Skip to content

පටුනට යන්න

මෙය සැබෑ ආදරයද?

මෙය සැබෑ ආදරයද?

29වෙනි පරිච්ඡේදය

මෙය සැබෑ ආදරයද?

පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.

1. ඔබ “සැබෑ ආදරය” විස්තර කරන්නේ කොහොමද? ․․․․․

2. ඔබ “බොළඳ ආදරය” විස්තර කරන්නේ කොහොමද? ․․․․․

3. ඔබ හිතන හැටියට ඒ දෙක අතර ඇති වෙනස මොකක්ද? ․․․․․

ඔබ කෙනෙකු සමඟ ආදරයෙන් බැඳී නැත්නම් ඉහත සඳහන් ප්‍රශ්නවලට පහසුවෙන්ම පිළිතුරු ලියන්න ඇති.

ඒත් ඔබේ සිහින කුමරා හෝ කුමරිය මුණගැසුණු දාට ඒ සියලු අදහස් උදහස් වෙනස් වෙන්නේ ඔබටත් නොදැනීයි. හිත ගිය තැන මාලිගාව කියන්නාක් මෙන් ඔබ ඔහු හෝ ඇය කෙරෙහි ආදරයෙන් බැඳෙයි. ඔබට ඔහු හෝ ඇගෙන් තොර ලොවක් නැහැ. ඒත් ඔබ අද්දකින්නේ සැබෑ ආදරයක්ද නැත්තම් බොළඳ ආදරයක්ද කියා දැනගන්නේ කොහොමද? ඊට පිළිතුරු දීමට පෙර ඔබට විරුද්ධ ලිංගයේ අය ගැන මුලින් තිබූ අදහස් දැන් වෙනස් වී තිබෙනවාද කියා සලකා බලමු. පහත සඳහන් ප්‍රශ්න ගැන සිතන්න.

● ඔබ අවුරුදු පහේදී විරුද්ධ ලිංගයේ අය ගැන දැරුවේ කිනම් අදහසක්ද?

දැන් ඔබ විරුද්ධ ලිංගයේ අය ගැන හිතන්නේ කුමක්ද?

ඔබේ පිළිතුරුවලින් පෙන්වන්නේ ඔබ යොවුන් වියට පා තබද්දී විරුද්ධ ලිංගයේ අය ගැන ඔබ දැරූ අදහස් වෙනස් වී ඇති බවයි. එය 12 හැවිරිදි බ්‍රයන් කියන දෙයින් පෙනෙනවා. “ගැහැනු ළමයි ලස්සනයි කියලා මට හිතෙනවා. ඉස්සර නම් එහෙම හිතුණේ නැහැ.” ඉලේන්ට අවුරුදු 16යි. මෑතක ඉඳන් ඇයටත් පොඩි වෙනසක් දැනෙනවා. “මගේ මිතුරියන් පිරිමි ළමයි ගැන කතා කරන්න පටන්ගත්තාට පස්සේ, පිරිමි ළමයි දැක්කම මගේ හිතත් එයාලට ඇදිලා යනවා.”

ඔබ තුළ විරුද්ධ ලිංගයේ අය ගැන ඇති වී තිබෙන හැඟීම් ප්‍රබල වුණත් එය පාලනය කරගත හැකියි. නමුත් එවැනි හැඟීම් ඔබේ සිතේ නැහැ කියා පෙන්වීමට උත්සාහ කිරීමෙන් සිදු වෙන්නේ තව තවත් ඒ හැඟීම් වැඩි වීම පමණයි. ඒ නිසා ඇති වූ ඒ හැඟීම් නිකම් ඇති වුණ ආකර්ෂණයක්ද බොළඳ ආදරයක්ද නැත්නම් සැබෑ ආදරයක්ද කියා සිතා බලන්න. එම කාරණා තුන ගැන දැනුවත් වීමෙන් අනවශ්‍ය සිත් වේදනාවෙන් මිදී සැබෑ ආදරය කුමක්ද කියා අවබෝධ කරගන්න ඔබට හැකි වෙයි.

