Skip to content

පටුනට යන්න

සිගරට් බොන එක ඔය කියන තරම්ම නරකද?

සිගරට් බොන එක ඔය කියන තරම්ම නරකද?

33වෙනි පරිච්ඡේදය

සිගරට් බොන එක ඔය කියන තරම්ම නරකද?

ඔබ කොයි වගේ කෙනෙක්ද කියා පෙන්වන කරුණ ඉදිරියෙන් ✔ ලකුණ දමන්න.

□ කුතුහලයක් ඇති

□ මානසික පීඩනයෙන් පෙළෙන

□ මිතුරන්ගේ හිත දිනාගැනීමට ආස

□ බර අඩු කිරීමට කැමති

කලින් පිටුවේ ඇති කුමන හෝ කරුණක් ඔබ ලකුණු කළා නම් දුම් පානය කරන හෝ දුම් පානය කිරීමට කැමැත්තක් දක්වන යෞවනයන්ට ඇති ගතිලක්ෂණයක් ඔබටත් තිබෙනවා. * එවැනි අයගේ අද්දැකීම් කිහිපයක් බලමු.

කුතුහලය. “සිගරට් බොන එක මොන වගේද කියලා මට දැනගන්න ඕන වුණා. ඒ නිසා දවසක් යාළුවෙක් සිගරට් එකක් දුන්නම මම ඒක බිව්වා.”—ට්‍රේසි.

මානසික පීඩනයෙන් මිදීමට හා මිතුරන්ගේ හිත දිනාගැනීමට. “‘සිගරට් එකක් බිව්වට පස්සේ ඇඟට මාර ගතියක් එනවා.’ කියලා සමහර ළමයි කියනවා. තෙහෙට්ටුව නැති කරගන්න මටත් සිගරට් එකක් බොන්න හිතුණා.”—නිකී.

බර අඩු කරගන්න. “සමහර ගෑනු ළමයි සිගරට් බොන්නේ කෙට්ටු වෙන්න. කෑම පාලනය කරනවාට වඩා ඒක කොච්චර ලේසිද!”—සමැන්තා.

මේ ගැන සිතන්න. ඇමකට හසු වෙන මාළුවෙක් එය ගිල දැමීමෙන් පොඩි සතුටක් ලබනවා. ඒත් ඒකට ඌට ජීවිතයෙන්ම වන්දි ගෙවන්න සිදු වෙනවා! දුම් බොන කෙනෙකුටත් සිදු වෙන්නේ ඒ දේමයි. ඒ නිසා දුම්වැටියක් දල්වන්න කලින් ඒ ගැන සිතා බලන්න. (2 පේතෘස් 3:1) ඒ සඳහා මෙම ප්‍රශ්න ඔබට උපකාරවත් වෙයි.

දුම් පානය ගැන ඔබ සිතන දේ හරිද?

පහත සඳහන් අදහස් හරිද වැරදිද කියා ලකුණු කරන්න.

1. මානසික පීඩනය අඩු වෙනවා.

□ හරි □ වැරදි

2. දුම් ඔක්කෝම පිට කරන නිසා හානියක් නැහැ.

□ හරි □ වැරදි

3. සෞඛ්‍යයට බලපාන්නේ වයසට ගියාමයි.

□ හරි □ වැරදි

4. විරුද්ධ ලිංගයේ අයගේ අවධානය ලැබෙයි.

□ හරි □ වැරදි

5. ඒක බලපාන්නේ මට විතරයි.

□ හරි □ වැරදි

6. අපි මොනවා කළත් දෙවිට ප්‍රශ්නයක් නැහැ.

□ හරි □ වැරදි

පිළිතුරු

1. වැරදියි. දුම්වැටියකින් තාවකාලික සහනයක් ලැබුණත් එහි තිබෙන නිකටීන් නිසා මානසික පීඩනය ඇති කරන හෝමෝන වැඩි වෙනවා කියා වෛද්‍යවරුන් පවසනවා.

