Skip to content

පටුනට යන්න

ඇයි පිරිමි ළමයි මට අකමැති?

ඇයි පිරිමි ළමයි මට අකමැති?

27වෙනි පරිච්ඡේදය

ඇයි පිරිමි ළමයි මට අකමැති?

ගොඩක් පිරිමි ළමයි මට කැමතියි කියලා එයා දන්නවා. මම මෝඩ කෙල්ලෙක් නෙමෙයි කියලත් එයා දන්නවා. මොකද මම එයා කිව්ව සමහර දේවල් හරිගස්සලා තියෙනවා. ඒත් එයා තාම මට කැමතියි කියලා කිව්වේ නැහැ.

එයා නම් ලස්සනයි. ඒ වුණාට එයාව තේරුම්ගන්න ටිකක් අමාරුයි. මම මොනවා හරි කිව්ව ගමන් එයා මැද්දට පැනලා ඒක හරිගස්සනවා. ඉතින් මම බලන්නේ එතැනින් හෙමීට ලිස්සලා යන්න.

පිරිමි ළමයින් ඔබට අකමැතියි කියා සිතමින් ඔබ ළත වෙනවාද? එය ඔබට පමණක් නොවෙයි හුඟක් ගැහැනු ළමයින්ට තිබෙන ගැටලුවක්. සමහරවිට ඔබ සිතනවා ඇති, හොඳ පෙනුමක් තියෙන අයට නම් ඒක ගැටලුවක් නෙමෙයි කියලා. නමුත් ඇත්ත ඒක නොවෙයි. ඊට හොඳම උදාහරණය ජොඈන්. ඇයට හොඳ පෙනුමක් තිබෙනවා. ඇය දක්ෂයි. ඒ වගේම ඇගේ කතා විලාසයත් ලස්සනයි. ඒත් ඇය මෙහෙම කියනවා. “මට ගොඩක් වෙලාවට හිතෙන්නේ පිරිමි ළමයි මට කැමති නැහැ කියලා. මගේ හිත ගිය කිහිපදෙනෙක් මුලදී මට කැමැත්තක් පෙන්නුවත් ටික දවසක් යද්දී එයාලා මාත් එක්ක කතා කරන එක නැවැත්තුවා.”

පිරිමි ළමයින් කැමති මොන වගේ ගැහැනු ළමයින්ටද? ඔවුන් අකමැති මොන වගේ අයටද? ගුණ යහපත් පිරිමි ළමයෙකුගේ සිත දිනාගන්නේ කොහොමද?

කළ යුතු දේ

මුලින්ම ඔබව තේරුම්ගන්න. ඔබ යොවුන් වියට පා තැබූ මුල් කාලයේදී පිරිමි ළමයින් වෙත ඔබේ සිත ඇදී යන බවක් ඔබට දැනෙන්න ඇති. පිරිමි ළමයින් කිහිපදෙනෙකුටම ඔබේ සිත ඇදී යන්නත් ඇති. එය සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ ඉක්මන් වී ඔබේ සිත ගිය මුල්ම කෙනා සමඟ ආදරයෙන් බැඳුණොත් කුමක්ද වෙන්නේ? යහපත් ගතිගුණ ඇති කරගැනීමට, ජීවිතයේ වඩා වැදගත් දේවලට අවධානයක් දීමට, ඔබේ ඉලක්ක අත් කරගැනීමට, ඒ වගේම දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට එය ඔබට බාධාවක් වෙයි.—රෝම 12:2; 1 කොරින්ති 7:36; කොලොස්සි 3:9, 10.

පිරිමි ළමයින් වැඩිදෙනෙක් කැමති තමන්ට ඕනේ විදිහට නම්මවාගන්න පුළුවන් බොළඳ ගැහැනු ළමයින්ට බව ඇත්තයි. එවැනි පිරිමි ළමයින් මූලිකවම අවධානය දෙන්නේ ගැහැනු ළමයින්ගේ ගුණාංගවලට නොව ඔවුන්ගේ පෙනුමටයි. ඒත් බුද්ධිමත්ව සිතන තරුණයෙක් සොයන්නේ තම විවාහයේදී තමන්ට හොඳ සහකාරියක් වන තරුණියක්වයි.—මතෙව් 19:6.

පිරිමි ළමයින් කියන දේ: “මම නම් කැමති, තමන් කරන්න ඕන දේ මොකක්ද කියලා තනියම තීරණය කරන්න පුළුවන් ගැහැනු ළමයෙකුටයි.”—ජේම්ස්.

