Skip to content

පටුනට යන්න

ඇයි ගැහැනු ළමයි මට අකමැති?

ඇයි ගැහැනු ළමයි මට අකමැති?

28වෙනි පරිච්ඡේදය

ඇයි ගැහැනු ළමයි මට අකමැති?

එයාගේ හිත දිනාගන්න මට තියෙන දේවල්, මං ගිය තැන්, මං දන්න කියන ලොකු අය ගැන මම එයාට කිව්වා. දැන් එයාට මං ගැන පිස්සු වැටිලා ඇති.

මං එයාගේ කතාව කොයි වෙලාවෙද ඉවර වෙන්නේ කියලා බලබල හිටියේ. මං එයාට කැමති නැහැ කියලා එයාට තේරෙන්නේ නැද්ද මන්දා.

ඔබ සිටින්නේ ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න සුදුසු වයසක නම් ඔබ කැමති ඇති හොඳ පෙනුමක් තියෙන ඔබේම ආගමේ ඉන්න කෙනෙකුව සොයාගන්න. (1 කොරින්ති 7:39) ඒත් කොතරම් උත්සාහ දැරුවත් සම්බන්ධයක් පටන්ගන්න ඔබ දැරූ වෑයම් අසාර්ථක වී ඇති. ඇයි එහෙම වෙන්නේ? ගැහැනු ළමයි කැමති හොඳ පෙනුමක් තියෙන පිරිමි ළමයින්ට විතරද? ලීසා නම් ටිකක් ඒ වගේයි. ඇය මෙහෙම කියනවා. “මං නම් ආස හොඳ උස මහත පිරිමි ළමයෙකුට.” ඒත් හුඟක් ගැහැනු ළමයින්ට ඒ දේවල් වැදගත් නැහැ. කෙරි නමැති යෞවනිය කියන දේ බලන්න. “හොඳ පෙනුමක් තියෙන සමහර පිරිමි ළමයින්ට හොඳ ගතිගුණ නැහැ.”

ගැහැනු ළමයින් ආස මොන වගේ ගතිගුණ තියෙන පිරිමි ළමයින්ටද? ඔබ ගැහැනු ළමයෙකුව දැන හඳුනා ගන්න කැමති නම් ඔබ සැලකිලිමත් විය යුතු දේවල් මොනවාද? ඒ වගේම මතකයේ තබාගත යුතු බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

මුලින්ම කළ යුතු දේ

ගැහැනු ළමයෙක් සමඟ සම්බන්ධයක් පටන්ගන්න කලින් ඔබ යම් කාරණා ගැන දැනගත යුතුයි. එය එවැනි මිත්‍රත්වයකට පමණක් නොව ඕනෑම කෙනෙකු සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට උපකාරවත් වෙයි. ඒ කාරණා කිහිපයක් පහත දැක්වෙනවා.

හොඳ පුරුදු. බයිබලයේ සඳහන් වෙන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් ‘අවිනීතව හැසිරෙන්නේ නැහැ’ කියායි. (1 කොරින්ති 13:5) ඔබට හොඳ පුරුදු තිබෙනවා නම් ඔබ අන් අයට ගරු කරන බවත් යේසුස් මෙන් කටයුතු කිරීමට උත්සාහ දරන බවත් පෙනෙයි. ඒත් හොඳ පුරුදු අන් අය ඉදිරියේ ඇඳ සිට පසුව ගලවා දමන ඇඳුමක් වගේ නොවෙයි. ඒවා සෑමවිටම ඔබ තුළ දක්නට ලැබිය යුතුයි. මේ ප්‍රශ්නය ගැන සිතා බලන්න. පවුලේ අය සමඟ කටයුතු කිරීමේදී මට හොඳ පුරුදු තියෙනවාද? එසේ නැතුව ඔබ අන් අය ඉදිරියේ පමණක් හොඳ පුරුදු විදහා පෙන්වනවා නම් එය බොරු මවාපෑමක් වෙයි. බුද්ධිමත් ගැහැනු ළමයෙක් ඔබ පවුලේ අයට සලකන්නේ කොහොමද කියා සොයා බලන බව අමතක කරන්න එපා.—එෆීස 6:1, 2.