2. වැරදියි. අධ්‍යයනවලින් හෙළි වී තිබෙන්නේ ශරීරයට ගන්නා දුමෙන් සියයට 80ක්ම ශරීරයේම රැඳෙන බවයි.

3. වැරදියි. දුම්වැටියක් බිව්ව ගමන්ම ඔබ ලෙඩ නොවන බව ඇත්තයි. නමුත් ඔබ දුම්වැටියක් බොන හැම වාරයකදීම එය ඔබේ ශරීරයට අහිතකර ලෙස බලපානවා. උදාහරණයකට සමහර අය පළමු දුම්වැටියෙන්ම ඊට ඇබ්බැහි වෙනවා. ඊට අමතරව ක්‍රමක්‍රමයෙන් පෙණහලුවල ක්‍රියාකාරිත්වය දුර්වල වන අතර සුව නොවන කැස්සක්ද ඇති විය හැකියි. වයසට කලින් සම රැළි වැටෙයි. ලිංගික බෙලහීනතාව, නිකරුණේ භය වීමේ රෝගී තත්වය සහ මානසික අවපීඩනයද ඇති විය හැකියි.

4. වැරදියි. පර්යේෂකයෙකු වන ලොයිඩ් ජොන්ස්ටන් පැවසුවේ “දුම් පානය කරන අයට විරුද්ධ ලිංගයේ අය අකමැති” බවයි.

5. වැරදියි. ඔබ පිට කරන දුම, ඔබේ පවුලේ අයට, මිතුරන්ට හා සුරතල් සතුන්ටත් බලපානවා. වසරකට දහස් ගණනක් ඒ දුම නිසා මිය යනවා.

6. වැරදියි. දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ “පවිත්‍ර” ජීවිතයක් ගත කිරීමයි. (2 කොරින්ති 7:1) නමුත් දුම් පානය නිසා අපේ ශරීරය අපවිත්‍ර වෙනවා. ඒ වගේම එයින් අන් අයටත් හානියක් වෙනවා. කෙනෙක් එවැනි දේවල් කරනවා නම් ඔහුට දෙවිගේ මිතුරෙක් වෙන්න බැහැ.—මතෙව් 22:39; ගලාති 5:19-21.

ඔබට කළ හැකි දේ

කෙනෙක් ඔබට දුම්වැටියක් දුන්නොත් ඔබ මොනවාද කියන්නේ? “එපා. මම සිගරට් බොන්නේ නැහැ” කියා ස්ථිරව කියන්න. නමුත් සමහර අය ඔබට විහිළු කරන්න හෝ බල කරන්න පුළුවන්. ඒත් ඔබ ගත් තීරණය වෙනස් කරන්න එපා. ඔබට අයිතියක් තිබෙනවා ඔබ කළ යුතු දේ හා නොකළ යුතු දේ තීරණය කරන්න. එවැනි අවස්ථාවකදී ඔබට මෙහෙම කියන්න පුළුවන්.

● “සිගරට් බිව්වොත් වෙන දේ මම හොඳට දන්නවා.”

● “මට දැන්ම මැරෙන්න බැහැ! මට කරන්න ගොඩක් දේවල් තියෙනවා.”

● “මම තමයි සිගරට් බොනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ.”

කලින් සඳහන් කළ යෞවනයන් හා සමානව ඔබටත් දුම් පානය කිරීමට දැඩි ආශාවක් ඇති වෙන්න පුළුවන්. එවැනි පෙලඹීමක් ඇති වන විට පහත සඳහන් ප්‍රශ්න ගැන ටිකක් සිතා බලන්න.

● ‘සිගරට් බීමෙන් මට මොන වගේ ප්‍රයෝජනයක්ද ලැබෙන්නේ? සිගරට් එකක් බිව්වා කියලා යාළුවන් අතර මට පිළිගැනීමක් ලැබෙයිද? මගේ ජීවිතයට හානියක් වෙනවා දකින්න ආස යාළුවන්ව මට ඇත්තටම අවශ්‍යද?’

