Skip to content

පටුනට යන්න

මම කොහොමද සතුටින් දෙවිට නමස්කාර කරන්නේ?

මම කොහොමද සතුටින් දෙවිට නමස්කාර කරන්නේ?

38වෙනි පරිච්ඡේදය

මම කොහොමද සතුටින් දෙවිට නමස්කාර කරන්නේ?

ජොෂ්ගේ වයස අවුරුදු 16යි. ඔහු කුඩා කාලයේ සිටම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ලෙසයි හැදී වැඩුණේ. සභා රැස්වීම්වලට යන එක සාමාන්‍යයෙන් ඔහුගේ පවුලේ අය කළ දෙයක්. ඒත් කාලයක් යද්දී ජොෂ්ට රැස්වීම්වලට තිබුණු උනන්දුව අඩු වුණා. එක දවසක් ඔහු නිදාගෙන ඉන්න කොට ඔහුගේ මව ඇවිත් මෙහෙම කිව්වා. “ජොෂ් නැඟිටින්න. ඔයා දන්නවා අද රැස්වීමට යන්න ඕනේ කියලා.”

“අනේ අම්මේ යන්නම ඕනෙද” කියා ජොෂ් කෙඳිරිගෑවා.

“කෙඳිරිගෑවා ඇති. ගිහින් ඇඳගන්න. ඔයා නිසා අදත් මට පරක්කු වෙන්න බැහැ” කියා මව කාමරයෙන් පිට වුණා.

“අම්මේ, මේ ආගම ඔයාගේ. මගේ නෙමෙයි” කියා ඔහු කිව්වා. ඔහු කිව්ව දේ මවට ඇසුණා කියා ඔහු දන්නවා.

ඇයව රිද්දන්න ඔහුට වුවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසා කියූ දේ ගැන ඔහුට දුක හිතුණා. ඒත් ඔහු මවගෙන් සමාව ඉල්ලුවේ නැහැ.

ඔහු අකමැත්තෙන් රැස්වීමට යන්න සූදානම් වෙමින් මෙහෙම හිතනවා. “මට ඕනේ නැහැ සභාවේ ඉන්න අනික් ළමයි වගේ වෙන්න. මට තනියෙන් තීරණයක් ගන්න පුළුවන් වෙන දාට මම තීරණය කරනවා මට ආගමක් ඕනේද නැද්ද කියලා.”

ඔබටත් ඒ වගේ හිතිලා තියෙනවාද? වෙනත් යෞවනයන් දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ දේවල් සතුටින් කරද්දී ඔබට එවැනි සතුටක් නැත්තේ ඇයි කියා ඔබ සිතනවා ඇති. උදාහරණයකට,

● බයිබලය අධ්‍යයනය කිරීම ඔබට කරදරයක්ද?

● ශුභාරංචිය දේශනා කරන්න ඔබ අකමැතිද?

● රැස්වීම් නීරසයි කියා ඔබට සිතෙනවාද?

ඉහත සඳහන් දේවලින් එකකට හෝ ඔබ ඔව් කියා පිළිතුරු දුන්නා නම් අධෛර්යය වෙන්න එපා. දෙවිට කරන නමස්කාරයෙන් ප්‍රීතියක් ලබන්න ඔබට පුළුවන්. දැන් අපි ඒ ගැන සලකා බලමු.

පළමුවන අභියෝගය බයිබලය අධ්‍යයනය කිරීම

අභියෝගයක් වෙන්නේ ඇයි? ඔබ පොත පතේ වැඩට එච්චර උනන්දුවක් නැති, යම් දෙයකට දිගටම අවධානය දෙන්න බැරි කෙනෙක් කියා සමහරවිට ඔබට සිතෙන්න පුළුවන්. ඒ වගේම ඔබට පාසැලෙන් දෙන ගෙදර වැඩත් වැඩියි කියා ඔබ සිතනවා ඇති. ඒ නිසා බයිබලය අධ්‍යයනය කිරීම ඔබට අභියෝගයක් විය හැකියි.

