Skip to content

පටුනට යන්න

මට නරක යෝජනාවක් කළොත් . . .

මට නරක යෝජනාවක් කළොත් . . .

26වෙනි පරිච්ඡේදය

මට නරක යෝජනාවක් කළොත් . . .

“සමහර ළමයි කාව හරි ආශ්‍රය කරන්නේ ලිංගික ඇසුරකට විතරයි. එයාලා එක් කෙනෙක් දෙන්නෙක්ගෙන් සෑහීමට පත් වෙන්නෙත් නැහැ.”—පෙනී.

“සමහර පිරිමි ළමයින්ට පෙම්වතියක් ඉන්දැද්දීත් වෙන ගෑනු ළමයි එක්ක ලිංගික ඇසුරේ යෙදුණ විදිහ ගැන කිසිම ලැජ්ජාවක් නැතුව කියනවා.”—එඩ්වඩ්.

හුඟක් යෞවනයන් ප්‍රේම සම්බන්ධයක් පටන්ගැනීමටවත් විවාහ වීමටවත් කිසිම අදහසක් නැතුව තම ලිංගික ආශාවන් පිනවාගැනීමට පමණක් විරුද්ධ ලිංගයේ අයව ඇසුරු කරනවා.

ඔබටත් එවැනි දේකට පෙලඹීමක් ඇති වුණොත් ඒ ගැන පුදුම වෙන්න එපා. (යෙරෙමියා 17:9) ඉහත සඳහන් කළ එඩ්වඩ්ටත් එවැනි පෙලඹීමක් ඇති වුණා. “හුඟක් ගෑනු ළමයි මට ලිංගික ඇසුරකට ආරාධනා කරලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී දෙවිගේ ප්‍රමිති රකින එක ලේසි වුණේ නැහැ. බැහැ කියන්න හරිම අමාරුයි.” ඔබට යම් කෙනෙක් නරක යෝජනාවක් කළොත් ඔබ මතක තබාගත යුතු බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

එය වැරදි දෙයක් බව තේරුම්ගන්න

වේශ්‍යාකම කොතරම් බරපතළද කිවහොත් එහි දිගින් දිගටම යෙදෙන අයට “දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බව” බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 6:9, 10) එය විවාහ වීමේ අරමුණක් ඇතුව හෝ නැතුව ලිංගික ඇසුරේ යෙදෙන අයට අදාළයි. වැරදි පෙලඹීම් පරාජය කරන්න නම් ඔබ වේශ්‍යාකම සම්බන්ධයෙන් යෙහෝවා දෙවි දරන ආකල්පය දැරිය යුතුයි.

“මම නම් හිතන්නේ යෙහෝවා දෙවි කියන දේ තමයි හරි.”—කැනඩාවේ කැරන්.

“ඔබේ දෙමාපියන්, මිතුරන් සහ සභාවේ අය ගැන හිතන්න. ඔබ අතින් වරදක් වුණොත් එයාලට මොන තරම් දුකක් දැනෙයිද!”—බ්‍රිතාන්‍යයේ පීටර්.

වේශ්‍යාකම ගැන යෙහෝවා දෙවි කියන දේ හිතට ගන්නවා නම් එවැනි දේකට ඔබ තුළ පෙලඹීමක් ඇති වුණත් “නපුරට ද්වේෂ කරන්න” ඔබට හැකි වෙයි.—ගීතාවලිය 97:10.

කියවන්න: උත්පත්ති 39:7-9. යෝසෙප් ලිංගික දුරාචාරයෙන් වැළකීමට ගත් ස්ථිර අධිෂ්ඨානයත් ඒ සඳහා ඔහුට උපකාරවත් වුණේ කුමක්ද කියාත් සලකා බලන්න.

බයිබල් ප්‍රතිපත්ති රැකීමට ලැජ්ජා වෙන්න එපා

සාමාන්‍යයෙන් තරුණ තරුණියන්ට යම් දෙයක් හරියි කියා සිතුණොත් ඒ ගැන බියක් සැකක් නැතුව කතා කරනවා. ඔබ දන්නවා දෙවිගේ ප්‍රමිති හරියි කියලා. එසේනම් ඔබගේ ආදර්ශවත් හැසිරීමෙන් එය පෙන්වන්න. විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ඔබ ප්‍රතික්ෂේප කරන බව කීමට ලැජ්ජා වෙන්න එපා.

“ඔබ දෙවිගේ උසස් ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න කැමති කෙනෙක් කියලා මුලින්ම කියන්න.”—ජර්මනියේ ඇලන්.

“අපේ ඉස්කෝලේ පිරිමි ළමයි මම යෙහෝවා දෙවිට නමස්කාර කරන කෙනෙක් කියලා දැනගෙන හිටියා. ඒ නිසා මාව වරදකට පොලඹවාගන්න උත්සාහ කරලා වැඩක් නැහැ කියලා එයාලට තේරුණා.”—එක්සත් ජනපදයේ විකී.

ඔබ දෙවිට විශ්වාසවන්තව සිටීමට ගන්න වෑයමෙන් පෙන්වන්නේ ඔබ අවබෝධයෙන් කටයුතු කරන කෙනෙක් හැටියට දියුණු වන බවයි.—1 කොරින්ති 14:20.

කියවන්න: හිතෝපදේශ 27:11. හරි දේ කිරීමෙන් යෙහෝවා දෙවිව සතුටු කරන්න පුළුවන් විදිහ ගැන සිතන්න.

තීරණයක් ගන්න

ඔබ අකමැති බව කීම වැදගත්. නමුත් සමහර අයට හිතෙන්න පුළුවන් ඔබ හිතේ එකක් තියාගෙන බොරුවට බැහැ කියනවා කියා.