ආකර්ෂණය → ඇසට පෙනෙන දේ

“මමයි මගේ යාළුවෝයි එකතු වුණොත් හැමතිස්සේම කතා කරන්නේ කෙල්ලෝ ගැන. අපි වෙන දෙයක් කතා කරන්න කොච්චර උත්සාහ කෙරුවත් ලස්සන කෙල්ලෙක් ළඟින් යනකොට අපිට කතා කරකර හිටපු දේත් අමතක වෙනවා!”—ඇලෙක්ස්.

“කොල්ලෙක් මා දිහා බලලා ලස්සන හිනාවක් දාලා වැදගත් විදිහට යන කොට මගේ හිතත් එයාට නිකම්ම ඇදිලා යනවා.”—ලෝරි.

හොඳ පෙනුමක් ඇති කෙනෙකුට හිත ඇදිලා යන එක සාමාන්‍ය දෙයක්. ඒත් බොහෝවිට ඔහුගේ සැබෑ ස්වභාවය ඔබ පිටතින් දකින දේට වඩා වෙනස්. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සිහිබුද්ධියෙන් වැඩ නොකරන ස්ත්‍රියකගේ රූමත්කම ඌරෙකුගේ නාසයට දැමූ රන් ආභරණයකට සමානය.” (හිතෝපදේශ 11:22) එම උපදෙස පිරිමි ළමයින්ටත් අදාළයි.

බොළඳ ආදරය → හිතට දැනෙන දේ

“මම අවුරුදු 12දී එක කොල්ලෙකුට පිස්සු වැටිලා හිටියා. පස්සේ ඒ උනන්දුව අඩු වෙලා ගියා. එතකොට මට තේරුණා මම ඇයි ඒ පිරිමි ළමයාට ආස වුණේ කියලා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි, මගේ යාළුවෝ හැමෝටම කොල්ලෝ හිටිය නිසයි. ඉතින් මටත් ඕන වුණා කවුරු හරි කොල්ලෙක් එක්ක යාළු වෙන්න.”—ඉලේන්.

“මගේ හිත ගිය ගොඩක් ගැහැනු ළමයි හිටියා. ගොඩක් වෙලාවට මම කැමති වුණේ එයාලගේ පෙනුමට. ඒත් පස්සේ එයාලා මොන වගේ අයද කියලා දැනගත්තාම මට තේරුණා එයාලා මට ගැළපෙන්නේ නැහැ කියලා.”—මාක්.

බොළඳ ආදරයකින් වශී වී සිටින කෙනෙක් සිතන්නේ එය සැබෑ ආදරය කියායි. ඊට හේතුව බොළඳ ආදරයේදීත් සැබෑ ආදරයේදීත් ඇති වන හැඟීම් එක වගෙයි. නමුත් එය ආරම්භ වීමට දායක වන හේතු එකිනෙකට වෙනස්. බොළඳ ආදරයක් පටන්ගන්නේ ඉක්මනින්. එකිනෙකාගේ දුර්වලකම් ඔවුන්ට පේන්නේ නැහැ. ඔහුගේ හෝ ඇයගේ හැකියාවන් ගැන ඕනෑවටත් වඩා කතා කරන්න පෙලඹෙනවා. ඒ ආදරේ හරියට වැල්ලේ තැනූ මාලිගාවක් වගෙයි. ෆියෝනා කියන දේ සලකා බලන්න “ඒ ආදරේ වැඩි කල් තියෙන්නේ නැහැ. අද කාට හරි කෙනෙකුට හිත යනවා. මාසයකින් තව කෙනෙකුට හිත යනවා.”

සැබෑ ආදරය → අවබෝධයෙන් ගොඩනැඟේ

“සැබෑ ආදරයේදී අනික් පුද්ගලයාට හිත ඇදී යන්නේ හොඳ හේතුවක් නිසා කියලා මට හිතෙනවා.”—ඩේවිඩ්.

“මට නම් හිතෙන්නේ සැබෑ ආදරයක් ඇති වෙන්න කාලයක් යනවා කියලා. මුලදී ආශ්‍රය කරන්නේ හොඳ මිත්‍රයන් විදිහට. පස්සේ ටිකෙන් ටික දෙන්නාට දෙන්නා හඳුනාගන්නවා. ආදරයක් ඇති වෙන්නේ ඊටපස්සේ.”—ජූඩිත්.

