Skip to content

පටුනට යන්න

ඇයි මට ටිකක් විනෝද වෙන්න දෙන්නේ නැත්තේ?

ඇයි මට ටිකක් විනෝද වෙන්න දෙන්නේ නැත්තේ?

37වෙනි පරිච්ඡේදය

ඇයි මට ටිකක් විනෝද වෙන්න දෙන්නේ නැත්තේ?

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඇලිසන් නමැති යෞවනියට සඳුදා ඉස්කෝලේ යනවා කියන එක මහ හිසරදයක්.

“හැම සඳුදාවකම උදේට ළමයි කතා කරන්නේ සති අන්තයේ එයාලා විනෝද වෙච්ච හැටි. ගිය පාටි ගැනයි, කොල්ලෝ එක්ක කරපු දේවලුයි, පිස්සු වැඩ කරලා පොලිසියෙන් එළවගෙන ආපු විදිහයි, එයාලා රස කරකර කියනවා. සමහර දේවල් අහද්දී භයත් හිතෙනවා. හැබැයි පොඩි ජොලියකුත් තියෙනවා. මුළු රෑම එයාලා විනෝද වෙලා ගෙදර ඇවිත් තියෙන්නේ උදේ පහට! එයාලගේ අම්මලාට නම් ගාණක්වත් නැහැ. ඒ වුණාට මම රෑ නමය දහය වෙන කොටම ඇඳේ.

“එයාලා මගෙන් අහනවා මම මොනවද සති අන්තයේ කෙරුවේ කියලා. මම ඉතින් මොනවද කළේ, සභාවේ රැස්වීම්වලට ගියා, දේශනා සේවයේ ගියා. ඒව කිව්වාට එයාලට තේරෙන්නේ නැහැ. ඒ නිසා මම කියනවා ‘කිසිම දෙයක් කෙරුවේ නැහැ’ කියලා. එතකොට එයාලා කියනවා ‘අපරාදේ! ඔයාට අපිත් එක්ක එන්න තිබ්බා’ කියලා. ඒ වෙලාවට මට දුක හිතෙනවා.

“සඳුදා දවස ඒ විදිහට ගෙවාගන්නවා. එතැනින් ඉවර වෙන්නේ නැහැ. ඊටපස්සේ ළමයි කතා වෙනවා ඊළඟ සති අන්තයේ මොනවද කරන්නේ කියලා. හැම සතියෙම ඉතින් මට එයාලා කරන දේවල් අහං ඉන්න තමයි වෙලා තියෙන්නේ. මට ඒ වගේ විනෝද වෙන්න බැහැනේ.”

ඔබටත් සඳුදා පාසැලට ගියාම දැනෙන්නේ ඒ වගේද? ඔබේ මිතුරන් හිතේ හැටියට විනෝද වෙද්දී ඔබට කිසිම දෙයක් කරන්න දෙමාපියන් අවසර දෙන්නේ නැහැයි කියා ඔබට සිතෙනවාද? සමහරවිට ඔබේ මිතුරන් කරන හැම දෙයක්ම කරන්න ඔබට වුවමනාවක් නැතුව ඇති. ඒත් ඉඳලා හිටලා හරි විනෝද වෙන්න තියෙනවා නම් හොඳයි කියා ඔබ සිතනවා ඇති. පහත සඳහන් දේවලින් මේ සති අන්තයේ ඔබ කරන්න ආස කුමක්ද?

□ නටන්න

□ සාදයකට යන්න

□ සංගීත ප්‍රසංගයකට

□ චිත්‍රපටියක් යන්න බලන්න

□ වෙනත් ․․․․․

විනෝදය ජීවිතයට අවශ්‍යයි. විනෝදයක් නැති ජීවිතය නීරසයි. යෙහෝවා දෙවි කැමති ඔබ ඔබේ තරුණ කාලය සතුටින් ගත කරනවාට. (දේශනාකාරයා 3:1, 4) දෙමාපියනුත් කැමති තමන්ගේ දරුවන් සතුටින් ජීවත් වෙනවා දකින්න. නමුත් ඔවුන් මේ කරුණු දෙක ගැන සැලකිලිමත් වෙනවා ඇති. එනම් (1) විනෝදය සඳහා ඔබ කරන්නේ මොනවාද සහ (2) විනෝද වෙන්නේ කා සමඟද යන්නයි.

