Skip to content

පටුනට යන්න

වෙරි වෙනකම්ම බොන එක වැරදිද?

වෙරි වෙනකම්ම බොන එක වැරදිද?

34වෙනි පරිච්ඡේදය

වෙරි වෙනකම්ම බොන එක වැරදිද?

පහත සඳහන් ප්‍රශ්නවලට අදාළ පිළිතුර ඉදිරියේ ✔ ලකුණ දමන්න.

ඔබේ මිතුරන් වෙරි වෙන තුරු බොනවාද?

□ ඔව් □ නැහැ

ඔබේ මිතුරන් කවදා හරි මත්පැන් පානය කරන්න කියා ඔබට බල කර තිබෙනවාද?

□ ඔව් □ නැහැ

ඔබ කවදා හරි වෙරි වෙන තුරු මත්පැන් පානය කර තිබෙනවාද?

□ ඔව් □ නැහැ

සමහර වැඩිහිටියන් වෙරි වෙන තුරු බීමට ලොල්කමක් දක්වනවා. එක දිගට මත්පැන් බෝතලයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වුණත් බීමට ඔවුන්ට හැකියි. දැන් ඒ පුරුද්දට යෞවනයෝත් ඇබ්බැහි වෙලා! ඔවුන්ගෙන් සමහරදෙනෙක් තවම පාසැල් යන දරුවන් වීම කනගාටුවට කාරණයක්.

ඔබ තවම මත්පැන් පානය කිරීමට සුදුසු වයසක නොසිටියත් වෙරි වෙන තුරු බොන්න පෙලඹීමක් ඔබට ඇති වී තිබෙනවාද? එම ගැටලුවට ඔබ පමණක් නොව බොහෝ යෞවනයන් මුහුණ දෙනවා. * මේ ගැන ටිකක් සිතන්න. ‘ඇයි මම මත්පැන් බොන්නේ? ඒකෙන් මට මොන වගේ බලපෑමක් වෙයිද?’ දැන් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා ඒ ඉදිරියේ ඇති කොටුවේ ලකුණ දමන්න.

1. යෞවනයන් බොන්නේ මත්පැන්වල රසට ඔවුන් ආස නිසයි.

□ ඇත්ත □ බොරු

2. මත්පැන්වලින් වැඩිහිටියන්ට තරම් යෞවනයන්ට හානියක් වෙන්නේ නැහැ.

□ ඇත්ත □ බොරු

3. වෙරි වෙන්න බිව්වට මැරෙන්නේ නැහැ.

□ ඇත්ත □ බොරු

4. බයිබලයේ මත්පැන් පානය සම්පූර්ණයෙන්ම හෙළාදකිනවා.

□ ඇත්ත □ බොරු

5. වෙරි වෙනකම්ම බිව්වොත් ලෙඩ වෙයි. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ.

□ ඇත්ත □ බොරු

1. යෞවනයන් බොන්නේ මත්පැන්වල රසට ඔවුන් ආස නිසයි. පිළිතුර—බොරු. ඕස්ට්‍රේලියාවේ කළ සමීක්ෂණයකින් හෙළි වුණේ යෞවනයන්ගෙන් සියයට 36ක් සමාජයේ පිළිගැන්ම ලබන්න තිබූ ආශාව නිසා මත්පැන් බීමට පෙලඹුණු බවයි. එක්සත් ජනපදයේ කළ සමීක්ෂණයකින් හෙළි වුණේ යෞවනයන්ගෙන් සියයට 66ක් මත්පැන් බොන්නේ මිතුරන්ගේ බලපෑම නිසා කියායි. ඒ පිරිසෙන් අඩකට වඩා වැඩි සංඛ්‍යාවක් කියා සිටියේ ඔවුන් මත්පැන්වල පිහිට පතන්නේ ප්‍රශ්න අමතක කරන්න කියායි.