● ‘මුදල් නාස්ති වෙනවාට අමතරව සෞඛ්‍ය ගැටලු, ගෞරවය අහිමි වීම වැනි පැතිවලින් මට කොතරම් පාඩු සිදු වෙයිද?’

● ‘සිගරට් එකක් වෙනුවෙන් දෙවි එක්ක තියෙන මගේ මිත්‍රත්වය නැති කරගන්න මම කැමතිද?’

ඔබ දැනටමත් දුම් පානය නමැති ඇමට හසු වෙලා නම් ඉන් ගැලවීමට ඔබට කුමක් කළ හැකිද?

නැවැත්වීමට උපකාරයක්

1. අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න. දුම් පානය නතර කිරීමට ඔබ ගත් තීරණයට හේතු ලියන්න. නැවත නැවත ඒවා කියවන්න. දෙවි ඉදිරියේ පවිත්‍ර ජීවිතයක් ගත කිරීමට ඇති ආශාව දුම් බීම නතර කිරීමට ඔබට උපකාරවත් වෙයි.—රෝම 12:1; එෆීස 4:17-19.

2. උපකාර ලබාගන්න. ඔබ හොර රහසේ දුම් පානය කළා නම් දැන් ඔබට එය නැවැත්වීමට අවශ්‍ය බව ඔබට උපකාර කළ හැකි අයට කියන්න. ඒ වගේම ඔබට දෙවිගේ මිතුරෙක් වෙන්න අවශ්‍ය නම් යාච්ඤා කර දෙවිගෙන්ද උපකාරය ඉල්ලන්න.—1 යොහන් 5:14.

3. නවත්වන දිනයක් නියම කරගන්න. සතියකින් හෝ දෙකකින් නැවැත්වීමට දිනයක් නියම කරගෙන එය ඔබේ දිනදර්ශනයේ ලකුණු කරන්න. ඒ දවස ගැන පවුලේ අයටත් මිතුරන්ටත් කියන්න.

4. දුම් පානයට සම්බන්ධ හැම දෙයක්ම ඉවත් කරන්න. නැවැත්වීමට සිතූ දවසට කලින් ඔබේ කාමරයේ, වාහනයේ සහ ඔබේ ඇඳුම් සාක්කුවල ඇති දුම්වැටි සියල්ලම විනාශ කරන්න. ඒ වගේම ගිනිපෙට්ටි, ලයිටර් සහ අළු බඳුන්ද විනාශ කරන්න.

5. නතර කිරීමෙන් පසු ඇති වන අපහසුතාවන් විඳදරාගන්න. ඇති තරම් වතුර හෝ පලතුරු යුෂ පානය කරන්න. හොඳට නිදාගන්න. දුම් බීම නවතා දැමීම නිසා ඇති වන අපහසුතා කෙටි කාලීන බවත් ලැබෙන ප්‍රයෝජන දිගු කාලීන බවත් අමතක කරන්න එපා.

6. පෙලඹීම් ඇති වන අවස්ථා මඟහරින්න. ඔබට දුම් පානය කිරීමට පෙලඹීමක් ඇති වන තත්වයන් හා ස්ථාන මඟහරින්න. ඒ වගේම දුම් පානය කරන අයගෙන්ද ඈත් වී සිටින්න.—හිතෝපදේශ 13:20.

රැවටෙන්න එපා

සෑම වසරකම දුම්කොළ සමාගම් ඔවුන්ගේ ප්‍රචාරණ දැන්වීම් සඳහා මුදල් බිලියන ගණන් වැය කරනවා. ඔවුන් එතරම් මුදලක් වැය කරන්නේ යෞවනයන්ව ඉලක්ක කරගෙනයි. “අද යෞවනයා හෙට අපේ විශ්වාසවන්ත පාරිභෝගිකයා” කියා දුම්කොළ සමාගමක් ඔවුන්ගේ ලියවිල්ලක සඳහන් කර තිබුණා.