ඔබ එය කළ යුත්තේ ඇයි? බයිබලය දෙවිගෙන් ලැබී තිබෙන පොතක්. ඒ වගේම “එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්‍රයෝජනවත්.” (2 තිමෝති 3:16) ඔබ බයිබලය හොඳින් අධ්‍යයනය කර එහි තොරතුරු ගැඹුරින් කල්පනා කර බලනවා නම් ඔබට ලැබෙන දැනුම කොතරම්ද කියා වචනයෙන් විස්තර කරන්න බැහැ. මේ දේ හිතන්න. ඔබට වටිනා දෙයක් ලබාගන්න ඕනේ නම් ඔබ ඒ වෙනුවෙන් යමක් කැප කළ යුතුයි. ක්‍රීඩාවක් දක්ෂ ලෙස කරන්න නම් එහි නීතිරීති දැනගෙන හොඳින් පුහුණු විය යුතුයි. නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගන්න නම් ව්‍යායාම් කළ යුතුයි. ඒ හා සමානව යෙහෝවා දෙවි ගැන දැනගන්න ඕනේ නම් ඔබ බයිබලය අධ්‍යයනය කළ යුතුයි.

ඔබේම වයසේ සිටින අය පවසන දේ. “මගේ පන්තියේ හිටපු යාළුවෝ හුඟක් වැරදි දේවල් කෙරුවා. ඒ නිසා එයාලා දේවල් කරන විදිහට මමත් කරනවාද නැත්නම් මගේ අම්මලා මට උගන්වලා තියෙන විදිහට මම දේවල් කරනවාද කියලා තීරණයක් ගන්න මට සිද්ධ වුණා.”—ෂෙඩ්සා.

“මම දන්නවා මම අදහන ආගම හරියි කියලා. ඒත් මගේ පවුලේ අය කරන නිසා නෙමෙයි, මමම ඒක තේරුම් අරගෙන කරන්නයි මට ඕනේ වුණේ.”—නෙලීසා.

ඔබට කළ හැකි දේ. ඔබ කැමති විදිහට සැලැස්මක් හදාගෙන ඒ අනුව බයිබලය අධ්‍යයනය කරන්න. එවිට අධ්‍යයනය කරන්නේ කුමන විෂයන්ද කියා ඔබටම තෝරාගන්න පුළුවන්. ඒ සඳහා ඔබට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු වැනි පොත් යොදාගත හැකියි. *

මෙය අත්හදා බලන්න. පහත සඳහන් කරුණු අතරින් ඔබ අධ්‍යයනය කිරීමට කැමති ඒවා ඉදිරියේ ✔ ලකුණ දමන්න. එසේ නැත්නම් ඔබ කැමති වෙනත් විෂයන් ලියන්න.

□ දෙවි කෙනෙක් ඉන්නවාද?

□ බයිබලයේ ලේඛකයන්ට දෙවිගේ මඟ පෙන්වීම් ලැබුණා කියලා මම කොහොමද විශ්වාස කරන්නේ?

□ පරිණාමයෙන් මේ දේවල් ඇති වුණේ නැහැ. දෙවියි හැම දෙයක්ම නිර්මාණය කළේ කියලා මම විශ්වාස කරන්නේ කොහොමද?

□ දේවරාජ්‍යය කියන්නේ මොකක්ද? ඒ රාජ්‍යය දැනටමත් පාලනය කරනවා කියලා මම පැහැදිලි කරන්නේ කොහොමද?

□ මරණයෙන් පසු සිදු වෙන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරන්නේ කොහොමද?

□ මිය ගිය අය නැවත නැඟිටින බව විශ්වාස කරන්න මට තියෙන හේතු මොනවාද?

□ දෙවි පිළිගන්නේ කොයි ආගමද කියලා මම දැනගන්නේ කොහොමද?

․․․․․

දෙවන අභියෝගය ශුභාරංචිය දේශනා කිරීම

අභියෝගයක් වෙන්නේ ඇයි? බයිබලයේ තිබෙන ශුභාරංචිය ගැන කතා කරන්න ඔබ ලැජ්ජා වෙන්න පුළුවන්. නැත්නම් දේවසේවයේ යද්දී මිතුරෙක් හමු වෙයි කියා ඔබට භයක් දැනෙන්න පුළුවන්.

ඔබ එය කළ යුත්තේ ඇයි? යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙවැනි ආඥාවක් දුන්නා. ‘මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.’ (මතෙව් 28:19, 20) අප ශුභාරංචිය දේශනා කිරීමට තවත් හේතු තිබෙනවා. උදාහරණයකට, හුඟක් යෞවනයන් දෙවිවත් බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් කියාත් විශ්වාස කරනවා. නමුත් ඒ යෞවනයන්ට අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඔබ බයිබලය අධ්‍යයනය කරන නිසා අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඔබට තිබෙනවා. ඔබ විශ්වාස කරන ඒ දේ අන් අයට කියා දීමෙන් ඔබට ලොකු සතුටක් දැනේවි. ඒ විතරක් නොවෙයි යෙහෝවා දෙවිව සතුටු කරන්නත් ඔබට හැකි වෙයි!—හිතෝපදේශ 27:11.

