Skip to content

පටුනට යන්න

මං ආදරය කරන කෙනා මාව අත්හැරියොත්?

මං ආදරය කරන කෙනා මාව අත්හැරියොත්?

31වෙනි පරිච්ඡේදය

මං ආදරය කරන කෙනා මාව අත්හැරියොත්?

“අපි අවුරුදු පහක් පුරා හොඳ මිතුරන් ලෙස ආශ්‍රය කළා. අපි පෙම්වතුන් විදිහට ආශ්‍රය කළේ මාස හයයි. ඒත් හිටිහැටියේම එයා අපේ සම්බන්ධය නැවැත්තුවා. මාත් එක්ක කතා කෙරුවෙවත් නැහැ. මගේ මුළු ලෝකයම කඩා වැටුණා වගෙයි මට දැනුණේ. මම හැමතිස්සේම කල්පනා කළේ, මම කරපු වරද මොකක්ද කියලා.”—රේචල්.

ඔබ ආදරය කරන කෙනා ඔබව අත්හැරියොත් ඔබට දැනෙන වේදනාව මෙතැකයි කියා කියන්න බැහැ. එයින් කෙනෙකුගේ ජීවිතයේ සතුට සම්පූර්ණයෙන්ම නැති වී යන්න පුළුවන්. වසර දෙකක් පුරා පෙම්වතුන් ලෙස ඇසුරු කළ ජෙෆ් සහ සූසන්ගේ අද්දැකීමෙන් එය ඔප්පු වෙනවා. ඒ කාලය තුළ ඔවුන් දෙදෙනා හදවතින් එකිනෙකාට ළං වුණා. ජෙෆ් නිතර නිතර සූසන්ට ඔහුගේ ආදරය ගැන පවසා කෙටි පණිවිඩ යැව්වා. කලින් කලට ඔහු ඇයට තෑගි දුන්නා. සූසන් මෙහෙම කියනවා. “ජෙෆ් මාව තේරුම්ගන්න උත්සාහ කළා. මට ඉවසීමෙන් සවන් දුන්නා. මට වඩා කෙනෙක් එයාට හිටියේ නැහැ.”

වැඩි කල් යන්න කලින් ඔවුන් තම විවාහය සැලසුම් කරන්න පටන්ගත්තා. ඒත් හිටිහැටියේම ජෙෆ් වෙනස් වුණා! සූසන්ට දැනුණේ ඇගේ මුළු ලෝකයම කඩා වැටුණා වගෙයි. ඇය වැඩවල නිරත වුණත් ඒවා කළේ සිතකින් නොවෙයි. ඇයට දැනුණු වේදනාව ඇය පැවසූ දෙයින් පැහැදිලි වෙනවා. “මම මානසිකව වැටුණා. මගේ ඇඟට කිසි පණක් තිබුණේ නැහැ.” *

ඇයි මෙතරම් වේදනාවක්?

ඔබත් සූසන් හා සමාන අද්දැකීමකට මුහුණ දී තිබෙනවා නම් ‘මට මේ තත්වයෙන් ගොඩ එන්න පුළුවන් වෙයිද’ කියා ඔබට සිතෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධයක් කැඩී ගිය විට තමන් තවත් ජීවත් වී වැඩක් නැහැයි කියා සමහරුන්ට දැනී තිබෙනවා. ‘ප්‍රේමය මරණය තරම්ම ප්‍රබලයි’ කියා බයිබල් ලේඛකයෙක් වූ සලමොන් රජ පවා පැවසුවා. (සලමොන්ගේ ගීතිකාව 8:6) මෙය ඔබේ ජීවිතයේ ඔබ ලද අමිහිරි හා වේදනාකාරී ඇද්දැකීම්වලින් එකක් විය හැකියි. සමහරවිට ඔබට පහත සඳහන් ආකාරයටත් හැඟෙනවා ඇති.

යථාර්ථය පිළි නොගැනීම. ‘අපේ සම්බන්ධය ඉවරයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. තව දවසකින් දෙකකින් එයා වෙනස් වෙයි.’

කෝපයක් ඇති වීම. ‘එයා මොන හිතකින්ද මේ වගේ දෙයක් මට කළේ? මට එයාව පෙන්නන්න බැහැ!’

කලකිරීමට පත් වීම. ‘මට ආයෙත් කවුරුත් ආදරය කරන එකක් නැහැ.’

අධෛර්යය නොවීම. ‘වේදනාවක් දැනුණත් මේ තත්වයෙන් ගොඩ එන්න මට පුළුවන්.’

ආදරය අහිමි වීම නිසා වේදනාවක් ඇති වුණත් අවසානයට පැවසූ ලෙස එම තත්වයෙන් ගොඩ ඒමට ඔබට හැකියි. නමුත් ඒ සඳහා කොතරම් කාලයක් ගත වෙනවාද යන්න රඳා පවතින්නේ ඔබේ සම්බන්ධය කොතරම් කාලයක් පුරා පැවතුණාද සහ එය කොතරම් කිට්ටු බැඳීමක්ද යන කාරණා මතයි. ඔබට කළ හැකි දේ ගැන දැන් අපි සලකා බලමු.

