළු කෙරුවා. ඒත් මම ඉතාලියට ගියාම ඉතාලි භාෂාව කතා කළේ ජර්මන් උච්චාරණයත් එක්ක. මට තේරෙන්නේ නැහැ මම කොයි රටටද අයිති කියලා. මම ඒ රටෙත් විදේශිකයෙක් මේ රටෙත් විදේශිකයෙක්!”

නිවසේ සංස්කෘතීන් දෙකක්. ඇනා තම පවුලේ අය සමඟ එංගලන්තයේ පදිංචියට යන විට ඇයට අවුරුදු අටයි. ඇය මෙහෙම කියනවා. “මමයි මල්ලියි ඉක්මනට මේ රටේ විදිහට හැඩගැහුණා. ඒත් අම්මටයි තාත්තටයි නම් ඒක ලේසි වුණේ නැහැ. මොකද එයාලා හුඟ කාලයක් ජීවත් වුණේ පෘතුගාලයට අයිති පුංචි දූපතක් වන මැඩීරාවල”

වොයන් තම කාම්බෝජියානු දෙමාපියන් සමඟ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන විට ඇයට අවුරුදු තුනයි. “මගේ අම්මයි තාත්තයි මේ රටට තාම හැඩගැහිලා නැහැ. මට තාත්තා හිතන විදිහ තේරුම්ගන්න අමාරු නිසා තාත්තයි මායි අතර නිතරම ප්‍රශ්න ඇති වෙනවා.”

නිවසේ භාෂා ප්‍රශ්නයක්. ඉක්වදෝරයේ සිට ඇමරිකාවට තම පවුලේ අය සමඟ පදිංචියට යන විට ඉයන්ට අවුරුදු අටයි. එහි අවුරුදු හයක් ජීවත් වූ පසු ඉයන් මෙහෙම කියනවා. “මම දැන් ස්පාඤ්ඤ භාෂාවට වඩා ඉංග්‍රීසි භාෂාව තමයි කතා කරන්නේ. ගුරුවරුන්, යාළුවන්, මගේ මල්ලි එක්ක පවා මම කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. මම දැන් හිතන්නෙත් ඉංග්‍රීසියෙන්. ඒ නිසා මට දැන් ස්පාඤ්ඤ භාෂාව ටිකෙන් ටික අමතක වෙලා යනවා.”

ලී නමැති යෞවනිය ඉපදුණේ ඕස්ට්‍රේලියාවේ. ඇගේ දෙමාපියන් කාම්බෝජියානු ජාතිකයන්. ඇය මෙහෙම කියනවා. “යම් කාරණයක් ගැන හිතෙන විදිහ අම්මලාට එයාලගේ භාෂාවෙන් කියන්න මට අමාරුයි.”

කලින් සඳහන් කළ නූර් මෙහෙම කියනවා. “මගේ තාත්තා අපිට බල කෙරුවා ගෙදරදී අරාබි භාෂාවෙන් කතා කරන්න කියලා. ඒත් අපි ඒකට කැමති වුණේ නැහැ. අපිට ඒක ලොකු බරක් වගෙයි දැනුණේ. අපි යාළුවොත් එක්ක කතා කෙරුවේ ඉංග්‍රීසියෙන්. අපි TV එකේ බැලුවේ ඉංග්‍රීසි වැඩසටහන්. ඉතින් මොකටද අරාබි භාෂාව ඉගෙනගන්නේ කියලා අපිට හිතුණා.”

ඔබට කළ හැකි දේ

ඉහත අද්දැකීම්වලින් පැහැදිලි වෙන්නේ ඔබ මුහුණ දෙන ගැටලුවලට තවත් බොහෝ යෞවනයන් මුහුණ දෙන බවයි. ඔබට සිතෙන්න පුළුවන් ඔබේ දෙමාපියන්ගේ සංස්කෘතිය අමතක කර දමා ඔබ ඉන්න රටේ සංස්කෘතියට හැඩගැහෙන එක හොඳයි කියලා. නමුත් ඔබ එසේ කළොත් ඔබේ දෙමාපියන්ට දුකක් සහ අමනාපයක් ඇති විය හැකියි. එය ඔබවත් කලකිරීමට පත් කරයි. ඒ නිසා සංස්කෘතීන් දෙකටම හැඩගැහෙන්න ඉගෙනගන්න. ඒ තත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා පහත සඳහන් යෝජනා ඔබට උපකාරවත් වෙයි.

