Skip to content

පටුනට යන්න

මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක මම නතර කරන්නේ කොහොමද?

මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක මම නතර කරන්නේ කොහොමද?

35වෙනි පරිච්ඡේදය

මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක මම නතර කරන්නේ කොහොමද?

ඔබ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලාද? එසේනම් එයින් ඔබේ මනසට හා ශරීරයට කොතරම් හානියක් සිදු වෙනවාද කියා ඔබ දන්නවා ඇති. ඉන් මිදෙන්න ඔබ වෑයමක් දැරුවත් නැවතත් ඒ පුරුද්දට වැටී ඇති. ඒත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හුඟදෙනෙක් ඒ පුරුද්ද අත්හැර තිබෙනවා. ඔබටත් පුළුවන් ඉන් මිදෙන්න. එවැනි පුද්ගලයන් තුන්දෙනෙකුගේ ඇද්දැකීම් අපි සලකා බලමු.

නම: මාටා

පවුල් පසුබිම: මම ඉපදෙන කොට මගේ අම්මා අවිවාහකයි. මගේ නංගියි මමයි හැදුණේ පියෙකුගේ රැකවරණය නැතුවයි. අවුරුදු 12දී මම පුංචි අම්මත් එක්ක රාත්‍රී සමාජ ශාලාවලට ගියා. මම ඕන කෙනෙක් එක්ක කතාබහ කෙරුව නිසා නරක පුරුදු තිබ්බ අයවත් ආශ්‍රය කෙරුවා. අවුරුදු 13ක් වෙන කොට මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන්ගත්තා. මුලින්ම ඒක ගද්දී සතුටක් දැනුණා. ඒත් ටික දවසකින් මට විකාර දේවල් පේන්න පටන්ගත්තා. පොඩි දේට පවා මම භය වුණා. මත් ගතිය ගියාට පස්සේ දිවි නසාගන්න හිතුණා. මට ඒ පුරුද්ද අත්හරින්න ඕනෑ වුණත් ඒක කරන්න ශක්තියක් තිබුණේ නැහැ.

පුරුද්දෙන් මිදුණු ආකාරය: මම දෙවියන් ගැන හිතන්න පටන්ගත්තා. පල්ලියටත් ගියා. ඒත් කිසිම වැඩක් වුණේ නැහැ. අවුරුදු 18ක් වෙනකොට මම මගේ පෙම්වතා එක්ක ජීවත් වෙන්න පටන්ගත්තා. මට පුතෙක් ලැබුණට පස්සේ මගේ ජීවිතය වෙනස් කරගන්න තිබුණු ආසාව වැඩි වුණා. මේ කාලේදී තමයි මගේ පරණ යාළුවෙක් අපේ ගෙවල් ළඟ පදිංචියට ආවේ. එයා මාව බලන්න ආපු වෙලාවක මගේ හිතේ තිබ්බ හැම දෙයක්ම මම එයාට කිව්වා. එයා දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් කියලත් මට දෙවි ගැන කියලා දෙන්න කැමතියි කියලත් එයා මට කිව්වා. මම ඒකට කැමති වුණා.

මම ජීවිතය ගත කරන විදිහ ගැන දෙවි සතුටු නැහැ කියලා මම දැනගත්තා. මත්ද්‍රව්‍ය ගන්න එකත් සිගරට් බොන එකත් නවත්වන්න ඕනේ කියලත් මම ඉගෙනගත්තා. ඒත් මම පුදුම විදිහට ඒවාට ඇබ්බැහි වෙලා හිටියේ. යෙහෝවා දෙවිව සතුටු කරන්න මට ඕනෑ වුණ නිසා මම දවසට කිහිප සැරයක්ම යාච්ඤා කරලා උදව් ඉල්ලුවා. (හිතෝපදේශ 27:11) මාස හයක් බයිබලය පාඩම් කරන්නත් සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරන්නත් පටන්ගත්තට පස්සේ මට පුළුවන් වුණා මත්ද්‍රව්‍ය ගන්න එක නවත්වන්න. මගේ ජීවිතේ හැම නරක පුරුද්දක්ම මම අත්හැරියා. මානසික පීඩනයත් ගොඩක් දුරට අඩු වුණා. මට හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබුණා. ඔහුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක්. මම මගේ පුතාව බයිබල් ප්‍රතිපත්තිවලට අනුව හදා වඩා ගන්නවා. යෙහෝවා දෙවි මගේ යාච්ඤාවලට ඇහුම්කන් දුන්නු එක ගැන මගේ මුළු හදවතින්ම මම ඔහුට ස්තුති කරනවා.