ඔබේම වයසේ සිටින අය පවසන දේ. “ශුභාරංචිය දේශනා කිරීමේදී පැහැදිලිව කතා කරන විදිහත් අපිට මුණගැහෙන අය අහන ප්‍රශ්නවලට උත්තර දෙන විදිහත් උනන්දුව දක්වන අයව නැවත හමු වෙන විදිහත් මමයි මගේ යාළුවෙකුයි හොඳින් පුරුදු වුණා. ඒ වගේ වෑයමක් දරද්දී දේශනා සේවයට තියෙන ආසාවත් වැඩි වෙනවා.” —නෙලීසා.

“අපේ සභාවේ සහෝදරියක් මට ගොඩක් උදව් කළා. එයා මට වඩා අවුරුදු හයක් වැඩිමල්. එයා සේවයේ යන කොට මාවත් එක්කරගෙන ගියා. සමහර දවස්වලට උදේ කෑමත් අරන් දුන්නා. සමහර කාරණා ගැන මම හිතන විදිහ වෙනස් කරගන්න උදව් වෙන බයිබල් පද එයා මට පෙන්නුවා. අනික් අය ගැන සැලකිල්ලක් දක්වන්නේ කොහොමද කියලා මම එයාගෙන් ඉගෙනගත්තා. ඒ සහෝදරිය කරපු උදව් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.”—ෂාන්ටේ.

ඔබට කළ හැකි දේ. ඔබේ සභාවේ සිටින, ඔබට වඩා වයසින් වැඩි, ඔබත් සමඟ සේවයේ යා හැකි කෙනෙකුව තෝරාගැනීමට ඔබේ දෙමාපියන්ගේ උපකාරය ඉල්ලන්න. (ක්‍රියා 16:1-3) අද්දැකීම් ඇති අයව ආශ්‍රය කිරීමෙන් ඔබට බොහෝ ප්‍රයෝජන ලැබෙයි. බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “යකඩින් යකඩ මුවහත් වෙයි. එසේම, මිනිසෙකුට දියුණු වීමට තවත් මිනිසෙකුට උපකාර කළ හැක.” (හිතෝපදේශ 27:17) දහනව හැවිරිදි ඇලෙක්සස් මෙවැනි දෙයක් පැවසුවා. “මට වඩා වයසින් වැඩි අය එක්ක ආශ්‍රය කරන කොට ලොකු ආරක්ෂාවක් දැනෙනවා!”

මෙය අත්හදා බලන්න. ඔබේ දෙමාපියන්ට අමතරව ඔබ සමඟ සේවයේ යා හැකි වෙනත් වැඩිහිටි කෙනෙකුගේ නම සඳහන් කරන්න.

․․․․․

තුන්වන අභියෝගය සභා රැස්වීම්වලට සහභාගි වීම

අභියෝගයක් වෙන්නේ ඇයි? දවස පුරාම පන්තියේ ඉඳගෙන ඉඳලා රැස්වීමට ගිහිල්ලත් තව පැයක් විතර කතාවලට ඇහුම්කන් දෙන්න අමාරුයි කියා ඔබට සිතෙන්න පුළුවන්.

ඔබ එය කළ යුත්තේ ඇයි? බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි. එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු. ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.”—හෙබ්‍රෙව් 10:24, 25.

ඔබේම වයසේ සිටින අය පවසන දේ. “රැස්වීම්වලට කලින් සූදානම් වෙන එක හුඟක් වැදගත්. ඒත් ඒකට ටිකක් මහන්සි වෙන්න ඕනේ. හැබැයි හොඳින් සූදානම් වුණොත් රැස්වීමෙන් ලොකු ප්‍රීතියක් ලැබෙනවා. සාකච්ඡා කරන විෂය ගැන දන්න නිසා සහභාගි වෙන්නත් පුළුවන්.”—එල්ඩා.

“රැස්වීම්වලට ගිහිල්ලා අදහස් දක්වන දවස්වලට වෙනදාට වඩා ලොකු ප්‍රීතියක් මට දැනිලා තියෙනවා.”—ජෙසිකා.