රැවටෙන්න එපා. දුම්කොළ සමාගම් බලන්නේ ඔබේ සල්ලි උදුරාගන්නයි. එයට ඉඩ දෙන්න එපා. දුම්කොළ සමාගම්වත් දුම් පානය කරන ඔබේ මිතුරන්වත් සිතන්නේ ඔබේ යහපත ගැන නොවෙයි. බයිබලයේ සඳහන් දෙවිගේ උපදෙස් පිළිපදින්න. ඒවා දී තිබෙන්නේ ‘ඔබේම ප්‍රයෝජනය සඳහායි.’—යෙසායා 48:17.

ඊළඟ පරිච්ඡේදය

මත්පැන් බොන්න කියා මිතුරන් ඔබට බල කරනවාද? ඔබේ සීමාව දැනගැනීම වැදගත් ඇයි කියා බලන්න.

[පාදසටහන]

^ 8 ඡේ. මෙම පරිච්ඡේදය දුම් පානය කරන අය ගැන කතා කළත් මෙහි විස්තර කරන ගැටලු සහ අහිතකර ප්‍රතිඵල බුලත්විට කන අයටත් අදාළයි.

බයිබල් උපදෙස

‘අපගේ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී සිටිමු.’—2 කොරින්ති 7:1.

යෝජනාවක්

‘තව එක සැරයක් දුම් බිව්වයි කියලා මුකුත් වෙන්නේ නැහැ’ කියා සිතීමෙන් වළකින්න. එසේ කිරීමෙන් ඔබ අත්හැරිය පුරුද්දට නැවතත් ඇදී යන්න පුළුවන්.—යෙරෙමියා 17:9.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

දුම් පානයට වඩා බුලත්විට කෑම වැනි දේවලින් වැඩි නිකටීන් ප්‍රමාණයක් ශරීරයට යා හැකියි. මුඛයේ හා උගුරේ පිළිකා වැලඳීමට හේතු වන විෂ ද්‍රව්‍ය 25ක් පමණ ඒවායේ අඩංගු වෙනවා.

ගත හැකි පියවර

මිතුරෙක් මට සිගරට් එකක් බොන්න කියලා බල කළොත් මම ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● දුම් බීමෙන් සිදු වන හානිය දැන සිටියත් ඔබට පෙලඹීමක් ඇති වෙන්නේ ඇයි?

● දුම් බීම හොඳ නැහැ කියා ඔබ සිතන්නේ කුමන හේතුවක් නිසාද?

[240වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මට සිගරට් එකක් දුන්නාම මම මෙහෙම කියනවා, ‘මට එපා. මට පිළිකාව හදාගන්න වුවමනාවක් නැහැ.’’’—ඇලේනා

[241යන පිටුවේ කොටුව/පින්තූරය]

මරිජුවානා ඒ තරම් නරක නැහැ නේද?

“ප්‍රශ්නවලට හොඳම බෙහෙත මරිජුවානා කියලයි සමහර අය කියන්නේ. අතුරු ආබාධ නැහැ කියලත් එයාලා කියනවා.” එසේ පැවසුවේ අයර්ලන්තයේ එලන්. ඔබත් ඒ හා සමාන දේවල් අසා තිබෙනවාද?

වැරදි අදහස. මරිජුවානාවලින් එච්චර අනතුරක් නැහැ.

නිවැරදි අදහස. මරිජුවානා භාවිතයෙන් මෙම අහිතකර ප්‍රතිඵල ලැබෙනවා හෝ ලැබෙන බවට සැක කරනවා. ඒවා නම් මතක ශක්තිය, ඉගෙනගැනීමේ හැකියාව, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ලිංගික හැකියාව වැනි දේ දුර්වල වීමයි. අධික කනස්සල්ල හා දරුණු මානසික රෝගී තත්වයන්ද ඇති විය හැකියි. මරිජුවානාවලට ඇබ්බැහි වූ කාන්තාවන්ට ලැබෙන දරුවන් තුළ අසාමාන්‍ය හැසිරීම් රටාවන් දැකිය හැකියි. ඒ වගේම ඔවුන්ට අවධානය දීමේ හා තීරණ ගැනීමේ හැකියාවද අඩු විය හැකියි.