2. මත්පැන්වලින් වැඩිහිටියන්ට තරම් යෞවනයන්ට හානියක් සිදු වෙන්නේ නැහැ. පිළිතුර—බොරු. “මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළි වුණේ යෞවනයන් මත්පැන් පානය කිරීමෙන් තම සෞඛ්‍යයට හානි කරගන්නා බවයි. ප්‍රමාණය ඉක්මවා මත්පැන් ගන්නා යෞවනයන්ගේ මොළේ ක්‍රියාකාරිත්වයට විශාල බලපෑමක් ඇති විය හැකියි.”—ඩිස්කවර් සඟරාව.

අධික ලෙස මත්පැන් ගැනීමෙන් කුරුලෑ ඇති වීම, සම රැලි වැටීම, බර වැඩි වීම, මත්පැන් නැතුවම බැරි වීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැනි අහිතකර ප්‍රතිඵල ඇති විය හැකියි. ඒ වගේම ස්නායු පද්ධතියට, අක්මාවට සහ හෘදයටද හානි සිදු විය හැකියි.

3. වෙරි වෙන්න බිව්වට මැරෙන්නේ නැහැ. පිළිතුර—බොරු. අධික ලෙස මත්පැන් ගැනීමෙන් මොළයට අවශ්‍ය ඔක්සිජන් නොලැබෙයි. ඒ නිසා ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරිත්වය ටිකෙන් ටික අඩාළ විය හැකියි. වමනය, සිහිකල්පනාව නැති වීම, හුස්ම ගැනීමේ වේගය අඩු වීම හෝ අක්‍රමවත් වීම වැනි ලක්ෂණ එමගින් ඇති විය හැකි අතර සමහර අය මරණයට පවා පත් වෙනවා.

4. බයිබලයේ මත්පැන් පානය සම්පූර්ණයෙන්ම හෙළාදැක තිබෙනවා. පිළිතුර—බොරු. මත්පැන් පානය කිරීමවත් යෞවනයන් විනෝද වීමවත් වැරදියි කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. (ගීතාවලිය 104:15; දේශනාකාරයා 10:19) නමුත් ඔබ මත්පැන් සම්බන්ධයෙන් ඔබේ රටේ තිබෙන නීතිරීති පිළිපැදිය යුතුයි.—රෝම 13:1.

කෙසේවෙතත් බයිබලයේ ප්‍රමාණය ඉක්මවා මත්පැන් ගැනීම හෙළාදැක තිබෙනවා. “වයින් සමච්චල් කරන්නෙකි. මත්පැන් කෝලහල ඇති කරන්නෙකි. එයින් මුළාව යන්නෝ අඥානයෝය” කියා හිතෝපදේශ 20:1හි සඳහන් වෙනවා. මත්පැන් ගැනීම නිසා ඔබ මෝඩයෙක් ලෙස හැසිරීමට ඉඩ තිබෙනවා. තාවකාලික සතුටක් ලැබුණත් ප්‍රමාණය ඉක්මවා ගත්තොත් “එය සර්පයෙකු මෙන් දෂ්ට කරයි.” ඒ නිසා ඔබට බොහෝ කරදරවලට මුහුණ දෙන්න සිදු වෙයි.—හිතෝපදේශ 23:32.

5. වෙරි වෙන්න බිව්වොත් ලෙඩ වෙයි. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. පිළිතුර—බොරු. ඔබ වෙරි මතින් සිටින විට ඔබේ ජීවිතයට අනතුරක් විය හැකියි. සමහරවිට ඔබව දූෂණයට පවා ලක් විය හැකියි. ඒ වගේම ඔබත් අන් අයට අනතුරක් වන අයුරින් හැසිරීමට ඉඩ තිබෙනවා. ඔබ ප්‍රමාණය ඉක්මවා බිව්වොත් ‘ඔබේ සිතුවිලි විකෘති වෙයි’ කියා බයිබලයේ අනතුරු අඟවා තිබෙනවා. (හිතෝපදේශ 23:33) ඒ වගේම ඔබේ මිතුරන් ඔබව ආශ්‍රයෙන් ඈත් කරයි. පාසැලේ හෝ රැකියාවේ වැඩවලට අවධානය දීමට ඔබට නොහැකි වෙයි. නීති විරෝධී ක්‍රියාවකට හසු වීම සහ දිලිඳුකම වැනි බොහෝ දුක්ඛිත ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයි.—හිතෝපදේශ 23:21.