ඔබට කළ හැකි දේ. රැස්වීම්වලට සූදානම් වී හැකි නම් අදහස් දක්වන්න. එසේ කිරීමෙන් ඔබට ප්‍රීතියක් ලැබෙන අතර ඔබත් එම රැස්වීමට දායක වූ බවක් ඔබට හැඟෙයි.

උදාහරණයකට යම් ක්‍රීඩාවකින් සතුටක් ලැබෙන්නේ එම ක්‍රීඩාව රූපවාහිනියේ නැරඹීමෙන්ද නැත්නම් එම ක්‍රීඩාවේ නියැලීමෙන්ද? ඇත්තෙන්ම වැඩි සතුටක් ලැබෙන්නේ එය නරඹනවාට වඩා එයට සහභාගි වීමෙනුයි. රැස්වීම් ගැනත් ඒ විදිහට සිතන්න.

මෙය අත්හදා බලන්න. ඔබට එක රැස්වීමකට සූදානම් වීම සඳහා සතියකට විනාඩි 30ක් වෙන් කළ හැක්කේ කවදාද කියා මෙහි ලියන්න.

․․․․․

බයිබලයේ සඳහන් මෙම වදන්වල සත්‍යතාව බොහෝ යෞවනයන් අද්දකිනවා. “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න.” (ගීතාවලිය 34:8) යම් රසවත් කෑමක් ගැන ඇසූ පමණින් එය කොතරම් රසවත්ද කියා ඔබට කියන්න බැහැ. එහි රස දැනගන්න නම් ඔබ එය කාලම බලන්න ඕනේ. අපි දෙවිට කරන නමස්කාරයත් හරියට ඒ වගෙයි. යෙහෝවා දෙවිට නමස්කාර කිරීමෙන් මොන තරම් ප්‍රීතියක් අද්දැකිය හැකිද කියා ඔබම “රස බලා දැනගන්න.” නිකම්ම අසන්නෙකු නොවී අසන දේ ‘පිළිපැදීමෙන් මහත් සන්තෝෂයක්’ ලැබෙනවා කියායි බයිබලයේ සඳහන් වෙන්නේ.—යාකොබ් 1:25.

ඊළඟ පරිච්ඡේදය

ඉලක්ක තබාගන්නා ආකාරයත් ඒවාට ළඟා වන ආකාරයත් කියවා බලන්න.

[පාදසටහන]

^ 19 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

බයිබල් උපදෙස

“ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න. එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.”—රෝම 12:2.

යෝජනාවක්

රැස්වීමේ ප්‍රධාන කරුණු සටහන් කරගන්න. එවිට රැස්වීම දිග වැඩියි කියා නොසිතෙන අතර කරුණු මතක තියාගන්නත් පහසු වෙයි.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබ දෙවි ගැන විශ්වාස කරන දේ ඇත්තටම හරිද කියා දැනගන්න පුළුවන් හොඳම විදිහ ප්‍රශ්න අසා ඒ ගැන සොයා බැලීමයි.—ක්‍රියා 17:11.

ගත හැකි පියවර

මම හැම දවසකම විනාඩි ․․․․․ බයිබලය කියවීමටත් හැම සතියකම පැය ․․․․․ සභා රැස්වීම්වලට සූදානම් වීමටත් වෙන් කරනවා.

සභා රැස්වීම්වලදී හොඳින් අවධානය දීමට මම ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● යෞවන අයට නමස්කාරය හා සම්බන්ධ දේවල් නීරස විය හැක්කේ කුමන හේතුවක් නිසාද?

● මෙම පරිච්ඡේදයේ සාකච්ඡා කළ නමස්කාරයේ අංග තුනෙන් ඔබ දියුණු කරගැනීමට කැමති කුමන අංගයද?

[278වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මගේ ආගම මගේ දෙමාපියන්ගෙන් ලැබුණු දෙයක් නෙමෙයි. මමයි ඒ ආගම තෝරගත්තේ. යෙහෝවා මගේ දෙවියි. දෙවිත් එක්ක තියෙන බැඳීම නැති කරන කිසිම දෙයක් කරන්න මම කැමති නැහැ.’’—සමැන්තා

[280, 281යන පිටුවල කොටුව/පින්තූර]