තත්වයෙන් ගොඩ ඒමට

කාලය හැම දෙයක්ම විසඳයි කියා සමහරුන් කියනවා ඔබ අසා ඇති. ඔබේ සම්බන්ධය කැඩුණු මුල් කාලයේදී එවැනි වදන්වලින් සහනයක් නොදැනෙන්න පුළුවන්. ඊට හේතුව දුකින් ගොඩ ඒමට කාලයට ඉඩහැරීම විතරක් මදියි. එය මෙම උදාහරණයෙන් පැහැදිලි වෙනවා. ඔබේ ශරීරයේ කැපුමක් සිදු වූ විට එය කාලයත් සමඟම සුව වන බව ඇත්තයි. නමුත් තුවාල වූ විගස ඔබට මහත් වේදනාවක් දැනෙයි. ඒ වේදනාව අඩු කරගැනීමටත් ලේ ගැලීම නතර කිරීමටත් ඔබ යමක් කළ යුතුයි. ඒ වගේම තුවාලය පැසවීම වැළැක්වීමටත් ඔබ යමක් කළ යුතුයි. ආදරය අහිමි වූ මොහොතේ ඇති වන වේදනාවත් ඒ හා සමානයි. මුලදී එය දරාගන්න බැරි වේදනාවක් වුණත් ඒ වේදනාව තුනී කරගැනීමටත් ඔබ තුළ තිබෙන වෛරය පාලනය කරගැනීමටත් ඔබට කළ හැකි දේවල් තිබෙනවා. පහත සඳහන් යෝජනා අත්හදා බලන්න.

අඬන්න ලැජ්ජා වෙන්න එපා. ඇති තරම් කඳුළු සලා ඔබේ දුක තුනී කරගන්න. එය දුර්වලකමක් නොවෙයි. “අඬන්න කාලයක්” තිබෙන බව බයිබලයෙත් සඳහන් වෙනවා. (දේශනාකාරයා 3:1, 4) දාවිත් නිර්භීත රජෙක් වුණත් දුක්බර අවස්ථාවලදී කඳුළු සැලූ බව ඔහුම මෙසේ කියා තිබෙනවා. “මාගේ කඳුළුවලින් යහන තෙත් වී ඇත. රාත්‍රිය පුරා මා හෙළන කඳුළෙන් මාගේ යහන පෙඟී ඇත.”—ගීතාවලිය 6:6.

ඔබ ගැන සිතන්න. ඔබ මානසිකව යම් පීඩාවක් විඳ තිබෙන නිසා ඔබට හොඳ පෝෂ්‍යදායි ආහාර මෙන්ම ව්‍යායාම අවශ්‍යයි. ව්‍යායාම් කිරීමෙන් යම් ප්‍රයෝජන තිබෙන බව බයිබලයේ සඳහන් වෙනවා.—1 තිමෝති 4:8.

ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් විය යුතු පැති මොනවාද?

․․․․․

වැඩවල යෙදෙන්න. ඔබ ආසාවෙන් කළ දේවල් නතර කරන්න එපා. ඒ වගේම තනි වෙන්නත් එපා. (හිතෝපදේශ 18:1) ඔබ ගැන සැලකිල්ලක් දක්වන අය සමඟ ඇසුරු කිරීමත් ඔබට ප්‍රයෝජනවත් වෙයි.

ඔබට කළ හැකි දේවල් මොනවාද?

․․․․․

සිතේ දුක දෙවිට කියන්න. ප්‍රේම සම්බන්ධයක් කැඩී ගිය අවස්ථාවක කෙනෙකුට හැඟෙන්න පුළුවන් දෙවි තමන්ට උපකාර කළේ නැහැයි කියා. එමනිසා යාච්ඤා කිරීම පහසු දෙයක් නොවිය හැකියි. එවැනි අය මෙහෙම කියන්න ඉඩ තියෙනවා. ‘විවාහ වෙන්න කෙනෙක් ලැබෙන්න කියලා මම කොයි තරම් දෙවිට යාච්ඤා කළාද! ඒත් දැන් මට වෙලා තියෙන දේ බලන්න!’ (ගීතාවලිය 10:1) ප්‍රේම සම්බන්ධයන් ඇති කරන්නේ දෙවි කියා සිතන්න එපා. ඔබේ පෙම්වතා ඔබව අත්හැරීම සම්බන්ධයෙන් දෙවි වග කිව යුතු නැහැ. නමුත් යෙහෝවා දෙවි “ඔබ ගැන සැලකිලිමත් වන” බව නම් අමතක කරන්න එපා. (1 පේතෘස් 5:7) ඒ නිසා ඔබේ හිතේ තියෙන හැම දෙයක්ම දෙවිට කියන්න. ‘ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ’ කියා බයිබලයේ සඳහන් වෙනවා.—ෆිලිප්පි 4:6, 7.

එවැනි දුක්බර අවස්ථාවකදී ඔබට යෙහෝවා දෙවිට කිව හැකි දේවල් මොනවාද?