ගැහැනු ළමයින් කියන දේ: “පිරිමි ළමයෙකුට හොඳ පුරුදු තියෙනවා නම් මම හරි කැමතියි. මං වෙනුවෙන් පොඩි පොඩි දේවල් කරනවා වගේම මටත් මගේ පවුලේ අයටත් හොඳින් සලකනවාටත් මං ආසයි.”—ටීනා.

“මං අකමැතිම දෙයක් තමයි දැක්ක මුල් දවසේම මගේ පෞද්ගලික දේවල්, ඒ කියන්නේ මට පෙම්වතෙක් ඉන්නවාද? මගේ අනාගත සැලසුම් මොනවාද වගේ දේවල් අහනවාට. ඒක හරිම කැත පුරුද්දක්!”—කැතී.

“අපි තාම බැඳලා නැති නිසා අපි අසහනයෙන් ඉන්නවා කියලා හිතාගෙන අපේ හැඟීම් එක්ක සෙල්ලම් කරන පිරිමි ළමයින්ට නම් මම කොහෙත්ම කැමති නැහැ.”—ඇලෙක්සස්.

පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න. පිරිසිදුව සිටීමෙන් ඔබ පෙන්වන්නේ අන් අය ගැනත් ඔබ ගැනත් ඔබ සැලකිලිමත් වන බවයි. (මතෙව් 7:12) ඔබ ගැන ඔබ සැලකිලිමත් වෙනවා නම් අන් අයටත් ඔබ ගැන හොඳ හැඟීමක් ඇති වෙයි. නමුත් ඔබ පිරිසිදුකම ගැන සැලකිලිමත් නැත්නම් ගැහැනු ළමයෙකුගේ සිත දිනාගැනීම පහසු නැහැ.

ගැහැනු ළමයින් කියන දේ: “පිරිමි ළමයෙක් මං ගැන උනන්දුවක් පෙන්නුවා. හැබැයි එයාගේ කටේ ගඳට මට දුවන්න හිතුණා.”—කෙලී.

අදහස් හුවමාරු කිරීමේ කලාව දියුණු කරගන්න. ශක්තිමත් බැඳීමකට හොඳ අදහස් හුවමාරුවක් අවශ්‍යයි. ඒ කියන්නේ ඔබ ආස දේවල් ගැනම කතා කිරීම නොව ඔබේ මිතුරියටත් කතා කිරීමට අවස්ථාවක් දීමයි. (ෆිලිප්පි 2:3, 4) ඇය කියන දේට ඇහුම්කන් දී ඇගේ අදහස්වලට ගරු කිරීම වැදගත්.

ගැහැනු ළමයින් කියන දේ: “පිරිමි ළමයෙක් ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ නැතුව නිදහසේ මාත් එක්ක කතා කරනවා නම් මම කැමතියි. ඒ වගේම මම කලින් කියලා තියෙන දේවල් එයාට මතකයි නම් සාකච්ඡාවක් දිගටම කරගෙන යන්න පුළුවන් නම් මම හරි ආසයි.”—ක්‍රිස්ටීන්.

“මම හිතන විදිහට, පිරිමි ළමයින්ගේ හිත යන්නේ එයාලා දකින දේට. ඒත් ගැහැනු ළමයින්ගේ හිත යන්නේ පිරිමි ළමයි එයාලට කියන දේවලටයි.”—ලෝරා.

“පිරිමි ළමයෙකුට පුළුවන් නම් නිදහසේ කතා කරන්න, මාව සනසන්න, දිරිගන්වන්න, ඒවා තෑගිවලටත් වඩා වටිනවා. හිත යන්නෙත් ඒ වගේ අයටයි.”—ඒමී.

“මම දන්න පිරිමි ළමයෙක් ඉන්නවා. එයා කවදාවත් ඕනෑවට වඩා යාළුකම් පෙන්නන්න එන්නේ නැහැ. හරිම හොඳ ළමයෙක්. කතා කරන කොට ‘අනේ ඔයා ළඟ හරි සුවඳයි.’ එහෙම නැත්නම් ‘ඔයා අද හරිම ලස්සනයි.’ වගේ කතා කියන්නේ නැහැ. එයා අවංකව මං කියන දේවලට ඇහුම්කන් දෙනවා. මම හිතන්නේ ඕන කෙල්ලෙක් ඒ වගේ පිරිමි ළමයෙකුට කැමති වෙයි.”—බෙත්.