මේ සියලු දේට වඩා දෙවි හා ඔබ අතර ඇති මිත්‍රත්වයට සිදු වන හානිය ගැන සිතන්න. යෙහෝවා දෙවිට අවශ්‍ය ඔබ “නිතරම ඔබේ මනසේ මුල් තැන” ඔහුගේ සේවයට දෙනවා දකින්නයි. (මතෙව් 22:37) නමුත් අධික මත්පැන් පානය කිරීම නිසා ඔබේ මනස විකෘති වී ඇත්නම් දෙවි ඔබෙන් බලාපොරොත්තු වන දේ ඔබ ඉටු කරන්නේ කොහොමද? බයිබලයේ “අධික වයින්” පානය කිරීම විතරක් නොවෙයි, “තරඟයට මත්පැන්” පානයද හෙළාදැක තිබෙනවා. (1 පේතෘස් 4:3) එමනිසා වෙරි වෙන තුරු බීම දෙවි අකමැති දෙයක් බවත් ඔහුත් සමඟ සමීප මිත්‍රත්වයක් ඇති කරගැනීමට එය බාධාවක් වන බවත් තේරුම්ගන්න.

ඔබේ තේරීම කුමක්ද?

ඔබත් ඔබේ මිතුරන්ව අනුකරණය කරමින් වෙරි වෙන තුරු බීමට ලොල්කමක් දක්වනවාද? ‘මෙය හොඳින් තේරුම්ගන්න. ඔබ යමෙකුට කීකරු වීමට එකඟ වී ඔහුට යටත් වන විට ඔබ ඒ පුද්ගලයාගේ දාසයෙක් වෙයි.’ (රෝම 6:16) ඔබට අවශ්‍ය ඔබේ මිතුරන්ට හෝ මත්පැන්වලට දාසයෙක් වෙන්නද?

ඔබ වෙරි වෙන තුරු බොන්න පුරුදු වෙලා නම් ඉක්මනින්ම ඔබේ දෙමාපියන්ට හෝ දැනුම් තේරුම් ඇති මිතුරෙකුට ඒ බව පවසා උපකාර ලබාගන්න. යෙහෝවා දෙවිගේ උපකාරයත් අයදින්න. ‘දෙවි අපේ දුක් කරදරවලදී අපිට පිහිට වීමට සූදානමින් සිටිනවා.’ (ගීතාවලිය 46:1) වෙරි වෙන තුරු බොන්න යමෙකු පෙලඹෙන්නේ බොහෝවිට මිතුරන්ගේ බලපෑම නිසයි. එවැනි මිතුරන්ගෙන් ඈත් වෙන්න. * එය ඔබට පහසු දෙයක් නොවුණත් යෙහෝවා දෙවිගේ උපකාරයෙන් ඔබට එය කළ හැකියි.

ඊළඟ පරිච්ඡේදය

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කෙනෙකුට ඉන් මිදෙන්න පුළුවන්. ඒ කොහොමද කියා බලන්න.

[පාදසටහන්වල]

^ 11 ඡේ. වෙරි වෙන තුරු බොන්නේ කවුද?” යන 249වන පිටුවේ ඇති කොටුව බලන්න.

^ 32 ඡේ. වැඩි විස්තර සඳහා මෙම පොතේ 8වන සහ 9වන පරිච්ඡේදත් 2වන පොතේ 15වන පරිච්ඡේදයත් බලන්න.