සැබෑ ආදරයක් ඇති වෙන්නේ අවබෝධය මතයි. එකිනෙකාගේ හැකියාවන් හා දුර්වලකම් ගැන අවබෝධයක් තිබිය යුතුයි. සැබෑ ආදරය නිකම්ම හැඟීමක් නොවන බව බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. ඔහු සියල්ල ඉවසා දරාගනියි. සියල්ල විශ්වාස කරයි. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි. සියල්ල විඳදරාගනියි. ප්‍රේමය නමැති මෙම ගුණාංගය සදාතනිකය.’ (1 කොරින්ති 13:4, 7, 8) එකිනෙකා ගැන හොඳ අවබෝධයකින් ආදරය කරන දෙදෙනෙක් ක්‍රියා කරන්නේ එලෙසයි. එවැනි ආදරයක් බොළඳ ආදරයට වඩා හාත්පසින්ම වෙනස්.

සැබෑ ආදරය යනු මෙයයි

යාකොබ් හා රාකෙල් ගැන බයිබලයේ සඳහන් විස්තරයෙන් සැබෑ ආදරය කුමක්ද කියා පැහැදිලි වෙනවා. ඔවුන් දෙදෙනා මුල් වතාවට හමු වුණේ ළිඳක් අසලයි. ඒ, ඇය තම පියාගේ බැටළුවන්ට වතුර දීමට ගිය අවස්ථාවේදීයි. රාකෙල්ව දුටු විගසම යාකොබ්ගේ සිත ඇය කෙරෙහි ඇදී ගියා. ඒ “රාකෙල් ඉතා රූමත්” තරුණියක් වූ නිසයි.—උත්පත්ති 29:17.

නමුත් සැබෑ ආදරය පෙනුමට පමණක් සීමා වෙන්නේ නැහැ. මුලදී යාකොබ් රාකෙල්ගේ පෙනුමට ආකර්ෂණය වුණ බව ඇත්තයි. නමුත් රාකෙල්ගේ පෙනුමට වඩා වැඩි යමක් තිබෙන බව යාකොබ් තේරුම්ගත්තා. ඔහු ඇය සමඟ ‘ආදරයෙන් බැඳුණා’ කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—උත්පත්ති 29:18.

එතැනින් ඔවුන්ගේ ආදර කතාව අවසන් වුණාද? නැහැ. ඇයව විවාහ කර දෙන්නේ අවුරුදු හතකට පසුවයි කියා ඇගේ පියා යාකොබ්ට පැවසුවා. එම ඉල්ලීම සාධාරණ හෝ අසාධාරණ වුණත් යාකොබ්ගේ ආදරය සැබෑ එකක් බව ඔප්පු කරන්න එය අවස්ථාවක් වුණා. යාකොබ් තුළ තිබුණේ බොළඳ ආදරයක් නම් ඔහු එතරම් කාලයක් බලා සිටින්නේ නැහැ. මන්ද කාලය ගියත් වෙනස් නොවන්නේ සැබෑ ආදරය පමණයි. ඉන්පසු සිදු වූ දේ බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යාකොබ් රාකෙල් වෙනුවෙන් අවුරුදු හතක් සේවය කළේය. නමුත් ඔහු ඇයට ආදරය කළ නිසා ඔහුට එය ස්වල්ප දවසක් මෙන් විය.”—උත්පත්ති 29:20.

යාකොබ් හා රාකෙල්ගෙන් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද? එනම් කාලයක් ගියත් සැබෑ ආදරය වෙනස් නොවන බවයි. එවැනි ආදරයක් ඇති වෙන්නේ පෙනුමට ආකර්ෂණය වූ නිසාම නොවෙයි. ඇත්තෙන්ම ඔබට ගැළපෙන කෙනා දුටු විගස ඔබේ සිත ඇදී නොයන්න පුළුවන්. උදාහරණයකට බාබ්රා දැන් විවාහ වී සිටින පුද්ගලයාව මුලින්ම දුටු දවසේ ඔහු කෙරෙහි ඇගේ සිත ඇදී ගියේ නැහැ. ඇය මෙහෙම කියනවා. “මම එයාව දැන හඳුනා ගත්තට පස්සේ ඒ අදහස වෙනස් වුණා. ස්ටීවන් අනික් අය ගැන සැලකිල්ලක් දක්වන විදිහ මම දැක්කා. එයාට වඩා එයා හිතුවේ අනික් අය ගැන. ඒ වගේ ගුණාංග තමයි හොඳ ස්වාමිපුරුෂයෙකුට තියෙන්න ඕනේ. පස්සේ මට එයා ගැන ආදරයක් ඇති වුණා.” ඔවුන් දැන් ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරනවා.