දැන් මේ විදිහට හිතන්න. ඔබට යහළුවෙකුගෙන් ආරාධනාවක් ලැබෙනවා මිතුරු හමුවකට. නමුත් ඔබේ දෙමාපියන් ඔබට යන්න අවසර දෙයිද කියා ඔබට සැකයි. ඔබ මොන වගේ තීරණයක්ද ගන්නේ? ඔබට කළ හැකි දේවල් තුනක් සහ ඒවායින් අත් වන ප්‍රතිඵල සලකා බලන්න.

පළමුවන තීරණය නොකියා යනවා

ඔබ එසේ තීරණය කිරීමට හේතුව: දෙමාපියන්ගේ අවසරය නැතුව වුණත් ඔබට ඕනෑම දෙයක් කරන්න නිදහස තිබෙනවා කියා මිතුරන්ට පෙන්වන්න ඔබ කැමතියි. ඒ වගේම දෙමාපියන්ට වඩා ඔබට යම් කාරණා ගැන අවබෝධයක් තිබෙනවා කියා හෝ ඔවුන්ගේ තීරණ ඔබට වැදගත් නැහැයි කියා හෝ ඔබ සිතනවා ඇති.—හිතෝපදේශ 14:18.

ප්‍රතිඵල: එසේ කටයුතු කරද්දී මිතුරන්ගේ හිත දිනාගන්න ඔබට පුළුවන් වෙයි. ඒත් ඔබ දෙමාපියන්ට විශ්වාසවන්ත නැත්නම් කවදා හරි දවසක මිතුරන්ගේ විශ්වාසයත් බිඳියි කියා ඔවුන් සිතන්න ඉඩ තිබෙනවා. ඒ වගේම ඔබ කළ දේ දෙමාපියන් දැනගත්තොත් ඔබ ගැන ඔවුන්ට තිබෙන විශ්වාසය බිඳෙන අතර ඔවුන්ගේ සිතට වේදනාවක් දැනෙයි. ඔබට දඬුවම් කිරීමට පවා ඉඩ තිබෙනවා. ඒ මොන දේ වුණත් දෙමාපියන්ට අකීකරු වී නොකියා යෑම නම් හොඳ දෙයක් නොවෙයි.—හිතෝපදේශ 12:15.

දෙවන තීරණය යන්නේ නැහැ

ඔබ එසේ තීරණය කිරීමට හේතුව: මිතුරන් කරන්න යන දේ එතරම් හොඳ දෙයක් නොවෙයි කියා හෝ එයට සහභාගි වන අය හොඳ අය නොවෙයි කියා ඔබට සිතෙන නිසයි. (1 කොරින්ති 15:33; ෆිලිප්පි 4:8) එහෙම නැත්නම් ඔබ යන්න ආසයි ඒත් දෙමාපියන්ගෙන් අහන්න භයයි.

ප්‍රතිඵල: ඔබ නොයන්න තීරණය කළේ මිතුරන් කරන්න යන දේ එතරම් හොඳ නැහැයි කියා ඔබ දන්න නිසා නම් ඔබේ තීරණය මිතුරන්ට කියන්න ඔබ භය වෙන්නේ නැහැ. නමුත් ඔබ නොයන්නේ ඒ ගැන දෙමාපියන්ගෙන් අහන්න භය නිසා නම්, ඔබට විතරයි විනෝද වීමට අවස්ථාවක් නැත්තේ කියා සිතමින් ඔබ දුක් වෙයි.

තුන්වන තීරණය අහලා බලනවා

ඔබ එසේ තීරණය කිරීමට හේතුව: යම් තීරණ ගන්න දෙමාපියන්ට අයිතියක් තිබෙන බවත් ඔබ ඔවුන්ට කීකරු විය යුතු බවත් ඔබ පිළිගන්න නිසයි. (කොලොස්සි 3:20) ඔබ දෙමාපියන්ට ආදරෙයි. ඒ නිසා දෙමාපියන්ට නොකියා දේවල් කර ඔවුන්ගේ සිත රිදවන්න ඔබ කැමති නැහැ. (හිතෝපදේශ 10:1) ඒ වගේම ඔබ යන්න ආස ඇයි කියා දෙමාපියන්ට පැහැදිලි කර දීමටත් ඔබට අවස්ථාවක් ලැබෙනවා.

ප්‍රතිඵල: ඔබ දෙමාපියන්ට දක්වන ගෞරවය හා ආදරය ඔවුන් හුඟක් අගය කරයි. ඔබේ ඉල්ලීම සාධාරණයි කියා ඔවුන්ට සිතුණොත් ඒ මිතුරු හමුවට යන්න ඔවුන් ඔබට අවසර දෙයි.

දෙමාපියන් අවසර නොදෙන්නේ ඇයි?