“ඔබ කරන හැම දෙයකින්ම, අඳින පළඳින විදිහෙන් කතා කරන විදිහෙන් ආශ්‍රය කරන අයගෙන් ඔබ ඇත්තටම වැරදි දේට අකමැති කියලා පේන්න ඕනේ.”—නයිජීරියාවේ ජෝයි.

“කොච්චර බල කෙරුවත් වැඩක් නැහැයි කියලා ඔවුන්ට දැනෙන්න සලස්වන්න. ඒ වගේම වැරදි චේතනාවකින් පිරිමි ළමයි තෑගි දුන්නොත් භාරගන්න එපා. ඒවා භාර ගත්තොත් පස්සේ එයාලගේ යෝජනාත් භාරගන්න වෙයි.”—බ්‍රිතාන්‍යයේ ලෝරා.

ඔබ ස්ථිර අධිෂ්ඨානයෙන් සිටියොත් යෙහෝවා දෙවිත් ඔබට උපකාර කරයි. බයිබල් ලේඛකයෙක් වූ දාවිත්, දෙවි ගැන මෙහෙම කිව්වා. “ඔබව අත් නොහරින කෙනෙකුව ඔබත් කිසිදාක අත් නොහරින්නෙහිය.”—ගීතාවලිය 18:25.

කියවන්න: දෙවන ලේකම් 16:9. හරි දේ කිරීමට කැමති අයට උපකාර කරන්න දෙවි කොයි තරම් ආශාවෙන් සිටිනවාද කියා සිතා බලන්න.

දුර දිග බලා කටයුතු කරන්න

“බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 22:3) ඔබටත් හැකියි එලෙස කටයුතු කරන්න.

“නුසුදුසු දේවල් කතා කරන අයගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න.”—ජපානයේ නයෝමි.

“ඔබේ ලිපිනය හෝ දුරකථන අංකය වැනි පෞද්ගලික තොරතුරු නුසුදුසු අයට දෙන්න එපා.”—බ්‍රිතාන්‍යයේ ඩයනා.

ඔබේ කතාව, හැසිරීම, ඔබ ඇසුරු කරන අය සහ ඔබ නිතර යන එන තැන් ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? ‘එවැනි දේවලින් මම අනික් අයට මං ගැන වැරදි අදහසක් දෙනවාද’ කියා සිතා බලන්න.

කියවන්න: උත්පත්ති 34:1, 2. දීනා නමැති යෞවනිය නුසුදුසු තැන්වලට ගිය නිසා ඇයට අත් විඳින්න සිදු වූ නරක ප්‍රතිඵල ගැන සිතන්න.

විවාහ වීමට කිසිම අදහසක් නැතුව ලිංගික ඇසුරේ යෙදීම යෙහෝවා දෙවි සලකන්නේ බරපතළ වරදක් ලෙසයි. ඔබත් ඒ ආකල්පයම දැරිය යුතුයි. ඔබ හරි දේ කරනවා නම් ඔබේ ගෞරවය රැකගන්නත් නිදොස් හෘදය සාක්ෂියකින් දෙවිට සේවය කරන්නත් ඔබට හැකි වෙයි. කාලි නමැති යෞවනිය පැවසුවේ මෙයයි. “තව කෙනෙකුගේ ආශාවන් පිනවන්න ඔබව පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා. ඔබ මහන්සි වෙලා දෙවි සමඟ ඇති කරගත් හොඳ නම රැකගන්න!”

ඊළඟ පරිච්ඡේදය

පිරිමි ළමයින් ආස කොයි වගේ ගැහැනු ළමයින්ටද? ඔබ එය දැනගත්තොත් පුදුම වෙයි.

බයිබල් උපදෙස

“අවසානය දක්වාම නොකිලිටිව, නිකැළැල්ව හා සමාදානයෙන් යුතුව [දෙවි] ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම උත්සාහයක් දරන්න.”—2 පේතෘස් 3:14.

යෝජනාවක්

හොඳ ගුණාංග ඇති කරගැනීමට වෑයම් කරන්න. (1 පේතෘස් 3:3, 4) ඔබ හොඳ නම් ඔබ සමඟ ඇසුරු කරන්න හොඳ අය කැමති වෙයි.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

යෙහෝවා දෙවි කැමති, ඔහු අරමුණු කළ ලෙස ඔබ විවාහ වූ පසු ලිංගික ඇසුරක් පැවැත්වීමෙන් සතුටක් ලබනවාටයි. වේශ්‍යාකම නිසා ඇති වන කනස්සල්ල, අනාරක්ෂිත බව වැනි කටුක අද්දැකීම්වලට ඔබ මුහුණ දෙනවාට දෙවි කැමති නැහැ.

ගත හැකි පියවර

සදාචාරය රැකගැනීමට යෝසෙප් ගත් අධිෂ්ඨානය අනුකරණය කරන්න මම ․․․․․

දීනා අතින් වුණ වරද මගේ අතින් නොවීමට නම් මම ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● නුසුදුසු ලිංගික ඇසුරට ඔබේ සිත ඇදී ගියත් එයින් වැළකී සිටිය යුත්තේ ඇයි?

● යමෙකු නරක යෝජනාවක් කළොත් ඔබ කරන්නේ කුමක්ද?

[185වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘කතා කරන්න භය වෙන්න එපා. එක කොල්ලෙක් මට නරක යෝජනාවක් කෙරුවා. මම රවලා බලලා ‘ඔය වගේ දේවලට නම් එන්න එපා’ කියලා එතැනින් ගියා.’’—එලන්

[187වන පිටුවේ පින්තූරය]

නුසුදුසු ලිංගික ඇසුරේ යෙදීමෙන් ඔබේ වටිනාකම නැති වෙයි