ඔබ විවාහ වීමට සුදුසු වයසට පැමිණි තරුණයෙක් හෝ තරුණියක්ද? ඔබට දැන් ප්‍රේම සම්බන්ධයක් තිබෙනවා නම් එය සැබෑ ආදරයද කියා දැනගන්නේ කොහොමද? හැඟීම්වලට වහල් වෙනවාට වඩා ඔබ බයිබලයෙන් ලබාගෙන තිබෙන අවබෝධයට අනුව කටයුතු කරන්න. පෙනුමට වශී නොවී ඔහු හෝ ඇය මොන වගේ කෙනෙක්ද කියා තේරුම්ගැනීමට කාලය ගන්න. හදිසි වෙන්න එපා. බොළඳ ආදරය වැඩි කල් පවතින්නේ නැහැ. ඒත් සැබෑ ආදරය දවසින් දවස දලු ලා “එක්සත්කමට දායක වන හොඳම බැඳීම” බවට පත් වෙයි.—කොලොස්සි 3:14.

ඔබට සැබෑ ආදරය සොයාගත හැකියි. එසේ කිරීමට හැකි වෙන්නේ ඔබ ආකර්ෂණය වන දේටත් (ඇසට පෙනෙන දේ) බොළඳ ආදරයටත් (හිතට දැනෙන දේ) වශී නොවී කටයුතු කළොත් පමණයි. සැබෑ ආදරය හඳුනාගැනීමට ඊළඟ පිටු තුනේ ඇති තොරතුරු ඔබට උපකාරවත් වෙයි.

තවත් දැනගැනීමට 2වන පොතේ 1වන සහ 3වන පරිච්ඡේද බලන්න

ඊළඟ පරිච්ඡේදය

ඔබ සැබෑ ආදරයෙන් බැඳී සිටියත් ඔබ විවාහ වීමට සූදානම්ද කියා දැනගන්නේ කොහොමද?

බයිබල් උපදෙස

“මහා ජල කඳකින්වත් ප්‍රේමය නමැති ඒ ගින්න නිවාලිය නොහැක. මහා ගංවතුරකින්වත් එය නිවාලිය නොහැක.”—සලමොන්ගේ ගීතිකාව 8:7.

යෝජනාවක්

ඔබේ හිත ගිය කෙනා කොයි වගේ කෙනෙක්ද කියා දැනගැනීමට 2වන පොතේ 39වන පිටුවේ (ගැහැනු ළමයින් සඳහා) සහ 40වන පිටුවේ (පිරිමි ළමයින් සඳහා) ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

යෞවනයන් කිසිම වගකීමක් නැතුව ඉක්මනින්ම ප්‍රේම සම්බන්ධකම් පටන්ගෙන අවසන් කරනවා නම් එය හරියට විවාහ වී ඉක්මනින්ම දික්කසාද වීමට කරන “පෙරහුරුවක්” වගෙයි.

ගත හැකි පියවර

මගේ ආදරය බොළඳ ආදරයක්ද නැත්නම් සැබෑ ආදරයක්ද කියා දැනගැනීමට මම ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● විරුද්ධ ලිංගයේ අය කෙරෙහි ප්‍රබල ආකර්ෂණයක් ඇතුව දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි?

● යොවුන් වියේ ඇති වන බොහෝ ප්‍රේම සම්බන්ධකම් අසාර්ථක වෙන්නේ ඇයි?