දෙමාපියන් අවසර නොදෙන විට යම් දුකක්, කේන්තියක් හෝ කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඔවුන් එසේ කරන්නේ ඇයි කියා ඔබ තේරුම්ගත්තොත් ඔවුන් දමා තිබෙන සීමා තහංචිවලට කීකරු වෙන්න ඔබට පහසු වෙයි. සමහරවිට ඔවුන් අවසර නොදෙන්නේ පහත සඳහන් හේතු නිසා විය හැකියි.

ඔවුන්ට ජීවිතය ගැන අද්දැකීම් වැඩියි. උදාහරණයකට මුහුදු වෙරළක ජීවිතාරක්ෂක භටයන් සිටිනවා නම් එම මුහුදේ දිය නෑමට ඔබ භය වෙන්නේ නැහැ. ඊට හේතුව මුහුදේ විනෝද වෙමින් සිටින විට ඔබට අනතුරු ගැන අවධානයක් දෙන්න බැරි වුණත් ජීවිතාරක්ෂක භටයින් හැම දෙයක් ගැනම අවධානයෙන් සිටින බව ඔබ දන්නවා.

ඒ හා සමානව ඔබේ දෙමාපියන් ජීවිතයේ ලබා තිබෙන අද්දැකීම් හා දැනුම නිසා ඔබට නොපෙනෙන අනතුරු ඉක්මනින්ම හඳුනාගන්න ඔවුන්ට හැකියාවක් තිබෙනවා. ඒ නිසා යම් අවස්ථාවලදී ඔබේ ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඔවුන් එසේ කරන්නේ ඔබට විය හැකි යම් අනතුරකින් ඔබව ආරක්ෂා කරගන්න මිස ඔබේ සතුටට බාධා කරන්න නොවෙයි.

ඔබට ආදරේ නිසයි. ඕනෑම මවකගේ හා පියෙකුගේ ආශාව, තම දරුවන්ව ආරක්ෂා කරගැනීමයි. ඔවුන් ඔබට ආදරය කරන නිසා යම් දේවල්වලට ඔබට අවසර දෙයි. නමුත් අනතුරක් තිබෙන බව පෙනුණොත් ඔවුන් එපා කියයි. එසේ කරන්නේ ඉන් ඔබට හානියක් සිදු වුණොත් ඔබටත් ඔවුන්ටත් දුක් විඳින්න සිදු වන බව ඔවුන් දන්නා නිසයි.

අවසර ලබාගන්න නම් ඔබ කළ යුතු දේ

ඔබ කාරණා හතරක් ගැන සැලකිලිමත් විය යුතුයි.

අවංක වෙන්න: ඔබ මේ ගැන ටිකක් සිතා බලන්න. ‘මට මේ ගමන යන්න ඕනේ ඇයි? මට විනෝද වෙන්න ඕනේ නිසාද? නොගියොත් යහළුවන් විහිළු කරන නිසාද? එසේත් නැත්නම් මම කැමති ගැහැනු ළමයා හෝ පිරිමි ළමයා එන නිසාද?’ ඔබේ දෙමාපියන් ඔබේ වයස පසු කර සිටින නිසා ඔබේ හැඟීම් ඔවුන්ට හොඳින් තේරුම්ගන්න පුළුවන්. ඒ නිසා අවංකව ඔවුන්ට සියලු දේ කියන්න. එය ඔවුන් අගය කරයි. ඔවුන් ඔබට යම් මඟ පෙන්වීම් දෙන්නේ ඔබේම ප්‍රයෝජනයට බව අමතක කරන්න එපා. (හිතෝපදේශ 7:1, 2) අනික් අතට දෙමාපියන්ට බොරු කියා අසු වුණොත් ඉදිරියේදී ඔබ කරන ඕනෑම ඉල්ලීමක් ඔවුන් ප්‍රතික්ෂේප කරයි.

සුදුසු වෙලාවක් තෝරාගන්න: දෙමාපියන් මහන්සියෙන් සිටින විට හෝ වැඩ ඇරී නිවසට පැමිණි විගස ඔවුන් සමඟ එවැනි කාරණා ගැන කතා කරන්න එපා. ඔවුන් නිදහසේ සිටින වෙලාවක ඒ ගැන කතා කරන්න. නමුත් අවසාන මොහොත වන තුරු ඒ ගැන අහන්න බලාගෙන ඉන්නත් එපා. කල් ඇතුව ඒ ගැන කතා කළොත් ඔබේ දෙමාපියන්ට ඒ ගැන සිතන්න කාලය ලැබෙන අතර ඔබ ඔවුන් ගැන සැලකිලිමත් වූ නිසා ඔවුන් එය අගය කරයි.

