Skip to content

පටුනට යන්න

සමලිංගික හැසිරීම ගැන බයිබලයේ ඇති දේ මම විස්තර කරන්නේ කොහොමද?

සමලිංගික හැසිරීම ගැන බයිබලයේ ඇති දේ මම විස්තර කරන්නේ කොහොමද?

23වෙනි පරිච්ඡේදය

සමලිංගික හැසිරීම ගැන බයිබලයේ ඇති දේ මම විස්තර කරන්නේ කොහොමද?

සම්මාන ප්‍රදාන උලෙළකදී ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් වේදිකාවේ සිට පෙම්වතුන් මෙන් සිප වැලඳගත්තා. රැස්ව සිටි අය මොහොතකට පුදුමයෙන් ඒ දෙස බලා සිටියත් පසුව ප්‍රීති ඝෝෂා නඟමින් මුළු ශාලාවම දෙවනත් කළා. ඔවුන්ගේ එම ක්‍රියාව සමලිංගික අය සැලකුවේ ජයග්‍රහණයක් ලෙසයි. වෙනත් අය පැවසුවේ එය ප්‍රසිද්ධිය ලබාගැනීමට කළ දෙයක් කියායි. මේ සිද්ධිය රූපවාහිනියෙන්ද අන්තර්ජාලයෙන්ද බොහෝ අය නැරඹුවා.

නළු නිළියන් වැනි ජනප්‍රිය අය සමලිංගිකයන් බව ආරංචි වූ විගස එය ජනමාධ්‍යයේ උණුසුම් පුවතක් බවට පත් වෙනවා. සමහර අය එවැනි ක්‍රියාවල නියැලෙන්නන්ව හෙළාදකින අතර තවත් අය ඔවුන්ව පැසසුමට ලක් කරනවා. තවත් පිරිසක් කියා සිටින්නේ එය කෙනෙකුගේ පෞද්ගලික තීරණයක් බවයි. ඒ ගැන 21 හැවිරිදි ඩැනියෙල් මෙවැනි දෙයක් කියනවා. “මම ඉස්කෝලේ යන කාලේ පන්තියේ ළමයි කිව්වේ සමලිංගික අයව කොන් කරන්නවත් ඒ අයව විවේචනය කරන්නවත් අපිට අයිතියක් නැහැ කියලා.”

සමලිංගික හැසිරීම ගැන විවිධ අදහස් තිබෙන අතර ඒ පිළිබඳ ඇති ප්‍රතිපත්තිද රටින් රටට වෙනස්. ඒත් සැබෑ ක්‍රිස්තියානීන් ගරු කරන්නේ බයිබලයේ තිබෙන ප්‍රතිපත්තිවලටයි. ‘නොමඟ යැවීමේ අදහස ඇතුව ඉතා සූක්ෂ්ම ලෙස විවිධ දේවල් උගන්වන මිනිසුන්ට’ ඔවුන් හසුවෙන්නේ නැහැ.—එෆීස 4:14.

ඔබ බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වන කෙනෙක් නම් ඔබ සමලිංගික අයට වෛර කරනවා කියා හෝ ඔවුන් ගැන දැඩි මත දරනවා කියා හෝ සමහර අය ඔබට චෝදනා කරන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඔබේ ප්‍රතිපත්ති ඔවුන්ට පැහැදිලි කරන්නේ කොහොමද? පහත සඳහන් ප්‍රශ්න හා උත්තර සලකා බලන්න.

“සමලිංගික හැසිරීම ගැන බයිබලයේ සඳහන් දේ”

“ලිංගික සම්බන්ධකම් පැවත්වීමට යෙහෝවා දෙවි අවසර දී තිබෙන්නේ විවාහ වී සිටින ස්ත්‍රියකට හා පුරුෂයෙකුට පමණයි. (උත්පත්ති 1:27, 28; ලෙවී කතාව 18:22; හිතෝපදේශ 5:18, 19) විවාහ නොවූ පුරුෂයෙක් හා ස්ත්‍රියක් අතර ඇති වන ඕනෑම ලිංගික සම්බන්ධකමක් වගේම සමලිංගික ක්‍රියාවන්ද බයිබලයේ හඳුන්වන්නේ වේශ්‍යාකම ලෙසයි.” *ගලාති 5:19-21.