වැරදි අදහස. සිගරට් තරම් මරිජුවානාවල දුම හානිකර නැහැ.

නිවැරදි අදහස. සිගරට් දුම නිසා ශ්වසන මාර්ගයේ තාර වැනි ද්‍රව්‍යයක් තැන්පත් වෙනවා. මරිජුවානාවල දුම නිසා රැඳෙන එම තාර වැනි ද්‍රව්‍යයේ ප්‍රමාණය හතර ගුණයකින් වැඩියි. ඒ වගේම සිගරට් දුමට වඩා මරිජුවානා දුමෙන් ඔබේ රුධිරයට එක් වන විෂ වායුවක් වන කාබන්මොනොක්සයිඩ් ප්‍රමාණයද පස් ගුණයකින් වැඩියි. සම්පූර්ණ සිගරට් පැකට් එකක් බීමෙන් ඔබේ ශරීරයට ඇතුල් වන පිළිකාකාරක ප්‍රමාණය, මරිජුවානා දුම්වැටි පහක් බොන විටම ඔබේ ශරීරයට ඇතුල් වෙනවා.

වැරදි අදහස. මරිජුවානාවලට ඇබ්බැහි වෙන්නේ නැහැ.

නිවැරදි අදහස. මානසික ගැටලු තිබෙන යෞවනයන් ඉක්මනින් මරිජුවානාවලට ඇබ්බැහි විය හැකියි. වෙනත් අය දිගු කාලයක් පාවිච්චි කිරීමෙන් එයට ඇබ්බැහි විය හැකියි. වාර්තාවලින් පෙන්වන්නේ මරිජුවානා භාවිත කරන යෞවනයන් කොකේන් වැනි වෙනත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට ඇති ඉඩකඩ වැඩි බවයි.

[244, 245යන පිටුවල කොටුව/පින්තූර]

දුම් බීමෙන් ඔබේ ශරීරයට සිදු වන හානි

සිගරට් දැන්වීම්වලට පෙනී සිටින්නේ නිරෝගී පුද්ගලයන්. නමුත් සිගරට් බීමෙන් ඇත්තටම සිදු වන හානිය මෙයයි.

මුඛය සහ උගුර: පිළිකා වැලඳිය හැකියි

[පින්තූරය]

දිවේ පිළිකාවක්

හෘදය: ධමනි සිහින් වී තද ගතියක් ඇති වෙයි. හෘදයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වන අතර හෘද රෝග වැලඳීමේ ප්‍රවණතාව හතර ගුණයකින් වැඩි වෙයි

[පින්තූරය]

අවහිර වූ ධමනියක්

පෙණහලු: වායු කෝෂවලට හානි සිදු වෙයි. ශ්වසන මාර්ගය ඉදිමෙයි. පිළිකාවක් වැලඳීමේ ප්‍රවණතාව 23න් ගුණයකින් වැඩි වෙයි

[පින්තූරය]

දුම් බොන කෙනෙකුගේ පෙණහැල්ලක්

මොළය: අංශභාගය ඇති වීමේ ප්‍රවණතාව හතර ගුණයකින් වැඩි වෙයි

සම: වයසට කලින් වියපත් බවක් පෙනෙයි

දත්: වර්ණය වෙනස් වෙයි

උදරය: පිළිකාවක් වැලඳිය හැකියි

අග්න්‍යාශය: පිළිකාවක් වැලඳිය හැකියි

මුත්‍රාශය: පිළිකාවක් වැලඳිය හැකියි

වකුගඩු: පිළිකාවක් වැලඳිය හැකියි

[239වන පිටුවේ පින්තූරය]

ඇම ගිල දමන මාළුවෙක් වගේ දුම් පානය කරන කෙනෙකුටත් මුලදී පොඩි සතුටක් ලැබුණත් ඔහුට ජීවිතයෙන්ම වන්දි ගෙවන්න සිදු වෙයි