“මං ආසයි විහිළුතහළුවලට කැමති කෙනෙකුට. ඒත් වැදගත් දෙයක් කතා කරද්දී ඒක විහිළුවට ගන්නවාට මං කැමති නැහැ.”—කෙලි.

වගකීමෙන් කටයුතු කරන්න. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සෑම කෙනෙක්ම තමාට පැවරී ඇති වගකීම ඉටු කළ යුතුයි.” (ගලාති 6:5) කම්මැළිකම නිසා යම් රැකියාවක දිගටම නියැලෙන්න බැරි හෝ විනෝදයට වැඩි කාලයක් යොදවන පිරිමි ළමයින්ට ගැහැනු ළමයින් කැමති නැහැ.

ගැහැනු ළමයින් කියන දේ: “පිරිමි ළමයි වගකීමක් ඇතුව වැඩ කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඒ වගේ කෙනෙකුට හිත යනවා.”—කෙරි.

“සමහර පිරිමි ළමයින්ට ජීවිතේ කිසිම අරමුණක් නැහැ. කෙල්ලෙක්ව යාළු කරගන්න උත්සාහ කරන කොට ඒ ළමයාගේ ඉලක්ක දැනගෙන, ඊටපස්සේ කියනවා, ‘ආ! මගේ ඉලක්කයත් ඒකම තමයි’ කියලා. හැබැයි කටයුතු කරන විදිහෙන් නම් එහෙම එකක් පේන්නේ නැහැ.”—බෙත්.

ඔබ වගකීමකින් යුතුව කටයුතු කළොත් හොඳ මිත්‍රත්වයන් ඇති කරගත හැකියි. නමුත් ගැහැනු ළමයෙකු සමඟ සම්බන්ධයක් පටන්ගැනීමට ඔබ කළ යුත්තේ කුමක්ද?

ඊළඟ පියවර

මුල් පියවර ගන්න. ඔබ දැන හඳුනන ගුණ යහපත් ගැහැනු ළමයෙක් ඔබේ අනාගත බිරිඳ වීමට සුදුසුයි කියා ඔබ සිතනවා නම් ඇයට පැහැදිලිව හා කෙළින්ම ඒ ගැන කියන්න. ඒ දේ කිරීම පහසු නැහැ. මන්ද ඔබ කළ යෝජනාව ප්‍රතික්ෂේප කරයි කියා ඔබට බියක් දැනෙන්න පුළුවන්. නමුත් ඔබේ සිතේ තිබෙන අදහස එඩිතරව පැවසීමට පියවර ගැනීමෙන් පෙන්නුම් කරන්නේ ඔබ වැඩිහිටියෙකු මෙන් කටයුතු කරන බවයි. නමුත් මේ දේ මතක තියාගන්න. එය ඔබ ඇයව දැන හඳුනා ගැනීමට කරන යෝජනාවක් මිස විවාහ යෝජනාවක් නොවෙයි. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න. මෙම මුල් පියවරේදීම ඇයව අයිති කරගැනීමට උත්සාහ කරන්න එපා. ඔබ එසේ කළොත් ඇය ඔබට ළං වෙනවාට වඩා දුරස් වෙයි.

ගැහැනු ළමයින් කියන දේ: “මට අනික් අයගේ හිත් කියවන්න බැහැ. කාට හරි මාව දැන හඳුනා ගන්න ඕනේ නම් ඒ ගැන අවංකව හා පැහැදිලිව මට කියන්න ඕනේ.”—නීනා.

“කාලයක් හොඳ යාළුවන් විදිහට ආශ්‍රය කරලා එකපාරටම පෙම්වතුන් විදිහට ආශ්‍රය කරන්න ටිකක් අමාරුයි. ඒත් මගේ යාළුවෙකුට එහෙම අදහසක් ආවොත් එයා ඒක මට කෙළින්ම කියනවා නම් මම එයාට ගරු කරනවා.”—හෙලන්.

ගැහැනු ළමයාගේ තීරණයට ගරු කරන්න. ඔබ කළ යෝජනාව ගැහැනු ළමයා ප්‍රතික්ෂේප කළා නම් ඔබ කළ යුත්තේ කුමක්ද? ඇගේ තීරණයට ගරු කිරීමයි. ඔබේ යෝජනාව පිළිගන්න කියා බල කරනවා නම් එයින් පෙන්වන්නේ ඔබ අවබෝධයෙන් ක්‍රියා කරන්නේ නැති බවයි. ඔබව ප්‍රතික්ෂේප කිරීම ගැන ඔබ කේන්තියෙන් පසු වෙනවා නම් ඉන් අදහස් කරන්නේ ඇගේ අදහස්වලට ඔබ ගරු කරන බවද නැත්නම් ඔබ, ඔබ ගැන පමණක් සිතන බවද?—1 කොරින්ති 13:11.