“සමලිංගික කෙනෙක් ගැන ඔයාගේ අදහස මොකක්ද?”

“ඒ වගේ අයත් එක්ක මට කිසිම තරහක් නැහැ. ඒත් එයාලගේ හැසිරීම මම අනුමත කරන්නේ නැහැ.”

මෙය මතක තබාගන්න: ඔබ බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න ගත් තීරණය ඔබේ පෞද්ගලික තීරණයක්. (යොෂුවා 24:15) ඒ නිසා ඔබ ගත් තීරණය ගැන ලැජ්ජා විය යුතු නැහැ.—ගීතාවලිය 119:46.

“ක්‍රිස්තියානීන් හැම කෙනෙකුටම ගරු කරන්න ඕනේ නේද? එහෙමනම් සමලිංගික අයටත් ගරු කරන්න ඕනේ නැද්ද?”

“ඔව්. බයිබලයේ කියන්නේ, ‘සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න’ කියලා. (1 පේතෘස් 2:17) ඒ නිසා සැබෑ ක්‍රිස්තියානීන් සමලිංගික ක්‍රියාවල නියැලෙන අයට වෛර කරන්නේ නැහැ. ඔවුන් හැම කෙනෙකුටම කරුණාව පෙන්වනවා.”—මතෙව් 7:12.

“ඔයාගේ ප්‍රතිපත්තිවලින් කරන්නේ සමලිංගික අයව පහත් කිරීමක් නේද?”

“කොහෙත්ම නැහැ. මම අකමැති සමලිංගික හැසිරීමට. ඒ අයව මම පහත් කරන්නේ නැහැ.”

“මෙහෙම හිතන්න. මම සිගරට් බොන්නේ නැහැ. මම ඒකට කොහෙත්ම කැමති නැහැ. ඒත් ඔයා සිගරට් බොනවා. මගේ තීරණයයි ඔයාගේ තීරණයයි වෙනස්. ඒ වුණාට මම ඔයාව පහත් කරන්නේ නැහැනේ. ඔයා මාව පහත් කරන්නෙත් නැහැනේ. සමලිංගික අයට මම සලකන්නෙත් ඒ විදිහටයි.”

“යේසුස් කිව්වේ ඕනෑම කෙනෙක්ව පිළිගන්න කියලා. එහෙමනම් සමලිංගික අයවත් ඔයාලා පිළිගන්න ඕනේ නේද?”

“යේසුස් ඕනෑම කෙනෙක්ව පිළිගන්න කිව්වට ඒ අයගේ වැරදි ක්‍රියා අනුමත කරන්න කිව්වේ නැහැ. යේසුස් කිව්වේ, ‘ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම’ ගැලවීම ලබනවා කියලා. (යොහන් 3:16) යේසුස්ව විශ්වාස කරන කෙනෙක් සෑම කාරණයකදීම දෙවිගේ උසස් ප්‍රමිති රකිනවා. ඒ නිසා දෙවි තහනම් කර තිබෙන සමලිංගික ක්‍රියා වගේ දේවල් අපිට අනුමත කරන්න බැහැ.”—රෝම 1:26, 27.

“සමලිංගික අයට ඒ හැඟීම් ඇවිත් තියෙන්නේ උපතින්මයි. ඒ නිසා ඔවුන්ට වෙනස් වෙන්න අමාරුයි.”

“සමලිංගික අයට ඒ වගේ ආශාවන් ඇති වෙන්නේ කොහොමද කියලා බයිබලයේ විස්තර කරන්නේ නැහැ. හැබැයි සමහර පුරුදු කෙනෙකුට තදින් කාවැදී තියෙන්න පුළුවන් කියලා බයිබලයේ සඳහන් වෙනවා. (2 කොරින්ති 10:4, 5) ඒ වගේ හැඟීම් තිබුණත් සමලිංගික ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න කියලා ක්‍රිස්තියානීන්ට බයිබලයේ උපදෙස් දීලා තියෙනවා.”