“මම කැමති, මම කියන හැම දේටම එකඟ නොවී තමන්ට හැඟෙන දේ අවංකව හා ගෞරවනීයව කියන ගැහැනු ළමයෙකුටයි. ඒත් කොච්චර ලස්සන වුණත් හැමතිස්සේම මාව සතුටු කරන දේවල්ම කියන ගැහැනු ළමයින්ට නම් මම ටිකක් භයයි.”—ඩැරන්.

ඒ පිරිමි ළමයින්ගේ අදහස් ගැන ඔබ මොනවාද හිතන්නේ?

․․․․․

ගෞරව කරන්න ඉගෙනගන්න. ඔබ ආදරය ලබන්න කැමතියි වගේම පිරිමි ළමයින් කැමති ගෞරවය ලබන්න. ස්වාමිපුරුෂයා තම භාර්යාවට ආදරය කළ යුතු බව සහ භාර්යාව තම ස්වාමිපුරුෂයාට “ගැඹුරු ගෞරවයක්” දැක්විය යුතු බව බයිබලයෙත් සඳහන් වෙනවා. (එෆීස 5:33) පිරිමි ළමයින් විශාල පිරිසක් යොදාගෙන කළ සමීක්ෂණයකින් හෙළි වුණේ සියයට 60කට වැඩි පිරිසක් ආදරය ලැබීමට වඩා ගෞරවය ලබන්න කැමති බවයි. ඒ වගේම වැඩිහිටි පුරුෂයන්ගෙන් සියයට 70කට වැඩි පිරිසක් එම අදහස දැරුවා.

ගෞරවය කරනවා කියන්නේ ඔහු මොනවා කිව්වත් එය හිස් මුදුනින් පිළිගන්න ඕනේ කියාවත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න බැහැ කියාවත් නොවෙයි. (උත්පත්ති 21:10-12) ඔබ යමක් කියන විදිහෙන් ඔබ ඔහුට ගෞරව කරනවාද නැද්ද යන්න ඔහුට අවබෝධ වෙයි. ඔහු කියන හැම දේටම එකඟ නොවෙනවා නම්, නිතරම ඔහුව නිවැරදි කරනවා නම්, ඔබ ඔහුට ගෞරව කරන්නේ නැහැ කියා ඔහුට හැඟෙන්න පුළුවන්. නමුත් ඔහු පවසන දේ තේරුම්ගෙන, අගය කළ යුතු දේ අගය කරනවා නම් ඔබගේ අදහස්වලට ගරු කිරීමට ඔහු පෙලඹෙයි. ඒ විතරක් නොවෙයි ඔබ ඔබේ පවුලේ අයටත් වෙනත් අයටත් ගෞරවයෙන් සලකනවාද කියා බුද්ධිමත් තරුණයෙක් සොයා බලයි.

පිරිමි ළමයින් කියන දේ: “ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න අවශ්‍ය මූලිකම දේ ගෞරවය කියලයි මම හිතන්නේ. ආදරයක් ඇති වෙන්නේ ඊටපස්සෙයි.”—ඒඩ්‍රියන්.

“මට ගෞරව කරන්න ගැහැනු ළමයෙකුට පුළුවන් නම් මට ආදරය කරන්නත් එයාට පුළුවන් වෙයි කියලා මට හිතෙනවා.”—මාක්.

ඒ පිරිමි ළමයින්ගේ අදහස් ගැන ඔබ මොනවාද හිතන්නේ?

․․․․․

පිරිසිදුකම ගැනත් අඳින පළඳින විදිහ ගැනත් සැලකිලිමත් වෙන්න. ඔබ පිරිමි ළමයෙකු සමඟ කතා කරන්නත් පෙර ඔබ ඇඳ පැළඳ සිටින විදිහෙන් ඔබ ගැන බොහෝ දේ ඔහුට තේරුම්ගන්න පුළුවන්. ඔබ පිළිවෙළකට හා විනීතව ඇඳ පැළඳ සිටිනවා නම් ඔබ ගැන ඔහු තුළ පැහැදීමක් ඇති වෙයි. (1 තිමෝති 2:9) නමුත් ඔබේ ඇඳුම් අපිළිවෙළකට හා අවිනීතව තිබෙනවා නම් ඔබ ගැන ඔහු තුළ හොඳ හැඟීමක් ඇති වෙන්නේ නැහැ.

පිරිමි ළමයින් කියන දේ: “ගැහැනු ළමයෙක් සාමාන්‍යයෙන් අඳින පළඳින විදිහෙන් එයා ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්. එයා අඳින්නේ අවිනීත හෝ පිළිවෙළක් නැති ඇඳුම් නම් ඒකෙන් පේන්නේ අනික් අයගේ අවධානය එයාට ඕනේ කියලා.”—ඒඩ්‍රියන්.