සියලු තොරතුරු දෙන්න: දෙමාපියන් අසන සියලුම ප්‍රශ්නවලට හොඳින් පිළිතුරු දෙන්න. උදාහරණයකට “ඔයත් එක්ක යන්නේ කවුද” “වැඩිහිටියෙක් ඉන්නවාද” “ඉවර වෙන්නේ කීයටද” වැනි ප්‍රශ්නවලට ඔබ “දන්නේ නැහැ” කියා පැවසුවොත් ඔබට අවසර නොලැබීමට තිබෙන ඉඩකඩ වැඩියි.

හොඳ ආකල්පයක් තබාගන්න: ඔබේ දෙමාපියන් සතුරන් කියා සිතනවා වෙනුවට ඔවුන් ඔබේ මිතුරන් කියා සිතන්න. යම් අවස්ථාවක ඔවුන් අවසර නොදුන්නොත් ඒ ගැන කෝප නොවී ඔවුන්ව තේරුම්ගැනීමට උත්සාහ කරන්න. දෙමාපියන් අවසර නොදුන්නොත් “මාව විශ්වාස නැද්ද” “අනික් අයගේ අම්මලා තාත්තලා එයාලට යන්න දෙනවා” වැනි දේවල් පවසන්න එපා. ඔවුන්ගේ තීරණවලට ගරු කිරීමෙන් ඔබ දැනුම් තේරුම් ඇති කෙනෙක් බව පෙන්වන්න. එසේ කළොත් ඔවුනුත් ඔබට ගරු කරයි. ඒ වගේම ඊළඟ වතාවේදී ඔබේ ඉල්ලීම ගැන ටිකක් සිතා බැලීමටත් ඉඩ තිබෙනවා.

තවත් දැනගැනීමට 2වන පොතේ 32වන පරිච්ඡේදය බලන්න

බයිබල් උපදෙස

‘මාගේ පුත්‍රය, ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න.’—හිතෝපදේශ 27:11.

යෝජනාවක්

ඔබ මිතුරු හමුවකට යන්න අදහස් කරනවා නම් නුසුදුසු දේවල් සිදු වුණොත් ඔබ එතැනින් පිට වෙන්නේ කොහොමද කියා කල් ඇතුව සිතා බලන්න. එවැනි අවස්ථාවක කරන කියන දේ කල්තියාම දැන සිටිනවා නම් බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට විරුද්ධ දෙයක් සිදු වීමට කලින් ඔබට එතැනින් පිට වීමට හැකි වෙයි.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබ ගැන සැලකිලිමත් වන දෙමාපියන් වැඩිපුර හිතන්නේ ඔබේ ආරක්ෂාව ගැනයි. ඒ නිසා ඔබ ඉල්ලන දේ ගැන ඔවුන්ට හරි වැටහීමක් නැත්නම් හෝ ඔබ යම් තොරතුරු පවසන්නේ නැහැයි කියා ඔවුන්ට හැඟෙනවා නම් බොහෝදුරට ඔවුන් ඔබේ ඉල්ලීමට එකඟ නොවෙයි.

ගත හැකි පියවර

චිත්‍රපටයක් නරඹන විට හෝ මිතුරු හමුවකදී දකින හෝ අහන්න ලැබෙන දෙයක් නිසා මගේ හිත වධ දෙනවා නම් මම ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● දෙමාපියන්ගේ අවසරය අවශ්‍ය වන විට ඔබ ඔවුන්ට සියලු තොරතුරු නොදෙන්නේ කුමන හේතුවක් නිසා විය හැකිද?

● වැදගත් තොරතුරු සඟවා දෙමාපියන්ගේ අවසරය ලබැගැනීමෙන් සිදු විය හැකි අහිතකර ප්‍රතිඵල මොනවාද?

[268වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘ඉස්කෝලේ යන කාලේ මං හරි මෝඩයි. විනෝදෙට මං කරපු සමහර දේවල් ඇත්තටම හොඳ දේවල් නෙමෙයි. අපි කරන දේවල්වල ප්‍රතිඵල කවදා හරි අපිට විඳින්න වෙනවා. අම්මලා කියපු දේවල් ඇහැව්වේ නැති එක ගැන මම අදටත් දුක් වෙනවා.’’—බ්‍රයන්

[269වන පිටුවේ පින්තූරය]

ජීවිතාරක්ෂක භටයින් මෙන් ඔබේ දෙමාපියන්ද ඔබට සිදු විය හැකි අනතුරු ගැන අවධානයෙන් සිටිනවා