නම: මාෂියෝ

පවුල් පසුබිම: මම හැදී වැඩුණේ බ්‍රසීලයේ නගරයක් වන සැන්ටෝ ඕන්ඩ්‍රේවල. පොඩි කාලේම සිගරට් බොන්නත් කුඩු ගහන්නත් පුරුදු වුණා. හොරකමුත් කළා. මගේ සමහර යාළුවෝ වාහන හොරකමේ සහ කුඩු ජාවාරමේ නියැලුණා. එක යාළුවෙක් අපේ ගමේ හිටපු තරුණ ළමයින්ට සල්ලි ගන්නේ නැතුව කුඩු දුන්නා. ඒ ළමයි කුඩු ගහන්න පුරුදු වුණාට පස්සේ එයාලට සල්ලි දීලා කුඩු ගන්න සිදු වුණා.

පොලීසිය නිතර නිතර අපේ ගමේ ගැවසුණා. මාව කිහිප වතාවක්ම පොඩි පොඩි වැරදිවලටත් එක වතාවක් කුඩු ජාවාරමට සම්බන්ධයි කියලත් සැක පිට අත්අඩංගුවට ගත්තා. අපේ කල්ලියේ අය හොරකම් කරන බඩු සහ තුවක්කු හංගලා තිබ්බේ මගේ ගෙදර.

මගේ ඇස් නිතරම රතු වෙලයි තිබුණේ. කවදාවත් මගේ මුහුණේ හිනාවක් තිබුණේ නැහැ. මට මිනීමරු පෙනුමක් තිබුණ නිසා මිනිස්සු මට හුඟක් භය වුණා. මම ගියගිය තැන රණ්ඩුවලට පැටලෙන නිසා මට ‘කුණාටුව’ කියලා නමකුත් දාලා තිබුණා. මම සීමාවක් නැතුව මත්පැන් බිව්වා. ගත කළේ අනාචාර ජීවිතයක්. මගේ යාළුවෝ හුඟදෙනෙක් මැරුණා. තවත් අය හිරේ ගියා. මම මානසිකව වැටුණ නිසා දවසක් බෙල්ලේ වැල දාගන්නත් හැදුවා.

පුරුද්දෙන් මිදුණු ආකාරය: මම දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා. කාලයක් ගියාට පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහිලා මම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. දෙවිගේ නම යෙහෝවා කියලත් ඔහු මිනිසුන්ට ආදරය කරන, ඔහුගේ ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න කැමති අයට උදව් කරන දෙවි කෙනෙක් කියලත් මම ඉගෙනගත්තා. (ගීතාවලිය 83:18; 1 පේතෘස් 5:6, 7) මගේ ජීවිතේ ගොඩක් දේවල් මට වෙනස් කරන්න වුණා. අමාරුම දේ වුණේ හිනා වෙන්න ඉගෙනගන්න එක.

මම නිතරම යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලුවා වගේම බයිබලයේ සඳහන් උපදෙසුත් අදාළ කරගත්තා. මම පරණ යාළුවන්ගෙන් ඈත් වුණා. තැබෑරුම්වලට යන එක නතර කළා. මම දෙවිගේ ප්‍රතිපත්ති ගරු කරන අයව ආශ්‍රය කරන්න පටන්ගත්තට පස්සේ මගේ ජීවිතේ වෙනස් කරගන්න මට ඕන වුණා. ඒක ලේසි වුණේ නැහැ. ඒත් මං ඒක කළා. මම දැන් හොරෙක්වත් කරදරකාරයෙක්වත් නෙමෙයි. මම කුඩු ගහන එක නතර කරලා දැන් අවුරුදු දහයකටත් වැඩියි.

නම: ක්‍රේග්

පවුල් පසුබිම: මම හැදුණේ දකුණු ඕස්ට්‍රේලියාවේ ගොවිපොළක. මගේ තාත්තා හරියට බිව්වා. මට අවුරුදු අටක් වෙන කොට අම්මයි තාත්තයි වෙන් වුණා. මගේ අම්මා ආයෙත් බැන්දා. මම අවුරුදු 17ක් වෙනකම්ම හිටියේ අම්මත් එක්ක. ඒ කාලේදී මම බැටළු ලොම් කපන්න ඉගෙනගත්තා. ඊටපස්සේ මම බැටළු ලොම් කපන කට්ටියක් එක්ක එකතු වෙලා ඒ වැඩ තියෙන තැන් හොයාගෙන ගියා. මම මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් පාවිච්චි කළා. මත්පැනුත් බිව්වා. මට තිබුණේ දිග කොණ්ඩයක්. ඒක ගොතලා පබළු අල්ලලා තිබුණා. මට පොඩ්ඩ එහා මෙහා වුණොත් කේන්ති යනවා. මම අනික් අයට හරියට ඊර්ෂ්‍යා කෙරුවා. කිහිප සැරයක් හිරේටත් ගිහිල්ලා තියෙනවා.