බයිබල් උපදෙස

‘බේබද්දෝ දිලිඳුකමට පැමිණෙන්නෝය.’—හිතෝපදේශ 23:21.

යෝජනාවක්

ඔබට මත්පැන් අවශ්‍ය ඇයි කියා සොයා බලන්න. ඉන්පසු සතුටක් ලබාගැනීමට හෝ කනස්සල්ල අඩු කරගැනීමට ඔබට කළ හැකි සෞඛ්‍යයට හිතකර දේවල් මොනවාද කියා සිතා බලන්න.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

“නිතර නිතර වෙරි වෙන තුරු බොන යෞවනයන් සාමාන්‍ය යෞවනයන්ට වඩා අට ගුණයකින් පාසැලට නෑවිත් සිටීම, පාසැලෙන් දෙන ගෙදර වැඩ අතපසු කිරීම, තුවාල කරගැනීම හෝ දේපළ හානි කිරීම වැනි දේවල් කළ” බව එක්සත් ජනපදයේ වාර්තාවක සඳහන් වෙනවා.

ගත හැකි පියවර

වෙරි වෙන තුරු බොන්න කියා මගේ මිතුරන් මට කිව්වොත් ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● ඔබේ මිතුරන් මත්පැන් පානය කරන විට අනික් අයවත් ඊට හවුල් කරගැනීමට කැමති ඇයි?

● ඔබ පමණට වඩා මත්පැන් පානය කළා කියා විරුද්ධ ලිංගයේ අයට ඔබ කෙරෙහි හිත ඇදී යයිද? ඔබ එසේ පවසන්නේ ඇයි?

[250වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මගේ ඉස්කෝලේ යාළුවෝ මට මත්පැන් දුන්නම මම කියනවා, විනෝද වෙන්න මට බොන්නම ඕනේ නැහැ කියලා.’’—මාක්

[249වන පිටුවේ කොටුව]

 වෙරි වෙන තුරු බොන්නේ කවුද?

එංගලන්තය, ස්කොට්ලන්තය සහ වේල්ස් වැනි ප්‍රාන්තවල සිටින අවුරුදු 13ත් 14ත් අතර යෞවනයන්ව යොදාගෙන කළ සමීක්ෂණයකින් හෙළි වුණේ, “හතරදෙනෙකුගෙන් එක් අයෙක්, එක් වතාවකදී හෝ වෙරි වෙන තුරු මත්පැන් පානය කර තිබූ” බවයි. අවුරුදු 15ත් 16ත් අතර යෞවනයන් යොදාගෙන කළ සමීක්ෂණයකින් හෙළි වුණේ, ඔවුන්ගෙන් අඩක්ම එක් වතාවකදී හෝ වෙරි වෙන තුරු මත්පැන් පානය කර තිබූ බවයි. එක්සත් ජනපදයේ සෞඛ්‍යය හා මානව සේවා දෙපාර්තමේන්තුවට අනුව, “අවුරුදු 12ත් 20ත් අතර යෞවනයන් මිලියන 10.4ක් මත්පැන් පානය කරනවා. ඔවුන්ගෙන් මිලියන 5.1ක් ඉඳහිටවත් වෙරි වෙන තුරු මත්පැන් පානය කරන අයයි. ඒ වගේම මිලියන 2.3ක් මාසයකට පස් වතාවක් පමණ වෙරි වෙන තුරු මත්පැන් පානය කරන අයයි.” ඕස්ට්‍රේලියාවේ කළ සමීක්ෂණයකින් හෙළි වුණේ වෙරි වෙන තුරු මත්පැන් පානය කරන යෞවනයන් අතර ගැහැනු ළමයින්ගේ සංඛ්‍යාව වැඩි බවයි.

[251වන පිටුවේ පින්තූරය]

මත්පැන් සර්පයෙකු මෙන් හානි කරයි