සමච්චල් කරන කොට. ඔබ මොන දේ කළත් හැමෝගෙම සිත් දිනාගන්න ඔබට බැහැ. සමච්චල් කිරීමෙන් සතුටක් ලබන අය ඔවුන් කරන දේ අත්හරින්නේ නැහැ. (හිතෝපදේශ 18:24) ඔවුන්ව නිවැරදි කරන්න උත්සාහ කිරීමෙන් ඔබට ප්‍රයෝජනයක් නැහැ. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සමච්චල් කරන්නා තමාට අවවාද කරන තැනැත්තාට ප්‍රේම නොකරයි.” (හිතෝපදේශ 15:12) සමච්චල් කරන කෙනෙක් අනික් තැනැත්තාගේ අඩුපාඩු හෙළි කරන්න උත්සාහ කළත් ඇත්තටම ඉන් සිදු වෙන්නේ ඔහුගේ මෝඩකම හෙළි වීමයි.

ඔබ මොන රටටද අයිති යන ප්‍රශ්නයේදී. පවුලකට, සංස්කෘතියකට අයිති වෙන්න අපි කවුරුත් කැමතියි. නමුත් ඔබේ වටිනාකම තීරණය වෙන්නේ ඔබේ පවුල හෝ සංස්කෘතියට අනුව කියා සිතීම වැරදියි. මිනිස්සු ඒ විදිහට සිතුවත් දෙවි එසේ සිතන්නේ නැහැ. යේසුස්ගේ නියෝජිතයෙක් වූ පේතෘස් කිව්ව දේ බලන්න. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.’ (ක්‍රියා 10:34, 35) ඔබ යෙහෝවා දෙවිව සතුටු කිරීමට ඔබේ උපරිමය කළොත් දෙවි ඔබව ඔහුගේ පවුලේ කෙනෙකු හැටියට සලකනවා. (යෙසායා 43:10; මාක් 10:29, 30) එය මොන තරම් උතුම් ආශීර්වාදයක්ද!

සංස්කෘතිය ගැන නිවසේ ගැටුම් ඇති වෙද්දී. ඕනෑම පවුලක් තුළ දෙමාපියන් හා දරුවන් අතර වෙනස් අදහස් උදහස් තියෙන්න පුළුවන්. ඔබ වෙනත් රටක ජීවත් වන නිසා ඒ ප්‍රශ්නය තවත් දරුණු විය හැකියි. ඊට හේතුව ඔබේ දෙමාපියන්ට අවශ්‍ය ඔබ ඔවුන්ගේ සංස්කෘතියට ගැළපෙන විදිහට ජීවත් වෙනවාටයි. නමුත් ඔබට අවශ්‍ය ඔබ දැන් ජීවත් වන රටේ සංස්කෘතියට අනුව හැඩගැහෙන්නයි. ඒ කොයි දේ වුණත් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න නම් ඔබ, ‘ඔබේ පියාටත් මවටත් ගෞරව කළ යුතුයි.’—එෆීස 6:2, 3.

දෙමාපියන්ගේ සිරිත් විරිත් ඔබට ගැළපෙන්නේ නැහැ කියා සිතෙන නිසා ඔවුන් සමඟ මතගැටුම් ඇති කරගන්නවා වෙනුවට, ඔවුන් ඒ සිරිත් විරිත්වලට ගරු කරන්නේ ඇයි කියා තේරුම්ගැනීමට උත්සාහ කරන්න. (හිතෝපදේශ 2:10, 11) මේ ගැන සිතන්න. ‘ඒ සිරිත් විරිත් බයිබලයේ ඇති ප්‍රතිපත්තිවලට පටහැනිද? පටහැනි නැත්නම් ඇයි මම ඒකට අකමැති? මම හිතන විදිහ මගේ දෙමාපියන්ට ගෞරවනීයව පැහැදිලි කරන්නේ කොහොමද?’ (ක්‍රියා 5:29) ඔබට උපකාරවත් වන තවත් දෙයක් වෙන්නේ ඔබේ දෙමාපියන් කතා කරන භාෂාව ඔබ හොඳින් දැන සිටීමයි. එවිට ඔවුන් සිතන විදිහ තේරුම්ගැනීමේදීත් ඔබ සිතන විදිහ ඔවුන්ට පැහැදිලි කර දීමේදීත් ඔවුන්ට ගෞරව කරන්න ඔබට පහසු වෙයි.