යෝජනාවක්: සමලිංගික හැඟීම් ඇති වීමට හේතුව ගැන වාද කරනවා වෙනුවට බයිබලයේ සමලිංගික හැසිරීම තහනම් කරන බව කාවද්දන්න. ඔබට මෙහෙම කියන්න පුළුවන්. “උදාහරණයකට සමහර අය කියන්නේ සැහැසික දේවල් කරන අයට උපතින්ම ඊට නැඹුරුවාවක් තියෙනවා කියලා. (හිතෝපදේශ 29:22) හැබැයි දෙවි කියන්නේ කෝප වීම සුදුසු නැහැ කියලා. (ගීතාවලිය 37:8; එෆීස 4:31) සැහැසික ක්‍රියාවලට උපතින්ම පෙලඹීමක් තියෙන අය දෙවි කියන දේ නොසලකා හැරලා සැහැසික දේවල් කරන එක සාධාරණද?”

“කෙනෙකුට සමලිංගික හැඟීම් තියෙනවා නම් දෙවි එය තහනම් කිරීම අසාධාරණයි නේද?”

“ඒ විදිහට හිතන්නේ තමන්ට ලිංගික ආශාවන් ඇති වුණොත් මොන ක්‍රමයෙන් හරි එය තෘප්තිමත් කරගන්න ඕනේ යන වැරදි මතය දරන අයයි. නමුත් මිනිසුන්ට තම හැඟීම් පාලනය කරගත හැකි බවත් නුසුදුසු ලිංගික ක්‍රියාවලින් වැළකී සිටිය හැකි බවත් බයිබලයේ පෙන්නුම් කරනවා.”—කොලොස්සි 3:5.

“ඔයා සමලිංගික කෙනෙක් නොවුණාට කමක් නැහැ. එයාලා ගැන වැරදි අදහසක් දරන්න එපා.”

“මෙහෙම හිතන්න. ඔයා සූදුවට කැමතියි. මම සූදුවේ නියැලෙන්න කැමති නැහැ. හැබැයි හුඟක් අය සූදුවේ නියැලෙන නිසාම, මම මගේ අදහස වෙනස් කරගන්න ඕනේ කියලා ඔයා මට බල කරනවා නම් ඒක හරිද?”

මෙය මතක තබාගන්න: අසාධාරණකම්, යුද්ධ, වංචනික ක්‍රියා වැනි දේවල් වැරදියි කියලා බයිබලයේ සඳහන් වෙනවා. සමලිංගිකයන්ද වෙනත් අය වගේ ඒ දේවල් වැරදියි කියලා පිළිගන්නවා. නමුත් සමලිංගික හැසිරීම ඇතුළු වැරදි ලිංගික ක්‍රියාවනුත් බයිබලයේ හෙළාදැක තිබෙනවා. හැබැයි ඒ දේවල් සමලිංගික අය පිළිගන්න කැමති නැහැ.—1 කොරින්ති 6:9-10.

බයිබලයේ ඇති ප්‍රමිති කිසිවිටකත් අසාධාරණ නැහැ. මිනිසුන්ව පහත් කර සලකන්න කියා එහි දිරිගන්වන්නෙත් නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියායි. (1 කොරින්ති 6:18) එම ප්‍රතිපත්තිය සමලිංගික ක්‍රියාවල යෙදෙන අය ඇතුළුව අපි සියලුදෙනාටම අදාළයි.

ඕනෑම කෙනෙකුට ලිංගික ආශාවන් තිබෙනවා. නමුත් බොහෝදෙනෙක් වැරදි ආශාවන්ට ඉඩ නොදී තමාවම පාලනය කරගන්නේ බයිබලයේ ඇති ප්‍රතිපත්ති අදාළ කරගැනීමට තිබෙන ආශාව නිසයි. ඒ අය අතර විවාහ නොවූ අය සිටිනවා. විවාහ වී සිටියත් ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට තිබෙන යම් අසනීප තත්වයක් නිසා ලිංගික සම්බන්ධකම් පවත්වන්න බැරි අයත් සිටිනවා. ඒ වුණත් ඔවුන් සතුටින් ජීවත් වෙනවා. ඒ හා සමානව සමලිංගික ආශාව තිබෙන කෙනෙකුටත් දෙවිව සතුටු කිරීමට ඕනේ නම් එම ආශාවන් පාලනය කරගන්න පුළුවන්.—ද්විතීය කතාව 30:19.