ඔවුන් වැඩ කළේ ඉලක්ක තබාගෙනයි

“හෙට දිනේදී ඔබට කුමක් සිදු වේවිද කියා ඔබ දන්නේ නැත” යනුවෙන් බයිබලයේ සඳහන් වෙනවා. (යාකොබ් 4:14) එම වදන්වල සත්‍යයක් තිබෙනවා. යෞවන වයසේ සිටියත් මරණය කොයි මොහොතේ අපව සොයාගෙන එයිද කියා අප දන්නේ නැහැ. කැට්‍රීනාගේ සහ කයිල්ගේ ජීවිතද යෞවන කාලයේදීම අවසන් වුණා. ඒ කාලය තුළ ඔවුන් හොඳ ඉලක්ක තබාගෙන ජීවත් වූ නිසා යෙහෝවා දෙවි ඉදිරියේ හොඳ නමක් දිනාගත් ආකාරය කියවා බලන්න.—දේශනාකාරයා 7:1.

කැට්‍රීනා මිය යන විට ඇයට අවුරුදු 18යි. නමුත් ඇය අවුරුදු 13දීම “අනාගතයේදී කරන්න බලාපොරොත්තු වන දේවල්” මොනවාද කියා ලියා තැබුවා. ඒවා නම් පූර්ණකාලීනව ශුභාරංචිය දේශනා කිරීම, ශුභාරංචිය දේශනා කරන්නන්ගේ අවශ්‍යතාවක් තිබෙන ප්‍රදේශයක වැඩ කිරීම සහ ඇගේ පියා සමඟ නමස්කාර මධ්‍යස්ථාන ගොඩනැඟීමේ වැඩවල හවුල් වීමයි. ඇය මෙසේ ලියා තිබුණා. “මම යෙහෝවා දෙවිට මගේ ජීවිතය කැප කළා.” ඇගේ එකම ආශාව වුණේ, “යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙලා දෙවිගේ සිත සතුටු කිරීමයි.” කැට්‍රීනාගේ අවසන් කටයුතු සිදු කරන දවසේ දුන් කතාවේදී ඇයව හැඳින්නුවේ, “තමන්ගේ ජීවිතය මුළුමනින්ම යෙහෝවා දෙවිට කැප කරන්න සැලසුම් කළ ආදර්ශවත් යෞවනියක්” ලෙසයි.

කයිල් හදිසි රිය අනතුරකින් මිය යන විට ඔහුට අවුරුදු 20යි. වයස අවුරුදු හතරක් තරම් පුංචි කාලයේදීම ඉලක්ක තබාගැනීමට ඔහුගේ මව ඔහුට උගන්වා තිබුණා. ඒවා ලියා තැබූ පොතක් ඔහුගේ මරණින් පසු ඥාතියෙකු සොයාගත්තා. ඔහුට තිබූ ඉලක්ක නම් බව්තීස්ම වීම, සභාවේ කතා දීම සහ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ සඟරා පොත්පත් මුද්‍රණය කිරීමේ අංශයේ වැඩ කිරීමයි. කයිල් කුඩා කාලයේදී ලියා තැබූ දේ කියවා බැලූ ඔහුගේ මව පැවසුවේ, “පුතා ඒ හැම ඉලක්කයක්ම ජය ගත්තා” කියායි.

ඔබ තබා තිබෙන ඉලක්ක මොනවාද? හෙට දවසේ ඔබට මොනවාද වෙන්නේ කියා ඔබ දන්නේ නැහැ. ඒ නිසා උදා වන හැම දවසකම ඔබේ උපරිමය කරන්න. කැට්‍රීනා සහ කයිල් මෙන් ඔබේ කාලය අර්ථවත් ලෙස ගත කරන්න. දෙවිගේ සේවකයෙක් වූ පාවුල් ඔහුගේ ජීවිතයේ අවසන් මොහොතේදී මෙසේ පැවසුවා. “මම යහපත් සටනට සහභාගි වූවෙමි. එය අවසන් වන තුරුම සටන් කළෙමි. මගේ ධාවන තරඟයද නිම කළෙමි. මම සත්‍ය ඉගැන්වීම් පිළිපැද්දෙමි.” (2 තිමෝති 4:7) ඒ දේ කිරීමට ඊළඟ පරිච්ඡේදයෙන් ඔබට උපකාරයක් ලැබෙයි.

[274, 275යන පිටුවල පින්තූරය]

නිරෝගී සෞඛ්‍යයකට ව්‍යායාම් අවශ්‍යයි. ඒ හා සමානව දෙවි සමඟ ශක්තිමත් බැඳීමකට බයිබලය අධ්‍යයනය කිරීම අවශ්‍යයි