නිවසේදී භාෂාව ගැටලුවක් වී ඇත්නම්. තමන් ජීවත් වන රටේ භාෂාව නිවසේදී කතා නොකර, මව්බස පමණක් කතා කළොත් දරුවන් භාෂා දෙකටම හුරු වෙයි කියා සමහර දෙමාපියන් තේරුම්ගෙන තිබෙනවා. එය ඔබට අත්හදා බලන්න පුළුවන්ද? මව්භාෂාව ලියන හැටි ඉගෙනගැනීමට දෙමාපියන්ගේ උපකාරය ඉල්ලන්න. ජර්මනියේ හැදී වැඩුණු ස්ටෙලිස්ගේ මව්භාෂාව ග්‍රීක භාෂාවයි. ඔහු මෙහෙම කියනවා. “මගේ දෙමාපියන් හැමදාම මාත් එක්ක බයිබල් පදයක් සාකච්ඡා කළා. එයාලා ඒක මට ඇහෙන්න කියෙව්වා. පස්සේ මම ඒ පදය ලිව්වා. දැන් මට ග්‍රීක භාෂාවත් ජර්මන් භාෂාවත් ලියන්නත් කියවන්නත් පුළුවන්.”

මව්භාෂාව ඉගෙනගැනීමේ ඇති තවත් ප්‍රයෝජනයක් ගැන ගියෝසු මෙහෙම කියනවා. “මම අම්මලා කතා කරන භාෂාව ඉගෙනගත්තේ එයාලා එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්න. විශේෂයෙන්ම එයාලත් එක්ක එකට නමස්කාරයේ හවුල් වෙන්න. ඒ භාෂාව ඉගෙනගත්තු නිසා මට එයාලව තේරුම්ගන්නත් එයාලට මාව තේරුම්ගන්නත් පුළුවන් වුණා.”

සංස්කෘතිය බාධාවක් නොවෙයි

ඔබේ සංස්කෘතික පසුබිම ඔබ සලකන්නේ අනික් අය සමඟ බැඳීම් ඇති කරගැනීමට බාධකයක් ලෙසද නැත්නම් බැඳීම් ඇති කරන පාලමක් ලෙසද? යෙහෝවා දෙවිට නමස්කාර කරන බොහෝ යෞවනයන් ඔවුන්ගේ සංස්කෘතික පසුබිම වාසියක් ලෙස සලකනවා. ඔවුන්ගේ මව්රටින් පැමිණෙන ජනයාට දේවරාජ්‍යය ගැන කීමට ඔවුන්ට ඒ නිසා පහසු වී තිබෙනවා. (මතෙව් 24:14; 28:19, 20) අවුරුදු පහේදී එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචියට ගිය සාලෝමවුන් නමැති යෞවනයා මෙහෙම කියනවා. “භාෂා දෙකකින් බයිබලයේ තියෙන දේවල් පහදා දීමට හැකි වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මගේ මව්භාෂාව පෘතුගීසි භාෂාවයි. ඒක මට අමතක වෙලයි තිබුණේ. ඒත් දැන් මම ඒ භාෂාව කතා කරන සභාවක සේවය කරන නිසා මට පෘතුගීසි භාෂාවත් ඉංග්‍රීසි භාෂාවත් හොඳට කතා කරන්න පුළුවන්.”

කලින් සඳහන් කළ නූර්, ඇය දැන් සිටින රටේ, අරාබි භාෂාවෙන් දේවරාජ්‍යය ගැන දේශනා කරන්නන්ගේ අවශ්‍යතාවක් තිබෙනවා කියා තේරුම්ගත්තා. ඇය මෙහෙම කියනවා. “මම දැන් අරාබි භාෂාව ආසාවෙන් ඉගෙනගන්නවා. මම දැන් හිතන්නේ ඉස්සර හිතපු විදිහට නෙමෙයි. මම කතා කරන කොට වැරදුණාම කවුරු හරි මාව නිවැරදි කරනවාටත් මම කැමතියි.”