[207වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘සැබෑ ආදරය ඇති වෙන්න කාලයක් යනවා. ඒ ආදරයේදී මොන බාධා ආවත් ඒවා ජය ගන්නවා. ඒත් බොළඳ ආදරය, තත්වයන් වෙනස් වෙන කොට ප්‍රශ්න ගැටලු මතු වෙන කොට නැති වෙලා යනවා.’’—ඩැනියෙලා

[209වන පිටුවේ කොටුව]

ඔබේ සටහන්

ඔබ කරන්නේ කුමක්ද

මයිකල් සහ ජූඩි පෙම්වතුන් ලෙස ආශ්‍රය කරන්න පටන්ගෙන මාස තුනයි. ජූඩි පැවසුවේ ඇයට “මයිකල්ගෙන් තොර ලොවක් නැහැ” කියායි. මයිකල්ටත් හැඟුණේ එලෙසමයි. ඔහු ඇගේ හැම දෙයක් ගැනම සොයා බැලුවා. ඇය අඳින දේවල් ගැන, ආශ්‍රය කළ යුත්තේ හා නොකළ යුත්තේ කාවද කියා ඔහු ඇයට කිව්වා. ඔහුගේ සිහින කුමාරිය වුණේ ඇයයි. නමුත් ඒ සියල්ල හිටිහැටියේම වෙනස් වුණා. ජූඩි වෙන පිරිමි ළමයෙක් එක්ක කතා කරනවා මයිකල්ට හසු වී ඔහු ඇයට කම්මුල් පහරක් ගැසුවා.

ඔහු කියන දේ: “එයාව නැති වෙයි කියන භය මට තියෙනවා කියලා ජූඩි තේරුම්ගන්න ඕනේ. වෙන කොල්ලෙක් එයාව අයිති කරගනියි කියලා මම නිකමටවත් හිතන්න කැමති නැහැ! මට දුකයි එයාට ගහපු එක ගැන. ඒත් එයා වෙන කෙනෙක් දිහා බැලුවත් ඒක මගේ හිතට වේදනාවක්. ඒ නිසයි මං එයාට ගැහැව්වේ. ඒකට මං එයාගෙන් සමාව ඉල්ලුවා.”

ඇය කියන දේ: “මගේ අම්මලා නං කියන්නේ මයික් මාව පාලනය කරන්න හදනවා කියලා. ඒත් එයා හොඳ කෙනෙක්. කවදාවත් එයා මට නරක යෝජනාවක් කරලා නැහැ. එයා මට ගහපු එක ගැන මම අම්මලාට කිව්වේ නැහැ. ඇත්තටම එයා මට ගැහැව්වේ කොල්ලෙක් එක්ක කතා කරපු නිසයි. මම එහෙම කළාම මයික්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඒ ඉතින් එයා මට ගොඩක් ආදරේ නිසානේ! එයා සමාව ඉල්ලලා ආයෙත් ඒ දේ කරන්නේ නැහැයි කියලා මට පොරොන්දු වුණා.”

ඔබේ අදහස: ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය අනතුරුදායකයි කියා ඔබට සිතෙනවාද? ඊට හේතුව ලියන්න. ․․․․․

ජූඩි කළ යුත්තේ කුමක්ද? ․․․․․

ඔබ කරන්නේ කුමක්ද? ․․․․․

[210වන පිටුවේ කොටුව]

ඔබේ සටහන්

ඔබ කරන්නේ කුමක්ද?

ඊතන් සහ ඇලිසා දැන හඳුනා ගෙන මාස දෙකයි. ඇය විවාදශීලී කෙනෙක් කියා ඔහුට තේරෙනවා. විශේෂයෙන්ම තම දෙමාපියන් සමඟ. ඇය නිතරම දෙමාපියන් සමඟ වාද කරන අතර බොහෝවිට දිනන්නේ ඇයයි. තමන්ට ඕනේ දේ කෙසේ හෝ ලබාගැනීමට ඇය දක්ෂයි. “අම්මලව මට ඕන විදිහට නම්මවාගන්න පුළුවන්” කියා ඇය ඊතන්ට ආඩම්බරයෙන් කියා තිබෙනවා.