තවත් දැනගැනීමට 2වන පොතේ 28වන පරිච්ඡේදය බලන්න

ඊළඟ පරිච්ඡේදය

සමහර ගැහැනු ළමයින් හිතන්නේ ලිංගික ඇසුරක් පැවැත්වීමෙන් පෙම්වතාගේ ආදරය තවත් වැඩි වෙනවා කියලා. එහි සත්‍යයක් නැති බව කියන්න පුළුවන් කොහොමද?

[පාදසටහන]

^ 8 ඡේ. බයිබලයේ “වේශ්‍යාකම” යන වචනයට, විවාහ සහකරු හෝ සහකාරිය නොවන කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පැවත්වීම, මුඛය හෝ ගුද මාර්ගය ලිංගික ක්‍රියාවන් සඳහා යොදාගැනීම සහ වෙන කෙනෙකුගේ ලිංගේන්ද්‍රයන් පිරිමැදීම වැනි ක්‍රියාද ඇතුළත්.

බයිබල් උපදෙස

“වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.”—කොලොස්සි 3:5.

යෝජනාවක්

අනික් අයගේ හැසිරීමට ඔබ අකමැති වුණත් ඔබ කතා කරන ආකාරයෙන් ඔබ ධර්මිෂ්ඨයෙක් කියා පෙන්වීමට උත්සාහ කරන බවක් අනික් අයට සිතන්න ඉඩ තියන්න එපා. තමන්ගේ ජීවිතය ගැන තීරණයක් ගැනීමට ඔබට මෙන් ඔවුන්ටද අයිතියක් තිබෙනවා.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

පළමු ශතවර්ෂයේ සිටි සමහර ක්‍රිස්තියානීන් කලින් සමලිංගික ක්‍රියාවල යෙදී තිබුණත් පසුව ඔවුන් ඒ අපිරිසිදු ක්‍රියා අත්හැරියා. ඒ නිසා ඔවුන් දෙවි ඉදිරියේ “සෝදා පවිත්‍ර” වූ තත්වයකට පත් වුණා.—1 කොරින්ති 6:9-11.

ගත හැකි පියවර

සමලිංගික ක්‍රියා ගැන බයිබලයේ සඳහන් දේ අද කාලෙට ගැළපෙන්නේ නැහැ කියා යමෙක් පැවසුවොත් මම ․․․․․

මම අකමැති සමලිංගික හැසිරීමට මිසක් ඒ පුද්ගලයන්ට නෙමෙයි කියලා පැහැදිලි කරන්න මම ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● සදාචාර ප්‍රමිති අනුව ජීවත් වෙන්න කියා මිනිසුන්ට කියන්න දෙවිට අයිතියක් තිබෙන්නේ ඇයි?

● බයිබලයේ ඇති සදාචාර ප්‍රමිති පිළිපැදීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන මොනවාද?

[170වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘අපේ ඉස්කෝලේ හිටියා සමලිංගික ක්‍රියාවල යෙදුණු පිරිමි ළමයෙක්. එයා හිතුවේ මම එයාට නපුරු විදිහට සලකනවා කියලා. මම එයාට පැහැදිලි කළා මම අකමැති එයාට නෙමෙයි එයාගේ හැසිරීමට කියලා. එතකොට එයාට පැහැදිලි වුණා මම සමලිංගික ක්‍රියා විතරක් නෙමෙයි අනාචාරයට සම්බන්ධ හැම ක්‍රියාවක්ම හෙළාදකිනවා කියලා. ඊටපස්සේ ඒ ළමයා මට ගරු කළා විතරක් නෙමෙයි අනික් අය මට මොනවා හරි කියද්දී මං වෙනුවෙන් කතා කෙරුවා.’’—ඕබ්‍රි

[168වන පිටුවේ කොටුව]

ගැහැනු අයටත් හිත යනවා පිරිමි අයටත් හිත යනවා!