මම මගේ පෙම්වතියත් එක්ක බටහිර ඕස්ට්‍රේලියාවේ පුංචි නගරයක පදිංචියට ගියා. ඇය වැඩ කෙරුවේ තැබෑරුමක. අපි දෙන්නම හොඳට මත්පැන් බිව්වා. සිගරට් බිව්වා. අපි මරිජුවානා වගාවකුත් කරගෙන ගියා.

පුරුද්දෙන් මිදුණු ආකාරය: අපි මරිජුවානා අස්වැන්න කපපු හැටියේම වගේ තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපේ ගෙදරට ආවේ. මම එයාලා කියපු දේවල් පිළිගත්තේ නැහැ. ඒත් කාලයක් යන කොට බයිබලයේ කියලා තියෙන දේවල් ඇත්ත කියලා මම තේරුම්ගත්තා. ඊටපස්සේ මම ටිකෙන් ටික මගේ ගැටලුවලින් ගොඩ ආවා.

මරිජුවානා පාවිච්චි කරන එකත් මම අත්හරින්න ඕනේ කියලා තේරුම්ගත්තා. ඒත් ඒක කරන එක ලේසි වුණේ නැහැ. මම හුඟක් මහන්සි වෙලයි මරිජුවානා වගාව පටන්ගත්තේ. ඒ නිසා මම හිතුවා ඒ වගාව කාට හරි භාර දෙන්න. ඒත් ඒක හරි තීරණයක් නෙමෙයි කියලා මට තේරුණා. පස්සේ මම වගාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට පුරුදු වෙලා හිටිය මට, එයින් ගොඩ එන්න යාච්ඤාව ලොකු උපකාරයක් වුණා. මට තිබුණ ගැටලුවලින් ගොඩ එන්න මම දෙවිගේ බලය ඉල්ලුවා. මගේ නරක යාළුවන්ව මම අත්හැරියා. බයිබලයෙන් ඉගෙනගත්තු දේවල් ජීවිතයට අදාළ කරගන්න කොට මගේ ගතිගුණ වෙනස් කරගන්න මට පුළුවන් වුණා. මගේ පෙම්වතියත් බයිබලය පාඩම් කරලා එයාගේ ජීවිතයත් වෙනස් කරගත්තා. අපි දෙන්නා විවාහ වුණා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක නතර කරපු නිසා දැන් අවුරුදු 21ක් පුරා ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න අපට පුළුවන් වෙලා තියෙනවා. අපිට දැන් පුතාලා දෙන්නෙක් ඉන්නවා. මට මගේ ජීවිතය වෙනස් කරගන්න යෙහෝවා දෙවිගේ උදව් ලැබුණේ නැත්නම් මම අද කොහේ ඉඳීද කියලා මම නිතරම කල්පනා කරනවා.

බයිබල් උපදෙස

‘යෙහෝවා දෙවියනි, මට ශක්තියත් ආරක්ෂාවත් ලැබෙන්නේ ඔබගෙන්.’—යෙසායා 12:2.

යෝජනාවක්

මත්ද්‍රව්‍ය ගැනීමට පෙලඹීමක් ඇති කළ පුද්ගලයන්, ස්ථාන හා දේවල් හැකි නම් මඟහරින්න. පර්යේෂකයන් පවසන්නේ එවැනි දේ දැකීම පවා ඔබ තුළ නැවත ඒ සඳහා ආශාවක් ඇති කළ හැකි බවයි.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

මත්ද්‍රව්‍ය ගැනීම නිසා ඔබේ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා.

ගත හැකි පියවර

නැවතත් ඒ පුරුද්දට වැටුණොත් මම කරන්නේ ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● යමෙකුට මත්ද්‍රව්‍ය ගැනීම නතර කිරීමට අවශ්‍ය නම් ජීවිතයේ විශාල වෙනස්කම් කළ යුත්තේ ඇයි?

● දෙවි ගැන ඉගෙනගැනීම ඊට උපකාරයක් වෙන්නේ කොහොමද?

[253වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘බයිබලයේ උසස් ප්‍රමිතිවලට එකඟව ජීවත් වන නිසා සතුටින් හා අර්ථවත්ව ජීවිතය ගත කරන්න මට පුළුවන් වෙලා තියෙනවා.’’—මාටා

[256වන පිටුවේ පින්තූරය]

වැරදි පුරුදු අත්හරින එක හරියට ගිනිගන්න ගෙයකින් දිවි ගලවාගන්නවා වගෙයි. ඔබට බඩු ටික බේරගන්න බැරි වුණත් ජීවිතය බේරගන්න පුළුවන්