ඔහු කියන දේ: “ඇලිසා සාමාන්‍යයෙන් කෙළින් කතා කරන කෙනෙක්. එයා කාටත් යටත් වෙන කෙනෙක් නෙමෙයි. අම්මලට වුණත් එහෙමයි. එයාගේ තාත්තගේ වැඩවලට එයාට විතරක් නෙමෙයි කාට වුණත් කේන්ති යනවා. එයාට අම්මලගෙන් මොකක් හරි ඕන වුණාම හොඳින් හරි එහෙමත් නැත්නම්, කෑගහලා, අඬලා, මූණ එල්ලගෙන ඉඳලා හරි එයාගේ වැඩේ කරගන්නවා.”

ඇය කියන දේ: “මට පුද්ගලයාවත් එයා කවුද කියන එකවත් වැඩක් නැහැ. මට කියන්න ඕන දේ මම කෙළින්ම කියනවා. පැණි බේරෙන කතා මං ළඟ නැහැ. ඊතන් දන්නවා මං කවුද කියලා. මං අම්මලා එක්ක කතා කරන විදිහත් එයා දැකලා තියෙනවා.”

ඔබේ අදහස: ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය අනතුරුදායකයි කියා ඔබට සිතෙනවාද? ඊට හේතුව ලියන්න. ․․․․․

ඊතන් කළ යුත්තේ කුමක්ද? ․․․․․

ඔබ කරන්නේ කුමක්ද? ․․․․․

[211වන පිටුවේ කොටුව]

ඔබේ සටහන්

එය සැබෑ ආදරයද බොළඳ ආදරයද?

පහත සඳහන් වාක්‍යයන් සම්පූර්ණ කරන්න. හිස් තැන්වල සැබෑ ආදරය හෝ බොළඳ ආදරය යන යෙදුම්වලින් ගැළපෙන යෙදුම යොදන්න.

1. “․․․․․ අන්ධයි. යථාර්ථය පිළිගන්න කැමති නැහැ.”—කැල්වින්.

2. “මගේ හිත ගිය ගැහැනු ළමයෙක් එක්ක ඉද්දී මම වෙනස් විදිහට හැසිරෙනවා නම් එය ․․․․․ යි.”—තෝමස්.

3. “ඔහු හෝ ඇය කරන දෙයක් නිසා කේන්ති ගියත් එය ․․․․․ නිසා ඔබ සම්බන්ධය රැකගන්න අතර ගැටලුව විසඳගන්න උත්සාහ කරනවා.”—රයන්.

4. “․․․․․ යෙන් බැඳී සිටින දෙදෙනෙක් සැලකිල්ලට ගන්නේ ඔවුන් දෙදෙනා ආශා වෙන දේවල් විතරයි.”—ක්ලෝඩියා.

5. “එය ․․․․․ නම් ඔබේ නියම ස්වභාවය සඟවන්න උත්සාහ කරන්නේ නැහැ.”—ඊව්.

6. “․․․․․ යෙන් බැඳී සිටින කෙනෙක් තමන්ට අවශ්‍ය දේ ගැන විතරයි සිතන්නේ. සමහරවිට ඔහුට හෝ ඇයට අවශ්‍ය, පෙම්වතෙක් ඉන්නවා කියා කීමට පමණයි.”—ඇලිසන්.

7. “․․․․․ යෙන් බැඳී සිටින කෙනෙක් අනික් කෙනාගේ දුර්වලකම් තේරුම්ගෙන ඒ අනුව ජීවත් වෙනවා.”—ඒප්‍රිල්.

8. “එය ․․․․․ නම් ඔබේ සිත ගියේ ඇයි කියා ඔබ දන්නේ නැහැ.”—ඩේවිඩ්.

9. “එය ․․․․․ නම් අනික් කෙනා අතින් වරදක් වෙන්න බැහැ.”—චෙල්සි.

10. “එය ․․․․․ නම් ඔබ එකිනෙකාට විශ්වාසවන්තව සිටියි. කලින් මෙන් ඔබේ සිත විරුද්ධ ලිංගයේ අයට ඇඳී යන්නේ නැහැ.”—ඩැනියෙල්.

පිළිතුරු: බොළඳ ආදරය: 1, 2, 4, 6, 8, 9. සැබෑ ආදරය: 3, 5, 7, 10.

[206, 207වන පිටුවේ පින්තූරය]

බොළඳ ආදරය හරියට වැල්ලේ තැනූ මාලිගාවක් වගෙයි. එය ඉක්මනින් නැති වී යයි