ගැහැනු පිරිමි දෙපිරිසටම ආකර්ෂණය වන අයත් ඉන්නවා. මෙය වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ ගැහැනු අය අතරයි. සමහර අය එවැනි ක්‍රියාවලට පෙලඹෙන්නේ කුතුහලය නිසයි. විසිහය හැවිරිදි ලීසා මෙහෙම කියනවා. “චිත්‍රපටිවලත් TV එකෙත් නිතරම ගැහැනු අය, ගැහැනු අයවම සිපගන්න දර්ශන දකිද්දී ඒවා අත්හදා බලන්න ගැහැනු ළමයි පෙලඹෙනවා. මොකද ගැහැනු ළමයෙක්ව සිපගත්තට වරදක් නැහැනේ කියලා එයාලා හිතනවා.”

තවත් සමහර අයට එවැනි ක්‍රියාවල යෙදෙන්න ඇත්තටම ආශාවක් ඇති වෙනවා. දහතුන් හැවිරිදි යෞවනියක් වන විකී මෙහෙම කියනවා.“පිරිමි අය එක්කත් ගැහැනු අය එක්කත් ලිංගිකව හැසිරෙන ගැහැනු ළමයින් දෙන්නෙක්ව මට පාටියකදී හම්බ වුණා. ඒ දෙන්නා මටත් කැමතියි කියලා මට දැනගන්න ලැබුණා. ඒ නිසා ඒ අයගෙන් එක් කෙනෙකුට මම SMS යවන්න පටන්ගත්තා. ඊටපස්සේ මටත් තේරුණා මගේ හිත එයාට ඇදිලා යනවා කියලා.”

ඔබ තුළ ගැහැනු පිරිමි දෙපිරිසටම කැමැත්තක් තිබෙනවා නම් කුමක් කළ හැකිද? එය සාමාන්‍ය දෙයක් බවත් එහි වරදක් නැති බවත් ඒ ගැන පැවසීමට භය විය යුතු නැති බවත් බොහෝදෙනා ඔබට කියන්න ඉඩ තිබෙනවා. නමුත් යෞවන කාලයේදී ඇති වන එවැනි හැඟීම් තාවකාලික බව මතක තබාගන්න. විකීට එවැනි ආශාවක් ඇති වුණේ ඒ නිසයි. අවුරුදු 16ක් වන ලිසෙට් මෙහෙම කියනවා. “අම්මයි තාත්තයි එක්ක මේ ගැන කතා කළාට පස්සේ මට ලොකු සහනයක් දැනුණා. ඒ වගේම යෞවන වයසේදී කෙනෙකුගේ හෝමෝන මට්ටම ඉහළ පහළ යනවා කියලා මම ඉස්කෝලේදී ඉගෙනගත්තා. ඒ කාලයේදී සමලිංගික හැඟීම් ඇති වෙන්නේ ඒ නිසයි. යෞවන වයසේ ඉන්න අය ඒ කාරණය අවබෝධ කරගත්තා නම් සමලිංගික හැඟීම් තාවකාලිකයි කියලා ඒ අයටම තේරෙයි.”

ඔබේ හැඟීම් පාලනය කිරීමට නොහැකියි කියා දැනුණොත් ඉන් මිදීමට බයිබලයේ සඳහන් උපදෙස් ඔබට උපකාරවත් වෙයි. එමගින් වැරදි ආශාවන් කොතරම් බලවත් වුණත් ඔබට පුළුවන් වෙයි ඒ ආශාවන්ට වහල් නොවී සිටින්න.

[169වන පිටුවේ පින්තූරය]

බයිබලයේ තියෙන දෙයක්, වැරදියි කියා මුළු ලෝකයම පැවසුවත් සැබෑ ක්‍රිස්තියානියෙක් ඊට එකඟ වෙන්නේ නැහැ