ගැහැනු ළමයින් කියන දේ: “මම අකමැතියි කියලා පැහැදිලිව කිව්වට පස්සෙත් මට කරදර කරනවා නම් මට කේන්ති යනවා.”—කොලීන්.

“මම එක පිරිමි ළමයෙකුට කිව්වා මම එයාට කැමති නැහැ කියලා. ඒත් මගේ දුරකථන අංකය ඉල්ලඉල්ල මට කරදර කළා. මම කැමති නැහැ කාටවත් නපුරු විදිහට සලකන්න. එයාත් එයාගේ අදහස කියන්න ලොකු උත්සාහයක් දරන්න ඇති. ඒත් අන්තිමේදී මට එයාට තදින් කතා කරන්න සිද්ධ වුණා.”—සේරා.

නොකළ යුතු දේ

සමහර තරුණයන්ට නම් ගැහැනු ළමයින්ගේ සිත් දිනාගැනීම එතරම් අමාරු නැහැ. සමහර අය ගැහැනු ළමයින්ගේ සිත් දිනාගැනීමට හැකි බව පවසමින් අන් අය සමඟ තරඟ කරනවා. නමුත් එලෙස හැසිරීම අකාරුණික දෙයක්. එයින් හානි වෙන්නේ ඔබේ නමටයි. (හිතෝපදේශ 20:11) පහත සඳහන් විදිහට කටයුතු කිරීමෙන් ඔබේ නමට සිදු විය හැකි හානිය මඟහරවා ගත හැකියි.

ආලවන්ත හැඟුම් පාන්න එපා. එවැනි කෙනෙක් චාටු බස් දෙඩීමටත් විරුද්ධ ලිංගයේ අයගේ අවධානය ඇදගැනීමටත් උත්සාහ කරනවා. ඔහුට ප්‍රේම සම්බන්ධයක් පටන්ගැනීමේ අරමුණක් නැහැ. එසේ කටයුතු කිරීම ‘තරුණියන්ට පවිත්‍ර සිතින් තම සහෝදරියන්ට මෙන් සලකන්න’ කියා බයිබලයේ දී තිබෙන උපදෙසට පටහැනියි. (1 තිමෝති 5:2) අනික් අයගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන අය කවදාවත් හොඳ මිත්‍රයන්වත් හොඳ විවාහ සහකරුවන්වත් වෙන්නේ නැහැ. බුද්ධිමත් තරුණියක් ඒ දේ ඉක්මනින්ම තේරුම්ගන්නවා.

ගැහැනු ළමයින් කියන දේ: “ගිය මාසේ මගේ යාළුවාට කැමැත්තක් පෙන්නපු කෙනා දැන් මට කැමැත්තක් පෙන්නනවා නම් මගේ හිත එයාට ඇදිලා යන්නේ නැහැ.”—හෙලන්.

“ලස්සන පිරිමි ළමයෙක් මට උනන්දුවක් පෙන්නුවා. හැබැයි එයා හැමතිස්සේම කතා කෙරුවේ එයා ගැන විතරයි. පස්සේ එයා අපේ කණ්ඩායමට එකතු වුණ තව ගැහැනු ළමයෙකුටත් උනන්දුවක් පෙන්නුවා. පස්සේ තවත් ගැහැනු ළමයෙක් අපේ කණ්ඩායමට එකතු වුණාම එයා ගැනත් උනන්දුවක් පෙන්නුවා! මට නම් ඒක හරිම පිළිකුල්.”—ටීනා.