“මගේ හිත ඇදී යන්නේ තමන්ගේ හිසකෙස් ගැන සැලකිලිමත්, පිරිසිදුව ඉන්න, කරුණාවන්තව කතා කරන ගැහැනු ළමයෙකුටයි. කලින් මගේ හිත ගිය ලස්සන ගැහැනු ළමයෙක් හිටියා. ඒත් එයා ටිකක් අපිරිසිදු නිසා මම ඒ සම්බන්ධය නතර කෙරුවා.”—රයන්.

“ගැහැනු ළමයෙක් ටිකක් ඇඟ පේන්න, හිරට ඇඳගෙන යද්දී කැපිලා පේනවා තමයි. ඒත් මම ඒ වගේ කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන්ගන්න නම් කැමති නැහැ.”—නිකලස්.

ඒ පිරිමි ළමයින්ගේ අදහස් ගැන ඔබ මොනවාද හිතන්නේ?

․․․․․

නොකළ යුතු දේ

හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා. පුරුෂයන්ව ආකර්ෂණය කරගන්න පුදුම හැකියාවක් ස්ත්‍රීන්ට තිබෙනවා. එම හැකියාව හොඳ විදිහට හෝ වැරදි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. (උත්පත්ති 29:17, 18; හිතෝපදේශ 7:6-23) ඔබ දකින දකින පිරිමි ළමයින් එක්ක එය අත්හදා බලන්න උත්සාහ කළොත් ඔබ අන් අයගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන කෙනෙක් ලෙස ප්‍රසිද්ධ වෙයි.

පිරිමි ළමයින් කියන දේ: “ලස්සන ගැහැනු ළමයෙකුගේ ඇඟේ වැදුණත් පිරිමි ළමයෙකුට අමුතුම ආස්වාදයක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ගැහැනු ළමයෙක් මාත් එක්ක කතා කරන කොට මාව අල්ලනවා නම් මට හිතෙන්නේ එයා අනික් අයගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන කෙනෙක් කියලා.”—නිකලස්.

“හැම පිරිමි ළමයෙකුගේම අතින් අල්ලන, දකින දකින හැම පිරිමියෙක් දිහාම හොරැහින් බලන කෙනෙකුට නම් මම කොහොමටවත් කැමති නැහැ.”—හෝසේ.

කොටු කරගන්න උත්සාහ කරන්න එපා. බයිබලයේ සඳහන් වෙන්නේ යුවළක් විවාහ වන විට ඔවුන් දෙදෙනාම “එක් කෙනෙකු මෙන්” වෙනවා කියායි. (උත්පත්ති 2:24) විවාහයෙන් පසු යුවළක් ඔවුන් තනිකඩව සිටි කාලයේ තිබුණු නිදහස යම් දුරකට පරිත්‍යාග කරනවා. ඔවුන් එකිනෙකා අතර සමීප බැඳීමක් ඇති වෙනවා. (1 කොරින්ති 7:32-34) නමුත් ඔබ පිරිමි ළමයෙකුව ආශ්‍රය කරන්න පටන්ගත් හැටියේම එවැනි දෙයක් බලාපොරොත්තු වීමට ඔබට අයිතියක් නැහැ. ඔහුටත් අයිතියක් නැහැ ඔබෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න. * ඔබ ඔහුව කොටු කර තබාගැනීමට උත්සාහ නොකර නිදහසේ මිතුරන්ව ආශ්‍රය කිරීමට ඉඩහරින විට ඔබ කෙරෙහි ඔහුට තිබෙන ආදරය වැඩි වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ඔහු මිතුරන්ව ඇසුරු කරන ආකාරයෙන් ඔහු කොයි වගේ කෙනෙක්ද කියා ඔබට දැනගැනීමටත් හැකි වෙයි.—හිතෝපදේශ 20:11.

පිරිමි ළමයින් කියන දේ: “ගැහැනු ළමයෙක් මම කරන කියන හැම දෙයක් ගැනම සෙවිල්ලෙන් ඉන්නවා නම් ඒකෙන් පේන්නේ එයා මාව කොටු කරගන්න හදනවා කියලා. මගේම දේවල් හොයහොයා ඉන්න නිසා එයාට කියලා ජීවිතයකුත් නැහැ.”—ඩැරන්.

“ගැහැනු ළමයෙක් මට හැමතිස්සේම SMS එවඑව, මාත් එක්ක කවුද ඉන්නේ, ඒ අය ගැහැනු ළමයි නං එයාලගේ නම් මොනවාද වගේ දේවල් එයාට දැනගන්න ඕනේ නං මට හිතෙන්නේ ඒ වගේ අයගෙන් පරෙස්සම් වෙන එක හොඳයි කියලා.”—රයන්.