ඇත්තෙන්ම සංස්කෘතීන් දෙකක් ගැන අවබෝධයක් තිබෙනවා නම් ඒ වගේම භාෂා දෙකක් හෝ ඊට වැඩියෙන් කතා කරන්න පුළුවන් නම් එය ඔබට වාසියක්. මිනිසුන් හිතන විදිහ තේරුම්ගන්නත් ඔවුන් දෙවි ගැන අසන ප්‍රශ්නවලට ඔවුන්ගේම භාෂාවෙන් උත්තර දෙන්නත් ඔබට පුළුවන් වෙයි. (හිතෝපදේශ 15:23) “සංස්කෘතීන් දෙකක් ගැන අවබෝධයක් තියෙන නිසා දේවසේවයේදී ඒක මට ලොකු උපකාරයක් වෙලා තියෙනවා. සංස්කෘතීන් දෙකේම ඉන්න අය විශ්වාස කරන දේවල් වගේම එයාලා හිතන විදිහත් තේරුම්ගන්න මට පුළුවන්” කියා එංගලන්තයේ ඉපදුණු ඉන්දියානු ජාතික යෞවනියක් වන ප්‍රීතී පවසනවා.

ඔබටත් හැකිද ඔබේ තත්වය බාධාවක් ලෙස නොව වාසියක් ලෙස සලකන්න? යෙහෝවා දෙවිට ඔබේ රට වැදගත් නැහැ. ඔබ කොහේ සිටියත් ඔහු ඔබට බොහෝ සෙයින් ආදරය කරනවා. ඉහත සඳහන් කළ යෞවන යෞවනියන් වගේ ඔබටත් හැකිද ඔබේ දැනුම හා අද්දැකීම් ප්‍රයෝජනයට ගෙන, සියලුදෙනාටම එක හා සමානව සලකන යෙහෝවා දෙවි ගැන ඔබේ සංස්කෘතියට අයිති ජනයාට කියා දෙන්න? එසේ කළොත් ඔබේ සතුට අනිවාර්යයෙන්ම වැඩි වෙයි.—ක්‍රියා 20:35.

බයිබල් උපදෙස

‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා.’—ක්‍රියා 10:34.

යෝජනාවක්

ඔබේ සංස්කෘතික පසුබිම ගැන ඔබේ මිත්‍රයන් විහිළු කළොත් ඒ ගැන අමනාප නොවී ඔවුන් සමඟ සිනාසීමට උත්සාහ කරන්න. එසේ කළොත් ඔවුන් ඔබට විහිළු කරන එක නවතා දමන්නත් ඉඩ තිබෙනවා.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

භාෂා දෙකක් ඉගෙනගත්තොත් රැකියාවක් සොයාගැනීම පහසු වෙයි.

ගත හැකි පියවර

මගේ මව්භාෂාව ගැන තිබෙන අවබෝධය වැඩි කරගන්න මම ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● ඔබේ දෙමාපියන්ගේ සංස්කෘතික පසුබිම ගැන දැනගැනීම ඔබට ඔබවම තේරුම්ගැනීමට උපකාරවත් වෙන්නේ කොහොමද?

● ඔබට සංස්කෘතීන් දෙකක් ගැන අවබෝධයක් තිබෙන නිසා වෙනත් යෞවනයන්ට වඩා ඔබට ඇති වාසි මොනවාද?

[160වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘අනික් අයට බයිබලයේ සඳහන් සත්‍යයන් කියා දෙන්න ලැබීම සතුටක්. මම රුසියානු, ප්‍රංශ සහ මොල්දාවියානු භාෂා කතා කරන අයට ඒ ගැන කියා දෙනවා.’’—ඕලෙග්

[161වන පිටුවේ පින්තූරය]

සංස්කෘතීන් දෙක අතර තිබෙන පරතරය යා කරන්න ඔබට පුළුවන්