․․․․․

හෙට දවස ගැන සිතන්න

වේදනාව අඩු වී ගියාට පසුව ඔබට වැරදුණේ කොතැනද කියා සිතා බලන්න. ඒ සඳහා 224වන පිටුවේ තිබෙන “ මට ඉගෙනගන්න පුළුවන් මොනවාද?” යන කොටුවේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම ඔබට ප්‍රයෝජනවත් විය හැකියි.

ඔබ පැතූ ලෙස ඔබේ ආදරය මල්පල ගැන්වුණේ නැතත් මේ දෙය මතක තබාගන්න. චණ්ඩ මාරුතයක් හමන අවස්ථාවේදී පෙනෙන්නේ අඳුරු වලාවන් හා ඇද හැලෙන වර්ෂාව පමණයි. නමුත් අවසානයේදී වර්ෂාව නතර වී පැහැදිලි අහසක් දැකගැනීමට හැකි වෙනවා. මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ යෞවනයන්ටත් කාලයත් සමඟ තත්වයෙන් ගොඩ ඒමට හැකි වුණා. ඔබටත් ඒ දේ අද්දැකීමට හැකි වෙයි.

ඊළඟ පරිච්ඡේදය

කාමාතුරයන්ගෙන් ඔබ ආරක්ෂා වෙන්නේ කොහොමද?

[පාදසටහන]

^ 5 ඡේ. මෙම පරිච්ඡේදයේ යෞවනියන්ගේ අද්දැකීම් සඳහන් වී තිබුණත් මේ තොරතුරු යෞවනයන්ටත් අදාළයි.

බයිබල් උපදෙස

“බිඳුණු සිත් ඇත්තන්ට [යෙහෝවා දෙවි] සහනය දෙන්නේය. ඔවුන්ගේ වේදනාකාරී තුවාල ඔහු සුව කරන්නේය.”—ගීතාවලිය 147:3.

යෝජනාවක්

මෙම පරිච්ඡේදය ආරම්භයේ සඳහන් කළ සූසන්, ඇගේ හිතට දුකක් දැනෙන අවස්ථාවලදී කියවීම සඳහා බයිබල් පද කිහිපයක් ලියාගෙන නිතරම ළඟ තබාගත්තා. ඔබටත් හැකියි මෙම පරිච්ඡේදයේ සඳහන් බයිබල් පද ලියා ළඟ තබාගන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

යොවුන් වියේදී පටන්ගන්නා ප්‍රේම සම්බන්ධයන් බොහොමයක් කැඩී යනවා. ඉන් විවාහය දක්වා සාර්ථක වන ඒවායින් බොහොමයක් දික්කසාදයෙන් කෙළවර වෙනවා.

ගත හැකි පියවර

සම්බන්ධය කැඩී ගිය පසු මගේ ජීවිතය ඉදිරියට ගෙන යන්න මම ․․․․․

අලුත් සම්බන්ධයේදී හොඳ පෙම්වතෙක් හෝ පෙම්වතියක් වීමට මම ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● කැඩී ගිය සම්බන්ධයෙන් ඔබ, ඔබ ගැන ඉගෙනගත්තේ කුමක්ද?

● විරුද්ධ ලිංගයේ අය ගැන ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

[227වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘කාලයත් සමඟ ඔබේ දුක අඩු වෙයි. එතකොට ඔබට පැහැදිලිව හිතන්නත් ඔබව තේරුම්ගන්නත් පුළුවන් වෙයි. ඔබට අවශ්‍ය කොයි වගේ සහකරුවෙක්ද කියලත් මේ වගේ දෙයක් ආයෙත් නොවෙන්න කරන්න ඕනේ මොනවාද කියලත් ඔබට කල්පනා කරන්න පුළුවන් වෙයි.’’ —කොරීනා

[224වන පිටුවේ කොටුව]

 ඔබේ සටහන්

මට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ප්‍රේම සම්බන්ධය නවත්වන්න හේතුව ඔබට පැවසුවාද? එය අසාධාරණ හේතුවක් කියා ඔබට සිතුණත් එය ලියන්න. ․․․․․

වෙනත් හේතු තිබෙනවා කියා ඔබට හැඟෙනවා නම් ඒවාත් ලියන්න. ․․․․․

සම්බන්ධය රැකගන්න ඔබට යම් දේවල් කරන්න තිබුණා කියා සිතෙනවා නම් ඒවා ලියන්න. ․․․․․

නමස්කාරය හා සම්බන්ධ කාරණාවලදී ඔබට දියුණු විය යුතු පැත්තක් තිබෙන බවත් හොඳ ගතිගුණ ඇති කරගත යුතු බවත් ඔබ ලද අද්දැකීමෙන් ඔබට වැටහෙනවාද? එසේනම් ඒවා ලියන්න. ․․․․․

අලුත් සම්බන්ධයක් පටන්ගත්තොත් ඔබ මීට වඩා වෙනස්ව දේවල් කරනවාද? එසේනම් ඒවා ලියන්න. ․․․․․

[223වන පිටුවේ පින්තූරය]

ප්‍රේම සම්බන්ධයක් කැඩී යෑම කැපුමක් හා සමානව රිදුණත් කාලයත් සමඟ එය සුව වෙයි