“මට යාළුවන්ව ආශ්‍රය කරන්න නිදහස දෙන්නේ නැති, මම යාළුවොත් එක්ක ඉන්න කොට එයාටත් එතැන ඉන්න ඕනේ කියලා කියන ගැහැනු ළමයෙකුට නං මම කැමති නැහැ.”—ඒඩ්‍රියන්.

ඒ පිරිමි ළමයින්ගේ අදහස් ගැන ඔබ මොනවාද හිතන්නේ?

․․․․․

ඔබේ වටිනාකම හඳුනාගන්න

පිරිමි ළමයෙකුගේ හිත දිනාගන්න ඕනෑම දෙයක් කරන්න කැමති ගැහැනු ළමයින් ගැන ඔබ දන්නවා ඇති. සමහර අය විවාහ වීමට කෙනෙකුව සොයාගන්න ඔවුන්ගේ හොඳ ගතිපැවතුම් පවා අමතක කර දමනවා. ඒ මොන දේ කළත් ‘කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දේ’ යන කාරණය කාටත් අදාළ වෙනවා. (ගලාති 6:7-9) ඔබට, ඔබව සහ ඔබේ ප්‍රතිපත්ති වටින්නේ නැත්නම් ඔබ ආකර්ෂණය වෙන්නෙත් ඒ දේවල් අගය නොකරන පිරිමි ළමයෙකුටයි.

ඔබ මේ දේ තේරුම්ගත යුතුයි. එනම් හැම පිරිමි ළමයෙක්ම ඔබට කැමති වෙන්නේ නැහැ. ඇත්තෙන්ම එහෙම වුණා නම් එය ඔබට හිසරදයක් වෙයි! නමුත් ඔබේ පෙනුම වගේම ඔබේ ගතිගුණ හා ප්‍රතිපත්ති ගැන ඔබ සැලකිලිමත් වෙනවා නම් ඔබ ‘දෙවිට බොහෝ සෙයින් වටිනා’ කෙනෙක් වෙයි. (1 පේතෘස් 3:4) ඒ විතරක් නොවෙයි ඔබට ගැළපෙන පිරිමි ළමයෙකුගේ සිත දිනාගැනීමටත් ඔබට හැකි වෙයි.

ඊළඟ පරිච්ඡේදය

ඔබ පිරිමි ළමයෙක් නම් ඔබ කල්පනා කරනවා ඇති ‘ඇයි මට ගැහැනු ළමයි අකමැති’ කියලා.

[පාදසටහන]

^ 30 ඡේ. ඒත් යුවළක් විවාහ ගිවිසගෙන සිටිනවා නම් පෙරට වඩා එකිනෙකාට වගකීමෙන් බැඳී සිටිනවා.

බයිබල් උපදෙස

“රූමත්බව නිෂ්ඵලය. ප්‍රියමනාප පෙනුම රැවටෙනසුලුය. එහෙත් ප්‍රශංසාව ලබාගන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දක්වන කාන්තාවයි.”—හිතෝපදේශ 31:30.

යෝජනාවක්

ඕනෑවට වඩා මේක්අප් දාන්න එපා. එහෙම කළොත් ඔබ ඕනෑවට වඩා ඔබ ගැන හිතන, අවධානය ඇදගැනීමට මහත් කැමැත්තක් දක්වන කෙනෙක් කියා අන් අය සිතයි.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබ හැමතිස්සේම පිරිමි ළමයාගේ අවධානය බලාපොරොත්තු වෙනවා නම් එය ඔබේ සම්බන්ධයට බාධාවක් විය හැකියි.

ගත හැකි පියවර

මම දියුණු කරගන්න උත්සාහ කරන ගුණාංගයක් වෙන්නේ ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● පිරිමි ළමයෙකුට ගෞරව කරන බව පෙන්වන්න පුළුවන් කොහොමද?

● ඔබට, ඔබ ගැන අගයක් තිබෙන බව පෙන්වන්න පුළුවන් කොහොමද?

[190වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මුලින්ම මගේ හිත ඇදී යන්නේ ලස්සන ගැහැනු ළමයින්ට. ඒ වුණත් එයාට ජීවිතයේ පැහැදිලි අරමුණක් හෝ ඉලක්කයක් නැත්නම් මගේ අදහස වෙනස් වෙනවා. නමුත් ගෑනු ළමයෙක් එයාගේ ජීවිතයේ යම් ඉලක්ක අත් කරගෙන තියෙනවා නම් ඒ වගේ කෙනෙක් ගැන මට පැහැදීමක් ඇති වෙනවා.’’—ඩේමියන්

[191වන පිටුවේ පින්තූරය]

ප්‍රේමය හා ගෞරවය බයිසිකලයක රෝද දෙක වගෙයි. රෝද දෙකම අත්‍යවශ්‍යයි