ගැහැනු ළමයින්ගේ හැඟීම් සමඟ සෙල්ලම් කරන්න එපා. පිරිමි ළමයෙක්ව ඇසුරු කරන විදිහට ගැහැනු ළමයෙකුව ඇසුරු කරන්න බැහැ. ඔබ පිරිමි ළමයෙකුට ඔබේ පෞද්ගලික දේවල් කිව්වත් ඔහු ඇඳගෙන ඉන්න කමිසය ලස්සනයි කිව්වත් ඔබ ඔහු සමඟ ප්‍රේම සම්බන්ධයකට මුල පුරනවා කියා ඔහු සිතන්නේ නැහැ. නමුත් ඔබ ගැහැනු ළමයෙකුගේ පෙනුම ගැන වර්ණනා කරනවා නම් ඔබේ හැම පෞද්ගලික තොරතුරක්ම ඇයට කියනවා නම් ඔබ ඇය සමඟ ප්‍රේම සම්බන්ධයකට මුල පුරනවා කියා ඇය සිතයි.

ගැහැනු ළමයින් කියන දේ: “පිරිමි ළමයිට තේරුම්ගන්න බැහැ, එයාලගේ යාළුවන්ට සලකන විදිහටම ගැහැනු ළමයින්ට සලකන්න බැහැයි කියලා.”—ෂෙරිල්.

“පිරිමි ළමයෙක් මගේ දුරකථන අංකය ඉල්ලගෙන පස්සේ මට SMS එව්වොත් ඒ සම්බන්ධය සීමා වෙන්නේ SMS පණිවිඩවලට විතරයි. ඒකෙන් කෙනෙකුගේ හදවතේ තියෙන හැම දෙයක්ම කියාගන්න බැහැ. ඒ නිසා ශක්තිමත් බැඳීමක් ඇති වෙන්නෙත් නැහැ.”—මැලරි.

“පිරිමි ළමයෙක් හරි සැලකිලිමත් නම් එයාත් එක්ක කිසි භයක් නැතුව කතා කරන්න පුළුවන් නම් ඉක්මනට ගැහැනු ළමයාගේ හිත පිරිමි ළමයාට ඇදී යනවා. ගැහැනු ළමයාට ඒ වගේ හැඟීමක් ඇති වෙන්නේ ලෝකේ වෙන පිරිමි ළමයි නැති නිසා නෙමෙයි. හුඟක් ගැහැනු ළමයි කැමති තමන්ට ගැළපෙන කෙනාත් එක්ක ආදරයෙන් බැඳෙන්න.”—ඇලිසන්.

තවත් දැනගැනීමට 2වන පොතේ 3වන පරිච්ඡේදය බලන්න

ඊළඟ පරිච්ඡේදය

සැබෑ ආදරයයි බොළඳ ආදරයයි අතර ඇති වෙනස හඳුනාගන්නේ කොහොමද?

බයිබල් උපදෙස

“ඔබ අලුත් පෞද්ගලිකත්වය පැළඳගත යුතුයි. එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින් සහ පක්ෂපාතකමින්ය.”—එෆීස 4:24.

යෝජනාවක්

තරුණයෙකු දියුණු කරගත යුත්තේ කුමන හැකියාවද කියා දැනුම් තේරුම් ඇති වැඩිහිටියන් කිහිපදෙනෙකුගෙන් අසන්න. එම හැකියාව ඔබ දියුණු කරගත යුතුද කියා සිතා බලන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබේ පෙනුමට වඩා වැදගත් වෙන්නේ ඔබේ ගතිගුණයි.

ගත හැකි පියවර

මම මගේ මොන පුරුදු සම්බන්ධයෙන්ද මීට වඩා සැලකිලිමත් විය යුත්තේ? ․․․․․

හොඳින් අදහස් හුවමාරු කිරීම සඳහා මම ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● ඔබ, ඔබ ගැනම සැලකිලිමත් බව පෙන්වන්නේ කොහොමද?

● ඔබ ගැහැනු ළමයෙකුගේ අදහස්වලට හා හැඟීම්වලට ගරු කරන බව පෙන්වන්නේ කොහොමද?

[198වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘පිරිමි ළමයි හිතන්නේ ගැහැනු ළමයෙකුගේ හිත දිනාගන්න යම් විලාසිතාවන් කරන්න ඕනේ කියලා. යම් දුරකට ඒ දේ ඇත්ත වුණත් හුඟක් ගැහැනු ළමයින්ගේ හිත යන්නේ පිරිමි ළමයින්ගේ හොඳ ගතිගුණවලටයි.’’—කේට්

[197වන පිටුවේ පින්තූරය]

හොඳ පුරුදු අන් අය ඉදිරියේ ඇඳ සිට පසුව ගලවා දමන ඇඳුමක් වගේ නොවෙයි